logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ස්‌වභාවධර්මයට නව මානයක්‌ එක්‌ කරන 'සයිබොර්ග්' උද්භිද විද්‍යාවේ සම්ප්‍රාප්තිය


2005 වසරේ දී තිරගත වූ අනාගත ලෝකය ගැන කියෑවෙන විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක්‌ වන Aeon Flux ඔබ නරඹා ඇත්නම් එහි එක්‌තරා වැදගත් ගොඩනැඟිල්ලක ආරක්ෂාව උදෙසා වගා කර ඇති ශාක වළල්ලක්‌ අඩංගු දර්ශනය දැක ඇතිවාට සැක නැහැ. එහි දී කතා නායකයන් රහසිගත ව එම ගොඩනැඟිල්ලට ඇතුළු වීමට උත්සාහ දරන අතර මේ අලංකාරවත් ශාක වළල්ල තුළින් ඔවුන් ගමන් කරන විට වහා ක්‍රියාත්මක වන මේ ශාක විෂ සහිත කටුවලින් ඔවුන්ට පහර දෙනවා. එමෙන් ම 2002 වසරේ තිරගත වූ Minority Report චිත්‍රපටයේ ද මෙවැනි ම දර්ශනයක්‌ දැකිය හැකියි. එහි ද ජීව විද්‍යාඥවරියකගේ නිවසකට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ දරන කතා නායකයාට සිදු වන්නේ තාප්පය දිගට වවා ඇති ශාකයකින් පහර කන්නටයි. එමඟින් ශරීරගත වන විෂ ඔහු ව සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට සමත් වනවා.

ශාක පිළිබඳ ව සාමාන්‍යයෙන් අපට දැනෙන්නේ ඒවා ස්‌වභාවධර්මයේ අක්‍රිය ව පවතින කොටසක්‌ ලෙසයි. ඒවා ද ගල් තලාවක්‌ හෝ දිය දහරක්‌ හෝ මෙන්ම ස්‌වපැවැත්ම ගැන අදහසක්‌ නොමැති පරිසරයේ කොටසක්‌ ලෙසයි. එහෙත් ශාක සැම විට ම අවට පරිසරය හා සන්නිවේදනය කරන අතර එයට අනුරූප ව කටයුතු කරනවා. හිරු එළියේ වෙනස්‌කම්, ගුරුත්වයේ වෙනස්‌කම්, පාංශු තත්ත්වයෙහි සිදු වන වෙනස්‌කම් ආදි විවිධ වෙනස්‌කම් හඳුනාගන්නා මේවා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට ද සමත්. අපූර්ව විවිධත්වයකින් සපිරි ශාක ලෝකයේ සමහර ශාකවල මේ හැසිරීම් වඩා ප්‍රකට ව දැකිය හැකියි. ආහාර ලෙස කෘමීන් උගුලට හසු කරගන්නා බාඳුරා මල්, චලනයක දී වහා තම පත්‍ර හකුළාගන්නා නිදිකුම්බා ආදිය මීට උදාහරණ කිහිපයක්‌. අවට පාරිසරික තත්ත්වයන් හඳුනාගැනීම හා ඊට ප්‍රතික්‍රියා දැක්‌වීමේ ශාක සතු හැකියාව මිනිසාගේ කටයුතු ඉටු කරගැනීම සඳහා භාවිත කළ හැකි වනු ඇත් ද? ඉහත චිත්‍රපට නම් අනාවැකි පළ කරන්නේ එය එසේ කළ හැකි බවයි. ඒ අනාවැකිය බොරුවක්‌ නො කරමින් දැනටමත් ශාක මේ කටයුත්තට පෙළගස්‌වාගැනීමට විද්‍යාඥයන් කටයුතු කරමින් සිටිනවා.

විද්‍යා ප්‍රබන්ධවල දැක්‌වෙන මේ ශාක, බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙන්නේ ජාන වෙනස්‌ කිරීම ආදි පූර්ණ ජෛව සංස්‌කරණ ක්‍රියාවලියක්‌ හරහා මේ තත්ත්වයට පත් කර ඇති බවයි. එහෙත් තවමත් අපේ විද්‍යාඥයන් එබඳු තැනකට තම දැනුම හා තාණය දියුණු කරගෙන නැහැ. එනමුත් විද්‍යාඥයන්ට මේ කටයුත්තට අතගැසීමට වෙනත් ප්‍රවේශයක්‌ ද තිබෙනවා.

ශාකවල ක්‍රියාකාරීත්වය ගත් කල එය එක්‌තරා අන්දමක ස්‌වාභාවික පරිපථයක්‌ සේ සැලකිය හැකියි. බාහිරින් දත්ත සංවේදනය කරන එය ඒ අනුව ප්‍රතික්‍රියාවන් ප්‍රදර්ශනය කරනවා. මෙය මූලික වශයෙන් ගත් කල අප දන්නා ඉලෙක්‌ට්‍රොනික පරිපථ ක්‍රියාත්මක වන ආකාරයෙන් වෙනස්‌ වන්නේ නැහැ. එසේ නම් ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව හරහා ශාක හා ගනුදෙනු කිරීම එතරම් ම අපහසු කාර්යයක්‌ විය නො හැකි බව පෙනී යනවා.

මේ අනුව විද්‍යාඥයන් දැන් අලුතෙන් ම අත ගසා ඇත්තේ මේ ශාක ලෝකය හා ඉලෙක්‌ට්‍රොනික ලෝකය අතිනත ගැන්වීමේ කටයුත්තටයි. ශාක හා ඉලෙක්‌ට්‍රොනික පද්ධති එකිනෙක බද්ධ කර දෙමුහුම් නිර්මාණ බිහි කර ලීම මඟින් මේ ස්‌වභාවධර්මයේ අගනා දායාදයන් මානව සිතැඟියාවන් ඉටු කර ලීමට භාවිතයට ගැනීම ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙනවා. මේ ක්‍රියාවලියට ඔවුන් ගැටගසා ඇති නම ද අපූරු එකක්‌. ඒ සයිබෝර්ග් උද්භිද විද්‍යාව (Cyborg Botany) යන නමයි. ඉලෙක්‌ට්‍රොනික-යාන්ත්‍රික අවයව මිනිස්‌ ශරීරයකට සවි කරගත් මිනිසුන් පිළිබඳ සංකල්පය අප හඳුන්වන්නේ සයිබෝර්ග් නමින්. එනිසා මේ නව පන්නයේ ශාක සයිබෝර්ග් ශාක ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක්‌ නැහැ.



ඇවිදින මල් පෝච්චිය



මේ සයිබෝර්ග් ශාක විද්‍යාවේ පෙරමුණේ සිට කටයුතු කිරීමට MIT සරසවියේ පර්යේෂකයන් සමත් වී තිබෙනවා. ඔවුන් මේ වන විට අත්පත් කරගෙන ඇති දියුණුව ඉතා සිත් ඇදගන්නාසුලුයි. MIT සරසවියේ පර්යේෂකයකු ලෙස කටයුතු කළ Harpreet Sareen,Pattie Maes ඇතුළු කණ්‌ඩායමක්‌ නිර්මාණය කළ Elowan නම් ශාක රොබෝවා මේ සයිබෝර්ග් ශාක සංකල්පය පිළිබඳ ව හඳුන්වා දීමට යොදාගත හැකි හොඳ ම උදාහරණයක්‌ සේ පෙන්වා දිය හැකියි. Elowan බැලූ බැල්මට පෙනෙන්නේ මල් පෝච්චියක සිටවා ඇති, විශාල පත්‍ර සහිත මල් පැළයක්‌ ලෙසයි. එහෙත් මේ පෝච්චියේ පාදමට බැටරියකින් හා විදුලි මෝටරයකින් ක්‍රියාත්මක වන රෝද සවි කර තිබෙනවා.

ශාකවල වැඩීමට හිරුඑළිය අවශ්‍ය බවත් ඒවා ශාක පත්‍ර මඟින් උකහාගෙන ප්‍රභාසංශ්ලේෂණය හරහා ශාකයට අවශ්‍ය ශක්‌තිය උපදවාගන්නා බවත් ආරම්භක විද්‍යාව ඉගෙනගන්නා කාලයේ සිට අප දන්නවා. ශාක පත්‍ර, හිරු එළිය වැඩි වශයෙන් උකහාගැනීමට හැකි වන පරිදි තම වර්ධනය පවා වෙනස්‌ කරගන්නා බව අඳුරු තුරු ගොමුවලින් එළියට නැමී වැඩී ඇති ගස්‌වලින් පෙනී යනවා. ශාකවල පවතින මේ හිරු එළිය හඳුනාගෙන ඒ වෙතට නැඹුරු වීමේ හැකියාව, යාන්ත්‍රික ක්‍රියාවලියක්‌ හා සම්බන්ධ කිරීමට Sareen ඇතුළු කණ්‌ඩායම සමත් ව තිබෙනවා. එහි දී මුලින් ම සිදු වන්නේ ශාක පත්‍රවල ඇති ස්‌වාභාවික සංවේදක මඟින් නිකුත් කරන විද්යුත් රසායනික සංඥ එයට සවි කර ඇති ඉලෙක්‌ට්‍රොaඩ හරහා හඳුනාගැනීමයි. පසුව ඒවා වර්ධනය කර ඊට අනුරූප ව විද්යුත් පද්ධති ක්‍රියාත්මක කරවීම සිදු කෙරෙනවා. ඒ අනුව නිර්මාණය කළ Elowanට හිරු එළිය ඇති දිශාව හඳුනාගෙන රෝද මතින් චලනය වී ඒ වෙතට ගමන් කිරීමට හැකියි. එක්‌ පසෙක ආලෝකය නිවී ගොස්‌ තවත් පසෙකින් ආලෝකය දැල්වූ විට මේ අපූරු මල් බඳුන කිසිවකුගේ බලපෑමකින් තොර ව ම ඒ දෙසට ඇදී යැමට කටයුතු කරනවා.


ඇන්ටෙනා පත්‍ර

ආලෝකය පමණක්‌ නො ව අවට පරිසරයේ පවතින විවිධ දැ සංවේදනය කිරීමට ශාකවලට හැකියාව ඇති බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබුණේ කලකට පෙර සිටයි. එය හුදු සරල සංවේදනයක්‌ පමණක්‌ නො ව අවට සිදු වන චලනයන්හි සියුම් වෙනස්‌කම් පවා පහසුවෙන් හඳුනාගත හැකි දෙයක්‌ බව විද්‍යාඥයන් දැන් හඳුනාගෙන තිබෙනවා. MIT සරසවියේ මේ පර්යේෂකයන් විසින් මෑතකාලීන ව ඉදිරිපත් කරනු ලැබූ නව පර්යේෂණයක්‌ හරහා මේ බව මනාව පිළිබිඹු වනවා. එහි දී ඔවුන් මුලින් ම ශාකයක්‌ ProDOT නම් සන්නායක බහුඅවයවිකයක්‌ දිය කළ ද්‍රාවණයක ගිල්වා තබා එම ශාකය තුළට එම සන්නායක බහුඅවයවිකය උරාගැනීමට සලස්‌වා තිබෙනවා. එය වෙනත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් මීට පෙර සොයාගනු ලැබ තිබූ ක්‍රමයක්‌. මේ බහුඅවයවිකය ශාකයේ ජලය උරාගන්නා කේශ නාළිකා දිගේ ඉහළට ඇදී ගොස්‌ තැන්පත් වන අතර මේ හරහා අවසානයේ ලැබෙන්නේ ශාකය තුළට විහිදවූ සන්නායක වයරයක්‌. ඉන් පසු ඔවුන් එම සන්නායක වයරයෙන් ලැබෙන සංඥ වර්ධනය කර එම සංඥ, තිරයක්‌ මත දිස්‌ වන පරිදි ඇටවුමක්‌ සකසා තිබෙනවා. එමඟින් නිරීණය වන්නේ අපූරු දෙයක්‌. ඒ ශාකය අසලින් කිසිවකු ගමන් කරන විට ශාකය එය සංවේදනය කරගන්නා ආකාරය තිරය හරහා පැහැදිලි ව බලාගත හැකියි. එපමණක්‌ නො ව වේගවත් ඇවිදීමක්‌ හෝ ශරීරය ඉහළ පහළ සෙලවීමක්‌ වැනි වෙනස්‌, චලන ස්‌වභාවයක්‌ දැක්‌වූ විට තිරය මඟින් නිරූපණය වන්නේ ඊට අනුරූප වූ වෙනස්‌ වූ රටාවක්‌. මේ හරහා අවට පරිසරය පිළිබඳ ව පුළුල් සංවේදනයක්‌ ශාක සතු ව පවතින බව මනාව පෙනී යනවා. මේ හැකියාව මිනිසාට අවශ්‍ය යෙදීම් සඳහා පහසුවෙන් යොදාගත හැකියි. උදාහරණයක්‌ ලෙස ඔබේ නිවස ඉදිරියේ ඇති මල් වත්තට එය පසු කරමින් යම් අමුත්තකු එන්නේ නම් ඒ බව ඔබේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක්‌ සේ දැනුම් දීමට කටයුතු කළ හැකියි. මඳක්‌ කල්පනා කර බැලුව හොත් මෙවැනි යෙදීම් රැසක්‌ ගැන සිතාගත හැකියි.

කියන දේ අහන ගස්‌

මේ පර්යේෂණවලින් දැක්‌වෙන්නේ ශාකවලින් උකහාගන්නා තොරතුරු ඩිජිටල් පද්ධතියක්‌ වෙත ලබාගත හැකි ආකාරයයි. එහෙත් මෙය අනෙක්‌ අතට ද සිදු කළ හැකි බව මේ පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. එනම් ඩිජිටල් සංඥවකින් ලබා දෙන උපදෙසකට අනුව ශාක ක්‍රියාත්මක වීමට ඉඩ සැලැස්‌වීමයි. මේ පර්යේෂණ ඇටවුමේ දී ඔවුන් යොදාගෙන තිබෙන්නේ බාඳුරා මල මෙන් කෘමීන් මත යෑපෙන, පියන්පත් දෙක හකුළාගැනීම මඟින් කෘමීන් සිර කරගන්නා Venus flytrap ශාකයයි. එහි දී එම ශාකයේ පියන්පත්වලට ඉලෙක්‌ට්‍රොaඩ සවි කර එය පරිගණක අතුරු මුහුණතකට සම්බන්ධ කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. එහි දී පරිගණක තිරය මත එම ශාකයේ ඡායාරූපයක්‌ දිස්‌ වන අතර එම රූපයේ කැමැති ඕනෑ ම පත්‍රිකාවක්‌ මත මවුසය ක්‌ලික්‌ කළ විට සැබෑවට ම ශාකයේ එම පත්‍රිකාව අග ඇති කෘමි උගුල සක්‍රිය වී වැසී යනවා. නිදිකුම්බා ශාකය යොදාගනිමින් ද ඔවුන් ඩිජිටල් ලෝකයේ සිට ශාකමය ලෝකයට පණිවිඩ යෑවීමේ මේ හැකියාව ප්‍රදර්ශනය කර තිබෙනවා.

ස්‌වභාවධර්මය නැවතත් සමීපයට

මේ උදාහරණවල දැක්‌වෙන පරිදි සංඥ ග්‍රහණය කරගැනීමේ අන්තය මෙන් ම ලබා දෙන සංඥ අනුව ක්‍රියාත්මක වීමේ අන්තය ද මෙලෙස ඩිජිටල් පද්ධතියක පාලනයට ගැනීමට හැකි වීම ඉතා සුවිශේෂී ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැකියි. තවමත් සයිබෝර්ග් උද්භිද විද්‍යාව ලෙස හැඳින්වෙන මේ විෂය තම ළදරු විය ගත කරමින් පැවතුණත් අනාගතයේ දී එය පුළුල් ක්ෂේත්‍රයක්‌ බවට පත් වීමේ විභවයෙන් යුක්‌තයි. දැනට ශාකවලට බැහැරින් ඇති ඩිජිටල් පද්ධති තවත් වසර කිහිපයක්‌ යන විට මෘදු පරිපථ ලෙස ඒවා තුළට ම ඇතුළු කළ හැකි වනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනවා.

ශාකයක්‌ යනු ස්‌වයං ව ජනනය වන, ස්‌වයං ව ශක්‌තිය උපදවාගන්නා, ස්‌වයං සුව වීමේ හැකියාවෙන් යුතු පද්ධතියක්‌ බැවින් මේවා තුළට ඉලෙක්‌ට්‍රොනික පද්ධති සහසම්බන්ධ කරගැනීමෙන් විශාල ප්‍රතිලාභ ලැබිය හැකියි. කෘත්‍රිම බුද්ධියේ වර්ධනය ද මේ සමීකරණය හා ගැළපූ විට ජාන විද්‍යාවෙන් තොර ව වුවත් අප මුලින් සඳහන් කළ අන්දමේ විද්‍යා ප්‍රබන්ධවල දැක්‌වෙන අන්දමේ ශාක පද්ධති බිහි වනු ඇතැයි අනුමාන කළ හැකියි. එහෙත් එහි යෙදීම් කිසිසේත් ම එවැනි පටු අරමුණක්‌ සඳහා පමණක්‌ යොදාගැනීමට ඉඩක්‌ නැහැ. ස්‌වභාවධර්මයත් ඉලෙක්‌ට්‍රොaනික ලෝකයත් එකිනෙකා හා අතිනත ගැනීම හරහා අනාගතයේ දී අපේ ජීවිත වඩා හරිතකරණය වීමට ඉඩ තිබෙනවා. එහි සීමා මායිම් කෙබඳු දෙසකට විහිදෙනු ඇත් දැයි කල්පනා කිරීම ම ආශ්වාදජනක දෙයක්‌.

දමිත නිපුණජිත්