logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මාතරින් හමු වූ  නව හූනු විශේෂය



ශ්‍රී ලංකාවට ආවේණික දිවාසැරි හූනන් විශේෂ 25ට තවත් සාමාජිකයෙක්‌ අලුතින් එක්‌ ව සිටියි. නමින් Cnemaspis godagedarai වන මේ හූනන් විශේෂය දෙස්‌ විදෙස්‌ පර්යේෂකයන් පිරිසක ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ විසින් ඉකුත් දා වාර්තා කරන ලද්දේ දක්‌ෂිණ ශ්‍රී ලංකාවේ දෙවැනි අඩතැන්නේ පිහිටි තෙත් කලාපීය වනාන්තරයකිනි. මාතර දිස්‌ත්‍රික්‌කයට අයත් භූගෝලීයව හුදෙකලා ව පිහිටි වනාන්තරයක්‌ සහිත එම ප්‍රදේශය එන්සල්වත්ත නමින් හැඳින්වේ.

මේ සොයාගැනීමට මුල් වී සිටින්නේ ශ්‍රී ලංකා උභයජීවී සහ උරග පර්යේෂණ සංවිධානයේ ආචාර්ය ඇන්ස්‌ලම් ද සිල්වා, ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Villanova සරසවියේ ජීවවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇරන් එම්. බවර් (Aaron M. Bauer), ජෛවවිවිධත්ව සංරක්‌ෂණ සංගමයේ මාධව බොතේජු සහ ස්‌වභා ගවේෂණ සහ අධ්‍යයන කණ්‌ඩායමේ සුරංජන් කරුණාරත්න යන පිරිස ය.

නව විශේෂය වාර්තා වී ඇත්තේ තෙත්, සිසිල්, අඳුqරු, මානව බලපෑම් අවම, වඩාත් නොඋස්‌ උන්නතාංශයක පිහිටි (මීටර 860ට අඩු) වනාන්තරක හමු වන ගල් පර්වත මත හා ගල් ගුහාවලිනි.

මධ්‍යම ප්‍රමාණයේ දේහයක්‌ දරන නව විශේෂය ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන Cnemaspis ගණයට අයත් සෙසු හූනන් ගෙන් කැපී පෙනෙන ලෙස වෙන් කර හඳුනාගත හැක්‌කේ රූපමිතික සහ වර්ණමය ලක්‌ෂණවලිනි. මේ ගණයට අයත් හූනන්ගේ ඇස්‌ සාපේක්‌ෂව විශාල ය. ඉදිරියටත් ඉහළටත් යොමු වී ඇති ඇස්‌ රවුම් කනිනිකාවකින් යුතු ය. පුළුල් ව විහිදුණු ගාත්‍රා දිගු සිහින් ඇඟිලි දරයි. ඇඟිලි ශරීරය දෙසට ආනත වී ඇති අතර සංචරණය සඳහා උපයෝගී වන පූර්ණ උප අංගුලිකා කොට්‌ට (entire subdigital lamellae) දරයි.

පවත්නා දත්තවලට අනුව මෙකී හූනන් විශේෂයේ ව්‍යාප්තිය එන්සාල්වත්ත ප්‍රදේශයට පමණක්‌ සීමා වූවකි. (point endemic). හොඳ වන ආවරණයක්‌ සහිතව පවතින ගල් පර්වත මත හා ගල් ගුහා තුළ පිහිටි ක්‌ෂුද්‍රවාසස්‌ථානයන්හි හමු වන මේ සතුන් පාෂාණ බිත්ති මත සංචරණය කිරීම සඳහා අනුවර්තනය වී ඇති බැවින් ස්‌ථානීය ව මෙන්ම වටපිටින් එල්ල වන තර්ජනවලට ද මොවුන් ගොදුරු වීමේ අවදානම ඉහළ ය. එබැවින් මොවුන් වෙසෙන හුදෙකලා වනාන්තර බිම් කැබැලිවලට විශේෂ සංරක්‌ෂණ ක්‍රියාමාර්ග අවශ්‍ය ය. වාසස්‌ථාන ආරක්‌ෂාව, පුළුල් පර්යේෂණ සහ ඒ ඒ විශේෂවලට විශේෂිත වූ ක්‍රියාකාරී කළමනාකරණ ක්‍රියාමාර්ග ඒ අතර වෙයි.

බොහෝ දුරට පාෂාණවාසී, ගොම්මන් කාලයේ වඩාත් ක්‍රියාශීලී මේ හූනන් ඇතැම් විට ශාක ආශ්‍රිත ව සහ භූමියෙහි ද ගැවසෙනු දක්‌නට ලැබේ. Cnemaspis ගණයට අයත් සාමාජිකයන්ගේ රූපාකාරය සහ වර්ණය ජීවත් වන පරිසරය අනුව හැඩගැසී ඇති බැවින් සැඟවී සිටීමට (Camouflage) පහසු ය. තව ද මේ ගණය මෑත වසරවල දී බොහෝ වර්ගීකරණ සමාලෝචනවලට හා නව විශේෂ හඳුන්වා දීම්වලට බඳුන් වී තිබේ.

Cnemaspis godagedarai නව විශේෂය ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකයකු වූ ගොඩගෙදර රටේ අදිකාරම් හට උපහාර පිණිස එනමින් නම් කර ඇති බව මේ සොයාගැනීමට සම්බන්ධ වූ මාධව බොතේජු විදුසර හා පැවසී ය. බ්‍රිතාන්‍ය පාලකයන් ඔහුට මරණ දණ්‌ඩනය නියම කළ අතර ඔහු ජාති ද්‍රෝහියකු ලෙස නම් කර තිබිණි. 2016 වර්ෂයේ දී මොහු ඇතුළු ඌව වෙල්ලස්‌ස කැරැල්ලට සම්බන්ධ වූ ජන නායකයන් 19 දෙනකු ජාතික වීරයන් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

(මාධ්‍යවේදී ඉෆාම් නිසාම් විසින් The Island පුවත්පතට සපයන ලද පුවතක පරිවර්තනයකි).