logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මරණය කැඳවාගෙන එන 'හිස්‌ බැරල්'

පසුගිය 24 වැනි දා රාත්‍රී 7ට පමණ මාතලේ සිට පොළොන්නරුවට පැමිණි සොහොයුරන් දෙදෙනකු තමන් ගෙන ආ, භාවිත කර ඉවත දැමූ බැරලයක්‌ කපන්නට සූදානම් වූවා. ඒ ඔවුන්ගේ මවගේ නිවසේ වතුර ගබඩා කර තැබීමට එය භාවිත කිරීමේ යහපත් අදහසින්. ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද එතැනට වී සිටියේ තම පියවරුන් කරන දෙය බැලීමටයි. එහෙත් විදුලි කියතක්‌ මඟින් එය කපන්නට උත්සාහ දරත් ම බැරලය බෝම්බයක්‌ මෙන් පුපුරා ගියේ කිසිවක්‌ සිතාගැනීමට වත් අවකාශයක්‌ ඉතිරි නො කරමින්. එහි අවසන් ප්‍රතිඵලය වී තිබුණේ එක්‌ දරුවකුගේ ජීවිතය අහිමි වීමයි. අනෙක්‌ දරුවා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදු වී තිබුණා.

බැලූ බැල්මට සරල කටයුත්තක්‌ සේ පෙනුණු මේ දෙය මෙතරම් බරපතළ අනතුරක්‌ නිර්මාණය කළේ කෙසේ ද? මෙය බොහෝ දෙනෙකුගේ සිතට නැඟුණු ප්‍රශ්නයක්‌. එහෙත් මෙය සැලකිය හැක්‌කේ නොනිසි ලෙස රසායන ද්‍රව්‍ය පරිහරණය කිරීමේ බරපතළ ගැටලුවෙහි එක්‌ අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ ලෙසයි.

මේ බැරලය තිනර් (Thinner) අඩංගු ව තිබූ බැරලයක්‌ බව පසුව හෙළිදරව් වුණා. සායම් වර්ග තනුක කිරීම සඳහා බහුල ව යොදාගැනෙන රසායනයක්‌ වන තිනර් වාෂ්පශීලී අතර වහා ගිනිගන්නාසුලුයි. එහෙත් මේ බැරලය හිස්‌ බැරලයක්‌. එසේ නම් එය පුපුරා ගියේ කෙසේ ද?

මෙවැනි බැරලයක තිබෙන රසායන ද්‍රව්‍ය ඉවත් කළ ද එහි අඩංගු ද්‍රව්‍ය සියයට සියයක්‌ ම (100%) ඉවත් වන්නේ නැහැ. මෙලෙස භාවිත කරන ලද බැරලයක්‌ එහි මූඩිය නැවත වසා සීල් තැබුව හොත් එහි අභ්‍යන්තරයේ ඉතිරි ව තිබෙන වාෂ්පශීලී ද්‍රව ප්‍රමාණය වාෂ්ප බවට පෙරැළෙනවා. මෙලෙස අභ්‍යන්තරයේ පවතින වාතය සමඟ එක්‌ වී සම්පීඩිත වී ඇති මේ ඉන්ධන-වායු මිශ්‍රණය කිසියම් ආකාරයකින් ඡ්වලන උෂ්ණත්වයට ළං කළ හොත් වහා ගිනි ඇවිලෙනවා. සංවෘත, සම්පීඩිත ඇසුරුමක මේ දහනය සිදු වන බැවින් සිදු වන්නේ එම ඇසුරුම පුපුරා පීඩනය ඉවත් වී යැමයි. බැරලයක නම් බොහෝ විට එහි දුර්වල කොටස වන පියන මේ පිපිරීම සමඟ අධික වේගයකින් හා අධික බලයකින් ගැලවී යනවා. ඒ එය විසි වී යන මානයේ සිටින ඕනෑ ම කෙනකුට දැඩි හානියක්‌ අත්පත් කරදෙමින්. එමෙන් ම බැරලය ද විසි වී යන අතර සමහර විට එහි බඳින් ම ඉරී යැමට ද ඉඩ තිබෙනවා.

පොළොන්නරුවේ සිද්ධියේ දී බැරලය කපන්නට උත්සාහ කිරීමේ දී විසි වූ ගිනි පුපුරක්‌ මඟින් එය ගිනි ඇවිලී පුපුරා යන්නට ඇතැයි සිතිය හැකියි. අවාසනාවකට මෙන් දරුවන් දෙදෙනා සිට ඇත්තේ බැරලයේ පියන ඇති දෙසින් විය යුතුයි.

මෙවැනි අනතුරු ගණනාවක්‌ ලොව පුරා වාර්තා වනවා. මෙමඟින් අහිමි වන ජීවිත ගණන ඉතා ඉහළ අගයක්‌ ගන්නා අතර ජීවිතය බේරී ඉතිරි වුව ද ජීවිත කාලයට ම බලපාන ආබාධ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉතිරි විය හැකියි. ශ්‍රී ලංකාවේ අපට මෙහි ඇති බරපතළ තත්ත්වය තේරුම්ගැනීමට එවැනි සිදුවීම් ගැන විමසා බැලීම වැදගත් විය හැකියි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ Chad Wang මෙවැනි අනතුරකින් දිවි ගලවාගැනීමට සමත් වූ අයෙක්‌. තෙල් බහා තිබූ බැරලයක්‌ ගෑස්‌ දැල්ලක්‌ යොදාගනිමින් කපන්නට උත්සාහ කරද්දී එය පුපුරා ගොස්‌ තිබෙනවා. භාණ්‌ඩ බෙදන්නකු විසින් ඔහුව සොයාගෙන ඇත්තේ ලේ විලක්‌ මැද සිහිසුන් ව වැතිර සිටිද්දීයි. බැරලයේ පියන ඔහුගේ මුහුණේ වැදී ඇති අතර මුහුණේ එක්‌ අස්‌ථියක්‌ හැර අන් සියල්ල කැඩී ගොස්‌ තිබෙනවා. තිදරු පියෙකු වන ඔහුගේ මුහුණේ තවමත් විකෘති වීමක්‌ දැකිය හැකි අතර පෙර පරිදි වැඩ කිරීමට ඔහුට හැකියාවක්‌ නැහැ.

Jon Rygiel ද එවැනි අනතුරකට මුහුණ දුන් අයෙක්‌. එක්‌ දිනක්‌ වත් ජීවිතය රැකගැනීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරුන් පැවසූ ඔහු කෝමා තත්ත්වයේ මාස ගණනක්‌ රෝහල්ගත ව සිට කෙසේ හෝ පසුව සුවය ලබා තිබෙනවා. එහෙත් ඔහුගේ එක්‌ ඇසක පෙනීම නැති ව ගොස්‌ ඇති අතර ඇවිදීමට මෙන් ම කතා කිරීමටත් ඔහුට මුල සිට ඉගෙනගැනීමට සිදු ව ඇත්තේ ළදරුවකු ලෙසයි.

හිස්‌ බැරල් සම්බන්ධයෙන් ගත් කල සමහර ආරක්‌ෂක විශේෂඥයන් පවසන්නේ රසායන ද්‍රව්‍යවලින් පිරී ගිය බැරලයකට වඩා හිස්‌ බැරලයක්‌ වඩා අනතුරුදායක විය හැකි බවයි. බැරලයක්‌ තුළ ඇවිලෙනසුලු රසායන ද්‍රව්‍ය මේස හැඳි දෙකක්‌ වැනි සුළු ප්‍රමාණයක්‌ ඉතිරි වී තිබුණ ද එය මෙවැනි අනතුරකට ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් ඕනෑ ම බැරලයක බඳෙහි තැවරී මීට වැඩි රසායනික ප්‍රමාණයක්‌ වුව ඉතිරි ව තිබිය හැකියි. තිනර් පමණක්‌ නො ව එන්ජින් පිරිසිදු කිරීමේ නිෂ්පාදන, පෙට්‍රල්, ඩීසල් හෝ සාමාන්‍යයෙන් මෝටර් රථවලට යොදාගන්නා තෙල් වර්ග පවා මෙවැනි අනතුරුදායක 'බැරල් බෝම්බ' නිර්මාණය කිරීමට හේතු වී තිබිය හැකියි. වසර ගණනාවක්‌ පැරැණි සීල් තැබූ බැරල ද මෙවැනි අනතුරක්‌ සඟවාගෙන සිටීමට ඉඩ තිබෙනවා.

කර්මාන්තශාලාවල නිෂ්පාදන අවශ්‍යතා සඳහා ගෙන එන මෙවැනි විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු බැරල් හා වෙනත් බහාලුම් නිසි පරිදි බැහැර නො කිරීම මෙවැනි අනතුරුදායක සිදුවීම් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවයි. පිළිගත් ආරක්‌ෂණ ක්‍රමවේදය නම් මෙවැනි බැරල් භාවිතයෙන් ඉවත් කිරීමට පෙර එය තුන් වරක්‌ සෝදා එහි අඩංගු වී තිබිය හැකි රසායනික ද්‍රව්‍ය ඉවත් කළ යුතු වීමයි. එලෙස සෝදා ඉවත් කරන ලද ද්‍රව කොටස්‌ ද පරිසරයට බැහැර කළ යුත්තේ පරිසරයට වන හානිය අවම වන සේ ප්‍රතිකාර ක්‍රම කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත් බොහෝ කර්මාන්තශාලා මේ පිළිබඳ කිසිදු අවධානයක්‌ යොමු කරන බවක්‌ පෙනෙන්නට නැහැ.

මීට අමතර ව මෙහි අනතුරුදායක බව ඉහළ නංවන්නට හේතු වී ඇති තවත් ගැටලුවක්‌ නම් මුල් භාවිතයෙන් පසු මේවායේ අඩංගු අනතුරුදායක බව සඳහන් කර ඇති ලේබල ගලවා ඉවත් කිරීම හා මකා දැමීමයි. මෙය නොසැලකිල්ල නිසා හෝ වෙළෙඳපොළේ හිස්‌ භාජන විකිණීම සඳහා හිතාමතා කරන්නක්‌ විය හැකියි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඉතා අනතුරුදායක ද්‍රව්‍ය අඩංගු බහාලුම් අප නිවෙස්‌වල හෝ වැඩපොළේ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ගොස්‌ දරුණු අනතුරු සිදු කරගැනීමයි. බහාලුම් පුපුරා යැමෙන් සිදු වන අනතුරු පමණක්‌ නො ව ඉතා විෂ රසායන ද්‍රව්‍ය ගබඩා කළ භාජන නොදැනුවත් ව මිනිස්‌ හා සත්ත්ව ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට ගැනීම, එවැනි බහාලුම් ගෑස්‌ දැල්ලක්‌ මඟින් කැපීමට ගොස්‌ විෂ වායු ආඝ්‍රාණය සිදුවීම වැනි අනතුරු ද මේ හරහා සිදු විය හැකියි.

ලොව පුරා විවිධ තැන්වල වාර්ෂික ව පොළොන්නරුවේ සිදු වූවාක්‌ වැනි අනතුරු සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාර්තා වනවා. සාමාන්‍යයෙන් මෙවැනි අනතුරක්‌ සිදු වූ විට අදාළ කර්මාන්තශාලාවලට ආරක්‌ෂණ පිළිවෙත් අනුගමනය නො කිරීම පිළිබඳ ව විශාල වන්දි ගෙවීමට සිදු වනවා. කෙසේ නමුත් වන්දි මුදලකින් නැති වූ ජීවිතයක්‌ නැවත ලබාගැනීමට හැකියාවක්‌ නැහැ.

මෙවැනි අනතුරු වළක්‌වාගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ මේ රසායන ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ට හෝ නිෂ්පාදනාගාරවලටයි. කෙසේ වෙතත් ඔවුන් එය පැහැර හැර ඇත්තේ ද යන්න ගැන නිසැක විය නොහැකි නිසා එවැනි හිස්‌ බඳුන් භාවිත කරන පුද්ගලයන් ද මේ පිළිබඳ සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි හිස්‌ බඳුන් පරිහරණය කිරීම පුහුණු විශේෂඥයකු ලවා කරවිය යුතු බව කියවුණත් ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රායෝගික ව එය සිදු කළ හැකි ද යන්න ගැන සැකසහිතයි.

එම නිසා රටේ සාමාන්‍ය ජනතාව වන ඔබත් මාත් මේ පිළිබඳ ව හොඳින් දැනුවත් ව සිටිය යුතුයි. අපේ ජීවිත පමණක්‌ නො ව වෙනත් අයකුගේ ජීවිතයක්‌ අවදානමට ලක්‌ වීමෙන් බේරාගැනීමට එමඟින් අපට හැකි විය හැකියි.

මෙහි දී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණය නම් අප පරිහරණය කරන්නට උත්සාහ කරන බහාලුමේ කලින් අඩංගු ව පැවතුණේ කුමන රසායනික ද්‍රව්‍යයක්‌ ද යන්න පිළිබඳ ව සොයාගැනීමට උත්සාහ කිරීමයි. එවැන්නක්‌ පිළිබඳ සටහනක්‌ නොමැති නම් එය පහසුවෙන් දැවෙනසුලු රසායනිකයක්‌ තිබූවක්‌ විය හැකි යෑයි සැලකීම නුවණට හුරුයි. එවැනි භාජනයක්‌ භාවිතයෙන් පසු නැවත සීල් තබා වසා ඇති නම් එය විදුලි කියතක්‌ භාවිතයෙන් හෝ පෑස්‌සුම් දැල්ලක්‌ භාවිතයෙන් කැපීමට කිසිසේත් ම උත්සාහ නො කළ යුතුයි. එහි ඇති මූඩිය මුරිච්චියක්‌ යොදාගනිමින් ගලවා එහි සිර වී ඇති වාතය ඉවත් වීමට ඉඩ සැලැස්‌වීම වඩා නුවණට හුරු දෙයයි. එමෙන් ම එවැනි බැරලයක්‌ වාතය සියල්ල ඉවත් වීම තහවුරු වන පරිදි ජලයෙන් පුරවා කැපීම වඩා ආරක්‌ෂsත යෑයි ආරක්‌ෂක විශේෂඥයන් පෙන්වා දෙනවා.

මීට අමතර ව ඔබේ නිවසේ හෝ වැඩ කරන තැන හිස්‌ රසායනික බහාලුම් තිබෙනවා නම් ඒවායේ පියන් විවෘත කර වාතාශ්‍රය හොඳින් ලැබෙන තැන්වල තැබිය යුතුයි. එමෙන් ම මිනිසුන් ගැවසෙන තැන්වලින් හා ගිනිපුපුරක්‌ හෝ දැල්ලක්‌ හෝ පැනනැඟිය හැකි තැන්වලින් ඈත් කොට ඒවා ගබඩා කර තැබීමත් වැදගත්.

සුනාමියෙන් ජීවිත බොහොමයක්‌ අහිමි වුණේ අප ඒ ගැන දැනුවත් ව නො සිටි නිසා. නිවසේ ගෑස්‌ ගඳක්‌ පැමිණි විට එය පිරික්‌සා බැලීමට විදුලි පහන් දැල්වීමට ගොස්‌ එමඟින් එය ඇවිළී යැම නිසා ජීවිත අහිමි වීමේ සිදුවීම් ද වාර්තා වන්නේ එහි ඇති අනතුරුදායක බව පිළිබඳ පූර්ව දැනුමක්‌ ඔවුන්ට නො තිබුණු නිසයි. මෙලෙස ම පොළොන්නරුවේ දී දරුවකුගේ වටිනා ජීවිතයක්‌ අහිමි වන්නේ ද හිස්‌ බැරලවල ඇති මේ අනතුරුදායක බව ඔහුගේ පියා නො දැන සිටීම නිසයි. එම නිසා මේ දැනුවත්භාවය ඔබ අප හැම කෙනකු තුළ ම ඇති කරගැනීමත් එය අන් අය හා බෙදා හදාගැනීමත් අප සැම දෙනාගේ ම වගකීමක්‌.

දමිත නිපුණජිත්