logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආපදාකාරී උණුසුම අද හෙට වෙනස්‌ වේ ද?

වෙසක්‌ අවසන් වීමත් සමඟ ම, විශේෂයෙන් ම දිවයිනේ උතුරුමැද සහ ඊසානදිග ප්‍රදේශ ගණනාවක ම උණුසුම් කාලගුණ තත්ත්වයක්‌ පැවතුණ අතර පැමිණිය හැකි ආපදාවලින් ආරක්‌ෂා වීමට අප පියවර ගත යුතු බවට කාලගුණ විද්‍යා සහ ආපදාකරණ අංශ දන්වා සිටියේ ය.

පසුගිය දින කිහිපයේ පැවතුණ තරමේ උණුසුම් තත්ත්වයක්‌ මින් පෙර නො පැවති බවට සමහරුන් පැවසූ බව ජනමාධ්‍ය කිහිපයකින් ම වාර්තා විය. එය යථාර්ථයක්‌ ද?

සැම වසරක ම ප්‍රථම අන්තර් මෝසම් සමය තුළ, විශේෂයෙන් ම අප්‍රේල් මාසයේ දින ගණනාවක ම, අප දිවයිනේ ප්‍රදේශ රැසක ම උණුසුම් වාතාවරණයන් පවතින අතර සමහර අයට වසරක්‌ ගෙවී යන විට එවන් සාධක අමතක වී යයි. අප්‍රේල් මාසය තුළ අප දිවයින සහ අවට පවතින ප්‍රධාන පාරිසරික ලක්‌ෂණ වන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය අප අවට ක්‍රියාත්මක වීම සහ සූර්ය තාපය ඝෘජු ලෙස ම ළඟා වීමයි. එහි ප්‍රතිඵලය ලෙස භූමිය උණුසුම් වී විශාල ජලවාෂ්ප ප්‍රමාණයක්‌ පරිසරයට එකතු වීම සහ අප අවට සුළං වේගය ඉතා ම මඳ වීම පහසුවෙන් ම නිරීක්‌ෂණය කළ හැකි ය.

අපට පමණක්‌ නො ව සියලු ගොඩබිම් සත්ත්වයන්ට ම සිසිලස හෝ උණුසුම දැනෙන්නේ උෂ්ණත්වය, වායුගෝලයේ ජලවාෂ්ප සාන්ද්‍රණය සහ පවතින සුළං ධාරාවල වේගය යන ප්‍රධාන සාධක තුනෙහි ම බලපෑම අනුව ය. මේ සාධක තුනෙහි අගයන් භාවිත කොටගෙන සත්‍ය වශයෙන් ම අපට දැනෙන ක්‍රියාකාරී උෂ්ණත්වය (Effective temperature) ගණනය කළ හැකි ය. එම උෂ්ණත්වය සත්‍ය ලෙස පවතින උෂ්ණත්ව අගයට වඩා වැඩි වන විට උණුසුමක්‌ ද, අඩු වන විට සිසිලසක්‌ ද දැනීම සාමාන්‍ය දෙයකි.

කෙසේ වෙතත් අන්තර් මෝසම් සමයේ වැඩි දින ගණනාවක පවතිනවා සේ, වායුගෝලීය ජලවාෂ්ප අධික වී ඉහළ සාපේක්‌ෂ ආර්ද්‍රතාවක්‌ (Relative humidity), ඉහළ උෂ්ණත්වයක්‌ මෙන් ම ඉතා මඳ සුළං හෝ නිසංසල පරිසරයක්‌ පැවතීම අපට උණුසුම් වින්දනයක්‌ දැනීමට හේතු වේ.

කිසි ම කාලගුණ විද්‍යා ආයතනයක්‌ මඟින් ක්‍රියාකාරී උෂ්ණත්ව ගණනය නො කළත්, ආර්ද්‍රතාව ඉහළ අගයන් ගැනීම, සූර්ය තාපය ඝෘජු ව ළඟා වීම සහ සුළං වේග අඩු වීම යන සාධක අනුව පරිසරය උණුසුම් විය හැකි බවට අනතුරු හැඟවීම් කරයි.

මිනිස්‌ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට්‌ අංශක 97.7 සහ 99.5 (සෙන්ටිග්‍රේඩ් අංශක 36.5 සහ 37.5 අතර) අගයන් ගන්නා අතර යම් හෙයකින් පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 36.5 ඉක්‌මවන අවස්‌ථා ආපදාකාරී වන උණුසුම් තත්ත්වයන් ය. ස්‌ටෙෆාන් සහ බෝල්ට්‌ස්‌මාන්ගේ විකිරණ නියමයන්ට අනුව එවන් පරිසරවල දී අප ශරීරයෙන් තාප ශක්‌තිය නිකුත් කරන ශීඝ්‍රතාව ඉක්‌මවා පරිසරයෙන් අපේ ශරීරයට තාප විකිරණ ළඟා වේ. මේ තත්ත්වය සෞඛ්‍යමය ආපදාවලට පවා හේතු විය හැකි ය. පරිසරයට නිරාවරණය වීම අවම කිරීම, ස්‌වාභාවික ද්‍රව්‍ය (කපු වැනි)වලින් නිපදවන ලද ඇඳුම් පැළඳීම සහ ශරීරය සිසිල් කරන ආහාරපාන ගැනීම වැනි ආරක්‌ෂක පියවර කෙරේ මෙහි දී අවධානය යොමු කළ යුතු ය.

සැම වසරකම ප්‍රථම අන්තර් මෝසම් සමයේ උණුසුම් වාතාවරණ පවතින බව අවබෝධ කරගනිමු. තව ද පාරිසරික තත්ත්වවලට ඝෘජු ලෙස ම බලපාන ගෝලීය උණුසුම අනවරත පැවතීම මේ තත්ත්වය තව තවත් බැරෑරුම් තත්ත්වයට පත් කරන බව ද අවධාරණය කරමි.

නිරිතදිග මෝසම් සමය අත ළඟ ය. එම වකවානුවේ සිදු වන සුළං ප්‍රවාහවල බලපෑම මෙන් ම සූර්ය තාප තීව්‍රතාවල අඩු වීම නිසා මේ පවතින උණුසුම් වාතාවරණය වෙනස්‌ වනු ඇත.

කේ. ආර්. අභයසිංහ