logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආපදා කළමනාකරණය තුළ පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාවලිය...

 


වඩා සුරක්‌ෂිත සමාජයක්‌ පැවතීම ඕනෑ ම රටක දියුණුව උදෙසා ඉතා වැදගත් ය. මේ සුරක්‍ෂිතභාවය අභියෝගයට ලක්‌ වන අවස්‌ථාවක්‌ වන ආපදාවන් කළමනාකරණය කරගැනීම එම සුරක්‌ෂිතභාවයේ දිගුකාලීන පැවැත්මට හේතු වේ. මහපොළොව මත ආපදාවන් කළමනාකරණය කරගැනීම, 'ආපදා කළමනාකරණය' ලෙස වාචිකව ප්‍රකාශ කරන හෝ ලේඛනයක ලියා දක්‌වන වදන් දෙකට එහා ගිය භාරදූර හා වඩා සැලසුම් සහගත ක්‍රියාවලියක්‌ වන අතර එම සමස්‌ත ක්‍රියාවලිය, ඒ හා බැඳුණු තවත් සංකල්ප හා යන්ත්‍රණයන් රාශියකින් සමන්විත ය. උක්‌ත පසුබිම තුළ මේ ලිපිය තුළ දී සංක්‌තෂිප්ත විග්‍රහයකට යොමු කරන්නේ ආපදා කළමනාකරණය තුළ අන්තර්ගත ඉතා වැදගත් ක්‍රියාවලියක්‌ වන පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව ය.

යමක්‌ පිළිබඳව කලින් දැනුවත් වීම ඉදිරි පියවරවල සාර්ථකභාවය උදෙසා ඉතා වැදගත් ය. 'දැන ගියොත් කතරගම නො දැන ගියොත් අතරමඟ' ලෙස වහරේ පවතින කියමනෙන් ද ඒ බව ගම්‍ය වේ. ඒ අනුව ගත් විට ආපදා කළමනාකරණය උදෙසා පූර්ව අනතුරු ඇඟවීම යනු පසුව ඇති වන ආපදාව හරහා සමාජීය ව, ආර්ථික ව ආදී වශයෙන් බලපෑම පාලනය කරගැනීමට ඉතා වැදගත් වන ක්‍රියාවලියකි. පූර්ව අනතුරු ඇඟවීමක්‌ තුළින් උපද්‍රවයක්‌ හරහා සිදු වන හානිය හා අලාභය අවම කිරීමට පුද්ගලයන්, ප්‍රජාවන් හා සංවිධාන සක්‍රිය කරවන අතර ප්‍රතිචාර ලබා දීමට සුදුසු කාලවේලාවක්‌ සහිත ව හා අර්ථාන්විත ව අන්තරායන් පිළිබඳ තොරතුරු පෙර කී සමාජීය භූමිකාවන්වලට ලබා දීම සිදු වේ. ඒ අනුව උපද්‍රවයන් ආපදා මට්‌ටම් කරා වර්ධනය වී විනාශ වීමට ඉඩ ඇති ජීවිත හා දේපළ හානිය පාලනය කරගැනීමට මේ ක්‍රියාවලිය ඉතා ප්‍රයෝජනවත් වේ. සමස්‌ත ක්‍රියාවලිය තුළ පුද්ගල මට්‌ටම් දක්‌වා අනතුරු ඇඟවීම සිදු වන අතර ඒ මට්‌ටමේ සිට ම සාධනීය ව ඊට ප්‍රතිචාර දැක්‌වීම, ඵලදායි පූර්ව අනතුරු ඇඟවීමක්‌ උදෙසා අවශ්‍ය වේ.

ඵලදායි පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලියක්‌ තුළ සාමාන්‍යයෙන් මූලිකාංග 04ක්‌ හඳුනාගත හැකි ය. එනම්,

1. අවදානම් තක්‌සේරුව හා ඒ ඇසුරින් වන දැනුම සම්පාදනය

2. අවදානම නිරීක්‌ෂණය හා අනතුරු ඇඟවීම

3. අවදානම පිළිබඳ තොරතුරු සන්නිවේදනය හා බෙදාහැරීම

4. ප්‍රතිචාර දැක්‌වීම උදෙසා ධාරිතාව ගොඩනැ`ගීම

වඩා පුළුල් වපසරියක විහිදුණු, සමාජීය ව කේන්ද්‍ර වූ පූර්ව අනතුරු ඇඟවීමක්‌ උදෙසා මේ පියවර ඉතා වැදගත් ය. මෙහි දී අවධානයට ලක්‌ ව ඇති 'අවදානම' තුළින් අනාගතය තුළ යම් සමාජයක්‌ හෝ ප්‍රජාවක්‌ හෝ තුළ ආපදාවක්‌ නිසා ජීවිත දේපළ විනාශ වීමට ඇති විභවතාව යන්න ප්‍රකාශනය වේ. ඒ අනුව මූලික ව අවදානම පිළිබඳ තක්‌සේරුව මෙහි දී වැදගත් වේ. විශේෂයෙන් අවදානමට ලක්‌ වන්නේ කොතැන ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සම්පාදනය කරගැනීම හරහා වඩා විස්‌තීරණ ලෙස අවදානම තක්‌සේරුවට පදනම සපයාගත හැකි ය. සාමාන්‍යයෙන්, ආපදා අවදානම නිර්මාණය වනුයේ උපද්‍රවයක්‌ හා ඊට පාත්‍ර වනසුලු ස්‌වභාවය (Vulnerability) යන කරුණු ද්විත්වය මත ය.

උපද්‍රවයක්‌ අවදානම නිර්මාණය වීමට හේතු විය හැකි තත්ත්වයන් සොයා බැලීම සිදු කළ හොත් භෞතික හේතු වන වර්ෂාපතනයේ වෙනස්‌කම්, පාෂාණවල ජීරණ වූ තත්ත්වය ආදිය නාය යැම් වැනි උපද්‍රව ඇති වීමේ අවදානම උදෙසා බලපායි. තව ද, ගංගාවල ගලා යැමේ වේගය, ජල ධාරිතාව ආදිය ගංවතුර උපද්‍රවයකට වැදගත් වේ. මානව නිර්මිත හේතු ලෙස භෞතික වශයෙන් සංවේදී හා ගැටලු සහිත ප්‍රදේශවල ජනාවාසවල ව්‍යාප්තිය හා සංවර්ධන කටයතු ආදිය දැක්‌විය හැකි ය. විශේෂයෙන් කාලීන ව හා අවකාශීය වශයෙන් මෙවැනි භෞතික හා මානව සාධකයන්හි සිදු වන විචලතා ප්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව නිරීක්‌ෂණය කිරීම ද වැදගත් ය. නිදසුනක්‌ ලෙස බෑවුම් ප්‍රදේශයක පවතින ජනාවාසයක ප්‍රමාණාත්මක ස්‌වභාවය එහි කාලීන වර්ධනය තුළින් හඳුනාගත හැකි අතර එහි ආර්ථික හා සමාජීය තත්ත්වය හරහා ගුණාත්මක තොරතුරු උකහාගත හැකි ය. තව ද, සුදුසු පරාමිතීන් යොදාගනිමින් අවදානම් සිතියම් නිර්මාණය කරගැනීම හරහා අවදානම පිළිබඳ තොරතුරු දැනගැනීමටත්, පසු විශ්ලේෂණ කාර්යක්‌ෂමව සිදු කිරීමටත් හැකියාව ලැබේ.

අවදානම නිරීක්‌ෂණය හා අනතුරු ඇඟවීම තුළ දී ඉහත හ`දුනාගත් පරාමිතීන් පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ ඇතුළත් වේ. උපද්‍රවයක්‌ සඳහා භෞතික වශයෙන් පවතින තත්ත්වයන් නිවැරැදි ක්‍රමවේද තුළ විශ්ලේෂණය කිරීමේ දී තාක්‌ෂණික හා මානව සම්පත යන ද්විත්වය ම අවැසි පරිදි යොදාගැනේ. නිදසුනක්‌ ලෙස මෙරට නාය යැම් සඳහා අවදානම ඇති ප්‍රදේශවල ස්‌වයංක්‍රීය වර්ෂාමාන සවි කිරීම ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ සංවිධානය වැනි වගකිවයුතු ආයතන හරහා සිදු කොට ඇති අතර එවැනි ක්‍රමවේද හරහා ඉතා කාර්යක්‌ෂම දත්ත ග්‍රහණය කරගැනීමේ හා එම දත්ත ඔස්‌සේ නාය යැම් අනතුරු ඇඟවීම් සිදු කිරීමේ හැකියාව ලැබී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ද ගංවතුර තත්ත්වයන් උදෙසා අවශ්‍ය ජල විද්‍යාත්මක තොරතුරු ග්‍රහණයට ද අදාළ ගංගාවල ජල මිනුම් උපකරණ සවි කොට නිරන්තර නිරීක්‌ෂණයට ලක්‌ කෙරේ. මෙවැනි භෞතික පරාමිතීන් මානව සාධක සමඟ එනම්, ජනගහනය හා එහි ව්‍යාප්තිය ආදිය සමඟ සසඳමින් අවදානම පිළිබඳ තොරතුරු නිර්මාණය වේ. අද වන විට මෙවැනි දත්ත ග්‍රහණය කරගැනීම් ප්‍රජා මට්‌ටම දක්‌වා විසරණය වී ඇති අතර සමාජයේ බොහෝ පිරිසක්‌ සතු ව පවතින ජංගම දුරකතන හරහා එවැනි දත්ත ග්‍රහණය කරගැනීම එක්‌ අවස්‌ථාවකි. ස්‌මාර්ට්‌ ජංගම දුරකතනවල පවතින සංවේදක හරහා යම් ස්‌ථානයක සිදු වන භූ චලන පිළිබඳ තොරතුරු ග්‍රහණය කරගැනීමේ ජංගම යෙදවුම් (Mobile Applications) පවතින අතර එම යෙදවුම් හරහා ම පූර්ව අනතුරු ඇඟවීම් ද බෙදා හැරිය හැකි ය. එවැනි යෙදවුමකට නිදසුනක්‌ ලෙස MyShake ජංගම යෙදවුම දැක්‌විය හැකි ය. ගෝලීය චන්ද්‍රිකා පද්ධති (Global Navigation Satellite System -GNSS) හා භූගෝලීය තොරතුරු පද්ධති (Geographic Information System- GIS) වැනි අවකාශීය තාක්‌ෂණික භාවිතයන් ද මෙවැනි කාර්යයන්වල දී සුදුසු පරිදි යොදාගත හැකි ය.

මේ තොරතුරු සන්නිවේදනය කිරීම අනතුරු පිළිබඳ දැනුම් දීමේ වැදගත් ම පියවරක්‌ වේ. එය ප්‍රජාව වෙත අනතුර පිළිබඳ අවබෝධයක්‌ ලබා දීමේ අවස්‌ථාව ද වේ. මෙය ආයතන ගණනාවක හා සංවිධාන ගණනාවක මෙන්ම පුද්ගල වශයෙන් ද සම්බන්ධ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ දී ආපදා අවස්‌ථාවක්‌ නිර්මාණයට පසුබිම පවතින විට මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඇතුළු ආයතන විසින් නිකුත් කෙරෙන නිවේදන මේ සඳහා දේශීය වශයෙන් තිබෙන නිදසුනකි. විශේෂයෙන් දේශීය හා විදේශීය ජනමාධ්‍ය භාවිතයෙන් ප්‍රජාව වෙත අනතුර පිළිබඳව දැනුවත් කිරීම මෙහි දී සිදු කෙරෙන අතර ඒ සඳහා ආයතනික වශයෙන් එකිනෙකට සම්බන්ධ (ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා ජනමාධ්‍ය වැනි) පසුබිමක්‌ මෙවැනි කාර්යයක්‌ උදෙසා ඉතා වැදගත් ය. උපද්‍රවයක්‌ හරහා නිර්මාණය විය හැකි දරුණු ආපදාවක්‌ කළමනාකරණය කරගැනීම උදෙසා අදාළ පණිවිඩය කෙසේ හෝ ප්‍රජාව වෙත ලබා දීම වැදගත් වන අතර විද්යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවලට අමතර ව කෙටි පණිවිඩ සේවා (SMS), ජංගම යෙදවුම් (Mobile Applications), ආපදා කළමනාකරණය හා සම්බන්ධ ආයතනවල සමාජ මාධ්‍ය පිටු, වෙබ් අඩවි, දුරකතන, මහජන ඇමතුම් පද්ධති, ස්‌වයංක්‍රීය අනතුරු ඇඟවීමේ කුලුනු (මෙරට පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු වැනි), විශේෂ සයිරන් නාද මෙන්ම ගෙයින් ගෙට ගොස්‌ හෝ අවදානමට ලක්‌ වන පිරිස ඉන් මුදවාගැනීම ආදිය ඵලදායි පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලියකට ඇතුළත් ය.

මේ සියලු පියවරවල සාර්ථක බව උදෙසා ලබා දෙන අනතුරු ඇඟවීමේ තොරතුරුවලට ප්‍රතිචාර දැක්‌වීම ද වැදගත් වේ. ආපදා කළමනාකරණය උදෙසා සම්බන්ධ වන සියලු ම පාර්ශ්ව වෙත මේ ප්‍රතිචාර දැක්‌වීමේ පියවර වැදගත් වන අතර සහන සලසන කණ්‌ඩායම් ආරක්‌ෂිත ස්‌ථාන කරා මහජනතාව යොමු කිරීම, තාවකාලික ආපදා කඳවුරු නිර්මාණය හා ඒවා පවත්වාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනයට සැලසුම් කිරීම මෙන්ම පැමිණෙන ජනතාවගේ සංයුතිය පිළිබඳව අවධානය යොමු කිරීම සිදු කළ යුතු ය. විශේෂයෙන් එහි දී ආබාධිත ජනතාව, ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් හා කාන්තාවන් පිළිබඳව ප්‍රමුඛතාවකින් කටයතු කිරීම වැදගත් ය. එසේ ම, අවදානමට ලක්‌ වුණු ප්‍රජාව අනතුරු ඇඟවීමේ නිවේදන ලද සැණින් අදාළ ඊළඟ පියවර ක්‍රියාත්මක කීරීම අතිශයින් වැදගත් වන අතර අවදානම් ස්‌ථානයන් වෙතින් ඉවත් වීමේ දී ජීවිතය ආරක්‌ෂා කරගැනීම තමාගේ ප්‍රමුඛ කරණය බවට කර ගැනීම සුදුසු ය. (එහෙත් අවශ්‍ය වුව හොත් හැකියාව පරිදි වෙනත් ජීවිත ද අවදානමෙන් මුදවාගැනීම යුතුකමක්‌ වේ.) ජීවිතය බේරාගත් පසු ගෘහ භාණ්‌ඩ වැනි භෞතික සම්පත් යථා කාලයේ දී ගොඩනැ`ගීමට ශක්‍යතාවක්‌ ඇති අතර පූර්ව අනතුරු ඇඟවීම් ලද විට ගෙන යා යුතු අවශ්‍ය ම ද්‍රව්‍ය කල් වේලා ඇති ව සැලසුම් කරගැනීම වඩා උචිත ය. ඊට තමාගේ උප්පැන්න සහතිකය ඇතුළු ලද සහතික, හැඳුනුම්පත්, විදෙස්‌ ගමන් බලපත්‍රයක්‌ හා ඉඩම් ඔප්පු ආදී නීතිමය ලියවිලි ඇතුළත් කිරීම කළ හැකි ය. ආපදා සහන කටයතුවලට අදාළ නිලධාරීන් හට අපහසුවක්‌ ඇති නො වන පරිදි දෙන ලද උපදෙස්‌ පිළිපදිමින් ආරක්‌ෂිත ස්‌ථාන කරා යැම මෙවැනි කටයුත්තක දී සියලු පාර්ශ්වයන්ට පහසුවකි.

වඩා සාර්ථක පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද දිගුකාලීන පුරෝකතනවලින් යුතු වීම සුදුසු ය. ඉක්‌මනින් යාවත්කාලීන වන දත්ත හරහා දිගුකාලීන පුරෝකතන නිර්මාණයෙන් පහසුවෙන් ආපදාවට ප්‍රතිචාර දැක්‌වීම කළ හැකි ය. විශේෂයෙන්, ජනතාවට සිය දෛනික කටුයතු, උපද්‍රව ඇති විය හැකි කාල වකවානුව සලකා බලමින් සැලසුම් සහගත ව පවත්වාගැනීමට මෙවැනි පුරෝකතන වැදගත් වේ.

ඇතැම් උපද්‍රවවල ස්‌වභාවය අනුව ප්‍රතිචාර දැක්‌වීමට යම් කාලයක්‌ ගත වීමේ හැකියාව ඇත. මන්ද එවැනි උපද්‍රවවල ප්‍රතිඵල ඇති වීමට යම් කාලයක්‌ ගත වන බැවිනි. නියඟය යනු එකී වර්ගයේ උපද්‍රවයකි. එහෙත් නාය යැම්, ගංවතුර වැනි උපද්‍රවවලට ඊට සාපේක්‌ෂ ව ඉක්‌මනින් ප්‍රතිචාර දැක්‌විය යුතු ය. වේ. එසේ ම, ඕනෑ ම උපද්‍රවයක්‌ දරුණු ආපදා මට්‌ටමකින් මෙහා පවත්වාගැනීමට, පෙර සඳහන් කළ පරිදි දිගුකාලීන පුරෝකථන වැදගත් ය. අද වන විට මෙරට පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය තුළ යාවත්කාලීන වන තොරතුරු ඉක්‌මනින් ම ප්‍රජාව වෙත ළ`ගා කිරීමේ ක්‍රමවේද අදාළ අංශ ම`ගින් තවදුරටත් දියුණු කෙරෙමින් පවතී. මෙවැනි අවස්‌ථාවන්වල ඇතැම් ව්‍යාජ අනතුරු ඇඟවීම් හා තොරතුරු සමාජගත වීම ඉතා ගැටලුකාරී වන අතර අනතුරු ඇඟවීමේ නිසි බලධාරීන් වෙතින් ලැබෙන උපදෙස්‌ අනුව ක්‍රියාත්මක වීම වැදගත් වේ. මිට අමතර ව, තෝරාගත් කාලවකවානු තුළ දී පෙරහුරු පැවැත්වීම හරහා පෙර සඳහන් කළ කරුණු ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව අත්දැකිය හැකි ය. සැබෑවට ම ආපදා අවස්‌ථවක දී අදාළ ක්‍රියාකාරකම්වල අඩුපාඩු නිසා සිදු වන හානි මඟහරවාගැනීමට ද මින් හැකි වන අතර සියලු පාර්ශ්වවලට තම කාර්යය පිළිබඳව ලැබෙන යථා ලෝකයේ අත්දැකීම මෙවැනි පෙරහුරුවක දී ඉතා අගනේ ය.

ඇත්තෙන් ම ආපදා කළමනාකරණය උදෙසා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය එම තොරතුරු බෙදා හරින පාර්ශ්වවල පමණක්‌ නො ව මහජනතාවගේ සහයෝගයෙන් ද පවත්වාගත යුත්තක්‌ බව ඉහත කරුණු අනුව පැහැදිලි ය. අද වන විට පවතින හා තවදුරටත් දියුණු වන තාක්‌ෂණය හරහා තවදුරටත් ඵලදායි හා පහසුවෙන් ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හා ලබාගැනීමට හැකියාව ලැබෙන බව කිව හැකි ය. සාර්ථක පූර්ව අනතුරු ඇඟවීමක්‌ හරහා රටකට හෝ ප්‍රදේශයකට හෝ අහිමි වන ජීවිත හා දේපළ විශාල ගණනක්‌ හා විශාල මුදලක්‌ ඉතිරි කරගත හැකි අතර ලබාගන්නා තොරතුරු අනුව අනාගතයේ සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලි වඩා හොඳින් සැලසුම් කළ හැකි ය.

ලොව කිසිදු තැනක්‌ කුමක්‌ හෝ ආපදාවකින් වියුක්‌ත නො වන බැවින් ඕනෑ ම තැනකට වලංගු පොදු අවදානමක්‌ පාලනයට යොදාගන්නා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද ඵලදායි කරගැනීම සාමූහික වගකීමක්‌ වන අතර ඒ වගකීම උදෙසා තමන්ට නියමිත කාර්යය භාරය නිවැරැදි ව ඉටු කිරීමට අදිටන් කරගත යුතු බව ද මෙහි දී මතක්‌ කරගැනීම වැදගත් ය.

තනුර මධුශංක සිල්වා
MPhil (Reading) (Kelaniya), B.A. (Hons) inGeography (Kelaniya)