logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දොළොස්‌ වසකින් පීපි හිනැහෙන නෙලූ අවසර ද යළිත් පූදීන්නට

බලන කන්ද කොටගල ඉස්‌මත්තේ ය

බඹර බදිති දෙවිදුගෙ මල් මත්තේ ය

එක බඹරෙන් පැනි කළයක්‌ ඇත්තේ ය

බඹර කැළේ දී නෑකම් නැත්තේ ය

බඹර කවි අතරේ ඇසෙන මේ ජන කවියට මූල බීජය වී ඇත්තේ කදුකර වනපෙත් ය. කදුකර වනපෙත් ආශ්‍රිත ව ව්‍යාප්ත ව ඇති නානා මාදිලියේ ශාක මල් දරන සමයන් අතරේ නෙලූ මල් පූදින වාරය යනු, වද බදින මී මැස්‌සන්ට, බඹර මැස්‌සන්ට හා දඩුවැල් මැස්‌සන්ට කාර්ය බහුල වන සමයකි. ඒ සමයට මැසි ගුමු - ගුමුව හාත්පස පරිසයේ ගැයෙන කවි බවට පත් වේ. තොරතෝංචියක්‌ නැති ව ඔබ - මොබ පියඹා යන මැසි සේනාවෝ යත මල් පිරී ඉතිරී යන පදුරු ගොමු පැණි බොන මැස්‌සන්ගේ සුලබ නවාතැන් බවට පත් වේත ආහාර සුලබ ය. එබැවින් ඔවුන්ගේ බෝ වීම ද යහපත් වේ. මවු ජනපදයෙන් නික්‌මී යන නව ජනපදවාසීන් එක රොත්තට අලුත් නිවහනක්‌ තැනීමට ඉසව්වක්‌ හොය හොයා යන දැකුම දකින සිතක නැඟෙන්නේ, අලස බව පරයා කාර්යශූර හැගීම් ය.

පෙර ජන කවියට මුල් වු කැළය, බඹර කැළේ අන් කිසි පෙදෙසක හෝ තිබෙන වනයක්‌ නො වන බවත්, මේ බඹර වද බහුල ඉහළ කදුකරය ආශ්‍රිත ව ව්‍යාප්ත ව ඇති කැළය ම බවත්, අදටත් ඌවේ වැසියන් අතර ප්‍රකට ව ඇත. බඹර කැළේ ගැන කාගේත් අවධානය යොමු වන්නේ නෙලූ වැනි වූ මල් වාරයන්ට සමගාමීව ය. බඹරු නෙලූ මල් රොන් ගෙන වනයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම වද බදිතිs. සෙසු පැණි වදවල ව්‍යාප්තියට සාපේක්‌ෂ ව මේ බඹර වදවල බහුල බවක්‌ ඒ සමයන් තුළ දී දැකගත හැකි ය. නෙලූ කෙතරම් මනරම් ද යත්, මේ නම් දෙවියන් දුන් තෑග්ගකැයි ඇතැමකුගේ සිතට අදහසක්‌ වුව ඇති විය හැකි ය.

නෙලූ බහුල ව හැදෙන හෝර්ටන්තැන්න යනු සිරිලක පියස්‌ස වශයෙන් හැදින්වුව ද එහි වරදක්‌ නැත. ඉදින් සිරිලක පියස්‌සේ මල් පූදින දා, හාත්පස ම කරක්‌ ගසනා බඹරුන්ගේ වද බැදීම "බඹර බදිති දෙවිදුගෙ මල් මත්තේ ය" යනුවෙන් ජනකවියා කවි බසට පෙරළා ඇත. නෙලූ වාරයට මුළු පරිසරය ම රස ගුලාවකි. ගහ - කොළ, සතා - සීපාවා නියෝජනය වන සොබාදහම ගීතයකි. මේ ගීතවත් වූ පරිසරය වටා සැරිසරන වන ජීවිත හා ගෙතුණු කථා අපමණ ය. ඒවා සියල්ලක්‌ ම වාගේ සොදුරු ය. සෞම්‍ය ය. අවසානය ප්‍රීතිමත් ය. එයට හේතුව පාරිසරික සුන්දරත්වයයි. එය වින්දනය කරනා සත්ත්වයන් තුළත් ඇති වන්නේ යහපත් වූ සිතුවිලි ය.

නෙලූ හෝර්ටන්තැන්න සමග බැදුණු හුරු පුරුදු නමකි. වසර 2013 අවසන් භාගය, මිහිකත සතු රූසිරියෙන් බිදුවක්‌ ලස්‌සන හෝර්ටන්තැන්න විචිත්‍රත්වයෙන් මුසපත් කළ පුවත ඔබට මතක ද? එය සප්ත වර්ණ සංකලණයෙන් ඔපවත් වු හෝර්ටන් තැනිතලාව දෙස්‌ - විදෙස්‌ කාගේත් නෙත් සිත් පැහැරගත් වසරක්‌ ලෙසත් සදහන් කළ හැකි ය. මන්ද යත් මහඑළිතැන්නට නෙලූ වසන්තය උදා වුණේ 2013 වසරේ දී බැවිනි. යළිත් ඒ අසිරිමත් හෝරාව උදා වන්නේ වසර දොළහකට පසුව ය. හෝර්ටන්තැන්නට පෙම් බැදි කවුරුත් වාගේ ඒ දවස යළිත් උදා වන තුරු දින ගණිමින් ඉන්නා බව නොරහසකි.

නෙලූ ගැන දන්නා වගේ ම නො දන්නා පිරිසකුත් සිටිනවා ඇත. කදුකර තෙත් සදාහරිත වනාන්තරවලින් සමන්විත වනපෙත්වල ය නෙලූ ශාකය හොදින් වැඩීමට අවශ්‍ය පාරිසරික සාධක වර්ධනය වන්නේ. වනයේ යටි ස්‌ථරය ආක්‍රමණය කරමින් ස්‌වකීය ආධිපත්‍යය පතුරුවා හරින නෙලූ මලක්‌ පූදින තුරු වර්ධනය වෙන්නට වසර දොළහකට ආසන්න කාලයක්‌ ගත වෙයි. නෙලූ යනු යටි ස්‌ථරීය ශාකයකි. සෙන්ටීමීටර කිහිපයක්‌ උසැති පැළෑටි ස්‌වරූපයෙනුත්, මීටර් 02 - 03 අතර උස ප්‍රමාණයන්ගෙන් යුක්‌ත වූ පදුරු ආකාරයෙනුත්, සෙන්ටීමීටර් 06 - 07 අතර වටප්‍රමාණයෙන් (කෙද් විෂ්කම්භය) යුක්‌ත වු අතු - ඉති සහිත ව මීටර් 08ක්‌ දක්‌වා වු උසකින් සමන්විත ගස්‌ ස්‌වභාවයෙනුත් නෙලූ ශාක වර්ධනය සිදු වෙයි. නෙලූ ශාකයට මුහුණ දීමට සිදු වන පවත්නා යහපත් හෝ අයහපත් වූ පාරිසරික සාධක මත (බාධක/ආවරණ/හිරු රැස්‌) ස්‌වකීය වර්ධනයේ නියමිත උස මට්‌ටම තීරණය වීම සිදු වේ. එබැවින් මේ ශාකය උද්භිද විද්‍යාත්මක ව ඇකැන්තේසියේ කුලය (FAMILY ACANTHACEAE) යටතට ගැනෙන ස්‌ට්‍රොaබිලැන්තස්‌ ගණයට (Strobilanthes) අයත් වේ. දිගු කාල පරාසයක්‌ ගෙන වර්ධනය වන නෙලූ ශාකය තම ජීවන චක්‍රයේ අවසන් අදියරයට සමීප වත් ම ආකර්ෂණීය වූ මල් පිපීමේ අවධිය පසු කරයි. එය ම එම ශාකයේ අවසන් අදියර ලෙසත් හැදින්විය හැකි ය. පොදුවේ ගත් කල නෙලූ මල් දැරීමට නම් වසර දොළහකට ආසන්න වූ කාලයක්‌ ගත කළ යුතු ය.

විවිධ වර්ණයෙන් යුක්‌ත වූ මල් හටගන්නා නෙලූ ශාක විශේෂ 300ක්‌ පමණ ආසියාතික රටවල ව්‍යාප්ත ව ඇත. ඒ අතරිනුත් හරි අඩකට ආසන්න ප්‍රමාණයක්‌ ව්‍යාප්ත ව ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයේ ය. ශ්‍රි ලංකාව ආශ්‍රිත ව හමු වන නෙලූ විශේෂ 31න් විශේෂ 26ක්‌ ම ආවේණික වන අතර ශ්‍රී ලංකාවේ දී පමණක්‌ හමු වන එක්‌ නෙලූ විශේෂයක්‌ රිටිගලින් වාර්තා වේ.

නෙලූ මල් පිපීමේ අවධිය සිරිලක ජෛව විවිධත්වයේ සොදුරුබව කෙරෙහි මුළු ලොවේ ම ඇස්‌ යොමු වන සමයක්‌ ලෙස ද හැදින්විය හැකි ය. ඉකුත් ව ගිය 2013 වසර නෙලූ වසන්තයෙන් හෝර්ටන්තැන්න හැඩ වූ වසරයි. යළිත් ඒ අසිරිමත් හෝරාව උදා වන්නේ වසර 2025 දී හෝ ඒ ආසන්නතම කාල වකවානුව තුළ දී ය යන පණිවිඩය, සංචාරකයන්ට මේ කදිම අවස්‌ථාව දැක බලා ගැනීමේ කුහුලක්‌ සිත්හි ජනිත කරවයි.

හෝර්ටන්තැන්න යනු නෙලූ ශාකයේ ව්‍යාප්තියට හිතකර සාධකයන්ගෙන් සමන්විත ව පවතින වනජීවී රක්‌ෂිතයකි. එබැවින් මේ ශාකයන්හි යහපත් ව්‍යාප්තියක්‌ මුහුදු මට්‌ටමෙන් මීටර් 2300ක උන්නතාංශයක දී දැක බලාගත හැකි වේ. පට්‌ටිපොළ, ඔහිය, කිරිගල්පොත්ත, තොටුපළ කන්ද ආශ්‍රිත පාරිසරික කලාපය වෛවර්ණ වු පැහැයෙන් අලංකෘත ව හාත්පස ම විසිරී - පැතිරී ගිය නෙලූ මල් යායන්හි සුන්දරත්වයෙන් පිරී ඉතිරී යන්නේ නෙලූ වාරයට සමගාමී ව ය. පොදුවේ නෙලූ වශයෙන් හැදින්වුවත් හොර්ටන්තැන්න ආශ්‍රිත ව ව්‍යාප්ත ව ඇති නෙලූ විශේෂයන් 08 වෙන් වෙන් වශයෙන් මේ යෑයි සිංහල බසින් ආදේශක නම් තැබීම අපහසු ය. මන්ද යත් මේ සුන්දර මල අපේ මල් කවියන්ටත් තවම හසු වී නැත. එහෙත් උද්භිද විද්‍යාත්මක ව ඒ ඒ විශේෂයට වෙන් වෙන් වශයෙන් නම් ඇත.

හොර්ටන්තැන්න ඇසුරේ පිපී ව්‍යාප්ත ව ඇති නෙලූ අතර නිලට හුරු දම්, සුදු මල් දරන්නේ Strobilanthes sexennis විශේෂයයි. Strobilanthes pulcherrima විශේෂය නිලට හුරු දම්, රෝස මල් දරයි. ළා කහ පාට මල් දරන්නේ Strobilanthes calycina විශේෂයයි. සුදු පාට මල් Strobilanthes hookeri විශේෂයට අයත් වේ. Strobilanthes viscosa විශේෂයේ නිලට හුරු ළා දම් රෝස පාට මල් පිපෙයි. ළා දම් නිල් මල් ඇත්තේ Strobilanthes dianadra විශේෂයේ ය. මල් දම් පාටින් දිළෙන්නේ Strobilanthes nockii විශේෂයේ ය. සුදුපාට Strobilanthes anceps විශේෂයක්‌ ද හමු වේ.

සංවේදී වූ පාරිසරික පද්ධතීන් ආශ්‍රිත ව ස්‌වකීය ජීවන චක්‍රය සපුරාගැනීමේ අවස්‌ථාවන්ට මුහුණ දීමෙහි ලා වැඩි රුචිකත්වයක්‌ දක්‌වන නෙලූ ශාකය එකී පාරිසරික පද්ධතීන්ට එල්ල වන අහිතකර වූ බලපෑම් හමුවේ වර්ධනය අතරමග නවතා දමයි. මේ ශාකයේ පාරිසරික සබැදියාව එබදු ය. ඉතා සංවේදී ය. දුරාතීතයේ නෙලූ කදිම ඉන්ධන මාධ්‍යයක්‌ ලෙස ද භාවිතයට ගෙන ඇත. ඒ අයුරින් නෙලූ කපා ඉවත් කළ පසු ඒ බිම් ආශ්‍රිත ව ආක්‍රමණික ශාක වර්ධනය වීම නෙලූ ශාක ව්‍යාප්තියට තර්ජනයක්‌ බවට පත් වී ඇත. අප රටේ ව්‍යාප්ත නෙලූ විශේෂයන් අතරින් විශේෂ හතරක්‌ වද වීමේ තර්ජනයට ද ලක්‌ ව පවතියි.

මේ දිනවල හෝර්ටන්තැන්න බලන්නට යනවා නම් අවාරයේ පිපුණු නෙලූ මල් ගැනත් විපරම් කරන්නට අමතක කරන්න එපා. නෙලූ වාරය වසර දහයකට - දොළහකට වරක්‌ උදා වුවත්, ඒ අතරේත් ඉදහිට පූදින නෙලූ මල් තිබෙයි. විශේෂත්වය වෙන්නේ නෙලූ වාරයට එක වර සියලු නෙලූ විශේෂයන් මල් බර වීමයි. මෙවැනි වු නෙලූ වාරයක්‌ උදා වෙන්නට තවත් ඇත්තේ වසර හතක්‌ පමණි. ඉතින් මේ අවාරයේ පිපී හිනැහෙන නෙලූ මල් ගැන අධ්‍යයනය කිරීම, එළැඹීමට නියමිත නෙලූ වාරය අධ්‍යයනය කිරීමට ප්‍රථම ඒ ගැන පූර්ව අවබෝධයක්‌ ලබාගත හැකි අවස්‌ථාවක්‌ ලෙස හැදින්විය හැකි ය.

නෙලූ සමයේ පරිසරයේ ආහාර සුලබ ය. මී මැස්‌සන් හා සමැව පක්‌ෂීන් ද නෙලූ වාරයට සමගාමී ව රට තුළ සංක්‍රමණය වීමක්‌ නිරීක්‌ෂණය කළ හැකි ය. පහත් බිම්වල සිට රට අභ්‍යන්තරයේ උස්‌ කදුකරය වෙත සිදු වන කුරුල්ලන්ගේ මේ උන්නතාංශික සංක්‍රමණය ආහාර මත පදනම් ව සිදු වීම හේතුවෙන් භෝජන පර්යටනය නමින් ද හදුන්වයි. එනම් මෙවැනි වූ හැසිරීමක්‌ පෙර සදහන් කළ විශේෂයෙන් ම ආවේණික කුරුල්ලන් වෙතින් විද්‍යමාන වන්නේ වසර 10 - 12කට එක්‌ වාරයක්‌ පමණි. එසේ ම නෙලූ හා සමැව වසර කිහිපයකට වරක්‌ පූදින කදුකර උණ ශාකයේ බීජ කෑමට ද මුහුදු මට්‌ටමේ සිට මිටර් 275ක්‌ පමණ වන පහත් බිම්වල ජීවත් වන කුරුල්ලෝ රට අභ්‍යන්තරයට පර්යටනය කරති.

නෙලූ වාරයේ දී වළි කුකුළා යනු නමට සරිලන අයුරින් ම වළියට අර අදින්නෙකි. පමණ ඉක්‌මවා නෙලූ ඇට බුදින මේ පක්‌ෂීහු මත් වෙති. එකිනෙකා පරයමින් "චියෙක්‌... චෝ... චොයික්‌..." සරින් ඒක නින්නාද වනසේ හඩලති. බඹර මතින්, බමන හිසින් චණ්‌ඩින් හා සමැව වේලාව - අවේලාව නො තකා සැමත සරති. එවැනි වූ හැසිරීම් හේතුවෙන් කළුකුස්‌සන් වැනි වූ ගොදුරු පක්‌ෂීන්ට පහසු ගොදුරු බවට පත් වෙති.

ඉකුත් ව ගිය නෙලූ සමයේ දී නෙලූ ශාකයේ ජීවන චක්‍රය හා සබැදියා වූ විවරණය කරගැනීමට හැකි වූ තොරතුරු අල්ප බැව් සැබෑ ය. සැගව ගත් තොරතුරු අපමණ ය. එහෙත් එළැඹීමට නියමිත නෙලූ වාරයේ දී පෙර සූදානම් ව සිටිනා අපට මේ හා සම්බන්ධ ව වැඩිමනත් වූ තොරතුරු ගවේෂණය කිරීමට හැකි වනු ඇත.

ගෙවා සපැමිණි වසර දොළහක කාලය තුළදී නෙලූර් නම් වු ඈ නිහඩ ව්‍රතයකට සම වැදි සිටියාය. ජීවත් වනවාට ජීවත් වනවා විනා තමන්ගෙන් පරිසරයට කිසිදු ඵල ප්‍රයෝජනයක්‌ නැතැයි පෙර දිනෙක ඇතැමෙක්‌ ඈ පිළිබදව නිර්වචනයන්ද සපයන්නට ඇත. වනයේ කිටි කිටියේ වැඩෙමින් සෙසු ශාකයන්ගේ වැඩිමේ මග අවුරමින් සපැමිණි ගමන දෙස බලමින් සමහරෙක්‌ ඈ වෙත විසිළු කරන්නටද ඇත. කම් නැත. සියලු අභියෝගයන්ට මුහුණ දී ඉනික්‌බිති නොසැලි තමන්ගේ ඉලක්‌කයට සපැමිණි කල මුලු ලොවක්‌ ඈ දෙස බලා සිටියි. වසර දොළසකින් නොදුටු සුන්දරත්වයක්‌ දෙස බලමින්, පැසසුම් ගී ගයයි. නමුත් ඈ නිහඩයි. මන්ද යත් අද සොදුරු ඇය ඉනික්‌බිති මේ ජීවන ගමනේ අවසානය වැළද ගනී. බීජ රෝපණ වී, උස්‌ මහත් වී, මල් - ඵල දරා යළිත් නව පරපුරක්‌ බිහි කර පොළවටම පස්‌ව යන්නේය යන නියතිය, සොබාදහමේ නියතිය. මේ පරිසර දරුවෝ හොදාකාරවම දනියි. එබැවින් ඒ සත්‍යතාවය තුළම ජීවත් වේ. වසර දොළසකින් පූදින නෙලූර් මලේ කතාන්තරයද ජීවයේ පැවැත්මේත් - නැසීයාමේත් - යළි උත්පාදනය වීමේත් යන සත්‍යතාවය මතම පදනම්ව අප වෙත කියා දෙන කවීත්වය මුසු වු පාඩම් අපමණය.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික