logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පරිසර හිතකාමී නාගරීකරණයක්‌ උදෙසා හරිත නගර

 



හරිත යන වදන ගෝලීය මෙන්ම ප්‍රදේශික වශයෙන් ද පරිසර හිතකාමී ක්‍රියාවලි විස්‌තර කිරීමට බහුලව යොදාගන්නකි. තව ද එය, සොබාදහමට පවතින සමීපස්‌ථභාවය දක්‌වන සංකේතාර්ථයකි. නූතන සංවර්ධන යාන්ත්‍රණය තුළ නාගරීකරණ ක්‍රියාවලිය මගින් එම සංවර්ධිතභාවය මහ පොළොව මත යථාදර්ශනය කරන අතර ඊට මෙහි දැක්‌වූ හරිත හෙවත් පරිසරයට හිතකාමී බව සම්බන්ධ කරමින් නිර්මිත හරිත නගර සංකල්පය සංක්‌තෂිප්ත ව විග්‍රහ කිරීමට මේ ලිපියෙන් අවධානය යොමු කර තිබේ.

ලිපිය ආරම්භයේ දී දක්‌වන ලද අයුරින් නාගරීකරණය යනු නූතන ලෝකයේ සංවර්ධනය පෙන්නුම් කරන එක ක්‍රියාවලියකි. ඇත්තෙන් ම එය සංවර්ධනයේ දී අපේක්‌ෂිත වඩා හොද ජීවන තත්ත්වය යන්න යථා දර්ශනයක්‌ කරවන අවස්‌ථාවකි. වාර්තාවලට අනුව, වසර 2050 දී ලෝකයේ සමස්‌ත ජනගහනයෙන් නගර යෑයි අරුත් ගන්වා ඇති ප්‍රදේශවල වාසය කරන ජනගහනය හෙවත් මුළු නාගරීකරණය 68% කි. නාගරීකරණය පිළිබඳව පවතින අර්ථකථන ප්‍රාදේශීය වෙනස්‌කම් සහිත ය.

ශ්‍රී ලංකවේ පරිපාලන කෘත්‍ය පදනම් කොට නාගරීකරණය දක්‌වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඒ බව දක්‌වනුයේ ජනගහනය පදනම් කොට ගෙන ය. එසේ ම ලෝකයේ නාගරීකරණය තුළ පවතින ව්‍යුහාත්මක ලක්‌ෂණ ද අවකාශීය ව විෂම වේ. බොහෝ අවස්‌ථාවල දී සාධනීය සමාජයක්‌ හා පරිසරයක්‌ නිර්මාණය සම්බන්ධව ලෝකයේ සැලකිය යුතු ප්‍රමාණයක නගර පෙන්වනුයේ හොඳ නරක මිශ්‍ර වූ අළු පැහැ චිත්‍රයකි. ඇතැම් විට එහි කළු පැහැයක්‌ දක්‌වා විසරණය වන තරමට අයහපත් සමාජ පරිසර ලක්‌ෂණ අවකාශීය වශයෙන් දැකිය හැකි ය. හරිත නගර යනු මේ දැක්‌වූ නිශේධනීය තත්ත්වයන් මගහරවාගනු පිණිස නිර්මාණය කළ නාගරික ජනාවාස සැලසුමක්‌ වන අතර විස්‌තෘතාර්ථයෙන් දැක්‌වුව හොත් හරිත නගර තුළ නගරවාසීන් හා නගරයට පැමිණෙන අය විසින් රිසි, ආරක්‌ෂිත නාගරික පරිසරයක්‌ ඉදිරි පරම්පරා හා දැනට නගරයට සම්බන්ධ පිරිස වෙත ලබා දීමට අවැසි පරිදි පාරිසරික, ආර්ථික සමාජීය අවශ්‍යතා සම්පාදනය කරනු ලැබිය යුතු අතර පරිසරයට වන හානිය පාලනය එහි දී විශේෂයෙන් අවධානයට ලක්‌ වේ. ඒ අනුව මේ සංකල්පය තුළ නාගරීකරණයේ තිරසාරත්වය අපේක්‌ෂා කෙරේ. නගරයක කාර්යයන් රාශියක්‌ එකතු වී තිබෙන නිසාවෙන්, එම සියලු අවස්‌ථාවල දී ම ඉහත පසුබිම නිර්මාණයට උත්සාහ කළ යුතු ය. මේ විග්‍රහය තුළ තෝරාගත් නාගරික ක්‍රියාවලි ඇසුරින් ඒ පිළිබඳව මෙතැන් සිට විවරණය වේ.

කෝපන්හේගන් (ඩෙන්මාර්කය), සැන්ෆ්‍රැන්සිස්‌කෝ (ඇ.එ.ජ.), වැන්කුවර් (කැනඩාව) හා සිංගප්පූරුව වැනි ලෝකයේ නම් කොට තිබෙන හරිත නගර හෙවත් තිරසාර නගරවල දී පරිසර හිතකාමී ක්‍රියාවලි මානව ක්‍රියාකාරකම් තුළට බද්ධ වී තිබේ. මෙවැනි නගර තුළ පවතින ක්‍රියාකාරකම් එක අතකින් ගෝලීය වශයෙන් තිරසාරත්වය ආරක්‌ෂා කිරීමට දායක වන අතර ඒ යන ගමන තුළ ප්‍රදේශිකව ද අදාළ නාගරික ප්‍රදේශය තුළ තිරසාරත්වය පවත්වාගැනීම ද සිදුවේ. එවැනි ක්‍රියාකාරකම් තුළ දී නාගරික පරිසරයක සුලබව පවතින නිර්මිත පාරිසරික සාධක (ගොඩනැගිලි වැනි) , ශක්‌ති පරිභෝජනය, ස්‌වාභාවික සම්පත් පරිහරණය (උදා - ජලය, ශාක) යන ඒවා තිරසාරව පවත්වාගැනීම ඉලක්‌ක කොට තිබේ. සංවර්ධනය හා නාගරීකරණය වර්ධනය සමග සිදු වන අධිපරිභෝජනය තුළ සාමාන්‍යයෙන් ඇති වන පරිසර සම්පත් හායනය වෙනුවට එම පරිභෝජනයන් පරිසර හිතකාමී කිරීමට නව තාක්‌ෂණය, උසස්‌ සැලසුම්කරණය හා ජනතාවගේ චින්තන ධාරාව වෙනස්‌ වීම ඇත්තෙන් ම මෙවැනි හරිත නගර තුළින් අපේක්‌ෂිත අරමුණුවල අන්තර්ගතය වේ.

නගරයක්‌ සේවා සම්පාදනය වන කේන්ද්‍රයක්‌ වන විට එහි ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි හා පරිවහන ජාලයන් ව්‍යාප්තිය සිදු වේ. මින් ගොඩනැගිලි ඉදි වීම හේතුවෙන් පාරිසරික වශයෙන් විවිධ නිශේධනීය තත්ත්වයන් නිර්මාණය වේ. නාගරික ගොඩනැගිලි නිසා නගරාශ්‍රිත ව නිර්මාණය වන තාප දූපත් මගින් (Heat Islands) නගරවල සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. නාගරික ගොඩනැගිලි තුළ එම උෂ්ණත්වය පාලනයට අවශ්‍ය වායු සමන පද්ධති උදෙසා ඒ සමග වැඩි බලශක්‌තියක්‌ අවැසි වේ. එහි ප්‍රතිඵල ලෙස නගරයේ එක අතකින් ජීවත් වීම අපහසු වන අතර නිෂ්පාදන ඵලදායිතාවට පවා ඉන් බලපෑම් සිදු වේ. එසේ ම අධික බලශක්‌ති අවශ්‍යතාව මත පරිසරයට මුසු වන හරිතාගාර වායු විමෝචනය ඉහළ යා හැකි ය. වර්ෂ 2005 දී ලෝකයේ ෆොසිල ඉන්ධන ආශ්‍රිත මුළු කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය වසරකට මෙගා ටොන් 30,049.809ක්‌ වූ අතර 2017 දී එය මෙගා ටොන් 37,077.404ක්‌ දක්‌වා වර්ධනය වී තිබේ.

හරිත නගර සංකල්පය තුළ නාගරික උෂ්ණත්වය, බලශක්‌ති හානිය අවම කිරීමේ ක්‍රමෝපායන් අතර හරිත වන තීරු නිර්මාණය, හරිත ගොඩනැගිලි නිර්මාණය හා බලශක්‌ති කළමනාකරණය දැකිය හැකි ය. ලන්ඩන්, ස්‌ටොක්‌හෝම් වැනි නගරවල එවැනි හරිත වන තීරු නිර්මාණය කොට ඇති අතර තිරස්‌ ව හා සිරස්‌ ව යන ආකාර දෙකට ම හරිත වර්ණය නගරය තුළට එක්‌ කිරීමට වර්තමානයේ බොහෝ විට උත්සුක වේ. අද වන විට නාගරික භූ දර්ශනය තුළ බහුල වන සිරස්‌ අවකාශය භාවිතයට ගත් උස්‌ ගොඩනැගිලිවල මුදුන්වල හා අවැසි පරිදි ගොඩනැගිල්ලේ වෙනත් ස්‌ථානවල පවත්වාගන්නා හරිත ශාක දැකිය හැකි වන අතර සිංගප්පූරුවේ ඇති හරිත ගොඩනැගිලි ඊට නිදසුනකි. හරිත ගොඩනැගිලි තුළ හැකිතාක්‌ ස්‌වාභාවික ආලෝකය භාවිත කිරීමට හැකි පරිදි වන ජනේල සැකසුම මෙන්ම ගොඩනැගිල්ලට අවැසි බලශක්‌තිය සූර්ය ශක්‌තිය වැනි ප්‍රභව හරහා ලබාගැනීමේ ක්‍රමෝපායන් (සුර්ය පැනල භාවිතය වැනි) ඇතුළත් ය.

මේ සමග ම පුනර්ජනනය වන තිරසාර බලශක්‌ති නිෂ්පාදන මූලයන් හරිත නගරයක බලශක්‌ති අවශ්‍යතාවට දායක වන අතර සූර්ය ශක්‌තිය, ජෛව ඉන්ධන භාවිතය එහි දී සිදු කෙරේ. විශේෂයෙන් සෞම්‍ය කලාපයේ පිහිටි නගරවල උණුසුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්‌ෂම ව හා තිරසාර ව ක්‍රියාත්මක කිරීමට අවැසි ලෙස පහසුකම් සම්පාදිත ය. නිදසුනක්‌ ලෙස කෝපන්හේගන් නගරයේ 98%‍ක්‌ පමණ නිවාස එවැනි කාර්යක්‌ෂම ප්‍රාදේශීය මට්‌ටමක උණුසුම් කිරීමේ පද්ධතියකට සම්බන්ධ කොට ඇත.

ස්‌වාභාවික සම්පතක්‌ වන ජලය භාවිතය හරිත නගරයක දී සිදු වනුයේ ඉතා කළමනාකරණය කරන ලද පසුබිමක්‌ තුළ ය. විශේෂයෙන් භාවිත වන ජලය අවශ්‍යතාව අනුව වර්ග කරමින් ලබා දේ. නිදසුනක්‌ ලෙස ගොඩනැගිලිවල ඇතැම් අවශ්‍යතා උදෙසා වරක්‌ භාවිත කොට ප්‍රතිචක්‍රීයකරණය කළ ජලය යොදාගැනෙන අතර ගොඩනැගිලි සිසිල් කිරීමට ද ජලය යොදාගන්නා සිසිලන පද්ධති යොදාගැනෙයි. කෝපන්හේගන් නගරයේ ජලය යොදාගන්නා සිසිලන ක්‍රමවේදය හරහා සාම්ප්‍රදායික සිසිලන පද්ධතියකට වඩා 70% ක්‌ පමණ බලශක්‌ති ප්‍රමාණයක්‌ ඉතිරි කිරීමට හැකි ව ඇතැයි පැවසේ.

පරිවහන පහසුකම් නගරයක පැවතිය යුතු මූලිකාංගවලින් ප්‍රධාන ම එකකි. හරිත නාගරීකරණයක්‌ උදෙසා මෙවැනි පරිවහන ක්‍රම හැකිතාක්‌ පරිසර හිතකාමී විය යුතු අතර ලොව ප්‍රධාන නගරවල එවැනි පරිවහන ක්‍රම දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇ.එ. ජනපදයේ වොෂින්ටන් ඩී.සී. ආශ්‍රිත ප්‍රදේශයේ ධාවනය වන මෙට්‍රොබස්‌ සේවාවේ බස්‌ රථ දෙමුහුම් හෝ සම්පීඩිත ස්‌වාභාවික වායු මගින් බලගැන්වේ. මීට අමතර ව ෆොසිල හෝ වෙනත් විශේෂිත ඉන්ධන අවැසි නො වන පාපැදි උදෙසා නගරවල ඉඩ ලබා දීම අද වන විට ජනප්‍රිය වී තිබේ. විශේෂයෙන් පාපැදි භාවිත කරන්නන් උදෙසා වෙන ම මංතීරු ලබා දීම, වර්ණ සංඥා භාවිතය ඇතුළු මාර්ග සංඥා ඇසුරින් පාපැදි මංතීරු විධිමත් කිරීම පාපැදි ආරක්‌ෂිත ව භාවිත කිරීමට දිරිමත් කරන සාධක ලෙස දැක්‌විය හැකි ය. නිදසුනක්‌ ලෙස තම එදිනෙදා කාර්යයන් උදෙසා පාපැදි ඔස්‌සේ ගමන් කිරීම ලොව හරිත තත්ත්වයේ නගරවල දැකිය හැකි අතර කෝපන්හේගන් නගරයේ මේ කාලයේ 36%‍ ක්‌ පමණ අධ්‍යාපන කටයුතු හා සේවාවලට යැමට පාපැදි යොදාගැනෙයි. අනාගතයේ දී මෙය 50%‍ ක්‌ පමණ වනු ඇතැයි අපේක්‌ෂි තය.

මෙසේ ව්‍යාප්ත වූ හරිත නාගරීකරණ උපාය මාර්ග මත ලොව ප්‍රධාන නගර කිහිපයක්‌ පෙර දැක්‌වූ පරිදි තිරසාර ලක්‌ෂණ ද සිය නාගරීකරණ ක්‍රියාවලිය හා කැටුව යන අතර ඒ ඔස්‌සේ වඩා පරිසර හිතකාමී නාගරීකරණ ලක්‌ෂණ ඇතුළත් අනාගත ප්‍රක්‌ෂේපණයන් බලාපොරොත්තු වේ. ඊට නිදසුන් දැක්‌වුව හොත් 2050 වන විට වැන්කුවර් නගරය තුළ 100% ක්‌ පුනර්ජනනීය බලශක්‌ති මූලයන් භාවිතය සඳහා සැලසුම් කොට ඇත. ඊට අමතර ව විශේෂයෙන් කෝපන්හේගන් නගරය 2025 පමණ වන විට ලොව ප්‍රථම කාබන් උදාසීන මට්‌ටමක (Carbonneutral) නගරය ලෙස පත් වීම ඉලක්‌කයක්‌ කොටගෙන තිබේ.

දේශීය මට්‌ටමින් හරිත නාගරීකරණයක්‌ උදෙසා ඇති නැඹුරුව දැක්‌වුව හොත් මෙරට ඇතැම් නගරවලට හරිත නගර උදෙසා අවැසි ව්‍යුහාත්මක ක්‍රියාවලි ග්‍රහණය වී තිබේ. වාණිජ අගනගරය වූ කොළඹ නගරය ද ඉන් එකක්‌ වන අතර නගරාශ්‍රිත ව හරිත පැහැය වර්ධනය එහි දී අපේක්‌ෂිත ය. කොළඹ තදාශ්‍රිත නාගරික ප්‍රදේශයේ ඉදි කෙරෙන හා ඉදි කර ඇති ගොඩනැගිලි හරිත තත්ත්වයට ගෙන ඒමට උත්සාහ කොට ඇති ආකාරය ද දැකිය හැකි ය. තව ද, අගනගරයෙන් බැහැර ප්‍රදේශවලට ද හරිත නගර නිර්මාණ ක්‍රියාවලිය ව්‍යාප්තියට කටයුතු කරන අවස්‌ථා හදුනාගත හැකි අතර ඊට නිදසුනක්‌ ලෙස මෑතක දී හරිත නාගරික ප්‍රදේශයක්‌ ලෙස ජනතා අයිතියට පත් කළ ලග්ගල නගරය දැක්‌විය හැකි ය.

ඒ අනුව සාම්ප්‍රදායික නාගරීකරණයේ දී අමතක ව ගිය පාරිසරික සමීපස්‌ථභාවය හරිත නගර හරහා යළි අවධානයට ලක්‌ කොට ඇති බව පෙනී යයි. හරිත නගර උදෙසා අවැසි පෙර දැක්‌වූ අවශ්‍යතා සම්පූර්ණ කළ විට නාගරික වැසියන්ගේ ජීවන තත්ත්වය වඩා පරිසර හිතකාමී ලෙස උසස්‌ වේ. ඊට අමතර ව නගරයට සේවාවන් ලබාගැනීමට එන පිරිසට ද හරිත නගරයක්‌ සුවදායක අත්දැකීමක්‌ වන අතර සාම්ප්‍රදායික කලබලකාරී, අපිරිසිදු වාතය සහිත කොන්ක්‍රීට්‌වලට කොටු වූ විඩාබර පරිසරයක්‌ වෙනුවට ස්‌වාභාවිකත්වයට ආසන්න වූ නිර්මිත පරිසරය ඊට හේතු වේ.

හරිත නගර සාධනීය ලෙස පවතිනුයේ නගරය හා සම්බන්ධ වැසියන්ගේ ආකල්ප සංවර්ධනය ද සමගිනි. මෙහි දැක්‌වෙන කිසිදු හරිත සංවර්ධන උපාය මාර්ගයක්‌ ජනතා ආකල්පවලින් පරිබාහිර ව මහපොළොව මත යථාර්ථයක්‌ කරගැනීම ඇත්තෙන් ම පහසු නො වනු ඇත. නාගරික හරිත වන තීරු ආරක්‌ෂා කරගැනීමට දායක වීම, පාපැදි වැනි තිරසාර ප්‍රවාහන ක්‍රම වෙත යොමු වීමේ දී එය සාමාන්‍ය හා විනෝදකාමී අත්දැකීමක්‌ ලෙස සංජානනය කරගැනීම මෙන්ම ජලය ආදී ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණය උදෙසා සක්‍රිය ව දායක වීම එවැනි ආකල්ප අතර වේ.

සමස්‌තයක්‌ ලෙස නිගමනය කළ හැකි වනුයේ ලෝකයේ තිරසාර සංවර්ධනය උදෙසා නාගරීකරණය සාධනීය ලෙස සම්බන්ධ කරගැනීමේ දී හරිත නගර ඉතා වැදගත් වන බවත්, පරිසරය වෙත සංවර්ධන ක්‍රියාවලින් හරහා එල්ල වී ඇති නිශේධනීය තත්ත්වයන් නාගරීකරණය හරහාත් සිදු වනු වැළැක්‌වීමට හරිත නගර යෝග්‍ය ප්‍රවේශයක්‌ වන බවත් ය.
 

 


තනුර මධුශංක සිල්වා

MPhil (Reading) (Kelaniya), B.A. (Hons)in Geography (Kelaniya)