logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දූෂ්‍ය කිරි සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන පොදු ගැටලුවක්‌ විද්‍යාත්මක අධ්‍යයන පෙන්වා දෙයි

කිරිපිටිවලට අදාළ අර්බුදය ඔඩු දුවමින් පවතී. මේ වන තුරුත් ඒ සදහා නිශ්චිත විසදුමක්‌ ලැබී නැත. මේ ප්‍රශ්නය ඇවිළී ගියේ තරුණ නියෝජ්‍ය ඇමැතිවරයකු ආනයනික කිරිපිටිවල ඌරු තෙල් ඇතැයි පැමිණිලි ලැබෙන බව පාර්ලිමේන්තුවේ දී පැවසීමත් සමග ය.

කෙසේ වෙතත් මේ ලිපියෙහි මුඛ්‍ය අරමුණ මෙරට පවතින ගැටලුව විශ්ලේෂණයට බදුන් කිරීම නො ව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති විද්‍යාත්මක අධ්‍යයන කීපයක්‌ නිරීක්‌ෂණයට බදුන් කිරීම ය. කිරිපිටි විවිධ ද්‍රව්‍ය මගින් දූෂණයට බදුන් වීමේ ගැටලුවට මුහුණ පා සිටින එක ම රට අප නො වන බවත්, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක්‌ මුහුණ දෙන ගැටලුවක්‌ බවත් එම අධ්‍යයනය මගින් පෙනී යයි.

පළමුවෙන් ම මෙහි ඉදිරිපත් කෙරෙන්නේ චීනයේ බීජිංහි කෘෂි විද්‍යා ඇකඩමියේ Shuming Young හා සුඩානයේ Khartoum විශ්වවිද්‍යාලයයේ සත්ත්ව නිෂ්පාදන අධ්‍යයන අංශයේ Musa Salih යන අය විසින් ප්‍රකාශයට පත් කරන ලද Common Milk Adulteration in Developing Countries යන නිබන්ධයේ තොරතුරු ය. මේ නිබන්ධය Advances in Dairy Research විවෘත ප්‍රවේශ ජර්නලයේ ගිය වසරේ කලාපයේ පළ විය. මෙහි දී පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිරි විවිධ ආකාරයෙන් දූෂනයට ලක්‌ වන බවත් එය සංවර්ධනය රටවල පෝෂණ හා සෞඛ්‍යය ගැටලු සදහා බලපාන ප්‍රධාන හේතුවක්‌ බවත් ය. ඔවුන්ට අනුව කිරිවලට හිතාමතා එක්‌ කරන ලද ද්‍රව්‍යවලින් මෙන්ම වැරැදීමෙන් එක්‌වන දැ නිසා ද මේ දූෂ්‍ය වීම් සිදු වේ. එහෙත් වඩාත් බහුල, හිතාමතා කෙරෙන දූෂ්‍ය කිරිම් ය.

මේ පර්යේෂකයන්ට අනුව කිරිපිටිවල තත්ත්වය බාල කරමින් බහුල ව ම එක්‌ කෙරෙන්නේ ජලයයි. ජලය අධික ලෙස එක්‌ කිරීමෙන් පෝෂ්‍ය ගුණය පහළ යන අතර මේ එක්‌ කරන ජලයෙහි විෂබීජ පැවතිය හොත් එය කිරිවල ගුණාත්මක බව කෙරෙහි බරපතළ තර්ජන ඇති කරයි. සමහර විට මේ ජලයේ දිලීර හා බැක්‌ටීරියා හෝ ප්‍රොaටසොවා තිබිය හැකි ය. එසේ ම හානිකර රසායන ද්‍රව්‍ය ද තිබිය හැකි ය. සමහර නිෂ්පාදකයන් මෙන්ම බෙදාහරින්නන් ද සීනි, යූරියා, මෙලමයින්, කෝස්‌ටික්‌ සෝඩා, ෆොaමලින්, ඩිටර්ජන්ට්‌ (ක්‌ෂාලක) මෙන්ම විවිධ මේද වර්ග ද එක්‌ කරන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.
ෆොaමලින්, හයිඩ්‍රජන් ෆෙරොක්‌සයිඩ්, බෝරික්‌ අම්ලය හා ප්‍රතිදේහ වර්ග නිරතුරු කිරිවලට එක්‌ කෙරෙන අතර එසේ කෙරෙන්නේ සුරක්‌ෂිත ගබඩා කාලය (Shelf life) දිගු කිරීමේ අරමුණු ඇති ව බව අධ්‍යයනය කියයි. තිරිඟු පිටි, සහල් පිටි, ඉරිගු පිටි, Skim milk powder, Recon milk, යූරියා, මෙලමයින්, ලුණු, ග්ලූකෝස්‌, එළවළු තෙල්, සත්ත්ව මේදය, 'වේ' ප්‍රොaටීන එක්‌ කෙරෙනුයේ කිරිවල ඝනකම වැඩි කිරීමට ය. ඊට අමතර ව පෝෂ්‍ය සංඝටක එක්‌ කිරීම ද මේ දේවල් එක්‌ කිරීමේ අරමුණු අතර වේ. කිරිවලට එක්‌ කරන දැ අතර ඇති ඉතා භයානක දෙයක්‌ වන්නේ යූරියා ය. කිරි නිපදවන්නෝ හා බෙදාහරින්නෝ මේවා බහුල ව ම එක්‌ කරති. කෘත්‍රිම කිරි නිපදවීමට ද යූරියා යොදාගැනේ. කිරි සමග යූරියා ශරීරගත වීම පිළිකා හා වන ඇතුළු ගැටලු රැසකට මගපාදයි. වකුගඩු ආබාධ ඇති වීමට ද මෙය හේතු වේ. මන්ද යත් මේ එක්‌ වන යූරියා ශරීරයෙන් බැහැර කිරීමට වකුගඩුවලට විශාල වෙහෙසක්‌ දරන්නට සිදු වන බැවිනි. හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් කිරිවලට එක්‌ කරන්නට හේතු කිහිපයක්‌ පවතී. මූලික ව ම එය කරන්නේ මුලින් පවත්නා ස්‌වරූපයෙන් වෙනස්‌ නො වී දිගු කලක්‌ පවත්වාගැනීමේ හෙවත් පරිරක්‌ෂක අරමුණ ඇති ව ය.

Shelf life එක දිගු කරගන්නට බොහෝ විට කිරිවලට හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් එක්‌ කෙරේ. එහෙත් මේ මගින් කිරිවල සංයුතිය ප්‍රබලව වෙනස්‌ කරයි. විශේෂයෙන් ම ප්‍රොaටීන ප්‍රමාණ කෙරෙහි මෙය බලපායි. බොහෝ විට ප්‍රොaටීන ප්‍රමාණය අඩු කරයි. විටමින් C හෙවත් ඇස්‌කෝබික්‌ අම්ල ප්‍රමාණය කෙරෙහි ද මෙය බලපෑම් ඇති කරයි. කෙසේ වෙතත් උක්‌ත හානි සිදු වන්නේ අනවශ්‍ය ප්‍රමාණවලින් හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් එකතු වුව හොත් පමණි.

පර්යේෂකයන් තම අධ්‍යයනයේ දී අවධානය යොමු කොට තිබුණේ සුඩානය හා චීනය යන රටවල සිදු වන දූෂ්‍යවීම් ගැන ය. කෙසේ වෙතත් ඔවුන් ඝෘජු ව ම කිසිදු නව පර්යේෂණයක්‌ කර නො තිබූ අතර පෙර පර්යේෂණවල ප්‍රතිඵල විශ්ලේෂණය පමණක්‌ සිදු කර තිබිණි. එනම් මෙය ද්විතීයික මූලාශ්‍ර විශ්ලේෂණයකි. චීනය සම්බන්ධයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ බහුල ව ම සිදු වන්නේ අනවශ්‍ය ලෙස කිරිවලට ජලය එක්‌ කිරීම බවයි. චීනයේ නිෂ්පාදනයට සාපේක්‌ෂව ඉල්ලුම ඉතා ඉහළ බැවින් බහුල ව ම ජලය එක්‌ කරන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

මීට අමතර ව කෘත්‍රිම රසායන ද්‍රව්‍ය එක්‌ කිරීම ද බහුල ව සිදු වේ. හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්වලට අමතර ව චීන්නු Gentamycin ද පරිරක්‌ෂක සේ එක්‌ කරති. එළවළු තෙල් එක්‌ කරන අතර එසේ කරන්නේ මේදය ඉහළ නැංවීමට ය. එළවළු තෙල්වලට අමතර ව සත්ත්ව තෙල් ද එක්‌ කරයි. ඌරු මේදය ද මේ අතර වේ. ඇතැම් විට ඌරු මේදය හිතාමතා එක්‌ කරන අතර සමහර විට එය වැරැදීමෙන් එක්‌ වේ.

චීනයේ කිරිවල ක්‍ෂුද්‍රජීවී දූෂ්‍යවීම් අතිශය ඉහළයි

චීනයේ නිපදවන කිරිවල ක්‍ෂුද්‍ර ජීවීන් මගින් දූෂ්‍ය විම් ඉහළ අගයක පවතී. එයට හේතුව කුඩා පරිමාණ කිරි ගොවීන් ගෙන් කිරි දෙවීමට පෙර විෂබීජ නාශක භාවිත කරන්නේ සියයට විස්‌සක්‌ තරම් අඩු ප්‍රතිශතයක්‌ පමණක්‌ වන බැවිනි.

සුඩානයේ කිරිවල අහිතකර රසායන බහුලයි

සුඩානයේ ගවයන්ට අමතරව බැටළුවන්, එළුවන්, ඔටුවන් කිරි ගැනීම සදහා භාවිත වේ. චීනයට සාපේක්‌ෂව සත්ත්ව ආහාර තුළින් කිරි දූෂණයට ලක්‌ වීම මෙහි අඩු ය. මන්ද මේ සතුන්ට නිදහසේ කන්නට තණබිම් ඇති අතර තවමත් මේ සතුන් පාලනය වන්නේ ගෝත්‍රික පිරිස්‌ අතිනි. ඔවුහු කිරිවලට හෝමෝන, ප්‍රතිදේහ ආකලන එක්‌ නො කරති. එසේ වුව ද කිරි දෙවීමෙන් පසු මේවා ප්‍රබල වශයෙන් දූෂ්‍ය වන අතර බෙදා හැරීමේ දාමය තුළ විවිධ තැන්වල දී විශාල ලෙස අහිතකර රසායන එක්‌ වේ. අපට හිතෙන්නේ හැම දෙයක්‌ ම සාම්ප්‍රදායික විදිහට සිදු වන විට එමගින් යහපත් ඵල ඇති වන බවයි. එහෙත් එය එසේ නො වන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. දියුණු රටවල කිරි එක්‌ කිරීමට හා ප්‍රවාහනයට දියුණු හා සෞඛ්‍යරක්‌ෂිත ක්‍රම ඇත. එහෙත් සුඩානයේ කිරි ගොවියෝ බූරුවන්, ඔටුවන් මත හෝ කරත්තවල හෝ ඇතැම් විට කුණු ලොරිවල පවා කිරි ප්‍රවාහන කරති. බොහෝ පාරිභෝගිකයෝ කිරි ඝෘජු ව ම ගවපට්‌ටි හිමියන් ගෙන් ගනිති. බැලූ බැල්මට මෙය ඉතා අනගි සිරිතක්‌ ලෙස පෙනුණ ද මෙය යම් ගැටලු ජනිත කරවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මන්ද යත් පට්‌ටි හිමියා දෙන්නේ කවදා කිරි ද යන්න ගැන නිශ්චිත සහතිකයක්‌ නැත. ඒ කිරිවල කල් ඉකුත් වීමේ දින නැත. ආරක්‌ෂිත ව අසුරා ද නැත. ගව පට්‌ටි හිමියා කෙළින් ම කිරි විකුණන විට පාරිභෝගිකයාට කිසිදු නෛතික රැකවරණයක්‌ ද නැත.

Ali Ahmad H. Adam විසින් කරන ලද අධ්‍යයනයක දී සුඩානය තුළ කිරි දූෂ්‍ය වීම් ගැන වැදගත් තොරතුරු රැසක්‌ හෙළි විය.

මේ අධ්‍යයනයේ දී පර්යේෂකයෝ විවිධ ප්‍රදේශ තුනක දී කිරි සාම්පල 300ක්‌ ලබාගත් හ. එහි දී පෙනී ගිය වැදගත් ම දේ සාම්පලවලින් 95%ක්‌ ම ජලයෙන් දූෂ්‍ය වී ඇති බවයි. එසේ ම 36%ක ම අහිතකර ප්‍රමාණවලින් පිෂ්ටය පැවතිණි.

Adultertion of Argentinean Milk Fats with Animal Fats මැයෙන් වූ Food Chemistry ජර්නලයේ පළ වූ අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දෙන්නේ කිරි සමග සත්ත්ව මේදය මුසු වීමේ හැකියාව පවතින බවයි. මේ අධ්‍යයනය සිදු කර තිබුණේ මෙක්‌සිකෝවේ Ciudad විශ්වවිද්‍යාලයයේ M. Perotti විසිනි.

ඉන්දියාවේ බහරාස්‌ හින්දු විශ්වවිද්‍යාලයයේ Amrita Poonia‌ හා කල්ෆාල්හි ජාතික පර්යේෂණ ආයනයේ Razan Sharma යන අය විසින් සිදු කරන ලද හා Dairy Technology ජර්නලයේ පළ වූ - Detection of Adulteration in Milk නම් අධ්‍යයනය ද මේ ක්‍ෂේත්‍රයට අදාළව විශාල ආලෝකයක්‌ සපයන පර්යේෂණයකි. එම අධ්‍යයනය පෙන්වා දෙන්නේ ගව කිරි වෙනත් සත්ත්ව මේදවලින් දුෂ්‍ය වීමේ ඉඩකඩ පවතින බවයි. ඊට අමතර ව සෝයා, මෑ හා ඉරිගු ප්‍රොaටීනවලින් ද කිරි දූෂ්‍ය වන බව එම අධ්‍යHනය පෙන්වා දෙයි.

Common Milk Adutteration and Their Techniques මැයෙන් වන අධ්‍යයනය ද මේ විෂය පරාසය වෙත පුළුල් ආලෝක දහරක්‌ එල්ල කරයි. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ එක්‌සත් ජනපදයේ Auburn විශ්වවිද්‍යාලයයේ Tanzina Azad හා බංග්ලාදේශ විශ්වවිද්‍යාලයයේ Shoeb Ahmed ය.

එම අධ්‍යයනය පෙන්වා දෙන වැදගත් කරුණක්‌ නම් කිරි දූෂ්‍ය වීම අලුත් සිද්ධියක්‌ නො වන බවයි. 1858 දී ඇමෙරිකාවේ නිව්යෝක්‌හි ළදරුවන් 8000ක්‌ මරා දමන්නට මේ දූෂ්‍ය කිරි හේතු විය.

1858 දී 8000කට මරු කැදවූ කිරි

මෙලෙස නිව්යෝක්‌හි ළදරුවන් 8000ක්‌ මරු දුටුවේ අදාළ කිරි පට්‌ටි හිමියා හා බෙදා හරින්නන් එම කිරිවලට බිත්තර, පිෂ්ටය හා මොලැසස්‌ එක්‌ කළ බැවින් හා මේ කිරි ගත් දෙනුන්ට ස්‌කාගාරවලින් බැහැර කරන ධාන්‍ය තලපය කන්නට දුන් හෙයින් යෑයි කියෑවේ. ඊට අමතර ව මේ කිරිවලට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ ද මුසු කර තිබිණි. එහෙත් මේවා වෙළෝදපොළට යවන ලද්දේ ගමේ සුපිරිසිදු කිරි ලෙස ලේබල් ගසමිනි.

මේ කිරි පානය කළ ළදරුවන් උදරාබාධවලට ගොදුරු ව මිය ගිය අතර මේ අපරාධය හෙළි කරන ලද්දේ ජනමාධ්‍ය මගිනි. Ahmed ගේ අධ්‍යයනයට අනුව කිරි සත්ත්ව මේදවලින් පමණක්‌ නො ව යූරියා, සීනි, පිෂ්ටය, සල්ෙෆ්ට්‌, ලුණු, මෙලමයින්, ෆොaමලින්, සැලිසිලික්‌ අම්ලය, බෙන්සොයික්‌ අම්ලය හා හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් ආදියෙන් ද දූෂ්‍ය වී ඇත. එසේ ම මේ පර්යේෂකයන්ට අනුව කිරි විකුණන්නන් සත්ත්ව මේදය කිරිවලට එක්‌ කරන්නේ එහි පෝෂ්‍ය ගුණය රැකගැනීමේ අරමුණෙනි.

අරමුණ හොදයි. ප්‍රතිඵල නරකයි.

අරමුණ හොද වුව ද ප්‍රතිඵල භයානක ය. කිරි මේදය, ඉතා ඉහළ මූල්‍ය වටිනාකමක්‌ දරන ද්‍රව්‍යයකි. එහෙයින් කිරි නිෂ්පාදකයෝ/ බෙදාහරින්නෝ කිරි මේදය ඉවත් කරගෙන ඒ වෙනුවට අඩු මිල සත්ත්ව මේදය එක්‌ කරති. මේ අධ්‍යයනයට අනුව අධික ලෙස හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් එක්‌ කිරීමෙන් කිරි බොන ළදරුවන්ට ගැස්‌ට්‍රයිටිස්‌ හා වෙනත් උදරාබාධ ඇති වේ. ඇති වන වකුගඩු රෝගවලට හේතුව යූරියා ය.

බොරැක්‌ස්‌, බෝරික්‌ අම්ලය, නයිටේ්‍රට්‌ මෙන්ම මී හරක්‌ කිරි එක්‌ වීම ද ප්‍රබල ගැටලුවක්‌ බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනය සිය නිගමනයේ දී සදහන් කරන පහත වාක්‍යය අපට ද අදාළ ය.

"මේ ගැටලුව උග්‍ර වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ව ය. එයට හේතුව මේ දූෂ්‍ය කිරීම් අවම කිරීමට හෝ ඒවාට එරෙහි ව නීති පැනවීමට ඇති බාධාවන් ය. දූෂ්‍යකාරක මැනීමේ, සෙවීමේ පහසුකම් මේ රටවලට නොමැත. එය කිරි වලට දූෂ්‍යකාරක එක්‌කරන්නට උඩගෙඩි දීමකි. විද්‍යාත්මක ප්‍රජාව මීට එරෙහි ව නවීන ක්‍රම සොයාගත යුතු වේ"

Journal of the American Oil Chemists Society හි පළ වූ Detection of Refined Animal and Veg Fats in Pure Milk Fat නම් වූ අධ්‍යයනය ද මේ ක්‍ෂේත්‍රයට අදාළව ඉතා වැදගත් එකකි.

ඉතාලි පර්යේෂකයන් තිදෙනකු වන C. Mariani, S Venturin හා E. Fedeli විසින් මේ අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත. එම අධ්‍යයනය පෙන්වා දෙන්නේ ගව කිරි හා එම කිරිවලින් හදන බටර්වල වෙනත් සත්ත්ව මේදය පවතින බවයි.

මනෝඡ් ප්‍රසන්න රත්නායක