logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සංස්‌කෘතික ක්‍රියාකාරකම් තුළ වූ භූගෝල විද්‍යාත්මක පසුතලය...

 


* කතරගම පාද යාත්‍රාව ඇසුරින් සිදු කරන ලද සංස්‌කෘතික හා භූගෝල විද්‍යාත්මක විමර්ශනයකි.

සැ. යු. (- මේ ලිපිය තුළ කිසිදු සංස්‌කෘතියක්‌ අන්තගාමී ව විවරණය කිරීම හෝ අවමන් කිරීම මෙන් ම යම් ජන කණ්‌ඩායමකට අවමන් කිරීම හෝ පහත් කොට සලකා බැලීම හෝ සිදු කර නොමැති අතර ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින විශිෂ්ට සංස්‌කෘතික ක්‍රියාකාරකමක්‌ පිළිබඳ ශාස්‌ත්‍රීය විග්‍රහයක යෙදීමක්‌ පමණක්‌ අන්තර්ගත ය.

ජෛව ගෝලයේ ජීවීන් අතරින් මිනිසාගේ සුවිශේෂී බව සමාජ සත්ත්වයකු ලෙස පවතින අනන්‍යතාව හරහා කැපී පෙනේ. එම සමාජීය පසුතලය ඇසුරෙහි මිනිසා විසින් පවත්වාගනු ලබන සංස්‌කෘතිය ඉතා සංකීර්ණ හා බහුවිධ වන අතර විවිධ සංස්‌කෘතික ලක්ෂණයන් රාශියක්‌ ලෝකයේ මානව ජනාවාස ව්‍යාප්ත ව ඇති භූගෝලීය ප්‍රදේශවල හඳුනාගැනේ. එම සංස්‌කෘතීන්වලට බද්ධ වූ විවිධ සංස්‌කෘතිකාංග ද පවතින අතර ඒවා විවිධ දෘෂ්ටිකෝණ හා විෂය පථ ඔස්‌සේ විවරණය කළ හැකි ය. විශේෂයෙන් භූගෝල විද්‍යාඥයන් හට අවකාශීය ලක්ෂණ අවධානයට ගනිමින් සංස්‌කෘතිකාංග විචාරයට හැකියාවක්‌ ලැබී තිබේ. මේ ලිපිය තුළ ද එවැනි සංස්‌කෘතිකාංගයක්‌ පිළිබඳව භූගෝල විද්‍යාත්මක පරිචයකින් විවරණය කොට ඇති අතර ශ්‍රී ලංකාවේ පවතින කතරගම පාද යාත්‍රාව ඒ සඳහා යොදාගන්නා සංස්‌කෘතිකාංගයයි.

ඉතා කෙටියෙන් සංස්‌කෘතිය පිළිබඳව හඳුනාගත් විට එය පාරම්පරික ව විශාල ජන කණ්‌ඩායමක්‌ තුළ දැනුම හුවමාරු වන පද්ධතියක්‌ ලෙස එය දැක්‌විය හැකි ය. දැනුම, විශ්වාස, විශේෂ සබඳකම් ආදිය ඇතුළත් මෙහි වඩා විධිමත් අධ්‍යයනයන් උදෙසා විද්වතුන් අධ්‍යයන ආකෘතීන් නිර්මාණය කොට ඇති අතර මෙහි දී එම න්‍යායාත්මක පසුබිම පිළිබඳව ගැඹුරින් සලකා බලනු නො ලැබේ. එහෙත් පැහැදිලි අවබෝධයක්‌ උදෙසා ඉතා සැකෙවින් ඒ පිළිබඳ යමක්‌ දැක්‌වීම උචිත යෑයි හැඟේ. ඒ අනුව සංස්‌කෘතික භූගෝල විද්‍යාව තුළින්, සමාජයක පවතින සංස්‌කෘතික වටිනාකම්, සිරිත් විරිත්, අදාළ සංස්‌කෘතීන් තුළ පවත්නා ද්‍රව්‍යමය සාධක මෙන් ම විශේෂයෙන් සංස්‌කෘතීන් අවකාශීය වශයෙන් විහිදී පවතින්නේ කෙසේ ද යන්න විද්‍යාත්මක ව අධ්‍යයනය කෙරේ. සංස්‌කෘතිය, න්‍යායාත්මක ව පැහැදිලි කිරීමේ දී එහි අංශ 03ක්‌ හඳුනාගත හැකි ය. සංස්‌කෘතියක පවතින උපකරණ ආදිය ආම්පන්නමය ප්‍රත්‍යක්ෂ (Artifact) යටතේ ද, සිතුම් පැතුම් ආදිය මානසික ප්‍රත්‍යක්ෂ (Mentifact) යටතේ ද, එම සංස්‌කෘතියට අදාළ පවුල් ජීවිතය වැනි සමාජීය කාරණා සමාජීය ප්‍රත්‍යක්ෂ (Sociofact) තුළ ද ඇතුළත් ය. මෙහි දී විස්‌තර කෙරෙන පාද යාත්‍රාව හා සබැඳි සංස්‌කෘතික ක්‍රියාකාරකම් මානසික ප්‍රත්‍යක්ෂයන් අනුසාරයෙන් ප්‍රකාශනය වේ.

කතරගම පාද යාත්‍රාව පුරාණ චාරිත්‍රයක්‌ ලෙස අදාළ සංස්‌කෘතියේ දී ඉතා ඉහළ වටිනාකමක්‌ ආරෝපිත ය. ඌව පළාතේ දකුණුදිගට සමීප ව පිහිටි කතරගම දේවාලය (රුහුණු කතරගම මහා දේවාලය) හා තදාශ්‍රිත සංස්‌කෘතික මධ්‍යස්‌ථානවලට මෙරට උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල බැතිමතුන් පා ගමනින් වන්දනාවේ පැමිණීම මෙහි දී සිදු වන අතර තමාගේ සංස්‌කෘතිය තුළ ඉහළ වටිනාකමක්‌ ආරෝපණය වූ සංස්‌කෘතික සංකේතයක්‌ වන්දනාව පිණිස එම සංස්‌කෘතියට ගරු කරන පිරිස පා ගමනින් පැමිණීම එහි දී සිදු වේ. මේ සඳහා අතීතයේ දී ඉන්දියාව වැනි රටවල විදෙස්‌ බැතිමතුන් ද සහභාගී වී ඇත.

අතීතයේ දී අද මෙන් පහසුවෙන් කතරගම ප්‍රදේශයට පිවිසීම අපහසු වූ අතර පා ගමනින් හෝ ගොන් බැඳි කරත්තවලින් එහි පැමිණීමට සිදු වන තරමට මාර්ග පද්ධතිය සීමිත පහසුකම් සහිත ව පැවැති බව සඳහන් වේ. කතරගමට පමණක්‌ නො ව අතීතයේ දී බොහෝ සාමාන්‍ය වැසියන් සිය ගමනාන්තවලට ගමන් කොට ඇත්තේ පා ගමනින් බව මෙරට ඉතිහාසය පිරික්‌සීම හරහා නිරීක්‌ෂණය කළ හැකි ය. ගමනට ගත වන කාලය අනුව ඊට පවතින දුර තීරණය වන අතර අද වන විට ලෝකය කුඩා ගම්මානයක්‌ බවට පත් වී ඇත්තේ ද මේ තර්කය මත ය. ඒ අනුව තාක්ෂණය ඔස්‌සේ වන ක්ෂණික ප්‍රවේශය නිසා අඩු කාලයකින් ලොව බොහෝ ස්‌ථානවලට ප්‍රවේශ විය හැකි ය. එහෙත් අතීතයේ දී පා ගමනින් යැම හේතුවෙන් ගත වූ වැඩි කාලය නිසා අදාළ දුර වැඩියෙන් දැනෙන්නට වූ අතර එහි ප්‍රතිඵල ලෙස අතීත ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් එම වැසියන්ට තිබුණේ විශාල රටක්‌ යන සංජානනයකි. ඒ අනුව මේ විශාල රාජ්‍යය තුළ එක්‌ අන්තයක සිටින්නන් හට තමාගේ සංස්‌කෘතිය හා සබැඳි සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ වෙත ගමන් කිරීමට අවැසි වන අතර ඒ ඉහත සාධක සමඟ සාමාන්‍ය වැසියන්ට ඒ සඳහා තිබූ එක ම ක්‍රමය පා ගමනින් යැම ය. ඒ සමඟ ම එය එම සංස්‌කෘතීන්ට අදාළ විශ්වාස හා ඇදහිලිවලින් පෝෂණය වෙමින් සංස්‌කෘතික වශයෙන් සම්ප්‍රදායක්‌ ගොඩනංවා තිබේ. මේ ආකාරයට පාද යාත්‍රාව, පා ගමනක්‌ ලෙස පැවතීමට හේතු වූ පසුබිම භූගෝල විද්‍යාත්මක ව විවරණය කළ හැකි ය.

මෙහි දැක්‌වෙන සිතියමට අනුව පාද යාත්‍රාවේ ගමන් මඟ, නැඟෙනහිර වෙරළට සමීප ව විහිදෙන අතර ඒ පිළිබඳ විමර්ශනය කළ කරුණු අනුව යාපනය අර්ධද්වීපය, නැඟෙනහිර වෙරළ තීරයේ වෙරුගල්, මඩකලපුව, තිරුක්‌කෝවිල් ප්‍රදේශ හරහා පැමිණ පානම, ඔකඳ හරහා කතරගමට ප්‍රවේශ වේ. අද වන විට මේ ගමන් මඟ කුමන හා යාල ජාතික වනෝද්‍යානයේ කොටස්‌ හරහා වැටී තිබේ.

පාද යාත්‍රාව ගමන් කරන කාලය තුළ එනම් බොහෝ විට කතරගම ඇසළ උත්සවය පවත්වන ජූලි මාසයට දෙමසක්‌ පමණ පෙර කාලය තුළ ගමන් මාර්ගය වැටී ඇති මෙරට වියළි කලාපයට අයත් ප්‍රදේශයට පවතිනුයේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයකි. ඊට හේතුව මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන ඊසානදිග මෝසම මේ කාලයේ ක්‍රියාත්මක නො වන බැවිනි. ඒ නිසා ම වර්ෂාවෙන් මේ ගමනට බාධා සිදු වීමේ ප්‍රවණතාව අවම ය. පවතිනුයේ, වියළි කාලගුණය සමඟ පවතින උණුසුම ය. කෙසේ වුව ද පාද යාත්‍රාවට සහභාගී වන පිරිසගේ නිජබිම් වියළි කලාපයේ පිහිටීම අනුව ඔවුන්ට මේ උණුසුම එතරම් ගැටලුවක්‌ වෙතැයි සිතිය නො හැකි ය. පුද්ගලයකුගේ හැසිරීම් රටා, තමා ජීවත් වන ප්‍රදේශය තුළින් නියෝජනය වන භෞතික ලක්ෂණ හරහා ද හැඩගැසේ. නේපාලයේ ෂර්පාවරුන් පහසුවෙන් කඳු තරණය කරනුයේ ද ඔවුන්ගේ නිජබිම හරහා ඔවුන්ට ලැබෙන අභියෝග හරහා ය. ඒ හා සමාන ව වියළි කලාපීය වැසියන්ට උපන් දා සිට පුරුදු වියළි දේශගුණය, මෙහි දී තද උණුසුමෙන් වන ගැටලු මඟහරවාගැනීමට උපකාරී වන අතර මේ ගමන සම්පූර්ණයෙන් ම පාහේ වැටී ඇත්තේ උච්චත්වය අඩු, තැනිතලාමය බිම් හරහා නිසා කඳු නැඟීම් වැනි වියළි කලාපීය වැසියන්ට තරමක්‌ ආගන්තුක භෞතික අභියෝග ඇති නො වේ. ඒ සමඟ ම කිව යුතු වනුයේ සංස්‌කෘතිකමය වශයෙන් මේ ගමන තුළ ඇති වන දේව භක්‌තිය මුල් වූ සංජානනය ගමනේ කටුක බව මඟහැරීමට සංස්‌කෘතිකමය උත්තේජයක්‌ ලබා දීමක්‌ ද සිදු වන බව ය.

පෙර යුගවල මේ ගමන තුළ බොහෝ කොටසක්‌, වන ගහනයෙන් යුතු ප්‍රදේශයක්‌ හරහා තරණය කළ බව සිතිය හැකි ය. අද වන විට ද කුමන හා යාල ජාතික වනෝද්‍යාන හරහා වැටී ඇති ගමන් මඟ, වියළි කලාපීය වනාන්තර ප්‍රදේශයක්‌ හරහා ඉදිරියට විහිදේ. සාමාන්‍යයෙන් වියළි කලාපීය වනාන්තරවල තෙත් කලාපීය වනාන්තරවලට සාපේක්ෂ ව, වන ඝනත්වය අවම වන අතර වනාන්තරය තුළ එළිමහන් හා සාපේක්ෂ ව වනාන්තරයට ප්‍රවේශයේ පහසුවක්‌, තෙත් කලාපීය වනාන්තරවලට වඩා ඇත. මේ හේතුව නිසා පහසුවෙන් වනාන්තරය තුළ ගමන් කිරීමට හැකි අතර කටු පඳුරු සහිත ශාකවලින් විය හැකි බාධාවන් හා ගමන පුරා පවතින වියළි බව පමණක්‌ පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට මුහුණ දීමට සිදු වේ.

පාද යාත්‍රාව ඉදිරියට යැමේ දී විවිධ ස්‌ථානයන් විවේක ගැනීම සඳහා යොදාගන්නා අතර ඒ අතරින් 'ළිං තුන' හා 'පරණ තොටුපොළ' යන විවේකස්‌ථාන ප්‍රචලිත ය. මේ ස්‌ථානවල නතර වීමට ප්‍රධාන හේතුව ජල පහසුව බව හඳුනාගත හැකි ය. 'ළිං තුන' ස්‌ථානය, නිර්මාණය කළේ කවරකු දැයි නො දන්නා, ළිං ත්‍රිත්වයක්‌ පිහිටි බිමකි. සිය කටයුතු උදෙසා මේ මඟින් ජලය ලබාගන්නා පිරිසගේ ඊළඟ ප්‍රධාන නැවතුම ගමනාන්තයට තරමක්‌ සමීප ව පිහිටි පරණ තොටුපොළයි. මෙය මැණික්‌ ගඟ අසබඩ තැනිතලා භූමියකින් යුක්‌ත එළිමහනකි. වර්ෂාව අවම වියළි ප්‍රදේශයක ජලය සීමාකාරී සම්පතක්‌ වන අතර එම සීමා සහිත ජල කේන්ද්‍ර වටා වන්දනාකරුවන් රැස්‌වීම ඒ අනුව හඳුනාගත හැකි ය. අදාළ කාල සීමාවේ, අධික වර්ෂාවක්‌ නො පැවතීම මත ජල ගැලීම් ද නොමැති වීම එක්‌ ආකාරයකින් වන්දනාකරුවන්ට පහසුවකි. මේ ගමනේ දී ඇතැම් විට ජල මාර්ග තරණය කළ යුතු ය. වියළි කාලය නිසා ඒවායේ, සාපේක්ෂ ව අඩු ජල මට්‌ටමක්‌ පැවතීම පා ගමනින් ම ජලයේ බැස ගමන් කිරීමට රුකුලක්‌ වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාද යාත්‍රාවක්‌ ලෙස මේ ගමන පවත්වාගැනීමට උපකාරී වේ. ගමනේ දී හමු වන කුඹුක්‌කන් ඔය ඇතුළු ජල මාර්ග, සෘතුගත ගංගා වන අතර ඒවායේ සම්පූර්ණයෙන් ජලය ගලා යනුයේ වර්ෂා කාලයේ දී පමණි. වියළි කාලවල දී ගංගාව අසබඩ ජලයෙන් යට නො වූ විශාල පිටාර තැනි දැකිය හැකි අතර පරණ තොටුපොළ එවැන්නකි. කෙසේ වුව ද ගංගාව තුළ නෑම ඇතුළු අවශ්‍ය කටයුතු කරගැනීම උදෙසා සුදුසු පරිදි යෝග්‍ය ජල පරිමාවක්‌ මෙහි දී දැකිය හැකි ය.

ඕනෑ ම සංස්‌කෘතික ක්‍රියාකාරකමක්‌, කාලයත් සමඟ වෙනස්‌කම්වලට ලක්‌ වේ. එනම් මුලින් පැවැති, ශුද්ධ සංස්‌කෘතික ලක්ෂණ වෙනුවට හෝ සමගාමී ව තත්කාලීන සංස්‌කෘතික ලක්ෂණ එකතු වීම සිදු වේ. පාද යාත්‍රාව තුළ ද එවැනි ඇතැම් ලක්ෂණ දැකිය හැකි අතර මුල්කාලීන ව වන්දනාකරුවන් ඇඳි සාම්ප්‍රදායික වස්‌ත්‍ර වෙනුවට නූතන පරපුරේ ඇතැම් පිරිස්‌ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් භාවිත කරනු දැකිය හැකි ය. ඇතැම් විට යම් සංස්‌කෘතිකාංගයක්‌ එයට අදාළ වන පරිදි පැවතීමට සංරෝධක වන අයුරින් පවතින, කාලීන සමාජ ගැටලු ද හඳුනාගත හැකි ය. මේ වටිනා සංස්‌කෘතික ක්‍රියාකාරකම වෙත ද කලකට පෙර එවැනි සංරෝධක ඇති වූ අතර නිදසුන් ලෙස පසුගිය කාලයේ උතුරු - නැඟෙනහිර ත්‍රස්‌තවාදී අර්බුදය, 2004 සුනාමි තත්ත්වය තුළ ජන ජීවිතයට වූ බලපෑම දැක්‌විය හැකි ය.

කතරගම ඇසළ උත්සව සමය විවිධ ජාතීන් හා විවිධ ආගම් හා විශ්වාස එකට හමු වන සුවිශේෂී සංස්‌කෘතික උත්සවයකි. පාද යාත්‍රාව තුළට සම්බන්ධ වන පිරිස ද ගමන් කරනුයේ සිය සංස්‌කෘතියට අදාළ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයන් වන්දනාවට ය. කෙතරම් පරිවහන ජාලයන් දියුණු වුව ද මේ විශිෂ්ට සංස්‌කෘතික ක්‍රියාකාරකම අදටත් පවතින අතර ඒ සඳහා රාජ්‍ය මට්‌ටමින් පවා සහයෝගයන් ලබා දේ. භූගෝල විද්‍යාත්මක වශයෙන් මේ සංස්‌කෘතික කටයුත්ත ඉහත සඳහන් කළ කරුණු ඔස්‌සේ පැහැදිලි කළ හැකි අතර එහි දී භෞතික සාධකයන්හි කාලීන හා අවකාශීය රටාවන් සංස්‌කෘතික වශයෙන් පවතින මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ කෙරෙහි බලපාන ආකාරය නිරූපණය වේ. ඊට සමගාමී ව, විශ්වාස හා ඇදැහිලි යන මානව සංජානනයන් ද ක්‍රියාත්මක වෙමින් පෝෂිත සංස්‌කෘතික අත්දැකීමක්‌ නිර්මාණය වන බව ද සමස්‌තයක්‌ ලෙස දැක්‌විය හැකි ය.

තනුර මධුශංක සිල්වා

MPhil (Reading)(Kelaniya), B.A.(Hons) in Geography(Kelaniya)

මූලාශ්‍ර :-
http://padayatra.org/index.htmhttp://kataragama.org/research/kailasa.htm
http://people.tamu.edu/~i-choudhury/culture.html