logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මිනිසාට ගින්දර...



ඔලිම්පස්‌ කඳු මුදුනේ සිටින අනෙක්‌ දෙවිවරුන්ට මෙන් ප්‍රොමිතියස්‌ට හිතේ සතුටක්‌ නැත. මිනිස්‌ වර්ගයා විඳින අනේකවිධ දුක්‌ ඔහුට පෙනේ. ලෙන් තුළට වී සීතලේ හා හාමතේ මියෑදෙමින්, අනෙක්‌ සතුන්ට ගොදුරු වෙමින් සියලු සතුන් අතර දුක්‌ත ම තත්ත්වයේ මිනිස්‌ වර්ගයා ඉඳිද්දී ප්‍රොමිතියස්‌ට සතුටු විය නො හැකි ය. අනෙක්‌ දෙවිවරුන්ට මෙන් නො ව ප්‍රොමිතියස්‌ට අරමුණක්‌ ඇත. වගකීමක්‌ ඇත. එනම් මිනිස්‌ වර්ගයා ප්‍රගතිය, සමෘද්ධිය කරා ගෙන යැමයි. මේ අන්ත දුක්‌ත තත්ත්වයෙන් දියුණුව, ප්‍රගතිය කරා යැමට මිනිස්‌ වර්ගයාට අඩු එක ම එක දෙයයි. ඒ නම් ගින්දරයි. ප්‍රොමිතියස්‌ තමාට ම කියාගත්තේ ය. එහෙත් ඔවුන්ට ගින්දර ලබා දෙන්නේ කෙසේ ද?

ප්‍රොමිතියස්‌ ගොස්‌ සියුස්‌ දෙවියන් හමු විය. සියුස්‌ සිය පියා ඇතුළු ටයිටන් ලා පැරදූ සියලු දෙවියන් අතර වීර නායකයා ය. ඔහු අහසට අධිපති ය, වැස්‌සට අධිපති ය. ඔහුට එරෙහි වන්නන්ට දෙන දඬුවම හිස මතට අකුණු සැරයයි. අකුණ ඔහුගේ අවියයි. ඒත් ප්‍රොමිතියස්‌ගේ ඉල්ලීමෙන් සියුස්‌ තැති ගත්තේ ය. හෙතෙම ප්‍රොමිතියස්‌ගේ ඉල්ලීම එක හෙළා ප්‍රතිෙක්ෂaප කළේ ය.

"එක ගිනි පුළිඟුවක්‌ වත් මා ඔවුන්ට දීමට ඉඩ තියෙන්නේ නැත, ඔවුන්ට ගින්දර ලැබුණොත් ඔවුන් නිසැක ව ම අපට වඩා ශක්‌තිමත් වනු ඇත. ටික කලකින් අප මේ ඔලිම්පස්‌ කන්දෙන් ද එළවා දමනු ඇත. අනෙක ගින්දර වැනි භයානක දෙයක්‌ දීමට තරම් මනුෂ්‍ය වර්ගයා විශ්වාස කළ නො හැකියි. හොඳ ම දේ අප මේ විදියට ලෝකය පාලනය කරගෙන ඉඳීමයි." සියුස්‌ගේ අදහස ස්‌ථිර විය.

බලාපොරොත්තු කඩ වූ ප්‍රොමිතියස්‌ තමාට ම මෙසේ කියාගත්තේ ය. "සියුස්‌ මොනවා කීවත් මිනිසාට ගින්දර තිබිය යුතු මයි". ප්‍රොමිතියස්‌ තීරණයක්‌ ගත්තේ ය. සියුස්‌ගේ ආයුධය වූ අකුණෙන් ම ගිනි පුළිඟුවක්‌ සොරාගත් ඔහු එය මනුෂ්‍ය වර්ගයාට දුන්නේ ය. පසු ව එක්‌ සීත සැන්දැවක, ඔලිම්පස්‌ කන්දෙන් බැසගත් සියුස්‌ දෙවියන් දුටුවේ සියලු ගම් බිම්වල ගිනිමැල දල්වාගෙන ඒ වටා සතුටෙන් නටන ගැහැනුන් සහ මිනිසුන් ය. තැතිගත් සියුස්‌ට කාරණය පැහැදිලි විය. තරහෙන් ඉහ වහා ගිය හෙතෙම, සදාකාලික ව විඳවීමට ප්‍රොමිතියස්‌ අල්ලා ඔලිම්පස්‌ කන්දේ ගලක ගැටගසා දැමුවේ ය. හර්කියුලිස්‌ එනතුරු ඔහු විඳවනු ඇත.

ග්‍රීක දේව කතාවට අනුව මිනිසාට ගින්දර ලැබුණේ එසේ ය. මිනිසාට ගින්දර ලැබුණු ආකාරය ගැන තව බොහෝ කතා ඇත. එය කෙසේ ලැබුණත් එය එතැන් සිට ලෝකය වෙනස්‌ කළේ ය. සර්ව බලධාරී සියුස්‌ දෙවි පවා බිය වූ පරිදි ගින්දර එතැන් සිට බලය විය. යමකු ගින්දර (පොදුවේ බලශක්‌තිය) පාලනය කිරීමට, වඩා හොඳින් දන්නේ නම්, අසීමිත ලෙස අනෙක්‌ මිනිසුන් සහ සතුන් ද ස්‌වභාවධර්මය ද කොල්ලකෑමට සදාචාරාත්මක අකැමැත්තක්‌ නැතිනම් ඔහුට අනෙකා පරයා යා හැකි බව අපට පසුගිය වසර 500ක පමණ ලෝක ඉතිහාසය දෙස බැලූ විට පැහැදිලි ය. ගින්දරට දෙවියන් එළවා දැමිය හැකි ය. විශේෂයෙන් ම ආසියාව හා අප්‍රිකාව ගිනි තබා, මිරිකා යුෂ උරා බීමට, යුරෝපය ධන හා බල තෘෂ්ණාවට අමතර ව තුවක්‌කුවල ගිනි බලය ද, උපකරණවල ගිනි බලය ද නැති ව ම බැරි විය.

එසේ නම් මේ ගින්දර හෙවත් එමඟින් ඇති කරනවා යෑයි කියන තාපය යනු කුමක්‌ ද? ඒ පිළිබඳව සියවස්‌ ගණනක්‌ කළ අධ්‍යයනයන්ට භෞතික විද්‍යාවේ විශේෂ තැනක්‌ හිමි වන අතර එය යම් ආකාරයකට දාර්ශනික වශයෙන් බටහිර දැනුමේ සාම්ප්‍රදායික යාන්ත්‍රික ලෝක දැක්‌මට ද අභියෝගයක්‌ විය. එමෙන් ම එම අධ්‍යයනයන් තුළින් අසීමිත පරිභෝජනයට හෝ නිෂ්පාදනයන්ට හෝ සෛද්ධාන්තිකව ම යම් සීමාවන් පවතින බවත් හෙළි විය. එමෙන් ම මේ තාපය ගැන කළ අධ්‍යයනයන්, ඊට අසම්බන්ධිත අනෙක්‌ විෂයන්වල ද පැහැදිලි කිරීම් සඳහා යොදා ගැනිණි. ඒ සියල්ලට ම වඩා, පසුගිය සියවස්‌ දෙකක පමණ කාලය තුළ ලෝකයේ සිදු වූ දරාගත නො හැකි වෙනසට ද එක ප්‍රධානතම හේතුවක්‌ වූයේ මේ තාපය ගැන සිදු කළ හැදැරීම්වල ප්‍රතිඵලයන් ය.

සියවස්‌ කිහිපයකට පෙර පැයට සැතපුම් පහක වේගයෙන් ඇවිද ගිය මිනිසා, අද පැයට සැතපුම් විසි පන් දහසක වේගයෙන් යැමට සමත් ය. 1700 වසරේ අශ්වබල එකක එන්ජිම අද අශ්වබල ලක්‌ෂයක්‌ ජනනය කළ හැකි තරමට පැමිණ ඇත. ගින්දර, ලෝකය විප්ලවීය ලෙස වෙනස්‌ කොට ඇත. අනෙක්‌ අතට එය ලෝකය සමස්‌තයක්‌ ලෙස නැවත හැරවිය නො හැකි අර්බුදයක්‌ අබියසට ගෙනැවිත් ඇත. ලෝකයේ අවසානය ගින්නෙන් සිදු වන බවට වූ පුරාණ විශ්වාස බොහෝ සංස්‌කෘතීන්වලට පොදු වූවකි. ඒ කතාවලට දැන් නව පණක්‌ ලැබෙමින් ඇත. 2036 පමණ වන විට ගෝලීය උණුසුම තීරක සීමාව ඉක්‌මවා යනු ඇති බව විශ්වාස කෙරේ. ගණනය කිරීම්වලට අනුව අංශක 3කින් උෂ්ණත්වය ඉහළ යැම ජීවය සියයට තිහකින් (30%) පමණ වඳ කර දැමීමට හේතු විය හැකි ය. මේ සීමාවට ළඟා වීමේ දී බොහෝ ජීව අජීව පද්ධතිවල සමතුලිත ලක්ෂH වෙනස්‌ වන අතර ඇතැම් විට ඒවා වියවුල් පද්ධති වී ව්‍යුහය බිඳී යා හැකි ය. ජීවයට නුසුදුසු නව ව්‍යුහ පහළ විය හැකි ය. පද්ධතිවාදය පෙන්වා දෙන්නේ සමස්‌ත පරිසර පද්ධතියේ ගුණ (උදා (- උෂ්ණත්වය) මානවයා විසින් දරුණු ලෙස වෙනස්‌ කෙරෙමින් ඇති බැවින් එය යම් සීමාවකින් පසු එක aවර ම (අසංතතික ව) වර්තමාන ජීවයට සාපේක්ෂ ව පූර්ණ වියවුලක්‌ වීමට හැකි බව ය. ඒ සීමාව අප සිතන තරම් ඈතක නො වීමට පුළුවන.

තාපය පිළිබඳ අධ්‍යයනයේ ඉතිහාසය රසවත් වූවකි. අනවරත ව ගලා යන ශක්‌ති ප්‍රවාහය විශ්වයේ රටා ගොඩනඟන බව, ව්‍යුහ ගොඩනඟන බව පෙන්වා දෙනු ලැබිණි. මේ වෙනස්‌ වන සියල්ල යටින් කාලය හරහා දිවෙන ප්‍රමාණාත්මක ව කිසි දා වෙනස්‌ නො වන, වාස්‌තවික යථාර්ථයක්‌ ලෙස ශක්‌තිය නම් සංකල්පයක්‌ බිහි විය. ශක්‌තියට ප්‍රමාණාත්මක අගයක්‌ පමණක්‌ නො ව ගුණාත්මක අගයක්‌ ද ආරෝපණය කළ යුතු බව ටික කලකින් ම පෙනී ගියේ ය. එහි දී පෙන්වා දෙනු ලැබුවේ ශක්‌තිය ප්‍රමාණාත්මක ව නියතයක්‌ වුවත්, එහි ගුණාත්මක බව එන්න එන්න ම අඩු වී යන බවයි. කාලය ඊතලයක්‌ මෙන් ඇදී යද්දී තාපය මඟින් විශ්වය වියවුල් කරන බවයි. යන්ත්‍රවල කාර්යක්ෂමතාවේ සීමා, ප්‍රයෝගික ගැටලුවක්‌ නො වන බවත්, සදා චල යන්ත්‍ර යනු සෛද්ධාන්තික ව ම සිහිනයක්‌ බවත් අවබෝධ විය. ශක්‌තිය, සිය පූර්ණ වියවුල් ආකාරය වූ තාපය බවට පත් වීමේ නිසග ගුණය කාල පරිණාමයේ රහස ලෙස හඳුනාගැනිණ. නිව්ටන්ගේ කාල සමමිතික යාන්ත්‍රිකය හා කාල අසමමිතික ශක්‌ති පරිණාමයත් අතර නව විසංවාදයක්‌ ජනිත විය.

වියවුල දෙසට වන ශක්‌ති පරිණාමය බටහිර ලෝක දැක්‌මට එතරම් දිරවාගත හැකි දෙයක්‌ වූයේ නැත. වසර දහස්‌ ගණනක්‌ පැරැණි පොරොන්දු දේශයේ කතාව ඔවුන්ගේ ඇට මිදුළු තුළට ම කාවැදී ඇත. ඒක සෛලික ජීවයේ සිට වඳුරා දක්‌වාත්, ඉන් පසු කළු මිනිසාත් ඉන් පසු වඩාත් ම දියුණු සුදු මිනිසාත් පරිණාමය වී ඇති බවත් විශ්වාසය විය. ඩාවින්ගේ පරිණාමවාදය එම දැක්‌ම වඩා හොඳින් යුක්‌ති යුක්‌ත කළේ ය. අනෙක්‌ සියල්ල යට කොට ලෝකය තම අතට ගැනීම ඉතිහාසයේ නිසග ප්‍රතිඵලයක්‌ බව ඔවුන්ගේ විශ්වාසය විය. සොර්ස්‌ටාගේ සිට ටොර්ගට්‌, ඩාවින්, හේගල්, ස්‌පෙන්සර්, මාක්‌ස්‌ මේ සියල්ල පෙන්වා දුන්නේ මිනිසා ප්‍රගතිය, දියුණුව, නිරවුල කරා ගමන් කරන බවයි. හෙට අදට වඩා නිරවුල් බවයි. ඉතිහාසය නම් ප්‍රගතිය බවයි. ලන්ඩනය, බර්ලිනය, පැරීසිය, නිව්යෝක්‌ නගරය ඒ කතාවේ ජීවමාන සාක්ෂි බව ය. එහෙත්, තාපය එන්න එන්න ම ලෝකය වියවුලක්‌ කිරීම, මේ ශක්‌තියේ ගුණාත්මක බව එන්න එන්න ම සිඳී යැම පොරොන්දු දේශය පිළිබඳ වූ බටහිර භක්‌තිමත් ඇදහිල්ලට විසංවාදයක්‌ එක්‌ කළේ ය. යුටෝපියාවක්‌ ගැන වූ සිහිනය බොඳ වන්නට විය.

එන්ට්‍රොපිය හෙවත් වියවුල ගිල දමන භූතයන් සංවර්ධනවාදීන්ට නව බලාපොරොත්තු ඇති කළ අතර නියමයන්හි නිරපේක්ෂභාවය රැකගැනීමට භූතයන් පළවා හැරීම ද සිදු වෙමින් ඇත. කාර්නොට්‌ගේ එන්ජිමෙන් පටන්ගත් එන්ට්‍රොපිය ක්‌වොන්ටාවට පමණක්‌ නො වන අවකාශ කාලයට ද ආරෝපණය වී ඇත.

නිව්ටන් ගොඩනැඟූ ලෝකය හුදු යන්ත්‍රයකි. යම් වස්‌තුවකට හෝ අංශුවකට හෝ ඕනෑ ම මොහොතක අවකාශයේ යම් නිශ්චිත පිහිටීමක්‌ පවතී. කාලය සමඟ මේ පිහිටීම වෙනස්‌ වන්නේ යෑයි සිතමු. ඒ වස්‌තුවේ ගමන්මඟ සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව සන්තතික පථයකි. දැන් මේ පිහිටීම් හා කාලය සලකා එහි ප්‍රවේගය ගණනය කළ හැකි ය. දෙවියන් සියල්ල චලිතයේ පවත්වා ඇත්තේ සරල නියම කිහිපයකට අනුව ය. යම් මොහොතක පිහිටීම හා ප්‍රවේගය දන්නේ නම්, ඕනෑ ම කාලයකට පසු එහි පිහිටීම අර නියම යොදා ගණනය කළ හැකි ය. පද්ධතියක්‌ සැලකූ විට එහි හැසිරීම කෙතරම් සංකීර්ණ වුවත් ඒ සියල්ල අවසානයේ මූලික කොටස්‌ හෝ අංශු අතර බලයන්ටත් ඒ එක්‌ එක්‌ කොටස්‌වල චලිතයටත් ඌනනය කළ හැකි ය. කොටස්‌වල එකතුවෙන් සමස්‌තය ලැබේ. එනම්, මේ සියල්ලේ චලිතය හෙවත් පද්ධතියේ පරිණාමය සෛද්ධාන්තික ව නිර්ණය කළ හැකි වේ. මෙය වාස්‌තවික යථාර්ථය පදනම් කොටගත් අයින්ස්‌ටයින්ගේ සාපේක්ෂතාවාදයට ද පොදු කාරණයකි. තවත් ලෙසකින් කියන්නේ නම්, ඒ අනුව විශ්වයේ සමස්‌ත තොරතුරු ප්‍රමාණය නියත වී ඇත. තොරතුරු ඇති වන්නේ වත්, නැති වන්නේ වත් නැත. අනාගතය අද, ඊයේ මෙන් නිශ්චිත වී ඇත. එහෙත් අපට ප්‍රායෝගික ව එසේ පුරෝකථනය කළ නො හැක්‌කේ සියලු කොටස්‌ හා ඒවා අතර සියලු බල හඳුනාගැනීමේ ඇති ගැටලුව නිසා ය. එහෙත් ලප්ලාස්‌ගේ බුද්ධිමතාට එය කළ හැකි ය. එහෙත් තාපය පිළිබඳ හැදැරීම් ඉහත නියතිවාදී අධිපති මතවාදය අභියෝගයට ලක්‌ කළේ ය. ශක්‌තියේ වියවුල, කාල පරිණාමය සම්භාවිතාව මඟින් නිරූපණය කෙරිණි.

විටක මැක්‌ස්‌ ප්ලාන්ක්‌ කීවේ, "නිරපේක්ෂභාවය නැති සම්භාවිතාව යොදාගත් කිසිදු භෞතික විද්‍යා පැහැදිලි කිරීමක්‌ ගැන මා අවධානය යොමු කළේ නැත. මගේ මතය වූයේ නියමයන් මෙන් ම පැහැදිලි කිරීම් ද නිශ්චිත වූ නිරපේක්ෂ යථාර්ථය පදනම් කරගත යුතු බවයි." එහෙත් තාපය පිළිබඳ අධ්‍යයනයන් පෙන්වා දුන්නේ සම්භාවිතාව හා සංඛ්‍යානය තවදුරටත් භෞතික විද්‍යාවෙන් ඈත් කර තැබීම කළ නො හැකි බව ය.

ශක්‌තියේ වියවුල (තාපගතික එන්ට්‍රොපිය) හා තොරතුරු අතර සබඳතාව පිළිබඳ බොහෝ වාද විවාද අදට ද නිමක්‌ නැති ව පවතී. මැක්‌ස්‌වෙල්ගේ දොරටුපාල භූතයා, සිලාඩ්ගේ එන්ජිමේ සිට ක්‌වොන්ටම් තරංග ශ්‍රිතය බිඳ වැටීම සහ සදා චල පරිගණක දක්‌වා කාරණය දුර දිග ගොස්‌ ඇත. තොරතුරු ගණනයේ සීමා පැහැදිලි විය. එමෙන් ම යල්පැන ගිය සදා චල යන්ත්‍රය වෙනත් මඟකින් ඉලෙක්‌ට්‍රොනික ලෝකයට පැමිණ ඇත. ඒ ප්‍රතිවර්ත්‍ය ගණනයන් සිදු කරන තාපය ජනනය නො කරන පරිගණකය ලෙස ය. තොරතුරු වියවුල නිරවුල් කරයි ද? ඒ නිරවුල් කිරීම ම වියවුලක්‌ ජනිත කරයි ද? අපගේ දැක්‌ම හුදු තාපගතික එන්ට්‍රොපියකට ලඝූ කළ හැකි ද? වියවුල වැඩි නො කොට තොරතුරු විශ්ලේෂණය කළ නො හැකි ද? මෙහි අදහස නම් මතකය පවත්වාගැනීම හා අපගේ දැනීම සැම විට ම භෞතික ක්‍රියාවලියක්‌ බවත්, ඒ සඳහා යාන්ත්‍රික ශක්‌ති හුවමාරුවක්‌ අවශ්‍ය බවත් ය.

තව ද තාප ශක්‌ති වියවුල සමස්‌තයේ ගුණයන් බව පෙන්වා දීම වැදගත් කාරණයකි. ඌනතිවාදී දැක්‌ම අභියෝගයට ලක්‌ විය. විශ්ලේෂණයේ සීමා පැහැදිලි වන්නට විය. නො නැවතී ගලන ජල ප්‍රවාහයක දිය සුළියක්‌ (ව්‍යුහයක්‌) ඇති වනවා මෙන් වෙනස්‌ වීම තුළ ව්‍යුහ අනන්‍යතා ගොඩනැඟීම සමස්‌තයේ ගුණයක්‌ බව පැහැදිලි විය. අවකාශයේ නිරවුල් රටා කාලය අනුව බැලුව හොත් වියවුල් බව ද පෙනෙන්නට විය. අනවරත වෙනස්‌ වීම තුළ සම්මුති අනන්‍යතා, සාපේක්ෂ ව්‍යුහ ගොඩනැඟෙන බවත්, වියවුල හා නිරවුල අප බලන මානයට මෙන් ම පරිමාණයට සාපේක්ෂ බවත් තව තවත් තහවුරු වෙමින් ඇත. එය වෙනස්‌ ම ලෝක දැක්‌මකට මඟ පාදා ඇත.

මෙසේ බටහිර දැනුම තුළ විප්ලවකාරී වූ විශ්වය වියවුලක්‌ කරන තාප විද්‍යාවේ කතාව මෙතැන් සිට දිග හැරේ.