logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සියොතුන්ටත් මදුරු තර්ජන!

ශ්‍රී ලංකාව පක්‌ෂින් සුලබ පාරාදීසයකි. එය ලොව සුප්‍රකට කරුණකි. අප රට වෙසෙන පක්‌ෂි ප්‍රජාව, ආවේණික පක්‌ෂින් ගෙන් හා නේවාසික පක්‌ෂින් ගෙන් මෙන් ම ශීත ඝෘතුවේ දී පමණක්‌ ම විදේශ රටවලින් මෙරටට පැමිණෙන සංචාරක පක්‌ෂින් ගෙන් ද සමන්විත වේ. වර්තමාන දත්ත වාර්තාවලට අනුව මෙරට තුළ කුරුලු විශේෂ 454ක්‌ පමණ ජීවත් වේ. එයින් 216ක්‌ සංචාරක පක්‌ෂින් වන අතර ලංකාවේ පමණක්‌ දැකිය හැකි ආවේණික පක්‌ෂින් ගණන 33කි. බොහෝ විදේශීය සංචාරකයන් ඇදී එන්නේ මේ ඉතා දුර්ලභ පක්‌ෂින් දැකගැනීම උදෙසා ය. එමෙන් ම ඇතැම් දේශීය හා විදේශීය පරිසරවේදීන් දින, සති, මාස ගණන් කාලය ගත කරන්නේ ද මේ චමත්කාරජනක පක්‌ෂින් දැකගැනීම හා ඔවුන් පිළිබඳ අධ්‍යයනයට ඇති දැඩි කැමැත්ත නිසාවෙනි. පක්‌ෂිහු අපට සුන්දරත්වයක්‌ ගෙන දෙන්නාක්‌ මෙන් ම සංචාරක කර්මාන්තය හරහා ආර්ථික වර්ධනයට ද ඝෘජු ව දායක වෙති.

දුටු සැණින් අපේ සිතට මහත් චමත්කාරයක්‌ ගෙන දෙන මේ පක්‌ෂි ගහනයන්හි පැවැත්මට විවිධ තර්ජන එල්ල වෙමින් පවතියි. ඒ අතරින් මිනිසාගේ අවිධිමත් පාරිසරික කළමනාකරණය හා පරිසර විනාශය මෙයට ප්‍රධානතම හේතුව වේ. තව ද, කලින් කලට පක්‌ෂින් විවිධ ව්‍යාධිජනක රෝගාබාධවලට ගොදුරු වීමත් ඔවුන්ගේ ගහනයන් අඩු වීමට බලපාන තවත් ඝෘජු හේතුවකි. පක්‌ෂින්ට රෝග ඇති කරන ව්‍යාධිජනකයන් අතරින් මූලික තැනක්‌ ගන්නේ රුධිර පරපෝෂිතයන් ය. ඔවුන්ගේ වාහකයන් වන්නේ රුධිරය උරා බොන බොහෝ කෘමි ගෝත්‍ර ය. ඒ අතරින් මදුරුවන් හට විශේෂ තැනක්‌ හිමි වේ. එනම්, මිනිසුන්ගේ රුධිරය පමණක්‌ උරා බීමට සීමා නො වී මදුරුවන් අනෙකුත් සතුන් වෙත ද යොමු වී ඇත.

දැනට වාර්තා වී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 142ක්‌ පමණ සිටින අතර, එයින් Aedes" Anopheles සහ Culex යන ගණවලට අයත් සමහර මදුරු විශේෂ මිනිසුන්ට ඩෙංගි, මැලේරියා, මොළේ උණ සහ බරවා යන භයානක රෝග සාදන පරපෝෂිතයන්ගේ වාහක මදුරුවන් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් අර්ධයකට ආසන්න ප්‍රදේශයක්‌ මදුරුවන් නිසා වැළඳෙන රෝගවලින් පීඩා විඳින ප්‍රදේශ වේ. එබැවින් මිනිසාට වැළඳෙන මදුරු ආශ්‍රිත රෝග හා එහි නිවාරණයන් සම්බන්ධයෙන් බොහෝ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත.

එහෙත් මදුරුවන් නිසා අනෙකුත් සතුන්ට වැළඳෙන රෝග හා ඒවායේ සම්භවය, එම රෝග අනෙකුත් සතුන් අතර ව්‍යාප්ත වීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ ඉතා සුළු වශයෙනි. බොහෝ වනජීවීහු, රෝගකාරක ව්‍යාධිජනකයන්ට නිජබිම් වෙති. මිනිසා හා වනසතුන් අතර ව්‍යාධිජනකයන් ව්‍යාප්ත කරන ජීවී කාණ්‌ඩ ගණනාවක්‌ ම විවිධ පර්යේෂකයන් හඳුන්වා දී ඇත. මේ අතරින් බොහෝ මදුරු විශේෂ රුධිර පරපෝෂිතයන් ව්‍යාප්ත කරන්නෝ වෙති. වනාශ්‍රිත හා ගෘහස්‌ථ පක්‌ෂිහු බොහොමයක්‌ රෝගකාරක බැක්‌ටීරියා, වයිරස හා අනෙකුත් රුධිර පරපෝෂිත ව්‍යාධිජනකයන්ගේ නිත්‍ය වාසස්‌ථාන ලෙස ක්‍රියා කරති.

අපගේ පර්යේෂණවල දී වඩාත් අවධානය යොමු කර ඇත්තේ වනසතුන් ගෙන් රුධිරය උරා බොන මදුරු විශේෂ පිළිබඳ ව අධ්‍යයන සඳහා ය. ඒ අනුව අප කළ පර්යේෂණවලින් පක්‌ෂින්ගේ රුධිරය උරා බීමට රුචිකත්වයක්‌ දක්‌වන මදුරු විශේෂ 27ක්‌ හඳුනාගැනීමට අවස්‌ථාව ලැබිණි. මෙයින් මදුරු විශේෂ 13ක්‌ ම ක්‍යqලෙක්‌ස්‌ (Culex) නමැති ගණයට අයත් මදුරුවන් බව අප සනාථ කොට ඇත. Culex යන ගණයට අයත් මදුරු විශේෂ බොහොමයක්‌ රෝගකාරක ව්‍යාධිජනකයන් ප්‍රචාරණය කරන රෝග වාහකයෝa වෙති. කුරුල්ලන්ගේ රුධිරය බීමට රුචිකත්වයක්‌ දක්‌වන මදුරුවන් එකතු කිරීම සඳහා කුරුල්ලන් යොදාගනිමින් සැලසුම් කළ විශේෂ උගුල් ඇටවුම් යොදාගනු ලැබේ. මේ තොරතුරු පුළුල් වශයෙන් ඪැජඑදර Eජදකදටහ නම් ජාත්‍යන්තර විද්‍යා සඟරාව ඔස්‌සේ අප 2018 වර්ෂයේ දී ප්‍රසිද්ධියට පත් කොට ඇත. පශ්චාත් උපාධි අපේක්‌ෂක දිලාන් චතුරංග මහතා ඉතා ම උෙද්‍යාaගයෙන් යුතු ව ක්‌ෂේත්‍ර අධ්‍යයන කටයුතුවල නිරත වී මේ සඳහා ඝෘජු ව ම දායක විය. නිරන්තරයෙන් පක්‌ෂින්ගේ රුධිරය පරිභෝජනය කරන මදුරු විශේෂ 4ක්‌ අප පර්යේෂණ කණ්‌ඩායමට හඳුනාගැනීමට හැකි විය.

එනම්,

Culex sitiens,
Culex pseudovishnui,
Culex quinquefasciatus හා
Culex nigropunctatus යන විශේෂ වේ.

Culex pseudovishnui මිනිසාට වැළඳෙන මොළේ මැලේරියාව ද (Japanese encephalitis) Culex quinquefasciatus බරවා රෝගය ද (Filariasis) ව්‍යාප්ත කරන මදුරු විශේෂ වේ.

මේ මදුරු විශේෂ මිනිසා ගෙන් මෙන් ම පක්‌ෂින් ගෙන් ද රුධිරය උරා බීම සිදු කරන අතර පුළුල් ධාරකයන් පරාසයකින් පෝෂණය ලබයි. විශේෂයෙන් තෝරාගත් පක්‌ෂි කාණ්‌ඩයක්‌ ඔවුන් හට නොමැති අතර පහසුවෙන් ළඟා විය හැකි ඕනෑ ම පක්‌ෂියකු ගෙන් රුධිරය උරා බොයි. තව ද පක්‌ෂින් සක්‍රිය නො වන ඕනෑ ම අවස්‌ථාවක දී ඔවුනට අවශ්‍ය රුධිරය ලබාගැනීමට මදුරුවෝ උත්සුක වෙති. එම නිසා පක්‌ෂිහු, ලැගුම්ගන්නා වෙලාවල දී වැඩි ම මදුරු ප්‍රහාරයකට බඳුන් වෙති.

අපගේ ක්‌ෂේත්‍ර අධ්‍යයන කටයුතුවල දී අප හට හමු වූ ගෘහාශ්‍රිත පක්‌ෂි බොහොමයකගේ රුධිර පරිභෝජනය කරන මදුරුවන් දැකගත හැකි විය. මේ බව දිලාන් චතුරංග මහතා විසින් ලබාගන්නා ලද ඡායාරූපවලින් ඔබට මනාව දැකගත හැකි ය.

මෙහි භයානක තත්ත්වය වන්නේ එක ම මදුරු විශේෂයන් පක්‌ෂින් ගේත් මිනිසා ගේත් යන කොට්‌ඨාස දෙකෙන් ම රුධිරය උරා බීම නිසා සත්ත්ව ප්‍රජාව අතර ගැවසෙන භයානක ව්‍යාධිජනකයන් මිනිසුන් අතරට ද පැමිණීමට තිබෙන අවදානම වැඩි වීමයි. විශේෂයෙන් ශීත ඝෘතුවේ දී රටට ඇතුළු වන සංචාරක පක්‌ෂින්ගේ ශරීරගත ව්‍යාධිජනකයන් මේ මදුරුවන් හරහා දේශීය ආවේණික පක්‌ෂින්ට ආසාදනය වීමේ අවදානමක්‌ ඇත. එය දුර්ලභ පක්‌ෂින්ගේ පැවැත්මට තර්ජනයක්‌ ද විය හැකි ය. එමෙන් ම රුධිරකාමී මදුරු විශේෂ හරහා මිනිස්‌ දේහවලට ද මේ ව්‍යාධිජනකයන් ආක්‍රමණය විය හැකි ය. මෙය වඩාත් විමසිලිමත් ව සැලකිල්ලට ගත යුතු කරුණකි.

අප මේ පිළිබඳ ව තවදුරටත් පුළුල් ව අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරියේ දී මේ හා සම්බන්ධ බොහෝ කරුණු ඔබට අනාවරණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ

සත්ත්ව විද්‍යා අංශයේ

ආචාර්ය ප්‍රියංකා ද සිල්වා