logo3.gif (702 bytes)

HOME


දීර්ඝායුෂ පිළිබද මිථ්‍යා පොරොන්දු

ලොව ජීවත් වන හොද මානසිකත්වයක්‌ සහිත හැම මිනිසකුගේ ම බලාපොරොත්තුව ඉතා සුව පහසු දිවියක්‌, වැඩි ආයු කාලයක්‌ විදීමයි. මරණ දඩුවමට නියම වූ මිනිසකු පවා උත්සාහ ගත්තේ අභියාචනයක්‌ ඉදිරිපත් කොට හෝ තම ආයු කාලය දිනයකින් හෝ ඉදිරියට දිගු කරගන්නටයි. ජීවිත ආශාව යන මාතෘකාව සැලකු විට තරුණයකුට හෝ වයස්‌ගත අයකුට හෝ කියා වෙනසක්‌ නැත. කෙසේ වෙතත් වයස්‌ගත අය ජීවිතය දිගු කරන්නට විශේෂ වෙහසක්‌ දරති. එයට හේතුව ඔවුන්ගේ ගෙවූ කාලයට වඩා ඉදිරියට ගෙවන්නට ඇති කාලය සීමිත බැවිනි.

වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින රටක්‌ ලෙස ශ්‍රී ලංකාව වැඩිහිටි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටි. දැනට ලංකාවේ වැඩිහිටි ජනගහනය මිලියන 2.5ක්‌ පමණ වේ. සක්‍රිය සෞඛ්‍යසම්පන්න වැඩිහිටි දිවියක්‌ උරුම කර ගැනීමේ දී මේ වැඩිහිටියෝ විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙති. තම ශරීරය ලස්‌සනට පවත්වාගන්නේ කෙලෙස ද? ජීවිතය දිගු කරගන්නේ කෙලෙස ද? ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙලෙස ද? වැනි ප්‍රශ්න ඒ අතර වේ.

මේ ලිපියේ දී වැඩි අවධානය යොමු කෙරෙනුයේ දීර්ඝායුෂ හිමි කරගැනීම හා සක්‍රීය සෞඛ්‍යසම්බපන්න වැඩිහිටි දිවියක්‌ පවත්වාගෙන යැමේ දී අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක්‌ පිළිබඳව ය. ඒ, ආශිර්වාදයක මුහුණුවරින් පෙනී සිටින අහිතතකර හෝ කිසිදු ප්‍රයෝජනයක්‌ නැති ප්‍රතිකර්ම පිළිබඳ ව ය.

වැම්පයර් ක්‍රමයට දීර්ඝායුෂ ලැබීම

ඇමෙරිකාවේ නිව්යෝක්‌හි පිහිටි ඇම්බ්‍රොaසියා සමාගම පසුගිය සතියේ දී පැවසුවේ තව සති කීපයක්‌ ඇතුළත වයස්‌ගත වීමට තිත තබන රුධිර පාරවිලයන ප්‍රතිකාර තමන් අරඹන බව ය. බොහෝ දෙනා ඇම්බ්‍රොaසියා විසින් අරඹන්නට යන මේ නව ප්‍රතිකාර ක්‍රමය ගැන සැකයෙන් පසු වෙති. ඇතැමුන් එය හඳුන්වන්නේ වැම්පයර ප්‍රතිකාර ක්‍රමය ලෙස ය. එයට හේතුව මෙහි දී කෙරෙනුයේ තරුණ රුධිර ප්ලාස්‌ම වැඩිහිටියන්ට ලබා දීම වීමයි. මෙමඟින් අපේක්‌ෂා කෙරෙනුයේ වැඩිහිටි රුධිරයේ ඇති මැරුණ සෛල හා වයස්‌ගත සෛල තරුණ රුධිරයේ වැඩෙමින් තිබෙන ජවසම්පන්න සෛලවලින් ප්‍රතිස්‌ථාපනය කිරීම ය. එවිට යොවුන් රුධිරය ලද්දවුන්ට පේශි හා පටක ඉතා ඉක්‌මනින් පුනරුත්ථාපනය කරගත හැකි බව මේ සමාගමේ බලධාරීහු පෙන්වා දෙති.

තරුණ රුධිරය දීර්ඝායුෂ විඳීමේ රහසක්‌ ය යන මතය ගොඩනැඟුණේ ප්‍රංශ විද්‍යාඥයකු වන Paul Bert විසින් 1864 දී කරන ලද අධ්‍යයනයන් පාදක කරගෙන ය. ඇල්බිනෝ මීයන් දෙදෙනකු (වයස්‌ගත හා තරුණ) යොදාගෙන කරන ලද එම අධ්‍යයනය මඟින් පෙනී ගියේ රුධිර හුවමාරුව මඟින් වයස්‌ගත මීයන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ (මතකය වැඩිදියුණු වීම, ඉක්‌මනින් තුවාල සුව වීම වැනි) ලැබුණ බව ය. මෙලෙස තරුණ රුධිරය පාරවිලයනයෙන් තරුණ බව ලබාගත හැකි ය යන අදහස ඇම්බ්‍රොaසියාහි හිමිකරු වන වෛද්‍ය Jesses Karmasin වෙත ලැබුණේ එක්‌තරා පර්යේෂණයක්‌ පාදක කරගෙන ය. එම අධයනය සිදු කරනු ලැබ තිබුණේ ස්‌ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ Thomas Rando හා මහාචාර්ය Irina Conboy යන අය විසිනි. මෙයට අදාළ අධ්‍යයනය Nature ජර්නලයේ පළ වී තිබිණි. Rejuvenation of Aged Cells by Young මැයෙන් වූ මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙනු ලැබුයේ තරුණ මීයන්ගේ රුධිරය වයස්‌ගත මීයන්ට ලබා දීමෙන් ඔවුන් තරුණ බවට පත් කළ හැකි බවයි. එය සිදු වූයේ මොළයේ නව නියුරෝන ඇති වීම, පේශි හායනය අඩු වීම, අක්‌මා සෛල නැවත වැඩීම වැනි ක්‍රියාකාරිත්වයන් හරහා බව Irina, An Interview with Irina and Micheal Conboy on Blood Factors in Aging යන ලිපියෙහි පැහැදිලි කර දෙයි.

කෙසේ වෙතත් වර්තමානයේ ගොඩනැගී ඇති මිනිස්‌ රුධිර පාරවිලයන (තරුණ බවට පත් කිරීමේ) ව්‍යාපාර කෙරෙහි ආශිර්වාද කරන්නට Irina ඉදිරිපත් ව නැත. එපමණක්‌ නො ව ඒවායේ සාර්ථකත්වය පිළිබදව ඇය සැක පහළ කොට ඇති බව ද පෙනේ.

මේ අතර මේ අධ්‍යයනය සාර්ථක හා පිළිගත හැකි එකක්‌ නො වන බවට ලන්ඩන් යුනිවසිටි කොලීජියේ ආචාර්ය Arne Akbar චෝදනා කරයි.

මෙලෙස තරුණ රුධිරය හරහා දීර්ඝායුෂ ලබා දීමට තැත් කරන එක ම කොම්පැනිය ඇම්බ්‍රොසීයා පමණක්‌ නො වේ. Young Blood Institute එවැන්නකි. එය ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය Dipanarine Maharaj ගේ අධීක්‌ෂණයෙනි. මෙහි හිමිකරු වන්නේ Mark Urdahl ය. බෙල්ග්‍රේඩ් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය Jonko Nikalich හා ජෝන් හොප්කින්ස්‌ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Mitch Harman වැනි විද්වත්හු පවා ඔහු යටතේ සේවය කරති.

එහෙත් මේවායෙහි විද්‍යාත්මක වලංගුභාවය තවමත් පවතින්නේ ප්‍රශ්නකාරී තත්ත්වයක ය.

ජනමාධ්‍ය හා දීර්ඝායුෂ මිථ්‍යා

පුවත්පත් කියවන, රූපවාහිනි නරඹන හා අන්තර්ජාලයේ සැරිසරන අපට නිරතුරු පෙනෙන්නේ දීර්ඝායුෂ ලබා දෙන, තරුණකම රැක දෙන, පෙනුම වැඩි කර දෙන ආලේපන දියර හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රම ගැන දැන්වීම් හෝ උපදෙස්‌ ය. පසුගිය දිනක පුවත්පත් පෙරළා බැලූ මේ ලේඛකයාට එවැනි දැන්වීම් රැසක්‌ දැකගත හැකි විය. සමහර දැන්වීම්වල තරුණකම රැක දෙන ආලේපන ගැන සහතික දෙන ඉහළ සමාජ ප්‍රතිරූප (images) ද පෙනී සිටිති.

තවත් දැන්වීම් බැලූ බැල්මට ම හොර වෙදුන්ගේ මගඩිකම් සේ හදුනාගත හැකි ඒවා ය. එවැනි සමහර මගඩි දැන්වීම්වල පියයුරු, නිතඹ, වටොර ප්‍රමාණයෙන් වැඩි කර දෙන තෛල ගැන ද සදහන් වේ. මීට අමතරව 'ස්‌පා' දැන්වීම් අතරතුර ද දීර්ඝායුෂ වැඩි කර දෙන ක්‍රම ගැන සදහන් වේ. මේ සමහර දැන්වීම්වලට අනුව ඒ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාවේත් රූපලාවණ්‍යයේත් සුසංයෝජනයෙන් සිදු කෙරෙන ඒවා ය. සමහර ප්‍රතිකාර දේශීය වෛද්‍ය මුහුණුවරක්‌ ගත් ඒවා වන අතර ඒවාට ද රූපලාවණ්‍ය ක්‍රමවේද මුසු කොට තිබෙන බව පෙනේ. විටමින් තෙරපි, ඇන්ටිඒජින් ඉන්ජෙක්‌ෂන් ආදී විවිධ නම්වලින් හැදින්වෙන එන්නත් හා විවිධ ප්‍රතිකාර ක්‍රම ද මේ අතර වේ. තව ක්‍රමයක්‌ වන්නේ දීර්ඝායුෂ ලබා දීම හා තරුණ පෙනුම ලබා දීම සදහා ජිම් වෙතට කැදවීමයි.

මේ සමහර ප්‍රතිකාර ක්‍රමවල කිසිදු විද්‍යාත්මක පදනමක්‌ නොමැති නමුත් ඇතැම් ක්‍රමවල කිසියම් විද්‍යාත්මක පදනමක්‌ ඇති බව ද කිව යුතු ය.

එහෙත් මේ විද්‍යාත්මක පදනමක්‌ ඇති ප්‍රතිකාරවලට අදාළව පවා ඒවායේ සාර්ථකභාවය පිළිබදව හා අතුරු ආබාධ පිළිබදව මතභේදකාරී තත්ත්ව පවතියි.

නිදසුනක්‌ දැක්‌වුව හොත් පසුගිය වසරේ දී ඇල්බට්‌ අයින්ස්‌ටයින් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය M.D. Cai ඇතුළු පිරිස මොළයේ ඇති හයිපොතැලමසේ පවතින මූලික (පියවි) සෛල වයස්‌ගත වීම පාලනය කරන බව හදුනාගත් අතර එම අධ්‍යයනය Nature ජර්නලයේ පළ විය. (Hypothalamic Stem Cells Control Ageing). එසේ ම 2016 වසරේ දී ස්‌ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය Philip Mcquary ඇතුළු පිරිස විසින් වටපණුවන්ගේ දීර්ඝායුෂ සදහා හේතු වන ප්‍රොaටීනයක්‌ (Aarginine kinase) හදුනාගන්නට සමත් වූ හ. මෙවැනි පර්යේෂණ රැසක ප්‍රතිඵල ද ආධාර කරගනිමින් මෑතක දී Antiaging stem cell ප්‍රතිකාර ක්‍රම වර්ධනය වී තිබේ. නිදසුනක්‌ දැක්‌වුව හොත් පියවි සෛල ක්‍රීම් නිෂ්පාදනය කොට තිබේ. මේවායේ විශේෂත්වය වන්නේ තරුණ රුධිර (වැම්පයර්) ප්‍රතිකාර ක්‍රම හා සසදන විට ඉතා අඩු මිලක්‌ වීමයි. මේ ක්‍රිම් එකක්‌ ඩොලර් 20 සිට 40 දක්‌වා අතර වේ.

එහෙත් මේ ක්‍රීම්වලට අදාළව මතු වන මූලික ප්‍රශ්නය වන්නේ මේ සමහර නිෂ්පාදන උක්‌ත අධ්‍යයනවල ප්‍රතිඵල නිකුත් වන්නටත් බොහෝ කලකට පෙර නිපදවූ ඒවා වීමයි. පසුගිය වසර දෙක තුන තුළ ඇමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන ආයතනය (FDA) මෙවැනි පියවි සෛල ක්‍රීම් නිපදවන ආයතනවල ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් අවවාද ලිපි යවා ඇත.

2017 වසරේ දී FDA කොමසාරිස්‌වරයා වන Scot Gottieb විසින් පියවි සෛල ප්‍රතිකාරවලට අදාළව විශේෂ නිවේදනයක්‌ ද නිකුත් කරන ලදි. එහි සදහන් වූයේ ඇතැම් පියවි සෛල ප්‍රතිකාර (වයස්‌ගත විමට එරෙහි ව යොදාගන්නා) නිසිs ප්‍රමිතියට නොමැති බවයි. එනම් ඒවා FDA නිර්නායකවලට අනුගත නො වන බවයි. මෙවැනි නිෂ්පාදන අලෙවි කිරීමේ දී පූර්ව අලෙවි විවරණ (Premarket Reviews) අවශ්‍ය බව ද, එහෙත් ඒවා සිදු නො වන බව ද එම ලේඛනය පෙන්වා දෙයි. FDA අනුමැතිය නො ලබා මෙවැනි ප්‍රතිකාර ක්‍රම පවත්වාගැනීම රෝගීන්ගේ ජීවිත අවදානමෙහි හෙළීමක්‌ බව ද එම ලේඛනය පෙන්වා දෙයි.

ජිම් යැම වැරැදි විදිහට කළොත් ආයු කෙටි වෙයි,
'ජිම්' සදහා භෞත චිකිත්සක උපදේශනයක්‌ අත්‍යවශ්‍යයි

- වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල

අපේ රටේ බොහෝ දෙනා දීර්ඝායුෂ ලෙස සලකන්නේ අවුරුදු 80ක්‌ විතර ජීවත් වීම. හැබැයි දැන් දීර්ඝායුෂ කියන්නේ 120ක්‌. අපේ රෝහල්වලට එන අවුරුදු 80-90 රෝගියෙක්‌ දැක්‌ක ම සමහර සේවකයෝ පවා කියන්නේ දැන් නම් ඉතිං මෙයාගේ කාලේ ඉවරයි කියලා. මේ වගේ දෙයින් ඒ මනුස්‌සයාගේ මානසික තත්ත්වය වැටෙනවා. එය ආයුෂවලට බලපානවා. මං ජපානයේ හිටිය කාලයක්‌. එහෙ හොද වැඩිහිටි සත්කාර ක්‍රමයක්‌ තියෙනවා. එහෙ වයස අවුරුදු 100 සීයලා ආච්චිල ඩෙනිම් ඇඳල ඇවිදිනවා. වැඩ කරනවා. අපේ රටේ අය වගේ ඇදකට කොටු වෙලා නැහැ. ජපානයේ මිනිසුන්ට සේවකයෝ නැහැ අපට වගේ. එයත් දීර්ඝායුෂ ලැබීමට හේතුවක්‌. දිර්ඝායුෂ ලැබීමට අදාළ එක්‌ ක්‍රියාවක්‌ වන්නේ දේහ උසට ගැළපෙන බරක්‌ පවත්වාගෙන යැමයි. අපේ ශරීරය වැඩ කරන්නේ භෞතික විද්‍යාවේ නියමයන්ට අනුවයි. අපේ ශරීරයේ ලීවර පද්ධතියක්‌ ක්‍රියාත්මක වනවා. ලීවර පද්ධතිය අවුල් වුණොත් ඔක්‌කොම අවුල්. ජිම් යැම, සම්භාහනය කිරීම වැනි දේ මගින් සෞඛ්‍යය දියුණු කර ගත්තොත් එය දීර්ඝායුෂ කෙරෙහි ධනාත්මකව බලපාන බව සැබෑවක්‌. හැබැයි එය නිරවද්‍ය ක්‍රමයකට සිදු කරන්න ඕනේ. දැන් රට පුරා තියෙන සම්භාහන මධ්‍යස්‌ථානවල Anatomy, Physiology කළ අය සේවය කරනව කියා මා හිතන්නේ නැහැ. ඉතිං මේ සම්භාහන හෝ ජිම් ක්‍රියා වැරදි විදිහට කළොත් ආයු දික්‌ වීම නො වෙයි කෙටි වීමයි වන්නේ. විශේෂයෙන් ම ජිම්වලට නම් භෞත චිකිත්සකයකු සිටින්න ම ඕනෙ. මා දන්නා තරමින් නම් ජිම් සදහා භෞත චික්‌ත්සක සේවය අනිවාර්ය බවට නීතියක්‌ තවම පැනවී නැහැ. එවැනි නීතියක්‌ පැනවිය යුතු යෑයි මා යෝජනා කරනවා.

රූපලාවණ්‍ය ප්‍රතිකර්ම අනුගමනය කර දීර්ඝායුෂ ලැබීම

වැඩිහිටියන්ගේ මෙන්ම වෙනත් සැම වයසක අය ගේම ජීවිතය දිගු කරගැනීම පිළිබද ආසාව ඇතැම් කොට්‌ඨාස විසින් අනවශ්‍ය ලෙස භාවිත කරමින් වානිජමය පරමාර්ථ ඉටු කරවාගන්නට යොදවනු ලබන බව පෙනේ. එහි දී මූලිකත්වය ගන්නේ හොර වෙදුන් හා ඇතැම් රූපලාවණ්‍ය ශිල්පීන් ය. මෙහි දී ඇතැම් යන විශේෂණය අවධාරණය කරන්නේ හැම රූපලාවණ්‍ය ශිල්පියකු ශිල්පිනියකු ම මේ ගණයට නො වැටෙන බැවිනි.

පසුගිය දා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී මේ පිළිබද කතාබහක්‌ ගොඩනැගුණ අතර එහි දී මාධ්‍යවේදීන් පවසා සිටියේ ද දීර්ඝායුෂ ලැබීමට මිනිසුන් තුළ ඇති ආසාව රූපලාවණ්‍ය මාෆsයාවක ග්‍රහණයට නතු ව ඇති බවයි. මෙහි දී විශේෂ ප්‍රකාශයක්‌ කළ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ මාධ්‍ය නිලධාරී සුනෙත් බණ්‌ඩාර මහතා කියා සිටියේ ඇතැම් රූපලාවණ්‍ය ශිල්පීන් හා හොර වෙදුන් මිනිසුන්ගේ අසරණකම උකසට ගෙන ඇති බවයි. මේ පිළිබද වගකිවයුත්තන්ගේ මුනිවත රකින්නේ ඇයි දැයි යන ප්‍රශ්නය ඔහු නැගුවේ ය. ඔහුගේ ඒ නිර්භීතභාවය අප අගය කරන්නේ බොහෝ දෙනා මෙවැනි ගැටලු ගැන අදහස්‌ ප්‍රකාශ කරන්නට දක්‌වන පැකිළීම නිරීක්‌ෂණය කරමිනි. එදින මාධ්‍ය හමුවට පැමිණ සිටි ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ ප්‍රථම සභාපති විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා වෙතින් මාධ්‍යවේදියකු මේ පිළිබදව විමසා සිටි අතර ඒ මහතා එහි දී කළේ මෙවැනි පැහැදිලි කිරීමකි.

"මේ ප්‍රශ්නය මගේ විෂය පරාසයට ඝෘජු ව ම අයත් වන්නක්‌ නො වෙයි. එහෙත් මෙය ඔබ විමසු නිසාත් මේ කරුණ වයස්‌ගත වීමේ ක්‍රියාවලියට යම් සබදතාවක්‌ දක්‌වන නිසාත් පිළිතුරු දෙන්නම්. රූපලාවණ්‍ය කටයුතු හරහා වයස්‌ගත වීම පාලනය හෝ රුව දියුණු කරගැනීම හෝ ගැන අපගේ කිසිදු විරෝධයක්‌ නැහැ. හැබැයි ඒවා නිත්‍යානුකූලව සිදු විය යුතුයි. වැරදි විදිහට හෝ අයුතු දේ යොදාගනිමින් හෝ ෆේෂල් වගේ දේ කරන්න යැම නිසා පුද්ගල ජීවිත අනතුරට පත් වූ අවස්‌ථා ගැන වාර්තා වනවා. හැබැයි ඒ දේවල් සම්බන්ධයෙන් පියවර ගත යුතු වන්නේ වෛද්‍ය සභාවයි. මගේ අදහස නම් නීරෝගී වීම සදහාත් දීර්ඝායුෂ සදහාත් වැඩිහිටියන් හොද ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. ලස්‌සනට හිදීම ගැන කතා කළොත් ලස්‌සනට හිදීමේ වරදක්‌ නැහැ. හැබැයි ඒ ඒ වයසට අදාළව ලස්‌සනක්‌ හැමෝ ගේ ම පවතිනවා. ආච්චි අම්ම කෙනෙක්‌ වුවත් ඒ වයසට අදාළව ලස්‌සනයි. ආච්චි අම්මා කෙනෙක්‌ පොඩි කෙල්ලක්‌ වෙන්න වුවමනා නැති බවයි මගේ අදහස"

නිවැරැදිව භාවිත නො කළ හොත් රූපලාවණ්‍ය ක්‍රම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වන්නටත් ඉඩ තියෙනවා - බ්‍රිටිෂ් කොස්‌මැටික්‌ අධිපති දිමුත් ජාගොඩආරච්චි

"රූපලාවණ්‍ය (Cosmetics) මගින් ජිවිතයට බොහෝ දේ එක්‌ කරගත හැකියි. හැබැයි එය ඝෘජු ව ම ආයුෂ වැඩි කරනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපි අවුරුදු 50ක්‌ ජීවත් වෙනවා නම් අවුරුදු 60ක්‌ ජීවත් වෙන්න අවස්‌ථාවක්‌ Cosmetics නිසා ලැබෙනව කියා මා හිතන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා. වයස 50 දී පවා අපට වයස 40ක පෙනුමකින් ජීවත් වන්න Cosmetics උදව් කරනවා. ඒ කියන්නේ ඝෘජු ව ම ආයුෂ වැඩි කරන්න උදව් නො කළාට යම් මෙහෙවරක්‌ ජීවිතයට කරනවා. මානසික සහනයක්‌ ලබා දෙනවා. එවිට අපගේ ජීවිතයේ යම් වෙනසක්‌ වනවා. ඒ වගේ ම තමයි මෙහි අනික්‌ පැත්ත. Cosmetics වැරැදි විදිහට පාවිච්චි කළොත් අපේ ආයුෂ අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා බොහොම පරෙස්‌සමෙන් තමයි මේ දේවල් කළ යුතු වන්නේ. මා දන්නා තරමින් රූපලාවණ්‍ය ක්‍රම මගින් ස්‌ත්‍රීන්ගේ පුරුෂයන්ගේ අවයවවල ප්‍රමාණ විශාල කරන්නට හැකියාවක්‌ නැහැ. හැබැයි විදේශ රටවල බාම් වැනි දේ සමග ලේසර් කිරණ ද භාවිත කරමින් පියයුරු කුඩා කරවීම වැනි දේ පැරා ප්‍රතිකාර ක්‍රමයට සිදු කෙරෙනවා. අනවශ්‍ය මේද ඉවත් කර පියයුරු කුඩා කරගන්නට හැකියි. හැබැයි විශාල කරන්න රූපලාවණ්‍ය ක්‍රම පවතිනවා ප්ලාස්‌ටික්‌ සැත්කම් මගින්. වෙළෝදපොළේ පවතින සමහර රූපලාවණ්‍ය ආලේපන ගැන සෑහීමට පත් වන්නට නොහැකියි තමයි. සමහර රූපලාවණ්‍ය නිෂ්පාදන ගැහැනු ළමයින්ට කරන්නේ අපරාධයක්‌. සමහර ජාවාරම්කාරයෝ පොඩි ඩප්පිවල විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරල රුපියල් 3000ක්‌ තරම් ඉහළට විකුණනවා. සමහර ප්‍රකට රූපලාවණ්‍යාගාරවල පවා මේවා විකුණන්න තියෙනවා. මේ දේවල් ගැන ජනතාව තුළ දැනුවත්භාවයක්‌ ඇති වීම වැදගත් බව මගේ හැගීමයි. ඒ වගේ මයි රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින අය තුළ විශේෂයෙන් ම නිෂ්පාදකයන් තුළ වග වීමක්‌ තියෙන්න ඕනේ. අපගේ ආයතනය සැලකුව හොත් අප දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන් ගැන විශාල අවධානයක්‌ දක්‌වනවා. කෙනෙකුගේ සෞඛ්‍යHට හානි කරල ගන්න ලාබයකින් වැඩක්‌ නැහැ. සමහර අය හිතනවා නිෂ්පාදනයක රසායන ද්‍රව්‍ය ප්‍රබල කළොත් වැඩියෙන් දැම්මොත් හොද ප්‍රතිඵල ඉක්‌මනට ලැබෙනවා කියා. එහෙම වෙන්නේ නැහැ. ගහකට වුණත් පොහොර ගොඩක්‌ එක පාර දැම්මොත් මොකද වෙන්නේ ගහ මැරෙනවා නෙ. ඉතිං මේ වගේ දේ ඉතා පරෙස්‌සමෙන් අවධානයෙන් කරන්න ඕනේ. රූපලාවණ්‍ය නිෂ්පාදනයක්‌ වගේ ම ශිල්පී ශිල්පිනියන් ද තම සීමා හදුනාගෙන සිටීම ඉතා අවශ්‍යයි. අප වෛද්‍යවරුන් නො වන බව අප මතක තියාගන්න ඕනෙ. වෛද්‍ය ක්‍ෂේත්‍රයක්‌ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයත් දෙකක්‌ කියල අප අවබෝධ කරගන්න ඕනේ"

වයස්‌ගත වීම පාලනය කළ යුතු නිරවද්‍ය ආකාරයටයි - රාගම මහ රෝහලේ චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සුනිල් මෙන්ඩිස්‌

වයස්‌ගත වීම සම්බන්ධ ගැටලුවල දී චර්මීය සෞඛ්‍යය අතිශයින් වැදගත් වන නිසා අපි මෙරට සිටින ප්‍රවීණ චර්ම රෝග විශේෂඥයකු වන වෛද්‍ය සුනිල් මෙන්ඩිස්‌ මහතාගේ අදහස්‌ ද ලබාගතිමු. පහත දැක්‌වෙන්නේ ඒ මහතා මේ ගැන දැක්‌වු අදහස්‌ ය.

"අද තරුණ අය වගේ ම විවිධ වයස්‌ කාණ්‌ඩවල අය චර්මීය නිරෝගීතාව හා දීර්ඝායුෂ ලැබීම ගැන සැලකිලිමත් වනවා. වයස්‌ගත අයට යම් විදිහක තරුණ පෙනුමක්‌ ලබාගන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ යම් යම් ක්‍රම තිබෙනවා. නිදසුනක්‌ ලෙස මුහුණේ රැළි මතු වීම වැනි ගැටලුවලට අදාළව බෝටෙක්‌ස්‌ ප්‍රතිකාරය වැනි ප්‍රතිකාර තිබෙනවා. හැබැයි මේ ප්‍රතිකාරවලින් ලැබෙන විසදුම් කෙටිකාලීනයි. නිරවද්‍යව භාවිත කළ හොත් බෝටෙක්‌ස්‌ එන්නතෙන් අතුරු හානි (side effects) ඇති වන්නේ නැහැ. ඒ සදහා සුදුසුකම් ලද වෛද්‍යවරයකු එම එන්නත ලබා දිය යුතුයි. කිසියම් රූපලාවණ්‍ය ශිල්පියකු ශිල්පිනියක මෙවැනි (බෝටෙක්‌ස්‌ වැනි) එන්නත් ලබා දෙනවා නම් එය වරදක්‌. මන්ද යත් එවැනි එන්නත් ලබා දීමේ අයිතියක්‌ ඔවුන්ට නැහැ. මීට අමතරව තරුණ බව

රැකගන්න වයස්‌ගත වීම පාලනයට PRP ක්‍රමය (Platelet Rich Plasma) භාවිත වනවා. මෙහි දී කෙරෙනුයේ පට්‌ටිකාවලින් පොහොසත් ප්ලාස්‌ම ප්‍රොaටීන ලබාගැනීමයි. ඒ සදහා කේන්ද්‍රdපසරණ ක්‍රම පාවිච්චි වනවා. හැබැයි සමහරු ඕන එකටයි එපා එකටයි මේ වගේ සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම යොදාගන්නවා. එය වැරදියි. වයස්‌ගත වීම පාලනයට, තරුණ බව රැකීමට, රූපලාවණ්‍යයට අදාළ තවත් ක්‍රමවේදයක්‌ වන්නේ dermal filler. හමේ රැළි මකන්න මේ ප්‍රතිකාර යොදාගන්නවා. මා කලින් සදහන් කළ PRP එන්නත් වගේ ක්‍රම ඉතා වියදම් අධිකයි. සමහර විට එක එන්නතක්‌ රුපියල් 15,000ක්‌ ඉක්‌මවනවා. ඒ වගේ ම තමයි මේවා සියයට සියයක්‌ සාර්ථක නැහැ. ඒ නිසා මේ වගේ දෙයට යොමු වන අය ඒ ගැන දෙවරක්‌ හිතා බලන්න ඕනෙ කියා මා හිතනවා.

සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන නිසා මා වෙත එන රෝගීන් නිතර ම චර්මීය සෞඛ්‍යයට අදාළව භාවිත කළ යුතු= ඖෂධ ප්‍රතිකාර ගැන විමසනවා. බොහෝ දෙනෙක්‌ අහන ප්‍රශ්නයක්‌ තමයි මුහුණට ෆේස්‌ වොෂ් ඕනෙ ද කියන එක. දැන් හුග දෙනකුට තියෙන ප්‍රශ්නයක්‌ නේ කුරුලෑ. සමහරු හිතනවා කුරුලෑවලට කළ යුතු ෆේස්‌වොෂ් ගාන එක කියලා. ඔය එක එක ජාතියේ ෆේස්‌වොෂ් තියෙනවා නෙ. ඒ වුණත් මං කියන්නේ නම් මුහුණ හෝදන්න බේබි සබන් වගේ දෙයක්‌ ප්‍රමාණවත්. අපිරිසිදුකමකට නො වෙයි නේ කුරුලෑ එන්නේ. ඉතා සැර දේවල් යොදලා සේදුව කියල වැඩක්‌ නැහැ. හමට සැලකිය යුතු හානියක්‌ ඇති වනව ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන නිසා. ශාකසාර කියයි. ස්‌වාභාවික කියයි. සමහර විට මේ අඹරපු සංයෝග මූණට ගාන්නේ මුහුණේ දැනටත් තියෙන සැරව වගේ අපවිත්‍ර දේ තියෙද්දීමයි. ඉතිං තත්ත්වය තවත් නරක්‌ වනවා."

මනෝඡ් ප්‍රසන්න රත්නායක
BSc., MA, MPhil.