logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පරිසරයට වින නො කරන් දෙව් බැතිය

පරිසරය අප සැමගේ ම දෙවියා ය. අපට පිරිසිදු ජලය, වාතය මෙන්ම ආහාර ද අවකාශය ද සපයා දෙන්නේ පරිසරයයි. පරිසරයට නිර්වචන පෙළක්‌ ඇත. ඉන් එකකට අනුව පරිසරය මහා මැවුම්කරුවකුගේ නිර්මාණයකි. තවත් විටෙක පරිසරය හේතුඵලවාදී ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මේ මත දෙකෙන් පළමු මතයට දැනට මානව ඉතිහාසය තරම් ම වයස ය. හේතුඵලවාදී මතය ප්‍රකට කරනු ලැබූවේ බුදුන් වහන්සේ විසින් වන නමුත් ඉන් අනතුරුව පුරාවිද්‍යාඥයන්ගේ හා ජීව විද්‍යාඥයන්ගේ මතය ද එයට එක්‌ වන තැනට පත් වෙමින් ඇත. ඒ නමුත් දෙවියන් හා දේව සංකල්පය කිසිදු ආගමක්‌ බැහැර නො කරයි. ඇත්තේ ඒ ඒ දෙවියන් වෙනුවෙන් වෙන් කළ බලපරාක්‍රමයේ ඇති අඩු වැඩිය පමණකි.

අපේ රටේ ජනතාව විසින් දෙවියන් පිළිබදව දක්‌වනු ලබන අවධානය හා ගෞරවය ඉතා තීරණාත්මක සමාජ පැතිකඩකි. "දෙවි පිහිටයි" ලෙස සටහන් කළ බස්‌ රථ, ලොරි රථ පාරේ කෙළවරක්‌ නැත. නව ගොඩනැගිල්ලක්‌ හැදුවත් ඊට දෙවි පිහිට පතන්නන් එමට ය.

එහෙත් මේ එවැනි සරල තැනකින් අවසන් කළ හැකි දෙවියන් පිළිබද කතාවක්‌ නො වේ. දෙවියන් මුණගැසීමට දෙවියන් සොයාගෙන යන ගමනකි. ගමන පටන්ගත්තේ යාපනයෙනි. අවසන් වන්නේ කතරගමිනි.

නිල වශයෙන් ගමන පටන් ගන්නේ යාපනයෙන් යෑයි පැවසුවත් බොහෝ විට ගමන පටන් ගන්නේ නැෙගනහිර පළාතේ ගෙවල්වලිනි. බොහෝ ගෙවල් ඇත්තේ වාකරේ, කලවංචිකුඩි, මඩකලපුව ආදී පෙදෙස්‌වල ය. යාපනයේ අයත්, කිලිනොච්චියේ අයත්, කොළඹ, කෑගල්ල, ගාල්ලේ අයත් ගමනට එක්‌ වෙති. (ගමනාරම්භය යාපනය සේ සදහන් ව තිබීමෙන් යම් දේශපාලනයක්‌ මීට එක්‌ කර ඇති බවක්‌ පෙනෙන්නට ඇත).

වාර්ෂික කතරගම ඇසළ උළෙලට සිය ගම් රටවල සිට යාල ජාතික වනෝද්‍යානය හරහා කතරගමට පාගමනින් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව මෙවර හතළිස්‌ දහසක්‌ පමණ වන බව දැනගන්නට තිබේ. මෙසේ පැමිණෙන ජනතාව කවුරුන් ද සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් නිසා යාල ජාතික උද්‍යානටයට වන විනාශය කෙතෙක්‌ ද යන්න පිළිබදව යම් කරුණු ප්‍රමාණයක්‌ විමසා බැලීම කාලෝචිත ය.

බොහෝ නැෙගනහිර ගම්වල ජීවත් වන්නේ ද්‍රවිඩයන් යෑයි සාවද්‍ය මතයක්‌ අප අතර පවතී. ඒ පිරිස අපේ ආදිවාසී වැදි ගෝත්‍රිකයන්ගේ වර්තමාන පරම්පරාව යෑයි පැවසීම ආන්දොaලනයට තුඩු දෙන අදහසක්‌ වුවත් මේ තාක්‌ කර ඇති අධ්‍යHනවලින් පැහැදිලි වන්නේ නැෙගනහිර ගම් රැසක්‌ දෙමළකරණයට ලක්‌ වී ඇති වැදි ගම්මාන බව ය.

සිය ගම් බිම්වල සිට යාල වනය මැදින් කතරගමට පැමිණෙන පිරිස සැබැවින් ම අතිමහත් දේව භක්‌තියක්‌ සිත්හි දරාගෙන මස්‌ මාළු රහිත ආහාරයෙන් සති ගණන් පේ වී සිය ගමන අරඹති. මේ ගමන දුෂ්කර ය. එම දුෂ්කරතාව සිය දෙව් බැතිය විසින් තව තවත් දුෂ්කර කරගැනීමක්‌ ද මොවුන් අතර වෙයි. ඒ පාවහන් නො පැළද පා ගමනින් යැම, කෑම බීම නො ගෙන අනුන්ගෙන් ඉල්ලාගෙන කමින් ගමන යැම වැනි ක්‍රියාකලාපයන් නිසාවෙනි. කෙසේ වෙතත් නැෙගනහිර පළාතේ යාල වන තීරය මායිමේ ඇති ඕකන්ද දේවාලයේ සිට කතරගම දක්‌වා ඇති කිලෝමීටර් 110ක දුරක්‌ පා ගමනින් පැමිණීම එක්‌ අතකින් දුෂ්කර කාර්යයකි. තවත් අතකින් ඉතා මිහිරි අත්දැකීමකි.

මේ ගමනේ මිහිරියාව ඇත්තේ ඒ කැළය මැදින් එන දින කිහිපය තම ආදි මුතුන් මිත්තන් සිහිපත් කරවන, මිල මුදල්වල වටිනාකම බිංදුවට වැටෙන, පාරිභෝගික ද්‍රව්‍යවල වටිනාකමට ඉතා ඉහළ අගයක්‌ ලැබෙන නිසා ම පමණක්‌ නො වේ. ගහේ කොළේ සිසිල, සතුන් සිවුපාවුන් ගේ චර්යා විලාසයන්, වනයේ නිහැඩියාව තුළ ම අසන්නට ලැබෙන නොයෙක්‌ වනජ ගීත නිසාවෙනි. ඊට අමතර ව මේ පාද යාත්‍රාවට සම්බන්ධ වන සියලු ම බැතිමතුන් කතරගම දෙවියන්ගේ අවතාර ලෙස සැලකීම ද ඉතා වටිනා සමාජ විද්‍යාත්මක කාරණයකි. එබැවින් ඒ සදහා සහභාගී වන සියලු දෙනා ම එකිනෙකා අමතනු ලබන්නේ "සාමි" යන වදනිනි. මේ නිසා එකිනෙකාගේ අවශ්‍යතා පිළිබදව එකිනෙකාගේ වග වීම අතිමහත් ය. විවිධ කුල, ගෝත්‍ර, ජාතිවලට අයත් අය මේ ගමන ගියත් මේ ගමන යන්නේ කද සුරිදුන්ගේ අවතාර හෙවත් "සාමිලා ය". එබැවින් සැමට සමාන ගෞරවයක්‌, අවධානයක්‌ ලැබේ.

කෙසේ වෙතත් මේ ලිපියට ප්‍රස්‌තූත වන කරුණු අනුව මේ සුන්දර ගමන අතරතුර සිදු වන අසුන්දර ක්‍රියාවන්හි නිමක්‌ නැත. ඊට මූලික හේතුව මිනිසා විසින් බැහැර කරනු ලබන නොයෙකුත් නො දිරන අපද්‍රව්‍යයන් ය. බොහෝ විට පොලිතින් මලු, ඉටි කොළ, වතුර බෝතල් හා රෙදි කැබැලි ආදිය මේ අතර ප්‍රධාන ය. මේ නිසා වනාන්තර පරිසර පද්ධතියට වන හානිය තක්‌සේරු කළ නොහැකි තරම් ය. මේ නො දිරන ද්‍රව්‍ය සුළෙග් ගසාගෙන යැම, වන සතුන් විසින් රැගෙන යනු ලැබීම හා බැතිමතුන් විසින් හිතාමතා කැළයට විසි කරනු ලැබීම නිසා ටොන් ගණනින් මග දිගට වනය පුරා ඒකරාශී ව ඇති අයුරු නිරීක්‌ෂණය කළ හැකි ය. ඊට අමතර ව අලින්ගේ වසුරුවල පොලිතින් දැකගත හැකි ය. යාල කලාප අංක දෙක යනු මිනිස්‌ වාසයෙන් බොහෝ ඈත ඇති මිනිස්‌ ක්‍රියාකාරකම් සීමා කර ඇති කලාපයකි. එහෙත් මේ කලාපයේ දී හමු වන අලි වසුරු ගොඩක පොලිතීන් ඉතා ඉහළ ප්‍රමාණයක්‌ හමු වීම නිරීක්‌ෂණය විය.

ජනතාව ඒකරාශී වන ස්‌ථානවල බොහෝ අස්‌ථාවරව සකසා ඇති කුණු කසළ බදුන් අවස්‌ථාව ලත් විගස අලියන්, ඌරන් විසින් පරිභෝජනය කරනු ලබන අවස්‌ථා දුලබ නො වේ.

ඊට අමතර ව මේ නො දිරන ද්‍රව්‍ය ජල මාර්ගවලට එකතු වීම ද සුලබ ව සිදු වෙයි. මෙසේ ජල මාර්ගවලට එක්‌ වීම යනු අවසානයේ සමුද්‍රීය පරිසරය දක්‌වා මේ විනාශය ගමන් කිරීමකි. නැත හොත් තවත් ඈතට එම විනාශය පැතිරීමට ඉඩ සැලසීමකි. විශේෂයෙන් මැණික්‌ ගග ආශ්‍රිත ව මේ ව්‍යසනය තදින් ම සිදු වේ. විටින් විට ගං දිය දිගේ විවිධ අපද්‍රව්‍ය ගලා යනු දැකගත හැකි අතර තැන් තැන්වල කසළ ගොඩවල් ජලයේ පා වී ගොස්‌ එක්‌ රැස්‌ වී තිබෙනු දැකගත හැකි ය. මේ සමයේ දී වනය පුරා අධික වේගයෙන් සුළං හමයි. මේ නිසා ද ක්‌ෂණික ව කසළ විසිරී යනු දැකගත හැකි ය. නොයිදුල් හරිතවත් තණබිම් පුරා සිලි මලු හා ඉටි කොළ කැබැලි විසිරි ඇත්තේ ඒ නිසාවෙනි.

මේ සියල්ල ම මහා පිරිසිදු කිරීමේ ව්‍යාපාරයකින් යථා තත්ත්වයට පත් කළ හැකි ය. එහෙත් නැවත වේගයෙන් ආපස්‌සට ගත නොහැකි විපත්තීන් අතර ගස්‌ කොළන්වලට සිදු වන විනාශය නොකියා ම බැරි ය. අධික සුළගින් මිදී ගිනි අවුළුවාගැනීමට බොහෝ දෙනා ගස්‌ මුල්වල ආවරණය පතති. මේ නිසා ගස්‌ මුල් ආශ්‍රිත ව ගිනි ඇවිළීමේ සම්භාවිතාවක්‌ පවතී. එම නිසා සම්පූර්ණයෙන් ම ගස්‌ විනාශ වී ගිය අවස්‌ථා ද දැකගත හැකි වෙයි. නැත හොත් අධික තාපය නිසා ගසේ පහත ඇති කොටස්‌ මිය යැමත් ඒ නිසා එම කොටස්‌ ආශ්‍රිත ව බෙන හටගැනීමත් කාලයක්‌ යන විට ඒ ආශ්‍රිත ව පටක දුර්වල වීම නිසා ගස්‌ ඇද වැටීමත් සිදු වේ. මේ නිසා මග දිගට ගිනි තැබීම් නිසා විනාශයට පත් වූ ගස්‌ සිය ගණනක්‌ නිරීක්‌ෂණය කළ හැකි ය. කටගමුව වැව ආශ්‍රිත ව තිබූ මී ගස්‌ අතරින් ගණනාවක්‌ ම අකාලයේ ගිනිගන්නේ මේ නිසා ය. මේ වකවානුව ඉතා වියළි අධික ලෙස සුළං සහිත කාලයක්‌ බැවින් ලැව් ගිනිවලට මුලපිරීමේ අවදානමක්‌ ද මේ ගිනි තැබීම්වල පවතියි.

වනාන්තරය අයිති සතුන්ට ය. මේ සතුන්ගේ හැසිරීම උන්ට රිසි වේලාවට ය. ඈත අතීතයේ සිට ම වනාන්තරයේ සැරිසැරූ මිනිසා වන මැද නින්දට ගියේ ගිනිමැලයක්‌ද සහිත ව ය. ඒ වන සතුන්ගෙන් වන උපද්‍රවයන්ගෙන් බේරීමට ය. විදුලි පන්දම් එළියට කෙසේ වෙතත් අදටත් වන සතුන් ගින්දරට බය ය. එහෙත් මිනිසුන් රැදී සිටින තැන්වලට හමුදා ආරක්‌ෂාව යොදා ඇතැම් විට අලි වෙඩි දමමින් සිදු කරන සතුන් පලවා හැරීම සත්ත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

මේ යන පිරිස කැළය මැදින් යන්නේ ඒ අයගේ බලවත් වුවමනාවට ය. වනාන්තරය තුළින් යන ගමනේ අවදානම ඔවුන් නො දන්නවා නො වේ. ඒ නිසා ය ඔවුන් මස්‌ මාළු අනුභවයෙන් වැළීකී පේ වී මේ ගමනට සහභාගී වනුයේ. මේ පිරිස්‌ කණ්‌ඩායම් ලෙස යන්නේත් ආරක්‌ෂාවට ය. 'හරෝ හරා', 'හරෝ හරා' යයි කියමින ගමන් කරන්නේත් ආරක්‌ෂාවට ය. ඒ හඩට සත්තු මිනිසුන් මගහැර යති. මෙවැනි සාම්ප්‍රදායික ආරක්‍ෂක ක්‍රමවේද භාවිත කරද්දී තවත් අය ආයුධ හා අලි වෙඩි භාවිත කරමින් සතුන් පළවාහැරීම සීමාව ඉක්‌මවා යැමකි.

මේ ගමනේ දී කිසිවකු වන සතුන්ගේ පීඩාවට ලක්‌ වුව හොත් ඊට රජය හෝ වෙනත් පිරිසක්‌ හෝ වග නො කියන බව බැතිමත්තු දනිති. ඒ නිසා දෙවියන් කෙරේ ඔවුහු දැඩි විශ්වාසයක්‌ රදවාගෙන මේ ගමන යති. එහෙත් පාලනය කළ යුතු බොහෝ දේ තිබේ. උක්‌ත ගිනි දැල්වීම්, කැළි කසළ බහාලීම් ආදිය ඒ අතර ප්‍රධාන ය.

මේ අතර රාජ්‍ය ආයතන, යුද හමුදාව, ස්‌වෙච්ඡා සංවිධාන මේ ගමනේ ඇති දුෂ්කරතාව සමනය කොට ගමනේ වගකීම සියතට ගැනීමෙන් තත්ත්වය තවත් නරක අතට හැරී ඇත. එමගින් සිදු වන වැරැදි ගණනාවකි. ඒ අතර මූලික කරුණු වන්නේ බැතිමතුන්ගේ විශ්වාසයට වටිනාකමක්‌ නො දීම ය. ඊට එරෙහි ව තැන තැන තබා ඇති වතුර ටැංකි, බෙහෙත් හේත් ලබා දෙන තැන් නිසා ගමන පහසු කරවයි. ඒ මගින් මේ ගමනට සම්බන්ධ වන පිරිස්‌ වැඩී වීම හැර අන් දෙයක්‌ සිදු නො වේ. මේ ගමනට සම්බන්ධ වන පිරිස වැඩි වෙත් ම විනාශය වැඩි ය. එබැවින් පහසුකම් වැඩි කිරීමේ ප්‍රවනතාව පරිසර හිතකාමී නැත. සාම්ප්‍රදායික ද නැත. විනාශයට බර ය.

කලකට ඉහත දී බැතිමතුන් මේ ගමන ගියේ අවශ්‍ය තරම් ආහාර, වතුර රැගෙන ය. ඒ නිසා ජල මූලාශ්‍ර අපවිත්‍ර නො කිරීමට ඔවුහු බොහෝ උත්සුක වූ හ. ඔවුන් දැන් එම ජල මූලාශ්‍ර භාවිත කරනුයේ වැසිකිළි යැමට ය. බීමට ජලය මග දෙපස ටැංකිවල පවතී. මේ කාර්යය නිසා ජලය පිළිබදව තිබූ විධිමත් කළමනාකරණය බැතිමතුන් කෙරෙන් තුරන් වී යයි. බීමට ඇති ජලයෙන් මුණ අතපය දොවන, වැසිකිළි පහසුව සලසාගන්නා අවස්‌ථා නැතුවා ද නො වේ. එහෙත් තමා ම තමන්ට අවශ්‍ය ජල ප්‍රමාණය රැගෙන යා යුතු තත්ත්වයක දී ජලයට ඊට වඩා ඉහළ වටිනාකමක්‌ තිබිණි. කෙනකු තිබහට ජලය ඉල්ලූ විට ඒ මොහොතේ අත තිබූ වටිනා ම ධනය වන වතුර ලබා දීම බැතිමතකුගේ සැබෑ මානූෂීය ගුණය ද ප්‍රකට කරවයි. එහෙත් දැන් ඊට අවස්‌ථා නැත. මහ වනය මැද තැඹිලි දන්සැල් ය. වතුර ටැංකි ය, බත් දන්සල් ය. මේ සැම ස්‌ථානයකට ම ඒවායේ ආරක්‌ෂාවට යෙදූ පිරිස්‌ හා විදුලි ආලෝකය ද වන දිවියට කරනුයේ අවැඩකි.

මඟ දිගට ගස්‌වල සිය නම කොටන, ගල්වල නම් ලියමින් යන උදවිය ඉඳහිට සිටිති. මෙවැනි පිරිස්‌ අත්අඩංගුවට ගැනීමට කිසිවකු සමත් වූ බවක්‌ පෙනෙන්නට නැත. මේ නිසා වනයේ සුන්දරත්වයට හා ගස්‌ කොළන්වල ආරක්‌ෂාවට ඇති කරනුයේ බලවත් හානියකි. ජනතාවට උපකාර කිරීමට යන එන වාහනවලින් ඇති කරන දූහුවිල්ල ද සුළුපටු නො වේ. එමඟින් බැතිමතුන් රෝගී කරවන අතර අවට වනාන්තර පරිසරය ද තනිකර දූවිල්ලෙන් වසා දමයි; සැබැවින් ම කළ යුත්තේ වාහන ගමනාගමනය සීමා කිරීමකි.

කැබලිත්ත දේවාලය පිහිටියේ කුමන කුඩා කැබලිත්ත දේවාලයේ සිට කිලෝ මීටර් 35ක්‌ පමණ මහ වන ගහනයට වන්නට ය. එම ස්‌ථානය ඉමහත් දිව්‍ය හාස්‌කම් ඇති ස්‌ථානයක්‌ ලෙස බොහෝ දෙනා අතර ප්‍රකට ය. මේ ස්‌ථානය 'සියඹලාව' ලෙස හඳුන්වනුයේ එහි ඇති සියඹලා ගස නිසාවෙනි. අතක්‌ තරම් වත් ඝනකමක්‌ නැති, අඩි අටක්‌ දහයක්‌ පමණ මේ සියඹලාව කතරගම් දෙවියන් වැඩ සිටින ස්‌ථානය ලෙස උන්වහන්සේගේ විවේකී විමානය ලෙස ඇතැම්හු හඳුන්වති. සියඹලා යනු වියළි කලාපීය ශාකයක්‌ වන බව අප දන්නා සාමාන්‍ය කරුණකි. එවැනි වියළි කලාපීය එතරම් විශාල නො වූ ශාකයකට තෙත් කලාපීය ගසකටත් වඩා ජලය ලබා දීම ඒ සමඟ කිරි, සඳුන් වැනි සුවඳ ලී කුඩු වර්ග යෙදීම ආදිය අනවරත ව සිදු වීම නිසා කතරගම දෙවියන්ගේ විවේකී විමානය යෑයි කියන සියඹලාව මේ වන විට මිය ගොස්‌ ඇති බව ප්‍රසිද්ධ නො කළ යුතු කරුණකි.

අපේ පැරැන්නන්, සැම ගසක්‌ ම දුටුවේ දෙවියකුගේ විමානයක්‌ ලෙස ය. ඒ කරුණ ප්‍රකට වන්නේ ගෙවත්තේ ගසක්‌ කැපීමට මත්තෙන් තුන් වරුවක්‌ පහන් දල්වා ඒ ගසේ දෙවියකු අධිගෘහිත නම් වෙනත් විමානයක්‌ සොයාගෙන යන ලෙස කරනු ලබන ඉල්ලීම මෑතක්‌ වන තුරු අපේ උදවිය අතර ප්‍රචලිත ව තිබූ බැවිනි. මේ චාරිත්‍රමය කරුණ ආණ්‌ඩුවේ කන්තෝරුවෙන් ගන්නා 'පර්මිට්‌' හෙවත් බලපත්‍රයට වඩා පරිසරයට හිතවත් ය. ඒ කන්නලව්වේ පොරොන්දුව ගස කපාගත් පසු තවත් ගසක්‌ සිටුවීම විය හැකි ය. පරිසර සංරක්‌ෂණය සංස්‌කෘතික ක්‍රමෝපායන්ගෙන් නිබඳ ආරක්‌ෂා කිරීම වෙනුවට නීතිමය ග්‍රහණයෙන් ආරක්‌ෂා කිරීමට යැම කෙතරම් ප්‍රායෝගික ද යන්න අපට විද්‍යමාන වන්නේ මෙතරම් නීති රීති සහ ආයතන තිබිය දීත් ලංකාවේ වන ගහනයට දිනපතා සිදු වන විනාශය තක්‌සේරු කළ විටදී ය.

මැණික්‌ ගඟේ වැලි කට්‌ටිවල නවාතැන් ගැනීම බොහෝ බැතිමතුන් ඉමහත් විවේකයක්‌ ලබාගන්නා අවස්‌ථාවකි. මෙසේ දින කිහිපයක්‌ එම ස්‌ථානවල රැඳී සිටින බැත්මතුන් කණ්‌ඩායම් ද සිටියි. මේ පිරිස්‌ කූඩාරම් සහ වෙනත් කුඩා දේවාල තාවකාලිකව අටවගැනීම සඳහා යාබද වනයේ කුඩා ගස්‌ කපා දමති. වරෙක කිලෝමීටර 10ක්‌ පමණ දිග මේ ගංගා ප්‍රදේශයේ කුඩා රිටි ට්‍රැක්‌ටර ටේ්‍රලර් ගණනාවකින් එකතු කළ හැටි මේ ලේඛකයාට මතක ය.

රුචිර ශ්‍යාමන්ත ගුණතිලක