logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඩෙංගි පර්යේෂණ මධ්‍යස්‌ථානය
Center for Dengue Research - CDR)...


 

ඩෙංගි වයිරස ආසාදනය යනු මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වී යන වයිරස රෝගයක්‌ වන අතර එහි අධික ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගි රෝගය ගෝලීය සෞඛ්‍යයට තර්ජනයක්‌ වශයෙන් නම් කොට තිබේ. සැම වසරක දී ම ලොව පුරා පුද්ගලයන් මිලියන තුන් සිය අනූවකට පමණ ඩෙංගි රෝගය ආසාදනය වන බවට ජාත්‍යන්තර අධ්‍යයන වාර්තා සාක්‌ෂ්‍ය දරන අතර ඉන් සියයට හැත්තෑවක්‌ පමණ වාර්තා වන්නේ ආසියානු කලාපයේ ය. ඩෙංගි රෝගය සඳහා ඇස්‌තමේන්තුගත වාර්ෂික ගෝලීය වියදම ඇමෙරිකානු ඩොලර් බිලිsයන 8.9කි.

ශ්‍රී ලංකාව තුළ 2012 වසරේ දී සිදු කරන ලද දත්ත විශ්ලේෂණයන්ට අනුව ඒ වසරේ දී ඩෙංගි මර්දන ව්‍යාපෘතීන් හා ඩෙංගි රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වූ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.45ක්‌ පමණ වේ.

මේ කරුණු සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ ඩෙංගි රෝගය යනු හුදෙක්‌ ශ්‍රී ලංකාවට හා ලෝකයට බලපාන එක්‌ සෞඛ්‍ය ගැටලුවක්‌ පමණක්‌ නො ව, ආර්ථිකයට ද විශාල පහරක්‌ එල්ල කරන්නක්‌ බව ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පිහිටා තිබෙන ඩෙංගි පර්යේෂණ මධ්‍යස්‌ථානය (Center for Dengue Reasearch - CDR) යනු ශ්‍රී ලංකාව තුළ දැනට ඉදි කොට ඇති නවීනතම පර්යේෂණාගාරයක්‌ වන අතර ඩෙංගි වයිරසයේ ජෛව සංලක්‌ෂණ (Biomarkers) හඳුනාගැනීම, ඩෙංගි උවදුර මැ`ඩපැවැත්වීමට අවශ්‍ය දිගු කාලීන විසඳුම් සෙවීම, ඩෙංගි රෝගය සඳහා නව ඖෂධ සොයාගැනීම හා ඩෙංගි රෝගයෙන් ආරක්‌ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කිරීම අරමුණු කරගනිමින් මේ ස්‌ථානයේ පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනු ලැබේ. අති විශාල වශයෙන් පර්යේෂණ පහසුකම් හා පර්යේෂණ සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීමේ හැකියාව සහිත රටවල් බොහොමයක්‌ අඩ සියවසක පමණ කාලයක සිට ඩෙංගි රෝගය සඳහා එන්නත් හා ඖෂධ සොයාගැනීමට උත්සාහ දරන පසුබිමක්‌ තුළ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක පිහිටි අති නවීන විද්‍යාගාරයක්‌ තුළ ඩෙංගි රෝගය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ කටයුතු පිළිබඳව සොයා බැලීම වැදගත් ය.


CDRහි සිදු කෙරෙන පර්යේෂණ කටයුතු මොනවා ද?

CDR තුළ සිදු වන්නේ හුදෙක්‌ එක්‌ පර්යේෂණ කටයුත්තක්‌ පමණක්‌ නො වේ. ඒ පර්යේෂණාගාරය තුළ ඩෙංගි රෝගයට සම්බන්ධ ගෝලීය ගැටලු රැසකට දිය හැකි පිළිතුරු පිළිබඳ විවිධ පර්යේෂණ කටයුතු සිදු කෙරේ. ඒවායින් ප්‍රධාන පර්යේෂණ කිහිපයක්‌ පිළිබඳ තොරතුරු සැකෙවින් විමසා බලමු.

ඩෙංගි රෝගය ඇතැමුන් තුළ දරුණු රෝග ලක්‌ෂණ ඇති කරමින් ඔවුන්ට මරණය පවා ළඟා කරවීමට සමත් වුව ද ඩෙංගි වයිරසය ආසාදනය වන පුද්ගලයන් ගෙන් සියයට හැත්තෑ පහත් අනූවත් අතර බහුතර පිරිසක්‌ කිසිදු ආකාරයක රෝග ලක්‌ෂණයක්‌ නො පෙන්වති. මෙයට හේතුව වශයෙන් සැලකෙන්නේ ඒ බහුතර ආසාදිතයන්ගේ ශරීර තුළ ඩෙංගි වයිරසයේ ක්‍රියාකාරිත්වයට එරෙහි ව 'ප්‍රතිරෝධී ප්‍රතිචාරයක්‌' හටගැනීම ය. (එහෙත් ඔවුන්ගේ ශරීර තුළ වයිරසය පවතින බැවින් ඔවුන් හරහා නිහඬ ව ම වයිරසයේ ව්‍යාප්තිය සිදු විය හැකි ය.) CDRහි ප්‍රධාන වශයෙන් ම සිදු කෙරෙන කර්තව්‍යයක්‌ වන්නේ උක්‌ත ප්‍රතිරෝධී ප්‍රතිචාරය හඳුනාගෙන එහි අනුකාරක එන්නතක්‌ නිපදවීම සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කිරීම ය.

ඩෙංගි වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝගීන්ගේ ශරීරයේ (ප්ලූරාව වැනි) කුහර තුළ තරලය එක්‌රැස්‌ වීම, අභ්‍යන්තර රුධිර වහනයන් සිදු වීම, රුධිරයේ ඇති පට්‌ටිකා ප්‍රමාණය අඩු වීම හා අක්‌මාව වැනි අභ්‍යන්තර අවයවයන්ට හානි සිදු වීම වැනි සංකූලතා ඇති වන අතර එසේ සිදු වීමට බලපාන හේතුව ලෙස සැලකෙන්නේ ආසාදිතයන්ගේ කේශනාළිකා තුළින් රුධිර ප්ලාස්‌මාව කාන්දු වීම ය. ඩෙංගි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ කාර්ය මණ්‌ඩලය විසින් මේ වන විට උක්‌ත සංකූලතා හඳුනාගත හැකි පර්යේෂණයක්‌ සැලසුම් කිරීමේ කටයුතු සිදු කරගෙන යනු ලබන අතර කේශනාළිකා තුළින් රුධිර ප්ලාස්‌මාව කාන්දු වීම වැළැක්‌විය හැකි ඖෂධයක්‌ සොයාගැනීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

මෙසේ කේශනාළිකා තුළින් රුධිර ප්ලාස්‌මාව කාන්දු වීමට බලපාන ප්‍රධානතම හේතු කාරකය ලෙස සැලකෙන්නේ පට්‌ටිකා සක්‍රිය කිරීමේ සාධකය හෙවත් PAF ය. මේ වන විටත් PAFහි බලපෑම නිෂේධනය කිරීමේ හැකියාව සහිත සංයෝගයක්‌ වශයෙන් Rupatadine ප්‍රතිකාර සඳහා යොදාගැනීමට CDRහි පර්යේෂකයෝ උත්සාහ දරති. එසේ නිෂ්පාදනය කරන ලද එක්‌ ඖෂධයක පළමු සායනික අත්හදා බැලීම ඔවුන් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති අතර අංගොඩ ජාතික බෝ වන රෝග පිළිබඳ ආයතනයේ (IDH) බාහිර රෝගී අංශය තුළ මේ වන විට එහි දෙවැනි සායනික අත්හදා බැලීමෙහි අවසන් අදියර ද ඔවුහු ක්‍රියාවට නංවමින් සිටිති. අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයාගැනීමෙන් අනතුරු ව ඖෂධයේ තෙවැනි සායනික අත්හදා බැලීම ද සිදු කිරීමට බලාපොරොත්තු වේ.

මීට අමතර ව PAFට වඩා වෙනස්‌ සාධකයක්‌ ඉලක්‌ක කරගෙන තවත් ඖෂධයක්‌ භාවිත කරමින් සායනික අත්හදා බැලීමක්‌ සිදු කිරීම සඳහා ඔවුන් අදාළ නියාමන බලධාරීන්ගේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින අතර අවශ්‍ය අනුමැතිය ලබාගත් පසු ඒ ඖෂධය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් හෙළි කරනු ඇත. එසේ ම ඩෙංගි වයිරසයට එරෙහි ශාක සාර ඖෂධ නිෂ්පාදනය කෙරෙහි CDRහි පර්යේෂකයන් සිය අවධානය යොමු කොට ඇති අතර මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාකයකින් නිස්‌සාරණය කරගත් එවැනි එක්‌ සංයෝගයක්‌ ඔවුන් සාර්ථක ව හඳුනාගෙන ඇත.

මේ දිනවල දී ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති COVID-19 හෙවත් නව්‍ය කොරෝනා රෝගය පිළිබඳ ව ද CDRහි අවධානය යොමු වී ඇති අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොයාගන්නා ලද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ සෙම් පටල නියෑදි පරික්‌ෂා කිරීම හරහා ඔවුන් කොරෝනා ආසාදිතයන් ද නැති ද යන්න හඳුනාගැනීමට CDR කාර්ය මණ්‌ඩලය ලබා දෙන්නේ නොමසුරු දායකත්වයකි. දැනට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය රෝපණය කිරීමක්‌ සිදු නො වන නමුත් CDR ආයතනය, ආසාදිත යෑයි සැක සහිත සෙම් පටල නියෑදියක වයිරසය තිබේ දැයි හඳුනාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ඇති ඊSඛ2 මට්‌ටමේ රසායනාගාරයක්‌ වීම විශේෂත්වයකි.


ජාත්‍යන්තරය ඉදිරියේ තැබෙන CDRහි පර්යේෂණ

ඩෙංගි රෝගය ආසාදනය වීමේ දී NS 1 නම් ප්‍රෝටීනයක්‌ ආසාදිතයාගේ ශරීරය තුළ සංසරණය වීම සිදු වේ. එම ආගන්තුක ප්‍රෝටීනයට එරෙහි ව ඩෙංගි ආසාදිතයාගේ ශරීරය තුළ ප්‍රතිශක්‌ති ප්‍රතිචාරයක්‌ ඇති වන අතර ඒ ප්‍රතිචාරයේ තීව්‍රතාව රෝගී තත්ත්වයේ තීව්‍රතාව අනුව වෙනස්‌ වේ. මේ වන විට ඒ

NS 1 ප්‍රෝටීනය කෙරෙහි ආසාදිතයාගේ ශරීරය තුළ ප්‍රතිශක්‌ති ප්‍රතිචාර ඇති වන ආකාරය පිළිබඳව CDRහි පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල මෑතක දී ජාත්‍යන්තර ජර්නලයක්‌ වන භ්එමරු ඤපපමසජ්එසදබිහි ප්‍රකාශයට පත් කරන ලදි.

NS 1 ප්‍රෝටීනය පිළිබඳව සිදු කරනු ලැබූ මේ අධ්‍යයනයන් ගෙන් හෙළි කරගන්නා ලද තොරතුරු ඩෙංගි රෝගයට එරෙහි ව එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇති අතර CDRහි උක්‌ත ප්‍රෝටීනය පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතී.


CDRහි කාර්ය මණ්‌ඩලය

ඩෙංගි පර්යේෂණ මධ්‍යස්‌ථානයෙහි ප්‍රධානත්වය දරනු ලබන්නේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසිනි. CDR කාර්ය මණ්‌ඩලය පශ්චාත් උපාධි හදාරන විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්ය උපාධි හදාරන විද්‍යාඥයන් හා පර්යේෂණ සහායකයන් පිරිසක ගෙන් සමන්විත වේ. මීට අමතර ව CDRහි අධ්‍යක්‌ෂ මණ්‌ඩල සාමාජිකයකු වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද එහි පර්යේෂණ පහසුකම් සංවර්ධනය කිරීමට සිය දායකත්වය ලබා දෙයි.

දේශීය සංවිධානවලට අමතර ව ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ MRCහි මානව ප්‍රතිශක්‌තීකරණ ඒකකය, මෙල්බර්න්හි වික්‌ටෝරියා බෝ වන රෝග විමර්ශන රසායනාගාරය, සිංගප්පූරු ප්‍රතිශක්‌තිකරණ ජාලය හා තායිවානයේ ජාතික චෙං කුං විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර ආයතනයන්හි ද නොමඳ සහාය සහිත ව CDRහි පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනු ලැබේ.

ඕනෑ ම රටක්‌ තුළ එරටට එල්ල විය හැකි ත්‍රස්‌තවාදී බලපෑම් හඳුනාගෙන ඒ සඳහා පෙර සූදානමක්‌ ඇති කරගැනීම සඳහා සංවිධානාත්මක බුද්ධි සේවාවක්‌ ස්‌ථාපිත කොට ඇත. එනමුත් කලින් කලට හිස ඔසවමින් රටක ආර්ථිකයට හා මිනිස්‌ ජීවිතවලට ත්‍රස්‌තවාදයටත් වඩා දරුණු බලපෑම් එල්ල කිරීමට සමත් ඩෙංගි සහ එවැනි වයිරස ආසාදනයන් පිළිබඳ පූර්ව හඳුනාගැනීමක්‌ සිදු කළ හැකි විධිමත් යාන්ත්‍රණයක්‌ මේ වන තුරුත් අප රට තුළ නිර්මාණය වී නැත. අවශ්‍ය සියලු පහසුකම් හා ජාත්‍යන්තර සහාය ද සහිත ව ඒ ජෛව ත්‍රස්‌තයන් පිළිබඳ පූර්ව අධ්‍යයනයන්හි නිරත වෙමින් පෙර සූදානම හරහා වයිරස ආසාදන තත්ත්වයන් වසංගතයන් බවට පත් නො වීමට වගබලා ගැනීම හරහා රටට සිදු විය හැකි සෞඛ්‍යමය හා ආර්ථික බලපෑම අවම කරගැනීම ඩෙංගි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ අභිලාෂයයි.

තරුෂි කෞෂානි
ඡායාරූප-නිමල් දයාරත්න