logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අභ්‍යවකාශය ජයගන්නට සැරසෙන ශ්‍රී ලාංකික දියණියකගේ කතාව ඇගේ ම වදනින්.....


 


මම සඳලි ලක්ෂනී කුමාරසිංහ. මගේ වයස අවුරුදු 18ක්‌ වන අතර මම මේ වසරේ අගෝස්‌තු මාසයේ දී මගේ පාසල් අධ්‍යාපනය (අනුලා විද්‍යාලය, නුගේගොඩ) අවසන් කළෙමි. මට නිතර ම අභ්‍යවකාශ විද්‍යාව ගැන දැඩි උනන්දුවක්‌ හා කුතුහලයක්‌ තිබිණි.

මට මතකයි මම 5 වැනි ශ්‍රේණියේ (2010) සිටිය දී ප්ලාස්‌ටික්‌ ටියුබ් සහ කාච භාවිත කරමින් දුරේක්ෂයක්‌ සෑදූ බව. මම 6 වැනි ශ්‍රේණියේ (2011) ඉගෙනගන්නා විට මගේ පාසලේ තාරකා විද්‍යා සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තෙමි. එමඟින් අභ්‍යවකාශ විද්‍යාව විෂයක්‌ ලෙස අධ්‍යයනය කිරීමටත් ඒ හා බැඳුණු ක්‍රියාකාරකම්වල යෙදීමටත් මට අවස්‌ථාවක්‌ ලැබිණි. 2017 දී මා අපේ පාසලේ තාරකා විද්‍යා සංගමයේ සභාපති ධුරයට පත් වූ අතර ජල රොකට්‌ටු පිළිබඳ වැඩමුළුවක්‌, රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු හා පාසලේ ප්‍රථම තාරකා විද්‍යාත්මක දිනය සහ තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්මක තරගය සාර්ථක ව සංවිධානය කිරීමට මට හැකියාව ලැබිණි.

තව ද අභ්‍යවකාශ ගවේෂණය සහ විද්‍යා, තාක්‌ෂණ, ගණිත, ඉංජිනේරු අධ්‍යාපනය ප්‍රවර්ධනය අරමුණු කරගත් ඇමෙරිකානු ජාත්‍යන්තර ක්‍රියාකාරී ආයතනයක්‌ වන 'TheMars Generation' සංවිධානයේ ශිෂ්‍ය තානාපතිවරයකු, CASIS (Center for theAdvancement of Science in Space) නමැති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානීය පරීක්‌ෂණ කටයුතු හා සම්බන්ධ ඇමෙරිකානු ආයතනය සඳහා අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන තානාපතිවරයකු සහ තරුණ (වයස 18-35 අතර) ශිෂ්‍යයන් සහ අභ්‍යවකාශ ක්‌ෂේත්‍රයේ වෘත්තිකයන් ඉලක්‌ක කරගත් ඔස්‌ටි්‍රයාවේ වියනා නගරය කේන්ද්‍ර කරගත් ආයතනයක්‌ වන Space GenerationAdvisory Council හි සාමාජිකයකු ලෙස කටයුතු කරමි.

කුඩා කල සිට ම යම් හෝ ආකාරයකින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සිහිනයක්‌ මා හට තිබිණි. ඇමෙරිකාවේ හවායිහි Pan - STARRS දුරේක්‌ෂය වෙතින් ලබාගත් ඡායාරූප විශ්ලේෂණයට සහභාගි වීමෙන් පෘථිවියට ආසන්න වස්‌තූන් සහ අඟහරු හා බ්‍රහස්‌පති ග්‍රහලෝක අතර කලාපයේ පිහිටා ඇති ප්‍රධාන ග්‍රහක පටියට අයත් ග්‍රහක (Main Belt Aster-oids) නිරීක්ෂණය සඳහා දායක වීමට හැකි විය. ජාතික ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්‌කම් මා දිනා ඇත.

මේ වසරේ ජූනි මස ඇමෙරිකාවේ U.S. Space& Rocket Center මඟින් පැවැත්වූ AdvancedSpace Academy දින 6ක ගගනගාමී පුහුණු වැඩසටහනට සහභාගී වූයෙමි. පළමු ව ආර්ථික ගැටලු හේතුවෙන් මගේ ලියාපදිංචි ගාස්‌තුවට අරමුදල් සැපයීමට මට නො හැකි විය. ඉන් පසු මා නායකත්ව කාණ්‌ඩය හරහා ශිෂ්‍යත්වයකට ඉල්ලුම් කළ අතර U.S. Space &Rocket Center 2019 වර්ෂය සඳහා මා හට ශිෂ්‍යත්වයක්‌ ලැබිණි. තව ද මාගේ ජයග්‍රහණය හේතු කොටගෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාගේ ගුවන් ගමන සඳහා සහයෝගය දැක්‌වූයේ ය. ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස්‌ ගණනක්‌ අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වැඩමුළුවට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක්‌ ලෙස සලකමි.
 

Space Camp: AdvancedSpace Academy යනු...

U.S. Space Camp යනු ඇලබාමා අභ්‍යවකාශ විද්‍යා ප්‍රදර්ශන කොමිෂන් සභාවේ හා එක්‌සත් ජනපද අභ්‍යවකාශ හා රොකට්‌ මධ්‍යස්‌ථානය මඟින් ක්‍රියාත්මක වන කඳවුරකි. එක්‌සත් ජනපදය වටා සිටින තරුණ තරුණියන් දිරිගැන්වීම සඳහා 1982 දී මේ අභ්‍යවකාශ කඳවුර දියත් කරන ලදි. සැම වසරක ම, සැම වයස්‌ කාණ්‌ඩයක ම පුහුණු වන්නෝ සමස්‌ත එක්‌සත් ජනපදයෙන් සහ රටවල් 150කින් වැඩසටහන්වලට සහභාගී වෙති. මෙහි දී අභ්‍යවකාශය සහ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ ඉතිහාසය පිළිබඳ, කණ්‌ඩායම් ලෙස එකට වැඩ කිරීම, අභ්‍යවකාශ මෙහෙයුම් සහ ගගනගාමියකු වීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න හඳුන්වා දෙනු ලබයි.

Advanced Space Academy ආදි ශිෂ්‍යයන් අතර NASA හා ESA ගගනගාමීහු, ඉංජිනේරුවරු, විද්‍යාඥයෝ සහ තාක්ෂණඥයෝ ඇතුළත් වෙති.


 


ගගනගාමී පුහුණු වැඩමුළුවේ දී සතියක්‌ තුළ මා ලද අත්දැකීම්...

මෙහි දී මා හට ආදර්ශ මෙහෙයුම් තුනක නිරත වීමට සිදු විය. ඒ,

පහළ කක්‌ෂීය පැය 1ක මෙහෙයුම (1-Hour Missions in Low EarthOrbit (LEO), දිගුකාලීන එනම් පැය 3ක මෙහෙයුම (3-Hour Mission/Extended Duration Mission(EDM), ඔරායන් අඟහරු මෙහෙයුම (Orion Mars Mission) ලෙසිනි.

පළමුවැනි මෙහෙයුමේ දී මා මෙහෙයුම් විශේෂඥයකු (Mission Specialist) ලෙස කටයුතු කළ අතර එහි දී මා හට යානයෙන් බැහැරට පැමිණ කරන ක්‍රියාකාරකමක (Extra& Vehicular Activity) නිරත වී චන්ද්‍රිකාවක ඇන්ටෙනාවේ අලුත්වැඩියාවක්‌ කිරීමට සිදු විය.

පැය තුනක කාලයක්‌ පුරා පැවැති 3-Hour Mission/ExtendedDuration Mission (EDM)  මෙහෙයුමෙහි Emergency Environ-mental and Consumables Operations Manager (EECOM) හා Chief Medical Officer (CMO) යන නිලවල මම කටයුතු කළෙමි. අඟහරු මෙහෙයුමෙහි ගුවන් පාලන නිලධාරියා ලෙස ද මම කටයුතු කළෙමි. රොකට්‌ටුවක්‌ නිර්මාණය කිරීම, ගගනගාමියකුගේ අභ්‍යවකාශ ඇඳුමක්‌ නිර්මාණය කිරීම වැනි ඉංජිනේරුමය අභියෝගවලට මුහුණ දීමට ද මට සිදු විය. තව ද 1/6th Gravity Chair හා Multi Axis Trainer (MAT) යන අභ්‍යවකාශයේ දී මුහුණ දෙනවාක්‌ හා සමාන Simulator අත්දැකීම ලබාගැනීමට ද මට හැකි විය.

මේ චාරිකාවේ දී Visitor Center for NASA Marshall FlightCenter මධ්‍යස්‌ථානය දැක බලගැනීමට ද අවස්‌ථාව මට ලැබිණි.

Advanced Space Academy කඳවුරට සහභාගී වීමට ලැබීම මාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයකි. මෙමඟින් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුමක්‌ ලබාගැනීම හා එම ක්ෂේත්‍රයේ නිරත ජ්‍යෙෂ්ඨයන් හා කටයුතු කිරීමට ලැබීම මාගේ ඉදිරි ගමනට රුකුලක්‌ වනු ඇතැයි විශ්වාස කරමි. මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ තාරකා විද්‍යාඥයකු වීම ය.

මම වාසනාව විශ්වාස නො කරමි, වෙහෙස මහන්සි වී වැඩ කිරීම විශ්වාස කරමි.



"ඔබට කෙතරම් විශාල සිහිනයක්‌ තිබුණත් ඒ සිහිනය වෙනුවෙන් කටයුතු කරන්න..."

 


(astrosandali@gmail.com)