logo3.gif (702 bytes)

HOME


සොදුරු රුව අදුරු කිරීමට රසදිය අඩංගු ආලේපනවලට ඉඩදිය යුතු ද?

අපේ පරම්පරාවේ සදාදරණීය ගායකයා වූ මයිකල් ජැක්‌සන්ගේ මරණය ගැන විවිධ කතා පවතී. ඉන් එකක්‌ වන්නේ ඔහු භාවිත කළ ඖෂධ, විලවුන් හා ආලේපන ඔහුට මරණය ළගා කළ බවයි. එවැනි ආලේපන රැසක්‌ අතර සමේ වර්ණය පැහැපත් කරන ක්‍රීම් වර්ග ද විය. එම සුදු පැහැ කිරීමේ ක්‍රීම් වර්ගය ඔහුගේ මරණයෙන් පසු නිවාස පරීක්‌ෂා කිරීමේ දී ද හමු විය. ඔහුගේ දිනපතා රූපලාවණ්‍ය කටයුතුවල එක්‌ පියවරක්‌ වූයේ හම පැහැපත් කරවන Whitening cream වර්ගයක්‌ ආලේප කිරීමයි.

උක්‌ත සඳහන කළේ ඔහුගේ මරණයට හේතුව විග්‍රහ කරන්නට නො ව 'මේ මිය ගිය මිනිසා ව තවමත් Bleaching/Whitening cream නිෂ්පාදන ආයතන විසින් පාවිච්චියට ගන්නා බව' කීමට ය. එනම් මේ තරම් ඉහළ ගායකයකු තම නිෂ්පාදන සම සුදු කරගැනීම සඳහා භාවිත කළ බව ඒ සමාගම්වල දැන්වීම්වල සඳහන් වේ. එය ඉතා උත්ප්‍රාසාත්මක දෙයක්‌ වන්නේ ඔහුගේ මරණයට හේතුවක්‌ ලෙස සැක කෙරෙන ආලේපන වර්ග ම ප්‍රවර්ධනය කිරීමට ඔහුගේ කිත් යසස යොදාගැනීමයි.

සැබැවින් ම මේ ක්‍රීම් වෙළෙන්දන් ඇතුළු බොහෝ වෙළෙන්දන් කරන්නේ මිනිසුන්ගේ දුක, වේදනාව, අසහනය මුදල් බවට පත් කරගැනීම නො වේ ද?

2011 දී මීගමුවේ ගුරුවරියක මිය යැමට ද Whitening cream බලපෑ බව කියෑවිණි. ඇය සේවය ලබාගත් රූපලාවණ්‍යාගාරයේ අයිතිකාරිය එම ගුරුවරියට Whitening ක්‍රීම් වර්ගයක්‌ ආලේප කර තිබූ අතර එය අසාත්මික වීම නිසා ඇයට සිහි නැති ව ගොස්‌ තිබිණි. මේ සිද්ධිය කෙළවර වූයේ මරණයෙනි.

මෙවැනි සිද්ධි බොහොමයක්‌ වාර්තා වෙතත් ජනතාව මේ දේවලින් පාඩමක්‌ උගෙන ඇත්තේ ඉතා අඩුවෙන් බව පෙනී යන්නේ දිගින් දිගට ම මුහුණ සුදු කරගැනීමේ ක්‍රීම් වෙත ඔවුන් යොමු වන බැවිනි.

The Gardian සගරාවට විශ්ලේෂණාත්මක ලිපියක්‌, Dark Side of Beauty Industry මැයෙන් සපයමින් Fancy Hoskins ලේකාව මෙයට හේතුව පහදයි. සම සුදු පැහැ කිරීමේ ආලේපන කර්මාන්තය ඩොලර් බිලියන ගණනක වටිනාකමක්‌ සහිත කර්මාන්තයකි. මේ කර්මාන්තය මිනිසුන්ට ඒත්තු ගන්වන දෙයක්‌ වන්නේ සම, විශේෂයෙන් ම මුහුණ සුදු පාටට නැතිනම් ඔවුන් අසම්පූර්ණ බවයි. ඇය පෙන්වා දෙන්නේ මේ කර්මාන්තය, මූලික ව ම කළු සුදු භේදය, තවත් විදිහකට වාර්ගිකත්වය පාදක කරගන්නා ඉතා අවිනීත දෙයක්‌ බවයි. ඇයට අනුව මුහුණ මෙන්ම අතපය, කිහිලි මෙන්ම රහස්‌ පෙදෙස්‌ ආශ්‍රිත කොටස්‌වල පැහැය වෙනස්‌ කරවාගැනීමට ද ආලේපන හෝ තෛල හෝ පවතී.

පසුගිය දා රූපලාවණ්‍ය නියාමනය හා රෙගුලාසි පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවක්‌ පුස්‌තකාල ලේඛක-පාඨක සංසදයේ මෙහෙයවීමෙන් මහජන පුස්‌තකාල පරිශ්‍රයේ දී පැවැත්විණි. එයට සහභාගී වූ විද්වතුන් පවසා සිටියේ මේ Whitening cream භාවිතය ශ්‍රී ලංකාව තුළ ද විශාල සෞඛ්‍ය ගැටලුවක්‌ බවට වර්ධනය වී පවතින බවයි. එහි දී හෙළි වූ වැදගත් කරුණක්‌ වූයේ ලාංකේය ප්‍රජාව තුළ 70%කට ආසන්න පිරිසක්‌ මේ Whitening cream භාවිත කරන බවයි. මෙය අප්‍රිකානු රටවල තත්ත්වයට සමාන අගයකි.

දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනවල රසදිය නැහැ

සම පැහැපත් කිරීම සඳහා භාවිත වන දේශීය රූපලාවණ්‍ය නිපැයුම්වල රසදිය අඩංගු නැතැයි එංගලන්තයේ රාජකීය රසායන විද්‍යා සංගමයේ අධි සාමාජික ආචාර්ය නිමල් පුණ්‍යසිරි මහතා සඳහන් කරයි. විදේශවලින් හොරට ගෙන්වන හා නිශ්චිත ආනයනකරුවකු නැති නිෂ්පාදනවල රසදිය බහුලව අඩංගු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි ව්‍යාජ නිෂ්පාදන මෙන් ම දේශීය නිෂ්පාදනවල ද නියෑදි ගෙන ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාරයන්හි පර්යේෂණයට ලක්‌ කළ අතර එහි දී ඉහළ ප්‍රතිශතවලින් රසදිය අඩංගු වී ඇත්තේ කලින් සඳහන් කළ විදේශවලින් ගෙන්වන ව්‍යාජ නිෂ්පාදනවල පමණක්‌ යෑයි ද ඔහු සඳහන් කරයි.

මනාලියන් ඇන්දවීමේ කටයුතුවලදී හා එදිනෙදා වැඩට යන තරුණියන්ටත් පේෂල් දැමීමේදී මේ රසදිය සහිත විරංජන ක්‍රිම් බහුලව භාවිත වන බව දැනගන්නට ලැබී ඇත. ප්‍රවීණ රූපලාවණ්‍යවේදිනියක හා මනාලියන් ඇන්දවීමේ උපදේශිකාවක වන කිරිබත්ගොඩ සාරා ෙවිඩිං ෙඩ්‍රස්‌ අධිපතිනී සාරා හංසනී මෙනවිය විදුසර සමඟ මෙසේ අදහස්‌ දැක්‌වූවා ය.

"අප නම් මනාලියන්ට හෝ තරුණියන්ට මේකප් දැමීමේදී හෝ නිශ්චිත වෙළෝදනාමයක්‌ සහිත පිළිගත් ක්‍රීම් පමණයි පාවිච්චි කරන්නේ. ඒ වගේමයි රසදිය සහිත වයිට්‌නින් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. පිටරටින් ගෙන්වන ව්‍යාජ නිෂ්පාදනවලට වඩා වගකීමක්‌ සහිත දේශීය නිෂ්පාදන තමයි මා නිර්දේශ කරන්නේ."

කළු ද ලස්‌සන ය

සම සුදු පැහැ කිරීමේ ඖෂධවලින් වන හානිය සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයකින් පමණක්‌ ජයගත හැකි ක්‍රියාදාමයක්‌ නො වේ. ඒ සදහා මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ක්‍රමෝපායක්‌ ද අවශ්‍ය වේ. මන්ද යත් මේ ධනවාදී වෙළෝද කුලය පාරිභෝගියා නැමැති පහසුවෙන් රැවටෙන පිරිස තම ග්‍රහණයට ගෙන ඇත්තේ මනෝ හා සමාජවිද්‍යාත්මක වැඩසටහන් ඔස්‌සේ වන බැවිනි. එම වෙළෝද ආයතන මෙහි දී තම අත් සෝදාගැනීම සදහා පවසන්නේ තමන් අලුතෙන් යමක්‌ නො කරන බවත්, ලස්‌සන යනු සුදු බවට මතයක්‌ දැනටත් සමාජයේ පවතින බවත් ය. එහි ද පාර්ශ්වික සත්‍යයක්‌ තිබේ. ලස්‌සනට අදාළ නිර්ණායකවල සුදු පැහැය මුල් තැනක්‌ ගත්තේ අද ඊයෙක සිට නො වේ. එය බටහිර සුදු අධිරාජ්‍යවාදීන් වෙනත් රටවල් යටත් කරගන්නා කාලයේ ව්‍යාප්ත වූවක්‌ බවට ද මතයක්‌ පවතී. එහෙත් ඊට පෙර පවා සුදු පැහැය ලස්‌සන මනින ඒකකයක්‌ වී යෑයි සමහරු කියති. අද ලස්‌සන පමණක්‌ නො ව චරිතයක හොද නරක කීමට ද සුදු කළු සැසදීම සිදු කෙරෙයි. එනම් 'සුදු චරිත', 'කළු චරිත' ආදිය සාහිත්‍යයේ ද පවතියි. සුදු චරිතයක්‌ යනු හොද චරිතයකි. කළු චරිතයක්‌ යනු නරක චරිතයකි.

මේ සියලු ම ක්‍රීම්, තෙල්, එන්නත් ආදිය බිහි වන්නේ 'සුදු යනු ලස්‌සන ය' යන සංකල්පය ඔස්‌සේ ය. මේ සංකල්පය ගොඩනැගීමේ පුරාවෘත කෙබදු වුව ද අද එය පෝෂණය කරනු ලබන්නේ ජනමාධ්‍ය විසින් හා බහුජාතික වෙළෝද කුලය විසිනි. ජනමාධ්‍ය මේ කටයුත්තට උර දෙන්නේ සමහර විට දැනුවත් ව නො විය හැකි ය. පසුගිය මාස දෙකක කාලය තුළ කාන්තා පුවත්පත් කිහිපයක පළ වූ කවරයේ පිංතූර (මුල් පිටු) නිරීක්‌ෂණය කළ විට ඒ කිසිදු පත්තරයක කළු පැහැගත් අයට තැනක්‌ දී තිබුණේ නැති බව දැකිය හැකි විය.

ඉදහිට හෝ කළු පැහැ තරුණියකගේ කවරයක්‌ පළ වන්නේ ඇය ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩා තරගයක්‌, වෙනත් කලා කටයුත්තක ජාත්‍යන්තර ජයග්‍රහණයක්‌ වාර්තා කළ හොත් පමණි. එනිසා මේ තත්ත්වයට හුදෙක්‌ වෙළෝද ආයතනවලට ම බැනවැදීම ප්‍රමාණවත් නො වේ.

Advance in Consumer Research ජර්නලයට R.W. Belk විසින් සපයන ලද Skin Lightening and Beauty යන නිබන්ධය මගින් ආසියානු රටවල සුදු සමට ඇති ගෞරව භක්‌තිය මැනැවින් විස්‌තර කර දෙයි. බොහෝ විට තලෙළු සමක්‌ සහිත අය හෝ කළු අය බහුල ආසියානු සමාජ තුළ කාන්තාවක ලස්‌සන යෑයි තීරණය කෙරෙනුයේ සුදු හම පාදක කොටගෙන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. මෙහි දී 'සුදු' යන්න අවශ්‍ය නම් 'සාපේක්‌ෂ ව වඩා පැහැපත් ලෙස්‌ ද ගත හැකි ය. රූ රැජන තරගයට සහභාගී වූ පිරිස්‌ අතරෙන් තෝරාගැනෙන්නේ එතැන සිටින සුදු පැහැයට තරමක්‌ හෝ සමීප කෙනා ය. මේ ලස්‌සන පිළිබද සංකල්පය ආසියානු කතුන් හා අප්‍රිකානු කතුන් සම විරංජනය කිරීමට පෙලඹීමට (Bleach) මූලික හේතුව බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

උපසහරානු අප්‍රිකානු රටවල සම සුදු කරගැනීම සදහා Bleaching කරගන්නා කතුන්ගේ ප්‍රතිශතය සියයට 67ක්‌ තරම් ඉහළ යෑයි එම අධ්‍යයනය පෙන්වා දෙයි. එනම් සැම කතුන් තිදෙනකු ගෙන් දෙදෙනෙක්‌ ම මේ විකාරය කරති.

කතුන් තිදෙනකු ගෙන් දෙදෙනකු ම සම සුදු කරගන්න වෙහෙසෙනවා

මෙලෙස සම සුදු කරගැනීමට කතුන් පෙලඹීමට හේතුව ඓතිහාසික හා මතවාදී එකක්‌ බව අධ්‍යයනය පෙන්වා දෙයි. සුපිරි පංතියේ කතුන් ගේ සුදු හම පවතින බැවින් එළිමහනේ වෙහෙසෙන කතුන්ගේ සම කළු හෝ දුඹුරු වන බවටත් මතයක්‌ ඇත. තමන් උසස්‌ පංතියේ කෙනකු බව පෙන්වීමට සමේ පැහැය වැදගත් වන්නේ ය යන්න කාන්තාවන් විශ්වාස කරන බව පර්යේෂකයන්ගේ මතයයි. Doing well by doing good - Whitening cream මැයෙන් Aneel Karani විසින් කරන ලද අධ්‍යයනය ද විරංජන ක්‍රීම් ගැන වැදගත් විශ්ලේෂණයකි.

රසදියවලට නිරාවරණය වීමෙන් සිදු වන හානි

ඇතැම් විරංජක ක්‍රීම්වල රසදිය අඩංගු වන අතර රසදියවලට විශාල ලෙස නිරාවරණය වීමෙන් වකුගඩුවලට, මොළයට, පෙනහැලිවලට හා ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හානි වීමට ඉඩ තිබේ. මීට අමතර ව ස්‌නායු පද්දතියට, දෘෂ්ටියට, ශ්‍රවණයට හා මතකයට ගැටලු ඇති කරයි. සමේ අසාත්මිකතා ඇති කිරීමට ද වදභාවයට ද මෙය හේතු වෙයි.

අනතුරුදායක වන්නේ විදේශවලින් ගෙන්වන නිශ්චිත වෙළෝද නාම රහිත නිෂ්පාදනයි

මෙරටට විදේශ රටවලින් වසරකට රුපියල් කෝටි ගණනක්‌ වටිනා විරංජන ක්‍රීම් ගෙන්වනු ලබයි. මේ අතර නිල වශයෙන් තීරු බදු ගෙවා නිශ්චිත වෙළෝද නාම සහිත ව ගෙන්වන ඒවා ද එසේ නොමැති ව හොර පාරෙන් ගෙන්වන ඒවා ද වේ. නිශ්චිත වෙළෝදනාම සහිත ව නීත්‍යනුකූලව ආනයනය කෙරෙන මේ ක්‍රීම් වර්ගවල සාපේක්‌ෂ අවදානම අඩු ය. විශේෂයෙන් ම පකිස්‌ථානයෙන් ගෙන්වන (හොරට) හෝ වෙබ් අඩවි හරහා ඇණවුම් කරනු ලබන නිෂ්පාදනවල අවදානම වැඩි ය. යුරෝපා රටවල් හා ඇමෙරිකාව නිරන්තරයෙන් පකිස්‌ථානු Whitening cream ගැන සිය ජනතාවට අවවාද නිකුත් කරයි.

පසුගිය දා ද නිව්යෝක්‌ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අහිතකර ලෙස රසදිය ඇතුළත් චර්මීය විරංජන ක්‍රීම් වර්ග 10ක්‌ භාවිතයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නේ ය. එම 10 ම පකිස්‌ථානයෙන් ගෙන්වන ලද ඒවා ය.

එම නිව්යෝක්‌ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේ දී අදාළ නිෂ්පාදනවල වෙළෝද නාමවලින් ඒවා ඉදිරිපත් කිරීම ඉතා වැදගත් ය. එම වෙළෝදනාම සහිත නිෂ්පාදන වෙළෝදපොළේ ඇත්නම් වහා ම වැටලීම් බලධාරීන්ට දැනුම් දෙන ලෙස දන්වමින් දුරකථන අංක ද එම නිවේදනය තුළ සදහන් වේ.

මෙවැනි දැන්වීම් අපගේ ඖෂධ නියාමන නියාමන අධිකාරිය හෝ වෙනත් බලධාරීන් හෝ ඉදිරිපත් කරනවා නම් ඉතා වැදගත් ය. එහෙත් එවැනි ක්‍රියාවලියක්‌ අපේ ක්‍රියාත්මක නො වේ. එසේ වූවා නම් ජනතාවට මෙවැනි හොර ජාවාරම්කාරයන් ගෙන් ගැලවෙන්නට යම් ඉඩක්‌ හෝ ලැබේ.

මේ නිවේදන මාධ්‍ය හමු ලෙස නො ව රාජ්‍ය දැන්වීම් ලෙස නිකුත් කෙරෙන්නේ නම් වඩාත් උචිත ය. මන්ද යත් සාමාන්‍ය මාධ්‍ය නිවේදනයක්‌ පත්‍රයක පළ වීමට ඇත්තේ අඩු ඉඩකි. එහෙත් රාජ්‍ය දැන්වීම් අනිවාර්යයෙන් පළ වේ. එසේ ම ඒ කෙරෙහි දැක්‌වෙන අවධානය ද ඉහළ ය.

ඇතැම් විරංජන ක්‍රීම් ගැබිනි මවට මෙන් ම ගැබට ද හානි කරනවා

රසදිය යනු ස්‌නායුක විෂකි. මේ රසදිය ඇතැම් අහිතකර චර්මීය විරංජන ක්‍රීම්වල අඩංගු වේ. එවැනි ක්‍රීම් භාවිතයෙන් ගැබිනියන්ට මෙන්ම ගැබට ද හානිවිය හැකි බව Current Medicine Research and Practies ජර්නලයේ පළ වූ අධ්‍යයනයක්‌ පෙන්වා දෙයි. Adulteration of murcury in Skin whitening creams මැයෙන් වූමේ අධ්‍යයනය සිදු කර ඇත්තේ S.S. Agrawal හා Mohd Mashan විසිනි. මෙවැනිම තවත් අධ්‍යයනයක්‌ Lori Corpan, Jeff Fowles, Trauy Barreau හා Nancy Mcgee යන අය විසින් සිදුකළ අතර එය Enviromental Research ජර්නලයේ පළ විය.

එම අධ්‍යයනය පෙන්වා දෙන්නේද මව හානිකර චර්මීය විරංජන ක්‍රීම් පාවිච්චි කිරීම දරුවාට විවිධ ආබාධ ඇති වීමට බලපාන බව යි. ඒ ආබාධ අතර නිද්‍රd ගැටලු පෝෂණ ගැටලු, Hypertension ආදිය වේ.

රූපලාවණ්‍ය නිපයුම්වල පවතින රසදිය ඉතාමත් ලෙහෙසියෙන් මානව චර්මය හරහා සිරුරට ඇතුළු වී ශරීරයේ විවිධ ස්‌ථානවල තැන්පත් වන බව එම අධ්‍යයනය පෙන්වා දේ. මේ ද්‍රව්‍ය ඇඟිලි දඬු මත හෝ නියපොතු යට ඉතා පහසුවෙන් රැස්‌ වේ.


මාරාන්තික විෂ සහිත රසදිය අඩංගු, නියාමනය නො කළ, රූපලාවණ්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෝදපොළේ - නාරිවේද හා පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර

2015 ජුලි මස 01 වැනි දින තෙක්‌, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති විලවුන්, උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරිය (CDDA) විසින් රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කරනු ලැබූ නමුත්, එය 2015 ජුලි මස 01 වැනි දා සිට අහෝසි කිරීමත් සමග රූපලාවණ්‍ය නිෂ්පාදන සදහා පැවැති අත්‍යවශ්‍ය නියාමනයන්/නීති රෙගුලාසි ඉවත් කරන ලද අතර, මේ නිසා ම රූපලාවණ්‍ය නියාමනය නො කරන ලොව එක ම රට බවට ශ්‍රී ලංකාව පත් විය.

එතැන් පටන් අප රටට විවිධාකාර නම් (වෙළෝද සන්නාම)වලින් යුත් සිය ගණනක්‌ රූපලාවණ්‍ය නිෂ්පාදන, කිසිදු වගවිභායකින් තොර ව ගලා එන්නට විය.

මේවායින් බොහොමයක්‌ ඉතා කෙටි කලකින් සමේ සුදු පැහැ ස්‌වභාවයක්‌ ඇති කරන නමුත්, එම අතාත්වික සුදු පැහැය ඇති වන්නේ මාරාන්තික උග්‍ර විෂ සහිත බැර ලෝහයක්‌ වන රසදිය ආදී තහනම් කරන ලද රසායන ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් බව සොයාගෙන ඇත.

රසදිය යනු විෂ රසායනිකයකි. මූලද්‍රව්‍ය මට්‌ටමේ පවා රසදිය යනු උග්‍ර විෂකි. ඒවා පරිසරයට එකතු වීමෙන්, පරිසරයේ ඇති දැ සමග එක්‌ වී සෑදෙන සංයෝග එයට ද වඩා විෂ සහිත ය.

රසදිය සහිත ආලේපන, කෙටි කලකට සමේ අතාත්වික ක්‍ෂණික සුදක්‌ මතු කරවන නමුත් එමගින් දිගුකාලීන ව ඇති කළ හැකි ශාරිරක හානිය අතිමහත් ය. අති භයානක ය. අතිශය කටුක ය. ඛෙදනීය ය.

මේ හේතුව නිසා ම ලෝක සෞඛ්‍ය සංවිධානය, බටහිර රටවල මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපාන පරිදි නිර්දේශ කර ඇති ආකාරයට, රූපලාවණ්‍ය නිෂ්පාදනයක අඩංගු විය හැකි රසදිය උපරිම සීමාව, නිෂ්පාදනයේ කොටස්‌ මිලියනයකට රසදිය එක කොටසක්‌ හෙවත් නිෂ්පාදනයේ කිලෝග්රෑමයක රසදිය මිලිග්රෑම් 1ක්‌ තරම් අතිශයින් අවම අගයක්‌ ගනී (මෙවැනි සීමාවක්‌ පැනවීමේ අර්ථය රසදිය අඩංගු නො වන මට්‌ටමක්‌ දක්‌වා ම නිෂ්පාදනය රැගෙන යැම ය).

ලෝකය ජනතාවගේ සෞඛ්‍යය රැකගැනීම පිණිස රසදිය සම්බන්ධයෙන් එවැනි දැඩි පිළිවෙතක්‌ අනුගමනය කරද්දී, ශ්‍රී ලංකාවේ භාවිත වන රූපලාවණ්‍ය අඩංගු රසදිය සංයුතිය පිළිබද වාර්තා ඇග කිලිපොලා යන මට්‌ටමේය. ඇතැම් ඒවායේ රසදිය සංයුතිය තිබිය හැකි උපරිමය මෙන් දස දහස්‌ ගුණයක්‌ වන්නේ ය.


ප්‍රමිතියට නැති දේ තහනම් කළ යුතු යි - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා

"ආලේපන හා විලවුන් පිළිබද ගැටලුවක්‌ පවතින බව මා පිළිගන්නවා. පුද්ගල සෞඛ්‍යයට ගැටලු ඇති කරවන ආලේපන වර්ග විවිධ නම්වලින් වෙළෝදපොළ තුළ පවතිනවා. මෙයට එරෙහි ව අප ක්‍රියා කළ යුතුයි. එසේ ම අපට ඇති බලතල අනුව ක්‍රියා කරනවා මේ කටයුතු මර්දනයට. කෙසේ වෙතත් මේ සම්බන්ධ වෙනත් ගැටලුවකුත් තිබෙනවා. එය නම් මේ දේවල් කිසි ම පාලනයකට යටත් නො වූ අවුරුදු දෙකක කාලයක්‌ පහු කරලයි අපි මේ ඉන්නෙ. 2015 දී මේ විලවුන් නියාමනයට තිබූ ආයතනය අහෝසි වුණා. කොහොම වෙතත් ගරු ඇමැතිතුමා කැබිනට්‌ පත්‍රිකාවක්‌ දැම්මා 2017 දී නැවත පරණ පනතේ විධිවිධාන යටතේ නියාමන කටයුතු කරන්න අවස්‌ථාව ඉල්ලමින්. ගරු ඇමැතිතුමාට විශාල වුවමනාවක්‌ තිබෙනව මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න. හැබැයි අවුරුදු දෙකක්‌ තිස්‌සේ නියාමනය නො වූ නිසා අවදානම්සහගත දේ වෙළෝදපොළේ තිබිය හැකි බව මා පිළිගන්නවා. මේ ප්‍රශ්නය පියවරෙන් පියවර හෝ විසදන්න උත්සාහ ගන්නවා. පළමුවෙන් ම ආනයනය කරන ලද විලවුන් හෝ ආලේපනවල හෝ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වනවා. මුලින් ම ඒ අතර ඇති ප්‍රමිතියට නැති දේ නවත්වන්න කටයුතු යොදනවා. ආනයනය කරන දේවල ප්‍රමිතිය බලල හොද නම් විතරක්‌ ආනයනය කරන්න ඉඩ දීමට කටයුතු කරනවා. ඒ කියන්නේ හොද නම් විතරයි රේගුවෙන් නිදහස්‌ කරන්නේ. ප්‍රමිතියට නැතිනම් රේගුවෙන් නිදහස්‌ කරන්න අවසර දෙන්නේ නැහැ. පොඩි පොඩි ගැටලු ඇති අවස්‌ථාවල දී අපි රේගුවෙන් නිදහස්‌ කරන්න ඉඩ දීලා අප ගේ නිලධාරීන් යටතේ මුද්‍රd තබා අදාළ ලිපි ගොනු පරිපූර්ණ කරන ලෙස දන්වනවා. සමහර විට මේ ගෙන්වන දේවල අන්තර්ගතයේ වරදක්‌ නැහැ. හැබැයි ලිපිගොනු හෝ වාර්තා හෝ නැහැ. ඉතින් මේවායේ නරකක්‌ නැත්නම් ඒ අයට පුළුවන් ඒ බව තහවුරු කරන්න. ඒ අය මේවා ලියාපදිංචි කරවන තුරු අප අදාළ භාණ්‌ඩ රදවාගන්නවා. මා කිව යුතු වැදගත් ම දේ දැනට පවතින නීතිය ප්‍රමාණවත් නො වන බවයි. ඒ නීතිමය පසුබිම වර්ධනය කිරීමේ ක්‍රියාදාමය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

දැනට තියෙන පනතේ අඩුපාඩුව එය විශේෂයෙන් විලවුන් හෝ ආලේපන හෝ සදහා හැදූ එකක්‌ නො වීමයි. විලවුන් සදහා ම වූ පණතක්‌ දැන් හැදෙමින් පවතිනවා. එය එළියට ආ විට ලොකු දෙයක්‌ කරන්න පුළුවන් වෙයි. ඒ පනත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඒ පනතෙන් බලය ලැබුණ ම දැන් කරනවා වගේ දහ ගුණයක වැඩ කළ හැකියි. දැනටත් අපි ක්‍රියාශීලි වනවා. තියෙන බලතල අනුව උපරිම දෙයක්‌ කරනවා. හැබැයි මේ කටයුතුවලට එරෙහි ව කටයුතු කරද්දි හරි පරෙස්‌සමින් ඒ දේවල් කරන්න ඕනෙ. දැන් හිතන්න X නම් කීර්ති නාමයක්‌ සහිත ආලේපනයක්‌ වෙළෝදපොළේ තියෙනවා. කවුරු හරි ජාවාරම්කාරයෙක්‌ මේ නමින් ව්‍යාජ නිෂ්පාදනයක්‌ නිකුත් කරනවා නස්‌ ව්‍යාජ සාම්පලයක්‌ පරීක්‌ෂා කරල එය වරදවා සැබෑ සාම්පලයක්‌ ලෙස වටහාගෙන මාධ්‍ය මගින් අර කීර්ති නාමය සහිත නිෂ්පාදනයට චෝදනා කළොත් වන්නේ වරදක්‌. මෙය සංවේදී ක්‍ෂේත්‍රයක්‌. එහෙයින් කල්පනාකාරී ව කටයුතු කළ යුතුයි"


පැහැපත් සමක්‌ සඳහා රසදිය අත්‍යවශ්‍ය නැහැ - රංජිත් ප්‍රේමතිලක

දේශීය නිෂ්පාදන භාවිතය සුදුසු යෑයි නිර්දේශ කරන විට ඇතැමුන් නඟන පැනයක්‌ වන්නේ රසදිය නැත්නම් සුදු වන්නේ කෙලෙස ද යන්නයි. මේ ප්‍රශ්නය අප විසින් යොමු කරන ලද්දේ සම පැහැපත් කරන ප්‍රකට දේශීය ආලේපනයක්‌ නිෂ්පාදනය කරන ආයතනයක කළමනාකාර අධ්‍යක්‌ෂ රංජිත් ප්‍රේමතිලක මහතා වෙත ය.

"දේශීය රූපලාවණ්‍ය ක්‍රම ගැන බොහෝ දෙනාට අවබෝධයක්‌ නැහැ. බටහිර නිෂ්පාදනවල සුදු වීමට රසදිය භාවිත කළාට දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනවලට රසදිය දමන්නේ නැහැ. අප පැහැපත් බව ලබාගැනීමට භාවිත කරන්නේ ශාකසාර. සුදු වන්නේ කුමන මූලද්‍රව්‍යයෙන් ද කියන කරුණට වඩා වැදගත් වන්නේ අප භාවිත කරන ශාක සාරවල සම්ප්‍රයුක්‌ත ඵලයෙන් අදාළ යහපත් ප්‍රතිඵලය ලැබෙන බවයි. ඒ තුළ රසදිය වැනි හානිකර දේ අඩංගු නො වන බව වගකීමෙන් කිව හැකියි. ඕනෑ ම කෙනකුට ඒ ගැන පරීක්‌ෂා කළ හැකියි. අතීතයේ අපේ හෙළ කුමරියන් පවා මේ දේශීය ඔසු, පැහැපත් වීමට භාවිත කළා."


සම පැහැගැන්වීමේ ආලේපන සම්බන්ධයෙන් නීති පවතිනවා - පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂිකා සමන්තා කරුණාරත්න

වර්තමාන සමාජය තුළ කෙටි කාලයකින් සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitening cream & lotion) සදහා වෙළෝදපොළෙහි ඇත්තේ වැඩි ඉල්ලුමකි. කාන්තාවන්, පිරිමින් මෙන් ම පාසල් වයසේ පසු වන සිසු සිසුවියන් ද මේ ආලේපන භාවිතය සදහා වැඩි වශයෙන් යොමු වී තිබේ. නිෂ්පාදකයකුගේ හෝ බෙදාහරින්නකුගේ හෝ තොරතුරු සදහන් නො වන, කල් ඉකුත් වූ දිනයක්‌ නොමැති, නිෂ්පාදිත රටක්‌ පිළිබද ව සටහන් නො වන එමෙන් ම ආලේපනයන්හි අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබදව සදහන් නො වන ආලේපන වර්ග වෙළෝදපොළ තුළ බහුල ව විකිණීම සදහා තබා ඇති බව පාරිභෝගික අධිකාරියේ විමර්ශනවල දී හෙළි වී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්, විවෘත වෙළෝදපොළෙන් මිල දී ගත්, සම සුදු පැහැ ගන්වන බවට ප්‍රකාශ කරමින් අලෙවි වන ආලේපන කිහිපයක්‌ සාම්පල ලෙස ලබාගෙන කාර්මික තාක්‌ෂණ ආයතනයට යොමු කර ඒවායේ අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් පිළිබද වාර්තාවක්‌ ලබාගන්නා ලදි. වාර්තාවලට අනුව අඩංගු ව තිබූ රසදිය ප්‍රමාණයන් කිලෝග්රෑමයකට මිලිග්රෑම් 7845-17,632 අතර (7845 mg/kg - 17,632 mg/kg) අතර පරාසයක විය.

ශ්‍රී ලංකා ප්‍රමිතිය SLS 743;2014 අනුව සම පැහැපත් කරවන ක්‍රීම් දියර වර්ගවල අඩංගු විය හැකි උපරිම බැර ලෝහ ප්‍රමාණය පහත පරිදි වේ.

බැර ලෝහය කිලෝග්‍රෑමයක තිබිය හැකි උපරිම මිලි ග්‍රෑම් ප්‍රමාණය

ඊයම් (Lead) (Pb) 10

ආසනික්‌ (Arsenic) (As) 03

රසදිය (Mercury) (Hg) 01

කැඩ්මියම් (Cadmium) (Cd) 03

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි රසදිය ප්‍රමාණය අතිශයින් ඉහළ අගයක්‌ ගන්නා ආලේපන වර්ග භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයේ ස්‌නායු පද්ධතියට හානි ගෙන දෙන අතර, වකුගඩු අක්‍රිය වීමට ද, බිළිදුන්ගේ මානසික විකෘතිතා ඇති කිරීමට ද සමෙහි අසාත්මිකතා ඇති කිරීමට ද, විවිධ පිළිකා රෝග ඇති වීමට ද, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ආබාධ ඇති වීමට ද හේතුවක්‌ වෙයි.

පවතින තත්ත්වයන්හි අවදානම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙහි සභාපතිවරයා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සැල කර සිටි අවස්‌ථාවේ දී ඇමැතිවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි අධිකාරි පනත යටතේ ඇති සීමාව තුළ නීති සකසා පාරිභෝගිකයන් ආරක්‌ෂා කරගැනීම සදහා කටයුතු කරන ලෙස උපදෙස්‌ ලබා දී තිබූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2018.05.03 දින 2069/37 අංක දරන අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත. ගැසට්‌ නිවේදනය මගින් පහත සදහන් කරුණු අදාළ ක්‍රීම් වර්ග අඩංගු බහාලුම මත අනිවාර්යයෙන් ම සදහන් විය යුතු ය.

සමෙහි ආලේප කරන්නා වූ සියලු ම ක්‍රීම් සහ ලෝෂන් නිෂ්පාදකයන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් හෝ වෙළෙන්දන් විසින් සෑම ක්‍රීම් හා දියර වර්ග (Lotion) බෝතලයක ම, ඇසුරුමක ම හෝ පැකට්‌ටුවක ම පැහැදිලි ලෙස නො මැකෙන අයුරින් පහත දක්‌වා ඇති තොරතුරු සලකුණු කළ යුතු ය. වැඩිදුරටත් ග්‍රෑම් 50/මිලි ලීටර් 50 හෝ ඊට අඩු ක්‍රීම් හා දියර වර්ග අඩංගු ඇසුරුම් සදහා අදාළ තොරතුරු ඇතුළත් කර වෙන ම සැකසූ පත්‍රිකාවක්‌ එම ඇසුරුම් සමග නිකුත් කළ හැකි ය.

01. නිෂ්පාදනයේ නම

02. නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය

03. ආනයනකරුගේ සහ / හෝ ශ්‍රී ලංකාව තුළ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය

04. නිෂ්පාදිත රට

05. සන්නාම නාමය

06. පරිමාව/බර

07. කාණ්‌ඩ හෝ කේත හෝ තොග හදුනාගැනීමේ අංකය

08. නිෂ්පාදිත දිනය

09. කල් ඉකුත් වීමේ දිනය හෝ පාවිච්චි කිරීම සිදු කළ යුතු අවසාන දිනය

10. උපරිම සිල්ලර මිල

11. අමුද්‍රව්‍ය ලැයිස්‌තුව

12. භාවිත කිරීම සදහා උපදෙස්‌

13. අවශ්‍ය වේ නම් අවවාද/අනතුරු ඇගවීමේ ප්‍රකාශන

මේ විධානය 2018 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

2017 දෙසැම්බර් මස 07 වැනි දින අදාළ වාර්තා සමග මාළිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එය සලකා බැලූ මාළිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්‌ත්‍රාත්තුමිය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, පාරිභෝගිකයා නොමග යවමින් මනුෂ්‍ය ශරීරයට අහිතකර ක්‍රීම් වර්ග අලෙවි කළ වෙළෝද මහතුන් සියලු දෙනාට පිළිවෙළින් රු.5,000/- බැගින් දඩ නියම කරන ලද අතර අදාළ ක්‍රීම් වර්ග වෙළෝදපළෙන් ඉවත් කරන ලෙසටත් ක්‍රීම් වර්ගවල වෙළෝද නාමයන් පිළිබදව මාධ්‍ය ඔස්‌සේ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් හට නියෝග කරන ලදි.

මනෝඡ් ප්‍රසන්න රත්නායක

BSc. MA. MPhil