logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


මේ කාලයේ වැසි ඇදහැළීම අසාමාන්‍ය ම නැහැ



පසුගිය අගෝස්‌තු සහ ගෙවී ගිය සැප්තැම්බර් මාසවල බහුතර දින ගණනාවක්‌ තුළ අප දිවයිනේ විවිධ පළාත්වලින් තද වැසි වාර්තා විය. සමහර ප්‍රදේශවලට ඇද හැළුණු මිලි මීටර් 100 ඉක්‌මවූ වර්ෂාව ගංවතුර ආපදා ඇතුළු ආපදා ගණනාවකට හේතු විය. වැසි සමඟ විටින් විට හමා ගිය ප්‍රචණ්‌ඩ සුළං ගහකොළ කඩා බිම හෙළා තවත් ආපදා රැසක්‌ සිදු කළ බවට ජනමාධ්‍ය අපව දැනුවත් කළේ ය. මේ සටහන තබන සැප්තැම්බර් මස 25 වැනි දා සවස වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව 80,000 (අසූ දහස) ඉක්‌මවා ඇත.

බොහෝ වසරවල අගෝස්‌තු සහ සැප්තැම්බර් මාසවල වැඩි දින ගණනාවක්‌ තුළ තරමක යහපත් කාලගුණ තත්ත්වයක්‌ පැවතීම සාමාන්‍ය වුව ද, අවශ්‍යතා සම්පූර්ණ වූවා නම් වර්ෂාව ඇද හැළීම ද සාමාන්‍ය තත්ත්වයකි.

අගෝස්‌තු - සැප්තැම්බර් කාලය අප රටේ නිරිතදිග මෝසම් සමයේ අවසාන වකවානුව වන අතර මේ මෝසම් සෘතුවේ ආරම්භක කාලයේ, එනම් මැයි - ජූලි කාල සීමාවේ, වැඩි වර්ෂාපතනයක්‌ ද මෝසමේ අවසාන භාගයේ අඩු වර්ෂාපතනයක්‌ ද සාමාන්‍යයෙන් වාර්තා වෙයි. එහෙත් වර්ෂාපතනයේ මෙවර විෂමතාවන් පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ නිරිතදිග මෝසම් සමයේ දක්‌ෂිණ අර්ධ ගෝලයේ මැඩගස්‌කර් (Madagascar) දූපත් ප්‍රදේශවල සිට හමා විත් බෙංගාල බොක්‌ක හරහා හමා යන සුළං ප්‍රවාහවල වේගයේ සිදු වන වෙනස්‌කම් ය. මේ මෝසම් සමය ආරම්භයේ දී දිවයින හරහා වර්ධනය වන පීඩන අනුක්‍රමනයන් සමඟින් ම නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහ වේගවත් වීම නිසා සමුදුර පෙදෙස්‌වල සිට විශාල ජලවාෂ්ප ස්‌කන්ධයක්‌ රැගෙන ඒමේ ප්‍රතිඵලය ලෙස වර්ෂාපතනය සැලකිය යුතු තරමින් තීව්‍ර වන නමුදු මේ සමයේ අවසන් වකවානුව වන විට සුළං ධාරාවල වේගය දුර්වල වී වලාකුළු වර්ධනය අඩු වී මඳ වැසි සහිත හෝ වැසි රහිත හෝ කාලගුණ තත්ත්වයක්‌ පවතී.

මෙහි දී අවධාරණය කළ යුතු වැදගත් කරුණක්‌ වන්නේ ඉහත සඳහන් වූයේ නිරිතදිග මෝසම් (South West Monsoon) සමයේ සාමාන්‍ය කාලගුණ රටාව වුව ද, විවිධ ප්‍රාදේශීය සහ ගෝලීය සාධකවල බලපෑම යටතේ මෝසම් කාලගුණ රටාව සැලකිය යුතු වෙනස්‌කම්වලට බඳුන් වන බව ය.

ලෝක ගෝලයේ විවිධ පරිමාණවල සහ විවිධ ස්‌ථානවල කාලගුණ රටා සහ පද්ධති මෙහි දී ඉතා වැදගත් සේ සැලකේ.

ලෝකයේ ප්‍රධාන සාගර තුන වන ඉන්දියානු සාගරය (Indian Ocean), පැසිෆික්‌ සාගරය (Pacific Ocean) සහ අත්ලාන්තික්‌ සාගරය (Atlantic Ocean) ලොව කාලගුණ රටාවන් පාලනය කරන ප්‍රධාන ශක්‌ති මූලාශ්‍ර (energysource) බව ඔබ දන්නවා ඇත. පැසිෆික්‌ සමුදුරු පෘෂ්ඨයේ උණුසුම වසර පහකට, හයකට වරක්‌ සාමාන්‍ය මට්‌ටම් ඉක්‌මවා ඉහළ යැම නිසා වර්ධනය වන විශේෂ තත්ත්වය එල්නිනෝ ආචරණය (ELNino Effect) ලෙස හඳුන්වනු ලැබේ. කාලගුණය ක්‌ෂේත්‍රයේ එල්නිනෝ ආචරණය ඉතා වැදගත් පද්ධතියක්‌ සේ සලකනු ලබන්නේ තරමක්‌ ප්‍රබල එල්නිනෝවක්‌ වර්ධනය වන අවස්‌ථාවල ලෝක ගෝලයේ සුළං සංසරණය (global ciruculation) උඩු යටිකුරු කිරීමට එය හේතු වන නිසා ය. මේ නිසා එල්නිනෝවක්‌ පැසිෆික්‌ සමුදුර අවට ප්‍රදේශවල පමණක්‌ නො ව, මුළු ලෝකයේ ම සාමාන්‍ය කාලගුණ තත්ත්වවල සැලකිය යුතු විචල්‍යයන්වලට හේතුකාරක වේ.

මේ වසරේ (2019) ප්‍රථම භාගයේ තරමක්‌ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක බලපෑම ඇති වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කල් තියා ම ලෝකයට දැක්‌වූ බව ඔබ සැමට මතක ඇත. ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම් වැසි දුර්වල කිරීමට එල්නිනෝ ආචරණ හේතු වන බව මෙහි කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත. මේ වසරේ (2019) අප දිවයිනේ නිරිතදිග මෝසම් සමයේ ආරම්භක සමය දුර්වල වීමට ද එය හේතු වන්නට ඇත.

බොහෝ අය නො දැන සිටිය ද, ලොව වටා සුළං ප්‍රවාහ අඛණ්‌ඩව සංසරණය වන්නේ ය. ඊට හේතුව ලොව පුරා වර්ධනය වන මහා පරිමාණයේ කාලගුණ පද්ධති (meteorogical systems) වලට අවශ්‍ය ශක්‌තිය සපයන සුළං ධාරා විශාල දුරකතර ගොවා හඹා යැමයි. පැසිෆික් සහ අත්ලාන්තික්‌ සාගරවල වර්ධනය වන සුළිසුළං පද්ධති වඩ වඩාත් තීව්‍ර වන විට ඒ සඳහා අවශ්‍ය මහා ශක්‌තිය සැපයීමට හමන සුළං ප්‍රවාහ කිලෝමීටර් දස දහස්‌ ගණන් මඟ ගෙවා හඹා යැම සාමාන්‍ය තත්ත්වයයි. අගෝස්‌තු - සැප්තැම්බර් වකවානුවේ වර්ධනය වන සුළිසුළං වෙතට ශක්‌තිය සැපයීමට ශ්‍රී ලංකාව ප්‍රදේශයේ මෝසම් සුළං ප්‍රවාහවල දායකත්වය ලැබීම ද සාමාන්‍ය තත්ත්වයකි.

පසුගිය අගෝස්‌තු මාසයේ අවසන් දිනවල අත්ලාන්තික්‌ සාගරයේ වර්ධනය වූ අති ප්‍රබල ඩෝරියන් (Dorian) සුළි සුළඟ සහ සැප්තැම්බර් ප්‍රථම සතියේ පැසිෆික් සාගරයේ වර්ධනය වූ පැසියා (Fazia) සුළි සුළඟ පිළිබඳව ඔබ ජනමාධ්‍ය මඟින් දැනුවත් වන්නට ඇත. එම පද්ධති දෙක ම ශ්‍රී ලංකාව හරහා හමන මෝසම් සුළං ප්‍රවාහ වේගවත් කිරීමට හේතු වූ නිසා ම නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය තීව්‍ර වීම අප රටේ ප්‍රදේශ ගණනාවකට ම සරු වැසි අස්‌වැන්නක්‌ ලැබීමට හේතු විය. වැසිවල තීව්‍රතාව ඉහළ යැම මෙන්ම සුළං ප්‍රවාහවල වේගය පැයට කිලෝමීටර් 80, 90 තරම් ප්‍රබල වීමේ ප්‍රතිඵල ලෙස අපට විවිධ ස්‌වාභාවික විපත්වලට මුහුණ දීමට සිදු විය.

පසුගිය අගෝස්‌තු මාසයේ මාසික වර්ෂාපතනය සාමාන්‍ය අගය ඉක්‌මවා ගිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සැප්තැම්බර් මාසයේ වුව ද තත්ත්වය එසේ ම වනු ඇත. (එය තීරණය කිරීමට මේ සැප්තැම්බර් මස අවසන් දිනය දක්‌වා නිරීක්‌ෂණය කරන ලද කාලගුණ දත්ත විශ්ලේෂණය කළ යුතු ය).

ලොව ඕනෑ ම ස්‌ථානයක හෝ ප්‍රදේශයක හෝ කාලගුණ තත්ත්වය වර්ධනය කිරීමේ දී සුළං ප්‍රවාහවල දිශාව සහ වේගය මෙන්ම එම සුළංවල අභිසාරීතාව (convergence) සහ අපසාරීතාව (divergence) ඉතා වැදගත් සාධකයන් වන්නේ ය. විවිධ දිශාවලින් හමා එන සුළං අභිසාරී වන ප්‍රදේශ ඇත්නම් එවන් ප්‍රදේශවල වර්ෂාව සහ අකුණු සහිත ධාරානිපාත වැසි ඇති වීම සාමාන්‍ය තත්ත්වයයි. සුළි සුළඟක හෝ පීඩන අවපාතයක හෝ බලපෑමක්‌ නො තිබුණ ද සුළං ධාරා අභිසාරී වන වාතාවරණවල වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ පැවතීමේ සම්භාවිතාව ඉහළ ය.

සැප්තැම්බර් තෙවැනි සහ සතරවැනි සතියේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට වැසි ඇදහැළීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව අවට වායුගෝලීය සුළං ධාරාවල අභිසාරී වන තත්ත්වයක්‌ උදා වීම ය.

නිරිතදිග මෝසම් සෘතුවේ අවසන් දින කිහිපය ගෙවී යමින් තිබේ. දෙවැනි අන්තර් මෝසම් තත්ත්වය අද හෙට ම දිවයින හා යාබද ප්‍රදේශයේ වර්ධනය වනු ඇත. එම සෘතුවේ දී අපට මුහුණ පාන්නට සිදු වන ආපදාකාරී තත්ත්වයන් පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් වී ඇත. (ඒ සඳහා පසුගිය සතියේ විදුසරහි පළ වූ ලිපිය ද කියවන්න).
 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ, විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ, බාහිර කථිකාචාර්ය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‌ෂ

කේ. ආර්. අභයසිංහ