logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සතුන්ටත් දානයක්‌ වන ගෙවත්තක්‌ සකසාගනිමු

මේ දිනවල දී පරිසර ප්‍රශ්න පිළිබඳ අවධානය තවත් වැඩි වී ඇත්තේ, වන සතුන් හා මිනිසුන් අතර ඝට්‌ටනයන් නිසා ය. මුලින් ම සති කිහිපයකට කලින්, ගිරිතලේ දී වලසකු වෙඩි තබා මරා දැමිණි. පසුගිය සති කිහිපයේ දී ම බොහෝ දෙනා කතා කළේ සිංහරාජයේ අලින් ඇල්ලීම පිළිබඳ ව ය. මෙහි අලුත් ම ජවනිකාව කිලිනොච්චියේ දී කොටියකු කැති පොලුවලින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කිරීමයි.

විශේෂයෙන් ම නිදහසේ ජීවත් වන වන සතකු ඝාතනය සාධාරණය කළ නොහැක්‌කේ අප මෙන් ම උනුත්, මේ පරිසරයේ ම කොටසක්‌ බැවිනි. නිදහසේ සිටින, වන ජීවීන් අල්ලා කූඩු කරගන්නා අවස්‌ථා මෙන් ම මස්‌ පිණිස හෝ වෙනත් හේතු හෝ නිසා මරා දැමීම, සුරතලයට ඇති කිරීමට අල්ලාගැනීමට අමතර ව, ඔවුන්ගේ වාසස්‌ථාන විනාශය පිළිබඳ අවාසනාවන්ත වාර්තා දිනපතා ලැබෙයි.

මේවාට එදිරි ව, සමාජ මාධ්‍ය හරහා බැණවැදීම්වලින්, කථාවෙන් ඔබ්බට ගිය ක්‍රමවේද මඟින් පරිසර සංරක්‌ෂණය සඳහා අපට හැකි පමණින් පියවර ගත යුතු කාලය එළඹී ඇත. කැළයේ ගස්‌ කැපීම පිළිබඳව හෝ තෙත්බිම් ගොඩ කිරීම් වැනි මහා පරිමාණ පරිසර ප්‍රශ්නවලට විසඳුම් සැපයීම ඉතාම අත්‍යවශ්‍ය කරුණක්‌ වන නමුත්, ඒවාට විසඳුම් බොහෝ විට අපගේ මානයෙන් දුරස්‌ වේ. පරිසර සංරක්‌ෂණය පිළිබඳ සංකල්ප ක්‍රිsයාවට නංවන්නට පටන්ගැනීමට හොඳ ම තැන අපේ ම ගෙවත්තයි. ඔබගේ ගෙවත්ත, පරිසරයට හිතකාමී ජීවීන්ටත් (ඔබට හානියක්‌ නො වන) ප්‍රයෝජනයක්‌ ලෙස සැකසීම, දැනටත් ඔබගේ ගෙවත්තේ තිබෙන සතුන්ට ප්‍රයෝජනවත් ගහකොළ, ඉඩකඩ ඔවුන් වෙනුවෙන් වෙන් කිරීම ඔබට ලෙහෙසියෙන් ම දායක විය හැකි ක්‍රියාවලියකි.

'ගෙවත්තේ ජෛව විවිධත්ත්වය' ලිපි මාලාවෙන් පෙන්වා දෙන පරිදි ම සාමාන්‍ය ශ්‍රී ලාංකික ගෙවත්තක්‌ ආශ්‍රිත ව සමනළයන්, කුරුල්ලන් ආදි බොහෝ දෙනා දැකගත හැකි වේ. එහෙත් අපගේ ගෙවතුවල හිස්‌ ඉඩ අප (අපට අහිතකර නො වූ) සතුන්ටත් ප්‍රයෝජනයක්‌ ගත හැකි ලෙස සකසාගැනීමට මඳක්‌ හෝ උත්සාහයක්‌ ගෙන තිබේ දැයි ඔබ ම සිතා බලන්න.

බුදුදහමට අනුව 'දානය' ඉමහත් පුණ්‍යකර්මයකි. මඳක්‌ සිතා බලන්න - ඔබගේ ගෙවත්තත් වෙනත් ජීවීන්ට ද හිතකර ලෙස සකසාගැනීමෙන් ඔබටත් ඉමහත් 'දානයක්‌' කරගත හැකි නො වේ ද? උදාහරණයක්‌ ලෙස සිතා බලන්න, මීමැස්‌සන්ට, සමනළයන්ට මෙන් ම පැණි කුරුල්ලන්ට ද ආහාර ලෙස ගත හැකි, 'පැණි' ඇති මල් වගා කිරීමෙන් අප දානයක්‌ කරගන්නවා නො වේ ද? සමහර මල් වර්ග ඉතා ම ඉක්‌මනින් වැවී, ලස්‌සන මල් විශාල ප්‍රමාණයක්‌ ගෙන ආවත්, ඒවායේ ඇත්තේ නිකම් ම ලස්‌සනක්‌ පමණි. ඒ වෙනුවට ලස්‌සනත් ඇති, පැණිත් තිබෙන මල් වර්ග තෝරාගැනීමෙන් අප දානයක්‌ සිදු කරනවා නො වේ ද?

ක්‍රෝටන්, සයිප්‍රස්‌ වැනි ගස්‌ වර්ග ලස්‌සන වුවත්, කිසිදු සතකුට ප්‍රයෝජනයක්‌ නැති නිසා ඒ වෙනුවට පලතුරු පැළයක්‌ සිටුවාගැනීමෙන් සතුන්ට පමණක්‌ නො ව, අපටත් ප්‍රයෝජනයවත් පලතුරක්‌ ලබාගැනීමේ අවකාශය ලැබේ.

දශක ගණනාවකට කලින් හොඳින් ඉඩකඩ තිබූ අපේ ගෙවතු මේ වන විට එන්න එන්න ම කුඩා වෙමින් පවතී. තම මිදුල පරිසර හිතකාමී ලෙස සකසාගන්නවාට අමතර ව, බඳුන්ගත ව හෝ මෙවන් ප්‍රයෝජනවත් ශාක සිටුවාගත හැකි ය. සමහර අතුරු පාරවල දෙපැත්තේ, නිකරුණේ අතහැර ඇති ඉඩක්‌ තිබේ. ඔබගේ ගෙවත්තේ ඉඩ මඳ නම්, සමහර අවස්‌ථාවල මෙවන් ඉඩක්‌ ද අපගේ 'ගෙවතු දාන' සඳහා සමහර තැනක භාවිත කළ හැකි වේ.

එහෙත් සමහර දෙනකුට ඒවා පෙනෙනුයේ නිකම් ම කරදරකාරී ක්‍රියාවන් ලෙස ය. උදාහරණයක්‌ ලෙස අපගේ ගෙදර ඉදිරිපස පාර අයිනේ තිබූ ඇළ අද්දර හිස්‌ ඉඩෙහි සීනියා මල් වර්ගයක්‌ සිටුවා තිබුණේ ලස්‌සන පිණිස ම නො ව, ඒවාට ඇදී එන සමනළයන්, මීමැස්‌සන්ට ආහාර පිණිස ය. එහෙත් වරක්‌ එම ඇළ සුද්ධ කිරීමට පැමිණි නගර සභාවේ කම්කරුවන් කෑගැසුවේ, 'කවුද මේ පාර අයිනේ මල් වවල තියෙන්නේ? මේ පාර අයිති නගර සභාවට - මේවා වැව්ව ම කාණුවක්‌ වත් සුද්ධ කරන්න බෑ' කියා ය. එය ඇත්තකි, මඳක්‌ කරදරයක්‌ ද වෙයි. එහෙත් සුද්ධ කිරීමට බැරිකමක්‌ නො තිබිණි.

කෙතරම් උගත් වුවත්, අප අතර බොහෝ දෙනෙක්‌ ක්‍රියා කරන්නේ ද, මේ නගර සභාවේ කාණු සුද්ධ කරන්නන්ගේ මානසිකත්වයෙනි. බොහෝ විට පිරිසිදුකම සහ පිළිවෙළ ගැන මූලික ව සිතා, හැකි සැම තැන ම සිමෙන්ති හෝ කොන්ක්‍රීට්‌ දැමීමට බොහෝ දෙනා පෙලඹෙන්නේ අපේ ගෙවත්තේ මෙන් ම ඒ අවට ද සතුන්ට ප්‍රයෝජනවත් වන ශාක පැළ වීමට තිබෙන අවකාශ වළකාලමිනි.

අවාසනාවකට ශ්‍රී ලංකාව මුහුණ දෙන බොහොමයක්‌ පරිසර ප්‍රශ්නයවල යම් මූලයක්‌ ද මෙයින් පිළිබිඹු කෙරේ. නගර සභාවේ කම්කරුවාගේ පිළිවෙත පසෙක ලා, මීට වසර දෙ දහස්‌ පන් සියයකටත් වඩා ඉපැරැණි සැබෑ බෞද්ධ පිළිවෙත අනුගමනය කිරීම කළ හොත් අපට පරිසර ප්‍රශ්න අවම කිරීම පිණිස ගෙවතු මට්‌ටමෙන් හෝ දායක විය හැකි ය.

ඉතින් මේ ගෙවුණු පොසොන් පොහොයෙන් ගත්තා වූ ආදර්ශයෙන්, සැබෑ බෞද්ධයන් ලෙස, අපගේ ගෙවත්ත සහ ඒ අවට හැකි තාක්‌ දුරට පරිසර හිතකාමී ලෙස සකසාගැනීමට උත්සාහ දරමු. හොඳින් පැළ වී තිබෙන ප්‍රයෝජනවත් ගසක්‌ ඉවත් කිරීමේ දී ද කළ යුතු වන්නේ එය සිදු කිරීම අත්‍යවශ්‍ය ම නම් පමණි. වචනයට සීමා නො වුණු, සැබෑ බෞද්ධයන් විය හැක්‌කේ එවිට ය.

(ඡායාරූප - හරී නමසිවායම්)

මාලක රොඩි්‍රගෝ