logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ආහාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නැවුම් පොල් තෙල් කර්මාන්තයෙන් ලබාගන්නා 'පොල් පිටි'...
 


නැවුම් පොල් තෙල් කර්මාන්තයෙන් ලැබෙන අතුරුඵල අඹරා සාදාගන්නා පොල් පිටි ආහාරයට එක්‌ කරගැනීමෙන් ආහාරවල ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකි බව මෙරට සිදු කළ පර්යේෂණයකින් සොයාගෙන ඇත.

මේ සොයාගැනීම සිදු කර ඇත්තේ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසීමේ පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දි යාලේගම මහත්මිය ඇතුළු පර්යේෂකයන් පිරිසකි.

පොල් පිටිවල ප්‍රොaටීන සහ තන්තුමය කොටස්‌ අන්තර්ගතය ඉහළ ය. එබැවින් අධික පිෂ්ටමය ආහාරවලින් සෞඛ්‍යයට ඇති වන අහිතකර බලපෑම් අවම කරගැනීමට, පොල්පිටි ආහාරයට එක්‌ කරගැනීම ඉවහල් වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවේ (NRC) ප්‍රතිපාදන ඇති ව පොල් මද කර්මාන්තයෙන් ලැබෙන අතුරුඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරන ලද පර්යේෂණයකිනි.

මේ පර්යේෂණයෙන් ලද ප්‍රතිඵලවලට අනුව නැවුම් පොල් තෙල් නිෂ්පාදනයෙන් ලැබෙන පොල් පිටිවල ප්‍රොaටීන සියයට 12.6ක්‌ ද, මේදය සියයට 9.2ක්‌ සහ සරල සීනි නො වන කාබොහයිඩ්‍රේට සියයට 52ක්‌ පමණ අඩංගු වේ. මේ සරල සීනි නො වන කාබොහයිඩ්‍රේට ප්‍රමාණය තන්තුමය කොටස්‌ ලෙස ආහාරයට එක්‌ කරගත හැකි ය.

මීට අමතරව ගෘහස්‌ථ පරිභෝජනයේ දී අපතේ යෑවෙන පොල් කුඩුවලින් ද පොල් පිටි හා සමාන ප්‍රතිඵල ලබාගත හැකි බව පර්යේෂකයන්ට පෙනී ගොස්‌ ඇත.

පොල් කුඩුවලින් නිෂ්පාදිත පොල් පිටිවල ප්‍රොaටීන සියයට 4.2ක්‌, මේදය සියයට 42.6ක්‌ සහ සරල සීනි නො වන කාබොහයිඩ්‍රේට සියයට 42.4ක්‌ පමණ අඩංගු වේ.

කෙසේ වෙතත් නැවුම් පොල් තෙල් කර්මාන්තයෙන් ලබාගන්නා පොල් පිටි ආහාරයට වඩාත් උචිත බව පර්යේෂකයන්ගේ අදහසයි. ඊට හේතුව එහි අන්තර්ගත වන්නේ ඉතා අඩු මේද සංයුතියක්‌ වීමයි.

පොල් පිටි භාවිත කර මීයන් යොදාගෙන සිදු කළ පර්යේෂණයෙහි ප්‍රතිඵලවලට අනුව එම සතුන්ගේ නීරෝගීභාවය, බරෙහි වැඩි වීම පාලනය, සමස්‌ත කොලෙස්‌ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණවල අඩු වීම යන ලක්‌ෂණ නිරීක්‌ෂණය කළ හැකි වී ඇත.

නැවුම් පොල්තෙල් නිෂ්පාදනයෙන් ලබාගන්නා පොල් පිටි යොදා නියමු ව්‍යාපෘති ලෙස පාන්, බනිස්‌, බිස්‌කට්‌ වැනි බේකරි නිෂ්පාදන අරබයා මේ වන විට අත්හදාබැලීම් සිදු කර ඇති අතර එහි ලා ඉහළ පිළිගැනීමක්‌ ලැබී ඇති බව පර්යේෂකයෝ සඳහන් කරති.

මෙරට සාමාන්‍ය ජනයා හුරු වී සිටින්නේ පාන් වැනි පිෂ්ටය අධික ආහාර අනුභවයට ය. විශේෂයෙන් ම තිරිඟු පිටි පිෂ්ටය අධික ආහාර දියවැඩියාව වැනි නොයෙකුත් රෝග සඳහා දායක වන බව ප්‍රකට ය. එබැවින් පාන් පිටිවලින් සියයට 20ක්‌ වැනි ප්‍රමාණයකට පොල් පිටි ආදේශ කර පාන් ඇතුළු බේකරි ආහාර නිපදවිය හැකි නම් ශරීර සෞඛ්‍යය දැනට වඩා යහපත් ව පවත්වාගත හැකි වනු ඇති බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් තවමත් මේ සොයාගැනීම වාණිජ ක්‌ෂේත්‍රයට මහා පරිමාණයෙන් අවශෝෂණය වී නැති බවත් අවශ්‍ය කර්මාන්තකරුවන්ට මේ හා සම්බන්ධ තාක්‌ෂණය ලබා දීමට පොල් පර්යේෂණ ආයතනය සූදානම් බවත් ආචාර්ය යාලේගම මහත්මිය විදුසර හා පැවසුවා ය.

මේ සොයාගැනීමට දායක වූ කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආර්. සිවනේෂන් මහතා සහ මහාචාර්ය නේද්රා කරුණාරත්න මහත්මියයි.

Food Chemistry නම් ජාත්‍යන්තර ජර්නලයෙහි ඇතුළු දෙස්‌ විදෙස්‌ ප්‍රකාශන හා සමුළුවල දී මේ පර්යේෂණයට අදාළ ලිපි ප්‍රසිද්ධියට පත් කර ඇත. පර්යේෂණය ආශ්‍රිත ව ආචාර්ය යාලේගම මහත්මිය දිරිපත් කළ නිබන්ධයට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් පිරිනැමෙන පශ්චාද් උපාධි කුසලතා (merit) සම්මානයක්‌ ද ලැබී තිබේ.