logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


දින 3කට වැඩි කාලයක්‌ ආඝාත රෝගීන් රැකබලාගත හැකි ඇඳන් පහසුකම් ලංකාවේ ම රජයේ රෝහල්වල තිබෙන්නේ 40කට අඩු ගණනක්‌

ආඝාතයට ගොදුරු වූ රෝගියකු සති 3ක්‌ වැනි කාලයක්‌ රෝහලක විශේෂ ඒකකයක විශේෂ පුහුණුවක්‌ ලත් වෘත්තීය කාර්ය මණ්‌ඩලයක සමීප අධීක්‌ෂණය යටතේ තබාගත යුතු වේ. එහෙත් වසරකට ආඝාත රෝගීන් 1000කට වැඩි ප්‍රමාණයක්‌ පැමිණෙන කොළඹ ජාතික රෝහලේ වුව එවැනි කාලයක්‌ විශේෂ අධීක්‌ෂණයක්‌ ඇති ව තබාගත හැක්‌කේ වරකට රෝගීන් 5 දෙනකු (රෝහල්ගත වීමට පැමිණෙන සියලු ආඝාත රෝගීන් ගෙන් සියයට 15ක්‌) පමණක්‌ බවත් සෙසු රෝගීන් පොදු වාට්‌ටුවලට යොමු කෙරෙන බැවින් දින 3කට වැඩි කාලයක්‌ හෝ තබාගැනීමේ පහසුකම් නොමැති බවත් අසන්නට ලැබෙයි.

මේ කණගාටුදායක තත්ත්වය අනාවරණය වූයේ ජාතික ආඝාත දිනය නිමිත්තෙන් ඉකුත් දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී ය.

මෙහි දී අදහස්‌ දැක්‌වූ ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දුන්නේ මෙරට රෝහල්වල සිදු වන මරණවලට වගකිව යුතු 4 වැනි හේතුව ලෙස ආඝාතය හඳුනාගෙන ඇති අතර ජනගහනයෙන් සැම 100න් 1 අයකු ම ආඝාතයට ගොදුරු වීමේ ප්‍රවණතාවක්‌ පවතින බවයි. මේ වන විට ආඝාතය හේතුවෙන් මෙරට මිලියන 3ක ජනගහනයක්‌ ආබාධිත තත්ත්වයට පත් ව සිටියි.

සාමාන්‍යයෙන් ආඝාතයට ගොදුරු වන පිරිසෙන් සියයට 55ක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙති.

මේ තත්ත්වය වඩාත් යහපත් අතට හැරවීම පිණිස කුඩා පරිමාණයේ රෝහලක නම් ඇඳන් 5-10කින් ද, මහා පරිමාණ රෝහලක නම් ඇඳන් 20කින් ද සමන්විත ආඝාත කළමනාකරණ ඒකකයක්‌ බැගින් පිහිටුවීමේ සහ ඒ කේන්ද්‍ර කරගෙන නො විසිරුණු සංවිධානගත පුනරුත්ථාපන වැඩපිළිවෙළක්‌ හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාවක්‌ පවතින බව වෛද්‍ය ගුණරත්න මහත්මිය අවධාරණය කර සිටියා ය. මේ අතර මෙරට ඇති රජයේ රෝහල් සියල්ල ම සැලකුව ද දින 3කට වැඩි කාලයක්‌ ආඝාත රෝගීන් රඳවාගෙන පුනරුත්ථාපනය කිරීමට වෙන් වූ ඇඳන් ඇත්තේ 40කට අඩුවෙන් බව පෙන්වා දුන් වෛද්‍ය ගුණරත්න මහත්මිය තමන් ශ්‍රී ලංකා ආඝාත සංගමය වෙනුවෙන් පෞද්ගලික මට්‌ටමින් ගත් දැඩි උත්සාහක ප්‍රතිඵලයක්‌ ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මුල්ලේරියාවේ මේ වන විට ඇඳන් 250කින් සමන්විත ජාතික ආඝාත මධ්‍යස්‌ථානයක්‌ ඉදි කිරීම අරඹා ඇති බව සඳහන් කළා ය. කෙසේ නමුත් එහි ඉදි කිරීම් නිම කිරීමට තවත් වසර 3ක වත් කාලයක්‌ ගත වනු ඇතැයි විදුසර කළ විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ගුණරත්න මහත්මිය පැවසුවා ය.

පුහුණු කාර්ය මණ්‌ඩලයේ ද බරපතළ හිගපාඩුවක්‌ පැවතියත් රෝගීන් පුනරුත්ථාපනය කර ස්‌වාධීන පුද්ගලයන් ලෙස යළි සමාජගත කිරීම සඳහා දැනට සිටින සීමිත වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල හැකි උපරිම කාර්යභාරයක්‌ කරමින් සිටින බව ද ඇය සිහිපත් කළා ය.

අදාළ වෘත්තිකයන් පුහුණු කිරීමේ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කිරීම, ආඝාත ඒකක 10ක්‌ පිහිටුවීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීමට අමාත්‍යංශය එකග කරගැනීම වැනි අනාගත අපේක්‌ෂා දල්වන කටයුතු මේ වන විට සිදු කරගත හැකි වී ඇතත් ඉදිරි ගමන සිදු වන්නේ ඉතා ම මන්දගාමීව බව ඇය පෙන්වා දුනි.

මෙවර ජාතික ආඝාත දිනය නිමිත්තෙන් රත්මලාන ගේට්‌වේ පාසල අසලින් මාර්තු 9 වැනි දා පෙරවරු 7ට මහජන අවධානය යොමු කිරීමේ විශේෂ පාගමනක්‌ ආරම්භ වන බව මෙහි දී කතා කළ ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි මහතා පැවසී ය.

ආඝාතය වැඩි වශයෙන් ම මොළය හා කුඩා මොළය ආශ්‍රිත රුධිර වාහිනියක්‌ අවහිර වී අදාළ ප්‍රදේශයේ සෛල මිය යැමෙන් හටගනියි. මෙහි ප්‍රතිඵලය ලෙස එක වර ම සිරුරේ කොටසක්‌ පණ නැති වීම හෝ හිරිවැටීම, ඇසක පෙනීම නැති වීම, කටහඩ පටලැවීම, සිරුරේ සමබරතාව ගිලිහී විසි වී යැම වැනි ලක්‌ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ හෝ පහළ වෙයි.

ආඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනයයි. දෙවැන්න කොලෙස්‌ටරෝල් වන අතර දුම්පානය, මත්ද්‍රව්‍ය, දියවැඩියාව, හෘද රෝග, ව්‍යායාම මඳකම ආදිය ද ආඝාතයට අත වනයි.

මේවා පාලනය කරගැනීමෙන් ආඝාතය පහසුවෙන් වළක්‌වාගත හැකි වන බව වෛද්‍ය රිෆ්සි අවධාරණය කර සිටියේ ය.

ස්‌නායු වෛද්‍ය විශේෂඥ ගාමිණී පතිරණ මහතා ද මෙහි දී අදහස්‌ දැක්‌වූ අතර ජාතික රෝහලේ 'ආඝාතය ජයගත් අපි' කණ්‌ඩායම විසින් කෙටි නාට්‍යයක්‌ ද ඉදිරිපත් කරන ලදි.