logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යාත්මක පදනමකින් සිදු වන අපරාධ විමර්ශන ක්‍රියාවලිය

 


රාජ්‍යයක්‌ තුළ පුද්ගලයකුට තම ජීවිතය නිදහසේ පවත්වාගෙන යැමට නම් එකී රාජ්‍යයේ නීතිය හා සාමය සුරක්ෂිත වී තිබීම අනිවාර්ය කරුණක්‌ වන නමුත් ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන වැරැදි මඟින් මීට බලපෑම් එල්ල වේ. පුද්ගලයන් විසින් මේ සිදු කෙරෙන වැරැදි නොයෙක්‌ ලෙස වර්ග කෙරෙන අතර දරුණු ගණයේ වැරැදි, අපරාධ වැරැදි යටතට ගැනේ. බොහෝ අවස්‌ථාවල මේ අපරාධ සැලසුම් සහගත ඒවා වන අතර එම අපරාධ හෙළි කරගැනීම පිණිස සුක්ෂම විමර්ශන මෙහෙයුම් දියත් කිරීමට පොලිසියට සිදු වේ. මූලික ව ම කොට්‌ඨාශ භාර පොලිස්‌ නිලධාරීන් සමඟ එක්‌ ව පොලිස්‌ අපරාධ ස්‌ථාන පරීක්ෂණ නිලධාරීන් (Scene of CrimeOfficers - SOCO) විසින් මේ විමර්ශන සඳහා කටයුතු සිදු කෙරෙයි.

විමර්ශනයක ප්‍රධාන අරමුණ වන්නේ තමා වෙතට ලැබෙන පැමිණිලි සම්බන්ධ ව විමර්ශනය කර අදාළ සාක්ෂි එක්‌රැස්‌ කරගැනීමයි. අපරාධයක්‌ සම්බන්ධ තොරතුරු පොලිසිය වෙත ලබා දීම පුද්ගලයකු සතු වගකීමක්‌ වේ.

පොලිස්‌ විමර්ශනයක දී පොලිසිය සතු බලතල හා කාර්යභාරයන්, අපරාධ නඩු විධාන සංග්‍රහ ප්‍රකාර ව ලබා දී ඇත. ඒ තුළ සංඥ වැරැදි සම්බන්ධ ව වරෙන්තු නොමැති ව අත්අඩංගුවට ගැනීමටත්, පුද්ගලයකු ගෙන්වා වාචික ප්‍රකාශ ලබාගැනීමටත් පොලිසියට බලතල පවතී. එමෙන් ම විමර්ශන අතරතුර අදාළ සැකකාර පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණවලට ලක්‌ කිරීමට ද හැකියාව පවතී. මෙහි දී පුද්ගලයකුගේ රුධිරය, කෙළ, මුත්‍ර, හිසකෙස්‌ හෝ නියපොතු සාම්පල ලබාගැනීම, සැකකරුගේ අත් අකුරු ආදිය සන්සන්දනය කිරීමට ද පොලිසියට හැකි වේ.

අදාළ පොලිස්‌ විමර්ශන අතරතුර අදාළ විමර්ශන සම්බන්ධ ව මහෙස්‌ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමට පොලීසිය බැඳී සිටී.



පොලිස්‌ විමර්ශන කාර්යය


අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කරනු ලබන්නේ අපරාධයක්‌ සම්බන්ධ ව මුල් තොරතුරක්‌ ලැබීමෙන් අනතුරුව ය. පොලිස්‌ කොට්‌ඨාසය භාර නිලධාරියා විසින් අදාළ පැමිණිලි පාර්ශ්වය විසින් ලබා දෙනු ලබන තොරතුරු, සටහන් පොතක අප්‍රමාදී ව සහ විධිමත් ලෙස සටහන් කරනු ලබයි. ඉන් පසු මුල් තොරතුරට අදාළ ව සුදුසු පර්යේෂණ කණ්‌ඩායම තෝරාගන්නා අතර අදාළ අපරාධයේ ස්‌වභාවය අනුව ඒ සඳහා විශේෂඥ දැනුමක්‌ සහිත නිලධාරීන් මේ කණ්‌ඩායමට ඇතුළු කරගනු ලබයි. අපරාධ ස්‌ථාන පරීක්ෂණ නිලධාරීන්ට අමතර ව මේ කණ්‌ඩායම සඳහා රජයේ රස පරීක්ෂක , අධිකරණ වෛද්‍ය නිලධාරී, දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරී සහ පොලිස්‌ ඡායාරූප ශිල්පියකු ද ඇතුළත් වේ.

අපරාධයේ ස්‌වභාවයට අනුව අදාළ අපරාධ ස්‌ථානය අවට ප්‍රදේශය සුපරික්ෂාවට ලක්‌ කෙරෙන අතර සැකකටයුතු ලෙස අපරාධ ස්‌ථානයෙන් ඉවත් වන පුද්ගලයන්, වාහන ආදිය පිළිබඳ ව ද සැලකිලිමත් වේ. ඒ සමඟ ම එම ප්‍රදේශය තුළ දෙවැනි අපරාධයක්‌ සිදු කිරීමට සැලසුම් කර පවතී දැයි යන්න සොයා බලනු ලැබේ. මූලික ව ම පර්යේෂණයන්ට සහභාගී වන නිලධාරීන්ගේ සහ අපරාධ ස්‌ථානයේ ආරක්ෂාව වැදගත් අතර විමර්ශනයට පෙර අදාළ අපරාධ ස්‌ථානයේ ගැවසිය හැකි ආයුධ සන්නද්ධ පුද්ගලයන්, ජීව විද්‍යාත්මක අවි, රසායනික ප්‍රහාර, විකිරණශීලී ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අනාරක්ෂsත තත්ත්වයන් ගෙන් එම ස්‌ථානය තොර බව තහවුරු කරගැනෙයි. බෝම්බ හෝ වෙනත් පිපිරීමක්‌ සම්බන්ධ අපරාධයක්‌ නම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සම්බන්ධ විශේෂඥ සහාය ලබාගැනීම අනිවාර්ය වේ.

අපරාධ පර්යේෂණයක දී අපරාධය සිදු වූ ස්‌ථානයේ පවතින හෝඩුවාවන්වලට හානියක්‌ නො වන ලෙස ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බැවින් අදාළ අපරාධ ස්‌ථානය වටා සීමා ඇති කර පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළු වීමට ඉඩ ලබා නො දේ.

අපරාධයක්‌ සිදු වන අවස්‌ථාවක එම ස්‌ථානයේ බොහෝ විට පුද්ගලයන්ගේ ජීවිත ගලවාගැනීම, සැකකරුවන් අල්ලාගැනීම ආදි උත්සාහයන්හි පුද්ගලයන් නිරත විය හැකි අතර මෙහි දී හෝඩුවාවන් විනාශ වීමට හෝ වෙනස්‌ වීමට හෝ ඉඩ පවතී. මුල් තොරතුරු ලබාගැනීමේ දී මේ වෙනස්‌වීම් පිළිබඳ ව ද හැකි තාක්‌ තොරතුරු ලබාගැනීමට කටයුතු කෙරෙයි. ඉන් පසු මූලික සෝදිසියක නිරත වීමෙන්, හමු වන සාක්ෂි සටහන් කරගනු ලබයි. ඡායාරූප ගැනීම, මූලික පරීක්ෂණ සිදු කිරීම, සංරක්ෂණය සඳහා යොමු කිරීම ආදිය ඉන් පසු සිදු කෙරෙයි. මූලික විමර්ශනයකින් අනතුරු ව එක්‌රැස්‌ කරගත් තොරතුරු පාදක කරගනිමින් ඉදිරියේ දී සිද්ධිය විභාග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන අතර විධිමත් ලෙස පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මේ මූලික පරීක්ෂණ ඉතා වැදගත් වේ.
 

 


අපරාධය සිදු වූ ස්‌ථානය සෝදිසි කිරීම

අපරාධ විමර්ශනයක දී වැදගත් වන මූලධර්මයක්‌ වන්නේ ලොකාඩ් මූලධර්මයයි (Locard'sPrinciple). මේ මූලධර්මය මඟින් පවසන්නේ එකිනෙක ගැටෙන ඕනෑ ම වස්‌තූන් දෙකක්‌ අතර පදාර්ථය හුවමාරු වීමක්‌ ද සිදු වන බවයි. එනම් සලකුණු ඉතිරි කිරීමකින් තොර ව අපරාධයක්‌ සිදු කිරීම යනු සිදු කළ නො හැක්‌කක්‌ බව මෙහි දී පැහැදිලි කෙරේ.

අපරාධ ස්‌ථානයේ පවතින ඕනෑ ම යමක්‌ සාක්ෂියක්‌ සේ සැලකිය හැකි අතර මේ සාක්ෂි ප්‍රධාන ලෙස වර්ග කිහිපයකට බෙදනු ලැබේ.



* ජෛව විද්‍යාත්මක සාක්ෂි - ජීවී දේහයකින් ව්‍යqත්පන්න සාක්ෂි එනම් දේහ තරල, දේහ කොටස්‌, ශාක කොටස්‌, ක්ශුද්‍ර ජීවීන් ආදින්

* රටාවන් සහ හැඩතල හෝ විවිධ වස්‌තූන් ආශ්‍රිත සාක්ෂි

* පියවි ඇසට නො පෙනෙන නමුත් සියුම් ලෙස පිරික්‌සීම මඟින් අනාවරණය කරගත යුතු සාක්ෂි

උදා : - පා සටහන්, ඇඟිලි සලකුණු

* භෞතික සාක්ෂි

අපරාධ ස්‌ථානයක්‌ සෝදිසි කෙරෙන ක්‍රමවේද කිහිපයක්‌ පවතින අතර මූලික ක්‍රමවේද 4ක්‌ පවතී.

** සමාන්තර පටු තීර ඔස්‌සේ සිදු කෙරෙන සෝදිස
ි එනම් එක ම දිශාවකට අපරාධ ස්‌ථානයේ විභේදනය කරගත් සමාන්තර පටු තීරයන් ඔස්‌සේ ඉදිරියට ගමන් කරමින් සිදු කරන සෝදිසි (Lane or Stripsearch)

** ජාලක සෝදිසි එනම් එක්‌ දිශාවක්‌ ඔස්‌සේ එක දිගට ගමන් කරන අතර ඉන්පසු ඊට ලම්බක දිශාවකට හැරී ගමන් කරමින් සිදු කෙරෙන සෝදිසි (Grid search)
 

 

 

 

 


** කලාප සෝදිසි එනම් අදාළ ස්‌ථානය කුඩා කලාප කිහිපයකට වෙන් කර සෝදිසි කිරීම සිදු කරන අතර මෙහි දී මේ කලාප කුඩා වන තරමට සෝදිසි මෙහෙයුමේ නිරවද්‍යතාව වැඩි වේ. කාමරයක්‌ වැනි ස්‌ථානයක්‌ නම් සිරස්‌ අතට ද කලාප වෙන් කරනු ලබයි. බිත්තියක හෝ සිවිලිමක හෝ පැවතිය හැකි වෙඩි උණ්‌ඩ සලකුණු, ලේ පැල්ලම් ආදි ඇතුළු සිරස්‌ ව විසිරී ඇති සාක්ෂි මෙමඟින් සෝදිසි කෙරෙයි (Zone search).

** කලාප සෝදිසි කිරීමෙහි තවත් ක්‍රමයක්‌ ලෙස අතිඡාදිත කලාප සෝදිසි ක්‍රමය ද භාවිත කෙරෙයි. එනම් මෙහි දී විමර්ශන කණ්‌ඩායමේ නායකයා විසින් තම නිලධාරීන්ට ලබා දෙනු ලබන උපදෙස්‌ අනුව ඔවුහු විවිධ ස්‌ථානවල සෝදිසි කටයුතු සිදු කරති.


** සර්පිලාකාර පථයක සිදු කරන සෝදිසි එනම් කේන්ද්‍රයක සිට පිටතට සර්පිලාකාර පථයක්‌ ඔස්‌සේ අපරාධ ස්‌ථානය ආවරණය වන පරිදි සිදු කරන සෝදිසි මෙහෙයුම් මෙලෙස හඳුන්වයි (Spiral search)

අපරාධ ස්‌ථානයේ හමු වන සැම සාක්ෂියකට ම අදාළ අංකයක්‌ ඇති අතර එම අංකය ඡායාරූපකරණයේ දී අදාළ සාක්ෂිය අසල තබනු ලැබේ. ඊට අමතර ව එම සාක්ෂියට අදාළ විස්‌තරය ද එම අංකය යටතේ සටහන් කරගනු ලැබේ.

අපරාධ ස්‌ථානයක පවතින රුධිරය යනු ඉතා වැදගත් සාක්ෂියක්‌ වන අතර සිද්ධිය වටා වූ කරුණු බොහොමයක්‌ මෙමඟින් අනාවරණය කරගැනීමට හැකියාව ඇත. මේ සම්බන්ධ විද්‍යාව ඉතා පැරැණි වන අතර පසුකාලීන ව ගණිත සංකල්ප ආදිය ද මීට එකතු විණි. විද්‍යාවේ දියුණුවත් සමඟ මේ හැකියාව තවදුරටත් වර්ධනය වූ අතර DNA පරීක්‌ෂණ ආදිය මඟින් පුද්ගල අනන්‍යතාව නිවැරැදි ව ම ලබාගැනීමේ හැකියාව පවතී.

ගලා යන රුධිරය, විසිරුණු රුධිර පැල්ලම් සහ වියළි රුධිරය මෙන් ම ඉවත් කරන ලද රුධිර පැල්ලම් ආදිය ද විමර්ශනයක දී විමර්ශන නිලධාරීන් විසින් අවධානයට ලක්‌ කරනු ලබයි. ලේ පැල්ලමේ ස්‌වභාවය සහ මෘත ශරීරය පිහිටන ආකාරය අනුව තුවාලය සිදු වූයේ කුමන ක්‍රමයකට ද, පහර දීමක්‌ නම් කුමන කෝණයකින් පහර දීම සිදු වූයේ ද යන්න පවා නිර්ණය කිරීමේ හැකියාව පවතී.

අපරාධ ස්‌ථානයේ රුධිරය ආදි දේහ තරල පවතී දැයි යන්න තහවුරු කරගැනීම සඳහා බොහෝ විට රසායනික පරීක්ෂණ සඳහා සාම්පලය යොමු කරනු ලැබේ. දේහ තරල විසිරී ඇති ස්‌ථානයක්‌ නම් අදාළ රසායනික ද්‍රවණ මිශ්‍ර කර අපරාධ ස්‌ථානයට විසිරී යන ලෙස ඉසිනු ලැබේ. එක්‌ එක්‌ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම මඟින් රුධිරය, ඛේටය, ශුක්‍රාණු, යෝනි ස්‍රාවයන් ආදි දේහ තරල අදාළ රසායනික ප්‍රතික්‍රියාවලින් ලබා දෙන වර්ණය අනුව වෙන වෙන ම හඳුනාගැනීමේ හැකියාව පවතී. සෝදා ඉවත් කළ රුධිර පැල්ලම් පවා මෙමඟින් හඳුනාගැනීමේ හැකියාව පවතී. මීට අමතරව රුධිරය ඇතුළු දේහ තරල හඳුනාගැනීම සඳහා ආගන් අයන ලේසර්, UV, IR, නිල්, කහ සහ කොළ වර්ණ ආදි ආලෝක කදම්බ ඇතුළු විවිධ ආලෝක ප්‍රභවයන් ද භාවිත කෙරෙයි.

විමර්ශනයක දී, අපරාධ ස්‌ථානයක පවතින ඇඟිලි සලකුණු සම්බන්ධ ව ඉහළ අවධානයක්‌ යොමු කෙරෙන අතර පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි කරගැනීමට මෙය හොඳ මඟකි. මෙහි දී පැහැදිලි ව නො පෙනෙන ඇඟිලි සලකුණු පැහැදිලි ව මතු කරගැනීමට Fingerprint powder ස්‌වල්පයක්‌ දමා සිනිඳු පිස්‌නාව මඟින් ඉතා ම මෘදු ලෙස පිස දමනු ලැබේ. ඉන් පසු ඡායාරූපගත කිරීම ආදිය සිදු කෙරෙයි. පර්යේෂණාගාරයක්‌ තුළ දී නම් රසායන ද්‍රව්‍ය භාවිත කිරීම මඟින් ද ඇඟිලි සලකුණු මතු කරගැනීම සිදු කෙරෙයි. මෙහි දී විවිධ රසායන ද්‍රව්‍ය මඟින් කඩදාසි, ලී, බිත්ති මතුපිට, වීදුරු, ලෝහ මතුපිට, තෙත් මතුපිට ආදියෙහි ඇති ඇඟිලි සලකුණු මතු කරගැනීමට හැකියාව පවතී.

ඒ සමඟ ම මේ මතුපිටින් නො පෙනෙන ඇඟිලි සලකුණු නිරීක්ෂණයන් සඳහා ද රසායන ද්‍රව්‍යයන්ට අමතර ව ආලෝක ප්‍රභවයන් භාවිත කරනු ලබයි.

මේ සෝදිසි කටයුතුවල දී විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන්ගේ සහාය ලබාගැනීම ද අවශ්‍ය අවස්‌ථාවන්හි දී සිදු කරනු ලබයි.
 

 


අපරාධ ස්‌ථානයක දළ සටහන් සකස්‌ කිරීම, ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම සහ දත්ත ප්‍රලේඛනය

 

දළ සටහන් සකස්‌ කිරීමේ දී එම ස්‌ථානයේ පවතින සැකකටයුතු දැ මෙන් ම හඳුනාගැනෙන සියලු ම වස්‌තූන් ද යාබද ව පවතින ගොඩනැඟිලි පාරවල් සහ ගස්‌ ආදිය ද පරිමාණයකට අනුකූල ව සටහන් කරනු ලබයි. අදාළ වස්‌තූන්වල දිග, පළල ආදි අවකාශමය දත්ත (Spatial Data) සහ අදාළ වස්‌තූන් අතර දුර ආදි අන්තර් සබඳතාවන් පිළිබඳ දත්තයන් ද (Inter-relation-ships) සටහනට ඇතුළත් කරනු ලබයි. දළ සටහන් ඇඳීමේ නව ක්‍රමවේදයක්‌ ලෙස තාක්ෂණික ලෙස දියුණු ලේසර් ස්‌කෑන් යන්ත්‍ර යොදාගනු ලැබේ. අදාළ ස්‌ථානය ලේසර් කිරණ ආධාරයෙන් සියුම් ලෙස පිරික්‌සීමෙන් පසු, සටහනක්‌ ලබා දීමට මේ ස්‌කෑන් යන්ත්‍රයට හැකියාව පවතී.

සිද්ධියේ ක්‍රියාදාමය පෙළගැස්‌වීම සඳහා ක්‍රමානුකූල ව සහ විස්‌තරාත්මක ව සකස්‌ කළ දළ සටහන් ආදිය ඉතා වැදගත් වේ. දළ සටහනට අදාළ පාඨාංක ලබාගැනීම සඳහා මෙටි්‍රක්‌ සංකේත භාවිත කරනු ලබයි.

අපරාධ ස්‌ථානයේ ඡායාරූප ලබාගැනීම ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉතා වැදගත් වන අතර මෙමඟින් විමර්ශන නිලධාරීන්ට අදාළ අපරාධ සිද්ධිය මතුපිටින් පෙනෙන ආකාරය ලේඛනගත කිරීමට හැකි වේ. මෙය සාමාන්‍ය ඡායාරූපකරණ ශිල්පයෙන් වෙනස්‌ වන අතර මේ ඡායාරූප අපරාධ පරීක්ෂණයන් සඳහා ඔබින ලෙස ලබාගත යුතු වේ. අදාළ වස්‌තුවෙහිs ඡායාරූප ලබාගැනීමේ දී ක්‍රමාංකිත පරිමාණයක්‌ (Scale) සහ සමුද්දේශ ලක්ෂණයක්‌ (Reference point) තැබීම අවශ්‍ය වේ.

එම ඡායාරූපය අදාළ සාක්ෂිය සහ එහි ලක්ෂණ පැහැදිලි ව ඉස්‌මතු වන පරිදි පැහැදිලි විය යුතු අතර විමර්ශන කටයුතුවල දී නොයෙකුත් ආකාරයෙන් විශාලනය කර නිරීක්ෂණය කළ හැකි විය යුතු ය. මෙහි දී විවිධ කෝණයන් කිහිපයකින් ඡායාරූප ලබාගන්නා අතර ඇතැම් අවස්‌ථාවල දී සාක්ෂිකරුවන් සිද්ධිය දුටු කෝණය පවා මීට ඇතුළත් වේ. කැමරාවේ ආලෝක ප්‍රමාණය, ෂටරයේ වේගය, කාච නාභිගත කිරීම ආදින් වෙනස්‌ කරමින් විවිධ වූ ලක්ෂණ ඉස්‌මතු වන ආකාරයෙන් ඡායාරූප ලබාගනු ලැබේ. මෙය පුහුණුව ලත් නිලධාරියකු විසින් සිදු කෙරෙන අතර මේ ඡායාරූප අධිකරණයේ දී පවා සිද්ධියක්‌ විග්‍රහ කිරීම සඳහා ආධාරක ලෙස යොදාගනු ලැබේ.



සාක්ෂි සංරක්ෂණය කිරීම



අපරාධ ස්‌ථානයක පවතින රුධිරය හා දේහ තරල මඟින් පුද්ගල අනන්‍යතාව හෙළි කරගත හැකි බැවින් එය ඉතා වැදගත් හෝඩුවාවක්‌ ලෙස සලකනු ලැබේ. අවශෝෂණ පිස්‌නයක්‌ (Swab) රුධිරයෙහි පොඟවා වියළාගැනීමෙන් සාම්පලය රැස්‌ කරගනු ලබයි. රුධිරය වියළී ඇත්නම් නම් සූරා පිරිසිදු කඩදාසියකට එකතු කරගනු ලැබේ.

රුධිර පැල්ලමක්‌ නම් අවශෝෂණ පිස්‌නය කෙළවර ආසූත ජලයෙන් පොඟවා රුධිරය ඇති ස්‌ථානයේ පිරිමැදීම මඟින් සාම්පල ලබාගනී. ඉන් පසු ඒවා වියළීමට ලක්‌ කර පරෙස්‌සමෙන් අසුරාගනු ලැබේ. එමෙන් ම ඛේටය, ලිංගික අපරාධවල දී පැවතිය හැකි ශුක්‍ර හෝ යෝනි තරල ආදියෙහි ද සාම්පල ගැනීම සඳහා ඉහත ක්‍රමවේදය ම අනුගමනය කරනු ලබයි. දත් පහරවල ලකුණු හා කැපුම් පහරවල ආදියේ ද රැඳී පවතින ඛේටය හෝ වෙනත් තරල ආදියෙහි ද සාම්පල ලබාගන්නේ මේ ක්‍රමය අනුගමනය කිරීම මඟිනි.

ක්ශුද්‍ර ජීවී ආසාදන සිදු විය හැකි බැවින් මේ තරල සාම්පල සහිත අවශෝෂණ පිස්‌න ගබඩා කිරීමට ප්ලාස්‌ටික්‌ දවටන හෝ භාජන හෝ යොදා නො ගැනෙයි. මේ සඳහා තෙතමනය අවම වන පරිදි යොදාගන්නේ කඩදාසි දවටන ය. එමෙන් ම මීට යොදාගන්නා දවටන හෝ භාජන හෝ නැවත නැවත භාවිත කිරීම ද සිදු නො කෙරෙයි. විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් මේ පර්යේෂණ සඳහා සාම්පල ලබාගැනීමේ දී පාලක සාම්පල ලබාගැනීමට ද කටයුතු කෙරෙන අතර ලැබෙන ප්‍රතිඵලයන්හි දොaෂ අවම කිරීමට එසේ සිදු කෙරෙයි.

ඒ සමඟ අපරාධ ස්‌ථානයක පවතින දුහුවිලි මත හෝ දුහුවිලි මඟින් සටහන් වූ ඇඟිලි සලකුණු ආදිය ලබාගැනීම සඳහා ඇලෙනසුලු මතුපිටක්‌ සහිත ටේප් පටි මතට සලකුණු ලබාගැනීම, IR ආලෝක කදම්බ මඟින් නිරීක්ෂණය කිරීම ආදිය සිදු කෙරෙන අතර දුහුවිලි මත රැඳුණු පා සලකුණු ආදි තරමක්‌ විශාල සලකුණු ලබාගැනීම සඳහා ස්‌ථිති විද්යුතය භාවිත කරනු ලබයි.

මේ සම්බන්ධ විමර්ශනවල නිරත වන සහ සාම්පල ලබාගන්නා නිලධාරියා අත් පා ආවරණ මුඛ ආවරණ ආදිය පැළඳ අදාළ කටයුතු සිදු කළ යුතු වේ. එම අවස්‌ථාවන්වල දී කිවිසුම් යෑවීම හෝ කතා කිරීම හෝ සිදු නො කරන අතර විමර්ශන නිලධාරියාගේ දේහ තරල මඟින් සාක්ෂි දූෂණය වීම මෙමඟින් වළක්‌වනු ලබයි.

එමෙන් ම අදාළ ස්‌ථානයේ සාක්ෂි සම්බන්ධ දැ විසිරී ඇති හෝ සාම්පලය වෙන ම ලබාගැනීමට අපහසු අවස්‌ථාවල, එනම් බුමුතුරුණු වැන්නක්‌ නම් අදාළ කොටස කපා එක්‌රැස්‌ කරගැනීම, ටයිල් වැන්නක්‌ නම් සම්පූර්ණ ටයිල් කැටය ගලවාගැනීම, ගෙන යා හැකි වස්‌තූන් නම් එකතු කරගැනීම වැනි දැ අත්‍යවශ්‍ය අවස්‌ථාවල දී සිදු කරයි.

අපරාධ ස්‌ථානයෙන් හමු වන ලිපි ලේඛන ආදිය එකතු කරගනු ලබන්නේ කඩදාසි කවරවලට හෝ කපු මඟින් අභ්‍යන්තරය ආවරණය කළ පෙට්‌ටියකට හෝ ය. මේ ලිපි ලේඛන නැවීම හෝ ඒ මත නැවත ලිවීම හෝ ආදිය සිදු නො කෙරෙයි. ලිපි ලේඛන ආදිය තෙත් ව පවතී නම් නැප්කින ආධාරයෙන් පරෙස්‌සමෙන් වියළීමෙන් අනතුරු ව අසුරාගනු ලැබේ. මෙහි දී තෙතමනය නිසා සිදු විය හැකි හානි අවම වන පරිදි ගබඩා කරනු ලැබේ.

එසේ ම අපරාධ ස්‌ථානයෙන් හමු වන ගිනි අවි ආදිය ඉදිරි විමර්ශන සඳහා එකතු කරගැනීමේ දී විශේෂ ආරක්ෂsත ක්‍රමවේද භාවිත කෙරෙයි.



හමු වන පරිගණක හා ඉලෙක්‌ට්‍රොනික උපාංග ආදිය



ජංගම දුරකතන, ටැබ්ලට්‌ පරිගණක, CD/DVD තැටි, Floppy, USB Drives, වීඩියෝ පට හෝ හඬ පට ආදිය, පරිගණක, ජාලගත පරිගණක පද්ධති, පරිගණක සම්බන්ධ වෙනත් උපාංග ආදිය මීට ඇතුළත් වේ. මීට අමතර ව කැමරා උපාංග, ATM කාඩ්පත් ආදිය ද මේ යටතට ගැනේ. මූලික ව මේවායේ රැඳී ඇති ඇඟිලි සලකුණු ආදිය වෙන ම ලබාගන්නා අතර උපාංගවල ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මේවා ඉදිරි පරීක්ෂණ සඳහා එකතු කරගැනීමේ දී චුම්බක ෙක්ෂaත්‍රයන් ගෙන් සහ උෂ්ණත්ව වෙනස්‌ වීම්වලින් හානි නො වන ලෙස ගබඩා කරනු ලබයි.

අපරාධ ස්‌ථානයකින් හමු වන මේ ඉලෙක්‌ට්‍රොනික උපාංග ක්‍රියා කිරීමට පරිගණක සම්බන්ධ සුවිශේෂී වූ දැනුමක්‌ සහිත විශ්ලේෂකයකුගේ සහාය ලබාගැනෙයි. මේ දත්ත ඉතා ම සංවේදී විය හැකි අතර එබැවින් අදාළ පරිගණක විශ්ලේෂකයා විසින් සිදු විය හැකි අනතුරු හෝ දත්ත විනාශ වී යා හැකි ආකාර පුරෝකථනය කිරීමෙන් පසු අදාළ උපාංග ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. ජාලගත පරිගණක පද්ධතියක්‌ අත්අඩංගුවට ගන්නේ නම් මුලින් එම පරිගණක ජාලයට අදාළ දත්ත සියල්ල රහසිගත ලෙස ලබාගැනීමෙන් අනතුරු ව ක්‍රියාත්මක කරනු ලැබේ. එමෙන් ම අදාළ උපාංගවල ඇති බාර්කෝඩ් අංක හා වෙනත් කේත ආදිය ද සටහන් කරගන්නා අතර ඒ ඔස්‌සේ පරිශීලකයාගේ හෝ හිමිකරුගේ හෝ අනන්‍යතාව සොයාගැනීමට මෙහෙයුම් දියත් කරනු ලබයි. එසේ ම අදාළ පරිගණකවල හෝ ජංගම දුරකථනවල හෝ ඇති මුරපද සොයාගැනීම, ඊ-මේල් ලිපින, පරිශීලක නම් සහ ගිණුම් ආදිය පිළිබඳ අවධානය යොමු කරමින් අදාළ පරිශීලක පාර්ශ්වයේ අනන්‍යතාව සොයාගැනීමට ද නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.



විමර්ශන වාර්තාවන් සකස්‌ කිරීම



මෙහි දී එක්‌රැස්‌ කරගත් සාක්ෂි තහවුරු කරගැනීම සිදු කෙරෙන අතර ම විමර්ශන කණ්‌ඩායමෙහි සාමාජිකයෝ සොයාගත් තොරතුරු අනුව සිද්ධිය පිළිබඳ සාකච්ඡා කරති. මෙහි දී වැඩිදුර පර්යේෂණ හා විමර්ශන සිදු විය යුතු අංශ සහ පිළිවෙළ සම්බන්ධ ව තීරණ ගනු ලැබේ. පර්යේෂණ කටයුතු සහ විමර්ශන කටයුතු අවසානයේ අදාළ සිද්ධිය සම්බන්ධ ව සොයාගත් සියලු ම තොරතුරු සහ සාක්ෂි අන්තර්ගත වන සේ තර්කානුකූල ව සහ ඉතා විධිමත් ආකාරයෙන් වාර්තාව සකස්‌ කෙරෙන අතර සියලු ම සාක්ෂි වාර්තා සමාලෝචනය කරමින් ඉදිරිපත් කරනු ලබයි.

බොහොමයක්‌ අපරාධ සුක්ෂම සහ සැලසුම් සහගත ඒවා වන අතර මෙවන් අවස්‌ථා නීතිය හමුවේ කොටු කරගැනීමට, සම්මත අපරාධ විමර්ශන ක්‍රමවේද මෙන් ම අදාළ විමර්ශන නිලධාරීන්ගේ තීක්ෂණභාවය ද ඉතා ම වැදගත් වෙයි.



කොළඹ විශ්වවිද්‍යාලයයේ, නීති පීඨයේ

නදනා තාමසි කෝණාර

සහ

ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ
 

ඉන්ද්‍රජිත් උදය කුමාර

විශේෂ ස්‌තූතිය : ශ්‍රී ලංකා පොලිසිය