logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පාරිසරික ආරක්ෂාව, නීතිය හා වගකීම...


පරිසරය සුරැකීමට අදාළ ව නව නීති පැනවෙන අයුරු අපට දැකගත හැකි වේ. ඒ නීති බොහොමයකට පාදක වන්නේ ද විද්‍යාත්මක අධ්‍යයන හා පසුබිම් වූ ඥන සම්භාරයයි. අපේ රටේ නූතන පාරිසරික නීති වර්ධනය වූයේ ඉතා ම මෑතක දී වුවත් ඇමෙරිකාව වැනි රටවල සිය වසකටත් පෙර සිට ම ඒවා පැවතිණි.

ඊට හොඳ ම නිදසුනක්‌ වන්නේ 1899 සිට ඇමෙරිකාවේ ක්‍රියාත්මක වූ Rivers and Harbors Appropriation පනත ය. එය ඇමෙරිකාවට ම අදාළ පැරැණිතම ෆෙඩරල් පාරිසරික නීතිවලින් එකකි. එය බලපෑවේ ජලය දූෂණයට අදාළ ව ය.

වර්තමානයේ සංවාදශීලී මාතෘකා අතර 'පරිසරය'ට හිමි වන්නේ ඉතා ම වැදගත් තැනකි. ඊට හේතු වූ කාරණා අතර අප අද අත්දකින කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵල මනුෂ්‍යයාට දැනෙන ආකාරය ප්‍රමුඛ ලෙස අවධානයට ලක්‌ වී තිබේ. පරිසරයේ මේ හැසිරීම හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මනුෂ්‍යයාට කළ හැකි මැදිහත් වීම කුමක්‌ ද යන්න ප්‍රශ්නසහගත ය. මන්ද, පරිසරයේ හැසිරීම් ස්‌වභාවධර්මය ලෙස පොදුවේ හඳුනාගන්නා බැවිනි.

කෙසේ වුව ද, ස්‌වාභාවික අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක්‌ ලෙස මානවයාගේ ක්‍රියාකාරකම්, පාරිසරික ක්‍රියාවලීන් වෙනස්‌ කිරීමට හෝ උග්‍ර ප්‍රතිඵල ඇති කිරීමට හෝ ප්‍රමාණවත් ලෙස බලපා ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව මිනිසා ජීවිකාව පිණිස, කර්මාන්ත පිණිස, අත්හදා බැලීම පිණිස හා විනෝදය පිණිස කරන ක්‍රියාකාරකම් සක්‍රිය වශයෙන් පාරිසරික බලපෑම් ඇති කරන බව පෙනී යයි. මේවා දේශ සීමා ඉක්‌මවා ගිය ගැටලු බවට පත් වීම හේතුවෙන් වර්තමානයේ පරිසර ආරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්‌ටමෙන් මැදිහත් වීම් දැකගත හැකි ය.

මේ සම්බන්ධයෙන් ඇති ප්‍රවණතා අතර 2014 ජූනි මස දී රටවල් 193කින් සමන්විත එක්‌සත් ජාතීන්ගේ පාරිසරික සමුළුව කැඳවීම හරහා ගෝලීය පාරිසරික ප්‍රතිපත්තියක්‌ නිර්මාණය කිරීමට සුවිශේෂ වූ මාවතක්‌ විවර කර දී තිබේ. ලංකාව ද මෙහි පාර්ශ්වයක්‌ වේ.

දේශීය වශයෙන් සලකන විට ලාංකීය නීතියේ අවධානය යොමු ව ඇත්තේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා 1980 ජාතික පාරිසරික පනත (සංශෝධිත) ප්‍රමුඛ කොටගත් ව්‍යවස්‌ථා මඟින් පරිසර ආරක්ෂාව සාක්ෂාත් කිරීමට ය. මෙය සැම පුරවැසියකුට ම පොදුවේ අදාළ වන මහජන නීතියේ ඇතුළත් න්‍යායන් ලෙස සරල ව හැඳින්විය හැකි ය.

ඒ හැරෙන්නට පෞද්ගලික වශයෙන්, පරිසරය ආරක්ෂා කරගැනීමට තනි පුද්ගලයන්ට කළ හැකි වන්නේ කුමක්‌ ද යන්න සලකා බැලිය යුතු ය. වර්තමානයේ මෙය වඩාත් ම වැදගත් වන්නේ, සාමාජීය වගකීමට මුවා වී තනි පුද්ගල යුතුකම් හා වගකීම් මෙන් ම අයිතිවාසිකම් ද නො තකා හැරීම බහුල ව සිදු වන බැවිනි.

සාමාජීය වශයෙන් ක්‍රියාත්මක වීමට ප්‍රථම ව, පරිසරය රැකගැනීම පිණිස කටයුතු කිරීම තනි පුද්ගලයකුට කළ හැකි ය. ඒ සඳහා වන ප්‍රමාණවත් වන, ස්‌ථාපිත නීති රාමුවක්‌ අපගේ නීති සන්දර්භය තුළ තිබේ. ගැටලුව වන්නේ, එම නීති ක්‍රියාමාර්ග අභාවිතය නිසා ප්‍රචලිත නො වීමයි.

එම නිසා ලිපි පෙළෙහි අරමුණ වන්නේ එසේ අභාවිත, නැතිනම් අඩුවෙන් භාවිත වූ නෛතික මූලධර්ම හා නීති රාමුව කෙරෙහි ජනතාවගේ දැනුවත්භාවය ඇති කිරීමයි.

'පාරිසරික දීලික්‌ත'

මෙහි ප්‍රාරම්භයක්‌ වශයෙන් 'පාරිසරික දීලික්‌තය'ක්‌ යනු කුමක්‌ ද යන්න වටහාගැනීම අවශ්‍ය වේ. දීලික්‌තයක්‌ යනු සිවිල් වරදකි. සැම පුද්ගලයකු ම තම එදිනෙදා කටයුතු සිදු කිරීමේ දී දැක්‌විය යුතු යුක්‌ති සහගත අවධානයේ යුතුකමක්‌ මත උපදින නීතිමය වගකීමක්‌ තිබේ. මේ යුතුකම නැතිනම් වගකීම වන්නේ අන්‍යයන්ට හානියක්‌ හෝ අගතියක්‌ හෝ නො කර සිටීමේ වගකීමයි. නීතියේ මෙය සලකන්නේ නිෂ්ක්‍රීය වගකීමක්‌ ලෙස ය. මන්ද, හානියකට ඉඩ නො තැබීම මෙහි පරමාර්ථයයි (මෙහි 'හානියක්‌' ලෙස සලකන්නේ ජීවිත හානියක්‌, ශාරීරික ආබාධයක්‌ හෝ රෝගයක්‌, අපහසුතාවක්‌, යම් අහිතකර තත්ත්වයකට නිරාවරණය වීමක්‌ මෙන් ම දේපළ හානියක්‌ හෝ දේපළෙහි වටිනාකම හීන වීමක්‌ යනාදියයි). මෙහි දී අවධාරණය කළ යුතු කරුණ වන්නේ, මේ වගකීම සිවිල් නීතියේ හඳුනාගන්නා නීති මූලධර්මයක්‌ වීමයි. එම නිසා දීලික්‌ත සහන ලබාගැනීම පිණිස යොදාගන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ අඩංගු ප්‍රතිපාදන වේ.

දීලික්‌ත වගකීම උපදින ස්‌ථාන පිළිබඳ නිශ්චිත සීමා නැත. එහෙත් 'යුක්‌ති සහගත පූර්වේණය' මත පිහිටා අවස්‌ථාපිත ව මේ වගකීම යම් පුද්ගලයකු හෝ ආයතනයක්‌ හෝ මත පතිත විය හැකි ය. ඒ අනුව යම් ලෙසකින් තමන් සතු නීතියෙන් පිළිගත් අයිතියක්‌ කඩ වී තිබේ යෑයි හැඟෙන අවස්‌ථාවක තනි පුද්ගලයකුට, එකී වගකීම කඩ කළ පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ එරෙහි ව තක්‌සේරු කළ හැකි වන්දියක්‌ මඟින් සහන යාචනය කිරීමට දීලික්‌ත නඩුකරයක්‌ භාවිත කළ හැකි ය.

'පාරිසරික දීලික්‌තය' වටහාගැනීමට මේ නෛතික සන්දර්භය අපට උදව් වේ. පරිසරය යනු අප හා අප අවට ඇති දැ ය. ඒ අනුව මනුෂ්‍යයන්ට පරිසරය දේපළක්‌ ලෙස සැලකිය හැකි ය. දේපළ, පෞද්ගලික හෝ පොදු හෝ දේපළ ලෙස වර්ග වේ.

මෙහි දී මානවයා නිර්මාණය කරගත් පරිසරය පෞද්ගලික ව අත්පත් කරගැනීමට හැකියාවක්‌ තිබෙන අතර ස්‌වාභාවික පරිසරය බොහෝ විට පොදු දේපළක්‌ බවට පත් වේ. අවස්‌ථානුකූල ව මීට ව්‍යතිරේකයක්‌ තිබිය හැකි ය. උදාහරණයක්‌ ලෙස, මානවයා නිර්මාණය කළ පරිසරය පොදු භාවිතය පිණිස පැවතිය හැකිවාක්‌ මෙන් ම ස්‌වාභාවික පරිසරය විවිධ හේතු මත පුද්ගලයන් සහ/හෝ ආයතන විසින් අත්පත් කරගනු ලැබිය හැකි ය. එහෙත් දේපළ භාවිතය තුළ, යම් පුද්ගලයකුට හෝ පරිසරයට හෝ හානියක්‌ සිදු වේ නම් එම හානිය යථාවක්‌ කිරීමට පාරිසරික දීලික්‌ත තුළ හැකියාව ඇත. මන්ද, දේපළ භුක්‌ති විඳීම මත පාරිසරික අයිතිවාසිකම් මතු වන බැවිනි.

නිදසුනක්‌ ලෙස තම වාසස්‌ථානය මුල් කොටගෙන ඕනෑ ම මනුෂ්‍යයකුට සෞඛ්‍ය සම්පන්න, සුවදායී, අබාධිත පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය පෙන්වා දිය හැකි ය. එම නිසා වනහරණය, පරිසර දූෂණයට (වාතය, ජලය, පස, ශබ්දය) නිරාවරණය වීම, ජාන මංකොල්ලය හා ජාන විකෘති කළ ආහාර නිපදවීම මෙන් ම සුරsත පවුල් ජීවිතයක්‌ ගත කිරීමට ඇති අයිතිය පවා දේපළක්‌ මත මනුෂ්‍යයාට ලැබිය හැකි පාරිසරික අයිතීන් වේ.

මතු සම්බන්ධයි

කොළඹ විශ්වවිද්‍යාලයයේ, නීති පීඨයේ, පුද්ගල හා තුලනාත්මක නීති අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී
උදපාදි ලියනගේ