logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දරුවන්ට කුඩා වියේ සිට ම ව්‍යාපාරික දැනුම ලබා දීමේ වැදගත්කම

ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් ඉංජිනේරු විශේෂවේදී උපාධිය හදාරා යාන්ත්‍රික (Mechanical) ඉංජිනේරුවකු ලෙස කරළියට පැමිණෙන ආචාර්ය ජගත් පීරිස්‌, සිය ආචාර්ය උපාධිය හදාරන්නට වෙනස්‌ ම ක්‌ෂේත්‍රයක්‌ තෝරාගනී. ඒ ව්‍යාපාර පරිපාලන ක්‌ෂේත්‍රයයි. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ Phoenix විශ්වවිද්‍යාලයයෙන් ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධිය හිමි කරගන්නා ඒ මහතා දංකොටුව පෝසිලේන් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් හා ලංකා සෙරමික්‌ස්‌ යන ආයතනයන්හි ප්‍රධාන කළමනාකාර අධ්‍යක්‍ෂ (Managing Director, CEO) ලෙස වසර ගණනාවක්‌ කටයුතු කරන්නේ සාමාන්‍ය ඉංජිනේරුවරයකුට එහා ගිය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රවීණඉංජිනේරුවරයකු ලෙසින් ය. අනතුරුව Institution of Engineers හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කලක්‌ සේවය කරන ඒ මහතා අද වන විට ජාතික අපනයන ආයතනයේ සභාපති ලෙස කටයුතු කරයි

සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් මෙරටට නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දීමත් සමග ම දුප්පත්, පොහොසත් සැම දුවා දරුවකුට ම පළමු ශ්‍රේණියේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරන තෙක්‌ ම වියදමකින් තොර ව අකුරු කරන්නට මං පෙත් විවර විය. ආර්ථිකමය වශයෙන් එතරම් පොහොසත් නො වුණ ද දැනුමෙන් වඩාත් පරිණත බුද්ධිමත් දරු කැළක්‌ ලක්‌ මාතාවට දායාද කරන්නට එය මහඟු පිටිවහලක්‌ විය.

පළමු ශ්‍රේණියේ පටන් උසස්‌ පෙළ දක්‌වා රජයේ පාසල්හි ඉගෙනුම ලබන දරුවාගේ ඊළග කඩඉම රජයේ විශ්වවිද්‍යාලයයක උසස්‌ අධ්‍යාපනය හැදැරීම ය. ඒ වෙනුවෙන් විශාල උත්සාහයක්‌, කැප කිරීමක්‌ වුවමනා වග අමුතුවෙන් කිව යුතු නො වේ. රජයේ විශ්වවිද්‍යාලයයන්හි උපාධිය හදාරන්නට දහස්‌, දස දහස්‌ ගණනින් පොරබැදුව ද ඒ වරම ලබන්නේ අතළොස්‌සකි. උසස්‌ පෙළ සමතුන් ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයයන්ට ඇතුළත් වීමට වරම් ලබන්නේ සියයට 20ක්‌ වැනි ප්‍රතිශතයකි. ඒ ඒවායේ පවතින පුරප්පාඩු සීමිත හෙයිනි. යම් හෙයකින් කිසිවකු සරසවි වරම් නො ලබන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ ඉදිරි පියවර කුමක්‌ වනු ඇත් ද?

බාහිර උපාධි හදාරන්නට යම් ප්‍රවණතාවක්‌ දේශීය දුවා දරුවන් තුළ දක්‌නට ලැබුණ ද ඒවා අභ්‍යන්තර උපාධි හදාරනවා මෙන් පහසු නැත. බොහෝ අය පළමුව රැකියාවක්‌ සොයන්නට වෙහෙසෙති. ඉන් ලබන වැටුපෙන් හෝ බාහිර උපාධි හදාරන්නට බොහෝ විට උත්සාහ කරති. මාපියන් සතු ව වියදම් කරන්නට මුදල් ඇත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයයන්හි ද දේශීය ව හෝ විදේශීය ව හෝ අධ්‍යාපනය ලබන්නට වෙර දරන්නන් නො සිටිනවා නො වේ. එහෙත් අතමිට සරු නැති තැන එය ද ඵල දරන්නේ නැත. ගේ දොර ඉඩකඩම් උකස්‌ කර වුව ද ඇතැම් මාපියන් දරුවන්ට උගන්වන්නට වෙහෙසුණ ද සැම විට ම ඒවා සාර්ථක ආයෝජනයක්‌ නො විය හැකි ය. අවසානයේ ඔවුනට උන්හිටි තැන් පවා අහිමි වේ.

එබැවින් මින් ඔබ්බට ගිය විකල්පයක්‌ වේ නම් ඒවා අත්හදා බැලීම වඩාත් කාලෝචිත බැව් කිව හැකි ය.

කුඩා කල පටන් ම මාපියන්, ගුරුවරුන් බොහෝ විට දරුවාට මඟපෙන්වනුයේ වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු වන්නට ය. විටෙක දරුවන් තුළ ඊට පරිබාහිර වූ සෞන්දර්යාත්මක හෝ ක්‍රීඩාමය හෝ ව්‍යාපාරිකමය හෝ හැකියාවන් වර්ධනය වීම මේ හරහා වළකාලනු ලබයි. පාසල් වියේ දී ඒවා උදෙසා වන අඩු ඉඩකඩ හා මගපෙන්වීම මත එක ම සිහිනයක්‌ වෙනුවෙන් උසස්‌ පෙළ දක්‌වා ඉගෙනගන්නා දරුවා විශ්වවිද්‍යාල වරම අහිමි වූ තැන අසරණභාවයට පත් වේ. අද ව්‍යාපාර ක්‌ෂේත්‍රයේ නියෑළෙන බොහෝ මාපියන් පවා දරුවා ඒ කෙරෙහි පොලඹවන්නේ නැත.

සැම විට ම කළ යුත්තේ ඉහළ අධ්‍යාපනයක්‌ ලබා දෙන අතර ම දරුවාට කලා, ව්‍යාපාරික හා ක්‍රීඩා ආදි ක්‌ෂේත්‍රයන්හි ද යෙදෙන්නට අවස්‌ථාව සැලසීම ය. එවිට දරුවාට යා හැකි මාර්ග එකක්‌ නො ව කිහිපයක්‌ විවෘත වේ. එවිට දරුවා ඉන් තමාට හැකි, සුදුසු ම මාර්ගය තෝරාගෙන ඒ ඔස්‌සේ සිය අනාගතය සැලසුම් කරනු ඇත.

ව්‍යාපාර ක්‌ෂේත්‍රය ද අද වන විට විශාල ආර්ථිකමය ලාභ ලැබිය හැකි සාර්ථක වෘත්තීය ක්‌ෂේත්‍රයක්‌ වග කිව යුතු ය. දේශීය ව ද ව්‍යාපාරික ක්‍ෂේත්‍රය හරහා සාර්ථක ඵල නෙළාගත් පිරිස අති විශාල ය.

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට පිවිසීම හරහා අයකුට සාර්ථක විය හැකි ද? අධ්‍යාපනික හා ව්‍යාපාරික යන ක්‌ෂේත්‍රයන් ද්විත්වයෙහි ම විශාරදයකු මේ සම්බන්ධයෙන් විදුසර හා අදහස්‌ දක්‌වා සිටියේ ය. ඔහු ආචාර්ය ජගත් පීරිස්‌ ය.

ආචාර්ය ජගත් පීරිස්‌ පවසන ආකාරයට නම් ව්‍යාපාර ක්‌ෂේත්‍රයට පිවිසෙන්නට අපේක්‌ෂා කරන දරුවකු තුළ ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳව දැනට වඩා මූලික දැනුමක්‌ පැවතීම ඉතා ම වැදගත් ය. 10රැ11 ශ්‍රේණිවල ඉගෙනගන්නා දරුවන්ට දැනට ද ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නමින් විෂයයක්‌ පැවතිය ද එය අනිවාර්ය විෂයයක්‌ නො වේ. එය අනිවාර්ය කිරීම හෝ ඒ හා සමගාමී වෙනත් විෂයයක්‌ සැම සිසුවකුට ම හැදැරීමට අවස්‌ථාව සලසා දීම වැදගත් බැව් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙහි දී සාර්ථක ව්‍යාපාර ක්‍රමෝපායන් මොනවා ද යන්න පිළිබඳව දරුවන්ට අවබෝධ කර දිය යුතු බව සඳහන් කරන ආචාර්ය ජගත් පීරිස්‌ මහතා, ඩී. ආර්. විඡේවර්ධන මාවතේ පිහිටි සමාගම් මැදුරෙහි වාර්ෂික ව ලියාපදිංචි වන ව්‍යාපාර බොහොමයක්‌, සාර්ථක ක්‍රමෝපායන් නොමැති වීම නිසා කෙටි කලකින් අසාර්ථක වන බව ද සඳහන් කරයි. "ව්‍යාපාරයක්‌ යනු හුදෙක්‌ ලාභය ම මත පදනම් වූවක්‌ නො වන බව ද මෙහි දී දරුවන්ට අවබෝධ කර දිය යුතුයි. ලාභයට වඩා වැදගත් වනුයේ ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයේ ම තෘප්තිමත්භාවයයි. රුපියල් 10 භාණ්‌ඩය 15ට විකුණා ඉහළ ලාභයක්‌ ලැබූව ද ඉන් පාරිභෝගිකයා තෘප්තිමත් නො වන්නේ නම් එය අසාර්ථකයි. ආරම්භයේ දී පාඩුවක්‌ ලැබූව ද එය අත්දැකීමක්‌ කොටගෙන ඉදිරියට යා හැකි නම් සාර්ථක ව්‍යාපාරිකයකු යනු එවැන්නෙක්‌" ආචාර්ය ජගත් පීරිස්‌ පවසයි.

තව ද උසස්‌ පෙළට, කවර විෂය ධාරාවක්‌ හැදෑරුව ද, කවර උපාධි පාඨමාලාවක්‌ විශ්වවිද්‍යාලය තුළ උගත්ත ද, AAT, Charterd වැනි පාඨමාලාවක්‌ හදාරා තිබීම අනාගතයට බොහෝ සෙයින් වැදගත් විය හැකි බැව් ද ජගත් පීරිස්‌ මහතා පවසයි. අනාගතයේ ව්‍යාපාරකරණයට පෙලඹෙන්නට යම් හෝ ආශාවක්‌ ඇති අයකුට එම පාඨමාලා හරහා ගණකාධිකරණය පිළිබඳ මූලික දැනුමක්‌ ලබා ගත හැකි ය. අද වන විට දිවයිනේ ඇතැම් විශ්වවිද්‍යාලවල පවා පළමු වසරේ දී ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පිළිබඳ දැනුමක්‌ වාණිජ්‍ය විෂය ධාරාව හරහා නො පැමිණි දුවා දරුවන් හට ලබා දීමට කටයුතු කරයි. ඉන් ද ගම්‍ය වනුයේ මෙකී මූලික දැනුම දරුවකු ගේ අනාගත සාර්ථකත්වයෙහි ලා පිටිවහලක්‌ වන බැව් ය.

ලොව පිළිගත් සාර්ථක, සම්මත ව්‍යාපාර ක්‍රමෝපායන් රැසක්‌ වේ. සෙසු තරගකාරී ව්‍යාපාරිකයන්ට සාපේක්‌ෂ ව අඩු පිරිවැයක්‌ යොදා භාණ්‌ඩය නිපදවා සාපේක්‌ෂ ව ඉහළ ලාභයක්‌ එම භාණ්‌ඩය අලෙවියෙන් ලැබීම (Cost Leadership) මින් ප්‍රධාන තැනක්‌ ගනී. මෙහි දී වැදගත් දෙය නම් ඉහළ ගුණාත්මයෙන් යුතු භාණ්‌ඩ හා සේවා හරහා මිස වංචනික ව මෙය උපයා නො ගත යුතු බවයි.

භාණ්‌ඩ විවිධාංගීකරණය (Product Differentiation) ද සාර්ථක ව්‍යාපාර ක්‍රමෝපායකි. කිසියම් වෙළෙඳ නාමයක්‌ යටතේ Perfume නැත හොත් සුවඳ විලවුන් Charming, Romantic ආදි ලෙස ආකාර කිහිපයක විලවුන් ලෙස නිපදවීම උදාහරණයකට දැක්‌විය හැකි ය. මෙවිට සුවඳ විලවුන් මිලට ගන්නට එන පාරිභෝගිකයාට අදාළ වෙළෙඳ නාමයෙන් එන විලවුන්වල හොඳ තේරීමක්‌ සඳහා අවකාශය ඉන් විවර වේ. එනයින් අදාළ වෙළෙඳ නාමය සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්‌ ද ලබාගත හැකි ය.

ඉලක්‌කගත කිරීම (Focusing) යන්න තවත් වැදගත් ක්‍රමෝපායකි. ඕනෑ ම භාණ්‌ඩයකට හෝ සේවාවකට හෝ ඉලක්‌කගත පාරිභෝගික පිරිසක්‌ සිටී. ඔබ හෝටලයක්‌ පවත්වාගෙන යන්නේ නම් එය Sri Lankan Food, Indian Food, Chinese Food ආදියෙන් එකක්‌ විශේෂීකරණය කිරීම වැදගත් ය. සියල්ල පටලවාගත් විට මෙය අසාර්ථක ය. ඔබ Indian Food නැත හොත් ඉන්දියානු ආහාර සඳහා විශේෂීකරණය වූ ලෙස ඔබේ භෝජනාගාරය පවත්වාගෙන යයි නම් එයට රුචිකත්වයක්‌ දක්‌වන පිරිස වැල නො කැඩී ඔබේ ව්‍යාපාරය කරා ඇදෙනු ඇත.

මේ ආකාරයේ වඩාත් සාර්ථක ලොව පිළිගත් ව්‍යාපාරික ක්‍රමෝපායන් පවතින බව සඳහාන් කරන ආචාර්ය ජගත් පීරීස්‌ මහතා ඒවා අද බොහොමයක්‌ ව්‍යාපාරිකයන් අනුගමනය නො කිරීම නිසා එම ව්‍යාපාර අසාර්ථක වී ඇති බව ද සඳහන් කරයි.

අද වන විට ලොව අතිශය සාර්ථක වූ ව්‍යාපාරිකයෝ රැසක්‌ වෙති. ඔවුන්ගේ ව්‍යාපාර වඩාත් ජනප්‍රිය, ඉහළ ආර්ථිකමය ඵල නෙළාගත හැකි මට්‌ටමක පවතියි. රටක ජීවත් වන ජනයාගේ විරැකියාවට හොඳ ම විසඳුමක්‌ ලෙස ද සිය හැකියාව උපයෝගී කරගෙන ස්‌වකීය ව්‍යාපාරයන්හි නිරත වීම සඳහන් කළ හැකි ය. හුදෙක්‌ වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු ම වන්නට දරුවා අනවශ්‍ය ලෙස පීඩනයකට ලක්‌ නො කර ආශාව සහ හැකියාව ඇත්තන් නිසි ක්‍රමෝපායන් ඔස්‌සේ ව්‍යාපාරකරණයට යොමු කිරීම ඔවුනට මෙන් ම රටටත් සාර්ථක අනාගත ආයෝජනයක්‌ නො වේ යෑයි කිව නොහැකි ය.

සිනේකා වීරක්‌කොඩි