logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ භූ කම්පා අවදානම

ස්‌වාභාවික ආපදා විෂයයෙහි ප්‍රමුඛස්‌ථානයක්‌ 'භූමි කම්පා' හිමි කරගනී. මෑතක දී හයිටියේ, චිලී රාජ්‍යයේ, චීනයේ සේ ම රික්‌ටර් පරිමාණයේ ඒකක 07 ඉක්‌මවූ, ඉන්දුනීසියාවේ හා කැලිෆොaනියාවේ ඇති වූ භූ කම්පා මඟින් ලබා දෙන පණිවිඩය වනුයේ ලෝකයේ භූ කම්පා ඇති වන ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇති බව ද? එහෙත් පසුගිය වසර 20ක කාලය අධ්‍යයනය කිරීමේ දී එය එලෙස නො වන බව පෙනී ගියත්, වසරකට ලෝකයේ භූමි කම්පා 15ක්‌ පමණ ඇති වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ රික්‌ටර් පරිමාණ ඒකක 07 හෝ 07 ඉක්‌මවූ අගයකින් සමන්විත ඒවා ය.

මෑත වසර කිහිපය සලකා බලද්දී ශ්‍රී ලංකාව ද භූමිකම්පා අවදානමට ගොදුරු වී අති බවක්‌ ගම්‍යමාන වන අතර, මේ පිළිබඳ ව වැඩිදුර විස්‌තරයක්‌ ලබාගැනීමට භූ විද්‍යාඥ සමුද්‍රd විජයවර්ධන මහත්මිය සමඟ සාකච්ඡාවක නිරත වූයෙමු. ඇය වෘත්තියෙන් ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන්නී ය.

මේ ඒ සාකච්ඡා සටහනයි.

භූමි කම්පාවක්‌ යනු කාලාන්තරයක්‌ මුළුල්ලේ පෘථිවියෙහි ශිලාගෝලාභ්‍යන්තරයෙහි ඒකරාශි වී තිබුණු ශක්‌තීන් ක්‌ෂණික ව නිදහස්‌ වීම නිසා හටගන්නා භූ කම්පන තරංග (Seismic Waves) කරණ කොටගෙන පෘථිවි පෘෂ්ඨය මත ඇති වන සසල වීමකි.

මේ භූ කම්පාවල විශාලත්වය මැනීම සඳහා චාර්ල්ස්‌ එෆ්. රික්‌ටර් (Charles F. Richter) විසින් වර්ෂ 1935 දී පර්යේෂණ පත්‍රිකාවක්‌ මඟින් ඉදිරිපත් කරන ලද රික්‌ටර් පරිමාණය භාවිත කරන අතර, අද වන විට මේ පරිමාණය විවිධ සංශෝධනයන්ට බඳුන් කෙරී ඇත. මෙහි විශේෂත්වය වනුයේ මෙය ලඝූගණක ඇසුරෙන් ඉදිරිපත් කර තිබීම වන අතර, අද අපි භූමි කම්පන තීව්‍රතාව මැනීමේ දී 1-9 හෝ ඊට වැඩි අගයන් ලෙස සඳහන් කරනුයේ භූ කම්පන මාන (Seismograph) මඟින් මනිනු ලබන තරංගවල විස්‌තාරයෙහි ලඝූගණක අගයයි. මෙහි දී භූමි කම්පාවක දී කම්පන තරංග හැසිරෙන ආකාරය නිරූපිත ප්‍රස්‌තාරය Seismograph ලෙස හැඳින්වේ.

භූමි කම්පා නිසා ස්‌වාභාවික හා නිර්මිත පරිසරයට වන හානි රැසකි. භූමියෙහි දැඩි චලනයන්, නාය යැම්/පාංශු ගලනයන්, සුනාමි මේ සඳහා හේතු වේ. භූ විද්‍යාත්මක ව සැලකූ කල තද පාෂාණයන්ට වඩා ලිහිල් අවසාදිතවලට භූ කම්පනයක්‌ මඟින් බාධාවන් අධිකතර ය. මේ නිසා යම් තැනක භූ කම්පනයක්‌ හටගනී ද, එතැනින් බොහෝ දුර පිහිටි බෑවුම් අස්‌ථාවර වීම සිදු වේ. උදාහරණයක්‌ ලෙස වර්ෂ 1970 දී පේරු රාජ්‍යයෙහි හටගත් භූ කම්පනයට සැතපුම් 80ක දුරින් පවා නාය යැම් වාර්තා වී ඇත. මෑතකාලීන ව මෙරටෙහි සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක්‌ වන 'සුනාමි' යනු ඇත්ත වශයෙන් ම පුරාණයේ සිට ම ලොව ඇති වුණු සංසිද්ධියකි. මේ සුනාමි රළ බොහෝ විට උදම් රළ ලෙස වරදවා වටහාගත් අවස්‌ථා ඇති අතර සමුදුරු පත්ලෙහි ක්‌ෂණික ව ඇති වන සිරස්‌ පහත් වීමක්‌ (Fault) නිසා හටගන්නා සමුද්‍රdභ්‍යන්තරික භූමි කම්පාවක්‌ නිසා මේ සුනාමි ඇති වේ. එමෙන් ම මුහුදු පත්ලෙහි ගිනි කඳු විදාරණය වීම ද මේ භූ කම්පාවලට හේතු වේ. 1883 දී ක්‍රැකටෝවා දූපතෙහි ගිනි කන්ද විදාරණය මඟින් අසල දූපත්වලට ද සුනාමි රළ ගැසීමෙන් මරණ 36,000ක්‌ සිදු වීම, 2004 වසරෙහි දී අප රටට ද බලපෑ ඉන්දීය සාගර සුනාමිය මීට නිදසුන් ය.

භූ කම්පා සිදු වන අයුරු

ඉහත දක්‌වා ඇති පරිදි භූමි අභ්‍යන්තරයෙහි වන පාෂාණ ස්‌ථරයන් හදිසි විභේදනයකට ලක්‌ වීම නිසා ශක්‌තිය නිදහස්‌ වීමෙන් භූ කම්පන තරංග හටගනී. මෙය පෘථිවි කබොල මතුපිට චලනයන් ලෙස අපට දැනේ. භූ කම්පනයක රූසටහනක්‌ පහත සැකෙවින් දක්‌වා ඇත.

(රූපය 01)



පාෂාණ ස්‌ථර පිපිරීම සිදු වන පොළෝ අභ්‍යන්තරික ලක්‌ෂHය කේන්ද්‍රය (Focus) ලෙස ද, එහි පොළෝ මතුපිට ප්‍රෙක්‌ෂaපණය, අපිකේන්ද්‍රය (Epicenter) ලෙස ද හඳුන්වයි. භූ කම්පන තරංග මෙකී කේන්ද්‍රයෙහි සිට අරීය ව (Radially) විහි දී යයි. භූ කම්පනයකට පෙර ඇති වන සුළු කම්පන තත්ත්ව, පූර්ව කම්පන (Fore Shocks) ලෙස ද ප්‍රධාන භූ කම්පනයට පසුව ඇති වන කම්පන, පසු කම්පන (After Shocks) ලෙස ද හැඳින්වේ.

භූමි කම්පාවක භූ විද්‍යාත්මක පසුබිම

පෘථිවි ගෝලයේ සමන්විත වනුයේ කේන්ද්‍රයේ සිට මතුපිටට පිළිවෙළින් පිහිටි හරය (Core), ප්‍රාවරණය (Mantle) සහ කබොල (Crust) යන ස්‌ථරයන් ගෙනි. මෙයින් ප්‍රාවරණයෙහි ඉහළ කොටස ඉහළ ප්‍රාවරණය (Upper Mantle) ලෙස හැඳින්වේ. කබොල, භූ තල (භූ තැටි - Plates) යනුවෙන් හැඳින්වෙන අවිධිමත් කොටස්‌වලට කැඩී ඇත. මේවා ප්‍රධාන වශයෙන් 12කි.

(රූපය - ලෝක භූ තල මායිම් සිතියම)

මේ භූ තල වාර්ෂික ව නො ගිණිය හැකි තරම් (ඇතැම් විට මිලිමීටර් කිහිපයක්‌ පමණ) ප්‍රමාණවලින් චලනය වේ. මේ චලිතය සඳහා භූ තලවලට යටින් වන ඇස්‌තනොස්‌පියර් (Asthenosphere) නම් අර්ධ ඝන තත්ත්වයේ පවතින ප්‍රාවරණයට ම අයත් ස්‌ථරයක්‌ උපකාරී වේ. මේ භූ තල අතර මායිම් වඩාත් රළු, කඩතොළු බවින් යුතු ඒවා වන අතර බොහෝ කොට ම විභේදන තල (Transform Fault Boundaries) වේ.

මේ භූ තල මායිම් දෙකක්‌ එකිනෙක හා තදින් සම්බන්ධ වී තිබිය දී භූ තලවල ඉතිරි කොටස (මධ්‍ය කොටස) ප්‍රතිවිරුද්ධ දිශාවන්ට චලනය විය හැකි අතර එමඟින් භූ තල මායිම් මත ඇති කරන අධිකතර පීඩනය ඒ ආශ්‍රිත ව ඒකරාශී වී දරාගත නොහැකි මට්‌ටමකට පැමිණේ. එවිට එම ගබඩා වූ ශක්‌තිය අරීය ව මුදාහරිමින් විභේදන තල (Fault Plates) ඔස්‌සේ භූ තැටි ලිස්‌සා යයි. අප භූමි කම්පාවක්‌ ලෙස අත්විඳිනුයේ මේ පොළෝ අභ්‍යන්තරික කම්පනයන්හි මතුපිට ප්‍රෙක්‌ෂaපණයයි. භූ කම්පන මාන මඟින්, ඇති වූ ප්‍රාථමික තරංග (P - Waves) සහ ද්විතීයික තරංග (S - Waves) ඇසුරින් භූමි කම්පාව සිදු වූ ස්‌ථානය නිශ්චිත ව නිර්ණය කරනු ලබයි. මේ සඳහා ත්‍රිකෝණීකරණය (Triangulation) නම් මිනිත ක්‍රමවේදය යොදාගනී.

ලොව භූ කම්පන සුලබ ස්‌ථාන ලෙස ජපානය හා පැසිෆික්‌ ගිනි වළල්ල (Pacific Ring of Fire) නමින් හැඳින්වෙන පැසිෆික්‌ (ශාන්තිකර) සාගරය ආශ්‍රිත ගිනි කඳු විදාරණය ද බහුල ප්‍රදේශ, ෆිජී දූපත් හා නැඟෙනහිර ඉන්දීය දූපත් (ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ) ආශ්‍රිත ප්‍රදේශය (ඕස්‌ටේ්‍රලියානු භූ තැටියට මායිම් ව), මධ්‍යම ආසියාව, අප්‍රිකානු - යුරේසියානු භූ තැටියට මායිම් ව පිහිටි ආද්‍රියාතික්‌ මුහුද අවට ප්‍රදේශය හා මධ්‍යධරණී මුහුද අවට, අරාබියානු භූ තැටිය හා යුරේසියානු / අප්‍රිකානු භූ තැටි ඝට්‌ටනය වන ලෙබනනය ආශ්‍රිත ප්‍රදේශ, උතුරු ඇමෙරිකාවෙහි සැන් ෆ්‍රeන්සිස්‌කෝ බොක්‌ක ආශ්‍රිත පැසිෆික්‌ හා උතුරු ඇමෙරිකානු භූ තල මායිම, ඇලස්‌කාවේ මධ්‍යම වෙරළ ප්‍රදේශය සහ නවසීලන්තය හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ භූ සැකසුම හා භූ කම්පනවලට දක්‌වන ප්‍රවණතා



මීට වසර මිලියන 200කට පෙර ගොන්ඩ්වානාලන්තය නම් දක්‌ෂsණ සාගරයේ පිහිටි භූමි ස්‌කන්ධය විභේදනය වී සමස්‌ත ශ්‍රී ලාංකේය භූමිය හා දකුණු ඉන්දියාවේ වැඩි ප්‍රමාණයක්‌ සෑදී ඇත. ශ්‍රී ලංකාව ප්‍රධාන භූ විද්‍යාත්මක ඒකක 04කින් සමන්විත ය. එනම් උස්‌ බිම් සංකීර්ණය, විජයානු සංකීර්ණය, වන්නි සංකීර්ණය හා කඩුගන්නාව සංකීර්ණයයි. මේවා ප්‍රාග් කේම්බ්‍රියානු භූ විද්‍යාත්මක යුගයට අයත් විපරීත පාෂාණවලින් සමන්විත ඒකක වේ.

ශ්‍රී ලංකාව භූ විද්‍යාත්මක ව ගත් කල පිහිටා ඇත්තේ ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලය මත ය.

(රූපය- ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තැටිය)



මේ භූ තලය අති ස්‌ථාවර භූමි ස්‌කන්ධයක්‌ ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද හිමාලය හා ටිබෙට්‌ සානුව හටගැනීමේ දී ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයට දැරීමට සිදු වූ අධික පීඩනය නිසා මේ භූ තලය ඇදීමකට ලක්‌ වී කෙඩ වීමට භාජන වෙමින් පවතී. මේ නව භූ තල මායිම භූ විද්‍යාත්මක ව ඉතා 'ළාබාල' වන (අවුරුදු මිලියන 7.5ක්‌ පමණි) නමුත්, බරපතළ ම කරුණ වන්නේ මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට කි. මී. 500 - 700 පමණ ගිනිකොන දෙසින් වීමයි.

එමෙන් ම මෑතකාලීන ඉන්දීය සාගර සුනාමි රැසක්‌ මේ නව මායිම ඇසුරෙන් හටගති. ඒ සියල්ලමත් රික්‌ටර් මාපාංකයේ ඒකක 07.00 ඉක්‌මවාලී ය. එම නිසා ශ්‍රී ලංකාව භූමිකම්පා අවදානමින් විනිර්මුක්‌ත යෑයි සිතීම ප්‍රඥගෝචර නැති අතර ම, ඇමෙරිකා එක්‌සත් ජනපද භූ විද්‍යා සමීක්‌ෂණ කාර්යාංශය (USGS) මඟින් සම්පාදනය කෙරෙන නව භූ තල මායිම් සිතියමෙහි මෙලෙස ඇති වන පැල්ම පැහැදිලි ව ලකුණු කර ඇත (අභිනවයෙන් සෑදෙන භූ තල මායිමක්‌ ලෙස).



මේ හැර ශ්‍රී ලංකාවට නැඟෙනහිර වෙරළට කිලෝ මීටර් 1,000ක්‌ පමණ ඔබ්බෙන් ඉන්දුනීසියාව, නැඟෙනහිර ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිත ව පිහිටි භූ තල මායිම් ඉතා ම සක්‍රීය වන අතර ඒවායේ චලනයන් අප හට සුනාමි ව්‍යසනය ද අත් කර දී ඇත.

එපමණක්‌ නො ව, ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ උතුරු කොන වන හිමාල වැටියත් ආසියානු භූ තලයත් ඝට්‌ටනය වීම නිසා ඒකරාශී වන පීඩනය ද, ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට මුදා හැරෙන අතර, එය අනාගතයේ දී ශ්‍රී ලංකා භූමි ස්‌කන්ධය තුළ කම්පන රැසක්‌ හට ගැන්වීමටත්, අධික ලෙස භූ පැලීම් හට ගැන්වීමටත් හේතු වේ.

කෙසේ වතුදු 'භූමි කම්පා' යන්න ශ්‍රී ලංකාවට අලුත් සංසිද්ධියක්‌ නො වේ. වර්ෂ 1615 දී මරණ 200කට වඩා සිදු කරමින් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ භූ කම්පාව වැනි සිද්ධීන් ද, වර්ෂ 1885 දී සිදු වූ ක්‍රැකටෝවා විදාරණයේ ඇති වූ සුනාමි රළ සුළු වශයෙන් හෝ ඉන්දීය සයුර හරහා මෙරටට ළඟා වීම ද, අවසානයේ දී වර්ෂ 2004 දී ඇති වූ බිහිසුණු සුනාමි ව්‍යසනය ද කියාපාන්නේ මේ කරුණයි. වත්මන වන විට, ඉහත භූ විද්‍යාත්මක විචලනයන් නිසා අනාගතයේ දී තව තවත් භූමි කම්පා අවදානම් තත්ත්ව වැඩි වර්ධනය වනු ඇත. ඒ සඳහා රටක්‌ ලෙස අප සුදානම් ද යන පැනය සමඟින් මේ සාකච්ඡා සටහන නිමා කෙරේ.

සාකච්ඡා කළේ :- නිරෝෂන් සෙනෙවිරත්න