logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මිථ්‍යා මත

මේ ලිපියෙන් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව සුලබ ව ම පවතින මිථ්‍යාවන් කිහිපයක්‌ විග්‍රහ කෙරෙයි.

පළමු දුර්මතය

අ.පො.ස. උසස්‌ පෙළ යනු වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා වූ යල්පැන ගිය ක්‍රමයකි.

ලොව පුරා විහිදුණු ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාල සියල්ලක ම පාහේ, සිසුන් ඇතුළත් කරගැනීමේ මූලික නිර්ණායකය ලෙස භාවිත වන්නේ අ. පො. ස. උසස්‌ පෙළ හෝ ඒ හා සමාන විභාගයක කාර්යසාධන ඇගයීම ය. මෙය මූලික අවමයක්‌ වන අතර, ඉතා දෘඪතර උපාධි පාඨමාලාවක්‌ වන වෛද්‍ය විද්‍යාව සඳහා එම නිර්ණායකය ඉතා ඉහළ අගයක්‌ ගනී. එය A සාමර්ථ්‍ය, උපරිම GPA අගයක්‌ හෝ එයට සම කළ හැකි ප්‍රතිඵලයක්‌ විය යුතු බව ලොව පුරා පිළිගත් කරුණකි.

සිසුන් ඇතුළත් කරගැනීම සඳහා භාවිත වන අනෙකුත් ක්‍රම ලෙස සැලකෙන නිර්දේශ ලිපි සහ සම්මුඛ පරීක්‌ෂණ වැනි දෑ විශ්වසනීය හෝ සාධාරණ ක්‍රම ලෙස වර්තමානයේ දී නො පිළිගැනේ. අභියෝග්‍යතා පරීක්‌ෂණ ලෙස විවිධ සම්මුඛ පරීක්‌ෂණ ඇතැම් අවස්‌ථාවක දී භාවිත වුව ද ඒවා අඩු විභාග ප්‍රතිඵල සඳහා ඌන පූරණයන් ලෙස කිසි විටෙකත් භාවිත නො කෙරේ. ඇමෙරිකා එක්‌සත් ජනපදය තුළ වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් වීමේ විභාගය වන MCAT විභාගයේ දී ද ජීව විද්‍යා විෂය සඳහා වන කුසලතාව වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉතා ම සුදුසු මිනුම් දණ්‌ඩක්‌ ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දැනට පවතින උසස්‌ පෙළ විභාග ක්‍රමය තුළ ජීව විද්‍යා විෂය ධාරාව වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉතා ම ම සුදුසු මිනුම් දණ්‌ඩ ලෙස සැලකිය හැකි ය. අනිවාර්ය ඉංග්‍රීසි, තොරතුරු තාක්‌ෂණය සහ ව්‍යාපෘති වැනි විෂයයන් එකතු කිරීම මඟින් උසස්‌ පෙළ විභාග ක්‍රමයෙහි ධනාත්මක වර්ධනයක්‌ සිදු වී ඇති බව සැලකිය යුතු කරුණකි. වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී වර්තමානයේ සිදු වන අක්‍රමිකතාවන් තවදුරටත් තහවුරු කරන්නේ එම අනිසි මැදිහත් වීම් සහ හැසිරවීම් වැළැක්‌වීම සඳහා පවතින ක්‍රමය තුළ ආරක්‌ෂාවක්‌ හෝ පරිණතභාවයක්‌ නොමැති බවයි. මේ සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා වන ආරක්‌ෂsත ම සහ අවම අවදානම් සහිත ක්‍රමය උසස්‌ පෙළ ජීව විද්‍යා ප්‍රතිඵල බවට තවදුරටත් තහවුරු වේ.

දෙවැනි දුර්මතය

අ.පො.ස. උසස්‌ පෙළ විභාගය, වෛද්‍ය අධ්‍යාපනයට සිසුන් තෝරාගැනීම සඳහා වලංගු හෝ විශ්වසනීය ක්‍රමයක්‌ ලෙස තවදුරටත් සැලකිය නොහැකි ය.

වෛද්‍ය සිසුන්ගේ පූර්ව උපාධි, පශ්චාත් උපාධි සහ අඛණ්‌ඩ වෘත්තීය සංවර්ධන අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය ඔවුන්ගේ අ. පො. ස. උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල මඟින් පූර්වව නිගමනය කළ හැකි බව ලොව පුරා සිදු කරන ලද පර්යේෂණ මඟින් සනාථ වී ඇත.

එක්‌සත් රාජධානියෙහි සිදු කරන ලද පුළුල් පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ උසස්‌ අධ්‍යාපනික, පූර්ව උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය සඳහා යමෙකුගේ මූලික බුද්ධිමය ධාරිතාව අත්‍යවශ්‍ය ම සාධකය බවයි. අනෙකුත් රටවල සිදු කරන ලද පර්යේෂණ ගණනාවකින් ද මෙය තවදුරටත් සනාථ වී ඇත. මේ මූලික බුද්ධිමය ධාරිතාව, 'මූලික අධ්‍යයනයෙහි කොඳුනාරටිය' ලෙස සැලකිය හැකි ය. අ. පො. ස. උසස්‌ පෙළ හෝ ඒ හා සම කළ හැකි විභාග මඟින් මේ ධාරිතාව සැලකිය යුතු නිවැරැදිතාවකින් මැනගත හැකි ය.

අ. පො. ස. උසස්‌ පෙළ ප්‍රතිඵල, අනාගත අධ්‍යයන කාර්යසාධනය පුරෝකථනය කිරීම සඳහා වලංගු මෙවලමක්‌ ලෙස සැලකීමට හේතු:

1. අ.පො.ස. උසස්‌ පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙහි අද්විතීය අන්තර්ගතය -

අ.පො.ස. උසස්‌ පෙළ ජීව විද්‍යා විෂය ධාරාව තුළින් අනාගත වෛද්‍ය සිසුන්ට අදාළ කරුණු, අදහස්‌ හා න්‍යායන් පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා දේ. මානව ජීව විද්‍යාව, අණුක ජීව විද්‍යාව, සෛල ජෛව විද්‍යාව සහ ජාන විද්‍යාව වැනි විෂයයන් වඩාත් පුළුල් සහ සංකීර්ණ මට්‌ටම්වලින් වෛද්‍ය උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවන්හි දී තවදුරටත් විකාශනය වේ.

2. අ.පො.ස. උසස්‌ පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත් වීම සඳහා අධ්‍යයන හැකියාව පමණක්‌ නො ව, සිසුන්ගේ උද්යෝගය, උත්සාහය, කැප වීම මෙන් ම මනා පෞරුෂය ද අත්‍යවශ්‍ය ය. වෛද්‍ය අධ්‍යාපනයෙහි දී මෙන් ම වෛද්‍යවරයකු සිය ජීවිත කාලය පුරා ම සිදු කළ යුතු අඛණ්‌ඩ වෘත්තීය අධ්‍යයන කටයුතු සඳහා ද මේ කරුණු සියල්ල ම අත්‍යවශ්‍ය වේ.

තෙවැනි දුර්මතය

අතීතයේ දී වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා අ. පො. ස උසස්‌ පෙළ විභාගයේ දී S සාමර්ථ්‍ය පමණක්‌ ලබාගත් සිසුන් ද සුදුසුකම් ලැබූ අතර ඔවුන් ද විශිෂ්ට වෛද්‍යවරුන් බවට පත් වී ඇත. එනිසා එම නිර්ණායකයන් එලෙසින් ම පවත්වාගැනීම සුදුසු ය.

අතීතයේ දී S සාමර්ථ්‍ය ලැබූ සිසුවකුගේ බුද්ධිමය හැකියාව වර්තමානයේ දී S සාමර්ථ්‍ය ලබාගන්නා සිසුවකුගේ බුද්ධිමය හැකියාව හා සමාන කළ නොහැකි ය. කාලයත් සමඟ සිදු වන මේ 'ශ්‍රේණි උද්ධමනය' අපේක්‌ෂා කළ යුතු සාමාන්‍ය තත්ත්වයකි.

වර්තමාන තත්ත්වයන්ට අනුව, යම් ශිෂ්‍ය පරම්පරාවක සිටින දක්‌ෂතම සිසුන් සමූහය වෛද්‍ය අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට නම්, එස්‌ (S) සාමර්ථ්‍ය (එනම් එස්‌ (S) සාමර්ථ්‍ය තුනක්‌ - 03) ලබාගත් සිසුන් තෝරාගැනීම කිසි සේත් ම ප්‍රමාණවත් නො වේ. මෙය ලොව පුරා අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටියයි.

ඔබට අවුරුදු 15කට පෙර රුපියල් 100කින් කළ හැකි ව තිබූ දේ අද කළ හැකි ද යන්න විමසා බැලීමෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.

වර්තමානයෙහි උසස්‌ පෙළ විෂයයක්‌ සමත් වීම සඳහා ලබාගත යුතු අවම ලකුණු ප්‍රමාණය ලකුණු 35 දක්‌වා පහත දමා ඇති බැවින් ම S සාමර්ථ්‍යයක වටිනාකම තවදුරටත් පහත වැටී ඇත.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් තෝරාගැනීම නිර්ණය විය යුත්තේ එම ශිෂ්‍ය පරම්පරාවට අදාළ අවම කාර්යසාධන අගය මත ය. මුලින් සඳහන් කළ 'ශ්‍රේණි උද්ධමනය' නිසා ම, වර්තමානයේ දී වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සිසුන්ගේ අවම කාර්යසාධන අගය ඉතා ඉහළ මට්‌ටමක පවතී. නිදසුනක්‌ ලෙස, වර්ෂ 2016 දී උසස්‌ පෙළ ජීව විද්‍යා විෂය ධාරාව සඳහා A සාමර්ථ්‍ය 03ක්‌ ලබාගත් සිසුන් සංඛ්‍යාව 580කට අධික විය.

එවැනි ශ්‍රේණි උද්ධමනයක දී තර්කානුකූල සහ සාධාරණතම පියවර වන්නේ අවම සුදුසුකම වඩාත් ඉහළ මට්‌ටමකට ගෙන ඒමයි. උදාහරණයක්‌ ලෙස, වර්තමානයෙහි එක්‌සත් රාජධානිය විසින් වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වීම සඳහා අවම නිර්ණායකයන් ලෙස සලකනු ලබන්නේ A + හෝ A ++ සාමර්ථ්‍යයන් ය.

එහෙත් අප සිදු කරමින් සිටින්නේ එයට සපුරා විරුද්ධ ක්‍රියාවයි!

සිව්වැනි දුර්මතය

හොඳ වෛද්‍යවරයකු බිහි වීම සඳහා අධ්‍යයන ධාරිතාව අත්‍යවශ්‍ය සාධකයක්‌ නො වේ.

මේ සම්බන්ධයෙන් නිතර ඇසෙන ප්‍රශ්න කිහිපයකි,

1. වෛද්‍යවරයකු එදිනෙදා සිදු කරන ඇතැම් කාර්යයන් සඳහා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කිසි සේත් සුදුසුකම් නො ලද්දකු පුහුණු කළ හැකි ද?

2. වෛද්‍යවරයකු එදිනෙදා සිදු කරන සුළු සැත්කම් සඳහා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කිසි සේත් සුදුසුකම් නො ලද්දකු පුහුණු කළ හැකි ද?

3. උසස්‌ අධ්‍යාපනික ජයග්‍රහණ පදනම් කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා ඉහළින් ම සුදුසුකම් ලද්දන් අතර වෘත්තීය ආචාරධර්ම හා සදාචාරය කෙලෙසන්නන් සිටිය නොහැකි ද?

මේ සියලු ප්‍රශ්න සඳහා සාධාරණ පිළිතුර වන්නේ, "ඔව්, එය එසේ සිදු විය හැකි ය" යන්න ය. එහෙත් මේ සියල්ල පෞද්ගලික හෝ හුදෙකලා හෝ සිදු වීම් පමණි. මනා ලෙස ස්‌ථාපිත ව්‍යqහයක්‌ තුළ තීරණ ගනු ලබන්නේ බහුතර සුබසිද්ධිය සඳහා ය. හුදෙකලා විචල්‍යයන් එහි දී නො සැලකේ.

වෛද්‍යවරයකුගේ නිපුණතාවට අත්‍යවශ්‍ය ප්‍රමුඛතම සාධකය වන්නේ විෂය හා සම්බන්ධ පිරිපුන් දැනුම ම බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. එය සපුරා ලීම සඳහා වෛද්‍යවරයකුගේ මූලාරම්භය ලෙස සැලකිය හැකි වෛද්‍ය සිසුවකුට ඕනෑ ම තත්ත්වයක්‌ සඳහා අනුගත විය හැකි පෞරුෂයක්‌ මෙන් ම ප්‍රමාණවත් බුද්ධි මට්‌ටමක්‌, නිපුණතාවක්‌ සහ දැනුම ලබාගැනීමේ හැකියාව ද තිබිය යුතු ය.

කාලාන්තරයක්‌ පුරා මගෙන් නිතර අසනු ලබන තවත් පැනයකි.

"රාගම පෞද්ගලික වෛද්‍ය පීඨයෙන් සමත් වූ අහවල් වෛද්‍යවරයා දැන් ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඔබට ඒ ගැන කීමට ඇත්තේ කුමක්‌ ද?"

මේ නිසා ම මම වරක්‌ රාගම පෞද්ගලික වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලද සිසුන්ගේ අ. පො. ස. උසස්‌ පෙළ විභාග ලකුණු පිළිබඳව අධ්‍යයනය කළෙමි. එහි දී දැකගත හැකි වූයේ ඔවුන් සියලු දෙනාට ම රාජ්‍ය වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය අහිමි වී තිබුණේ ලකුණු 10 -15 වැනි සුළු ලකුණු ප්‍රමාණයකින් බව ය.

තත්ත්වය එසේ වුව ද රාගම පෞද්ගලික වෛද්‍ය පීඨය ස්‌ථාපිත කිරීම සාධාරණීකරණය කළ හැකි ද? නැත.

සුළු ප්‍රමාණයකට යුක්‌තිය පසිඳලීමට වඩා වැදගත් වන්නේ සමාජ සාධාරණත්වය ඉටු කිරීමයි. මේ ලකුණු අතර තවත් සිසුන් සිය ගණනක්‌ සිටින්නට ඇත. ආර්ථික වශයෙන් ශක්‌තිමත් නො වූ ඔවුනට පෞද්ගලික වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සිහිනයක්‌ පමණක්‌ ම විය.

එවකට පැවැති රජය, පවතින ක්‍රියාපටිපාටියට අනුගත වෙමින් ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය ලෙස නව රාජ්‍ය වෛද්‍ය පීඨ ස්‌ථාපිත කිරීමට නො පමාව පියවර ගත්තේ නම්, එම සිසුන් සියලු දෙනා ම රාජ්‍ය වෛද්‍ය පීඨවලින් බිහි වූ අභිමානවත් වෛද්‍යවරුන් ලෙස නික්‌ම යා හැකි ව තිබිණි. එසේ විණි නම් සිදු වූ ව්‍යසන බොහොමයක්‌ ද ඉතිහාසයට එක්‌ නො වේ. එහෙත් එම තීරණය ගැනීමට ඔවුන්ට තවත් වසර 05ක්‌ ගත විය.

පෙර සිදු වූ වැරැදීම්වලින් අප පාඩම් උගන්නේ කවදා ද?

පස්‌වැනි දුර්මතය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ අඩුපාඩු රැසක්‌ පවතින නිසා, වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික නිර්ණායක අවම විය යුතු ය.

පරිපූර්ණ වූ අධ්‍යාපන ක්‍රමයක්‌ කිසි විටෙකත් නො පවතී. මෙය ශ්‍රී ලංකාව සඳහා ද සාධාරණ තත්ත්වයකි. පහසුකම් මඳ බව, දක්‌ෂ ගුරුවරුන්ගේ හිඟය, සම්පත් බෙදී යැමේ විෂමතාව යන කරුණු මත ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය බොහෝ විට විවේචනයට ලක්‌ වේ.

2015 ලෝක බැංකු දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වියදම් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1%ක්‌ පමණකි. මෙය දියුණු වෙමින් පවතින අනෙකුත් දකුණු ආසියාතික රටවල් හා සසදා බලන කල අඩු අගයකි.

මෙයට වගකිව යුත්තේ කවුරුන් ද?

සැබෑ ම ගැටලුව ඇත්තේ කොතැන ද?

වර්ෂ 2013 දී, සිසුන් 40,253ක්‌ ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අතර එයින් සිසුහු 20,215ක්‌ එස්‌ සාමර්ථ්‍ය 03ක්‌ හෝ ඊට වැඩි ප්‍රතිඵල ලබා සමත් වූ හ. (එනම්, විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාවෙන් 50%කට වැඩි පිරිසක්‌ උසස්‌ පෙළ විභාගය සමත් වී තිබිණි)ග මොවුන් අතරින් සිසුහු 7,000ක්‌ (එනම් සමත් වූවන් ගෙන් 1රැ3ක්‌) රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවිෂ්ටය සඳහා සුදුසුකම් ලැබූ හ. සිසුන් 2,300ක්‌ බී (B) සාමර්ථ්‍ය 03ක්‌ හෝ ඊට වැඩි ප්‍රතිඵලයක්‌ ලබා තිබූ අතර ඔවුන් ගෙන් දළ වශයෙන් 50%කට පමණ රාජ්‍ය වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් වීමට අවස්‌ථාව හිමි විය.


දැන් මේ දත්තයන් කලා විෂය ධාරාව හා සසදා බලමු.

වර්ෂ 2013 දී කලා විෂය ධාරාව හදාරා සමත් වූ සිසුන් 70,000න්, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රවිෂ්ට වීමට සුදුසුකම් ලබාගෙන තිබුණේ සිසුන් 7,000ක්‌ (එනම් 10%ක්‌) පමණි.

මෙයින් පෙනී යන්නේ විවිධ බාධක සහ අසමතුලිතතා මධ්‍යයේ වුව ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් ඇතුළත් කරගන්නා ක්‍රමවේදයන්හි පවතින සාධාරණත්වයයි. පවතින ක්‍රමවේදයන්හි අඩුපාඩු සොයා බලා නිවැරැදි කරනවා වෙනුවට එම පද්ධතිය තුළ පවතින අඩුපාඩු අවභාවිත කිරීමට යැමෙන් සිදු වන්නේ පවතින පද්ධතිය තුළ ද කැළඹීම් හා අස්‌ථාවරභාවයන් ඇති වීමයි.

පවතින ශ්‍රේණි උද්ධමනයට අනුව වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සඳහා අවම සුදුසුකම ලෙස එස්‌ (S) 03 තෝරාගැනීමෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා සිසුන් තෝරාගැනීමේ නිවැරැදි ක්‍රමවේදය උල්ලංඝනය වීම පමණක්‌ නො ව විශාල සමාජ අසාධාරණයක්‌ ද සිදු වේ.

උපකාරක පන්ති සංස්‌කෘතිය සහ පුහුණු කිරීම (සෙවණැලි අධ්‍යාපන ක්‍රමය) නිසා උසස්‌ පෙළ විභාගය අපකීර්තියට සහ විවේචනයට ලක්‌ වනු දැක ඇත. මේ සෙවණැලි අධ්‍යාපන ක්‍රමය ලොව පුරා පවතින ඕනෑ ම පිළිගත් විභාගයක්‌ සඳහා පැවතිය හැකි අතර එය අ. පො. ස. උසස්‌ පෙළ සඳහා පමණක්‌ සීමා නො වූවකි.

සෙවණැලි අධ්‍යාපන ක්‍රමය ස්‌වභාවයෙන් ම විධිමත් අධ්‍යාපනය සහ විභාග ක්‍රමයන්හි සිදු වන වෙනස්‌ වීම් හා අනුගත වනු මිස කිසි විටෙකත් ස්‌වායත්ත ව පැවතීමක්‌ හෝ විධිමත් අධ්‍යාපන ක්‍රමය අභිබවා යැමක්‌ හෝ සිදු නො වේ. එනිසා සෙවණැලි අධ්‍යාපන ක්‍රමය කිසි විටෙකත් විධිමත් අධ්‍යාපන ක්‍රමය සඳහා ආදේශකයක්‌ විය නො හැකි ය. අප කළ යුත්තේ විධිමත් අධ්‍යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය වැඩිදියුණු කිරීමෙන් අපේක්‌ෂsත ප්‍රතිඵල කරා ළඟා වීමට උත්සුක වීමයි.

පුහුණු කිරීම ගැටලු සහගත තත්ත්වයක්‌ නම්, වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම ඉහළ නැංවීම වඩාත් සාධාරණ ය. පුහුණු කිරීම තුළින් පමණක්‌ එස්‌ (S) සාමර්ථ්‍ය 03ක්‌ හෝ සී (C) සාමර්ථ්‍ය 03ක්‌ ලබාගත හැකි තත්ත්වයට සිසුන් පුහුණු කළ හැකි නමුත් ඉන් ඉහළ සාමර්ථ්‍යයන් ලබාගැනීම පුහුණු කිරීම තුළින් පමණක්‌ සිදු කළ නොහැකි ය. තව ද, පුහුණු කිරීම අනෙකුත් විශ්වවිද්‍යාල පිවිසුම් ක්‍රමවේදයන් ලෙස සැලකෙන සම්මුඛ පරීක්‌ෂණ, නිර්දේශ ලිපි යනාදියට ද වඩා ගැටලු ඇති කළ හැකි ක්‍රමයකි.

සයවැනි දුර්මතය

ශ්‍රී ලංකා රාජ්‍ය වෛද්‍ය විද්‍යාල ඉතා අඩු සුදුසුකම් සහිත සිසුන් බඳවාගනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්‌ථාපනය කිරීම සඳහා වන විවාදයන්හි ඒ සඳහා අනුබල දෙන එක්‌ තර්කයක්‌ වන්නේ වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සඳහා දැනට පවතින දිස්‌ත්‍රික්‌ කුසලතා පදනමයි. මේ ක්‍රමය නිසා ඇතැම් දිස්‌ත්‍රික්‌කවල සිසුන්ට සාපේක්‌ෂ ව අඩු ප්‍රතිඵලයක්‌ ලබාගනිමින් වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් විය හැකි නමුත් ඇතැම් දිස්‌ත්‍රික්‌කවල සිසුන් ඊට වඩා උසස්‌ ප්‍රතිඵල ලබාගත්ත ද වෛද්‍ය පීඨ ප්‍රව්ශය අහිමි වේ.

දිස්‌ත්‍රික්‌ කුසලතා පදනම මත වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගන්නා මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 55%ක්‌ ඇතුළත් කරගනු ලබන අතර එය සමානාත්මතා මූලධර්ම පදනම් කරගත්තකි. සමාජ, ආර්ථික හා ඓතිහාසික හේතු ගණනාවක්‌ මත ඇතැම් ප්‍රදේශවල සිසුන් උසස්‌ පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන්නේ සාපේක්‌ෂ ව වඩා දුෂ්කරතා මධ්‍යයේ ය. එම අවාසි සහගත තත්ත්වයන් සලකා බලමින් ඔවුන්ට සාධාරණයක්‌ ඉෂ්ඨ කිරීමට දිස්‌ත්‍රික්‌ කුසලතා පදනම තුළින් උත්සාහ දරයි.

එහෙත් මේ උපකල්පනය තුළ විෂම වූ සාධක ද ඇත. දිස්‌ත්‍රික්‌කයක්‌ තුළ පාසල් අතර ඇති වෙනස්‌කම්, අනෙකුත් ප්‍රදේශවල සිසුන් පවා සහභාගී වන මහා පරිමාණ උපකාරක පන්ති සහ සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් නාගරික, වැඩි පහසුකම් සහිත පාසල් වෙත සංක්‍රමණය වීම එම සාධක අතරින් කිහිපයකි. කෙසේ වෙතත් මේ පදනම තුළින් මතු වන විෂමතාවන් යම් තරමකින් අවම කිරීමට ජාතික කුසලතා පදනම මඟින් සිසුන් ඇතුළත් කරගැනීම තුළින් සිදු කර ඇත. මෙලෙස වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගන්නා මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 40%ක්‌ ජාතික කුසලතා පදනම මත ඇතුළත් කරගැනේ.

කෙසේ වෙතත්, වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වන 1,300න් පහසුකම් අඩු ලෙස සැලකෙන දිස්‌ත්‍රික්‌කවලින් වුව ද 'අඩු' යෑයි සැලකිය හැකි ප්‍රතිඵල සහිත ව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අවම ප්‍රමාණයකි. උදාහරණයක්‌ ලෙස 2014 වසරේ දී නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සිසුන් 30 දෙනකු ජීව විද්‍යා විෂය ධාරාව තුළින් බී (ඊ) 03 හෝ ඊට වැඩි සාමර්ථ්‍ය ලබා සමත් ව තිබූ අතර එම දිස්‌ත්‍රික්‌කයෙන් වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සඳහා සුදුසුකම් ලද සිසුන් සංඛ්‍යාව 32කි. (එනම් 2014 වසරේ දී නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙන් බී (B) 03ට වඩා අඩු ප්‍රතිඵල ලබා වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සඳහා සුදුසුකම් ලබා තිබුණේ සිසුන් දෙදෙනකු පමණි).

එමෙන් ම පසුගිය වසර කිහිපය තුළ වෛද්‍ය පීඨ ප්‍රවිෂ්ටය සඳහා සුදුසුකම් ලද සිසුන්ගේ අවම Z අගය හා සමගාමී වන උසස්‌ පෙළ ප්‍රතිඵල ද ඉහළ යමින් පවතී.

2010 C C S

2011 C S B

2012 C C C

2013 C C B

2014 C B B

2015 B B B

දිස්‌ත්‍රික්‌ පදනමෙහි වෙනසක්‌ සිදු විය යුතු බව අවිවාදයෙන් පිළිගත යුතු ය. එහෙත් අවම සුදුසුකම පහත දැමීමෙන් එය සිදු කළ නොහැකි ය. බී (B) 03 හෝ ඒ හා සමගාමී අවම නිර්ණායකයක්‌ භාවිත කිරීම තුළින් මේ විෂමතා බොහෝ දුරට අවම කරගත හැකි වනු ඇත.

සත්වැනි දුර්මතය

තෝරාගැනීමේ නිර්ණායකයන්වලට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ සිසුන්ගේ ස්‌ව තෝරාගැනීම්වලට සහ ආශාවන්ට ය.

මෙහි දී සැලකිය යුතු මූලික කරුණු නම්, සමානාත්මතාව සහ කුසලතාවත් සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ අවශ්‍යතාවත් ය.

පෞද්ගලික නිදහස සහ අභිප්‍රායයන්ට වඩා රටෙහි සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවන් සහ ජාතික වගකීම යන කරුණු සඳහා ප්‍රමුඛත්වය හිමි වේ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇති කැමැත්ත මුවාවෙන් වන ඥාතිත්වය, බලය සහ මූල්‍ය ශක්‌තිය අවභාවිතය තුළින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළත් වීම යන සැඟවුණු න්‍යායන්ට ඉඩ නො දිය යුතු ය.

තව ද, මාපියන්ගේ සිහින සාක්‌ෂාත් කර ලීම උදෙසා පෞද්ගලික වෛද්‍ය පීඨයන් විසින් ගෙන යනු ලබන අලෙවිකරණයන්හි මවාපෑම්වලට හසු වුණු සිසුන් හට නිසි මඟ පෙන්වීමේ සදාචාරාත්මක වගකීම අප සතු ය. ඉදිරි වසර 10ක කාලයක්‌ තුළ සිදු වීමට නියමිත වෘත්තීය ක්‌ෂේත්‍රයේ බිඳ වැටීම් සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ අල්ප වූ දැනුමකි. ඒ පිළිබඳ ව දැනුවත් වන විට ඔවුන් බොහෝ පමා වී සිටිය හැකි ය. අනාගතයේ දී රැකියා විරහිත වෛද්‍ය උපාධිධාරීන් අතිරික්‌තයක්‌ ඇති කිරීමට හේතු වන රුපියල් බිලියන ගණනක වෛද්‍ය උපාධි පිරිනැමීමේ කර්මාන්තයේ නියෑළෙන්නන් හෝ ආධාරකරුවන් හෝ වීමට අපට අවශ්‍ය ද නැත.

වෛද්‍ය අධ්‍යාපනයෙහි සැම විට ම නියාමනය විය යුතු කරුණු කිහිපයකි. වෛද්‍ය පීඨ සඳහා ප්‍රවේශ වීමේ නිර්ණායක, සිසුන් සංඛ්‍යාව සහ පාඨමාලා ව්‍යqහය යන කරුණු ඒ අතර වේ. සිසුන් තෝරාගැනීම, පුහුණුව සහ සමත් කිරීම සඳහා මනා ලෙස ස්‌ථාපිත වූ පද්ධතියක්‌ අප සතු ව ඇත්තේ එබැවිනි.

එනිසා ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් තෝරාගැනීමට පවතින ස්‌ථාපිත පද්ධතිය අප ආරක්‌ෂා කළ යුතු ය. පවතින පද්ධතීන් තුළ අඩුලුහුඬුකම් තිබිය හැකි ය. එහෙත්a එම අඩුලුහුඬුකම් අවභාවිත කරමින් කාලාන්තරයක්‌ පුරා, ගත් නිවැරැදි ක්‍රියාමාර්ගයන් විනාශ කිරීමට උත්සාහ කිරීම යුක්‌ති සහගත නො වේ.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණු දෙකකි. එනම් ක්‍රිකට්‌ ක්‍රීඩාව සහ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයන්හි රටක්‌ වශයෙන් අප ලබා ඇති ජයග්‍රහණයි. දේශපාලන බලපෑම්, පෞද්ගලික අවශ්‍යතා සහ අක්‍රමිකතා තුළින් ඉතා ම ස්‌ථාවර ව පැවැති පද්ධතියක්‌ පවා මුළුමනින් ම විනාශ කර දැමිය හැකි බව වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‌ෂේත්‍රය මුහුණ පා ඇති තත්ත්වය හොඳින් ම වටහා දෙයි.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා මේ තත්ත්වය උදා නො වීමට අප වග බලාගත යුතු ය.

කොළඹ විශ්වවිද්‍යාලයයේ

වෛද්‍ය පීඨයේ

මහාචාර්ය

ඉන්දික කරුණාතිලක