logo3.gif (702 bytes)

HOME


වැව් පරිසර පද්ධතිය සහ දේශගුණය පිළිබඳ දේශීය දැනුම

වලාකුළු ගැබ් බර ව එකට කැටි වී තෙරපී මේඝ ඝර්ජනා සහිත ව සිය පළමු අස්‌වැන්න පතිත කරයි. අපගේ පැරැන්නෝ එයට අක්‌ වැස්‌ස නැත හොත් මුල් වැස්‌ස යෑයි කී හ. මේ අක්‌වැස්‌සට පළමු සිය හේන් ගොවිතැන්වලට අවශ්‍ය පරිසරය සකස්‌ කොට අවසන් වී තිබිය යුතු ය. එම නිසා වැස්‌ස ඇද හැළෙන නියම අවස්‌ථාව දැන සිටිය යුතු ය. නිකිණි මාසයේ පසළොස්‌වකට පසු දිනයේ දි වැසි වැටෙන බව වැසි ලකුණු ශාස්‌ත්‍රය නම් පුරාණ ග්‍රන්ථයේ සඳහන් ව තිබේ. අහසේ විවිධ දිශාවන් ගෙන් ඇරෙන වැසි දොර කවුළු නිසා පොළොවේ ඇති වන පිටාරය ද එහි විස්‌තර සහිත ව දක්‌වා තිබේ. හීනි වැස්‌ස මද වැස්‌ස හා මහා වැස්‌ස යන අවස්‌ථා තුන හැගවීමට කුණු පිදුරු පිටාරය, බෙලි තෝර වැස්‌ස ආදි වශයෙන් ගැමි ව්‍යවහාරයන් දක්‌වා ඇත. ජල බිංදුවක්‌ මහ වැස්‌සක්‌ බවට පරිවර්තනය වන කල්හි මිහිකත එම වැසි දහරාව පිළිගන්නට සැරසිය යුතු ය. ඝන වනයෙන් සැරසුණු මිහිකත මනුෂ්‍ය ස්‌පර්ශය නිසා නිරුවත් වූ කල්හි මහවැසි සෘජු ව ම පොළොවට පතිත වෙයි. මහ පොළොව උළුප්පා බොර වතුරාව සමගින් පස්‌ කදු නාය යමින් උස්‌ තැනින් පහත් තැනට ගලා යයි. මේ ක්‍රියාවලිය වසර දහස්‌ ගණනක්‌ නො ව ලක්‌ෂ ගණනක්‌ තිස්‌සේ සිදු වෙමින් පවතී. පැරැණි හෙළයා සිය අත්දැකීමෙන් මේ ක්‍රියාවලිය යහපත් දිශානතියකට යොමු කරවාගත්තේ ය. එය අද අප හදුන්වන්නේ වැව යනුවෙනි. ලංකාවේ මධ්‍යම කදුකරයේ සිට රුහුණු තැනිතලාවටත්, අනතුරු ව පිහිටි රට තැනිතලාවටත් ප්‍රමාණවත් වන පරිදි ජලය රැස්‌ කරගත හැකි වැව් මුතුන්මිත්තෝ තැනවූ හ. වැවට ජල බිංදුව කෙතරම් වැදගත් දැයි සිහිපත් වන්නේ මේ නිසා ය.

අහසින් ජල බිංදු පොළොවට පතිත වන්නට නම් අහස ගැබ් බර විය යුතු ය. අහසට ගැබ් බර වන්නට මහ පොළොවේ ස්‌වාමීත්වය බෙහෙවින් උපකාරී වේ. මහ පොළොවේ ගහ කොළ නිල්ල ගසමින් දලු ලන කල්හි උල්පත් මෝරා යමින් කදුරු දිය නිදහස්‌ කරයි. මද පවනට සිය පත් සලමින් සැනසෙන ශාක සංහතිය සිය දා බිදු ලෙසට පිට කරන ජල වාෂ්පයන් අහස ගැබ් බර කරන්නට ඉහළට ඇදී යේ. මේ ජල චක්‍රය ඉරහඳ පවතිනා තුරු ක්‍රියාත්මක වන බවට

පැරැණියන් තුළ අදහසක්‌ හටගෙන තිබිණි. මේ නිසා සොබා දහම තේරුම්ගන්ටත් එයට ගෞරව කරන්නටත් ඔවුනට තිබූ වුවමනාව සුවිශේෂී වෙයි. ලක්‌ පොළොවට ජල බිංදු ගෙනෙන අවස්‌ථා දෙකකි. ජනප්‍රිය කියමනෙන් හදුන්වන්නේ නම් ඊශාන හා නිරිතදිග මෝසම් මගිනි. ලෝකයේ හිම කදු දිය වීම, ඒ තුළින් නැෙගන ජල වාෂ්පයන් ඉහළට නැගීම, සුළං මගින් පීඩනය අඩු පෙදෙස්‌වලට ගසා යැම සිදු වේ. මේ කාලයට වැසි ලැබෙන පිළිවෙළ

පැරැණියන්ගේ දින දසුනේ සටහන් ව තිබිණි. එයට සාපේක්‌ෂ ව පරිසරයේ ගස්‌ වැල් ක්‍රියා කරන අයුරින් වැසි ලැබෙන පිළිවෙළ ද ඔවුහු කියා පෑ හ. කැසිපිල්ලා වැල රත් පැහැයෙන් බබළන විට වර්ෂාව අධික වන බව ඔවුනට කළ ඉගියකි. එය කහ පැහැ නම් තරමකට වැසි ලැබේ. සුදු පැහැ නම් නියං කාලයක්‌ බව කියවේ. වසරේ දිවුල් පලදාව අධික වන විටත් වැසි වැටීම අධික ය.

දැන් මේ වැසි බිදු පහළට වැටී කදු, ඇළ දොළ, ගංගා හරහා ගලා ගොස්‌ මුහුදට වැටේ. එයින් ජනතාවට පලක්‌ නැත. ඉඳ හිට පිටාර තැනිතලාවල ගොවිතැන් කළ විට කන්නට යමක්‌ ලැබේ. කටවල් ගණන වැඩි වන විට එය ද ප්‍රමාණවත් නැත. එසේ ම වසරේ නියං සමයේ දී අස්‌වැද්දිය හැකි ගොවිතැනක්‌ නැත. අහස ගැබ් බර කරන ගසකොළ ද හේ බා තිබෙන විට යළි යළිssත් වැසි උපදවන්නට නොහැකි ය. මේ තරම තේරුම් ගත් බැවින් ලක්‌ පොළොවේ තැන තැන වැව් බිහි කරන්නට අපගේ මුතුන් මිත්තන් අදිටන් කරගන්නට ඇත. ඔවුහු සිංහලයන් වන්නට කලියෙන් හෙළයන් වූ හ. යක්‌ෂ රාක්‌ෂ හෙළයෝ වූ හ. දඹදිව සිට පැමිණි ශාක්‍ය වංශිකයන් සිය දේශපාලන බලය යොදා මොවුන් ගිරි ප්‍රදේශවලට පන්නා දැමූ කල්හි එහි පදි අටවාගෙන ගොවිතැන් බත් කරගත් හ. කදු උඩ වැව් තනවා ජලය රැස්‌ කරගත් හ. පහළ නිම්නයට ජලය ගලා යන අපූරුව දැක එහි ද වැව් තැනූ හ. මේ වැව් අප හදුන්වන්නේ කදු වැව් යනුවෙනි. ජලය ජලයට ආකර්ෂණය වීම සිද්ධාන්තයකි. ඉහළ තිබෙන වැව් ජලයට වලාකුළුවල ගැබ් බර වූ ජලය උරාගන්නට සැලැස්‌වීම මෙහි තාක්‌ෂණයයි. වැස්‌ස ඉක්‌මන් කරවීමට ද මෙය බලපායි. අහස්‌ වැවේ පිරුණු ජලය පසුව පැන්නුමකින් දිය කදුරු ඔස්‌සේ කදු පල්ලමට ගලා යයි. ගලා ගොස්‌ මහ වනය ද වනය තුළ තිබෙන පොකුණු පදුස්‌ ද පුරවයි. මේ අපූරුව නිරීක්‌ෂණය කළ පැරැන්නෝ මහ වනය තුළ කුඩා කුඩා වැව් තැනවූ හ. මූකලන් වැව් සහ කුළු වැව් යනුවෙන් එය දෙවිධියකි. මූකලන් වැවට මෙන්ම කුළු වැවට ද සොරොව්වක්‌ නැත. ඇත්තේ පැන්නුමක්‌ පමණකි. මූකලන් වැවේ කාර්යය නම් මහ වනයේ සිටින අලි ඇතුන් මෙන්ම සතා සීපාවුන්ට අවශ්‍ය ජලය සපයා දීම මෙන්ම වනයේ දිය උල්පත් පෝෂණය කිරීමයි. කුළු වැවේ කාර්යය නම් ඉහත්තාවේ සිට ගලා එන බොර සහිත ජලය නවතාගෙන පිරිසිදු ජලය පමණක්‌ පැන්නුමෙන් නිදහස්‌ කිරීමයි. මේ ජලය ඉන්ඉක්‌බිති ගම් වැව කරා යන්නේ ය.

කදු උඩ ජීවත් වූ පැරැන්නෝ අනුක්‍රමයෙන් පහළට විත් ගම් අටවාගෙන සාරවත් භූමිවල ගොවිතැන් බත් කළ හ. මේ නිසා නියං කාලයට ජලය ලබාගැනීමට මෙන්ම කදුරු පෝෂණයටත් අවශ්‍ය ලෙස ගම් වැව් තාක්‌ෂණය දියුණු කරගත් හ. කුළු වැව්වලින් ඇදීගෙන එන ජලය ගම් වැවට පාත් වෙයි. ගම් වැවේ අංගෝපංග රාශියකි. එහි පළමු මෙන්ම වැදගත් ම අංගය වන්නේ වෑකන්දයි. ඉතා කෙටි වෑකදු මෙන්ම දිගු වෑකදුවලින් ද ගම් වැවට ඇදී එන ජලය රඳවා තබා ගනී. සුදුසු වැටි දෙකක්‌ යොදාගෙන ඇතැම් විට සමෝච්ච රේඛා දිගේ මේ වැව් බැමි ඉදි කරනු ලබයි. හළන ලද පස්‌ දමා තලා ගවයන් ලවා පාගවා බැම්ම ශක්‌තිමත් කරනු ලබයි. වෑකන්දට පහළින් වැව පැත්තට වන්නට සොරොව්ව සාදන ලදි. සොරොව් වර්ග කීපයකි. මහ කොටුව යනුවෙන් පැරැණියන් වහරට ගත්තේ මහ වැව්වල බිසෝකොටුවයි. හීරු කොටුව යනු මඩ හොරොව්වයි. වැව් පතුල තෙක්‌ ජලය හිතණු පසු ගවයන් ලවා වැව මඩ කරවා රොන් මඩ කන්දරාව වෙල් කරා ගෙන යැමට මේ සොරෙව්ව සාදා ඇත. තෙවැන්න නම් බුටිය නම් සොරොව්වයි. තුංගය නමින් භාවිත කරන පැරැණි සොරොව් වර්ගයක්‌ තිබී ඇත. එය රහසිගත ය. එය පොළොව අභ්‍යන්තරයේ පවතී. වැව වාන් දමන්නට ආසන්නයේ මේ තුංගයෙන් පිට වන ජලය ආසන්නයේ තිබෙන පතහ උතුරන්නට පටන් ගනී. එවිට වැව රැක ගන්නට කළමනා යුතුකම්වලට පෙළ ගැසේ.

මේ සොරොව්වට කොටස්‌ අටකි. ආඬියා යනුවෙන් කියවෙන උල්පත් ආගාරය, ගලේ ආගාරය, ඖෂධ ආගාරය, ගෙඹි ආගාරය, රැස්‌ ආගාරය, පෙණ ආගාරය, කුඩුම්බා ආගාරය, භූමිටු ආගාරය යනුවෙන් එය සඳහන් කළ හැකි ය. ගලේ ආගාරය ජල පෙරණයකි. බෙහෙත් ආගාරය ඖෂධ පැළෑටි සංරක්‍ෂණය සඳහා ය. ගෙඹි ආගාරය ජලජ ජීවීන් ගේ පැවැත්මට ය. රැස්‌ ආගාරයෙන් කෙරෙන්නේ ජලය ජලය ගැටීමෙන් ඇති වන ශක්‌තිය ප්‍රයෝජනයට ගැනීමයි. පෙණ ආගාරය මගින් ජලයේ පිරිසිදු බව තීරණය කෙරේ. කුඩුම්බා ආගාරය මගින් ජලය පිට කිරීම පාලනය කරයි. භූමිටු ආගාරය යනු උල්පත් පෝෂණයට උදව් දෙන ස්‌ථානයකි.

වෑකන්ද නිසා පිරෙන ජලයෙන් වැවේ උපරිම ජල ප්‍රමාණය අල්ලා වැවේ ගිල්ම ගසයි. ජල තාවා දිය නිසා වැවේ තාවල්ල ඇති වේ. ආතේඩය යනු තාවල්ලට තවත් නමකි. තාවල්ලට ඉහළින් පෝටා වැටි ඇත. ඉහත්තාවෙන් එන ජලයේ රොන් මඩ නවතා ලන්නට මේ පෝටා වැටි උපකාරී වේ. වැව් ඉහත්තාව ලදු කැළෑවලින් යුතු පෝෂණීය පෙදෙසකි. කුඹුක්‌, මයිල, පළු, වීර, නැබඩ, බක්‌මී වැනි වනස්‌පතීන් ඇත. මේවා චන්ද්‍ර ගණයේ ශාක ලෙස හැඳින්විණි. වැව් දිය තුළ කැරැන් වැනි ශාක පැතිර පවතින්නේ වාෂ්පීකරණය අඩු කිරීමට ය. එසේ ම ලවණතාව පාලනය කිරීමට ය. වැවේ පතුල දිගදුය යනුවෙන් හදුන්වන ලදි. සෝලමය පවිත්‍රය රුසිය යනුවෙන් ද නම් ඇත. වැව් බැඳීමේ දී වැව් පතුලේ ඇති පාෂාණ නිධි භූගත උල්පත් ආදිය ගැන උනන්දුවක්‌ ඇති කරගත යුතු ය. වැවක සඳහන් කළ යුතු වැදගත් තැන් අතර රළපනාව ද දැක්‌විය හැකි ය. සෙමින් වුවත් වැව දිය පතුලේ ඇති වන චලනය රැළි වශයෙන් මතුපිටට විත් විහිදී යැමේ දී නිරන්තරෙයන් වෑකන්දේ හැපේ. කාලාන්තරයක්‌ තිස්‌සේ දිය රැළි හැපීම කරණ කොට වෑකන්ද සේදීමකට ලක්‌ වේ. මෙය වැළැක්‌වීම පිණිස වෑකන්දේ වැවට නිරාවරණය වන කොටසේ කළු ගල් ඇතිරීම සිදු කෙරිණි. විශාල වැව්වල විශාල කැපූ ගල් කුට්‌ටි ඇතිරීම දක්‌නට තිබේ.

වැවකින් ජලය පිට කිරීමට සොරොව්ව භාවිත කරනවා සේ ම එයට අවශ්‍ය ඇළ මාර්ග තැනීම ද කෙරිණි. එයින් එකක්‌ නම් කුටීර ඇළයි. එය කිසි දිනක හිඳෙන්නේ නො වේ. අනෙක්‌ ඇළ නම් මඩ හොරෙව්වෙන් පිට කරන ඇළයි. වැවක වතුර පරිහරණයේ දී තොට යන වචනය යෙදේ. එහි දී පෙයිය තොට යනු වැවේ කුඹුක්‌ ගස්‌ මණ්‌ඩියක තිබෙන පිරිසිදු වතුර කඩයි. එහි දිය නෑම, සතුන් සේදීම තහනම් ය. අනෙක නම් නාන තොටයි. එහි කරන්නේ දිය නෑම පමණකි. වැවට බැසීම සදහා ඇතැම් විට ගලින් පඩි තනා තිබේ. භික්‌ෂූන් වහන්සේලාට දිය නෑම පිණිස ද වෙන ම නාන තොටක්‌ පරිහරණය කිරීම පැරැණියන්ගේ සිරිත විය. සතුන් සේදීමට ද එසේ ම ය. මෑතක්‌ වන තුරු ම පෙයිය තොට මගින් ගත් ජලය නිවෙස්‌වල පරිහරණයට ගැනීම සිරිත විය. එයට හේතුව වැවේ මතුපිට ජලය මෙන්ම කුඹුක්‌ වැනි ශාකවලින් පෙරෙන ඖෂධ ජලය බීමට සුදුසු වීමයි.

ගම් වැවක අංග මෙසේ වන අතර ගම් වැවට සමාන්තර ව නිවුන් වැව් පිහිටීමක්‌ ද විය. ගම් වැව් පිහිටා තිබෙන්නේ එකක්‌ යටි ව එකක්‌ පිහිටා තිබෙන ආකාරයටයි. මෙය වැව් එල්ලංගාව ලෙස හැදින්වෙයි. එල්ලංගා ලංකාව සැම තැනක ම තිබූයේ නො වේ. පිහිටි රටට එය වඩාත් ආවේණික විය. නිවුන් වැව් යොදාගන්නේ දැඩි නියං කාලයක ප්‍රයෝජනයට ගන්නට ය. මේ නිවුන් වැව් කීපයක්‌ එක්‌ කර තැනූ පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුවේ මහා සාගරය ලෙස හැඳින්වෙයි. පැරැණියන් අතර තිබූ වැව ගැන ලියා තැබූ පුස්‌කොළ ග්‍රන්ථයක්‌ තමා ද දුටු බව මුදියන්සේ තෙන්නකෝන් මහතා පවසයි. එය නම් කර තිබුණේ ජල බිංදු ජල ප්‍රමාණ ජල දීපිකා යනුවෙනි. එවැනි තවත් ග්‍රන්ථයක්‌ මල්වතු මහානායක ව සිටි පූජ්‍ය සරණංකර මහානායක හිමිපාණන් සන්තකයේ තිබී සුදු දිසාපතිවරයකු රැගෙන ගිය කතාවක්‌ ද අසා තිබේ. කෙසේ වෙතත් මේ ශිල්පියාව ගැන සටහන් වූ අගනා දැනුම් සම්භාරයක්‌ අද අප අතරින් ගිලිහී ගොස්‌ ඇත. එහෙත් පෙර සිටි අප මුතුන් මිත්තන්ගේ ශක්‌තිය මත ඒ දැනුම යළි යළි මතු වෙයි. එය සැගවිය නොහැකි ය.

මේ ලිපියට අගනා කරුණු රැසක්‌ සැපයූ දම්සරා ශ්‍රීපාලි මැතිණියට ස්‌තුතිය පිරිනමමි.

මතුගම සෙනෙවිරුවන්