logo3.gif (702 bytes)

HOME


නූතන හා පුරාණ වාරි පද්ධතිවල පරිසරානුගත වීම පිළිබදව වික්‌ටෝරියා ජලාශය හා මින්නේරිය මහවැව ආශ්‍රිත සංසන්දනාත්මක විමසුමක්‌

බොහොමයක්‌ රටවල පුරාණ සංවර්ධන කාර්යයන් පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර හෝ භෞතික ස්‌වරූපයන් හෝ දක්‌නට නොමැති අතර ශ්‍රී ලංකාවේ සියවස්‌ විස්‌සක පමණ පුරාණ සංවර්ධන කාර්යයන්වල ගරාවැටුණ හෝ නැවත තහවුරු කරන ලද හෝ භෞතික ස්‌වරූපයක්‌ හා පැහැදිලි ලිත මූලාශ්‍ර දක්‌නට ලැබේ. විශේෂයෙන් ම වැව් අමුණු ආදි වාරි කර්මාන්ත හා බැඳුණු නිර්මාණවල භෞතික ස්‌වරූප රාශියක්‌ පහත රට වියළි කලාපය තුළ විසිරී පවතින අතර ඒවා ඉතා දිගු කාලයක්‌ පැවතීම සදහා වූ කුමන හෝ සාධක ගණනාවක බලපෑම් සිදු වී ඇති බව සිතිය හැකි ය.

ලිත ඉතිහාසයේ සදහන් වන පරිදි කි.ව. 275 සිට ක්‍රි.ව. 301 දක්‌වා රජ කළ මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ දී නිර්මාණය කරන ලද මින්නේරිය මහ වැව ශ්‍රී ලංකාවේ පවතින සුවිශේෂී වාරි නිර්මාණයක්‌ වේ.

වී නිෂ්පාදනය ප්‍රමුඛ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම මූලික අරමුණ ලෙස ද, විදුලිබල නිෂ්පාදනය, මිරිදිය ධීවර කර්මාන්තය යන ආදිය අතුරු අරමුණු ලෙස ද සලකා පසුගිය සියවසේ 80-90 දශකවල දී ක්‍රියාත්මක කරන ලද කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ එක්‌ ප්‍රධාන ජලාශයක්‌ වූයේ වික්‌ටෝරියා ජලාශයයි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වර්ග කිලෝමීටර් 22ක ජලාශ වපසරියක්‌ සහිත, ඝන මීටර් මිලියන 700ක ජල ධාරිතාවකින් යුත් මීටර් 120ක්‌ උස ප්‍රධාන කොන්ක්‍රිට්‌ වේල්ලකින් මේ ජලාශය සමන්විත ය. ඉහත සදහන් මින්නේරිය මහ වැව හා වික්‌ටෝරියා ජලාශය පරිසරානුගත වීම පිළිබදව සන්සංදනයක්‌ සිදු කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වේ.

පරිසරයේ ජෛවගතික ස්‌වභාවය පවත්වාගැනීම සදහා වැදගත් වන පරිසරයේ චක්‍රීයතාව පස මූලික කර ක්‍රියාත්මක වේ. වර්තමාන ජලාශ ඉදි කිරීමේ සංකල්පමය අවස්‌ථාවේ දී ම 'මහා පරිමාණ' ස්‌වභාවය මෙන්ම ගැඹුරු ජල කදක්‌ රදවා තැබීමට සැලසුම් කළ යුතු නිසා ඉහත කී චක්‍රීයතාව බිද දැමීමට කටයුතු සැලසේ. තව ද නිරතුරු ව ම ගලන ජලය සහිත එකිනෙකට වෙනස්‌ පරිසර පද්ධති රාශියක්‌ පෝෂණය කරන ගංගා බැමි මගින් හරස්‌ කිරීම නිසා පහළ නිම්න ප්‍රදේශ දිගු කාලීන වියළීම්වලට ලක්‌ වීමෙන් අදාළ පරිසර පද්ධති හායනය මෙන් ම විනාශ වීම ද සිදු වේ. මේ තුළින් පරිසරයේ චක්‍රීයතාවට බාධා පැමිණේ.

පුරාණ කාලයේ මහ වැවක්‌ නිර්මාණය කිරීමේ සංකල්පය තුළ අඩංගු වන්නේ කාලීනව සිදී යැම් සහිත ජල පහරක වැවක ජ්‍යාමිතික හැඩය ලබාගත හැකි පහසු ම ස්‌ථානයේ දී අවම වෙනසක්‌ සිදු කිරීම මගින් වර්තමාන ජලාශයකට සාපේක්‍ෂ ව මහා පරිමාණ නො වන ජලය රදවන ව්‍යqහයක්‌ සකස්‌ කිරීමයි. බොහෝ විට ස්‌වාභාවික ජල පහර වෙනුවට එම ජල පහරේ වේල්ලක්‌ යොදා ජලය ලබාගත් ඇළ මාර්ගයක්‌ හරස්‌ කර මහවැව තැනීම සිදු කර ඇත්තේ වැවට අවසාධිත ගලා ඒම අවම කිරීම මඟින් වැවේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීම පිණිස ය. වැවෙන් පහළ ප්‍රදේශයට සොරොව් මගින් නිරතුරු ව ම පිට කරන ජලය ද වරින් වර වැවේ වාන මගින් පිට කරන ජලය ද ලැබෙන අතර එමගින් මේ පද්ධතියේ ජෛවගතික ස්‌වභාවය තවදුරටත් වර්ධනය කර චක්‍රියතාව ද පවත්වාගැනීමට හැකි වේ. මේ අනුව මහ වැව වර්තමාන ජලාශයට වඩා සංකල්පමය අවස්‌ථාවේ සිට ම පරිසරානුගත වීම අතින් ඉතා ඉහළ ස්‌ථානයක ඇත.

කඩිනම් මහවැලි ව්‍යාපාරය තාක්‌ෂණික ශිල්ප ක්‍රම සහිත ව සැලසුම් කිරීමේ දී සමීක්‌ෂණවලින් යෝජිත වේලි හා අනෙකුත් වාරි ව්‍යqහ ගොඩනැඟීම කළ යුතු ස්‌ථාන පිළිබඳ භූමි පරීක්‌ෂාවල දී එම ස්‌ථාන සියල්ලේ ම පාහේ පැරැණි වාරි නිර්මාණවල නටබුන් දක්‌නට ලැබී ඇත. මෙයින් පැහැදිලි වන්නේ පුරාණ කාලයේ දී ද එම වාරි ව්‍යqහ නිර්මාණය සඳහා යම් කිසි උසස්‌ තාක්‌ෂණික ශිල්ප ක්‍රම භාවිත කර ඇති බවයි.

පුරාණ කාලයේ භූමි භාවිතයේ එක්‌ ප්‍රධාන ලක්‌ෂණයක්‌ වූයේ රටේ කදුකරය නොඉඳුල් වනාන්තරවලින් පෝෂණය කර තැනිතලාව ආහාර නිෂ්පාදනය, නිවාස ඉදිකිරීම් ආදි ජනතාවගේ අවශ්‍යතාවන් සදහා යොදාගැනීමයි. කදුකර ප්‍රදේශවල බෑවුම් වැනි භූමි විෂමතාවන් නිසා ද, පාංශු ස්‌ථරවල ඝනකම, ස්‌ථායිතාව වැනි පාංශු භෞතික ගුණාංග තැනිතලාවට වඩා අවම අගයක පවතින නිසා ද, පාංශු ඛාදන විභවය අධිකතර නිසා ද, කඳුකරයේ නිර්මාණය කරන ලද ජලාශවල ගබඩා කරන ලද ජලයේ විභව ශක්‌තිය වැඩි අගයක පවතින නිසා ද, භූ චලන ආදී ස්‌වාභාවික ආපදාවක දී සිදු විය හැකි හානිය ඉතා ම ඉහළ අගයක පවතින නිසා ද පුරාණ කාලවල දී කදුකර ප්‍රදේශ සදහා සුදුසු ම භූමි භාවිතය ලෙස යොදාගෙන ඇත්තේ වනාන්තර ය.

ඉහත දක්‌වා ඇති සාධක අනුව වික්‌ටෝරියා ජලාශයේ උච්චත්වයට සාපේක්‌ෂව අඩු අගයක පිහිටි මින්නේරිය මහවැව ඒවාට අදාළ පරිසරයට අනුගත වීම මෙන්ම ස්‌වාභාවික ආපදාවක දී අවට පරිසරයට ඇති කරන බලපෑම අවම කිරීම අතින් ප්‍රශස්‌ථ මට්‌ටමක්‌ දක්‌වා දිවෙන අතර පරිසරානුගත වීම අතින් ද ඉහළ ස්‌ථානයක පවතියි.

දැනට පවතින ඓතිහාසික තොරතුරුවලට අනුව පුරාතන වැවක්‌ නිර්මාණය කිරීමේ දී සාපේක්‍ෂ ව විශාල වපසරියක වියළි කාලයක දී පවා ජලය රැෙදන, ජල පහරවල් අනුව වැවක ජ්‍යාමිතික හැඩය පහසුවෙන් ලබාගත හැකි භූ දර්ශනයක්‌ සහිත පහත් බිමක්‌ වැව නිර්මාණය සදහා තෝරාගෙන ඇත. ඉන් පසු වැවේ ගැඹුර පවත්වාගැනීම සදහා වැව් පත්ලෙන් ම හාරාගන්නා ලද පස්‌ අවම ප්‍රමාණයක්‌ හා වැව් බැම්ම ශක්‌තිමත් කිරීම සදහා අවශ්‍ය මැටි හා අනෙකුත් විශේෂිත මැටි වර්ග පමණක්‌ පිටතින් ලබාගෙන වැව නිර්මාණය කර ඇත. වර්තමාන මහා ජලාශ නිර්මාණයේ දී කොන්ක්‍රිට්‌ ආදි අමතර ද්‍රව්‍ය අදාළ පරිසරයට එකතු කරන අතර ඉදිකිරීම් අපද්‍රව්‍ය ද පරිසරයට එකතු වෙයි. තව ද යන්ත්‍ර සූත්‍ර හා අනෙකුත් ඉදිකිරීම් කාර්යවල අධික ශබ්දය, දෙදරීම නිසා හා ඒවායින් ඇති වන පාංශු හා වායු දූෂණය ඒවාට සංවේදී ජීවීන් එම පරිසරයෙන් ඉවත් වීම ද සිදු වෙයි. ඉහත කරුණු අනුව මහා ජලාශයක්‌ නිර්මාණය කිරීමේ දී අදාළ පරිසරය විශාල ලෙස වෙනස්‌ කරන නිසා ද, අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ පිටතින් එම පරිසරයට එකතු කරන නිසා ද, යන්ත්‍ර සූත්‍ර ආදිය මගින් අදාළ පරිසරයට සැලකිය යුතු බලපෑමක්‌ ඇති කරන නිසා ද මහා වැවක්‌ නිර්මාණය කරවීමට සාපේක්‌ෂ ව පරිසරානුගත වීම ඉතා ම පහත් අගයක පවතී.

වර්තමාන ජලාශ නිර්මාණය කිරීමේ දී තිරසාර නො වන ආකාරයට කළුගල් පිපිරවීම ආදිය සිදු කිරීම නිසා එම පරිසරයට සිදු වන බලපෑම ඉතා ඉහළ අගයක පවතී. ගල් පිපිරවීම නිසා සිදු වන ශබ්ද දූෂණය හා දෙදරීම නිසා සතුන් එම පරිසරයෙන් පලා යැම හා මිය යැම, අඩු ඝනකමින් යුත් පාංශු ස්‌තර ගැඹුරු මවු පාෂාණයෙන් වෙන් වීම හා ඒ නිසා ම පාංශු ඛාදනය, නාය යැම් ආදිය ද ප්‍රවර්ධනය වීම වැනි බලපෑම් ජලාශය නිර්මාණය වන පරිසරයට සිදු වේ. මේ නිසා ජලාශය ගොඩනඟන අවස්‌ථාවේ දී ම එය පරිසරානුගත වීම දුර්වල කිරීමට මඟපාදයි.

දැනට පවතින ඓතිහාසික ලේඛනවලින් හුවා දක්‌වන ආකාරයට වැව් බැම්මේ හා පත්ලේ පස්‌ සුසංහනය කිරීම සදහා විශාල ශරීර බර සහිත අලි ඇතුන් ආදිය ද, කුර සහිත ගවයන්, මී ගවයන් ආදිය යොදාගෙන ඇත. පැරැණි මහා වැව් නිර්මාණය කිරීම ශක්‌තිවන්ත බර වැඩි අලි ඇතුන් ආදි සතුන් ගෙන් ද, පරිසරයෙන් ලබාගන්නා ලී දඬු වැනි ද්‍රව්‍ය මඟින් පිළියෙල කරගත් පරිසර හිතකාමී, ලීවර වැනි සරල යන්ත්‍ර මඟින් ද සිදු කර ඇත. පසට පරිසරයට සිදු වන බලපෑම් අවම මට්‌ටමක පවත්වාගනිමින් පරිසරය සැලකිය යුතු මට්‌ටමකින් වෙනස්‌ නො කර අවම බලපෑම් සහිත ව එම මහා වැව් ගොඩනඟන අවස්‌ථාවේ සිට ම පරිසරයට එකඟතාවක්‌ සහිත ව පරිසරානුගත වීමක්‌ සිදු කර ඇත.

වික්‌ටෝරියා ජලාශයේ වාන් දොරටුව ඉතා ම උසින් පිහිටා ඇති අතර ඒවාට සාපේක්‍ෂ ව මින්නේරිය මහ වැවෙහි වාන ඉතා ම පහත් මට්‌ටමකින් පිහිටා ඇත. වැව හොදින් වාන් දමන විට වැවේ සිට වාන උඩින් ජලය පහළ ප්‍රදේශයට අඛණ්‌ඩ කෙටි ජල ප්‍රවාහයක්‌ ලෙස පැවතීම නිසා මත්ස්‍ය ඉනිමගක්‌ (Fish ladder) ලෙස ක්‍රියා කිරීම තුළින් මිරිදියේ ජීවත් වන යම් ජීව ක්‍රියාවලියක්‌ සදහා අත්‍යවශ්‍යයෙන් ම කරදියට ගමන් කළ යුතු ආදා වැනි මත්ස්‍යයන්ට නැවත වරක්‌ වැවට ප්‍රවේශ වීමට අවස්‌ථාව සැලසීම මගින් එම සුවිශේෂී ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර එම ජීවීන් සදහා වැව පරිසරානුගත වීමකට පත් වෙයි. මෙයට අමතර ව වියළි කලාපීය මහ වැව් එකිනෙක හා සම්බන්ධ නිසා ද අදාළ පද්ධතිය අවසානයේ දී ගගක්‌ හෝ ඔයක්‌ හෝ මගින්, මුහුදට සම්බන්ධ වීම හා වැව්වලින් පිට වන ජලය ලබාගැනීම වැව්වලට ජලය ලබා දීම යන ක්‍රියාවලි දෙක ම සිදු කරන නිසා ද ආදා වැනි මත්ස්‍යයන්ට යෝධ ඇළවල් හරහා නැවතත් වැව්වලට ප්‍රවේශ වීමේ අවස්‌ථාව සැලසී ඇත.

වික්‌ටෝරියා ඇතුළු වර්තමන ජලාශ සියල්ල ම පාහේ පැති ගැඹුර අධික අනතියක්‌ සහිත බේසමක ආකාරයට පවතින අතර තැනිතලා පෝෂක ප්‍රදේශයක්‌ සාමාන්‍යයෙන් දක්‌නට නො ලැබේ. මේ නිසා වන සතුන්ට උලා කෑම සදහා ජලාශයට අයත් තැනිතලා බිම් ඉතා ම අඩු ය. එහෙත් මින්නේරිය මහවැව වැනි වැව්වල පිටාර මට්‌ටමෙන් ඉහළ පිහිටි විශාල තෘණ බිම් සහිත පෝෂක ප්‍රදේශ ඇත. තව ද ජලාශය සිදී යන විට ජලාශයක එක ම ස්‌ථානයක හෝ කුඩා ප්‍රදේශයක හෝ ජල මට්‌ටම අඩු වන අතර මහවැවේ ජල මට්‌ටම අඩු වන විට සාපේක්‍ෂ ව විශාල ප්‍රදේශයක තැනිතලා භූමි මතු වීම මගින් තණ පිටි වර්ධනය වීම සිදු වේ. මේ නිසා මහ වැවක්‌ අවට ජීවත් වන ජීවීන් පෝෂණය සඳහා මනා ලෙස පරිසරානුගත වී ඇති බව පෙන්වා දිය හැකි ය.

වික්‌ටෝරියා ජලාශය සිඳී යැමේ දී එහි වැඩි කොටසක ආක්‍රමණකාරී ශාකයක්‌ වන යෝධ නිදිකුම්බා පැතිරෙන අතර එයින් සතුන්ට ජලාශයට ප්‍රවේශ වීම ද අඩපණ කරයි. ඉදිරියේ දී මේ ශාක ගහණය වඳ කිරීම අපහසු කාර්යයක්‌ කරවීම සඳහා බීජ ලක්‌ෂ ගණනක්‌ ජලාශ පත්ලේ තැන්පත් කරයි.

ජලාශ ආසන්නයේ පදිංචිකරුවන්ට දිගු කාලයක්‌ තම සංස්‌කෘතිය, උරුමය හා ආගමික සදාචාරය ගොඩනැඟූ තෙල්දෙණිය නගරයේ නටබුන් දැකීමෙන් මහත් වූ ගෞරවයක්‌ හටගැනීම තුළින් ජලාශය පිළිබඳ ජනතාවගේ අකැමැත්ත නැවත නැවත ඉස්‌මතු වේ.

මින්නේරිය මහා වැව ඇතුළු මහා වැව් රාශියක්‌ ආධ්‍යාත්මිකව දේව සංකල්ප මඟින් ආරක්‌ෂා කිරීම සිදු කර ඇත. මින්නේරිය මහා වැව නිර්මාණය කළ මහසෙන් රජතුමාගේ දේවාත්මය මින්නේරි දෙවියන් ලෙස ජනතාව හඳුන්වන අතර දේවාලයක්‌ වැව් බැම්ම මත ඉදි කර ඇත. මේ වැව ආශ්‍රිත දේවාලය මඟින් අවට ගම්වැසියන්ගේ යම් යම් අවශ්‍යතාවන් ආධ්‍යාත්මික ව ඉටු කර දෙන අතර වැවේ ආරක්‌ෂාව සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයන් ලබාගැනීම ද ප්‍රවර්ධනය කර ඇත.

දේවාලයේ දේව යාතිකා හා වාදන හඬ අවට ජනතාව හා වැවේ සිරි නරඹන ජනතාවට යම් කිසි ආධ්‍යාත්මක වින්දනයක්‌ ලබා දෙන අතර වැවේ තිරසාර පැවැත්ම සඳහා ජනතාවගේ ආකල්ප සකස්‌ කිරීම හා ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්‌ ලෙස වැව, ජනතාවට ඒකාබද්ධ කර ඇත. වික්‌ටෝරියා ජලාශය පිළිබඳ ව සැලකූ විට එය කොන්ක්‍රීට්‌ ව්‍යqහයක්‌ ලෙස අවට පරිසරයෙන් හා ජනතාව ගෙන් වෙන් කළ භෞතික නිර්මාණයක්‌ ලෙස පවතින බව කිව හැකි ය.

වික්‌ටෝරියා ජලාශයේ බැම්ම පොදු ප්‍රවාහනය සඳහා සම්පූර්ණයෙන් ම විවෘත කර නොමැත. විවෘත කරන වේලාවල් පවා සීමා කර ඇත. තව ද මහවැව් ස්‌නානය කිරීම, රෙදි සේදීම, පිහිනීම ආදි කටයුතු සඳහා විවෘත කෙරෙන අතර වික්‌ටෝරියා ජලාශයේ මේ කාර්යයන් තහනම් කර ඇත. තව ද මින්නේරිය මහවැව බැම්මේ සිට ඕනෑ ම කෙනකුට එය දර්ශනීය සම්පතක්‌ ලෙස ආස්‌වාදය ලබාගත හැකි අතර වික්‌ටෝරියා ජලාශයේ මේ කාර්යය, අවසර ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ තුළ නැරඹුම් ස්‌ථානයක දී නිශ්චිත කාලපරිච්ඡේදයක දී පමණක්‌ සිදු කළ හැකි ය. මේ කරුණු හේතු කොටගෙන මින්නේරිය මහවැව ජනතාව හා බැඳුණු ජනතාවගේ පොදු භෞතික සම්පතක්‌ වන අතර වික්‌ටෝරියා ජලාශය ජනතාව ගෙන් ඈත් වූ ජනශූන්‍ය හුදකලා කොන්ක්‍රිට්‌ නිර්මාණයක්‌ බවට පත් වී ඇත.

වික්‌ටෝරියා ජලාශයේ බොහොමයක්‌ පෝෂක ප්‍රදේශ පයිනස්‌, ඉයුකලිටස්‌ වැනි ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ස්‌ථායිතාව සදහා එතරම් සුදුසු නො වන ශාක ප්‍රජාවක්‌ දක්‌නට ලැබෙන අතර මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා හාත්පස සෝදාපාළුවට ලක්‌ වූ බිම් ආදිය ද දක්‌නට ලැබේ. මින්නේරිය මහවැව උත්ස්‌වේදනය අඩු කරන ඉතා කුඩා ශාක පත්‍ර සහිත ගස්‌ කොළන්වලින් සමන්විත පෝෂක ප්‍රදේශ ඇති අතර වැවේ වාෂ්පීකරණය අඩු කරන හා ජලජ සතුන්ගේ අභිජනන භූමියක්‌ ලෙස ක්‍රියාත්මක වන ගස්‌ ගොම්මන මගින් ද වැවේ රොන් මඩ රදවනයක්‌ ලෙස ක්‍රියාත්මක වන පෝටා වැටියකින් ද, වියළි කාලයට භූගත හා වැසි කාලයට රොන්මඩවලින් තොර ජල සැපයුම් ලබා දෙන කුළු වැව් පද්ධතියකින් ද සමන්විත වේ. මේ සංරචක වැවේ දිගු කල් පැවැත්ම හා තිරසාර ජල සැපයුම සහතික කර ස්‌වාභාවික ආපදා මගහැර පරිසරානුගත වී ඇති සුවිශේෂී ජලජ පද්ධතියක්‌ ලෙස ක්‍රියාත්මක කරවීමට උපකාරී වේ.

මින්නේරිය මහවැව හා වික්‌ටෝරියා ජලාශය මේ ලිපියෙන් සන්සන්දනය කළ ද ඒවා නිර්මාණය කරන ලද මූලික අරමුණුවල වෙනසක්‌ ඇති අතර, ආර්ථික වශයෙන් වික්‌ටෝරියා ජලාශයෙන් කෙටිකාලීන ප්‍රතිලාභ රාශියක්‌ ලබාගෙන ඇත. එහෙත් වික්‌ටෝරියා ජලාශය නිර්මාණය කිරීමේ දී පරිසරයට හා මානව සංහතියට සිදු වූ අහිතකර බලපෑම සාපේක්‌ෂ ව ඉතා ඉහළ ය. තව ද ස්‌වාභාවික ආපදා සමනය කිරීමේ හැකියාව, ව්‍යqහයේ අඩු ම ජීවන චක්‍ර වියදම හා උපරිම ලෙස පරිසරානුගත වීමේ අධික වටිනාකම ආදිය සැලකූ විට විස්‌තීර්ණය කරන ලද ප්‍රතිලාභ පිරිවැය අනුපාතය ඉතා ඉහළ අගයක්‌ විදහා දක්‌වන්නේ මින්නේරිය ජලාශයයි.

මින්නේරිය මහවැවේ, වැව් බැම්මේ සිට බලන විට පහළ නිම්නයේ ශාක හාත්පස පැතිරී ගිය නිල්වන් ගොයම ද එම කුඹුරුවලට මැදි වූ ගොඩලිවල පොල්, කොස්‌, අඹ ආදී වතු භෝගවලින් හෙබි නිවාස ගොඩනැගිලිවල පියස්‌ සමූහයෙන් ද වැව්කන්ද පාමුල උලා කන විවිධ වර්ණවල ගවයන් ගෙන් ද, මඩවලවල ලගින මී ගවයන් ගෙන් ද සමන්විත වන අතර දිගට හරහට සීරුවෙන් ගලන දිය පහරවලින් ද යුක්‌ත ය. වැව් බැම්මේ ඔබමොබ යන මිනිසුන් ගෙන් ද, තම පාපැදි සීරුවෙන් පැද යන පාපැදිකරුවන් ගෙන් ද, වැව් බැම්මේ රුක්‌සෙවණ යට කෙළිදෙලෙන් ගත කරන දේශීය සංචාරකයන් ගෙන් ද, කඩල, බඩඉරිගු ආදිය අලෙවි කරන්නන් ගෙන් ද, වැව් කන්ද පාමුල තෙප්පිළි, කොරළි, ලූලන් හා වැව් ඉස්‌සන් ආදිය අලෙවි කරන්නන් ගෙන් ද සමන්විත මේ පරිසරය සත්ත්ව හා මානව සංරචණයෙන් පිරුණු පරිසරයකි.

වෑකන්ද දේවාලයට මල්, පහන්, කපුරු, තෙල් ආදිය සහිත ව පැමිණෙන බැතිමතුන්ට මෙන්ම තම දුක්‌ ගැනවිලි සංහිදට ඉදිරිපත් කිරීමට පැමිණෙන අහිංසක පුරවැසියන්ට දේවාලයේ ස්‌තෝත්‍ර හා වාදනවලින් භක්‌තිය ප්‍රබෝධවත් කර ගැනීමට හා දුක තුනී කර ගැනීමට මගපෑදෙයි. මෙවැනි මානව ආධ්‍යාත්මික සබඳතා ඇති ප්‍රභාවත් පරිසරයක්‌ වික්‌ටෝරියා ජලාශ බැම්ම ආශ්‍රිත ව කිසි කලෙක දක්‌නට නොමැත.

වැකන්දේ රළපනාව මගින් වැව් කොමලියගේ ජල හිස පීරමින් සිටින අතර ජල රැළි අතර දියඹුං ගසා ස්‌නානය කරන ලදුන්, කොලු කුරුට්‌ටන් සමූහයක්‌ දැකගත හැකි ය. ඈත වැව් ඉස්‌මත්තේ ලොව දැනට සිටින සිරුරේ ප්‍රමාණයෙන් විශාල ම සත්ත්වයන් වන අලි ඇතුන් මෙන්ම අලි පැටවුන් 150ක පමණ අලි රෑනක්‌ ද දිස්‌ වේ. ඒ අතර ම වැව් ගොහොරුවක නිසොල්මනේ සිටින මී ගවයන් අවු රශ්මිය වළක්‌වාලීම සදහා හිස පමණක්‌ ජලයෙන් පිටට ගෙන ඔබ මොබ නෙත් යොමු කරන අතර විවිධ රටාවන් ඇති කරමින් වැව් අහසේ ගමන් කරන දියකාවෝ රාශියක්‌ එම පරිසරය චමත්කාරවත් කරති. පරිසරානුගත වීම හා ජන ජීවිතය සමග ඒකාබද්ධ වීම අතින් උත්කෘෂ්ඨ ස්‌ථානයක පවතින ඉපැරැණි මින්නේරිය මහවැව තව දිගු කාලයක්‌ පවතින මහගු ආකර්ෂණීය උරුම දායාදයකි.

ඉංජිනේරු

නිහාල් රූපසිංහ