logo3.gif (702 bytes)

HOME


ලෝක උරුමයක්‌ වූ වැව් එල්ලංගා පද්ධති

පසුගිය (2018) අප්‍රියෙල් 19 වැනි දින ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම පද්ධතියක්‌ ප්‍රකාශයට පත් කරන ලදි. එය ලෝකයේ 39 වැන්නයි. මේ වාසනාවට හිමිකම් කියන්නේ වියළි කලාපය පුරාවට විහිදී ඇති වැව් පොකුරු හෙවත් වැව් එල්ලංගා පද්ධති වේ. අද බොහෝ දෙනකුගේ කතා බහට ලක්‌ වන ලෝක උරුමයක්‌ වූ වැව් එල්ලංගා පද්ධති ගැන සටහනක්‌ තැබීම ඉතා ම කාලෝචිත කටයුත්තක්‌ ලෙස හැඟෙන බැවින් ඒ පිළිබඳ ඉතා ම කෙටි සටහනක්‌ ගෙන එමි.

ශ්‍රී ලංකාවේ කුඩා ග්‍රාමීය වැව් 14,200ක්‌ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. මෙයින් සියයට 80ක්‌ පවතින්නේ වැව් පොකුරු හෙවත් එල්ලංගා පද්ධති ලෙසට ය. මෙවැනි එල්ලංගා පද්ධති 1,262ක්‌ හඳුනාගෙන ඇත.

ගසක අතු බෙදී යන පරිද්දෙන් වියළි කලාපයේ රැළි සහිත භූ රූපණයේ ස්‌වාභාවික ජල මං සැකසී ඇති නිසාවෙන් ඒවා හරස්‌ කොට වැව් බැඳි විට නිර්මාණය වන වැව් පොකුරු එක්‌ පද්ධතියකට ගොනු කොට සැලකිය හැකි වේ. ජලය ඉහළ සිට පහළට වැවෙන් වැවට ගලා යන විට ඒ අතර අස්‌වද්දා ඇති වෙල් යායන් ද පෝෂණය කරමින් භූගත ජල සම්පත ද පොහොසත් කරමින් ගහකොළ සතා සීපාවා ද සනසමින් තවත් ඉතිරි වන්නේ නම් පහළ ඉදි කොට ඇති මහා වැව් දක්‌වා ඇදී යයි. ප්‍රකට භූගෝල විද්‍යාඥ මහාචාර්ය සී. එම්. එම්. මද්දුම බණ්‌ඩාරයන් විසින් මේ වැව් පද්ධති ඒබන (cascade systems) ලෙස 1985 දී නම් කරන ලද අතර වියළි කලාපීය ජල සම්පත් පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් විසින් මෑතක දී සිංහලෙන් වැව් එල්ලංගා පද්ධති ලෙස නම් කරනු ලැබී ය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ප්‍රධාන වැව් එල්ලංගා පද්ධති කලාප තුනක්‌ හඳුනාගත හැකි ය. එනම් උතුරු උතුරුමැද කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධතිවලින් සියයට 90ක්‌ ම මේ කලාප තුනට අයිති වේ.

එල්ලංගා පද්ධතිsයක්‌ යනු කුඹුරට වාරිජලය සපයන වැව් පොකුරක්‌ පමණක්‌ ම නො වේ. වියළි කලාපීය සාම්ප්‍රදායික සමාජීය, සංස්‌කෘතිකමය සහ පාරිසරික අංග මැනැවින් සුසංයෝජනය වූ මිනිසාගේ ඕනෑ එපාකම් සපුරාලීමට සැදී පැහැදී සිටින සොබාදහමේ අණපනත්වලට අනුකූල ව විකාශනය වූ පද්ධතියකි. වාරිජලය සැපයීමට අමතර ව විශේෂ වූත්, අත්‍යවශ්‍ය වූත් පාරිසරික සේවාවන් රාශියක්‌ එල්ලංගා පද්ධතියක්‌ මගින් සැපයේ. වැව් ආශ්‍රිත ප්‍රජාවට ආහාර සැපයීම (මත්ස්‍යයන්, පලා, අල වර්ග, පලතුරු ආදිය), ගෘහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම (පන්, මල්, නෙලුම් කොළ ආදිය) සහ සතුන් හා ශාකවලට උචිත වාසභූමි සැලසීම එල්ලංගා පද්ධතිවලින් සැපයෙන පාරිසරික සේවාවන් ගෙන් කිහිපයකි. එසේ ම එල්ලංගා පද්ධති යනු ජල ගැලීම් සහ නියං තත්ත්ව යන දෙකට ම ඔරොත්තු දීමට උපකාරී වන සුවිශේෂී වූ පාරිසරික ක්‍රමෝපායකි. භූමිය මතුපිට ජලය ගලා යැම පාලනය කිරීම, භූගත ජලය ප්‍රතිස්‌ථාපනය කිරීම, සහ එල්ලංගා පද්ධතියේ විවිධ වූ කොටස්‌ හරහා ජලය ගලා යැමේ දී ජලය පිරිපහදු කිරීම එල්ලංගා පද්ධති විසින් සිදු කෙරෙන තවත් පාරිසරික සේවාවන් ගොන්නකි. මීට අමතර ව එල්ලංගා පද්ධතියක්‌ තුළින් නිර්මාණය වන සෞම්‍ය වූ දේශගුණය වියළි කලාපීය පරිසරයට සුවයක්‌ සහ අලංකාරයක්‌ එක්‌ කරයි.

ඉහතින් දැක්‌වූ කරුණු සැලකිල්ලට ගනිමින් වැව් එල්ලංගා පද්ධති සඳහා පහත දැක්‌වෙන නව අර්ථකථනය ලබා දිය හැකි ය.

වැව් එල්ලංගා පද්ධතියක්‌ යනු තිරසර පදනමක්‌ මත මානවයාගේ මැදිහත් වීමෙන්, ජලය, පස, වාතය සහ වෘක්‍ෂලතාදිය මගින් මානව, ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරමින්, වියළි කලාපීය භූරූපණයේ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රදේශ තුළ සංවිධානය වූ භූමි හා ජල සම්පත්වලින් හෙබි පාරිසරික පද්ධතියකි.

වැව් එල්ලංගා පද්ධතියක රූප සටහනක්‌

වියළි කලාපයේ කුඩා වැව් එල්ලංගා පද්ධතියේ තිරසාර පැවැත්ම හේතුවෙන් කලින් කලට සිදු වූ පරිසර ව්‍යසනයන් ගෙන් ජනයා ආරක්‌ෂා වී ඇත. කෙටිකාලීන නියගයන්ට ඔරොත්තු දීමේ හැකියාව එම සාම්ප්‍රදායික ජන සමාජය තුළ වර්ධනය වී තිබිණි. එපමණක්‌ නො ව සාමාන්‍ය වසරක සිදු වන වැහි පල රටාවට ද ඔවුන්ගේ ගොවිතැන් ක්‍රම අවදානම අවම වන සේ අනුගත කොට තිබිණි.

සාම්ප්‍රදායික ගොවිතැනේ සහ එහි එතී ඇති ගොවි සංස්‌කෘතියෙහි සියවස්‌ ගණනක්‌ තිස්‌සේ විකාශනය වෙමින් පැවැත ආ දේශීය දැනුම හුදු භෞතිකවාදී තාක්‍ෂණයක්‌ ම නො වේ. එය ආගමික හා ආධ්‍යාත්මික මූලයන් ගෙන් නිපන් අන්තරීක්‍ෂ බලපෑම් හා ස්‌වාභාවික සංසිද්ධි එකට කැටි කොටගෙන දිගුකාලීන කටුක අත්දැකීම්වලින් පන්නරය ලැබූ ඥාන සම්භාරයක සම්මිශ්‍රණයකි. සොබාදහමේ නීති, මූලධර්ම හා සංසිද්ධි අනුව යැම මේ ඥානයේ සුවිශේෂී ලක්‌ෂණය වේ. ස්‌වාභාවික ක්‍ෂණික සිදුවීම්වල කම්පනයට ඔරොත්තු දෙමින් දේශගුණික විපර්යාසවල කටුකත්වයට මුහුණ දෙමින් පැවැතගෙන ආ මේ මානව පද්ධතීන්ගේ පරිසරාත්මක ගැළපීම සහ තිරසාරත්වය පිටුපස තිබූ ජීව ගුණය එයයි.

ඔවුන්ගේ ගොවිතැන් රටාව ආහාර සුරක්‌ෂිතතාවට ම කැප වූවකි. මූලිකව වැවේ ජලයෙන් වී ගොවිතැන ද අහස්‌ දියෙන් හේන් ගොවිතැන ද ගංගොඩ වටා කෙරෙන එළවළු හා පලතුරු වගාව ද වශයෙන් තුන්පත් ගොවිතැන් රටාවකට ඔවුහු හුරු වී සිටිති. සැප්තැම්බරයේ අතුරු මෝසමෙන් වැඩි වැසි ලැබුණ හොත් අගෝස්‌තුවේ ගිනි ලා තිබූ හේනේ ධාන්‍ය භෝග වපුරන්නේ දැඩි අධිෂ්ඨානශීලී ව ය. දෙසැම්බර් මාසයෙන් පසු එතරම් වැසි නො ලැබෙතැයි ඉවක්‌ ඔවුන්ට ඇති වේ. මේ අනුව කුඹුරෙහි වී ගොවිතැනට එතරම් ජලය නො ලැබෙන බැවින් අගල් පෙළ පමණක්‌ වගා කරන්නට ඔවුනට සිදු විය හැකි ය.

අන්තර් මෝසම් වැසි පමා වුව හොත් ඉදිරි මාසවල දී වැසි හොඳින් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් වී ගොවිතැන කැකුළමට කෙරිණි. මේ නිසා මුළු යාය ම වගා කිරීමට ඔවුන්ට හැකි වේ. වැසි ඵල කෙසේ වුව ද ගංගොඩ වටා එළවළු වගා කිරීම සාර්ථක ව සිදු වේ. එයට හේතුව මේ ප්‍රදේශයේ තෙතමනය දිගු කලක්‌ රැඳී තිබීමයි.

දෙසැම්බරයේ පටන් මෝසම් වැසි අධික ලෙස ඇදහැළුණ හොත් හේන් ගොවිතැනෙහි සමහර බෝග විනාශ වී යා හැකි ය. එහෙත් එම විනාශයත් සමග ම කුඹුරේ දෙවැනි වී ගොවිතැනට බලාපොරොත්තු ලියලන්නේ ගොයම් පැහෙන පෙබරවාරියේ ද වැව ජලයෙන් පිරී පවතින බැවිනි.

වැව ගමේ හදවත බඳු ය. වැව අබල දුබල වුව හොත් ඔවුන්ගේ ජීවිත අනතුරේ ය. එබැවින් වැව නිරන්තරයෙන් අඩුලුහුඬු මකා පිරියම් කෙරිණි. වැව වටා ඇති පරිසර කොටස්‌ විනාශ නො කොට රැක බලා ගැනිණි. මෙසේ හෙයින් වැවට පිරිසිදු ජලය ගලා එයි. ජලයේ වාෂ්පීකරණය අඩු ය. කාන්දුව අඩු ය. වැවේ විවිධ මත්ස්‍ය ප්‍රජාවන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරය ඇති වේ. ඔවුන් ආහාරය සඳහා වැවෙන් ලබාගන්නේ මත්ස්‍යයන් පමණක්‌ නො වේ. විවිධ පැළෑටිවල විවිධ කොටස්‌ ආහාරයට ගන්නා ලදි. මේ නිසා ගමේ වැවක කාර්යභාරය අතිමහත් ය. වැව අතහැර දැමීම නියගයට අත වැනීමකි.

මෙවැනි සමාජ-පාරිසරික අංගයන් ගෙන් සමන්විතව පාරිසරික සේවාවන් රාශියක්‌ සැපයුව ද කාලයත් සමග එල්ලංගා පද්ධති පරිහානියට පත් ව ඇත. පුරාණයේ සිට සාම්ප්‍රදායික ව සමෘද්ධිමත් ව පැවත ආ එල්ලංගා පද්ධතිවල තිබූ කුඩා වාරි පද්ධතිවලට නම් සිදු වූ අපරාධය කියා නිම කළ නොහැකි ය. පසුගිය දශක කිහිපය පුරාවට කුඩා වැව් ප්‍රතිසංස්‌කරණය සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ වැය කොට ඇත. මහා වාරි ප්‍රදේශ ඇතුළේ සිර වුණු සියලු ම කුඩා වැව් නැවත නූපදින්නට ම මරා දමන ලද්දේ සිත් පිත් නැත්තන් සේ ය. අනෙකුත් තැන්වල වැව් පුනරුත්ථාපනය කරන ලද්දේ එම පද්ධතිවල ජල විද්‍යාත්මක මූලධර්ම හෝ වටපිටාව හෝ සැලකිල්ලට ගෙන නො වේ. රොන්මඩවලින් පිරී තිබුණු බොහෝ වැව්වල ධාරිතාව අඩු වී තිබිණි. එය වැඩි කරගැනීම සඳහා වාන සහ වැව් බැම්ම ඔසවා පුනරුත්ථාපනය කරන ලදි. ගොවීන්ගේ ඉල්ලීම් නිසා ම වාන ඉස්‌සූ අවස්‌ථා ද ඇත. වෙනත් වැව් පද්ධතියක්‌ පෝෂණය කරන ජල මගක්‌ හරවා වැවකට ජලය ලබා දුන් අවස්‌ථා ද ඇත. වැව් පිහිටා තිබුණේ පද්ධති වශයෙන් වුවත් වැවක්‌ සැලසුම් කළේ ද පුනරුත්ථාපනය කළේ ද ස්‌වාධීන වැවක්‌ යෑයි සිතාගෙන ය. රොන්මඩ පිරුණු වැව්වල වාන ඉස්‌සීමෙන් නො ගැඹුරු ජලස්‌කන්ධය ඉහතට විසිරී පැතිරී ඉහත්තාවේ පිහිටි කුඹුරු යට වීම ද, වැව් පිටියේ ඉහත්තාවේ සෑදුණු දියලු බිම් කිවුල් වීම ද, ගස්‌ ගොම්මන, පෙරහන වැනි පෙදෙස්‌ අතුරුදන් වීම ද, නොගැඹුරු දියේ මත්ස්‍ය ප්‍රජාව විනාශ වීම ද මේ සියල්ලට ම වඩා එක්‌ රැස්‌ වූ ජලය ශීඝ්‍රයෙන් හානි වී යැම ද සිදු විය.

මේ පරිහානිය ඓතිහාසික හා ආයතනික හේතු ඇතුළු විවිධ හේතූන් මත ඇති වූ ප්‍රතිඵලයකි. එබැවින් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික අංශය, ප්‍රජාමූල සංවිධාන සහ රාජ්‍ය නො වන සංවිධාන ඇතුළු බොහෝ ආයතන විසින් එල්ලංගා පද්ධති ප්‍රතිසංස්‌කරණය සඳහා ප්‍රයත්න රාශියක්‌ මෑත ඉතිහාසය තුළ සිදු කරනු ලැබ ඇත. එවන් ප්‍රයත්නයන් බොහොමයක දී ම එල්ලංගා පද්ධතියක්‌ සමන්විත වන විවිධ වූ පාරිසරික අංගෝපාංගයන් පිළිබඳව හෝ එල්ලංගා පද්ධතියක ඇති ජල විද්‍යාත්මක පසුබිම හෝ සැලකිල්ලට නො ගනිමින් එල්ලංගා පද්ධතියේ කුඩා වැව් තනි තනි ව ප්‍රතිසංස්‌කරණය කර ඇත. එල්ලංගා පද්ධතියේ පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන මේ සුවිශේෂී වූ පාරිසරික අංගෝපාංගයන් ප්‍රතිස්‌ථාපන ක්‍රියාවලිය තුළ සම්පූර්ණයෙන් ම නො සලකා හැරීම එල්ලංගා පද්ධති තවදුරටත් පරිහානියට පත් වීමට හේතු වී ඇත.

කෘෂිකර්ම සහ ජල කළමනාකරණ ජාතික උපදේශක, රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය

ආචාර්ය පී. බී. ධර්මසේන