logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ග්‍රාම්‍ය මිථ්‍යාවන් හා HIV මර්දනය...



පාසල් විෂය නිර්දේශයට එච්. අයි. වී. (HIV -'ඒඩ්ස්‌' සඳහා හේතු වන මානව ප්‍රතිශක්‌ති ඌනතා වයිරසය) පිළිබ`ද තොරතුරු ඉතා පුළුල් ලෙස ඇතුළත් විය යුතු ය යන යෝජනාවක්‌ කලකට ඉහත දී පැනනැ`ගිණි. එය තවමත් සාර්ථකව සිදු ව නැති බව පෙනෙයි. ඇතැම් වත්මන් සිදුවීම් දෙස බලන කල ඊටත් අමතර ව පැවසිය හැක්‌කේ විෂය නිර්දේශයට ඒ තොරතුරු ඇතුළත් කිරීම පමණක්‌a ප්‍රමාණවත් නො වන බවයි. HIV පිළිබ`දව සෞඛ්‍යමය ඥනයක්‌ සැම රාජ්‍ය සේවකයකුට ම ලබා දිය යුතු ව ඇත. විශේෂයෙන් ම ගුරුවරුන්ටත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටත් ඒ දැනුම ලබා දිය යුතු ය.

මේ බැව් අවධාරණය කිරීමට ආසන්නතම නිමිත්ත වූයේ ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වූ එක්‌තරා ශෝකජනක පුවතකි. කණගාටුවක්‌ දැනෙන්නේ ඒ සිද්ධියට ගොදුරු වී පීඩා වි`දින මල් කැකුළු වන් දැරියන් තිදෙනා ගැන පමණක්‌ නො වේ. මේ අහිංසකාවියන් සමාජයෙන් කොන් කරන්නට කටයුතු කළ අමන ජනයා ගැන අනුකම්පාවක්‌ ද දැනෙයි. මක්‌නිසා ද යත් ඔවුන් අතර නූගත් ගැමියන් මෙන්ම උගත් යෑයි සිතිය හැකි බලධාරීන් ද සිටින බැවිනි.

අපේ රටේ ගැමියන් ගෙන් බොහෝ දෙනෙක්‌ සාමාන්‍යයෙන් සාක්‌ෂරතාව අතින් පහළ අය වෙති. මේ දරුවන් කොන් කළ ගැමියන් බහුතරය සාමාන්‍ය පෙළ සමත් මට්‌ටමට හෝ උගත් අය යෑයි සිතිය නොහැකි ය. එහෙත් අදාළ පාසලේ දී හා ගමේ දී ළමයින් කොන් කිරීමට උදව් කළ සමහර බලධාරීන්ට අධ්‍යාපන සහතික ඇතත් ඔවුනට මාධ්‍ය සාක්‌ෂරතාව හා සෞඛ්‍ය සාක්‍ෂරතාව නොමැති බව ඉ`දුරා ම කිව හැකි ය. සෞඛ්‍ය සාක්‍ෂරතාව යනු සෞඛ්‍යමය තොරතුරක්‌, සංදේශයක්‌ වටහාගෙන ඵලදායි ලෙස භාවිත කිරීමේ හැකියාවයි. InternationalJournal of health Policy and Management නම් ජර්නලයට Effects of Poor Healthliteracy on HIV Patients මැයෙන් නිබන්ධයක්‌ සපයන ඉතාලියේ Salerno විශ්වවිද්‍යාලයයේ Rocoo Palumbo පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සාක්‌ෂරතාව පහළ මට්‌ටමක පැවතීම නිහ`ඩ වසංගතයක්‌ බ`දු බවයි. සමාජයේ වෙසෙන අය HIV ගැන අනවබෝධයෙන් සිටීමෙන් ද පාඩු වන්නේ HIV රෝගීන්ට හා පොදුවේ සමාජයට බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

දඹුල්ලේ ගලේවෙල සිද්ධිය ගැන අවධානය යොමු කළ හොත්, මේ දියනියන් තිදෙනා කොන් කරන්නට මුල් ව ඇත්තේ ඔවුන්ගේ වැඩිමල් සහෝදරියට HIV ආසාදනය වී නැතිනම් ඒඩ්ස්‌ වැළ`දී ඇතැයි යන බොරු ආරංචියයි. මේ සහෝදරිය පිටරට
රැකියාවකට ගොස්‌ පැමිණි තැනැත්තියකි. අපේ දේශපාලකයන්ගේ වචනවලින් නම් ඇය රට විරුවෙකි. අපේ රට වෙනුවෙන් දහදිය හෙළා මුදල් ඉපයූ කෙනෙකි. ඇයට කිසියම් චර්ම රෝගයක්‌ වැළ`දී තිබූ අතර මේ ගමේ සිටින අය විශේෂයෙන් මේ පවුලේ හතුරන් එය අර්ථකතනය කර ඇත්තේ HIV ලෙස ය. කෙසේ වෙතත් අදාළ කාන්තාව දඹුල්ල සායනයකින් HIV පිළිබ`ද පරීක්‌ෂාවක්‌ ද සිදු කරගෙන ඇති අතර එහි දී හෙළි ව ඇත්තේ ඇයට HIV ආසාදනය වී නැති බවයි. එහෙත් ගමේ බකපණ්‌ඩිතයෝ ඒ වාර්තා නො පිළිගත් හ. මන්ද යත් මේ ගමේ සිටින අයට HIV හ`දුනාගන්නා පරීක්‌ෂණ වැදගත් නැත. ඔවුනට කෙනකු දෙස බැලූ විගස ම ඒ අයට ඇති රෝග හ`දුනාගැනීමේ මහා බලයක්‌ තිබෙනවා වන්නටත් හැකි සේ යෘ (එවැනි හැකියාවක්‌ ඇත්නම් ඔවුන් දඹුල්ලේ බෝක්‌කු යට, ගස්‌ යට හෝ දාං ලෑලි ළඟ කල් මර මරා ඕපාදූප ගෙතිය යුතු නැත). කෙසේ වෙතත් මේ පහත් ආකාරයේ ඕපාදූප නිසා සිදු වූයේ අහිංසක දැරියන් තිදෙනකුට පාසල් ගමන අහිමි වීම ය. පත්තරවල පළ වූ ආකාරයට නම් පාසලේ බලධාරීන් දරුවන්ට පාසල් එන්නට එපා කියා තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පාසල් බලධාරීන් චර්ම රෝගය සුව වන තුරු දැරියන්ට පාසල තහනම් කළ බවයි. මේ තහනම HIV දක්‌වා වර්ධනය වූයේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඒ දැරියන්ට HIV ආසාදනය වී ඇතැයි යන්න පට්‌ටපල් බොරුවකි. සැබැවින් ම ඒ අයට HIV ආසාදනය වී ඇතැයි කියා අපි මොහොතකට සිතමු. එසේ තිබුණත් ඔවුන්ගේ පාසල් ගමන නවත්වන්නට කාට වත් අයිතියක්‌ නැත.


අපේ ගම හා අසීමාගේ උස්‌බෙකිස්‌ථානය

අපේ ගම හෝ පොදුවේ ඕනෑ ම ගමක්‌ සුන්දර යෑයි බොහෝ දෙනෙක්‌ සිතති. එසේ ම සුන්දර ම මිනිසුන් සිටින්නේ ගමේ යෑයි බොහෝ දෙනෙක්‌ පවසති. මේ මල් කැකුළුවලට පාසල් අහිමි කෙරුණේ ද එවැනි සුන්දර ගමක ය. ගම්වල පවතින භෞතික සුන්දරත්වයට එපිටින් බොහෝ අසුන්දර දේ සිදු වේ. ගම්වල මිනිසුන්ට වඩා නාගරිකයන් හො`ද යෑයි මින් නො කියවෙයි. මිනිසුන්ට උරුම වූ පොදු දුබලතා මේ දෙපාර්ශ්වයේ ම ඇත. එහෙත් මෙවැනි සංවේදී ගැටලුවක දී නාගරිකයන් වඩාත් ධනාත්මක ව හැසිරෙන බව පෙනෙයි. එයට හේතුව නාගරිකයන්ගේ සෞඛ්‍ය සාක්‌ෂරතාව ඉහළ වීමත් ඔවුන්ට මෙවැනි ගැටලු ගැන අත්දැකීම් බහුල වීමත් ය.

සමාජ කැළල හා හුදෙකලාව මරණය ළ`ගා කරවයි

Social Isolation මැයෙන් Plus සඟරාවට ලිපියක්‌ ලියන David Artavia පෙන්වා දෙන්නේ HIV ආසාදිතයන් සමාජ කැළල හා හුදෙකලා කිරීම් නිසා දිවි නසාගැනීම්වලට බහුල ව යොමු වන බවයි. 2018 දී බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Marinne Harris මේ සම්බන්ධ අධ්‍යයනයක්‌ සිදු කළ අතර එහි දී පෙනී ගියේ හුදෙලකාව HIV ආසාදිතයන් සෞඛ්‍යමය වශයෙන් වඩාත් දුර්වල කිරීමට හේතු වන බවයි. මේ ස`දහා පුද්ගලයන් 856කගේ දත්ත භාවිත කොට තිබේ. මේ සියලු දෙනා ම HIV ආසාදිතයෝ වූ හ. ඔවුනට ලබා දී තිබූ ප්‍රශ්නාවලියකින් විමසන ලද දෙයක්‌ වූයේ හුදෙකලාවෙන් පීඩා වි`දින්නේ ද යන්නයි. හුදෙකලාව සිටීම හා ශාරීරික වේදනා හා ආතතිය වැනි දේ අතර සබ`දතාව විමසීමට මේ දත්ත භාවිත කරන ලදි. එවිට පෙනී ගියේ පේශි විඩාව, ආතතිය වැනි ගැටලු ඉහළ යැමත් හුදකලාවත් අතර සබ`දතාවක්‌ පවතින බවයි.


HIV ආසාදනය වීමට සම්බන්ධ සමාජ කැළල කතුනට වැඩි හානියක්‌ සිදු කරනවා

සමාජ කැළල (Social stigma) පුරුෂ හා ස්‌ත්‍රී දෙපාර්ශ්වයට ම හානි සිදු කරතත් ඒ හානිය වඩාත් ප්‍රබල ව සිදු වන්නේ ස්‌ත්‍රීන්ට ය. ඊට හේතුව ස්‌ත්‍රිය කෙරෙහි සමාජය තුළ පවතින ආකල්ප හා ජෛව විද්‍යාත්මක හේතු ය. Electronic Physician ජර්නලයේ පළ වූ HIVRelated Stigma and Discrimination - WhatWomen Say මැයෙන් වූ අධ්‍යයනය මේ අසාධාරණය හො`දින් පෙන්වා දෙයි. ඉරානයේ ටෙහෙරානයේ ඉරාන වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය Fatemeh Uskouie ඇතුළු පිරිස විසින් මේ අධ්‍යයනය සිදු කරන ලදි. මෙහි දී HIV ආසාදිත කතුන් 25 තෝරාගනු ලැබී ය. මේ අය ගෙන් ප්‍රශ්නාවලි හරහා දත්ත ලබා ගැනිණි. 2017 දී මේ අධ්‍යයනය සිදු කෙරෙන විට ඉරානයෙන් හමු ව තිබූ HIV ආසාදිතයන්ගේ ගණන 30,183ක්‌ විය. මේ අය අතරෙන් 34%ක ප්‍රතිශතයක්‌ කාන්තාවෝ වූ හ. අධ්‍යයනයට යොදාගත් අයට මූල්‍යමය ආධාරයක්‌ ද තිළිණ සේ ලබා දෙන ලදි. මේ අයගේ වයස සීමා 20 හා 49 අතර පරාසයේ පැවතිණි. මොවුන් අතරෙන් 10 දෙනෙක්‌ විවාහකයෝ වූ හ. මේ අතර දික්‌කසාද වූවෝ ද සිටිය හ. රෝගය ගැන සමාජය දැනුවත් වීමෙන් පසු ඇති වූ ගැටලු ගැන ද ප්‍රශ්නාවලියේ දී විමසන ලදි. එහි දී හෙළි වූයේ රෝගය ගැන කී විට බොහෝ දෙනකු සමාජයෙන් කොන් කරන ලද බවයි. ඇතැමුන් ගෙවල්වලින් ද පිටමං කරන ලදි. උත්සව අවස්‌ථාවක හෝ දයාබරිත මොහොතක හෝ මේ ආසාදිතයන් වෙත හාද්දක්‌ දීම/ ලබාගැනීම ප්‍රතික්‌ෂේප කළ අවස්‌ථා තිබිණි. උසස්‌ අධ්‍යාපනයක්‌ සහිත (පශ්චාත් උපාධි සහිත අය) අය පවා මෙලෙස ආසාදිතයන් කොන් කිරීමට පෙලඹුණු බව හෙළි විය. රැකියා අහිමි වීම ස`දහා ආසාදිත බව හේතු වූවා යෑයි කී කීප දෙනෙක්‌ ද නියෑදියේ වූ හ. එක්‌ කාන්තාවක්‌ ස`දහන් කර තිබුණේ කාර්යාලයේ දී තමා හදන තේ බීමට ද ඇතැම් අය අකැමැති බවයි. එසේ ම අසල්වැසියන් විසින් කොන් කරන ලද කාන්තාවෝ ද මේ අතර සිටිය හ. එක්‌ කතක දන්ත වෛද්‍යවරියකට තම HIV ආසාදනය ගැන කියා තිබූ අතර වෛද්‍යවරිය ඒ පුවත මුළු ගම පුරා ම පතුරුවා තිබිණි. සාම්පලයෙන් 100%ක්‌ ම කියා සිටියේ සමාජ කැළල කිසියම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වන බව හා එය හානිකර බවයි. නියෑදියෙන් 50%ක්‌ කියා සිටියේ HIV වෙනුවට පිළිකාවක්‌ හැදුණා නම් හො`ද බවයි. එසේ ස`දහන් කළේ එවිට මේ කැළල ඇති නො වන නිසා ය.


කළ යුත්තේ කොන් කිරීම නො ව උපදෙස්‌ හා සහයෝගය ලබා දීමයි

මහාචාර්ය Fatemeh Oskouie තම පර්යේෂණ හරහා ලබා දෙන එක්‌ පණිවිඩයක්‌ ඇත. එය නම් HIV ආසාදිතයන් නිග්‍රහයට බ`දුන් කරන අය සිදු කරන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්‌ බවයි. මන්ද යත් ඒ හැසිරීම නිසා වන්නේ රෝග පරීක්‌ෂා කරගැනීමට එන අය අධෛර්ය වීමයි. තමන්ට HIV ඇතැයි සැක සිතුණ හොත් වහා ම පරික්‌ෂා කොට වහා ම ප්‍රතිකාර ලද යුතු බව Fatemeh පෙන්වා දෙයි. සැබැවින් ම රෝගයක්‌ ඇත්නම් අප වහා ම ඊට ප්‍රතිකාර ලබන්නට යොමු විය යුතු ය.
 

සමාජය දැනගනී වි ය යන බියෙන් රෝග පරීක්‌ෂාවකට නො යා සිටීම නුසුදුසු ය. මීට කලකට ඉහත දී මේ ලේඛකයාගේ ගෙලෙහි පිළිකාවක්‌ හටගැනිණි. එය දිගින් දිගට ම වර්ධනය වුව ද මම එය වෛද්‍යවරයකුට පෙන්වීමට මැළි වීමී. මා මිත්‍ර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මාධ්‍ය නිලධාරී සුනෙත් බණ්‌ඩාර මහතා දිනක්‌ මගේ ගෙලෙහි වූ මේ පිළිකා ඉදිමුම දැක මට ද බැනවැදී වහා ම මා වෛද්‍යවරයකු වෙත යොමු කළේ ය. මගේ පිළිකාව සැත්කමකින් ඉවත් කළ වෛද්‍යවරයා කියා සිටියේ එය තවදුරටත් ඉවත් නො කොට තිබුණා නම් දරුණු අනතුරක්‌ වන්නට ඉඩ තිබූ බවයි. පිළිකාව විශාල සමාජ කැළලක්‌ නො වුව ද එය හරහා ද සමාජ කැළල ක්‍රියාත්මක වෙයි. පිළිකාවක්‌ ඇති බව සමාජය දැනගැනීම ගැන තැවෙමින් දිගට ම සිටියා නම් සමහර විට අද මා සිටින්නේ ලෙඩ ඇඳේ හෝ පොළොව යට ය. මට කීමට අවශ්‍ය වන්නේත් මහාචාර්ය Fatemeh Oskouie කී දෙයෙහි ම දිගුවකි. එනම් සමාජ කැළල ගැන සිතමින් හෝ ඔබ HIV වේ වා පිළිකා වේ වා වෙනත් ඕනෑ ම රෝගයක්‌ හෝ වේවා ප්‍රතිකාර වෙත යොමු වීම පමා නො කළ යුතු බවයි.

Journal of Health Population and Nutrition පළ වූ Implementing HIV Education මැයෙන් වූ අධ්‍යයනය පෙන්වා දෙන්නේ පාසල් තුළ HIV දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු අතර ඒ හරහා HIV ආසාදිතයන් කොන් කිරීම් ආදිය ද අවම කරවාගත හැකි බවයි. එ නම් නිවැරැදි තොරතුරු පාසල් වියේ දී ම ග්‍රහණය කරගැනීමෙන් රෝගයෙන් ආරක්‌ෂා වන්නට ලැබෙනවා මෙන්ම රෝගයට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසක්‌ ද බිහි වේ.

**********************************************************************************************


මා මලකි සිපගන්න...

 

උස්‌බෙක්‌ස්‌ථානයේ ප්‍රධාන වීදියක පසුගිය දා අසීමා නම් 16 හැවිරිදි තරුණියක දැන්වීම් පුවරුවක්‌ ද සහිත ව වාඩි වී සිටියා ය. ඒ දැන්වීම් පුවරුවෙහි වූයේ "මම HIV ආසාදිතයෙක්‌. මා සිපගන්න" යන්නයි.

මඟ යන මනුෂ්‍යයකු ඉ`දහිට ඇය සිපගනු ද දැකගත හැකි විය. සමහරු ඇයට මුදල් තිළිණ ද දී ගිය හ. අපේ ගමක විශේෂයෙන් ම අර දැරිවියන් කොන් කළ මහා සුන්දර ගමෙහි මේ දැරිය මේ පුවරුවත් සමඟ සිටියා නම් කුමක්‌ සිදු වනු ඇත් ද? අප සිතා බැලිය යුතු වන්නේ එයයි. සුන්දරත්වය යනු වෙල් එළිය හෝ ගස්‌වැල් හෝ වෙනත් ගොඩනැ`ගිලි හෝ පමණක්‌ නො වේ. ගමේ ආගමික සිද්ධස්‌ථාන වැඩියෙන් තිබූ පමණ්‌න් ද ඒ ගම නගරයට වඩා ආගමික ලැදි පිරිසක්‌ සිටින ස්‌ථානයක්‌ වන්නේ නැත. අසීමා දැරිය අපේ ගමක සිටියා නම් ඇයට මේ ප්‍රචාරය සිදු කරන්නට හැකි වන්නේ නැත. ඇයගේ භෂ්මාවශේෂ වත් හමු නො වන සේ ඇයට සලකන්නට අපේ ගම්වල මිනිසුන් පෙලඹෙනු ඇත. අසීමා මේ වන විට එක්‌සත් ජාතීන්ගේ UNICEF ආයතනයේ සහාය ලබමින් වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි ගමනකට මුල පුරා සිටී. ඇයගේ අරමුණ HIV කෙරෙහි ඇති සමාජ කැළල අවම කරවීමයි.

පහත දැක්‌වෙන්නේ ඇය මාධ්‍යයට පැවසූ කතාවයි.

"මා ඉපදුණේ හත් මාසේ - අඩු දරුවකු විදිහටයි. මා වැඩි කල් ජීවත් නො වන බව වෛද්‍යවරුන් අම්මාට කියා තිබුණා. එනිසා අම්මා මා රෝහලේ දමලා පැනල ගියා. ආච්චියි මා හදාගත්තේ. අවුරුදු 9 දී විතර මට HIV බව දැනගන්න ලැබුණා. මාව දැමුවේ වැඩිහිටියනුත් ඉන්න වාට්‌ටුවකට. ඒ අය මා බය කළා මං ඉක්‌මනට මැරෙයි කියල කිව්වා. රෝහලෙන් ආවත් මං පාසල් ගියේ නැහැ. මේ අතරේ දී තමයි UNICEF මධ්‍යස්‌ථානයකට යන්න ලැබුණේ. එතැනට මං යද්දී මගේ වයසේ ම ගැහැනු ළමයි ටිකක්‌ සැරසිලි වගයක්‌ කරමින් හිටියා. ඒ අය හරි සතුටින් හිටියේ. පස්‌සේ මං දැනගත්තා එයාලත් ආසාදිතයෝ කියල. මට පුදුම හිතුණ ඉක්‌මනට මැරෙනව නම් මෙහෙම සතුටෙන් ඉන්නෙ කොහොම ද කියලා. HIV ආසාදිතයකු විදියට මට මගේ අනන්‍යතාව සහිත ව, හො`ද පිළිගැනීමක්‌ සහිත ව ජීවත් වෙන්නෙ කොහොම ද කියල ඒ මධ්‍යස්‌ථානයේ දී ඉගෙනගන්න හැකි වුණා. පසුව මම UNICEFහි ප්‍රචාරක කටයුතුවලටත් සහාය වුණා. දැන් මේ කරන්නෙත් ජනතාව දැනුවත් කිරීමක්‌. HIV වැළඳී තියන කෙනකුට ඉතා පහසුයි අන් අය දැනුවත් කරන්න. දැන් මෙතන පසු කරගෙන යන සැබෑ මිනිස්‌සු මා ළග නතර වෙලා මා සිපගන්නවා. සමහරු ආශීර්වාද කරනවා. සුළු පිරිසක්‌ පුදුමයෙන් බලලා ඉවතට යනවා. මට ඒ අය ගැන දුකයි. ඒ අයගේ බයට හේතුව නොදැනුවත්කම නමැති අ`දුරයි."

මෙවැනි නොදැනුවත්කමේ අ`දුරට ගොදුරු ව සිටින අය ශ්‍රී ලංකාවේ ද ඕනෑ තරම් සිටිති. උස්‌බෙකිස්‌ථානය යනු අපේ තරම් වත් ඉහළ සෞඛ්‍ය සාක්‍ෂරතාවක්‌ පවතින රටක්‌ නො වේ. එහි HIV පැතිර යැම අතිශයින් ශීඝ්‍ර ය. HIV පැතිර යැම වැළැක්‌වීම ස`දහා උපත්පාලන කොපු බෙදන ස්‌වෙච්ඡා සේවකයන් සිරගෙයි ලෑමට 2016 දක්‌වා එරට පාලනය කළ ඉස්‌ලාම් කරිමොව් කටයුතු කළේ ය. අපේ රටේ ඒඩ්ස්‌ රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා ඉහළ පහසුකම් ලබා දෙයි. බොහෝ රටවල අපේ රටේ මෙන් උසස්‌ සත්කාර සේවා ලබා දෙන්නේ ද නැත. එසේ වුවත් තවමත් අපේ රටේ පොදු ජනයාගේ HIV පිළිබ`ද ආකල්ප උසස්‌ තත්ත්වයකට පත් ව නැත.

ආචාර්ය මනෝඡ් ප්‍රසන්න රත්නායක