logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජල සංරක්‌ෂණයෙන් බලශක්‌ති ඉතිරියට මඟ...


අපගේ දෛනික ජීවිතයට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. දිනෙන් දින ඉහළ යන ජනගහණය හමුවේ ජල භාවිතය ද වැඩි වේ. එබැවින් අප බුද්ධිමත් ලෙස ජලය ප්‍රයෝජනයට ගැනීම සහ ජලය අපතේ නො හැරීමට වගබලාගත යුතු වේ. බහුල වශයෙන් ම පානය, ආහාර පිසීම සහ සේදීම වැනි මූලික අවශ්‍යතාවන් සඳහා ජලය භාවිත වේ. ජලය භාවිතයේ දී විශාල වශයෙන් වන ජල හානිය වළකා අනාගත පරම්පරාවලට ද ජල සම්පත භුක්‌ති විඳීමට අවශ්‍ය ඉඩ සකස්‌ කර දීම වත්මන් අපගේ යුතුකමකි.

නිවසේ ජල භාවිතය සහ බලශක්‌ති වැය වීම අතර සම්බන්ධය ඔබ දැන සිටියා ද? ඇත්ත වශයෙන් ම ඔබේ ජල භාවිතය බලශක්‌ති බිල්පත් සඳහා බලපායි. එහෙත් මෙය බොහෝ දෙනා සැලකිලිමත් නො වන කාරණාවකි. මෙමඟින් ඔබ නො දැනුවත්ව ම බලශක්‌තිය අනවශ්‍ය ලෙස අපතේ යයි. ජලය උණු කිරීමට විදුලිය හෝ ගෑස්‌ භාවිත වේ. මෙයට අමතර ව ජලය පොම්ප කිරීම, පිරිසිදු කිරීම වැනි කටයුතු සඳහා ද විදුලිය භාවිත වේ. එබැවින් ජලය අරපිරිමැස්‌මෙන් යුතු ව භාවිත කිරීම ඔබේ විදුලි බිල අඩු වීමට ද හේතු වනු ඇත. ජල සංරක්‌ෂණයේ පළමු පියවර වනුයේ එදිනෙදා ඔබේ ජල පරිහරණය හොඳින් නිරීක්‌ෂණය කර අඩුපාඩු හඳුනාගැනීමයි.

ඔබගේ නිවසේ ජල කාර්යක්‌ෂමතාව වර්ධනය කරගැනීම සඳහා ගත හැකි පියවර

* අනවශ්‍ය ආකාරයට ජල කරාම විවෘත කර නො තබන්න.

* විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය නැවත නැවත භාවිත කරන්න.

උද:- එළවළු සේදීම සඳහා භාවිත කළ ජලය ගෙවත්තේ ප්‍රයෝජනයට යොදාගත හැකි වීම.

* ජල උපකරණ තේරීමේ දී කාර්යක්‌ෂම උපකරණ තෝරා භාවිත කරන්න. ඒවා නිසි ලෙස පිරිසිදු කර නඩත්තු කරන්න.

* මන්දගාමී ව ජලය ගලා යන කරාම සහ ෂවර් උපාංග භාවිත කරන්න. ජලය සමඟ වාතය මුසු කරමින් ජලය ගලා යන වේගය අඩු කරන සුළං කරකවන (Aerators) මේ සඳහා භාවිත කරන්න. සුළං කරකවන රහිත උපාංගවලට වඩා ඒවා සහිත උපාංගවල ජලය ගලා යැමේ වේගය 50%කින් අඩු ය.

* ජල නළ ආවරණය කිරීමට පෙර ඒවායේ කාන්දු වීම් ඇත් දැයි හොඳින් පරීක්‌ෂා කරන්න.

* නියමිත විෂ්කම්භ ප්‍රමාණ සහිත නළ භාවිත කරන්න.

* ඔබගේ වැසිකිළිය ද්විත්ව සේදීම (Dual Flush)ට පරිවර්තනය කරන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා නො සෝදන්න. සාමාන්‍ය සෝදාහැරීමේ (Flush) ක්‍රමයට වඩා 35%ක්‌ පමණ අඩුවෙන් ජලය යොදාගැනීමට ද්විත්ව සේදීමේ ක්‍රමයට හැකි වේ.

* කිසි විටෙක ජලය ඉවතට විසි නො කරන්න. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පිරවුව හොත් හෝ වීදුරුවෙහි ජලය ඉතිරි වුව හොත් එය ප්‍රයෝජනයට ගන්න.

උදා :- බල්ලාගේ ජල බඳුනට දැමීම, පැළයකට දැමීම හෝ කේතලයකට දැමීම සඳහා.


ඔබේ ගෙවත්තේ ජල සැපයුමේ කාර්යක්‌ෂමතාව

* පැළ වූ පසු එතරම් ජල සැපයුමක්‌ නොමැති ව වැඩෙන කාලගුණයට අනුකූල පැළ වර්ග මත ඔබගේ භූමි දර්ශන (land scaping) පදනම් විය යුතු ය.

* බාහිර ජලාපවහන පද්ධතියට ගලා යැමට පෙර අවම වශයෙන් වැසි ජලයෙන් අඟලක්‌ වත් ගෙවත්ත තුළ රැෙඳන ආකාරයට සකසන්න.

* අධික ජල ප්‍රමාණයක්‌ අවශ්‍ය වන තණ පිඩලි / හරිත ගෙමිදුල් භූමි දර්ශන අඩුවෙන් යොදන්න.

* බිම් ආවරණ භාවිතයෙන් වාෂ්පීකරණය අඩු කරගන්න. පැළ සහ සැකිලි මඟින් පස ආවරණයෙන් පසෙන් ජලය වාෂ්පීකරණය අවම කර ජල යෙදීම හැකිතාක්‌ අඩු කරගැනීමට උත්සාහ ගන්න.

* ජල සම්පාදනය උදෑසන හෝ හිරු බැස ගිය පසු හෝ කළ යුතු ය.

* සෘජු ව ම පැළයේ මුල්වලට ජලය සැපයෙන ලෙස ජල බිංදු සහ ක්‌ෂුද්‍ර ජල සැපයුම් ක්‍රම සැලසුම් කරන්න. නළ මඟින් ජල සැපයුම හා සසඳන විට මෙමඟින් ජල සැපයීමේ කාර්යක්‌ෂමතාව 90%කට වඩා ඉහළ දැමිය හැකි වේ.

* තණ පිට්‌ටනි සඳහා ජලය ඉසීමේ (sprinkler) ක්‍රමය නළ මඟින් ජලය සැපයීමට වඩා කාර්යක්‌ෂම වේ.

* සූක්‌ෂම නිරීක්‌ෂණය තුළින් සුදුසු ජල සැපයුම් ක්‍රම ඔබ ම තීරණය කරන්න. අධික ජල සැපයුමෙන් වළකින්න.

ඉහත ක්‍රම අනුගමනයෙන් සහ ඔබට ම අනන්‍ය වූ ක්‍රියාමාර්ග තුළින් ජලය අරපිරිමැස්‌මෙන් හා උපරිම කාර්යක්‌ෂමතාවෙන් ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වන්න.

සූර්යතාප ක්‍රමය මත පදනම් වූ උණු දිය නිෂ්පාදනය

නිරන්තර සූර්ය රශ්මියෙන් නැහැවෙන ලක්‌ බිමට සූර්ය තාප ජල උණු කිරීමේ ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. සූර්යතාප ජල උණු කිරීමේ ක්‍රමය (Solar water heater- SWH) යනු සූර්යයාගේ විකිරණ ශක්‌තිය තාප ශක්‌තිය බවට පරිවර්තනය කර තාප ශක්‌තිය ජලයේ ගබඩා කිරීමයි. නිවසක සේදීම, ආහාර පිසීම වැනි විවිධ කටයුතු සඳහා උණු ජලය භාවිත වේ. එහි දී ජලය විදුලියෙන් හෝ ගෑස්‌ මඟින් හෝ රත් කරගැනීම සාමාන්‍ය සිරිත ය. එහෙත් එමඟින් විශාල බලශක්‌තියක්‌ වැය වේ. සූර්ය තාප ක්‍රමයෙන් ලබාගන්නා උණු ජලය සෘජු ව ම අවශ්‍යතාවන්ට යොදාගත හැකි ය. එමෙන් ම රටේ සමහර උස්‌බිම් ප්‍රදේශවල කාමර උණුසුම් කිරීම සඳහා ද මේ ක්‍රමය භාවිත කළ හැකි ය. මෙහි දී හිරු කිරණවල සසම්භාවී ස්‌වභාවය සහ උණු ජල අවශ්‍යතාවේ අවසන් පරිභෝජන වෙනස්‌කම් වැනි අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. මේවාට විසඳුමක්‌ ලෙස එක්‌රැස්‌ කිරීමේ උප පද්ධතියට සම්බන්ධ සුදුසු ගබඩාවක්‌ තිබීම අත්‍යවශ්‍ය ම ය. මේ ක්‍රමයෙන් උණු ජලය ලබාගැනීමේ දී සූර්යයාට සැපයිය නොහැකි බලශක්‌ති කොටස විදුලි ප්‍රතිරෝධක උණුසුම් කිරීම වැනි සුදුසු උපස්‌ථම්භක උණුසුම් කිරීමේ ක්‍රමයක්‌ මඟින් මුදුන්පත් කරගත හැකි ය. වෙළෙඳපොළෙහි පවතින සූර්ය තාප උණු ජල පද්ධති අතර ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙන එක්‌රැස්‌ කිරීමේ උප පද්ධති දෙකකි.

i. සමතලා තල රැස්‌කරණ (Glazed flat plate collectors)

ii. හිස්‌ නළයක්‌ බද්ධ කෙරුණු සමතලා තල රැස්‌කරණ (Evacuated integrated flat plate collectors)

රැස්‌ කිරීමේ කාර්යය වැඩිදියුණු කිරීම පිණිස විශේෂයෙන් සකස්‌ කළ උරාගැනීමේ තල මඟින් සමස්‌ත ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කළ විකල්ප මේ රැස්‌කරණ ක්‍රම දෙකට ම තිබේ.

සූර්යතාප උණුදිය ක්‍රමයෙහි වාසි

* මේ පුනර්ජනනීය බලශක්‌ති තාක්‌ෂණය භාවිත කිරීම මඟින් වාණිජ්‍ය බලශක්‌ති (විදුලිය, ඛනිජ තෙල්, ගෑස්‌ ආදිය) පරිභෝජනය අඩු කරගැනීමට නිවැසියන්ට හැකි වේ.

* ගොඩනැඟිල්ල පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අඩු කිරීම සහ ශුද්ධ ශුන්‍ය බලශක්‌ති (Zero Energy) ගොඩනැඟිල්ලක්‌ වෙත යොමු වීමේ එක්‌ පියවරක්‌ වීම.

* මුළු දවස පුරා ම හිරු එළිය පවතින ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක දී පහසුවෙන් හැසිරවිය හැකි වීම.

සූර්ය කෝෂ පද්ධතියේ දී මෙන්, සූර්ය බලශක්‌ති කොටස වෙනුවෙන් වසර මුළුල්ලේ උපරිම බලශක්‌ති ප්‍රමාණයක්‌ රැස්‌ කිරීම සඳහා දකුණු දිශාභිමුඛ ව ස්‌ථානීය සවි කිරීම් කළ යුතු ය. කෙසේ වෙතත්, වහළයට සවි කිරීමේ ක්‍රමයෙහි පවතින සවි කිරීමේ ප්‍රායෝගික සීමාවන් හේතුවෙන් සූර්ය බලශක්‌ති කොටසේ ප්‍රමාණය පහත වගුවේ දැක්‌වෙන ආකාරයට නේවාසික ගොඩනැඟිල්ලේ ආදර්ශ ප්‍රමාණයට සාපේක්‌ෂ ව වෙනස්‌ වනු ඇත.

ජලය පරිහරණයේ දී මෙවැනි පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව වෙත යොමු වීමෙන් ඔබේ විදුලි වියදම්වල වන වෙනස වටහාගන්න. බලශක්‌ති සුරක්‌ෂිත ශ්‍රී ලංකාවක්‌ ගොඩනැ`ගීම සඳහා ජල සංරක්‌ෂණය සාර්ථක පියවරක්‌ වනු නිසැක ය.

තොරතුරු මූලාශ්‍රය - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ නිල වෙබ් අඩවිය

බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමයේ

සුදීප ලක්‌ෂාන්