logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධකරුවකු ලෙස ගමන් ඇරඹීමත් සිතන තරම් පහසු කටයුත්තක්‌ නො වේ

"අද මට ගොඩක්‌ සතුටු දවසක්‌... මම පොඩි කාලෙ ඉඳන් ආස කරපු, සිහින දැකපු දෙයක්‌ අද සැබෑ වෙලා තියෙනවා" සිය අපරිමිත වූ සතුට, සොම්නස ඈ එලෙස වචනවලට පෙරළන්නී ය. උත්සාහය හා කැප වීම ඇති තැන සිතුවොත් කළ නොහැක්‌කක්‌ නො වන වග සිය කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ එකතුව එළිදක්‌වමින් ඇය මොනවට පසක්‌ කළා ය. විද්‍යාවේ යථාර්ථය, කලාවේ රසය හා මුසු කරමින් අපූරු කතා ගොතන්නට ඈ සතු ශක්‍යතාව, සුවිශේෂී ය, විශිෂ්ට ය.

ඉකුත් සමයේ විදුසරට ස්‌වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ පෙළක්‌ ම ලියා සිය සමත්කම් ප්‍රදර්ශනය කළ නිමාෂි ප්‍රනාන්දු සිය කුළුදුල් විද්‍යා ප්‍රබන්ධ එකතුව 'කෘත්‍රිම මනුෂ්‍ය වගාව හා තවත් කතා' නමින් පසුගිය දා ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ දී එළි දැක්‌වූවා ය.

කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබන නිමාෂි ප්‍රනාන්දු මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයයේ, විද්‍යා පීඨයේ, සත්ත්ව විද්‍යා විශේෂවේදී උපාධිධාරිනියකි. කොළඹ විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ, පරිසර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ද ඈ සතු ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළ වහා ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලේඛනයට ප්‍රවිෂ්ඨ වන ඇය මුලින් ම ලියන්නේ Daily Mirror පුවත්පතට ය. පසුකාලීන ව ඇය The Nation පුවත්පතෙහි පරිසර පිටුව සතිපතා හැඩ කරන්නී ය. ඇය 2009 වසරේ දී පැවැති කඳුතෘ සංසද (Editors Guild) වාර්ෂික ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම පරිසර වාර්තාකරු (2008) ලෙස සම්මානයට පාත්‍ර වූවා ය. The Nation පුවත්පතේ ළමා අතිරේකයට විද්‍යාත්මක ලිපි ද ඇය විසින් සම්පාදනය කරන ලද අතර වසර කිහිපයක්‌ මුළුල්ලේ ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිපි රචනා කරන ලේකාවක ලෙසින් පාඨක ප්‍රසාදය දිනා සිටියා ය.

විද්‍යා ප්‍රබන්ධකරණයට ඈ යොමු වන්නේ අහම්බයෙනි. ඒ මීට වසර හතරකට පමණ පෙර ය. ඇය සේවය කරන සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය මඟින් පාසල් ළමයින් ඉලක්‌ක කරගනිමින් Carbon Footprint Calculator හෙවත් අංගාර බැර සටහනක්‌ හඳුන්වා දෙන ලදි. ඒ යටතේ ක්‍රියාත්මක වූ අංගයක්‌ වන පාසල් ළමයින් නියෑදියක්‌ තෝරා, දත්ත ලබාගැනීමේ කටයුත්තේ දී විදුසර හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේ වගකීම පැවරී තිබුණේ නිමාෂි හට ය. තමන් සතු විද්‍යා ප්‍රබන්ධකරණ නිර්මාණ කුසලතාව විදුසර තුළින් එළිදක්‌වන්නට ඇයට සිත් පහළ වන්නේ එලෙස විදුසර සමග සිදු කෙරුණු සන්නිවේදන කටයුතු අතරතුර දී ය. තමාට ලැබුණු පළමු අවස්‌ථාව ම අති සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඈ ඉහළ ගුණාත්මයකින් යුත් විද්‍යා ප්‍රබන්ධයක්‌ රචනා කර එය විදුසරෙහි පළ කරවාගන්නට සමත් වූවා ය. 'කෘත්‍රිම මනුෂ්‍ය වගාව' ඇගේ ඒ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධයයි.

එස්‌ ඇන්ඩ් ටී පබ්ලිකේෂන්ස්‌ ආයතනයේ ප්‍රකාශනයක්‌ ලෙස 'කෘත්‍රිම මනුෂ්‍ය වගාව හා තවත් කතා' නමින් ඉකුත් දා එළිදැක්‌වුණේ නිමාෂි විදුසරට ලියූ විද්‍යා ප්‍රබන්ධ එකතුවකි. ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ දී පැවැති කෘතිය එළිදැක්‌වීමේ අවස්‌ථාවේ දී අදහස්‌ දැක්‌වූ ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචක, විද්‍යා සන්නිවේදක එස්‌. එම්. බන්දුසීල මහතා නිමාෂි සතු නිර්මාණ හැකියාව ඉහළින් අගය කර සිටියේ ය. විද්‍යා ප්‍රබන්ධකරණයට පිවිසීමේ ආශාවෙන් සිටින තවත් තරුණ ලේඛකයන් පිරිසකට අත්වැලක්‌ වනු පිණිස නිමාෂි ප්‍රනාන්දු මහත්මිය සිය ප්‍රබන්ධකරණ අත්දැකීම් විදුසර හමුවේ දිගහරින්නේ මෙලෙසිනි.

"සාමාන්‍ය විශේෂාංග රචනයේ දී, මා දකින විදිහට අප සිදු කරන්නේ යම් සිද්ධියක්‌, එහි වටපිටාව, ඉතිහාසය විස්‌තර කරමින් ලිවීමයි. එහෙත් ප්‍රබන්ධයක්‌ කියන්නෙ අපි හදලා ලියන දෙයක්‌, විද්‍යා ප්‍රබන්ධයක දී විද්‍යාත්මක සංකල්පයක්‌ හෝ සංකල්ප යොදාගනිමින් ඒ මත ප්‍රබන්ධයක්‌ ගොඩනැඟීම සිදු වනවා. ඒකෙ ඇත්ත ටිකයි. ඉතිරිය අපි තර්කානුකූල ව ගොඩනඟන්න ඕනි. නවකතා, කෙටිකතා ආදිය ද ප්‍රබන්ධ, ගෙතූ කතා ලෙස සැලකුවත් ඒවා තුළ විද්‍යාත්මක සංකල්ප අඩංගු වෙන්නේ නෑ."

සිය කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ එකතුව 'කෘත්‍රිම මනුෂ්‍ය වගාව හා තවත් කතා' සඳහා නිමාෂි ප්‍රනාන්දු මහත්මිය බොහෝ දුරට වස්‌තු බීජ කොටගන්නේ උසස්‌ පෙළ ජීව විද්‍යාව හදාරන සමයේ ඈ තුළ හටගත් ගැටලු සහ කුතුහලයන් ය. වානරයා ගෙන් මානවයා පරිණාමය වන්නේ නම් මානවයා ගෙන් වානරයකු ඇති වන්නට (පරිණාමය වන්නට) නොහැකි ද? සිව්පාවුන්, පක්‌ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයන් වැනි සෙසු සත්ත්ව කාණ්‌ඩ යටතේ පුළුල් පරාසයක විවිධත්වයක්‌ අදට ද පවතිද්දී මිනිසා පමණක්‌ එක ම ජීවී විශේෂයකට (Homo sapiens) සීමා වී පවතින්නේ ඇයි? ඇයගේ මනසේ පහළ වූයේ එවැනි හැම දෙනකුට ම නො සිතෙන ආකාරයේ ගැටලූ ය. මේ දේවල් වඩාත් තර්කානුකූල ව සිතමින් නිමාෂි ප්‍රබන්ධ ගොඩනැඟුවා ය.

"අපි මනස තර්කානුකූල ව හිතන්නට හුරු කළා ම කවදා හරි ඒ තාර්කික දැනුම පදනම් කරගෙන අපිට අලුත් අලුත් නිර්මාණ කරන්න පුළුවන්, මම හිතන්නේ විද්‍යා ප්‍රබන්ධ බිහි වන්නේ මේ විදිහට අපි තාර්කික දැනුම උපයෝගි කරගන්න හින්දයි" නිමාෂි සඳහන් කරයි.

ඇය සඳහන් කරන ආකාරයට කුඩා කල පටන් ම ඈ විද්‍යාත්මක පතපොත කියවන්නට ප්‍රිය කළා ය. 8 පන්තියේ සිට ඈ විදුසර ද මිල දී ගත්තා ය. "විද්‍යාව ගැන ලියවිච්ච කොළ කෑල්ලක්‌ අහු වුණත් මම කියවනවා, විද්‍යාවට මම දැඩි ව ආශා කළේ, ඕනෑ ම දෙයක්‌ දිහා බලලා ඒක තාර්කික ව වෙන්නෙ කොහොම ද කියා කියල දෙන්නේ විද්‍යාවෙන්. ඒක බොහොම විනිවිදභාවයක්‌ තියෙන විෂයයක්‌. යම් දෙයක්‌ දන්නෙ නැතිනම් ඒක දන්නෙ නෑ කියන්න තරම් විද්‍යාව නිහතමානීයි." ඇය සඳහන් කරයි.

විද්‍යා ප්‍රබන්ධ රචනාකරණයෙහි ලා යොමු වන්නකු සිහි තබාගත යුතු කරුණු.....

විද්‍යා ප්‍රබන්ධ රචනයෙහි ලා මූලික අවශ්‍යතාවන් දෙකක්‌ සැපිරිය යුතු ය.

1. විද්‍යාව පිළිබඳ දැනුම

විද්‍යා ප්‍රබන්ධ රචකයකු සැම විට ම විද්‍යාත්මක දැනුම හඹා යන්නකු විය යුතු ය. විද්‍යා ප්‍රබන්ධයෙහි වන සත්‍යය අල්ප මාත්‍රයක්‌ වුව ද ඉන් එහාට කතාව ගොඩනඟන්නට විද්‍යාත්මක සිද්ධාන්ත යොදාගනිමින් ඒවා ඔබේ මනස තර්කානුකූල ව මෙහෙයවමින් ගොඩනැඟිය යුතු ය. නිමාෂි සඳහන් කරන ආකාරයට විදුසර විද්‍යා සඟරාවෙහි එන විද්‍යා ප්‍රබන්ධ කියවීම හරහා ම ඇගේ දැනුම බොහෝ සෙයින් ප්‍රසාරණය විය. තව ද විද්‍යාව සම්බන්ධ ඕනෑ ම පොතක්‌, පත්තරයක්‌, සඟරාවක්‌ කියවීම ඉතා ම වැදගත් ය. විද්‍යා දැනුමක්‌ නොමැති ව විද්‍යා ප්‍රබන්ධ ගොඩනඟන්නට නොහැකි ය.

"මම ගොඩක්‌ ඉස්‌සර National Geographic කියන ඉංග්‍රීසි සඟරාවේ ලිපියක්‌ කියෙව්වා, ඒකේ තිබ්බා මකුළුවාගේ තන්තු ලෝකයේ තියන ශක්‌තිමත් ම ස්‌වාභාවික තන්තුව කියල. ඒ විතරක්‌ නෙවෙයි මකුළුවන් එකට 'වගා' කළොත් උන් එකිනෙකාව කාගන්නව ලු. මේ වගේ දේවල් ඒ ලිපියෙහි සාකච්ඡා වුණා. ඒකෙන් තමයි මම මගේ ප්‍රබන්ධයක දී ප්‍රොaටීන නිස්‌සාරණයට මකුළු වගාවක්‌ වෙනුවට මකුළු ජාන නිස්‌සාරණයක්‌ ගැන සඳහන් කළේ" සිය ප්‍රබන්ධ රචනයේ දී පෙර දැනුම උපයෝගි කරගත් අයුරු නිමාෂි එලෙස කියාපායි.

2. නිර්මාණාත්මක හැකියාව

මෙය සාමාන්‍යයෙන් අයකුට උත්පත්තියෙන් ලැබෙන එනම් සහජ හැකියාවකි.

"කෙතරම් නිර්මාණශීලී රචකයකු වුවත් විද්‍යාව පිළිබඳ දැනුමක්‌ නොමැති ව විද්‍යා ප්‍රබන්ධ ලියන්න උත්සාහ කිරීම හරියට තැපෑලෙන් පීනන්න ඉගෙනගන්නවා වගේ" නිමාෂි සඳහන් කරයි. සැබැවින් ම අයකුට විද්‍යා ප්‍රබන්ධකරණය මේ අවශ්‍යතා දෙක ම සපුරාලිය යුතු ය.

මීට අමතර ව ඉවසීම අත්‍යවශ්‍ය ය. විද්‍යා ප්‍රබන්ධ දෙක තුනක්‌ කියවූ පමණින් ලියන්නට බැරි ය. තව ද දින වකවානු ඉලක්‌ක කරගෙන විද්‍යා ප්‍රබන්ධ ලියන්නට යැම ද අනුවණකමක්‌ බව ඇය සඳහන් කරයි.

විද්‍යා ප්‍රබන්ධකරණය ඔබ සිතන තරම් සුළුපටු කර්තව්‍යයක්‌ නො වේ. දීර්ඝකාලීන අභ්‍යාසය, උත්සාහය හා කැප වීම එහි ලා පැවතිය යුතු ම ය. ඔබ ගුණත්වයෙන් යුත් විද්‍යා ප්‍රබන්ධයක්‌ රචනා කරන්නට නම් එහි ලා පසුබිම සකසාගන්නට විද්‍යාත්මක පතපොත නො අඩුව කියවමින් ඔබේ මනස ද තාර්කික ව මෙහෙයවමින් ඔබේ නිර්මාණාත්මක හැකියාව ද ඔප්නංවා ගත යුතු ය.

"අද වෙළෙඳපොළේ ගුණාත්මක විද්‍යා ප්‍රබන්ධ ඕනෑ තරම් තියනවා. ඔබ ඒවා කියවන්නේ නම් එය ඔබේ විද්‍යා දැනුම දියුණු කර ලිවීමේ හැකියාව ද වැඩිදියුණු කරනවා පමණක්‌ නො ව ඔබ මුහුණ දීමට නියමිත අ. පො. ස. සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ වැනි තරගකාරී විභාගවලට ද මහත් පිටිවහලක්‌ වනු ඇති." ඒ නිමාෂි ප්‍රනාන්දු මහත්මියගේ පණිවිඩයයි.

සිනේකා වීරක්‌කොඩි