logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මිනිසුන් හා වන සතුන් අතර ගැටුමට පිළියම

පසුගිය දිනවල දී අපේ රටෙන් වාර්තා වූ වනජීවීන් පිළිබඳ සිදුවීම් කිහිපයක්‌ මඟින් මිනිසුන් හා වනජීවීන් අතර ඇති ගැටුමේ ස්‌වභාවය පිළිබඳව පෙන්වා දෙයි. සිංහරාජයේ වාසය කරන අලින් දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙන යැමට ගත් උත්සාහය, කිලිනොච්චිය ප්‍රදේශයේ දී මරා දමන ලද දිවියා පිළිබඳ සිදු වීම හා බඹරකැළේ දී මිනිසුන් විසින් අල්ලාගෙන නිදහස්‌ කරන ලද ගෝනාගේ සිදු වීම මෙරට වන සතුන් හා මිනිසුන් අතර ඇති ගැටුමේ පැති කිහිපයක්‌ පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාර්තා වන පරිදි මේ සිදු වීම් සංක්‌ෂිප්ත කළ හැක්‌කේ මෙසේ ය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන අවසන් අලින් දෙදෙනා එම ප්‍රදේශයෙන් ඉවත් කරන මෙන් එම ප්‍රදේශයේ ඇතැම් පිරිස්‌ විසින් සිදු කරන ලද ඉල්ලීමක්‌ මත ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්නා ලදි. ඒ සඳහා ගැනීමට යෝජිත පියවර වූයේ අදාළ අලින් හොරොව්පතානේ පිහිටා ඇති අලි රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත ගෙන යැම ය. එහෙත් මේ පිළිබඳ ව පරිසරවේදීන් වෙතින් දැඩි විරෝධයක්‌ එල්ල විය. අවසානයේ දී ජනාධිපතිවරයාගේ නියෝගයක්‌ මත එම ප්‍රයත්නය අත්හිටුවීමට පියවර ගත් බව සැළ විය. එය එක්‌තරා ආකාරයකින් සතුටට කරුණකි. තෙත් කලාපයේ වාසය කරන තෙත් කලාපීය ආහාර රටාවකට හුරු වී ඇති මේ අලින් වියළි කලාපයේ දේශගුණයට හෝ එම ආහාරවලට හුරු වෙතැයි අපේක්‌ෂා කළ නොහැකි ය. අනෙක්‌ අතට මේ අලින් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ කවර පිරිස්‌වලට ද යන්න පිළිබඳව ද ගැටලු ඇති වී තිබෙයි.

මේ අතර කිලිනොච්චියට නුදුරු ප්‍රදේශයක දී ගමකට පිවිසුණු දිවියකු හෙවත් කොටියකු මිනිසුන් විසින් පහර දී මරා දමනු ලැබීම පිළිබඳ වීඩියෝ දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ ප්‍රචාරය වීමෙන් පරිසර අංශවල විශාල කලබැගෑනියක්‌ ඇති විය. විශේෂයෙන් මේ සිදු වීමේ දී අදාළ දිවියා ඇල්ලීම සඳහා වනජීවී අංශවලට බාධා කළ බව ද වාර්තා විය. එය කණගාටුදායක සිදු වීමකි. එසේ ම මේ දිවියා මරා දමන ලද අමානුෂික ක්‍රියාවලිය හා එය සමාජ ජාල ඔස්‌සේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. මීට පෙර ඇතැම් අවස්‌ථාවල දී පක්‌ෂින් හා වෙනත් සතුන් දඩයම් කිරීමේ දී ද මෙසේ එය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන පිරිස්‌ සමාජ ජාලවල අපි දැක ඇත්තෙමු. එහි ඇති අමානුෂික ස්‌වභාවය සමාජයේ පරිහානියක්‌ නිරූපණය කරන්නක්‌ ද යන්න විටක අපට සිතෙයි.

එසේ ම නුවරඑළිය බඹරකැළේ වතු යායේ ඇළක තුවාල සහිත ව වැටී සිටි ගෝනකු නිරීක්‌ෂණය කළ වතු කම්කරුවන් පිරිසක්‌ ඒ පිළිබඳ ව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ව එම ගෝනාට ප්‍රතිකාර ලබා දී පිදුරුතලාගල රක්‌ෂිතයට නිදහස්‌ කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. ඒ පසුගිය ජුනි මස අවසන් සතියේ දී වූ සිදු වීමකි. මෙය සිදු විය යුතු දේ පෙන්වා දෙන්නකි. ඇතැම් විට වගා බිම්වලට පවා හානි කළ හැකි ගෝනකු වැනි සතකු ගම් වැදුණු අවස්‌ථාවක දී එම වතුවල කම්කරුවන්ගේ මේ හැසිරීම අගය කළ යුත්තක්‌ බව පැහැදිලි ය.

ගැටුමේ ඉතිහාස කතාව

වනජීවී-මිනිස්‌ ගැටුම (human-wildlife conflict) ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් හා වනසතුන් අතර ඇති අන්තර් ක්‍රියා සහ එමඟින් මිනිසුන් හා මිනිසුන්ගේ සම්පත් සඳහා හෝ වනසතුන් හා ඔවුන්ගේ වාසස්‌ථාන සම්බන්ධ ව හෝ ඇති වන නිෂේධනාත්මක බලපෑමයි.

වනජීවීන් හා මිනිසුන් අතර මෙවැනි ගැටුම් ඇති වීම ඈත අතීතයේ සිට සිදු වන සිදු වීමකි. එහි ආරම්භය මානව ප්‍රාග් ඉතිහාසය ලෙස දැක්‌විය හැකි ය. එකල ඇති වූ මිනිස්‌-වනජීවී ගැටුම ප්‍රාථමික තත්ත්වයේ වූවක්‌ විය. කෙසේ වෙතත් මිනිසා ශිෂ්ටාචාරගත වීමෙන් පසුව මේ මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ ස්‌වභාවයක්‌ ගත් බව පෙනෙයි. විශේෂයෙන් මිනිසුන් වගා කටයුතු ආරම්භ කිරීමෙන් හා පශු පාලනය ආරම්භ කිරීමෙන් අනතුරු ව මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ වූවක්‌ විය. වන සතුන් වෙතින් මිනිසුන් වෙත ඇති වන හානිකර බලපෑම් මෙන් ම මිනිසුන් වෙතින් වන සතුන්ට ඇති වන හානිකර බලපෑම ද සුලබ ව දැකිය හැකි වූයේ ඒ සමඟ ය. මිනිස්‌ ජනගහනයේ වර්ධනයත් සමඟ මේ තත්ත්වය වඩාත් බරපතළ විය.

අපේ රටේ වුවත් මිනිස්‌-වනජීවී ගැටුම සම්බන්ධ ව නො දන්නා කරුණු බෙහෙවින් තිබෙයි. විශේෂයෙන් වන සතුන් ගෙන් මිනිසුන්ට සිදු වන හානි පිළිබඳ මෙන් ම මිනිසුන් වෙතින් වනසතුන්ට සිදු වන අමානුෂික ක්‍රියා පිළිබඳ ඉතිහාසය ද බොහෝ දෙනා අමතක කර ඇති දෙයකි.

නිදසුනක්‌ ලෙස ගත හොත් අලි මිනිස්‌ ගැටුම ඈත අතීතයේ සිට ම පැවත එන්නක්‌ බව පැහැදිලි ය. මිනිසුන් විසින් වගා කරනු ලබන බෝග වර්ග අලින් හා වෙනත් සතුන්ගේ ආහාර විය. එබැවින් අලි ඇතුන් පිළිබඳ ව මිනිසුන් අතර පළිබෝධයකු හා සමාන ආකල්පයක්‌ තිබීම පුදුමයක්‌ නො වේ. මේ නිසා අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව මිනිසුන් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබන්නට ඇත. අලි ඇතුන්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම සිදු කළ අවස්‌ථා, නිවස තුළට යොමු කළ හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදු වීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අපි නො දනිමු.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධ ව ප්‍රතිචාර දක්‌වා ඇති බව ද මේ පිළිබඳව ඇති වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් විසින් දැනුම් දෙන ලද අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය මීට සමාන වෙයි.

බ්‍රිතාන්‍ය පාලන සමය පිළිබඳව සැලකූ විට අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බව පෙනෙයි. ඒ පිළිබඳව පරීක්‌ෂා කිරීමෙන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට හෝ නියෝග කරනු ලැබෙයි. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන 'ක්‍රීඩාලෝලී' සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟපෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාවගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය.

දිවියා හෙවත් කොටි සමඟ මිනිසුන්ගේ ගැටුම් ඇති වීම ද කලක්‌ තිස්‌සේ වාර්තා වෙයි. මිනිසුන් විසින් දිවියන් කෙරෙහි සතුරු ආකල්පයක්‌ දක්‌වනු ලැබ ඇත්තේ මේ සතුන් විසින් ගවයන්, එළුවන් හා බල්ලන් වැනි සතුන් ආහාරයට ගනු ලැබීම නිසා පමණක්‌ නො වේ. (මෙවැනි සිදු වීම් පිළිබඳව වාර්තා බ්‍රිතාන්‍ය සමයේ සිට ම ඇත.) මිනිසුන් තුළ දිවියන් පිළිබඳව ඇති බිය ද මේ ගැටුම සඳහා හේතු වෙයි. එම බියට හේතු වී ඇත්තේ දිවියන් විසින් පහර දෙනු ලැබෙතැයි යන බියයි. එහෙත් ඇත්තෙන් ම දිවියකු විසින් මිනිසුන්ට පහර දෙන ලද අවස්‌ථා වාර්තා වන්නේ කලාතුරකිනි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපගේ අධ්‍යයනවලින් දැනට අනාවරණය වී ඇති ආකාරයට 19 වැනි සියවස මුල, මාතරට නුදුරු ප්‍රදේශවලින් පවා එවැනි සිදු වීම් වාර්තා වී ඇත. මිනිසුන් මරා දැමූ අවස්‌ථා පිළිබඳව ඇති නිදසුන වන්නේ 1920 දශකයේ නැඟෙනහිර පළාතේ පුනානි දිවියාගේ සිදු වීමයි. එහෙත් අප දන්නා පරිදි දිවි ප්‍රහාර වළක්‌වාගත හැකි ඒවා ය. මේ සඳහා අවශ්‍ය වන්නේ වගකීමකින් හා අවබෝධයකින් යුතු ව කටයුතු කිරීමයි.

කුරුල්ලන් වැනි සතුන් දඩයම් කිරීම පිළිබඳ වාර්තා ද මෑත කාලයේ අසන්නට ලැබිණි. මස්‌ පිණිස දඩයමට වඩා එහි දැකිය හැකි වූයේ විනෝදය පිණිස කළ දඩයමකි. මස්‌ ලබාගැනීම සඳහා දඩයම් කිරීම පිළිබඳ වාර්තා අතීතයේ සිට අසන්නට ලැබෙයි. මන්නාරම ප්‍රදේශයේ පක්‌ෂින් දඩයම් කර, වියළා අලෙවි කිරීම පාලනය කිරීමට උත්සාහ ගැනීම පිළිබඳ වාර්තා බ්‍රිතාන්‍ය සමයේ වාර්තා අතර වෙයි. මෙරට වනජීවී නීති වර්ධනය හා විකාශය වීම සඳහා මෙවැනි අපරාධ පාලනය කිරීම සඳහා ගත් පියවර වැදගත් වී ඇත. එසේ ම වඳුරන්, රිලවුන් හා කිඹුලන් සමඟ ඇති වූ ගැටුම් පිළිබඳව ද සැලකිය යුතු කලක පටන් වාර්තා තිබෙයි.

මැද මාවතේ විසඳුමක්‌ සොයා

මිනිස්‌-වනජීවී ගැටුමට පිළියම් යෙදීමේ දී මිනිsසුන් අමතක කර, ඇති කරගන්නා විසඳුමකින් එතරම් ප්‍රයෝජනයක්‌ ලබාගත නො හැකි බව පැහැදිලි ය. වන සතුන්ගේ ජීවිත මෙන් ම මිනිසුන්ගේ ජීවිත ද වැදගත් ය. අප පිළිගැනීමට කැමැති වුව ද අකැමැති වුව ද මේ වන විට ලෝකයේ ඇත්තේ මානව කේන්ද්‍රීය සමාජයකි. මේ අනුව මිනිස්‌-වනජීවී ගැටුමට විසඳුම් ලබා දීමේ දී මිනිස්‌ අවශ්‍යතා පිළිබඳව ද සැලකිල්ලට ගත යුතු වෙයි. මානව අවශ්‍යතා ද සම්පූර්ණ කරන, වනජීවීන් ද ආරක්‌ෂා කරන ආකාරයේ විසඳුමක්‌ සොයාගැනීම අද දවසේ අවශ්‍යතාව වෙයි.

වරක්‌ අප සහභාගි වූ අලි-මිනිස්‌ ගැටුම පිළිබඳ එක්‌තරා වැඩසටහනක දී ප්‍රදේශවාසීන් පැවසූ කරුණක්‌ මෙහි දී අපට සිහි වෙයි. ඔවුන් මුහුණ දී තිබූ අලි-මිනිස්‌ ගැටුමට ආසන්න විසඳුමක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ ඔවුන්ගේ අදහස වූයේ 'එක එක සතා අඩු වෙලා හරි මේ ප්‍රශ්නෙ ඉවර වෙයි' යන අදහසයි. එම ප්‍රදේශයේ පසුගිය හැත්තෑ (70) වසරක පමණ කාලයේ අලි ගහනය අඩු වී ඇති අතර මිනිස්‌ ජනගහනය ඉහළ ගොස්‌ වන ගහනය අඩු වී ඇත. එසේ ම සිංහරාජ ප්‍රදේශයේ අලින්ට අද සිදු ව ඇත්තේ මෙයයි. එහි අතීතයේ සැලකිය යුතු තරමක්‌ සිටි අලි රංචුවකින් මේ වන විට ඉතිරි ව ඇත්තේ අලින් දෙදෙනකු පමණකි. එහෙත් මෙය පිළිගත හැකි තර්කයක්‌ නො වේ. ඇතැම් බිම් පෙදෙසක හුදකලා වී ඇති වනජීවීන් රැකගැනීමට මෙවැනි ආකල්ප වෙනස්‌ කළ යුතු බව පැහැදිලි ය.

ධනේෂ් විසුම්පෙරුම