logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මෝටර් රථවල මගී ආරක්‌ෂාව සොයන ඝට්‌ටන පරීක්‌ෂණ

ලෝකයේ බෝ වන රෝගවලට අමතර ව ජීවිත අහිමි කරන ප්‍රධාන පෙළේ සාධකයක්‌ වන්නේ රිය අනතුරුයි. බීමත් බව, නිදිමත, මාර්ග නීති නො පිළිපැදීම ආදි විවිධ මානව දුර්වලතා ලැයිස්‌තුවක්‌ රිය අනතුරු ඉදිරියෙන් ලියෑවුණත් ඒවායෙන් සිදු වන හානිය අවම කරගැනීමට විශාල වගකීමක්‌ මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලට ද තිබෙනවා.

මෝටර් රථවල ඇති අනතුරුදායක බව පිළිබඳ ව ප්‍රථම වරට ලෝකයේ කතිකාවතක්‌ ඇරඹෙන්නේ එක්‌ දහස්‌ නව සිය හැට ගණන්වල දීයි. ඒ Ralph Nader නම් ඇමෙරිකානු නීතීඥයා වාහන නිෂ්පාදනකරුවන් මගීන්ගේ ආරක්‌ෂාව පිළිබඳ දක්‌වන්නේ අඩු සැලකිල්ලක්‌ බවට චෝදනා කරමින් Unsafe at Any Speed නමින් පොතක්‌ එළි දැක්‌වීමත් සමඟයි. මේ සමඟ ඇති වන මහජන බලපෑම නිසා මෝටර් රථ නිෂ්පාදනකරුවන් වැඩි වශයෙන් මේ පිළිබඳ ව අවධානය යොමු කරන්නට පෙලඹෙනවා.

ඇමෙරිකානු රජයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ 1970 දී පිහිටවනු ලැබූ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනය මේ පිළිබඳ මැදිහත් ව කටයුතු කරන අතර වාහනවල ආරක්‌ෂාකාරී බව මැනීම සඳහා New Car Assessment Program (NCAP) නමින් ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙනු ලබනවා. පසුකාලීන ව මේ වැඩසටහන ලෝකයේ රටවල් ගණනාවක්‌ තමන්ගේ රටවල මෙවැනි ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කිරීම සඳහා අනුහුරුවක්‌ ලෙස යොදාගන්නා අතර ඒ අනුව යුරෝපයේ Euro NCAP, ඔස්‌ටේ්‍රලියාවේ ANCAP, චීනයේ C-NCAP, කොරියාවේ KNCAP ආදි ලෙස මේ වන විට ලෝකය පුරා මෙවැනි ආයතන දහයක්‌ ස්‌ථාපනය කර තිබෙනවා. මීට අමතර ව ඇමෙරිකාවේ රක්‌ෂණ සමාගම්වල දායකත්වයෙන් ලාභ නො ලබන Insurance Institute for Highway Safety (IIHS) නම් ආයතනයක්‌ පිහිටුවා ඇති අතර ඒ හරහා ද වෙනස්‌ ක්‍රමවේදයකට අනුව මේ පිළිබඳ ව පරීක්‌ෂා කෙරෙනවා.

NCAP මඟින් මූලික ව සොයා බැලෙන්නේ රිය අනතුරකට මෝටර් රථයක්‌ බඳුන් වීමේ දී මගීන්ගේ ආරක්‌ෂාව කෙබඳු මට්‌ටමකට එම රථය විසින් රැක දෙනවා ද යන්න පිළිබඳවයි. එහි ගුණාත්මක බවට අනුරූප ව තරු පහකින් සමන්විත දර්ශක ක්‍රමයක්‌ හඳුන්වා දී ඇති අතර එක්‌ එක්‌ අංශයෙන් ඉහළ ම ආරක්‌ෂාවක්‌ දරන්නේ නම් තරු පහක්‌ ද, එය අඩු වන තරමට අඩු තරු ගණනක්‌ ද ලැබෙනවා. මේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පාරිභෝගිකයන්ට වාහනයක්‌ මිල දී ගැනීමට පෙර එහි ආරක්‌ෂාව සොයා බැලිය හැකියි. ඒ හරහා ආරක්‌ෂිත වාහන සඳහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා ම වාහන නිෂ්පාදකයන් වැඩි වශයෙන් ආරක්‌ෂිත ලක්‌ෂණ තම වාහනවලට ඇතුළු කරනවා. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සිදු වන තවත් කරුණක්‌ නම් සැම වසරක්‌ පාසා NCAP කඩඉම් සීමාව ද ඉහළ යැමයි.

ඇමෙරිකාවේ NHTSA හා IIHS ආයතන, ලෝකයේ රථවාහන පරීක්‌ෂා කරනු ලබන ජනප්‍රිය ආයතන දෙකක්‌. මේවා හරහා සිදු කෙරෙන පරීක්‌ෂා කිරීම් ක්‍රමවේද එකිනෙකින් තරමක්‌ වෙනස්‌ වන අතර ලකුණු දර්ශකය ද තරමක්‌ වෙනස්‌ වනවා. රජයේ ආයතනයක්‌ වන NHTSA ආයතනය හා ලෝකයේ අනෙකුත් රටවල සමාන්තර ආයතන විසින් අනුගමනය කෙරෙන NCAP පරීක්‌ෂණ හරහා ඉදිරිපත් කරනු ලබන්නේ තරු පහකින් යුත් ලකුණු දර්ශකයක්‌. එක්‌ එක්‌ පරීක්‌ෂණය සඳහා ගුණාත්මක බව අපේක්‌ෂිත මට්‌ටම අභිබවා යන්නේ නම් තරු පහක්‌ ද, ඒ මට්‌ටමට ළඟා වීමට අපොහොසත් වන අන්දමට සමානුරූපී ව අඩු තරු ගණනක්‌ ද හිමි වනවා. IIHS ආයතනය මඟින් සිදු කරන පරීක්‌ෂණ හරහා ලබා දෙන්නේ ගුණාත්මක බවින් සතුටුදායක, සෑහීමට පත් විය හැකි, ආන්තික හා අසතුටුදායක ලෙසින් හැඳින්වෙන වර්ගීකරණයක්‌.

මේ ආයතන පාරිභෝගිකයන් විසින් වැඩි වශයෙන් භාවිත කරනු ලබන ජනප්‍රිය වාහන වර්ගවල අලුත් ම මොඩල සැම වසරක ම මිල දී ගනු ලබන අතර ඉන් පසු ඒවා පර්යේෂණාගාර තුළ විවිධ බාධක සමඟ ගැටීමට සලස්‌වා පරීක්‌ෂාවට බඳුන් කරනු ලබනවා. ඒවා ඇතුළත ගමන් කරන මගීන්ට අනතුරක දී සිදු වන්නේ කුමක්‌ ද යන්න සොයා බැලෙන්නේ සංවේදක සහිත මිනිස්‌ අනුරූ වාහනය තුළ තැබීමෙනුයි. මීට අමතර ව වාහනය තුළ සවි කරනු ලබන සංවේදක මඟින් දත්ත ලබාගනු ලබන අතර ගැටීමෙන් පසු එහි ව්‍යqහයට සිදු වී ඇති හානි ආදිය මැන බැලීමෙන් ද දත්ත ලබා ගැනෙනවා. අනතුරෙන් වාහනයේ ව්‍යqහයට වන විකෘතිය මැනගැනීමට කළු, කහ මිනුම් පටි ඒවා මත අලවා ඇති අන්දම දැකගත හැකියි. එමෙන් ම මන්දගාමී කැමරා මඟින් විවිධ කෝණවලින් අනතුරු පටිගත කොට එහි දත්ත ද විශ්ලේෂණය කිරීම ද සිදු වනවා. වාහනයේ ආරක්‌ෂිත බව පිළිබඳ අවසන් නිගමනයට එළඹෙන්නේ මෙවැනි පුළුල් විමසා බැලීමකින් අනතුරුවයි.

වාහනවල සුරක්‌ෂිතතාව මැනීම සඳහා කරනු ලබන පරීක්‌ෂණ ඉදිරිපසින් සිදු වන ගැටීම්

මෙහි දී විමසා බැලෙන්නේ වාහනයක්‌ ඉදිරිපසින් පැමිණෙන වාහනයක්‌ හා ගැටීමේ දී මගීන්ට සිදු වන හානිය පිළිබඳවයි. NHTSA ආයතනය මඟින් සිදු කෙරෙන පරීක්‌ෂණයේ දී පැයට සැතපුම් 35ක වේගයෙන් පැමිණෙන වාහනයක්‌, ඉදිරියේ ඇති නිශ්චල බාධකයක්‌ මත ගැටීමෙන් සිදු වන හානිය පරීක්‌ෂාවට ලක්‌ කෙරෙනවා. මෙහි දී ප්‍රධාන වශයෙන් විමසා බැලෙන්නේ වාහනයේ ඇති මිනිස්‌ අනුරූපවල ඔළුවට, බෙල්ලට හා කකුල්වලට සිදු විය හැකි බරපතළ හානි පිළිබඳවයි. ජීවිතයට අනතුරක්‌ විය හැකි හෝ වහා ම රෝහල්ගත කළ යුතු අන්දමේ හානි සැලකෙන්නේ බරපතළ හානි ලෙසයි. එබඳු හානියක්‌ විය හැකි අවදානම සියයට 10ක්‌ (10%) නම් තරු පහක්‌ ද, සියයට 11-20ත් (11%-20%) අතර නම් තරු හතරක්‌ ද 21-35 (21%-35%) අතර නම් තරු තුනක්‌ ද, 36-45ත් (36%-45%) අතර නම් තරු දෙකක්‌ ද, 46ට (46%) වැඩි නම් තරු එකක්‌ ද ආදි වශයෙන් හිමි වනවා. කෙසේ වෙතත් මේ ලකුණු මට්‌ටම කලින් කලට වෙනස්‌ විය හැකියි. IIHS ආයතනය මඟින් කෙළින් ම සිදු වන ගැටීම් විමසා නො බැලෙන අතර ඒ වෙනුවට පැයට සැතපුම් 40ක වේගයෙන් පැමිණෙන, වාහනයේ ඉදිරිපසින් සියයට 40ක (40%) ප්‍රමාණයක්‌ හා සියයට 25ක (25%) ප්‍රමාණයක්‌ බාධකයක ගැටෙන විට ඇති වන බලපෑම සැලකිල්ලට ගන්නවා. මෙය ප්‍රායෝගිකව ගත් කල සැබෑවට ම සිදු වන ගැටීම්වලට වඩා සමීප බවක්‌ දක්‌වන බව සැලකිය හැකියි.

පැත්තෙන් සිදු වන ගැටීම්

සතරමං සන්ධියක්‌ හරහා වාහනය ඉදිරියට ගෙන යන විට හදිසියේ සංඥ නො තකා වේගයෙන් පැමිණෙන වාහනයක්‌ එක්‌ පසෙකින් රථය හා ගැටීමට ඉඩක්‌ ඇති අතර මේ පරීක්‌ෂණය හරහා එවැනි අවස්‌ථාවක රථයේ මගීන්ගේ ආරක්‌ෂාව කෙතරම් දුරට සැලසෙන්නේ දැයි සොයා බලනු ලබනවා. මෙවැනි අනතුරක දී මගීන්ගේ හිසට, පපුවට, උදරයට හා උකුළු ප්‍රදේශයට වැඩි හානියක්‌ වීමේ අවදානමක්‌ තිබෙනවා. මේ පර්යේෂණයේ දී වාහනයේ පසෙකින් පැයට සැතපුම් 38ක පමණ වේගයකින් පැමිණෙන එස්‌යූවී (SUV) රථයකට සමාන භාරයක්‌ මිනිස්‌ අනුරූ සහිත වාහනය හා ගැටෙන අතර වාහනය මගීන් ව ඉන් කෙතරම් ආරක්‌ෂා කරගන්නට සමත් ද යන්න ඒ හරහා මැන බැලෙනවා. මෙවැනි අනතුරක දී හිසට දැඩි හානි පැමිණිය හැකි නමුත් වාහනයේ පැත්තෙන් සවි කරන ලද වායු බෑග් ඇත්නම් එම අවදානම විශාල ලෙස අඩු කරගත හැකියි. මේ නිසා දැන් දැන් එන නවීන වාහන බොහොමයක මෙවැනි පැති වායු බෑග් ද දැකිය හැකියි.

පැත්තෙන් කණුවක්‌ හා සිදු වන ගැටීම්

වැසි සහිත දිනයක වාහනයක්‌ වංගුවකින් හරවන විට වාහනයේ රෝද හා පොළොව අතර පවතින ඝර්ෂණය දුර්වල වී එය තල්ලු වී ගොස්‌ පාර අයිනේ ඇති විදුලි හෝ දුරකථන කණුවක ගැටීමට ඉඩ තිබෙනවා. මෙවැනි අවස්‌ථාවක වාහනයේ ඇති ආරක්‌ෂාකාරී බව සොයා බැලීමට ද NCAP ක්‍රමය යටතේ පරීක්‌ෂාවක්‌ සිදු වනවා. මෙහි දී සිදු වන්නේ අංශක 75ක ආනතියකට යටත් ව පැයට සැතපුම් 20ක වේගයෙන් ඇදී යන වාහනයක්‌ සෙන්ටිමීටර 25ක විෂ්කම්භයෙන් යුතු ස්‌ථායී කණුවක්‌ හා ගැටීමට සැලැස්‌වීමයි.

පෙරැළීමට දක්‌වන ප්‍රතිරෝධීතාව

අධික වේගයෙන් පැමිණෙන රථයක්‌ කෙටි වංගුවකින් හැරවීමට උත්සාහ කරද්දී එම වාහනය පසෙකට පෙරැළී යැමට ඇත්තේ විශාල ඉඩක්‌. එමෙන් ම හදිසියේ මාර්ගය ඉදිරියට පැමිණෙන බාධකයක ගැටීම වළක්‌වාගැනීමට රියෑදුරා රථය ක්‌ෂණික ව හරවන්නට උත්සාහ කරන විටක දී ද වාහනය පෙරැළී යා හැකියි. වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය සාපේක්‌ෂ ව ඉහළින් ඇති එස්‌යූවී (SUV) රථ, සාමාන්‍ය කාර් රථවලට වඩා මේ අවදානමට මුහුණ දෙනවා. වාහනයක්‌ පෙරැළීමට ඇති ප්‍රතිරෝධීතාව ගණනය කිරීම සිදු කෙරෙන්නේ වාහනයේ පළලට සාපේක්‌ෂ ව ගුරුත්ව කේන්ද්‍රය පවතින උස මැන බැලීම, විවෘත ධාවන පථයක සංවේදක සවි කළ දුරස්‌ථ ව පාලනය කළ හැකි මෝටර් රථයක්‌ ධාවනය කිරීම වැනි ක්‍රමවේද හරහායි. මේ පරීක්‌ෂණයේ දී සැම විට ම ඉහළ ම ලකුණු වාර්තා කරන එස්‌යූවී කාණ්‌ඩයේ එක්‌ වාහනයක්‌ වන්නේ ටෙස්‌ලා සමාගමේ විදුලි රථ. ඒ ඒවායේ පොළොවට ආසන්නයෙන් සවි කර ඇති බැටරි පද්ධතිය නිසා ගුරුත්ව කේන්ද්‍රය ඉතා පහළින් පිහිටා තිබීම හේතුවෙන්.

වහලයේ ශක්‌තිය

IIHS ආයතනය මෙවැනි වාහනය පෙරැළී යැමේ විභවය පිළිබඳ පරීක්‌ෂාවක්‌ සිදු නො කරන අතර ඒ වෙනුවට වහලේ ඇති ශක්‌තිය පිළිබඳ ව විමසා බැලීමේ පරීක්‌ෂාවක්‌ සිදු කරනු ලබනවා. වාහනයක්‌ පෙරැළී යැමේ දී වාහනයේ හා මගීන්ගේ බර, වහලය මතට එල්ල වන අතර එය ප්‍රමාණවත් තරම් ශක්‌තිමත් නැතිනම්, පොඩි වී යා හැකියි. මෙමඟින් ඇතුළේ සිටින මගීන්ට බරපතළ හානි පැමිණීමට ඇත්තේ විශාල ඉඩක්‌. එනමුත් ශක්‌තිමත් වහලක්‌ ඇති නම් එම අනතුරු බොහෝ දුරට අවප්‍රමාණය වනවා. මේ පරීක්‌ෂණයේ දී වාහනයේ වහලය මතට ලෝහ තැටියක්‌ හරහා ඒකාකාර ව පීඩනයක්‌ එල්ල කරන අතර එම පීඩනය දරාගැනීමට නොහැකි ව වාහනයේ වහලයේ ව්‍යqහය බිඳ වැටෙන්නේ කුමන පීඩන මට්‌ටමක දී දැයි සොයා බැලෙනවා. සාමාන්‍යයෙන් හොඳ, ආරක්‌ෂාවේ තක්‌සේරුවක්‌ ඇති රථයක වහලකට රථයේ බර මෙන් හතර ගුණයක බරක්‌ දරාගත හැකි විය යුතුයි.

ආසනයේ හා හිස්‌ රඳවනයේ ආරක්‌ෂිත බව

වාහනයක්‌ මාර්ග සංඥ පුවරුවක්‌ ඉදිරිපිට නතර කර තිබෙන විට නැවතීමේ සංඥව හෝ එම වාහනය නො දකින අයකු ධාවනය කරන රථයක්‌ වේගයෙන් පිටුපසින් පැමිණ එම වාහනයේ ගැටීමට හැකියි. මෙලෙස පිටුපසින් පැමිණ වාහනයක්‌ ගැටීම නිසා මරණීය අනතුරු සිදු වීමට ඇති ඉඩ අඩු වුවත් සිදු වන හදිසි ඝට්‌ටනය නිසා ගෙල පිටුපසට ඇදී ගොස්‌ ගෙලෙහි ආබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. මෙවැනි ගැටුමක දී හිස, මනාව රඳවාගැනීමට ආසනයේ ඉහළින් ඇති හිස්‌ රඳවනය සමත් වුව හොත් එවැනි ආබාධ වළක්‌වාගත හැකියි. මෙය මගී ආරක්‌ෂාව පිළිබඳ වැදගත් අංගයක්‌ සේ සලකන IIHS ආයතනය වාහන ආසන හා හිස්‌ රඳවනයෙහි ඇති ක්‍රියාකාරිත්වය පිළිබඳ ව පරීක්‌ෂාවට ලක්‌ කරනු ලබනවා. මේ සඳහා යොදාගැනෙන්නේ සුෂුම්නාවේ ක්‍රියාකාරීත්වය මනාව නිරූපණය කරන පරිදි විශේෂයෙන් සැකසූ මිනිස්‌ අනුරුවක්‌.



නව වාහන මිල දී ගැනීමේ දී...

නව වාහනයක්‌ මිල දී ගැනීමේ දී අදාළ වාහනයේ මෙවැනි ආරක්‌ෂිත පද්ධති ඇත් ද, එය අනතුරු පරීක්‌ෂණවල දී ඉහළ ලකුණු ලබාගෙන ඇත් ද යන්න සොයා බැලීම වැදගත්. අනතුරක්‌ සිදු වන්නේ කොයි මොහොතේ ද යන්න අප නො දන්නා නිසා එයට කල් තබා ම සූදානම් වී සිටීමෙන්, පසුව පසුතැවිලි නො වී සිටීමට අපට හැකියාව ලැබෙනවා. උදාහරණයක්‌ ලෙස සාමාන්‍යයෙන් වායු බෑග් ඇති වාහනයක්‌ එසේ නොමැති වාහනවලට වඩා බොහෝ ආරක්‌ෂාකාරී බැවින් එවැනි වාහනයක්‌ තෝරාගැනීමට වැය කරන අමතර මුදල ඔබේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් කරන ආයෝජනයක්‌ ලෙස සැලකිය හැකියි. අප වෙළෙඳපොළේ ඇති කුඩා ඉන්දියානු වාහන බොහොමයක්‌ ආරක්‌ෂාව සම්බන්ධයෙන් ඉතා දුර්වල ලකුණු වාර්තා කර ඇති බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. ඉන්දියානු රථයක්‌ පළමු වතාවට තරු පහේ සීමාවට ළඟා වූ බවට වාර්තා වූයේ පසුගිය වසරේ දීයි. ඒ TATA NEXON රථයයි.

නයිනමඩමේ අනතුරෙහි දරුණු බවට සැබෑ හේතුව

පසුගිය දා නයිනමඩමේ සිදු වූ රිය අනතුරින් හය දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. මෙහි දී සිදු ව තිබුණේ වේගයෙන් පැමිණි මෝටර් රථයක්‌ ඉදිරියෙහි වූ ට්‍රක්‌ රථයක්‌ හා ගැටීමයි. මෝටර් රථය අධික වේගයෙන් ගමන් කිරීම, වාහනය නිෂ්පාදනය කර ඇති නියමිත ප්‍රමාණයකට වඩා වැඩි මගීන් පිරිසක්‌ ගමන් කිරීම ආදිය මේ අනතුර බරපතළ එකක්‌ බවට පත් කිරීමට හේතු වුණු බව පැවසුණා. එහෙත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නො වුණු ප්‍රධාන කාරණයක්‌ මේ අනතුරෙන් මෙතරම් හානි සිදු වීම හා ගැටගැසී තිබෙනවා. ඒ ලොරි රථයේ පිටුපසින් පහළට ආරක්‌ෂක යකඩ ආවරණයක්‌ (Rear Underride Guards) සවි කර නො තිබීමයි. තිබුණ ද එය අනතුරේ දී ගැලවී යන්නට ඇති තරම් දුර්වල එකක්‌.



සාමාන්‍යයෙන් ලොරි රථවල තිබිය යුතු මේ ආවරණය මඟින් කෙරෙන්නේ පිටුපසින් පැමිණ ගැටෙන රථයක, ඉදිරිපස බෆරය මෙහි ගැටීමට ඉඩ සැලැස්‌වීමයි. එහෙත් එවැන්නක්‌ නොමැති නම් හෝ එම ආවරණය දුර්වල නම් හෝ මෝටර් රථය කෙළින් ම ලොරි රථය යටට රිංගා යන අතර එවිට ලොරි රථයේ පිටුපස බෆරය කෙළින් ම ගැටෙන්නේ මෝටර් රථයේ දුර්වල කොටසක්‌ වන වීදුරු සහිත ඉහළ කොටසේයි. එවිට වාහනයේ ඇති වායු බෑග් ආදියෙන් කිසිදු ප්‍රතිඵලයක්‌ නො ලැබෙන අතර බොහෝ විට මෝටර් රථයේ ගමන් කරන මගීන්ට මරණීය අනතුරු සිදු කරනවා. මේ නිසා මෙවැනි බරපතළ අනතුරු, ඉදිරියේ සිදු වීම වළක්‌වාගැනීමට නම් මෙවැනි ආරක්‌ෂක අංග ලොරි රථවල අනිවාර්ය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.

අනතුරු වළකන ආරක්‌ෂක උපාංග

අනතුරක්‌ සිදු වන විට රථයේ ගමන් කරන්නන්ගේ ආරක්‌ෂාව කෙතරම් දුරකට සුරැකෙන්නේ ද යන්න තහවුරු කරගැනීම වැදගත් කරුණක්‌ බවට විවාදයක්‌ නැහැ. එහෙත් අනතුර සිදුවීම මුලින් ම වළක්‌වාගැනීමට හැකි නම් එය අන් කිසිවකටත් වඩා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම නිසා තම වාහන එවැනි අනතුරුවලින් වළක්‌වාගැනීමේ විවිධ ආරක්‌ෂක උපාංග හා උපක්‍රමවලින් සංයුක්‌ත ව නිපදවන්නට වාහන නිෂ්පාදකයන් උනන්දු වනවා. මරණීය රිය අනතුරුවලින් සියයට 94ක්‌ ම සිදු වන්නේ මානව දොaෂ නිසයි. මේ නව තාක්‌ෂණික උපක්‍රමවල සහාය මගින් වඩා ආරක්‌ෂිත ව තම රථය/වාහනය ධාවනය කිරීමට රියෑදුරාට හැකියි. නවීන තාක්‌ෂණයෙන් උපන් කැමරා, රේඩාර් හා වෙනත් සංවේදක මේ සඳහා ඉවහල් වනවා. මෙහි දැක්‌වෙන්නේ නවීන වාහනවල දැකිය හැකි එවැනි ආරක්‌ෂක ක්‍රමවේද කිහිපයක්‌.

ඉදිරිපස ගැටීම් අනතුරු හැඟවීම්

Forward Collision Warning

මාවත පිළිබඳ අපගේ අවධානය ගිලිහී යැම නිසා සමහර විට අප ධාවනය කරන වාහනය වේගයෙන් ගොස්‌ ඉදිරියෙන් ධාවනය වන වාහනයේ ගැටීමට ඉඩ තිබෙනවා. මේ පද්ධතිය වාහනයේ ඇත්නම් එවැන්නක්‌ සිදුවීමට ආසන්න වූ විට අනතුරු හැඟවීමේ ශබ්දයක්‌ පිට වනවා. එවිට නැවත අවධානය යොමු කර එය/වාහනය පාලනය කරගත හැකියි.

ස්‌වයංක්‍රීය හදිසි තිරිංග

Automatic Emergency Braking

ඉදිරිපස ඇති බාධකයක්‌ හෝ වාහනයක්‌ සමඟ ගැටීම වළක්‌වාගැනීමට නොහැකි මට්‌ටමක තිබෙන්නේ යෑයි පෙනී යන්නේ නම් රියදුරාගේ මැදිහත් වීමකින් තොර ව ස්‌වයංක්‍රීය ව තිරිංග යෙදීම මේ පද්ධතිය හරහා සිදු වනවා. වාහනයේ වේගය අනුව වාහනයේ වේගය අඩු වීම හෝ වාහනය සම්පූර්ණයෙන් ම නවත්වන්නේ ද යන්න හෝ තීරණය වනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ අනතුරු වළක්‌වාගැනීමට හෝ ඒවායේ හානිය අවම කරගැනීමට හෝ හැකියි.

පදිකයන් සම්බන්ධ ස්‌වයංක්‍රීය තිරිංග

Pedestrian Automatic Emergency Braking

මේ තාක්‌ෂණික ක්‍රමවේදයෙන් සමන්විත මෝටර් රථවලට, රථය ඉදිරියෙන් පදිකයකු ගමන් කරනවා ද යන්න හඳුනාගත හැකියි. එලෙස එවැනි පදිකයකු රථයේ ගැටීමට යන්නේ නම් වහා ම එය වළක්‌වාගැනීම සඳහා ස්‌වයංක්‍රීය ව තිරිංග යෙදීමට රථය කටයුතු කරනවා.

මං තීරු ඉක්‌මවීම් අනතුරු හැඟවීම

Lane Departure Warning

මේ ආරක්‌ෂක පද්ධතිය ඇති රථවාහන මං තීරු සලකුණු හඳුනාගනු ලබන අතර රියෑදුරාට නින්ද යැම හෝ අවධානය ගිලිහීම හෝ නිසා මං තීරු කපාගෙන යන බවක්‌ පෙනී ගිය හොත් ඒ පිළිබඳ ව අනතුරු හැඟවීම සිදු කරනවා.

මංතීරු රඳවාගැනීම් සහාය

Lane Keeping Support

මේ පහසුකම ඇති වාහනවල මෙලෙස පැති සංඥ දැල්වීමකින් තොර ව වාහනය මංතීරු ඉක්‌මවා යන බවට පෙනී ගිය හොත් වාහනය ස්‌වයංක්‍රීයව ම එහි සුක්‌කානම හා තිරිංග හසුරුවා එය නැවතත් නිවැරැදි ව මංතීරුව තුළට ගැනීම සිදු කරනවා.

පසුපස කැමරා

Rearview Video System

වාහනයක්‌ පසුපසට ගන්නා විට පිටුපස යම් බාධකයක්‌ තිබෙන්නේ දැයි පැති කණ්‌ණාඩිවලින් පමණක්‌ නිශ්චය කළ නොහැකියි. විශේෂයෙන් කුඩා දරුවන් අනතුරුදායක බව නො දැනීම නිසා නවතා තිබෙන වාහනවල පිටුපසට වී සිටීමෙන් වාහන පසුපසට ගැනීම්වල දී අනතුරට ලක්‌ වීම් බොහෝ සේ වාර්තා වනවා. පිටුපසින් කැමරාවක්‌ සවි කර තිරයක්‌ තුළින් ඒ දෙස බැලීමෙන් රියදුරන්ට මෙවැනි අනතුරු වළක්‌වාගත හැකියි.

නො පෙනෙන ප්‍රදේශය නිරීක්‌ෂණය

Blind Spot Detection - BSD

වාහනයක පැති කණ්‌ණාඩියට හසු වන දර්ශන පථය හා ඉදිරිපස පැති ජනේලයෙන් පෙනෙන දර්ශන පථය අතර ප්‍රදේශය නො පෙනෙන ප්‍රදේශය (Blind Spot) නමින් හැඳින්වෙනවා. වාහනයක මංතීරුව වෙනස්‌ කිරීමේ දී ඉක්‌මනින් පසුපස හැරී නො බැලුව හොත් මේ ස්‌ථානයේ කිසියම් වාහනයක්‌ පවතී දැයි රියෑදුරාට පෙනෙන්නේ නැහැ. මේ තාක්‌ෂණික හැකියාව සහිත වාහනවල එම ස්‌ථානයේ වාහනයක්‌ ඇතිනම් වාහනය මංතීරු මාරු කරන්නට සූදානම් වන විට ඒ බවට අනතුරු හැඟවීමක්‌ නිකුත් කරනවා.

ස්‌වයංසැකසුම් ප්‍රධාන පහන්

Adaptive Head Lights

රාත්‍රී කාලයේ ධාවනය කරන විට ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන යන්නේ නම් ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථයේ රියෑදුරාගේ දැස ඉන් තාවකාලික ව අන්ධ වී යා හැකියි. එය අනතුරකට අත වැනීමක්‌. ස්‌වයංසැකසුම් පහන් ඇති වාහනයක ප්‍රධාන පහන් දැල්වුව ද ඉදිරියෙන් වාහනයක්‌ පැමිණෙන්නේ නම් එය හඳුනාගෙන ආලෝකය අවප්‍රමාණය කිරීමටත් එය පසු කර ගිය පසු නැවත දැල්වීමටත් රියෑදුරාගේ මැදිහත් වීමකින් තොර ව ම වාහනය කටයුතු කරනවා.

දමිත නිපුණජිත්