logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වායු දූෂණය පිටුදකිමු...
 


වාතය අපට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. ආහාර හා ජලය නොමැති ව සාමාන්‍යයෙන් මිනිසකුට දින හෝ සති කීපයක පමණ කාලයක්‌ ජීවත් විය හැකි වුවත් වාතය නොමැති ව ජීවත් විය හැක්‌කේ ඉතා සුළු කාලසීමාවක්‌ පමණක්‌ වීම නිසා වාතය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි ය. ශ්වසනය සඳහා වාතය අවශ්‍ය වීම ලොව වෙසෙන සියලු ම ජීවීන්ට ම පාහේ පොදු වූ කරුණකි.

එහෙත් මූලික වශයෙන් මිනිසුන් විසින් සිදු කෙරෙන විවිධ ක්‍රියාවලි නිසා වාතයට එක්‌ වන වායු දූෂකවලින් පෘථිවි වායුගෝලය දූෂණය වෙයි. මේවා සමහරක්‌ ස්‌වාභාවිකව ද වායුගෝලයට එක්‌ වන අවස්‌ථා තිබෙයි. මෙසේ වායු දූෂණයට හේතු වන විවිධ දූෂක ගණනාවකි. මේ අතර කාබන්ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ්, සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ්, ඕසෝන්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය, කළු කාබන්, ඊයම්, රසදිය, හයිඩ්‍රොකාබන, දිගු කල් පවත්නා කාබනික දූෂක වැනි විවිධ ද්‍රව්‍ය වෙයි. මේවා පිළිබඳ ව හා ඒවායේ ප්‍රභව, වගුවේ සඳහන් ය (වගුව බලන්න).

මේ වායු දූෂක නිකුත් වන ප්‍රධාන මානව ක්‍රියාවලි ලෙස කෘෂිකර්මය, ප්‍රවාහනය, ගෘහස්‌ථ, කර්මාන්ත හා අපද්‍රව්‍ය යන අංශ සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත්, ගෘහස්‌ථ වායු දූෂණය, ප්‍රවාහන විමෝචන හා කර්මාන්ත ආශ්‍රිත විමෝචන වැඩි බලපෑමක්‌ සිදු කළ හැකි වායු දූෂණ මූලාශ්‍ර ලෙස සැලකෙයි. මේ අංශ එකිනෙකින් නිකුත් වන වායු දූෂක වෙනස්‌ විය හැකි ය.

වායු දූෂණය නිසා සිදු විය හැකි මූලික අහිතකර බලපෑම් කිහිපයක්‌ පිළිබඳ ව පුළුල් ව සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. ඉන් එකක්‌ වන්නේ, ඉන් මානව සෞඛ්‍යයට සිදු වන බලපෑම ය. තවත් බලපෑමක්‌ වන්නේ වර්තමාන යුගයේ බරපතළ ම පාරිසරික ගැටලුව ලෙස සැලකෙන දේශගුණ වෙනස්‌ වීම ය. කෙසේ වෙතත් මිනිසුන් මෙන් ම වෙනත් ජීවීන් ද වායු දූෂණයේ අහිතකර බලපෑමට ලක්‌ වන බව අප අමතක නො කළ යුතු ය.

මේ තත්ත්වය නිසා වායු දූෂණය මෙන් ම වායු දූෂණය වැළැක්‌වීම සම්බන්ධව ද පුළුල් අවධානයක්‌ ලෝකයේ යොමු ව තිබෙයි. එබැවින් 2019 වර්ෂයේ ජගත් පරිසර දිනයේ තේමාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ද වායු දූෂණයයි. වායු දූෂණය අවම කිරීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනෙන්නකි. ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධ ව ලෝකයේ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණකි.


මානව සෞඛ්‍යයට බලපෑම

මෑතකාලීන අධ්‍යයන හා සමාලෝචනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝක ජනගහනයේ සැම 10 දෙනකු ගෙන් 9 දෙනෙක්‌ ම දූෂිත වාතය ශ්වසනය කරති. ලෝකයේ සිදු වන සැම මරණ 9කින් 1කට හේතුව වන්නේ වායු දූෂණය වන බැවින් එය වර්තමාන ලෝකයේ බරපතළ ම සෞඛ්‍ය අර්බුදයක්‌ ලෙස සැලකෙයි. ලෝකය පුරා වාර්ෂික ව සිදු වන අකල් මරණ මිලියන 7කට හේතු වන්නේ වායු දූෂණය බවට ගණන් බලා ඇත.

වායු දූෂණය මානව සෞඛ්‍යය සඳහා බලපාන අන්දම පිළිබඳ ව අවධානය යොමු කරමින් සිදු කරන ලද අධ්‍යයන 70,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට ලෝකයේ පළ කර තිබෙයි. ඒවායෙන් පැහැදිලි ව පෙනෙන්නේ වායු දූෂණය නිසා ඇති වන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව ශක්‌තිමත් විද්‍යාත්මක පදනමක්‌ පවත්නා බවයි. මේ සෞඛ්‍යමය ගැටලු සම්බන්ධ ව මෑත කාලයේ සිදු කරන ලද අධ්‍යයනවලින් හෙළි වූ කරුණු කිහිපයක්‌ පහත දැක්‌වෙයි.

වායු දූෂණය නිසා ශ්වසන පද්ධතිය හා හෘදය ආශ්‍රිත ආබාධ ඇති වීම, ඒ පිළිබඳ ව අප දන්නා වඩාත් ප්‍රකට සෞඛ්‍ය බලපෑමයි. ඒ හැරුණු විට තවත් රෝගී තත්ත්ව ගණනාවකට වායු දූෂණය බලපෑම් කරයි. මේ වසර මුල Chest සඟරාවේ ප්‍රකාශයට පත් වූ සවිස්‌තර වාර්තා දෙකකට අනුව වායු දූෂණය නිසා මිනිස්‌ ශරීරයට සිදු විය හැකි බලපෑම කෙතරම් ද යත්, එය සිරුරේ සැම ඉන්ද්‍රියකට ම, සැම සෛලයකට ම හානි කරන බවක්‌ පැවසිය හැකි යෑයි පෙන්වා දී තිබිණි. දූෂිත වාතය නිසා ඇති විය හැකි විවිධ ආබාධ ශරීරයේ හිසේ සිට පාදස්‌ථය දක්‌වා වැළඳිය හැකි ආකාරයේ ඒවා ය. ඒවා හෘදයාබාධ හෝ පෙනහලු ආබාධ හෝ විය හැකි ය. දියවැඩියාව හා භින්නෝන්මාදය හෝ වැනි තත්ත්ව සඳහා ද වායු දූෂණය හේතු වීමට ද ඉඩ ඇත. යාකෘත අර්බුදවල සිට පිත්තාශය ආශ්‍රිත පිළිකා තත්ත්ව දක්‌වා වූ විවිධ රෝගවලට ද මූලික හේතුව එය විය හැකි ය. අස්‌ථි භංගුරතාවයේ පටන් සම තුවාල වීම දක්‌වා වූ විවිධ හානි තත්ත්ව දක්‌වා ද වායු දූෂණය බලපෑමක්‌ වෙයි. එමෙන් ම සරුභාවයට, කලලයට හා දරුවන්ට ද වායු දූෂණය අහිතකර ලෙස බලපෑමක්‌ සිදු කරයි.

මේ අතර ගැබිනි කාන්තාවන්ට ගබ්සා ඇති වීමේ ඇති අවදානම වායු දූෂණයට නිරාවරණය වීම නිසා ඉහළ යන බව Fertility and Sterility සඟරාවේ මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු දූෂණයට, කෙටි කාලයක්‌ නිරාවරණය වීමෙන් නිසා ගබ්සා වීම් ඇති වීමේ අවදානම 16%කින් පමණ ඉහළ යා හැකි ය. සංඛ්‍යාත්මක ව ගත හොත්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 20කින් ඉහළ යැම ගබ්සා වීමක්‌ ඇති වීමේ අවදානම 16%කින් ඉහළ යැමට බලපායි. ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලෝකයේ වෙනත් එවැනි ස්‌ථානවලට හා වඩා වැඩි වායු දූෂණයක්‌ ඇති නගරවලට ද අදාළ විය හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත.

වායු දූෂණය හුදෙක්‌ ශාරීරික ව පමණක්‌ නො ව මානසික ව ද ගැටලු ඇති කළ හැකි ය. දූෂිත වාතය ඇති ප්‍රදේශවල වාසය කළ දරුවන් පසු කලක දී විෂාදයට ලක්‌ වීමට ඇති අවදානම පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයක්‌ Science Advances හි පළ වී තිබිණි. ලන්ඩනයේ ජීවත් වන ළමයින් කණ්‌ඩායමක්‌ සම්බන්ධ ව සිදු කර තිබෙන මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන පරිදි, සිය අවුරුදු 12 පමණ වයසේ දී දූෂිත වාතයට නිරාවරණය වන දරුවන් වයස අවුරුදු 18 පමණ වයස්‌ වන විට විෂාදයට ලක්‌ වීමට ඇති අවස්‌ථාව, එසේ වායු දූෂණයට ලක්‌ නො වූ දරුවන්ට වඩා තුන් ගුණයත් සිව් ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ ය.

ඩීසල් වාහනවලින් නිකුත් වන වායු විමෝචනවලට ලක්‌ වන ළමයින්ගේ පෙනහලුවල වර්ධනය අඩාළ විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. මෙමඟින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයට ම පැවතිය හැකි එකකි. The Lancet Public Health හි පළ වූ මේ අධ්‍යයනය බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප්‍රදේශයේ ප්‍රාථමික පාසල් ළමයින් යොදාගනිමින් සිදු කරන ලද්දකි. එහි දී හෙළි වී ඇති ආකාරයට ඩීසල් විමෝචනවල ඇති නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් මට්‌ටම අනුමත ප්‍රමාණය ඉක්‌මවා ගිය හොත් ළමයින්ගේ පෙනහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකි ය. සාමාන්‍යයෙන් පෙනහලු ධාරිතාව උපරිමයට ළඟා වන්නේ වයස අවුරුදු 18 දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක්‌ නිසා වැඩිහිටි වියට පත් වන විට පෙනහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩු වයසින් මිය යැමේ අවදානමකට ඔවුන් ලක්‌ විය හැකි ය.

European Heart Journal සඟරාවේ පසුගිය වර්ෂයේ පළ වූ අධ්‍යයනයකින් හෘද රෝග සඳහා වායු දූෂණය බලපාන ආකාරයේ බරපතළ බව දක්‌වා තිබිණි. ඊට අනුව, වායු දූෂණය නිසා ලෝකයේ වාර්ෂික ව ඇති වන මරණවලින් 60%ක්‌ පමණ ඇති වන්නේ හෘද්වාහිනී පද්ධතිවල රෝග නිසා ය. වායු දූෂණය නිසා ඇති වන හෘද රෝග පිළිබඳ ව සිදු කරන ලද විමර්ශනයක දී මේ බව හෙළි වී ඇත. මේ සඳහා අංශුමය ද්‍රව්‍ය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරන බව ද හෙළි වී ඇත. විශේෂයෙන් ඉතා සියුම් අංශුමය ද්‍රව්‍ය මේ සඳහා බලපෑමක්‌ ඇති කරයි.

වායු දූෂණය නිසා ඇති විය හැකි තවත් සෞඛ්‍ය හානියක්‌ වන්නේ වකුගඩු ආබාධ ඇති විය හැකි වීම ය. PLOS ONE සඟරාවේ පළ වූ ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව වකුගඩු රෝගය හා PM2.5 කාණ්‌ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය අතර ධන සහසම්බන්ධයක්‌ තිබිය හැකි බව පෙන්වා දී ඇත. වාතයේ ගුණාත්මක තත්ත්වය ඉහළ ප්‍රදේශවලට වඩා දූෂිත වාතය ඇති ප්‍රදේශවල වකුගඩු රෝගීන් ඉහළ ය. එසේ ම මේ සියුම් අංශුමය ද්‍රව්‍ය හැරුණු විට වකුගඩුවලට හානි කරන බැරලෝහ ද දූෂිත වාතයේ දැකිය හැකි ය.

වායු දූෂණය නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ අඩු වන බව Environmental Science : Technology Letters සඟරාවේ පළ වූ අධ්‍යයනයක සඳහන් ය. 2016 වර්ෂය හා සම්බන්ධ දත්ත යොදාගෙන රටවල් 185ක PM2.5 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඉන් පසුව එය ඒ ඒ රටට හා ජගත් මට්‌ටමින් ආයු අපේක්ෂාවට බලපාන ආකාරය අවධානයට ලක්‌ කර ඇත. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි ආසියාවේ හා අප්‍රිකාවේ දී ආයු අපේක්ෂාව වසර 1.2 - 1.9 අතර ප්‍රමාණයකින් අඩු කිරීමට මේ තත්ත්වය හේතු වී ඇත. එසේ ම වඩා ගුණාත්මක වායු තත්ත්වයක්‌ පවතින්නේ නම්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යන බව මේ අනුව පැහැදිලි ය.



දේශගුණ වෙනස්‌ වීම

වායු දූෂණය හා දේශගුණ වෙනස්‌ වීම අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ වෙයි. එයට මූලික හේතුව වන්නේ වායු දූෂණය සඳහා සහ දේශගුණ වෙනස්‌ වීම ඇති වීමට බලපාන මූලික සාධක එක ම සාධක වීම ය. මේ අනුව කාබන්ඩයොක්‌සයිඩ් මෙන් ම වෙනත් හරිතාගාර වායු ගණනාවක්‌ ද වායු දූෂක ලෙස වාතයට එක්‌ වන ද්‍රව්‍ය වෙයි. නිදසුන් ලෙස මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද දැක්‌විය හැකි ය.

එබැවින් වායු දූෂණය අඩු කිරීම සඳහා ගන්නා වූ යම් ප්‍රයත්නයක්‌ වේ ද එය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා රුකුලක්‌ වන බව පැහැදිලි ය. මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ ෆොසිල ඉන්ධන සම්බන්ධ ව ය. ෆොසිල ඉන්ධන යනු ප්‍රවාහනය හා කර්මාන්තවල දී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස භාවිතයට ගනු ලබන ප්‍රධාන ඉන්ධන ප්‍රභවයයි. ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන වායු දූෂක අඩු කළ හැකි නම් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධයෙන් ද ඵලදායී විය හැකි ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි ය.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කළ හැකි නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට හැකියාව ඇති බව Nature Communications සඟරාවට ලිපියක්‌ සැපයූ පර්යේෂකයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ මෑත දී ය. ඒ සඳහා ෆොසිල ඉන්ධන හා සම්බන්ධ ව අද භාවිත කෙරෙන සියලු ම යටිතල පහසුකම් - එනම් විදුලි බලාගාර, කර්මාන්තශාලා, රථවාහන, නෞකා සහ ගුවන් යානා වැනි පහසුකම් - ඒවායේ ජීවිත කාලය අවසානයේ දී ශුන්‍ය කාබන් (zero carbon) විකල්ප මඟින් ප්‍රතිස්‌ථාපනය කළ යුතු ය. එනම් මේ පහසුකම්වලින් නිකුත් වන කාබන් විමෝචන ඉදිරි දශක හතරක කාලයේ දී ශූන්‍ය විය යුතු ය. එය වහා ම කළ හැකි නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5 අගයට අඩුවෙන් පවත්වාගැනීමට 64%ක පමණ අවස්‌ථාවක්‌ පවතී. එහෙත් එම කාර්යය 2030 වසර වන තෙක්‌ ප්‍රමාද වුව හොත් අදාළ ඉලක්‌කය අත්පත් කරගැනීමට ඇති අවස්‌ථාව 33%ක්‌ දක්‌වා අඩු වෙයි. කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් දැක්‌වෙන ඉලක්‌ක අත්පත් කරගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන්න නම් මඳක්‌ සැකසහිත ය.



වායු දූෂණය වළක්‌වාගත හැකි ය - අපට කළ හැකි දේ

වායු දූෂණය බරපතළ ගැටලුවක්‌ වුව ද එහි ඇති වැදගත් කරුණක්‌ වන්නේ එය වළක්‌වාගත හැකි එකක්‌ වීම ය. විවිධ වායු දූෂක අවම කිරීම සඳහා ගත හැකි නවීන තාණික පිළියම් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට අවශ්‍ය ව ඇත්තේ ඒවා අදාළ අංශවල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම ය. ඊට ලෝකයේ සියලු රටවල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය ව තිබෙයි. මෙහි ලා සඳහන් කළ යුතු වැදගත් දෙයක්‌ වන්නේ වායු දූෂණයට ලක්‌ වීම ඉහළ වන්නේ ද, අවශ්‍ය පිරිසිදු තාණය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රමාද වී තිබෙන්නේ ද දියුණු වන රටවල බවයි.

තනි පුද්ගලයකු ලෙස වායු දූෂණය අවම කිරීම සඳහා අපට කළ හැකි කටයුතු ද බොහෝ ය. මේ අතරින් මූලික වැදගත් කරුණු කීපයක්‌ මෙසේ සඳහන් කළ හැකි ය.



* රුක්‌ රෝපණය -

වායු දූෂක අඩු කිරීම සඳහා ගත හැකි වැදගත් පියවරක්‌ වන්නේ රුක්‌ රෝපණයයි. රුක්‌ රෝපණය මඟින් මූලික ව ම වාතයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වාතයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙයි. මේ නිසා හැකි තාක්‌ රුක්‌ රෝපණය මඟින් තනි පුද්ගලයන් ලෙස අපට ද වායු දූෂණය අවම කිරීම සඳහා දායක වීමට හැකි ය. මෙය, වන රෝපණය මෙන් ම ගෙවතු හා මාර්ග ආශ්‍රිත ව සිදු කරන රුක්‌ රෝපණය වුව ද විය හැකි ය. එමෙන් ම ශාක මඟින් වාතයේ තිබෙන අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද ප්‍රයෝජන ලැබෙන බවක්‌ දක්‌වා තිබෙයි.



* කසළ පිරිසිදු කිරීම -

කසළ නිසි ලෙස බැහැර කිරීම වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරකි. කැලි කසළ අනිසි ලෙස දහනය කිරීම නිසා කාබන්ඩයොක්‌සයිඩ්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය හා වෙනත් විෂ සහිත ද්‍රව්‍ය වායුගෝලයට එක්‌ විය හැකි ය. මෙවැනි විෂ සහිත ද්‍රව්‍ය අතර පිළිකා වැනි තත්ත්ව ඇති කිරීමට හේතුවන රසායනික සංයෝග, දිගු කල් පවත්නා කාබනික දූෂක (persistent organic pollutants) පවා තිබිය හැකි ය. මේ නිසා වඩාත් වැදගත් වන්නේ කසළ නිසි ලෙස බැහැර කිරීම හා ප්‍රතිභාවිතය, ප්‍රතිචක්‍රීකරණය වැනි කටයුතු සඳහා යොදාගැනීම ය. මෙමඟින් වාතයට එක්‌ වන පරිසර දූෂක අඩු කළ හැකි ය.



* වායු දූෂණය අවම වූ ප්‍රවාහන මාධ්‍ය භාවිතය -

මෙය වායු දූෂණය සම්බන්ධ ව, තනි පුද්ගලයන් ලෙස අප සැමට තැබිය හැකි තවත් වැදගත් පියවරකි. මෙහි දී අපගේ එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදාගත හැකි ප්‍රවාහන මාධ්‍ය තෝරාගැනීමේ දී සබුද්ධික වීමේ වැදගත්කම පෙනෙයි. මේ වන විට ඇතැම් රටවල් හා නගර, අඩු කාබන් කලාප, ඇතැම් ප්‍රදේශවල සමහර වාහන වර්ග සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන්නේ මේ තත්ත්වය නිසා ය. මෙහි දී පුද්ගලයන් ලෙස ගත හැකි පියවර වඩාත් වැදගත් වන්නේ එය වඩාත් ස්‌ථාවර හා ඵලදායී වන බැවිනි. මෙහි දී, වැදගත් කරුණු කිහිපයක්‌ මෙසේ ය.

පොදු ප්‍රවාහන සේවා භාවිතය ඉන් පළමුවැන්න ය. පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් අපගේ වායු දූෂණය අවම කළ හැකි ය. ඒ පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීමෙන් ඒවා මඟින් වාතයට එක්‌ වන වායු දූෂක යම් ප්‍රමාණයකින් අඩු වන නිසා ය. එය හැකි හැම විට ම සිදු කළ හැකි නම් එය වායු දූෂණය අවම කිරීම සඳහා අපට ගත හැකි ඵලදායී පියවරක්‌ වනු ඇත. මේ සඳහා වඩා දියුණු තත්ත්වයක පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව සැබෑවකි. එහෙත් පවත්නා තත්ත්ව යටතේ වුව ද ගත හැකි ඇතැම් පියවර පවතී.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම මෙවැනි තවත් පියවරකි. රථවාහන වෙනුවට පාපැදි භාවිතය මෙන් ම පිරිසිදු ඉන්ධන මඟින් ධාවනය වන වාහන ද පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය අතර වෙයි. මේවා හැකි තාක්‌ භාවිත කිරීම වැදගත් වන්නේ ඒවා බොහෝ දුරට අහිතකර වායු විමෝචන අවම වූ ප්‍රවාහන මාධ්‍ය වන නිසා ය. එහෙත් මේ සම්බන්ධව ද යම් යම් සීමා පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් දිවා කාලයේ උෂ්ණත්වය අවම වූ සෞම්‍ය කලාපීය රටවල් මෙන් නො ව අප රට වැනි රටක නාගරික ප්‍රදේශවල හා දිගු දුර ගමන් කිරීම සඳහා දෛනික ව පාපැදි භාවිතය අසීරු ය. එහෙත් කෙටි දුර ප්‍රවාහනය සඳහා පාපැදි යොදාගැනීමට හැකියාව පවතී.
 


ධනේෂ් විසුම්පෙරුම