logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආපදා සහන කට්‌ටලයට ප්‍රමුඛස්‌ථානය දෙන කාලයක්‌...
 


පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරයේ උණුසුම තවමත් නිවී ගොස්‌ නැති අතර ආපදාවක්‌ යනු කුමක්‌ ද යන්න වටහාගැනීමට එය හොඳ ම මෑත උදාහරණයක්‌ වන්නේ ය. ඒ අතරට ජීවිත සහ දේපළවලට හානි ගෙන එන ආපදා ප්‍රධාන ලෙස ප්‍රභේද දෙකකට වෙන් කළ හැකි බව වටහාගැනීමට පාස්‌කු ඉරිදා ආපදාව මෙන් ම, 2016, 2017 වසරවල අප දිවයිනෙන් ම වාර්තා වූ ගංවතුර, නාය යැම් සහ සුළං ආපදා පිළිබඳ මතකය ප්‍රයෝජනවත් වේ. ස්‌වාභාවික පාරිසරික සාධකවල බලපෑමෙන් සිදු වන ස්‌වාභාවික ආපදා ගණයට අයත් වන අතර සෙසු ආපදා මිනිස්‌ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ය.

බොහෝ විට මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් සිදු වන ආපදා එක්‌ ස්‌ථානයකට හෝ කුඩා ප්‍රදේශයකට හෝ සීමා වන අතර ඉන් සිදු වන ජීවිත සහ දේපළ හානිය ද බොහෝ විට දිවයිනේ කුඩා ප්‍රදේශයක්‌ තුළින් වාර්තා වේ.

පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරය සහ වසර කිහිපයකට පෙර සාලාව අවි ගබඩාවේ පිපිරීම හොඳ උදාහරණ වේ. ආපදාව කුඩා ප්‍රදේශයකට සීමා වීම නිසා ම බොහෝ විට ආපදාවල පසු සිදු විය යුතු කළමනාකරණ වැඩකටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රවාහන, සෞඛ්‍යය, ආරක මෙන් ම සමාජීය පහසුකම් සැපයෙන නිසා ආපදාවට පසුව ඉටු විය යුතු කළමනාකරණ කටයුතු දියත් කිරීම අපහසු නො වේ.

ස්‌වාභාවික විපත් අවස්‌ථාවලට මුහුණ දීම ඉතා අසීරු කර්තව්‍යයක්‌ බව අතීත පාඩම්වලින් අප ඉගෙනගෙන ඇත. 2004 සුනාමි ආපදාව, 2013 පීඩන අවපාත ආපදාව, 2017 ගංවතුර සහ නාය යැම් ආපදා අවස්‌ථාවලින් පෙනී ගියේ ජීවිත සහ දේපළ හානිය රට ම කම්පා වන තරමට විශාල වන බවත්, ආපදාවට පසුව අවශ්‍ය කළමනාකරණ කටයුතු දියත් කිරීමේ දී ගැටලු

රැසකට මුහුණ දීමට අදාළ සැමට සිදු වුණ බවත් ය. මීට ප්‍රධාන හේතුව වන්නේ, ආපදා වපසරියේ විශාලත්වය වැඩි වන සමහර ස්‌වාභාවික ආපදාවල දී යටිතල පහසුකම් රැසකට විවිධ හානි සිදුවීම ය.

වසරේ සැම කාලගුණ සෘතුවක දී ම එම වකවානුවට පවතින කාලගුණ සාධක සහ කාලගුණ පද්ධතිවල බලපෑම අනුව විවිධ ස්‌වාභාවික ආපදා සිදු වේ. මේ නිරිතදිග මෝසම් සමයේ දී බලාපොරොත්තු වන ධාරානිපාත වැසි, අකුණු සහ ටොනේඩෝ සහිත කාලගුණ පද්ධති සහ ප්‍රචණ්‌ඩ සුළංවල බලපෑමට අමතර ව ශ්‍රී ලංකාව අවට වර්ධනය වන පීඩන අවපාත (Depression) සහ සුළි සුළං (Cyclone) බලපෑම් ද හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ම ස්‌වාභාවික ආපදා ඇති වේ. 2017 මැයි මාසයේ දී ගංවතුර සහ නාය යැම් නිසා ජීවිත 200ක්‌ පමණ විනාශ වී පවුල් දහස්‌ ගණනක්‌ අනාථ තත්ත්වයට පත් වූ බව ඔබ මතකයේ ඇත.

නිරිතදිග මෝසම් සමයේ දී ප්‍රචණ්‌ඩ සුළං, ගංවතුර සහ නාය යැම් නිසා දේපළ හානිය, නිවාස සහ ගොඩනැඟිලි කැඩී බිඳී යැම, ගස්‌වල අතු බිඳී යැම සහ විශාල ගස්‌ ඉදිරී වැටීම සිදු වන අතර පීඩන අවපාතයක්‌ වැනි පද්ධතියක බලපෑම් මත මේ ආපදා සියල්ල ම එකවර විවිධ ප්‍රදේශවල ඇති වීම සාමාන්‍ය දෙයකි. එවන් අවස්‌ථාවල මහා පරිමාණයේ ජීවිත හානි සහ දේපළ හානිවලට අමතර ව ප්‍රවාහන මාර්ග යට වී, කැඩී බිඳී සහ අවහිර වීම නිසා ගමනාගමනය, ප්‍රවාහනය ඇනහිටීම, විදුලි බල සහ දුරකතන සැපයුම් බිඳී යැම නිසා සන්නිවේදනය අඩාළ වීම, ජලනළ කැඩී බිඳී යැම සහ ජලාශ, මඩ දියෙන් පිරීම නිසා පානීය ජල ගැටලු මෙන් ම පහත්බිම් ජලයෙන් යට වීම නිසා ආපදාවට ලක්‌ වන ජනතාවට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ.

මෙතෙක්‌ ලොව ප්‍රදේශ ගණනාවකින් වාර්තා වූ ස්‌වාභාවික විපත් පිළිබඳ ව සහ සමාජීය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කළ ආයතන, ස්‌වාභාවික ව්‍යසනයක දී ජනතාවට මුහුණපෑමට සිදු වන ගැටලුවලට යම් ආකාරයක විසඳුම් ලබාගත හැකි පරිදි ආපදා සහන කට්‌ටලය (Disaster Survival Kit) නැතිනම් කෙටියෙන් ආපදා කට්‌ටලය (Disaster Kit) හඳුන්වා දී ජනතාව ඒ අනුව ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ජීවිත සහ දේපළ හානි වන ආපදා අවස්‌ථාවක දී සහන හෝ ආධාර, ආපදාවට ලක්‌ වූවන් වෙත ළඟා වීමට දින දෙක තුනක්‌ ගත වන අවස්‌ථාවල දී ඒ බැරෑරුම් කාලය තුළ ජීවිතය

රැකගෙන ජීවත් වීම උදෙසා රැස්‌ කරගෙන තබාගත යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආම්පන්න කිහිපයක එකතුව ආපදා සහන කට්‌ටලය නමින් හැඳින්වේ.

ආපදා කට්‌ටලයක්‌ සමන්විත ද්‍රව්‍ය හෝ ආම්පන්න සුරක්ෂිත ව තබාගැනීම පිළිබඳ ව අදහස්‌ වෙබ් අඩවිවල විස්‌තරාත්මක ඇත. සැකෙවින් සලකා බැලුව හොත්, ආපදාවක්‌ සිදු වන වේලාව හෝ ස්‌ථානය අවිනිශ්චිත ය. ඒ නිසා අදාළ ද්‍රව්‍ය නිවෙස්‌වල සහ සේවා කාර්යාලවල තබාගැනීම ඉතා වැදගත් සේ ම මේ කාර්යබහුල ලෝකයේ නිරතුරු ව මිනිස්‌ පරිහරණය සඳහා භාවිත වන බස්‌ රථ, දුම්රිය හෝ මෝටර් රිය යන ස්‌ථානවල සංචාරක ආපදා කට්‌ටලයක්‌ තබාගැනීම ආපදා අවස්‌ථාවල දී විශාල උපකාරයක්‌ වන්නේ ය. එහෙත් නිවසක්‌ හෝ කාර්යාලයක්‌ හෝ තුළ ආපදා අවස්‌ථාවක රැඳී සිටින ජන සංඛ්‍යාව සැලකිය යුතු තරම් වන නිසා, මහා ආපදා අවස්‌ථාවක දී දින දෙක තුනක කාලයක්‌ පවා බාහිර සම්බන්ධතා කඩ වී හුදෙකලා වන සැමගේ පරිහරණය සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය සහ ආම්පන්න මොනවා ද යන්න තීරණය කිරීම අදාළ සැමගේ වගකීම වන්නේ ය.

ආපදා අවස්‌ථා අධ්‍යයනයන්ට බඳුන් කිරීම හරහා ආපදා සහන කට්‌ටලයක්‌ සමත් විය යුතු ද්‍රව්‍ය සහ ආම්පන්න පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථාන මඟින් විටින් විට ජනතාව දැනුවත් කෙරේ. එවන් ද්‍රව්‍ය සහ ආම්පන්න කිහිපයක්‌ පහත සඳහන් වේ.

අදාළ ද්‍රව්‍ය හෝ ආම්පන්නවල වැදගත්කම පිළිබඳ ව විස්‌තර මෙහි ලා සඳහන් නො කරන අතර ඒ පිළිබඳ තීරණය ගැනීම අප හැමට භාර කරුණකි.

1. පානීය ජලය.

2. කෝෂ (බැටරි) මඟින් ක්‍රියා කරන ගුවන් විදුලි යන්ත්‍රයක්‌ (මේ සඳහා නවීන ජංගම දුරකතන වුව ද භාවිත කළ හැකි ය).

3. ආහාර (විශේෂයෙන් ම පැකට්‌ කළ සහ ටින් කළ ආහාර සහ වියළි ආහාර).

4. ලන්තෑරුමක්‌, භූමිතෙල් සහ ගිනි පෙට්‌ටි.

5. ප්‍රථමාධාර සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය සහ ආම්පන්න (විටමින් පෙති, වේදනානාශක පෙති, ප්ලාස්‌ටර්, විශේෂයෙන් ම වැඩිහිටියන් සහ ළදරුවන් සඳහා අවශ්‍ය බෙහෙත්).

6. දූවිලි ආවරණ (දුම් සහ දූවිලි ආඝ්‍රාණය අවම කිරීමට).

7. තම ප්‍රදේශයේ සිතියමක්‌.

8. වැදගත් අයගේ සහ ආයතනවල දුරකතන අංක ලේඛනයක්‌.

9. වැදගත් ලිපි ලේඛන සහ අනන්‍යතාව හඳුනාගැනීමට උපකාර වන ලේඛන සහ සහතික හෝ ඒවායේ පිටපත්.

10. ළදරුවන් සඳහා අත්‍යවශ්‍ය දැ (කිරි බෝතල්, යට ඇඳුම් ආදිය).

11. අමතර මුදල් ප්‍රමාණයක්‌.

12. කඩදාසියක්‌, පෑනක්‌, පැන්සලක්‌.

13. පිහියක්‌.

14. ශරීර සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය ආම්පන්න (දත් බුරුසු ආදිය).



කේ. ආර්. අභයසිංහ