logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අර්බුද සමයක සංවර්ධනය...


 

කෙමෙන් උග්‍ර වෙමින් පවතින භයානක අර්බුදයකට වර්තමාන මානව වංශය මුහුණ පා සිටී. මෙහි ඇති සරදම්කාරී ස්‌වභාවය වන්නේ තමන් මුහුණ දී ඇති අර්බුදයේ ලොමු දැහැගැන්වෙනසුලු භයානකත්වය පිළිබඳව මානවයාට ප්‍රමාණවත් සංවේදීභාවයක්‌ හෝ ඒ පිළිබඳ පූර්ව සූදානමක්‌ හෝ නොමැති බව පෙනී යැමයි.

අද ලෝකයේ මූලික ම අභියෝගය වී ඇත්තේ මිනිසා විසින් ඇති කරන ලද පාරිසරික හා දේශගුණ විපර්යාස සඳහා විස`දුම් සපයාගන්නා අතරම පාරිසරික තිරසර භාවය සමඟ ආර්ථික සංවර්ධනය ප්‍රශස්‌ත ලෙස මුසු කරමින් මතු කරගන්නා 'තිරසර සංවර්ධන' මාවතට පිවිසීමයි.ෆොසිල ඉන්ධන භාවිතය තුළින් ඉස්‌මතු වූ තාක්‌ෂණික පෙරැළි මෙන් ම වැඩි දියුණු කළ ශාක අභිජනන ක්‍රම ආදිය භාවිත කරමින් සිදු කළ ආහාර නිෂ්පාදිතයේ විශිෂ්ට වර්ධනයන් ආදිය මිනිසා විසින් අතීතයේ දී අත් කරගනු ලැබූ තාක්‌ෂණික ජයග්‍රහණයන් අතර කැපී පෙනේ. මෙමඟින් අපගේ ජීවන තත්ත්වය ඉහළ දැමූ තරමට ම පරිසරය මත අහිතකර අතුරු බලපෑම් රාශියක්‌ ද සිදු කොට තිබෙන්නේ තාක්‌ෂණික විස`දුම් කිසිවක්‌ සර්ව සම්පූර්ණ නැති බැව් සනාථ කරමිනි. උසස්‌ තාක්‌ෂණයන්හි ප්‍රතිලාභ අත්හැර දමනවා වෙනුවට අනපේක්‌ෂිත අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉතා ම ශීඝ්‍ර ලෙස හැඩගැසෙන්නට අපට සිදු වී තිබෙන්නේ එබැවිනි.


ඇන්ත්‍රොපොසීනය - පෘථිවිය මත මිනිසා තැනූ යුගය

නොබෙල් ත්‍යාග සම්මානිත පෝල් ක්‍රැට්‌සන්, ක්‌ලොරෝෆ්ලොරෝකාබන් (CFC) නිසා සිදු වන ඕසෝන් වියන ක්‌ෂය වී යැම පිළිබඳව අනාවරණය කරගත් පරිසර විදාඥයන් තිදෙනා අතරින් අයෙකි. පෘථිවි ඉතිහාසයේ වර්තමාන යුගය හැඳින්වීම සඳහා හේ 'ඇන්ත්‍රොපොසීන' යන යෙදුම හ`දුන්වා දුන්නේ ය. 'මිනිසා තැනූ යුගය' යන අරුත් ඇති මේ ග්‍රීක යෙදුමෙන් ක්‍රැට්‌සන් අදහස්‌ කළේ තීරණාත්මක පෘථිවි පද්ධතීන් බොහොමයක්‌ මානව වර්ගයා විසින් බරපතළ ලෙස අවුල් කොට දමා ඇති බවයි.

ක්‍රැට්‌සන් මේ බව හොඳින් දන්නේ ක්‌ලොරෝෆ්ලොරෝකාබන් භාවිතය තුළින් ස්‌ථර ගෝලය (stratosphere) තුළ සිදු වන ඕසෝන් ජනනය වීමේ ස්‌වාභාවික ක්‍රියාවලියට මානව වර්ගයා විසින් අත්වැරැදීමකින් සිදු කරන ලද බලපෑම පිළිබඳව සොයාගැනීමට ඔහු ද දායක වූ බැවිනි. මෙහි උත්ප්‍රාසාත්මක ස්‌වභාවය වන්නේ ඕසෝන් වියන ක්‌ෂය වී යැම ඉතා ඉහළ මට්‌ටමකින් සිදුවූ 1970 ගණන්වල මුල් භාගයේ දී එවැන්නක්‌ සිදු වන බව අප සංකා මාත්‍රයකින් හෝ නො දැන සිටීමයි.

ඉදිරියේ දී මෙවැනි වෙනත් අනපේක්‌ෂිත විස්‌මයන් අනාවරණය කරගැනීමට හෝ කටුක අයුරින් ඉගෙනගැනීමට හෝ අපට සිදු වන බව සැකයකින් තොර ව කිව හැක්‌කේ, මානව සංහතිය විසින් පෘථිවියට සිදු කෙරෙන ඇතැම් බරපතළ හානි පිළිබඳව අප තවමත් හරි හැටි නො දන්නා බැවිනි. බිලියන 6.8ක්‌ වූ පෘථිවි ජනගහණයේ ප්‍රමාණයත්, ඇ. ඩොලර් 17,000ක්‌ පමණ වූ ඒක පුද්ගල නිෂ්පාදනය තුළින් මතු වන ලෝක ආර්ථික ක්‍රියාදාමයන්හි පරිමාණයත් කෙතරම් දැවැන්ත වන්නේ ද යත්, එමඟින් පෘථිවියේ ස්‌වාභාවික පද්ධතීන් මත ඇති කළ දැවැන්ත ඇන්ත්‍රොපොජෙනික (මිනිසා විසින් ඇති කරන ලද) බලපෑම තවමත් වටහාගැනීමට හැකියාවක්‌ ලැබී නොමැත.

සත්ත්ව පාලනයේ දී අවශ්‍ය වන ධාන්‍යමය ආහාර ද ඇතුළුව මානව වර්ගයා විසින් ජනනය කොට ඇති ආහාර සඳහා වූ ඉල්ලුම දිනෙන් දින කෙතරම් ඉහළ යන්නේ ද යත්, සමස්‌තයක්‌ වශයෙන් ගත් කල එය පෘථිවිය මත සිදු වන සමස්‌ත ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මඟින් තිර කැරෙන ආහාර ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ වේ. අපගේ වගා බිම් මෙන් ම තෘණ භූමිවල සිදු වන ප්‍රභාසංශ්ලේෂණය අප විසින් විසින් පාලනය කරනු ලැබ ඇත. දැවැන්ත ගොඩනැඟිලි, මං මාවත් ඇතුළු මිනිසා විසින් නිර්මිත ව්‍යqහයන් සඳහා වෙන් වූ ඉඩකඩෙහි ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මුළුමනින් ම නැවතී ඇත.

ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මත අප විසින් පනවනු ලැබ ඇති දැවන්ත බල පරාක්‍රමය නිසා අනෙකුත් සත්ත්ව විශේෂයන් සඳහා හිමි වන ආහාර ප්‍රමාණය හා වාසස්‌ථාන ඉඩකඩ සීමා වෙමින් පැවතීම අරුමයක්‌ නො වේ. අපගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ශාක හා සත්ත්ව ප්‍රභේද රාශියක්‌ අපගේ මේ උග්‍ර කෑදරකම නිසා ශීඝ්‍ර ලෙස ක්‌ෂය වී යැමේ නැත හොත් වඳ වී යැමේ තර්ජනයට මුහුණ පා සිටිති. පරාගණයට හවුල් වන කෘමීන් කෙමෙන් අතුරුදන් වෙමින් පවතී. උභයජීවීහු ප්‍රභේද පිටින් වඳ වී යති. ලෝකය පුරා විවිධ මත්ස්‍ය වර්ග අතුරුදන් වෙමින් පවතී.

දැවැන්ත ගංගා මුහුදට ගලා යැම ඇතැම් විට අවහිර කරමින් මහා පරිමාණයෙන් ඉදි කළ වේලි මඟින් ජල චක්‍රයේ මූලික පදනමට අපි බාධා කොට ඇත්තෙමු. ලොව වටා වාරි කටයුතු සඳහා යොදාගන්නා භූගත ජලයෙන් වැඩි කොටසක්‌ නැවත පිරෙනවාට වඩා වැඩි වේගයකින් මුදාහැරීම සිදු වන අතර ඉන්දියාව, චීනය හා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඇතැම් පෙදෙස්‌වල භූගත ජල තලය තියුණු ලෙස පහත වැටෙමින් පවතී.

ග්ලැසියර අයිස්‌ ක`දු ක්‌ෂය වී යැම ආරම්භ වී ඇත. ගෝලීය උණුසුම ඉහළ යැම නිසා ක`දුකර පෙදෙස්‌වලට පතිත වන වැසි තවදුරටත් හිම බවට පරිවර්තනය නො වේ. එහි අර්ථය වන්නේ වසන්තයේ දී හා ගිම්හානයේදී ක්‍රමිකව දිය වන හිම තට්‌ටු වෙනුවට සීත සමයේ දී ගලා යන ජල දහරා ඇති වීමයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් වගාවන් නිසි ලෙස වර්ධනය වන්නට පෙරාතුව වගා බිම් හරහා ජලය ගලා යැම සිදු වනු ඇත.

ආහාර නිෂ්පාදනය වැඩි කරගැනීම සඳහා මිනිසා විසින් රසායනික පොහොර ලෙස නයිට්‍රජන් අධික ප්‍රමාණයක්‌ පොළොවට යොදනු ලබන අතර එය ජෛව විද්‍යාත්මකව හෝ භෞතික ක්‍රියාවලියක්‌ මඟින් හෝ ස්‌වාභාවිකව තිර වන නයිට්‍රජන්වලට වඩා බෙහෙවින් ම වැඩි ය. මේ නිසා පසේ අධික ව තැන්පත් වන නයිට්‍රජන් මඟින් හරිතාගාර වායුවක්‌ වන නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් පරිසරයට විමෝචනය වීමත්, අධික නයිට්‍රජන් ප්‍රමාණයක්‌ ගංගාවලට එක්‌ වීමත් සිදු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ දැවැන්ත ගංගා මුවදොර අසල පෝෂක ලෙස එක්‌ රැස්‌ වන නයිට්‍රජන් මඟින් සුපෝෂක (eutrophication) තත්ත්වයක්‌ අති වී, අනතුරුව ඔක්‌සිජන් හිඟ හයිපොක්‌සියා තත්ත්වයට පත් වෙමින් නිස්‌සාර මළ කලාප ඇති වීමයි. මෙසේ නිස්‌සාර බව ට පත් වූ ගං මෝය සියයකට අධික සංඛ්‍යාවක්‌ ලොව පුරා හ`දුනාගෙන තිබේ. පෘථිවි පරිසර පද්ධති අතරින් වඩා වැදගත් හා සාරවත් අංග අපි මෙසේ විනාශ කරමින් සිටින්නෙමු.


කාබන් ඩයොක්‌සයිඩ් වායුවේ පාරිසරික බලපෑම

පූර්ව කාර්මික යුගයේ දී මිලියනයකට කොටස්‌ (ppm) 280ක්‌ ව තිබූ වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය අපි මේ වන විට මිලියනයකට කොටස්‌ (ppm) 389 හෙවත් සමස්‌ත කාබන් සාන්ද්‍රණයෙන් 1/3කින් ඉහළ දමා ඇත්තෙමු. එසේ ම කාබන්ඩයොක්‌සයිඩ් යනු ප්‍රධාන හරිතාගාර වායුවක්‌ වන අතර, දේශගුණ විපර්යාස සඳහා බලපාන ප්‍රධානතම ඇන්ත්‍රොපොජෙනික සාධකය වේ. එය සාගර ජලය ආම්ලික බවට පත් වීමේ ප්‍රධාන සාධකය ද වේ. කොලොම්බියා විශ්වවිද්‍යාලයයේ ආචාර්යවරයකු මෙන් ම ඇමෙරිකානු රජයේ මුල් පෙළේ දේශගුණික විද්‍යාඥයකු වූ ආචාර්ය ඡේම්ස්‌ හැන්සන් පවසන්නේ එක්‌සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය අනුව, 'පාරිසරික පද්ධති සඳහා බලපෑම් කෙරෙන අනතුරුදායක ඇන්ත්‍රොප්‍රොජනික' අවස්‌ථාව වශයෙන් හැඳින්වෙන අනතුරුදායක කලාපය තුළට අප දැනටමත් ඇතුළු වී හමාර බවයි.

අද දවසේ පරිසරය වෙත මුදා හරිනු ලබන කාබන්ඩයොක්‌සයිඩ්වලින් බොහොමයක්‌ ශත වර්ෂ ගණනාවක්‌ එහි ම රැඳී පවතිමින් දේශගුණ විපර්යාසය සඳහා බලපාන අතර, අනාගත පරපුරු ගණනාවක්‌ මත සියවස්‌ ගණනක්‌ තිස්‌සේ බලපානු ඇත. එසේ සිදු වන්නේ කිසියම් සවිචාර ක්‍රියාදාමයක්‌ තුළින් මේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ඉහළ යැමේ ප්‍රවණතාව ආපසු හැරවිය නොහැකි නම් පමණි. එසේ ම, අප වායු දූෂණය පවිත්‍ර කරත් ම ඇතැම් හරිතාගාර වායූන්හි බලපෑම් ආවරණය කරන අංශුමය වායු දූෂක ද ඉවත් ව යැමේ හැකියාවක්‌ පවතී. දෛවයේ සරදම වන්නේ මිනිසාගේ සෞඛ්‍යයට හිතකර වන ලෙස වායු දූෂණය අඩු කිරීම සඳහා දරන ප්‍රයත්නයන් මඟින් අප වඩාත් ප්‍රබල දේශගුණ විපර්යාසයනට නිරාවරණය විය හැකි බවයි.

දේශගුණික විපර්යාසය යනුවෙන් අදහස්‌ වන්නේ වඩ වඩාත් ඉහළ යන නියඟ, ගංවතුර ඇති වීම හා වාරිමාර්ග ජලය අහිමි වීම, ඉතා බලසම්පන්න වැසි හා අතිශයින් දරුණු කුණාටු සහ තවත් එවැනි බොහෝ දෑ ය. එමඟින් ගෝලීය පරිසරය වෙත ඉතා ම ඉහළ මට්‌ටමේ විචලනයන් සහිත බලපෑම් සිදු වේ. අතිශයින් ඉහළ උෂ්ණත්වය බොහෝ ස්‌ථානවල කෘෂිකාර්මික භෝගවල අස්‌වැන්න අඩු කිරීමට බලපාන අතර, විශේෂයෙන් ම ඝර්ම කලාපීය රටවල එසේ සිදු වන්නේ උෂ්ණත්ව ආතතිය (Temperature stress) හේතුවෙනි.

මේ මොහොතේ පටන් අප සියලු ම ආර්ථික වර්ධන ක්‍රියාකාරකම් නතර කොට ඇන්ත්‍රොප්‍රොජනික බලපෑම් සියල්ලෙහි ප්‍රමාණය ස්‌ථායී කොට තිබුණ ද, ඉහත සඳහන් ක්‍රියාදාමය තවදුරටත් සිදු වනු ඇත. එහෙත්, ආර්ථික වර්ධනයේ අඛණ්‌ඩ පැවැත්ම නවතාලිය හැක්‌කක්‌ නො වේ. එයට හේතුව වන්නේ ඉහළ ආදායම් සහිත රටවල මෙන් ම දියුණු වෙමින් පවතින රටවල ද් ශීඝ්‍රයෙන් ඉහළ යන ජනගහණ වර්ධනයයි.

උදාහරණයක්‌ ලෙස, පොහොසත් ලෝකය දැනටමත් අත් කරගෙන ඇති, ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදන (GNP) එම අගයේ ම තබාගෙන, දියුණු වෙමින් පවතින රටවල් එම අගය කරා ක්‍රමානුකූලව රැගෙන යන්නේ නම්, (නැඟී එන වෙළෙඳ පොළවල දැන් සිදු කරන්නා සේ) කුමක්‌ සිදු වේ ද? ලෝකය පුරා වූ මුළු ප්‍රතිදානයන් පිළිබඳ ඉන් කුමක්‌ අර්ථවත් වේ ද? දියුණු ලෝකයේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 40,000ක්‌ පමණ වන විට සමස්‌ත ලෝකයේ එහි සාමාන්‍ය අගය ඇ.ඩො. 10,000ක්‌ පමණ වේ. මේ ක්‍රියාවලියෙන් අදහස්‌ වන්නේ කිසිදු ජනගහණ වර්ධන වේගයක්‌ නොමැති ව වුව ද, ඒ සඳහා දැනට පවතින දළ ජාතික නිෂ්පාදනයේ සිව් ගුණයක වැඩි වීමක්‌ අවශ්‍ය වන බවයි.


ජනගහණය, ආර්ථික ක්‍රියාකාරකම් හා තාක්‌ෂණය

සැබැවින් ම ලෝක ජනගහණය ද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. එය 2050 වන විට බිලියන 9.2ක්‌ හෙවත් 40%කින් වැඩි වන බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර තිබේ. අප 40%ක ජනගහණ වර්ධන වේගයත්, ඒක පුද්ගල ආදායමේ 04 ගුණයක සිදු වන වැඩි වීමත්, සැලකිල්ලට ගත හොත් අපට වැටහී යා යුත්තේ ලෝක සමස්‌ත ප්‍රතිදානයේ 06 ගුණයක පමණ වැඩි වීමක්‌ සිදු වීමට නියමිත බවයි. එහෙත් වර්තමාන ආර්ථික නිෂ්පාදනය පාරිසරික වශයෙන් තිරසර නො වන බව දැනටමත් පෙන්වා තිබේ. එසේ නම්, ලෝක ආර්ථික වර්ධනය හය ගුණයකින් වැඩි කරන්නේ කෙසේ ද?

සිදු විය හැකි එක්‌ දෙයක්‌ නම් ලෝක ආර්ථිකයේ වර්ධනය වීම නතර වීමයි. එහි ප්‍රතිඵලයක්‌ වන්නේ ලොව විවිධ ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන මට්‌ටම් ඉතා බරපතළ ලෙස පහළ වැටීමයි. අප නිරීක්‌ෂණය කොට ඇති පරිදි ජීවන තත්ත්වයන් තියුණු ලෙස කපා හරින්නට පොරොන්දු දෙන කිසිදු දේශපාලනඥයකු කිසිදු රටක ජයග්‍රහණය කොට නොමැත.

අනෙක්‌ ක්‍රමවේදය වන්නේ ආර්ථික වර්ධනය හා තිරසරභාවය තාක්‌ෂණික වෙනස්‌කම් මඟින් ඒකාබද්ධ කිරීමයි. මෙහි දී ඉතා ජනකාන්ත IPAT සූත්‍රය සැලකිල්ලට ගත හැකි ය.

I = P x A x T

මේ සූත්‍රයේ දී I යනුවෙන් ස`දහන් වන්නේ පරිසරය මත මානවයාගේ සමස්‌ත බලපෑමයි.  Pයනු ලෝක ජනගහණය වන අතර, A යනු ආර්ථික ක්‍රියාකාරකම්වල මට්‌ටමයි. එසේමT යනුවෙන් අදහස්‌ වන්නේ සාමාන්‍ය පාරිසරික ක්‍රියාකාරකම් මත තාක්‌ෂණයේ බලපෑම පිළිබිඹු කරන මිනුමයි. එබැවින් P හෙවත් ජනගහණය සහ ඒක පුද්ගල ආදායම එනම්, A යන කාරණා දෙක ම ඉහළ යතොත් එවිට පාරිසරික බලපෑම ද ඉහළ යනු ඇත. විශේෂයෙන් ම ඔ සාධකය පහළ නො ගිය හොත්, එනම් තාක්‌ෂණික පද්ධති මඟින් පරිසරයට කෙරෙන බලපෑම අඩු නො කළ හොත් නිසැකයෙන් ම එසේ සිදු වනු ඇත.

ලෝක ජනගහණය ස්‌ථායී බවට පත් කිරීමට දරන ප්‍රයත්නයන් අප අනිවාර්යයෙන් ම දෙගුණ තෙගුණ කළ යුතු වේ. විශාල ජනගහණ වර්ධනයක්‌ සහිත රටවල් සඳහා ස්‌ව කැමැත්තෙන් සිදු කෙරෙන සරුභාවය නැති කිරීමේ ක්‍රියාදාමයන් ආරම්භ කළ හැකි ය. සරු බව පිළිබඳ මට්‌ටම (එනම්, එක්‌ ගැහැනියක සඳහා ළමයින් 05 හෝ 06 යන ග්‍රාමීය අප්‍රිකානු අගය) විසින් උප සහරානු අප්‍රිකාවේ ජනගහණය මිලියන 800 සිට 2050 දී බිලියන 1.7ක්‌ දක්‌වා ඉහළ යැමට නියමිත ය. මෙහිදී අප්‍රිකාව අතිශයින් විශාල බලපෑමකට ලක්‌ වනු ඇත. එහි ආර්ථිකයට හා පරිසරයට එහි ජනගහණය විසින් අති විශාල අහිතකර බලපෑමක්‌ සිදු වනු ඇත.

මඳ සරුභාවය අත් කරගන්නා ප්‍රධාන මාර්ගය හ`දුනාගෙන තිබේ. පවුල් සංවිධානය හා උපත් පාලන ඖෂධ ලබාගැනීමට සියලු ජන කොට්‌ඨාශ වෙත පහසුකම් සැලසිය යුතු ය. දැරියන් බාල වයසෙන් විවාහ වීම සඳහා බල නො කොට, ඔවුන් අධ්‍යාපන ආයතන තුළ වැඩි කලක්‌ ගත කිරීමට උනන්දු කළ යුතු ය. කුඩා පවුල් නිර්මාණය කිරීමට හැකි, තීරණ ගත හැකි සේ, කාන්තාවන් බලගැන්විය යුතු ය. එසේ ම ළමා මරණ ප්‍රමාණය අඩු කළ යුතු අතර, දරුවන් නො මැරී සිටීමේ ඉතා ඉහළ හැකියාවක්‌ ඇති පවුල්වලට කුඩා පවුලක්‌ ආරම්භයේ දී ම පවත්වාගැනීම සඳහා එමඟින් විශ්වාසයක්‌ සැපයෙනු ඇත.

එසේ වුව ද, ජනගහණ ස්‌ථායිත්වය ලබාගැනීම පමණක්‌ මේ සඳහා ප්‍රමාණවත් නො වේ. අප ඔ සාධකය ද අවම කළ යුතු ය. අපට තවදුරටත් ප්‍රාථමික මට්‌ටමේ අභ්‍යන්තර දහන එන්ජින්, ගල් අඟුරු මඟින් බල ගැන්වෙන බල ජනක, ආහාර වගාව හා පරිභෝජනය සඳහා භාවිත කරන වර්තමාන ක්‍රමවේදයන් හෝ වෙනත් එවැනි යන්ත්‍ර හෝ තාක්‌ෂණ පවත්වාගෙන යා නොහැකි ය. වර්තමාන තාක්‌ෂණය අනුව සිදු වන ලෝක ආදායම් ප්‍රමාණයේ විශාල වැඩි වීම් අපගේ පෘථිවිය විසින් තවදුරටත් පිළි නො ගනු ලබනවා ඇත.

එසේ නම් කවර වර්ගයේ නව තාක්‌ෂණයන් අපට අවශ්‍ය වේ ද? හරිතාගාර වායු විමෝචනයන් පිළිබඳව අප පරෙස්‌සමෙන් සලකා බැලුව හොත්, ලෝකයේ ඇති ප්‍රධානතම විමෝචන අංගය වන්නේ කෘෂිකර්මාන්තය (කෘෂිකර්මය සඳහා අදාළ ඉඩම් භාවිතය සිදු වන ආකාරය ඇතුළු) විය යුතු ය. අප වනාන්තර එළි කිරීම අවම කිරීම සහ එය නැවත ආපසු හැරවීම අවශ්‍ය වනවා මෙන්ම, කෘෂිකර්මය සඳහා පොහොර භාවිතය සහ අනෙකුත් එවැනි ක්‍රියාවන් මඟින් හරිතාගර විමෝචන අවම කරගැනීම සඳහා ක්‍රියා කළ යුතු ය. (උදාහරණයක්‌ වශයෙන් කෘෂිකාර්මික සංරක්‌ෂණය). මීට අමතරව විමෝචන සඳහා බලපාන ප්‍රධාන අංශ වන්නේ, බලශක්‌ති ජනනය, ප්‍රවාහනය, කර්මාන්ත සහ ඉදිකිරීම් (වෙළෙඳ සහ නිවාස) ය. මේ සියලු අංගයන් සඳහා අපට නව තාක්‌ෂණය අවශ්‍ය වේ.

බලශක්‌ති ජනනය සඳහා විකල්ප ක්‍රමවේද

විදුලි ජනනය සඳහා අපට විවිධ ආකාරයේ අඩු කාබන් ක්‍රමවේද අවශ්‍ය වේ. එහි දී වඩාත් සිත් අලවනසුලු අංගයක්‌ වන්නේ තිරසර ශක්‌තියයි. එනම්, සුළඟ, සූර්ය, භූතාප වැනි ක්‍රමවේදයන්ගෙන් විද්යුත් ශක්‌තිය නිපදවීමයි.

ආරක්‌ෂණය පිළිබ`ද ඉතා ඉහළ මට්‌ටමේ අවශ්‍යතාවන් මතු වුව ද, මේ සඳහා ඇති තවත් විකල්පයක්‌ වන්නේ න්‍යෂ්ටික ශක්‌තියයි. තවත්, සිත් අලවනසුලු ප්‍රවේශයක්‌ වන්නේ කාබන් ප්‍රතිග්‍රහණය සහ (capture) විවික්‌ත කිරීම (sequestration) යන අංග ය. මෙහි දී ෆොසිල ඉන්ධන දහනයේ දී නිකුත් වන කාබන්ඩයොක්‌සයිඩ් සහ වෙනත් වායු එක්‌රැස්‌ කොට ඒවා මහ පොළොවේ කිසියම් ආරක්‌ෂාකාරී ආකාරයකට භූ තැන්පතුවක්‌ ලෙස ගබඩා කෙරෙයි.

මෙවැනි විකල්ප ක්‍රමවේද සඳහා තීරණ ගැනීමේ දී හුදු වාණිජ මට්‌ටමේ ක්‍රියාදාමයක්‌ ලෙස නො ව අතිශයින් ම සමාජ දේශපාලන කටයුත්තක්‌ සේ සලකා ක්‍රියා කළ යුතු වේ. වාණිජ ලෝකය හා සමාජය එක්‌ ව පොදු තීරණවලට එළඹිය යුතු ය. තාක්‌ෂණයේ ප්‍රධාන වෙනස්‌වීම් සඳහා අප වඩාත් සහයෝගී ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රශ්නය ගැන කතා කර කර සිටීමෙන් පමණක්‌ එය විස`දිය නොහැකි ය. කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිග්‍රහණය සඳහා හැකියාව ඇති විශාල මට්‌ටමේ එක ම ගල් අඟුරු බලාගාරයක්‌ වත් තවමත් මුළු ලෝකයේ ම බිහි වී නැත. විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් මෙවැනි ප්‍රවේශයක්‌ සඳහා දශක ගණනාවක්‌ තිස්‌සේ බලපෑම් කළත්, එය යථාර්ථයක්‌ බවට පත් ව නැත.

අඩු කාබන් විකල්ප බලශක්‌ති ප්‍රභවයන් යොදාගැනීම පිළිබ`ද කරුණු වඩා වේගවත් කිරීමේ තවත් එක්‌ ක්‍රමයක්‌ වන්නේ කාබන් විමෝචනය සඳහා බදු අය කිරීමත්, අඩු කාබන් බලශක්‌තිය සඳහා සහන සැපයීමක්‌ නැත හොත් ඒ දෙක ම ක්‍රියාවට නැංවීමත් ය.


හුදු සාකච්ඡා නො ව, බුද්ධි කලම්බන සහ ගැටලු විසඳීමේ ප්‍රවේශයක අවශ්‍යතාව

දැවැන්ත තාක්‌ෂණික වෙනස්‌කම් සඳහා මුහුණ දීමට සංකීර්ණ ප්‍රතිපත්ති මාලාවන්, පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයන්, නිදර්ශක ව්‍යාපෘති, නියාමනයන්, පෝෂක බදු, අඩු විමෝචන තාක්‌ෂණ, කාබන් බදු සහ වෙනත් එවැනි මෙවලම් භාවිත කරමින් පාරිභෝගිකයන් සඳහා සහන ලබා දීම අවශ්‍ය වේ. මේ තාක්‌ෂණ වෙනස්‌කම්වලට මුහුණ දීම සඳහා සරල ප්‍රතිපත්ති එකක්‌ දෙකක්‌ නො ව සාකල්‍ය පද්ධති ප්‍රවේශයක්‌ අවශ්‍ය වේ.

අප දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා දැකිය යුත්තේ සැම රටක්‌ විසින් ම තම අත තුරුම්පු රඳවාගනිමින් අනෙකුත් රටවල් සමග කේවල් කරනු ලබන සූදු ක්‍රීඩාවක්‌ ලෙස නො වේ.

මනුෂ්‍ය වර්ගයා විසින් සිය ඉතිහාසය පුරා කිසි ම දාක මුහුණ නො දුන් අතිශය සංකීර්ණ ඉංජිනේරුමය, ආර්ථික සහ සමාජීය ගැටලුවක්‌ දේශගුණ විපර්යාසයන් විසින් නිර්මාණය කොට ඇත. මේ සඳහා අප එකා වන් ව ක්‍රියා කළ යුතු අතර සියලු ම කාඩ්පත්, පෙතෙහි නිරාවරණය කොට කළ යුත්තේ කුමක්‌ ද, එසේ කළ හැක්‌කේ කෙසේ ද යන්න පිළිබඳ අවංක සාකච්ඡාවක යෙදිය යුතු ය. ඒ තුළ සූර්ය ශක්‌තිය, න්‍යෂ්ටික ශක්‌තිය, විද්යුතනය කළ වාහන හෝ තිරසර කෘෂිකර්ම ඇතුළු තවත් බොහෝ දෑ තිබිය හැකි ය.

අප ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්නයන් මෙන්ම ගෝලීය ව්‍යාපෘති නිදර්ශනයන් කඩිනමින් නිර්මාණය කළ යුතු ය. රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් පමණක්‌ නො ව ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, ජල විද්‍යාඥයන් ආදි පුළුල් පිරිසක ගෙන් සැදුම් ලත් පුළුල් පිරිසක්‌ සම්බන්ධ වන ක්‍රියාදාමයක්‌ මේ සඳහා අවශ්‍ය වන අතර සැබැවින් ම අතිශය නවීන ප්‍රවේශයක්‌ අප මතු කරගත යුතු ය.

අවසානයේ දී අවධාරණය කළ යුත්තේ අප මේ ප්‍රගතිය අතිශයින් ම වේගවත් කළ යුතු බවයි. පෘථිවිය, ඉතිහාසයේ කිසි දාක නො වූ විරූ ආකාරයේ ආතතියකට ලක්‌ වී තිබේ. අපට නාස්‌ති කරන්නට කාලයක්‌ නැත. එසේ ම ක්‍රියා කරන විට අප සැම විට ම මතක තබාගත යුත්තේ දිළි`දුකමින් පෙළෙන ජනතාවගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගත යුතු බවයි. ඔවුන් සැම වර්ෂයකට ම මිලියන ගණනින් මිය යන්නේ දිගුකාලීන මන්දපෝෂණය, වැළැක්‌විය හා ප්‍රතිකාර කළ හැකි ලෙඩ රෝග, අපිරිසිදු පානීය ජලය සහ ස්‌වාභාවික විපත් මෙන්ම ප්‍රමාණවත් නො වන යටිතල පහසුකම් හේතු කොටගෙන ය. කෙටියෙන් කිව හොත් මිලියන ගණන් මිනිසුන් සැම වසරක ම මිය යන්නේ ඔවුන්ගේ දිළි`දුකම මෙන්ම අපගේ නො සැලකිල්ල සහ දේශගුණික විපර්යාස හේතු කොටගෙන ය (පොහොසත් ලෝකය විසින් අසාමාන්‍ය ලෙස බිහි කරන ලද). අවසානයේ දී අපට ගෝලීය සහයෝගීතාවක්‌ ඇති කරගැනීම අත්‍යවශ්‍ය වේ. අප සියලු මානව ප්‍රභේදයන් මතක තබාගත යුතු ය. ජෝන් එෆ්. කෙනඩි අතිශය ව්‍යක්‌ත ලෙස ඉදිරිපත් කළ ඓතිහාසික වචන මතක තබාගත යුතු වේ. ඔහු විසින් එය හ`දුන්වන ලද්දේ 'සාමය හඹා යැම සඳහා සිය රටවැසියන් නිර්භීත විය යුතු ය' ලෙසිනි.

එබැවින් අප අපගේ වෙනස්‌කම් කෙරෙහි අන්ධ විය යුතු නො වේ. එහෙත්, අප Rජු අවධානය ලබා දිය යුත්තේ පොදු අවශ්‍යතා සහ අරමුණු මෙන්ම අප අතර ඇති වෙනස්‌කම් පසුව විසඳාගත හැකි ක්‍රමවේදයන්ට ය. අපේ වෙනස්‌කම් මේ මොහොතේ සපුරා බැහැර ලිය නොහැකි නම් යටත් පිරිසෙයින් ලෝකය විවිධත්වය සඳහා ආරක්‌ෂිත ස්‌ථානයක්‌ බවට පත් කළ යුතු ය. අවසාන විග්‍රහයේ දී අපගේ මූලික අවබෝධය විය යුත්තේ අප සියලු දෙනා ම ජීවත් වන්නේ මේ කුඩා ග්‍රහ ලෝකය තුළ බවයි. අප සියලු දෙනා ම ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ එක ම වාතය බවයි. අප සියලු දෙනා ම අපේ දරුවන් රැක බලාගන්නා බවයි. එසේ ම අප සියලු දෙනා ම කවදා හෝ මිය යන පුද්ගලයන් බවයි.

මාධව වෛද්‍යරත්න