logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දිනෙන් දින උග්‍ර වන ශබ්ද දූෂණය



බස්‌ රථයකට හෝ ත්‍රිරෝද රථයකට හෝ ගොඩ වන ම`ගී ජනතාව බොහෝ විට කරන පැමිණිල්ලක්‌ වන්නේ ඒවා තුළ සවි කර ඇති කැසට්‌ යන්ත්‍ර මඟින් නිකුත් වන දරාගැනීමට අපහසු අධික ශබ්දයයි. කෙසේ හෝ එය විඳ දරාගෙන ගමනාන්තය තෙක්‌ ගමන් ගන්නා ඔවුන් ඉන් පසු නගරයට පිවිසි විට අත්දකින්නේ ඊටත් වඩා කටුක අත්දැකීම් සමුදායකි. අධික ශබ්දය සහිත රථවාහන, ලොතරැයි කූඩු, පන්සල්, පල්ලි ඇතුළු ආගමික මධ්‍යස්‌ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නැඟෙන අධික හඬ මිනිසාගේ ගත මෙන් ම සිත ද ලෙඩ කරවන්නේ විටෙක රට සහ ජාතියේ ඵලදායිතාව ද (productivity) හීන කරමිනි. එක්‌ අතකින් මහජන පීඩාවක්‌ ද, අනෙක්‌ අතින් පරිසරයට, සහ සතා සිවුපාවට පවා පීඩාවක්‌ ඇති කරනු ලබන මේ සමාජ විරෝධී ක්‍රියාවේ විද්‍යාත්මක පසුබිම මඳක්‌ විමසා බැලීම කාලෝචිත වේ.

ශබ්ද දූෂණය අර්ථ දක්‌වා ඇත්තේ 'ඉහළ ශබ්ද තීව්‍රතා මට්‌ටමකට' (Elevated sound level) නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා මිනිසා සහ අනෙකුත් ජීවීන් මත අහිතකර බලපෑම් ඇති කළ හැකි ක්‍රියාවලියක්‌ ලෙස ය. කනට ඇසිය හැකි ශබ්දයේ මට්‌ටම හෙවත් තීව්‍රතාව 'ඩෙසිබල්' (Decibel - dB) නම් ඒකකයෙන් මනිනු ලැබේ. මිනිස්‌ කනට ඇසිය හැකි අවම තීව්‍රතාව 0 dB (Zero Decibel)  ලෙස සඳහන් වේ.

(මෙය කිසි විටෙක ශබ්දයේ සංඛ්‍යාතය හෙවත් Frequency - තත්පරයකට හටගන්නා ශබ්ද තරංග/කම්පන ප්‍රමාණය - සමඟ පටලවා නො ගත යුතු ය. එක ම ඩෙසිබල් (dB) අගයක්‌ යටතේ සංඛ්‍යාත දහස්‌ ගණනක්‌ තිබීමට හැකි ය).

අප මේ මාතෘකාව යටතේ කතා කරන්නේ මිනිස්‌ කනට සංවේදී වන සංඛ්‍යාත පරාසය ගැන පමණි. මේ පරාසය තුළ ශබ්දයේ මට්‌ටම dBA ලෙස ද සඳහන් කරනු ලැබේ.



ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවදියෙන්...

ශබ්ද දූෂණය මිනිසාගේ සැලකිල්ලට ලක්‌ වූයේ අද ඊයේ නො වේ. දැනට වසර දහස්‌ ගණනකට එපිට පුරාණ රෝමයේ සහ ඉතාලියේ නගර නිර්මාණයේ දී ශබ්ද දූෂණය අවම වන ආකාරයට එය සිදු කර ඇත. 20 වැනි සියවසේ තාණික දියුණුවත් සමඟ, විශේෂයෙන් මෝටර් රථ කර්මාන්තයේ වැඩිදියුණුවත් සමඟ ම සැම රටක්‌ ම පාහේ මේ පිළිබඳ ව තම අවධානය යොමු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ශබ්ද මට්‌ටම ඩෙසිබල් 70(70 dB)ට වඩා අඩු නම්, එය මිනිසා ඇතුළු ජීවීන්ට අහිතකර නො වේ. එම ශබ්ද මට්‌ටම මඟින් මිනිසාගේ කායික මානසික ස්‌වභාවයට බලපෑමක්‌ නො කරන තරම් ය. එහෙත් 85 dB හෝ ඊට වැඩි ශබ්ද මට්‌ටමක්‌ මිනිසාට සහ ජීවීන් හට හානිකර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. විශේෂයෙන් 85 dB හෝ ඊට වැඩි තීව්‍රතාවක්‌ යටතේ පැය 8කට වඩා ශබ්දයට නිරාවරණය වන පුද්ගලයකු හට නැවත යථා තත්ත්වයට පත් කළ නො හැකි ලෙස සෞඛ්‍ය ගැටලු රාශියක්‌ පැනනඟින බව මේ වන විට සොයාගෙන ඇත. එබැවින් WHO මඟින් නිර්දේශ කර ඇති ආකාරයට මානව ජනාවාසයක්‌ ආසන්නයේ ශබ්ද මට්‌ටම 50 dB හෝ ඊට අඩු විය යුතු ය.

එහෙත් දියුණු යෑයි සම්මත රටවල පවා මෙය 85 dBට වැඩි වන අතර අවාසනාවන්ත තත්ත්වය වන්නේ කලක දී ඉතා නිස්‌කලංක පරිසරයකට උරුමකම් කී ලංකාවේ පවා ඇතැම් පරිසරවල මේ අගය ඩෙසිබල් 97.6ක්‌ තරම් ඉහළ වීම ය.



ලංකාවටත් අනතුරු හැඟවීම්

ලංකාවේ ග්‍රාමීය මහා මාර්ග ආසන්නයේ පවා පැය 8ක්‌ රැඳී සිටින්නකුට 85 dBක තීව්‍ර ශබ්දයකට නිරාවරණය වීමට සිදු වන අවස්‌තා ඇත. මෙය නාගරික ව මීට වඩා ඉහළ අගයක්‌ ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශබ්ද දූෂණය ඉහළ රටවල් අතර ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් ඉදිරියෙන් ම සිටී. අප බොහෝ විට ඩෙසිබල් 85ක සීමාවට ගොදුරු වන නමුත් එහි අහිතකර විපාක තවමත් තේරුම්ගෙන නොමැත. එමෙන් ම පළාත් පාලන ආයතන සහ නාගරික සංවර්ධන අංශ ද තවමත් දක්‌වන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි.

උදාහරණයක්‌ වශයෙන් 85 dB ශබ්ද මට්‌ටම ඉක්‌මවා යන කලාප ලෙස ප්‍රධාන මහා මාර්ගයකින් මීටර 100ක්‌ ඇතුළත පිහිටි ප්‍රදේශ සැලකේ. නිතර ගමන් ගන්නා අධික එන්ජින් ධාරිතා සහිත බස්‌ රථවලින් ද, ත්‍රිරෝද රථ හා යතුරුපැදිවලින් ද නිකුත් වන ශබ්දය 95 dB මට්‌ටම ඉක්‌මවා යයි. සමහර බස්‌ රථ හා යතුරුපැදි හිමිකරුවන් නිෂ්පාදන තත්ත්වය අබිබවා වාහනයේ ශබ්දය අධික වන පරිදි සයිලන්සර පද්ධතිය වෙනස්‌ කර (modifica-tions) ඇත. අප රටේ බොහෝ නිවාස, කාර්යාල සහ පාසල් පිහිටා ඇත්තේ මේ සීමාව තුළ ය.

අප නොදැනුවත් ව හානිකර ශබ්ද මට්‌ටම ඉක්‌මවා නිරාවරණය වන තවත් අවස්‌ථාවක්‌ නම් රථවාහන තුළ කැසට්‌ යන්ත්‍ර මඟින් නික්‌මෙන ඝෝෂාකාරී සංගීතයයි.

විශේෂයෙන් දුර ගමන් සේවා බස්‌ රථවල මෙවැනි ඩෙසිබල් 85 ඉක්‌මවූ සංගීත රාවයන්ට පැය ගණනක්‌ නිරාවරණය වීමට අපට සිදු වේ. මෙය කනට මෙන් ම මනසට ද වදයක්‌ මෙන් ම අහිතකර පසු බලපෑම් ඇති කරන්නකි.



රැකියා ස්‌ථානය ආශ්‍රිත ශබ්ද දූෂණය

බොහෝ කර්මාන්තශාලා ද ශබ්ද දූෂණයට මඟ පාදන අතර එයින් බොහෝ විට පීඩාවට පත් වන්නේ එහි සේවක මණ්‌ඩලයයි. 85 dB මට්‌ටමට වඩා ඉහළ ශබ්ද මට්‌ටමක පැය අටේ සේවා මුරයක්‌ වැඩ කරන සේවකයන් බොහෝ විට රැකියාව නිසා ඇති වන ස්‌ථර බිහිරිභාවයට ගොදුරු වීමේ ප්‍රවණතාවක්‌ ඇත. බොහෝ දියුණු රටවල සේවකයන් ශබ්ද දූෂණයෙන් ආරක්ෂා කිරීම සඳහා ශබ්ද රෝධක (Sound proof) කන් වැසුම් පළඳින අයුරු දැකිය හැකි නමුත් ලංකාවේ ඇඟලුම් කම්හල් සහ වාහන අලුත්වැඩියා කරන ස්‌ථාන වැනි ඝෝෂාකාරී ස්‌ථානවල දී ඉහළ නිලධාරීන් වත් ඒ පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කරන බවක්‌ නො පෙනේ.



ඉන්දියාවෙන් පාඩමක්‌

මෑතක දී ශබ්ද දූෂණය සම්බන්ධ ව ඉන්දීය අධිකරණය විසින් වැදගත් තීන්දුවක්‌ ලබා දෙන ලද අතර එහි දී ආගමික ස්‌ථාන ආශ්‍රිත ව මහජනයාට පීඩාකාරී වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කරන ලදි. බොහෝ රටවල මෙවැනි නීති ක්‍රියාත්මක වන අතර ලංකාවේ ද මෑතක සිට එවැනි කතිකාවතක්‌ ගොඩනැඟෙමින් පවතී. මිනිසාගේ කායික මානසික සුවය සහ පරිසරයේ සතා සිවුපාවාගේ පැවැත්ම ගැන සිතා නිහඬ ව ආගම ඇදහීමේ වැදගත්කම එහි දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙන ලදි.



ගෘහ ආශ්‍රිත ශබ්ද දූෂණය

අප එතරම් සැලකිලිමත් නො වුණ ද නිවස තුළ සිදු වන ශබ්ද දූෂණය ද සාකච්ඡාවට බඳුන් කළ යුතු ව ඇත. අධික ශබ්දයෙන් (High volume) ගුවන් විදුලි, රූපවාහිනි යන්ත්‍ර භාවිත කරන නිවෙස්‌ අප අතර බහුල ය. මීට අමතර ව නිවෙසේ දුහුවිලි ඉවත් කරන යන්ත්‍ර (Vaccumcleaners) , රෙදි සෝදන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර ආදිය පවා ශබ්ද දූෂණයට දායක වනවා මෙන් ම ඒවා නිතර නිතර වැඩි පැය ගණනක්‌ භාවිතය නිවැසියන්ගේ කායික, මානසික සෞඛ්‍යයට ද අහිතකර ය. මෙහි දී අප නැවතත් මතක්‌ කළ යුත්තේ ශබ්දය 85 dB තරම් අවම අගයක්‌ වුව ද ඊට වැඩි පැය ගණනක්‌ නිරාවරණය වීමෙන් මොළයේ හා සිරුරේ සුව කළ නො හැකි ආබාධ ඇති කිරීමට හැකියාව ඇති බව ය.



බිහිරි බවට හේතුවක්‌...

මේ ආකාරයේ ශබ්ද දූෂණයකට අප ගොදුරු වන බව දැනගත්තත් නො ගත්තත් එමඟින් සෞඛ්‍යයට ඇති වන බලපෑම අති විශාල ය. මේ අතරින් Rජු ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වන තත්ත්වයකි ස්‌ථර බිහිරිභාවය (PermenentHearing Loss) . අධික ශබ්දයකින් යුතු සංගීතයට දිගින් දිගට ම සවන් දීම නිසා අපගේ මැද කනේ සහ කර්ණශංඛයේ සියුම් කොටස්‌ හානියට පත් වේ. මෙහි දී වැඩිහිටියන් සඳහා 140 dB ද, දරුවන් සඳහා 120 dB ද යන අගයන් අනතුරුදායක බව සොයාගෙන ඇත. මේ ශබ්ද මට්‌ටම්වලට සුළු වේලාවක්‌ සවන් දීමෙන් පවා කන් ඇසීම ස්‌ථර ලෙස නැති වී යැමට ඉඩකඩ ඇත. සංගීතයට අමතර ව මහා මාර්ග ආශ්‍රිත අධික ශබ්දය, විදුම් යන්ත්‍ර (Drilling machines), ගස්‌ කපන යාන්ත්‍රික කියත් සහ ගුවන් යානා මඟින් නැඟෙන ශබ්දය ද ස්‌ථර බිහිරි බව ඇති කිරීමට සමත් වේ.



හදවතටත් අගුණයි...!

ශබ්ද දූෂණය, හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇති කිරීමට අප සිතා සිටිනවාට වඩා හේතුකාරක වන බව වෛද්‍ය පර්යේෂකයන්ගේ මතයයි. 105 dB වැනි ශබ්ද මට්‌ටමක කෙටි වේලාවක්‌ ගත කිරීමෙන් පවා රුධිර පීඩනය ඒකක 10 - 15 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ඔවුහු තවදුරටත් ප්‍රකාශ කර සිටිති. බොහෝ විට නගරයක්‌ තුළ පැය භාගයක්‌ පමණ රැඳී සිටීම ම රුධිර පීඩනය ඉහළ දැමීමට හේතු වේ. තව ද සමීණ අනුව ආඝාත (Stroke), අංශභාගය සහ හෘදය අකර්මණ්‍ය වී මිය යන්නන් බහුල ව හමු ව ඇත්තේ නිස්‌කලංක ගම්බද ප්‍රදේශවලට වඩා කඨෝර ශබ්දයෙන් දූෂිත වූ නාගරික ප්‍රදේශවල ය.

 

නින්දට බාධා

සුව නින්දකට අප හැම කැමැති වුවත්, ශබ්ද දූෂණය සෘජුව ම නින්ද අපෙන් ඈත් කිරීමට සමත් ය. නිදි වර්ජිත සමාජයක්‌ ඵලදායීතාව අතින් හීන ය. එම නිසා බොහෝ දියුණු රටවල රාත්‍රී කාලයේ මහජනයා පදිංචි ප්‍රදේශවලට ආගමික ස්‌ථාන, ක්‍රීඩාංගණ ආදියෙහි ශබ්ද විකාශන භාවිතය තහනම් කර ඇත.



දරුවන්ගේ වැඩීම බාල කරයි

ශබ්දයට ඉතා සංවේදී කොටසකි කුඩා දරුවන්. ඔවුන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රිය ඉතා සියුම් වන අතර ශබ්ද මට්‌ටම 65 dB වැනි අගයකට වුව ද බොහෝ වේලාවක්‌ නිරාවරණය වීමෙන් ඔවුන්ගේ කන් ඇසීම දුබල වීමට හෝ ඔවුන් බිහිරි වීමට හෝ හැකි ය. තව ද කුඩා දරුවන්, අධික ශබ්දයට නිතර නිරාවරණය වීම ඔවුන්ගේ මානසික සුවතාවට ද අහිතකර ලෙස බලපාන අතර නින්දෙන් බය වීම, ඉගෙනීමෙහි පසුබෑම සහ නිතර ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට ලක්‌ වීම ද ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වේ. තව ද අවුරුදු 5ට අඩු දරුවන් අධි ශබ්දයෙන් (High volume) රූපවාහිනි යන්ත්‍රවලට සවන් දීම හා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ද ඉහත සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු පාදක වේ.

 

මානසික රෝගවලට මුල...

ශබ්ද දූෂණය, සියදිවි නසාගැනීමට හේතු වන බව ඇසීම සමහර අයට පුදුමයට කරුණක්‌ වනු ඇත. එහෙත් සත්‍යය නම් අධික ශබ්දය මානසික රෝග ගණනාවකට මුල් වන බව ය. මේවා අතර විෂාදය, මානසික අවපීඩනය, බිය වීම, සමාජ භීතිකාව, සියදිවි හානි කරගැන්මට පෙලඹීම, අන්‍යයන්ට පහර දීම - තුවාල සිදු කිරීම ආදිය වේ. තව ද කාන්තා පාර්ශ්වයට ශබ්ද දූෂණය තදින් බලපාන බවත්, එනිසා කෑම අරුචිය, හිසරදය, අමතක වීම හා දරුඵල රහිත වීම (Infertility) වැනි තත්ත්ව සුලබ වන බවත් සොයාගෙන ඇත.



ඔබගේ ආරක්ෂාවට පියවර

තත්ත්වය මෙලෙස වුව ද ශබ්ද දූෂණයේ අහිතකර බලපෑම්වලින් ගැලවීමට පහත උපක්‍රම තරමක්‌ හෝ ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.



01. හැකි සැම විටක දී ම පදිංචිය සඳහා තෝරාගන්නා ප්‍රදේශය මහා මාර්ගයකින් අවම වශයෙන් මීටර 100ක්‌ වත් දුරස්‌ථ විය යුතු ය. මෙහි දී විශේෂයෙන් කර්මාන්තශාලා, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ සහ ආගමික සිද්ධස්‌ථාන ආශ්‍රිත පෙදෙස්‌ ශබ්ද දූෂණයෙන් යුක්‌ත වන හෙයින් ඒවා මඟහැරීම වැදගත් ය.



02. නිවාස ඉදිකිරීමේ දී ශබ්ද පරිවාරක යෙදීමට සැලකිලිමත් විය යුතු ය. එය ඔබ හිතන තරම් මිල අධික කටයුත්තක්‌ නො වන අතර සුදුසුකම් ලත් ගෘහ නිර්මාණ ශිල්පියකුගේ උපකාරය ඒ සඳහා ලබාගත හැකි ය.



03. ඔබ රැකියාව කරන ස්‌ථානය අධික ශබ්ද දූෂණයෙන් යුත් ස්‌ථානයක්‌ නො විය යුතු ය. එහෙත් ඔබට එය නොවැළැක්‌විය හැකි සාධකයක්‌ නම්, ආයතන පරිපාලනය සමඟ අධික ශබ්දය අවම කිරීමට සාමූහික ක්‍රියා මාර්ගයක්‌ ගත හැකි ය. නොඑසේ නම් වෙනත් රැකියා අවස්‌ථාවක්‌ සොයාගැනීම වුව ද දීර්ඝකාලීන යහපත වෙනුවෙන් සුදුසු ය.



04. හැකි සැම අවස්‌ථාවක දී ම අධි ශබ්ද මට්‌ටමකින් ආරක්ෂා වීමට 'කන් ඇබ' (Earplugs) හෙවත් 'ශබ්ද පරිවාරක පේනු' භාවිත කරන්න. දැන් මේවා අඩු මිලට වෙළෙඳපොළෙන් මිල දී ගත හැකි ය.



05. කිසි විටෙක බොහෝ වේලාවක්‌ ජංගම දුරකථන හෝ ඒවායේ 'කන් යොමු' හෙවත් Earphones / Headsets කනෙහි රුවාගෙන සිටීමෙන් වළකින්න. සැම ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක ම පාහේ ශබ්දය අහිතකර ඩෙසිබල් අගයකට ළඟා වන විට අනතුරු හැඟවීමේ පණිවිඩයක්‌ (Alert) තිරයේ දිස්‌ වීමට සලස්‌වා ඇත. එයට ඔබ කීකරු වීම වැදගත් ය.



06. සුව නින්දකට සහ නිරෝගී මානසික තත්ත්වයකට ඔබගේ නිදන කාමරයේ රාත්‍රී කාලයේ ශබ්ද මට්‌ටම 35 dB අගයක තබාගැනීමට සැලකිලිමත් වන්න. දිවා කාලයේ නිවස තුළ මේ අගය 40 dB මට්‌ටමක විය යුතු ය.

ශබ්ද මට්‌ටම ගැන සඳහන් කරන විට එය මැනීම පිළිබඳ ගැටලුවක්‌ ඔබට පැනනඟිනු ඇත. එහෙත් අතීතයේ මෙන් මිල අධික ශබ්දමාපක නොමැති ව ඔබගේ ජංගම දුරකථනයට 'App' එකක්‌ (යෙදවුමක්‌) බාගත (Download) කිරීමෙන් එම ගැටලුව විසගත හැකි ය. මේ අතරින් Sound Level Meter (SLM) නම් යෙදවුම ජනප්‍රිය ය.



සමාජ ආර්ථික බලපෑම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්‌තමේන්තුවලට අනුව ලොව සැම තුන් දෙනකු ගෙන් එක්‌ අයෙක්‌ ම ශබ්ද දූෂණය හේතුවෙන් රෝගාබාධවලට ලක්‌ ව සිටියි. මෙය වෛද්‍ය විද්‍යාත්මක ව මෙන් ම සමාජ ආර්ථික වශයෙන් ද මානව සංහතිය මුහුණ දෙන කාලීන අර්බුදයකි. ශබ්ද දූෂණය මිනිසාගේ නින්ද 60%කින් අඩු කර ඇති බව WHO වාර්තා පෙන්වා දෙයි. එය සෘජුව ම දිවා කාලයේ මිනිස්‌ ක්‍රියාකාරිත්වය මන්දගාමී කිරීමට හේතු වේ. රථවාහන අනතුරු, කර්මාන්තශාලා ආශ්‍රිත අනතුරු මෙන් ම පාසල් දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට ද මෙය අහිතකර ලෙස බලපා ඇත. අනෙක්‌ අතින් ශබ්ද දූෂණය නිසා වන අධි රුධිර පීඩනය, හෘද රෝග, බිහිරි බව වැනි තත්ත්ව සඳහා අපගේ සෞඛ්‍ය පද්ධතියට දැරීමට වන වියදම නො සලකා සිටීමට බැරි ය.

ශ්‍රී ලංකාව තුළ ශබ්ද දූෂණයට අදාළ වන නීති - රීති, අණ - පනත් පැවතිය ද මේ පිළිබඳ ව අප තුළ ඇත්තේ ඇල්මැරුණු ආකල්පයකි. එහෙත් ශබ්ද දූෂණයෙන් ඔබත්, ඔබගේ ඉදිරි පරපුරත්, පරිසරයත් රැකගැනීමට ඔබට අයිතියක්‌ ඇති බව අවබෝධ කරගත යුතු ව ඇත.

 

 

වෛද්‍ය බුද්ධික උදය දිවාකර