logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මානාකන්ද හා ඒ ආශ්‍රිත අප්‍රකට තොරතුරු

මානාකන්ද (මානැව කන්ද) නමින් මේ ප්‍රදේශය හැඳින්වුව ද එය හුදකලා කන්දක්‌ නො වේ. කුඩා සමාන්තර කඳුවැටි කිහිපයකින් දකුණට - ගිනිකොනට බර ව විහිදෙන මේ කඳුවැටිවලින් මානැව වැවට බටහිර දිසානුගත ව පිහිටි භූමිභාගය, ප්‍රාග් ජෛව විවිධත්වය, භූ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාත්මක අතින් ද, පැරැණි යක්‌ෂ ගෝත්‍රික ජනතාව සම්බන්ධයෙන් ද වැදගත්කමක්‌ උසුලන ප්‍රදේශයකි.

මරදන්කඩවල මංසන්ධියේ සිට දම්පැළැස්‌සගම දක්‌වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර එකක්‌ පමණ ගිය තැන දී හමු වන මාර්ගයෙන් දකුණට හැරී හාපිදියගම ගම්මානය පසු කර තවත් කිලෝමීටර දෙකක්‌ පමණ ගිය විට කුඩා ඉත්තිකට්‌ටිය ගමට ඇතුළු වීමට ආසන්න ව පුරාවිද්‍යා කාර්යාලය හමු වේ. එහි සිට ආරම්භ වන වනාන්තර ප්‍රදේශය ස්‌වභාව සෞන්දර්යයෙන් හා ප්‍රාග් ජෛවවිවිධත්වයකින් යුතු කලාපයකි. ඒ අනුව වර්තමානයේ ප්‍රමුඛ වෘක්‌ෂලතා දර්ශය වන්නේ වියළි මිශ්‍ර සදාහරිත හා අර්ධ සදාහරිත වනාන්තර වේ. මේවා ඖෂධ පැළෑටිවලින් ගහණ වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මේ කරුණු අනාවරණය කරගැනීම පිණිස යථෝක්‌ත කඳුවැටි ප්‍රදේශයට මා සමඟ 2014 වර්ෂයේ ගමන් කළ කණ්‌ඩායම අතර පාරම්පරික දේශීය වෛද්‍ය නිමල් වර්ණසූරිය, කුසුම්සිරි කොඩිතුවක්‌කු, ජනිත අමරසිංහ, සඳකැළුම් යන අය සමඟ තවත් ගම්මු කිහිප දෙනෙක්‌ ම ඇතුළත් වූ හ. එසේ ම 2018 වර්ෂයේ ද මා සමඟ ලසත් පොල්දූව, නිමල් සමරතුංග හා පුරාවිද්‍යා කාර්යාලයේ මහතුන් කිහිප දෙනකු සමඟ මානාකන්ද පරිශ්‍රයට ගිය හ. එහි දී අප මුලින් ම පැමිණියේ 'ජන්තාඝර' නමින් හැඳින්වූ රෝහල් පරිශ්‍රයකට ය. මේ ස්‌ථානය, ඔසු සකස්‌ කිරීම හා ගැල්වීම පිණිස භාවිත කරන ලද පරිශ්‍රයක්‌ වන අතර එය ක්‍රිස්‌තු වර්ෂ 6 - 7 සියවසට අයත් යෑයි සැලකේ. මෙහි ඇති නිර්මාණ ලක්‌ෂණ අනුව 'දේහධම්ම විද්‍යාව (physiognomy)' අතීතයේ පටන් පැවැති බවත් හෙළ වෛද්‍ය කර්මයේ කීර්තිමත් කාල පරිච්ඡේදයක්‌ එවක පැවැති බවත් විද්වතුන්ගේ අදහසයි. එම වෛද්‍ය කර්මය පුලස්‌ති සෘෂිවරයාගේ කාලයේ පටන් පැවත එන බව ද පැවැසේ. තව ද මේ ප්‍රදේශයේ ඇති බොහෝ ඇඹරුම් ගල්, බෙහෙත් වර්ග අනුව භාවිත කළ බව ද ඒ ඒ රෝගවලට හා ප්‍රතිකර්මවලට ගැළපෙන පරිදි නොයෙක්‌ පාෂාණවලින් කළ නිර්මාණ ද දක්‌නට ලැබේ. යොදාගෙන ඇති පාෂාණ, වන්නි සංකීර්ණයට අයත් වන අතර දැවැන්ත ගල් කඳන්වලින් කරන ලද නිර්මාණ ද (ඡායාරූප 1 සහ 2) දක්‌නට ලැබේ.



මේ ස්‌ථානයේ සිට වයඹ දෙසට මීටර් 300ක්‌ පමණ ගිය විට විශාල ගොඩනැඟිල්ලක ශිලාමය නටබුන් දක්‌නට ඇත. එය 'පධානඝර ගොඩනැඟිල්ල' ලෙස නම් කර ඇති (ඡායාරූප 3 හා 4) අතර එය ද ක්‍රිස්‌තු වර්ෂ 6 - 7 සියවස්‌ කාලපරිච්ඡේදයට ම අයත් වූ භික්‌ෂූන් වහන්සේලා භාවනා කිරීම සඳහා යොදාගත් ස්‌ථානයක්‌ බව සඳහන් වේ. සමහර විට 6 - 7 සියවස්‌ කාලපරිච්ඡේදයට පෙර කාලයකට මේ ගොඩනැඟිලි අයත් විය හැකි ය. පවතින ඉදිකිරීම් ලක්‌ෂණ අනුව එය තට්‌ටු දෙකක ගොඩනැඟිල්ලක නටබුන් බව සඳහන් කළ ද කැණීම් කර, කරුණු කිසිවක්‌ හෙළිදරව් කර නැත. මෙහි ගොඩනැඟිල්ල යෑයි අනුමාන කරන ස්‌ථානයේ පිහිටුවා ඇති ගල් කඳක්‌ (කුට්‌ටි) මීටර් 12කට වඩා දිගකින් යුතු අතර මීටර් 1.0ක්‌ පමණ පළල් වූ ද සෙන්ටිමීටර් 75ක්‌ පමණ ඝනකම වූ ද ඒවා සමහර විට මෙටි්‍රක්‌ ටොන් 30ක්‌ හෝ ඊටත් වඩා බරකින් යුක්‌ත විය හැකි ය. එසේ ම බටහිර පිහිටි කඳුවැටියේ තරමක පහළක පිහිටි උස්‌ බිමක (ගොඩැල්ලක) මුදුනෙහි ගොඩනඟා තිබූ චෛත්‍යයක්‌ නිදන් හොරුන් විසින් ඉතා මෑත කාලයක හාරනු ලැබ ඇති බවත් එහි ඇති නයිෂ් පාෂාණයෙන් නිර්මාණය කළ (ශිලාමය) මංජුසාවක්‌ වැනි නිර්මාණයක්‌ ඉතා ම කුඩා කැබැලිවලට කඩා බිඳ දමා ඇති බවත් දක්‌නට ලැබිණි.



ඉහත ප්‍රදේශයේ සිට වයඹ දෙසට පහළට එද්දී ස්‌වාභාවික ව පිහිටි පොකුණක්‌ (වැවක්‌) ඇත. එය මහාපාලි පොකුණ නමින් ද මානා පොකුණ නමින් ද හඳුන්වන අතර කුවේණි හා විජය මුණගැසුණ ස්‌ථානය ලෙස ද කියෑවේ (ඡායාරූප 5 හා 6). ප්‍රදේශය පුරා, යක්‌ෂ ගෝත්‍රික ජනගහනයක්‌ සිටි බවත්, එහි වූ උමං හා උමං මාර්ග ප්‍රයෝජනයට ගනිමින් දේශීය සටන් ක්‍රම හා වෛද්‍ය කර්ම ප්‍රගුණ කළ බව ද කියෑවේ. මේ පොකුණ රිටිගල පොකුණ හා සමාන වුව ද ඊට වඩා විශාල එකක්‌ බවත්, මේ කඳු ප්‍රදේශයේ ඇති විවිධ නිර්මාණ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ හැකියාව පිළිබිඹු කරන බවත් කියෑවේ. එසේ ම ප්‍රදේශය පුරා විසිරී ඇති අගම්ගල් (erratic boulders),

ඉපැරැණි දේශගුණික විපර්යාසවල දී වූ ග්ලැසියර කාලපරිච්ඡේද සමඟ බොහෝ දුරට සැසඳිය හැකි ය. එම පාෂාණ නිර්මාණ ඉතිහාසය සමහර විට අවුරුදු මිලියන 120 සිට 200 තරම් ඈතට විහිදිය හැකි ය. ඒ අනුව පාෂාණ වැටි පතුල්වල වූ ගල් ගුහා, ශිලාමය ආවරණ, අගම්ගල් ආවරණ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ජනාවාස, සටන් ශිල්ප ක්‍රම පවත්වාගෙන ආ ස්‌ථාන වූව ද මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තියෙන් ඇරඹුණ භික්‌ෂූන් වහන්සේ සඳහා ඒවා පසු කාලයේ පූජා කර ඇත. ඒ අනුව අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට, එනම් ක්‍රි. පූ. 3 පමණ සිට එම ස්‌ථානවල භික්‌ෂූන් වහන්සේලාගේ වැඩවාසය ආරම්භ විණි. එසේ ම මේ ස්‌ථානය අරහත් තෙරණියන් වැඩවාසය කළ ආරාම පද්ධතියක්‌ බව ද තෙරණින් වහන්සේලා සඳහා කරවූ ආරාමයක්‌ සඳහා එහි සාක්‌ෂි ඇති බව ද පැවසේ.



මානා කඳු පරිශ්‍රය ආශ්‍රිත ව මානාකන්ද වැවට නැඟෙනහිරින් පිහිටි 'කළුගල' නම් වූ දිගැටි ශිලාමය වැටිය මීටර 300ක්‌ පමණ දිග ය. උපරිම ස්‌ථානයේ පළල මීටර 90ක්‌ පමණ ය. ශාක වැස්‌මේ පතුලේ සිට මීටර 40කට වඩා උසට විහිදෙන අතර එය දළ වශයෙන් මධ්‍ය මුහුදු මට්‌ටමේ සිට මීටර් 235ක්‌ පමණ උසකින් යුක්‌ත වේ. 'කළුගල' පරිශ්‍රයේ වූ අප්‍රකට වූ ලෙනක්‌ සොයා 2014 මාර්තු මාසයේ අප කණ්‌ඩායමේ කිහිප දෙනෙක්‌ ඒ මතට ළඟා විණි. බටහිර බෑවුම ඉතා ම දළ බෑවුමක්‌ වන එහි අගම්ගල් කිහිපයක්‌ ම තිබිණි (ඡායාරූපය 7). ඒ උතුරු කෙළවරේ ඇති ලෙන (ඡායාරූපය 8) ද යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ රහස්‌ උමඟක්‌ ලෙස භාවිත කළ බව ද අති විශාල නිදන් වස්‌තු සම්භාරයක්‌ එහි වූ බව ද කියෑවේ. වර්ෂ 1989 පමණ කාලයේ දී වූ භීෂණ සමයේ එවක පැවැති දේශපාලන බලවතුන්ගේ මැදිහත් වීමෙන් මෙහි නිධන් කොල්ල කා ඇති බව සමකාලීන වැඩිහිටියෝ පවසති.

මානාකන්ද කළුගල මුදුනේ අලංකාර වූ (C) දිගැටි නෙළුම් මල් සහිත පොකුණු ඇත (ඡායාරූපය 9). ඊට යාබද වූ (D) 'විෂකුම්භණ චෛත්‍යය' නම් වූ ස්‌ථානය (ඡායාරූපය 10) ද නිදන් හොරුන් විසින් විනාශ කරනු ලැබ තිබේ. මේ චෛත්‍යයේ, චෛත්‍ය නිර්මාණ අවධිය ඉතා ම මුල් කාලයේ හෝ ඊටත් පෙර බව කියෑවේ. එම අවධියේ චෛත්‍ය නිර්මාණය ගල් කඳු මුදුන්වල සාමාන්‍ය පොදුජනයා ගෙන් දුරස්‌ථ වූ බව ද කියෑවේ. එයට හේතුව ක්‌ෂණික ව එවැනි ස්‌ථානවලට පිවිසෙනවාට වඩා අමාරුවෙන් ළඟා වීම ශ්‍රද්ධාව වඩවන දෙයක්‌ බවයි. තව ද එම ස්‌ථානවල ඇති නිධන් වස්‌තූන්ට ද ආරක්‌ෂාවක්‌ ලැබෙන බවයි. දක්‌ෂිණගිරි විහාරය (කළුදිය පොකුණ), පිදුරංගල, යාපහුව, මානැව කළුගල ආදි රාශියක්‌ වූ උදාහරණවලින් මේ බව සනාථ වේ. එසේ ම මේ පාෂාණ වැටිය මත බොහොමයක්‌ තැන්වල පුරා ශිලා ආයුධ හා ඒවා පිළියෙල කිරීමට භාවිත කළ පිරිසිදු තිරුවානා ගල් කැබැලි ද ඇත. මේවා මධ්‍ය ශිලා කාල පරිච්ඡේදයෙන් එහාට, කාල නිර්ණය කළ හැකි අතර ප්‍රාග් ජෛවවිවිධත්වය අතින් ඉතා ම වැදගත් වේ.



මේ මානාකන්ද පරිශ්‍රය ආශ්‍රයෙන් ඇති එළිමහන් ශිලාමය නිර්මාණයන්, මානාකන්ද පොකුණ, ගල් ලෙන්, ශිලාමය ආවරණ, පැරැණි චෛත්‍යය ආශ්‍රයෙහි ඇති වළං කැබැලි, ගඩොල් කැබැලි, උළු කැබැලි, ලෙන් හා ආවරණ තුළ ඇති බදාම වර්ග ආදිය භූ පුරාවිද්‍යාත්මක හා පුරාජෛවවිද්‍යාත්මක වටිනාකමකින් යුතු අගනා පරිශ්‍රයකි.

එහෙත් මේ දක්‌වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් වගකිවයුතු ආයතනයකින් කිසි ම අවධානයක්‌ යොමු කර නැත. සිදු කර ඇත්තේ විවිධ බලවතුන්ගේ ග්‍රහණයට හසු ව නිධන් හෑරීම හා පැරැණි සංස්‌කෘතීන් හෙළිදරව්වට විරුද්ධ ව කරන ලද ක්‍රියාකාරකම් ය. විශේෂයෙන් මේ පරිශ්‍රය ආශ්‍රිත ව මානෑදව විමලරතන හිමියන්ගේ 'යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු', ගණනාථ ඔබේසේකරයන්ගේ 'වන්නි රාජාවලිය', 'රාවණා රාජාවලිය', 'වන්නි උපත', වන්නි විත්තිය සහ 'වන්නි කඩඉම් පොත' යන ග්‍රන්ථ පමණක්‌ නො ව තවත් මූලාශ්‍ර රාශියක්‌ කරන හෙළිදරව්වන්, විවිධ අධ්‍යයන ක්‌ෂේත්‍ර ගැඹුරට අධ්‍යයනයෙහි ලා සහ පර්යේෂණ කටයුතු මෙහෙයවීමෙහි ලා අතිශය වැදගත් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ

භූගෝල විද්‍යා අධ්‍යයනංශයේ

සම්මානිත මහාචාර්ය

ජිනදාස කටුපොත

Email : katupotha@gmail.com