logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ස්‌වාභාවික විපත් සමයකුත් අත ළඟ බව අමතක නො කරමු
 


අප්‍රේල් මස 21 වැනි දින දිවයිනේ ස්‌ථාන කිහිපයක ම සිදු වූ ත්‍රස්‌තවාදී පහර දීම් නිසා දෙ සිය පනහකට අධික වූ මිනිස්‌ ජීවිත හානියක්‌ සිදු වූ අතර ඊට සතියකට පෙර උදා වූ සිංහල සහ දමිළ නව අවුරුදු දා ඇතුළත් ව දින දහයක්‌ ඇතුළත අසූ (80) දෙනකුට පමණ දිවි අහිමි වූයේ රථවාහන අනතුරු සහ විවිධ මිනිස්‌ ගැටුම් නිසා ය. මේ ආපදා සිදුවීම් දෙක හා සම්බන්ධ ව විශාල දේපළ හානියක්‌ ද වාර්තා විය. මේ අවස්‌ථා දෙකෙහි දී වාර්තා වූ ජීවිත සහ දේපළ හානිය සමඟ සැසඳීමේ දී, ශ්‍රී ලංකාවේ වසරක්‌ තුළ අපට මුහුණ පාන්නට සිදු වන ස්‌වාභාවික ආපදාවලින් සිදු වන ජීවිත සහ දේපළ හානි සැලකිය යුතු තරම් නො වන බවට සමහරකුට හැඟෙනවා විය හැකි ය.

සතියක පමණ කාලයක්‌ තුළ විශාල ජීවිත සහ දේපළ හානියක්‌ වාර්තා වීම පිළිබඳ ව රටේ ම ජනතාව කම්පාවට පත් වූ බව නොරහසකි. අවුරුදු පතා අප වෙත ළඟා වන ස්‌වාභාවික ආපදා හෙවත් විපත් පිළිබඳ ව අවධානය අඩු වීමට මෙය හේතුවක්‌ විය හැකි අතර වැදගත් සාධකයක්‌ ජනතාවගේ මතකයෙන් ගිලිහී යැමට ද මේ වාතාවරණය බලපානු ඇත.

ලොව පුරා රාජ්‍යයන් රැසක සිදු වන ආපදා සහ ආපදා කළමනාකරණය පිළිබඳ ව ලබාගත් දත්ත විශ්ලේෂණයකට යොමු කළ ජර්මන් වොච් (German Watch) ආයතනය විසින් සකස්‌ කරන ලද දේශගුණ අවදානම් දර්ශකවලට අනුව වැඩි ම කාලගුණ ආපදා අවදානමක්‌ සහිත ලොව දෙවැනි රට ශ්‍රී ලංකාව වග මීට මාස ගණනකට පෙර ලොවට ම දන්වා සිටින ලදි. 2017 වසරේ අප රටේ සිදු වූ කාලගුණික විපර්යාස හේතුවෙන් පුද්ගලයන් 246 දෙනකු මිය ගොස්‌, ඇමෙරිකානු ඩොලර් මිලියන 3,129,351ක දේපළ හානියක්‌ සිදු වූයේ ය යන දත්තය ද ජර්මන් වොච් ආයතනය සිදු කළ විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇති බව සඳහන් විය.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ඒ තක්‌සේරුව සැම රටවැසියකු මෙන් ම විපත් කළමනාකරණය හා සම්බන්ධ වගකීම් දරන සැම මැති ඇමතිවරුන් සහ සැම රාජ්‍ය වන හෝ නො වන නිලධාරීන් ම විසින් අවධානයෙන් වටහාගෙන නිසි ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ගත යුතු ය.

දිවයින පුරා පැවැති අන්තර් මෝසම් උණුසුම් කාලගුණ තත්ත්වයේ පැහැදිලි වෙනසක්‌ සිදු වීගෙන යන බව ඔබ සැමට මේ වන විටත් අවබෝධ වී ඇත. දරාගන්නට බැරි තරම් වූ උණුසුම් වාතාවරණය පහ ව ගොස්‌ ඇතැයි සතුටක්‌ දැනුණ ද ළඟා වන කාලගුණ තත්ත්වයන් ද විවිධ ස්‌වාභාවික විපත් ගෙන එන බවට අවබෝධයෙන් සිටිය යුතු වෙමු.

සූර්යයා උත්තර අර්ධගෝලයට මුදුන් වෙමින් සංක්‍රමණය වන මේ වකවානුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් මෝසම් සමය අවසන් වී මැයි මස තෙවැනි සතිය පමණ වන විට නිරිතදිග මෝසම් සමයේ (South West Monsoon Season) සාධක වර්ධනය වන බව සාමාන්‍ය තත්ත්වය වුවත් ගෝලීය කාලගුණ සාධක සහ රටාවල හැසිරීම අනුව මෝසම් ලණ දින කිහිපයක්‌ වේලාසන හෝ ප්‍රමාද වී හෝ ස්‌ථාපිත වීම ද සිදු වේ. එම ස්‌ථාපිත වීම පිළිබඳ තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අප වෙත නිවේදනය කරනු ලබනවා ඇත.

කෙසේ වුව ද, ළඟ ළඟ එන නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපාන ස්‌වාභාවික ආපදා (Natural Disasters) රැසකට හේතු වන්නේ එසමයේ කඩා හැළෙන ධාරානිපාත වර්ෂාව, අකුණු මෙන් ම ඉතා ප්‍රචණ්‌ඩ සුළං සහිත ටෝනේඩෝ වර්ධනය කරන ගිගුරුම් වැසි සහ පීඩන අවපාත (Depression) සහ සුළි සුළං (Cyclone)වල බලපෑම යටතේ දිවයින හරහා හමා යන දැඩි සුළං ප්‍රවාහවල බලපෑම්වල හේතුවෙන් ය.

ළඟා වන නිරිතදිග මෝසම් සෘතුවේ ප්‍රථම මාස තුන (මැයි, ජූනි සහ ජූලි) තුළ වැඩි වර්ෂාපතනයක්‌ කඩා හැළෙන නිසා ස්‌වාභාවික ආපදා බහුල ව සිදු වන්නේ ඒ ආරම්භක වකවානුවේ බව පැරැණි කාලගුණ සාධකවලින් පෙනේ. මේ නිසා දිවයිනේ අප සැවොම දැඩි අවධානයෙන් සිටිය යුතු වකවානුවක්‌ උදා වී ඇත.

ධාරානිපාත වැසිවල අනිටු ප්‍රතිඵල ලෙස ගංවතුර ප්‍රධාන වුවත් එහි වක්‍ර බලපෑමක්‌ වන නාය යැම් නිසා සිදු වන ජීවිත සහ දේපළ හානි සැලකිය යුතු තරම් ය. සුළං සමඟ ඇදහැළෙන වැසි බොහෝ විට නිවාස සහ වෙනත් ගොඩනැඟිලිවලට විවිධ හානි ගෙන එයි. ටොනේඩෝ ආශ්‍රිත ප්‍රචණ්‌ඩ සුළං, ගහකොළ කඩා බිඳ දමනාවට අමතර ව ගොඩනැඟිලිවල පියසි (වහල) සුළං ප්‍රවාහ සමඟ ඩැහැගෙන යැම ඉතා ආපදාකාරී ය. බහුල නො වුවත් නිරිතදිග මෝසම් වැසි සමඟ ද විටින් විට අකුණු පහර ඇති වන නිසා මෙසමයේ අකුණු විපත් පිළිබඳව ද විමසිලිමත් විය යුතු ය.

ස්‌වාභාවික ආපදා අවම කිරීම හෙවත් කළමනාකරණයේ ප්‍රධාන පියවර තුන අතරින් පෙර ආපදා අවස්‌ථාවේ (Pre Disaster) අප සැම ළඟ එන ආපදා පිළිබඳ ව දැනුවත් වීම අත්‍යවශ්‍ය වනවා මෙන් ම ආපදා කළමනාකරණ අංශ මඟින් ඒ දැනුවත් කිරීමේ වගකීම භාරගෙන නිසි පියවර දියත් කළ යුතු ව ඇත. එසේ ලබාගන්නා අවබෝධය, ආපදා කළමනාකරණයේ දෙවැනි අවස්‌ථාව වන ආපදා අවස්‌ථාවේ (During Disaster) සහ පසු ආපදා අවස්‌ථාවේ (Post Disaster) අප ගත යුතු ආරක පියවර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය වන්නේ ය.

ස්‌වාභාවික විපත් අවම කිරීම උදෙසා ජනමාධ්‍ය වෙතින් සිදු විය යුතු සේවය ඉමහත් ය. ආපදාවකට පසුව ආපදාවේ විස්‌තර සඳහා ජනමාධ්‍ය ඉඩකඩ වෙන් කරනවාට වඩා, පෙර ආපදා දැනුවත් කිරීම ජනමාධ්‍යවලින් සිදු විය යුතු මහා සේවයක්‌ බව ජනමාධ්‍ය බලධාරීන් අවබෝධ කරගන්නවා නම් රටක ආපදා කළමනාකරණය ඉතා පහසු කටයුත්තක්‌ වනු නොඅනුමාන ය.

බොහෝ දියුණු රාජ්‍යයන්වල අධ්‍යාපන පාඨමාලාවලට ආපදා කළමනාකරණ විෂයබද්ධ කරුණු ඇතුළත් වී ඇත්තේ දිගු කලකට පෙර ය. ශ්‍රී ලංකාවේ ද විශේෂයෙන් 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්‌වා වූ විද්‍යාව විෂයට ස්‌වාභාවික විපත් පිළිබඳ කරුණු අඩංගු කර ඇතත්, එතුළින් ලැබෙන අවබෝධය ඉහළ නැංවීමට ජනමාධ්‍ය සහයෝගය ලැබිය යුතු ම ය. උත්සව උන්මාදය (Function Mania) වෙතට ජනතාව යොමු කිරීම මන්දගාමී කොට පාරිසරික අවබෝධය, විද්‍යාව සහ තාණය මෙන් ම ආපදා කළමනාකරණය වෙත ජනතාවගේ අවබෝධය සහ අවධානය වැඩි කරන වැඩසටහන් ජනමාධ්‍ය තුළට එක්‌ කිරීමට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් පියවර ගත යුතු ව ඇත.

මෙසමයේ කාලගුණ අංශ සහ ආපදා කළමනාකරණ, සෞඛ්‍ය සහ ආරක අංශ මඟින් ලබා දෙන අනාවැකි සහ අනතුරු හැඟවීම් පිළිබඳ අප සැවොම විමසිලිමත් වීම සහ ඒ අනුව නිසි පියවර ගැනීම හරහා ස්‌වාභාවික විපත් අවම කිරීමට දායක වෙමු.

කේ. ආර්. අභයසිංහ