logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


'UWV Robot Battle - 2018' තරගයට ඈත ගම් දනව්වල පාසල්වලිනුත් ඉහළ ප්‍රතිචාර

වර්ෂ 1948 දී එවකට ඇමෙරිකාවේ මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණ ආයතනයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ සුප්‍රකට ගණිතඥයකු වූ නෝබට්‌ වයිනර් (Nobert Wiener) විද්වතා විසින් ප්‍රායෝගික රොබෝ තාක්‌ෂණයේ මූලික සංකල්ප හඳුන්වා දෙනු ලැබී ය. එහෙත් 'Robotics' යන වදන පළමුවරට මුද්‍රිත මාධ්‍යයේ හමු වන්නේ වර්ෂ 1941 දී, අයිසැක්‌ ඇසිමොව් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් සිය 'Liar' ('බොරුකාරයා') නමැති විද්‍යා කෙටිකතා සංග්‍රහයේ දී භාවිත කරනු ලැබීමෙන් අනතුරු ව ය. මේ වදන ස්‌ලාවික්‌ භාෂාවෙන් සම්භවය වී යෑයි සැලකෙන අතර, එහි තේරුම වන්නේ 'ශ්‍රමය' යන්නයි. කෙසේ වෙතත් එදා පටන් මානවයා, රොබෝ තාක්‌ෂණයෙන් ප්‍රතිලාභ ලැබූ අතර, වත්මනේ දී එය 'ස්‌වයංක්‍රීයකරණය' (utomation) සමඟ වඩාත් බද්ධ වී පවතී. මේ ක්‌ෂේත්‍රය පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව ආදි විද්‍යා හා තාක්‌ෂණික ක්‌ෂේත්‍ර සමඟ බෙහෙවින් අන්තර් සම්බන්ධ වුවත්, එය වත්මනේ දී නිර්මාණකරණය හා කලාව සමඟ ද අත්වැල් බැඳගන්නේ, නූතන රොබෝ තාක්‌ෂණය හැඩගැස්‌වීමෙහි ලා 'කලාව' අත්‍යවශ්‍ය ව ඇති බැවිනි. රොබෝ හා ස්‌වයංක්‍රීයකරණ විද්‍යාවන්හි ප්‍රමුඛතම අපේක්‌ෂාවන් වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කිරීමත්, මානවයාට ආදේශකයන් නිර්මාණය කිරීමත් ය. කෙසේ වෙතත්, නූතන රොබෝ තාක්‌ෂණයන් ගෘහස්‌ථ, වාණිජ්‍ය සහ යුදමය භාවිතවල පහසුව තකා බහුල ව භාවිත වේ.

රොබෝ තාක්‌ෂණයේ ඉහළ යන භාවිතයන් කරණ කොටගෙන, ක්‌ෂේත්‍රය කෙරේ වන උසස්‌ මට්‌ටමේ මානව සම්පතක්‌ අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, නිර්මාණාත්මක චින්තනයකින් හෙබි, නූතන තාක්‌ෂණික දැනුමෙන් සන්නද්ධ, බුද්ධිමත් මානව සම්පත, රොබෝ තාක්‌ෂණයෙන් ඉහළ යන්නට වෙර දරන ජාතියක්‌ සතු විය යුතු අනිවාර්ය කරුණකි. නැවුම් තරුණයන් තුළ මේ කෙරේ වන ආශාව දල්වා ඔවුන්ගේ බුද්ධිමය ආකර්ෂණය මේ වෙත ලබාගත යුත්තේ එබැවිනි.

රොබෝවන්ට අදාළ තරග හා ශූරතාවලි ආදිය මේ අරමුණ කෙරේ වන උපායමාර්ගික ප්‍රවේශයන් සපයන බව ලොව පුරා පිළිගන්නා කාරණාවෙකි.

රොබෝවන් සහභාගී කරගන්නා අභියෝගතා තරගාවලියක බොහෝ විට කෙරෙනුයේ, යම් නිශ්චිත කර්තව්‍යයක්‌ සාක්‌ෂdත් කරගත හැකි හොඳ ම රොබෝවා තේරීමයි. සාමාන්‍යයෙන්, තරග වදින අනෙක්‌ රොබෝවා පරයමින් තරග වැදීම ජයග්‍රහණය ලැබීමට හේතු වේ. මෙවන් රොබෝ තරගාවලි ශ්‍රී ලංකාවට අලුත් වුවත්, වර්ෂ 1970 හා 1980 දශකවල සිට ම ලොව පුරා මෙවන් තරගාවලි සංවිධානය වී ඇත. පළමුවරට එවන් තරගාවලියක්‌ පැවැත්වීම පිළිබඳ වාර්තාවක්‌ වර්ෂ 1979න් හමු වේ. ලොව පුරා ප්‍රචලිත ව ඇති මෙවන් රොබෝ තරගාවලි අතර ජපානයේ 'All Japan Sumo', ඇමෙරිකාවේ 'Trinity College International Fire Fighting Home Robot Contest', 'Robo Cup', 'Robo One' ආදිය ප්‍රමුඛ වන අතර, බොහෝ විට ඒවාට අනුග්‍රාහකත්වය සපයන්නේ ලෝප්‍රකට තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අති දැවැන්ත සමාගම් ය. මේ අතර පළමුවරට රොබෝ ඔලිම්පික්‌ තරගාවලියක්‌ වර්ෂ 1990 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල, ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගොව්හි දී පවත්වා ඇති අතර, එය දිගට ම පවත්වාගෙන යැමට අසමත් ව තිබේ. කෙසේ වුව ද, රොබෝ හා ස්‌වයංක්‍රීයකරණ තාක්‌ෂණික කර්මාන්තයේ ධනාත්මක දියුණුව කෙරේ වන උත්ප්‍රේරණාත්මක සාධකයක්‌ ලෙස රොබෝ තරගාවලි ක්‍රියා කරන බව පෙනී යයි.

කාලයට සරිලන මේ අවශ්‍යතාව වටහාගනිමින්, ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයය විසින්, ශ්‍රී ලංකාවේ පළමුවරට අන්තර් විශ්වවිද්‍යාලයීය රොබෝ තරගාවලියක්‌ 'UWV Robot Battle' නමින් වර්ෂ 2016 දී දියත් කරන ලදි. ඒ වන විට, ශ්‍රී ලංකාවට නව්‍ය වූ මේ අත්දැකීම විඳීමට බොහෝ උසස්‌ අධ්‍යාපන ආයතනවල සිසුහු මහත් උනන්දුවෙන් එක්‌ වූ හ. ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව තුළ රොබෝ තරගාවලි ආගන්තුක නො වූ අතර, බොහෝ අධ්‍යාපන හා පෞද්ගලික ආයතන මඟින් රොබෝ තරගාවලි පැවැත්වීමට ඇරඹීම ක්‌ෂේත්‍රයේ දියුණුවට මහත් සේ උපකාරී වී තිබේ. මේ නිසා ම නූතන තාක්‌ෂණයේ පෙළහරපාන ලාංකීය දක්‌ෂ සිසුනට තැනී ඇත්තේ දැවැන්ත වේදිකාවකි.

'UWV Robot Battle'හි දෙවැනි දිගහැරුම පසුගිය 2018 දෙසැම්බර් මස 15 වැනි දින ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණේ, පාසල් හා විවෘත ලෙස තරග කාණ්‌ඩ දෙකක්‌ යටතේ ය.

පාසල් අංශය නියෝජනය කරමින්, රොබෝ තාක්‌ෂණය කෙරෙහි ඉමහත් කැමැත්තක්‌ දක්‌වන පාසල් සිසුන් 180ක්‌ පමණ ඇතුළත් වූ, කණ්‌ඩායම් 48ක්‌ සහභාගි වූ අතර ඔවුqහු කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පොළොන්නරුව, රත්නපුර, කොළඹ, බදුල්ල, අම්පාර සහ මොණරාගල වැනි දිවයින ආවරණය කළ දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ නියෝජනය කළ හ. පාසල් අංශයේ ප්‍රථම ස්‌ථානය කෑගල්ල, ස්‌වර්ණජයන්ති මහ විදුහල හිමි කරගත් අතර, දෙවැනි ස්‌ථානය හිමි කරගත්තේ ද එම දිස්‌ත්‍රික්‌කයේ ම පිහිටි කෑගලු විද්‍යාලයයි. තෙවැනි ස්‌ථානය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයය විසින් හිමි කරගනු ලැබිණි. වෙසෙසින් ම, අධ්‍යාපන පහසුකම් අඩු දිස්‌ත්‍රික්‌ක ලෙස සැලකෙන මොණරාගල, අම්පාර, බදුල්ල, පොළොන්නරුව වැනි දිස්‌ත්‍රික්‌කවලින් ද, මෙවැනි ඉහළ තාක්‌ෂණික හැකියා අවශ්‍ය කෙරෙන තරගාවලියකට සිසුන් සහභාගි වී සිටීම සතුටට කරුණකි. මෙයට ඉතා ම හොඳ උදාහරණයක්‌, අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි දෙහිඅත්තකණ්‌ඩිය මැදගම ද්විතීයික පාසලෙන් දක්‌නට හැකි වූ අතර, එම විදුහලෙන් කණ්‌ඩායම් 05ක්‌, රොබෝවන් 05 දෙනකු ඉදිරිපත් කර තිබීම කාගේත් අවධානයට බඳුන් විය. ඉන් එක්‌ කණ්‌ඩායමක්‌ තරගයේ අවසන් වටයට ද තේරීමට සමත් විය. මේ දක්‌ෂ සිසුනට දිරියක්‌ වීමට ලැබීම පිළිබඳ ව ඉතා ම සතුටට පත් වන බව තරග සංවිධායකයෝ අප සමඟ පැවසූ හ. මීට අමතර ව මේ නැඟී එන තාක්‌ෂණික ඥනයෙන් පිරිපුන් පාසල් සිසුනට, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අනාගත තාක්‌ෂණ වෘත්තිකයන් මුණගැසී ඔවුන් සමඟ තොරතුරු බෙදාගෙන සම්බන්ධ වීමට ද මෙහි දී මහඟු අවස්‌ථාවක්‌ හිමි විය.

තරගාවලියේ විවෘත අංශයේ තරග අතිශය තරගාකාරී වූයේ, ලාංකීය උගත් තාරුණ්‍යයේ හැකියාවන් එකිනෙකට නොදෙවැනි වීම නිසා ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, තෘතීයික අධ්‍යාපන ආයතන, කාර්මික විද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික සමාගම් ආදිය නියෝජනය කරමින්, ඉහළ විවිධත්වයකින් යුතු පසුබිම් සහිත තරුණ කණ්‌ඩායම් මේ සඳහා සහභාගි විය. ඔවුන් කණ්‌ඩායම් 135ක්‌ නියෝජනය කළ අතර සංඛ්‍යාවෙන් 300කට ආසන්න විය. රටේ උසස්‌ අධ්‍යාපන ආයතනවලින් වූ තරුණ නියෝජනය කැලණිය, රජරට, රුහුණ, මොරටුව, පේරාදෙණිය, යාපනය, ශ්‍රී ජයවර්ධනපුර, ජෝන් කොතලාවල, වෘත්තීය තාක්‌ෂණ, වයඹ යන රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ද, NSBM හරිත සරසවිය, ICBT කැම්පස්‌, තාක්‌ෂණ ආයතනය (මොරටුව), ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, හොරයිසන් කැම්පස්‌ යන ආයතනවලින් ද සමන්විත විය. විවෘත තරග අංශයේ පළමු ස්‌ථානය වෘත්තීය තාක්‌ෂණ විශ්වවිද්‍යාලයය (UNIVOTEC) විසින් හිමි කරගනු ලැබූයේ, අවසන් තරගයේ පැවැති කරට කර තරගයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයය විසින් ඉදිරිපත් කෙරුණු රොබෝව පරදවමිනි. ඒ සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයය තරගාවලියේ අනුශූරයන් බවට පත් විය. තරගයේ තෙවැනි ස්‌ථානය ද වෘත්තීය තාක්‌ෂණ විශ්වවිද්‍යාලයය විසින් ඉදිරිපත් කර තිබූ තවත් කණ්‌ඩායමක්‌ විසින් හිමි කරගනු ලැබුවේ, මෙවර තරගාවලියේ වඩාත් ම කැපී පෙනෙන්නා බවට ශ්‍රී ලංකා වෘත්තීය තාක්‌ෂණ විශ්වවිද්‍යාලයය (UNVIOTEC) පත් කරමිනි.

'UWV Robot Battle - 2018' සංවිධානය කරනු ලැබුයේ, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයයේ විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යයනංශයෙන් වන අතර, උපකුලපති ආචාර්ය ඡේ. එල්. රත්නසේකර, විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය සිසිර එදිරිවීර යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශනය යටතේ ය. ආචාර්ය සන්ධ්‍යා නිල්මිණි කුමාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය තරගාවලියේ ප්‍රධාන සම්බන්ධීකාරකවරියයි. තරගාවලියේ සාර්ථකත්වය උදෙසා විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යයනංශ ප්‍රධානී ආචාර්ය ජගත් පිටවල මහතා ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්‌ඩලයේ සහයෝගය බෙහෙවින් ඉවහල් වූ බව සංවිධායක කමිටුව අප හා පැවසී ය.

ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයය විසින් ලාංකීය රොබෝ හා ස්‌වයංක්‍රීයකරණ තාක්‌ෂණයේ ප්‍රගමනය වෙනුවෙන් කෙරෙන මේ වෑයම ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත්තේ ය. දැනටමත්, එම විශ්වවිද්‍යාලයය සිය සරසවියේ පැවැත්වෙන සිව් අවුරුදු මෙකට්‍රොනික්‌ස්‌ තාක්‌ෂණවේදී විශේෂ උපාධි පාඨමාලාව හරහා ක්‌ෂේත්‍රය වෙත දැවැන්තයන් බිහි කරලීමේ කාර්යයට උර දී සිටී.

ඡායාරූප - චමල් සයුරංග, වරුණ දුලන්ජන සහ විශ්වවිද්‍යාලයීය ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය

නිරෝෂන් සෙනෙවිරත්න