logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය මේ වසරේ දී යථා තත්ත්වයට පත් වන බවට පුරෝකථනයක්‌

ඉකුත් සමයේ දේශගුණ විපර්යාසවල බලපෑම් ශ්‍රේණියකට හසු ව අඩපණ ව තිබූ මෙරට කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය මේ වසරේ නැවත හිස ඔසවන ලකුණු පෙන්නුම් කරන බව Oxford B˝iness Group (OBG) නමැති සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක දැක්‌වේ.

OBG යනු ගෝලීය පර්යේෂණ සහ උපදේශන ආයතනයක්‌ වන අතර ලෝකයේ රටවල් 32ක විද්‍යාත්මක පර්යේෂණ හා විශ්ලේෂණ පාදක කරගත් වාර්ෂික ආයෝජන හා ආර්ථික වාර්තා සැකසීම මේ ආයතනය මඟින් සිදු කෙරෙයි. මේ සඳහා ඒ ඒ රටවල් තුළ ම සිදු කරන ලද අධ්‍යයන යොදාගනු ලැබේ.

වාර්තාවේ දැක්‌වෙන ආකාරයට, දේශීය සහල් නිෂ්පාදනය ශක්‌තිමත් වීම සහ යළි හඳුන්වා දෙන ලද තීරු බදු හේතුවෙන් විදෙස්‌ කරා ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක්‌ ඉතිරි කරගෙන ජාතික ආදායම් ඉහළ නංවාගැනීමට මේ වසරේ දී මෙරටට අවස්‌ථාව සැලසෙනු ඇත.

කෘෂිකර්ම දේපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017/2018 මහ කන්නය තුළ (සැප්තැම්බර්-මාර්තු) මෙරට සහල් නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් 2.4ක්‌ කරා ළඟා වනු වනු ඇති බවට ඇස්‌තමේන්තු කර තිබිණි. එය පෙර වසරේ අදාළ කන්නයේ අස්‌වැන්නට සාපේක්‌ෂ ව සියයට 60ක වර්ධනයකි. (මෙ. ටොන් 1.5).

ඉකුත් මහ කන්නය තුළ (පෙබරවාරි තෙක්‌) වී වගා කරන ලද භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 643 000ක්‌ විය. පෙර වසරේ එහි අගය වූයේ හෙක්‌ටයාර 543000කි.

පුරෝකථනය කර ඇති ආකාරයට අස්‌වනු වර්ධනය වී නම් එම ප්‍රමාණය මාස හත හමාරක කාලයක්‌ ජනතාවගේ යෑපීමට ප්‍රමාණවත් වනු ඇත.

මේ නැවත හිස එසවීම වාර්තා වන්නේ ගංවතුර, නියඟය වැනි ආන්තික දේශගුණික බලපෑම් හේතුවෙන් 2016 සහ 2017 වසරේ දී සහල් නිෂ්පාදනයෙහි සිදු වූ බරපතළ අඩාළ වීමෙන් අනතුරු ව ය. එම වකවානුවේ සහල් නිෂ්පාදනයෙහි පහළ බැසීම වාර්තා වූයේ ඉකුත් දශකය තුළ වාර්තා වූ අඩු ම නිෂ්පාදන අගය ලෙසිනි.

කෙසේ වෙතත් සහල් නිෂ්පාදනය තවමත් සාමාන්‍ය අගයට වඩා සියයට 14ක්‌ පහළ අගයක පවතින බව අමාත්‍යංශයේ වාර්තා අනුව පෙනී යයි. එයට හේතුව අපේක්‌ෂිත අස්‌වනු ලැබී තිබෙන්නේ වගා කරන ලද සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 79කින් පමණක්‌ වීමයි. ඇතැම් ප්‍රදේශවලට තවමත් බලපවත්නා නියඟය, පළිබෝධ හානි වැනි නිශේධනීය සාධක මීට හේතු වශයෙන් දක්‌වා ඇත.

සහල් නිෂ්පාදනයට සමාන්තර ව බඩ ඉරිඟු, අමු මිරිස්‌ සහ අර්තාපල් නිෂ්පාදනයෙහි ද සියයට 158ක වර්ධනයක්‌ ඉකුත් මහ කන්නය තුළ අපේක්‌ෂා කෙරිණි.

දේශගුණික සාධක තවදුරටත් හිතකර ලෙස බලපැවැත්වීම හේතුවෙන් මේ වසරේ මැයි සිට අගෝස්‌තු දක්‌වා බලපවත්වන යල කන්නය තුළ ද කෘෂි ක්‌ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයෙහි වැඩි වීමක්‌ අපේක්‌ෂා කළ හැකි බව වාර්තාවෙහි සඳහන් වේ.

මෙකී වර්ධනයට සමාන්තර ව අතර ආනයනික සහල්වලට නැවතත් රජය මඟින් තීරු බදු පැනවීම තත්ත්වය වඩාත් හිතකර අතට හැරවීමට හේතු වනු ඇත. මෙය දේශීය ගොවියාට හිතකර ප්‍රවණතාවක්‌ වන අතර ආනයනික වියදම් සීමා වීමට ද හේතු වනු ඇත. ඉකුත් අප්‍රේල් මාසය අවසන් වන විට ආනයනික සහල් කිලෝග්රෑමයකට රු. 5ක තීරු බද්දක්‌ පනවා තිබිණි. ඉකුත් ජනවාරි වන විට පැවතියේ කිලෝග්රෑමයකට ශත 25ක තීරු බද්දක්‌ පමණි.

දේශීය අස්‌වනු පහළ ගොස්‌ පාරිභෝගිකයන්ට දරන්නට වන මිල ඉහළ යැමත් සමග තිරිඟු ඇතුළු වෙනත් බෝග ආනයනය සඳහා ද ඉකුත් අගෝස්‌තුවේ දී සහන හඳුන්වා දෙන ලද අතර එමඟින් පාරිභෝගික මිල ඉහළ යැම හා උද්ධමනය පාලනය කිරීමට අපේක්‌ෂා කෙරිණි. එහි ප්‍රතිඵලය ලෙස ඉකුත් වසරේ මෙරටට ආනයනය කෙරුනු සහල් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 800 000ක්‌ විය. එහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 300.9කි. මේ වියදම 2016 වසරට සාපේක්‌ෂව (ඇ. ඩො. 12.8) සියයට 2244.7ක වර්ධනයක්‌ ලෙස සටහන් විය.

ඉකුත් කන්නයේ සහල් නිපැයුමෙහි වර්ධනයත් සමග සහල් ආනයන වියදම ඉකුත් පෙබරවාරි මාසය වන විට ඉකුත් වසරට සාපේක්‌ෂ ව සියයට 34.4කින් පහළ වැටී තිබිණි. මෙය 2017 ජනවාරි මාසයෙන් පසු සහල්, සීරියල් සහ ධාන්‍ය ඇඹරුම් කර්මාන්තයෙහි නිෂ්පාදනවල මිල පහළ ගිය පළමු අවස්‌ථාව විය.

මේ ප්‍රවණතාව මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙහි ද සියයට 4ක වර්ධනයක්‌ පිණිස හේතු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පුරෝකථනයක දැක්‌වේ. 2017 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූයේ සියයට 3.1කින් වන අතර එය ඉකුත් 15 වසර තුළ වාර්තා වූ අඩු ම වර්ධන අගය විය.