logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජෛව සුරක්‍ෂිතතාව ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි?

මීට වසර කීපයකට පෙර ඉන්දියාවේ කපු වගාකරුවෝ කෘමි හානි නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් හ. මේ අයගේ ආදායම එන්න එන්න ම පහළ බැස ගිය අතර කෘමිනාශක වැඩියෙන් භාවිත කරන්නට වීම නිසා පරිසරයට ප්‍රබල හානි සිදු විය. ප්‍රාන්ත කිහිපයක ම කපු වගාකරුවෝ එක පෙළට දිවිනසාගත් හ. සමහරු වගාව අතහැර කුලී වැඩට ගිය හ. එහෙත් ඉන්දීය රජය මීට විසදුමක්‌ ලබා දුන්නේ ය. එය නම් ජාන විකරණය කළ (Genetically modified) කපු ප්‍රභේදයක්‌ හදුන්වා දීමයි.

මේ ප්‍රභේදය සකසා තිබුණේ Bacillus thuringiensis බැක්‌ටිරීයාව සතු ජානයක්‌ වර්ධනය කරමිනි. එ නිසා මෙය Bt කපු ලෙස හදුන්වන ලදි. 2008 වන විට ඉන්දියානු කපු වගාකරුවන්ගෙන් 90%කට වැඩි පිරිසක්‌ මේ Bt කපු වෙත යොමු ව සිටිය හ. මෙලෙස Bt කපු වෙතට පරිවර්තනය වීමෙන් කපු ගොවියන්ට යම් ප්‍රතිලාභයක්‌ ලැබී ඇත් දැයි සෙවීමට ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයයේ Matin Qaim හා Shahsad Kouser යන දෙදෙනා අධ්‍යයනයක්‌ කළ හ. (මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු PLOS One ජර්නලයේ පළ ව තිබේ). මෙහි දී පර්යේෂකයන් තමිල්නාඩු, ආන්ද්‍රd ප්‍රදේශ්, කර්නාටක, මහාරාෂ්aට්‍ර යන පළාත් තෝරාගත් හ. මධ්‍යම හා දකුණු ඉන්දියාව තුළ කපු වගාවට ප්‍රකට ප්‍රාන්ත හතර වන්නේ මේවා ය. එම ප්‍රාන්තවල පවුල් 1431ක්‌ මේ අධ්‍යයනයට සහභාගි කරගන්නා ලදි.

මේ අධ්‍යයනය අරඹන විට එම ගොවි පවුල් අතරෙන් ජාන විකිරණය කළ කපු වැව්වේ පවුල් ඉතා සුළු සංඛ්‍යාවකි. පසුව පවුල් විශාල සංඛ්‍යාවක්‌ Bt කපු වවන්නට පටන්ගෙන තිබිණි. Bt කපු වැවීමෙන් පසු පවුල්වල ආදායම් තත්ත්වය ඉහළ ගිය බව ද, ඔවුන් පරිභෝජනය කළ ආහාර ප්‍රමාණ ඉහළ ගිය බව ද, ඔවුන් ගේ පෝෂණ තත්ත්වයන් වඩා හොද මට්‌ටමකට ආ බව ද පෙනී ගියේ ය.

කපුවලට අමතර ව ජාන විකරණ තාක්‍ෂණයේ පිහිටෙන් නිපදවන ලද රන් සහල් නිසා කුඩා දරුවන් ගේ විටමින් A ඌනතා ප්‍රශ්නය ද විසදී ගියේ ය. කෙසේ වෙතත් සමාජය තුළ මේ ජාන විකිරණ කළ ආහාර හා බෝග කෙරෙහි දැඩි විරෝධයක්‌ ද ඇත. ඇතැමුන් ගේ විශ්වාසය වන්නේ ජාන විකරණය කළ ආහාර හෝ බෝග මගින් සුවිශාල සෞඛ්‍ය හානියක්‌ වන බවයි.

එම සැකයට එක්‌ හේතුවක්‌ නම් ජාන උපයෝගි කොටගෙන අද වන විට සුවිශාල 'හාස්‌කම්' කන්නට විද්‍යාවට හැකි වී තිබීමයි. මේ හාස්‌කම් යහපත් අතට දිවෙන ඒවා මෙන්ම ඉතා භයානක ප්‍රතිඵල ඇති කරන ඒවා ද විය හැකි ය. ජාන සංස්‌කරණය (gene eliting) මගින් ඉතා භයානක ජීවීන් නිපදවන්නට මෙන් ම රෝග පතුරුවන්නට පවා හැකි වේ. (කෙසේ නමුත් ඇතැමුන් ජාන විකරණය කළ ආහාර කී පමණින් ඒවාට බිය වන්නේ සැබෑ තත්ත්වය ගැන නිසි අවබෝධයක්‌ නොමැති හෙයිනි).

ජාන විකරණය යහපත් ලෙස මෙන් ම අයහපත් ලෙස ද යොදාගත හැකි නිසා ඒ ගැන විමසිලිමත් වීමේ හෝ ප්‍රශ්න කිරීමේ වරදක්‌ නැත. මේ විමසිලිමත් වීම හා ප්‍රශ්න කිරීම අදාළ වන්නේ ජෛව සුරක්‍ෂිතතාව (Bio Safety) යන විෂය ප්‍රදේශයට ය. එහෙත් ජෛව සුරක්‍ෂිතතාව යනු හුදෙක්‌ ජාන විකරණය කළ ආහාර (genetically modified foods) ගැන අධ්‍යයනයක්‌ නො වේ. ජෛව සුරක්‍ෂිතතාවට විශාල විෂය ප්‍රදේශයක්‌ අයත් වේ. ඒ ගැන විස්‌තර කරන්නට පෙර ජෛව සුරක්‍ෂිතතාව පිළිබද මෙවැනි සංකථනයක්‌ ගොඩනගාගන්නට මුල් වූ හේතුව පැහැදිලි කළ යුතු වේ. පසුගිය මාර්තු 29 දින ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් ජාතික ජෛව සුරක්‍ෂිතතා කාර්ය රාමුව (Bio safety frame work) පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්‌ පවත්වන ලදි. මේ ජෛව සුරක්‍ෂිතතා කාර්ය රාමුව මීට පෙර 2005 වසරේ දීත් ඉදිරිපත් කරන ලද නමුත් නිසි යාන්ත්‍රණයක්‌ නො පැවතීම නිසා සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තේ නැත. එ හෙයින් ඉදිරි කාලය තුළ මේ ආකෘතිය නිසි ලෙස වර්ධනය කරන්නට සුදුසු යාන්ත්‍රණයක්‌ සැකසීම රජයේ අරමුණ බව පරිසර හා මහවැලි අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා අදාළ සම්මන්ත්‍රණයේ දී පවසා සිටියේ ය.

ශ්‍රී ලංකාවට මෙවැනි ජෛව සුරක්‍ෂිතතා කාර්ය රාමුවක්‌ අදාළ වන්නේ කෙසේ ද යන්න ගැන විස්‌තර කිරීමට පෙර, ජෛව සුරක්‍ෂිතතාව යනු කුමක්‌ දැයි අර්ථකතනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ජෛව සුරක්‍ෂිතතාව යනු කුමක්‌ ද?

ඇතැම් විට ජෛව සුරක්‍ෂිතතාව යනු හුදෙක්‌ ම ජාන විකරණය කළ ආහාරවලට සීමා වූ දෙයක්‌ ය යන මතය සාමාන්‍ය ජනතාව තුළ ස්‌ථාපිත වන්නට එක්‌ හේතුවක්‌ වන්නේ විද්‍යාඥයන් මේ ගැන මාධ්‍ය හරහා හරි අවබෝධයක්‌ ලබා නො දීමයි. දෙවැන්න ලොව විශිෂ්ට යෑයි පිළිගැනෙන ශබ්දකෝෂ හා විශ්වකෝෂ ලබා දී ඇති සාවද්‍ය අර්ථකථනයි. නිදසුනක්‌ දක්‌වත හොත් Collins ඉංග්‍රීසි ශබ්දකෝෂය ජෛව සුරක්‍ෂිතතාව අර්ථ දක්‌වන්නේ ජාන විකරණය කළ බෝග හා නිපැයුම් පාලනයට අදාළ ක්‍රියාවලිය යනුවෙනි. මේ අර්ථකථනය සාමාන්‍ය පාඨකයා නොමග යවන්නකි.

Merriam-Webster ශබ්දකෝෂය Collinsට සාපේක්‍ෂ ව වඩාත් හොද අර්ථකථනයක්‌ ලබා දෙයි. එය නම් ජෛව විද්‍යාත්මක පර්යේෂණ මිනිසාට හා පරිසරයට හානියක්‌ නො වන පරිදි සුරක්‍ෂිත ව කිරීමේ කාර්යය ජෛව සුරක්‍ෂිතතාව බවයි. එය යම් තරමකට නිරවද්‍ය වන නමුත් එය ද පරිපූර්ණ අර්ථකතනයක්‌ නො වේ.

ජෛව සුරක්‍ෂිතතාව ගැන පරිපූර්ණ වූත්, නිරවද්‍ය වූත් අර්ථකථනයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙයි. ව්‍යාධිජනකයන්ට (Pathogens) හෝ ධූලකවලට (Toxins) නිරාවරණය වීම ඇතුළු ව සියලු ම ජෛව උපද්‍රව (Biohazards) වෙතින් ආරක්‌ෂා වීමේ ක්‍රියාදාමයක්‌ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජෛව සුරක්‍ෂිතතාව විස්‌තර කරයි. විශේෂයෙන් ම පර්යේෂණ සිදු කිරීමේ දීත්, පර්යේෂණ හරහා නව නිෂ්පාදන හදුන්වා දීමේ දීත් පරිසරය හා මිනිසා සුරැකීමට පියවර ගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. ජීවීන් හා පරිසරය අතර පවතින ජෛව විද්‍යාත්මක අඛණ්‌ඩතාව (Biological Intergrity) බිදී යන්නට ඉඩ නො දී පවත්වාගැනීම, ජෛව සුරක්‍ෂිතතාව ලෙස ද අර්ථ දැක්‌වේ. ජෛව විද්‍යාත්මක අඛණ්‌ඩතාව බිෙදන්නට බොහෝ විට හේතු වන්නේ මිනිසා ගේ ක්‍රියාකලාපයන් ය. වර්තමානයේ දී මානව දොaෂ (Human errors) මෙන්ම පර්යේෂණවල අඩුලුහුඩුකම් හා තාක්‍ෂණික දොaෂ නිසා ද එය සිදු වේ.

යුනිට්‌ 731 හා ජෛව සුරක්‍ෂිතතාව

දෙවැනි ලෝක යුද්ධ කාලයේ දී එක්‌සත් රාජධානිය, ප්‍රංශය මෙන් ම ජපානය ද ජෛව සුරක්‍ෂිතතාව බිද හෙළන ආකාරයේ පර්යේෂණවල නියෑළුණු බව සත්‍යයකි. වින්ස්‌ටන් චර්චිල්, ඇන්ත්‍රැක්‌ස්‌ හා බොටලිසම් බැක්‌ටිරියාවන් යොදාගනිමින් සතුරන්ට ජෛව විද්‍යාත්මක ප්‍රහාර එල්ල කිරීමේ පර්යේෂණ මෙහෙයවන ලෙස සිය විද්‍යාඥයන්ට පෞද්ගලික ව උපදෙස්‌ දී තිබේ. ඇමෙරිකාව ද යුද්ධයේ අවසාන කාලයේ දී මේ පර්යේෂණවලට සම්බන්ධ විය.

යුනිට්‌ 731 යනු ජපානය තුළ 1937 - 1945 කාලයේ දී ක්‍රියාත්මක වූ පර්යේෂණ ඒකකයකි. ජෙනරාල් ෂිරෝ ඉෂි විසින් මෙහෙයවන ලද මේ ඒකකය විසින් යුද්ධ සිරකරුවන් හා අත්අඩංගුවට ගත් අහිංසක විදේශිකයන් යොදවාගෙන ඉතා කුරිරු අන්දමේ පර්යේෂණ කරන ලදී. ඒවා නම් රෝගකාරක විෂබීජ ශරීරගත කරවා ඒවාට මිනිසුන් දක්‌වන ප්‍රතිචාර නිරීක්‍ෂණය කිරීමයි. පසුව ඉෂි, බෝම්බවලට රෝග බීජ මුසු කොට සතුරු ප්‍රදේශවලට හෙළන්නට කටයුතු කළේ ය.

මේ ප්‍රහාරවලින් චීන, ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය මොංගෝලියානු, ප්‍රංශ ජාතිකයන් ලක්‍ෂ ගණනක්‌ මිය ගොස්‌ තිබිණි. කෙසේ වෙතත් මිත්‍ර පාක්‍ෂික රටවල් යුද්ධය ජයගැනීමෙන් පසු ඉෂි ඇතුළු සාමාජිකයන්ට ඇමෙරිකාවේ සමාව ලැබිණි. එසේ ලැබුණේ ඔවුන්ගේ පර්යේෂණ දත්ත ලබා දීමේ කොන්දේසිය මත ය.

ජෛව ත්‍රස්‌තවාදය

Bio Terrorism හෙවත් ජෛව ත්‍රස්‌තවාදය ද ජෛව සුරක්‍ෂිතතාව යන විෂය පරාසය තුළට ඇතුළත් වන්නකි. 2016 වසරේ දී ISIS සංවිධානය තුර්කි ජල මූලාශ්‍රවලට Francisella tularensis නම් බැක්‌ටීරියාව මුදා හරිමින් හා උණ (Raඉඉසඑ Feඩැර) ව්‍යාප්ත කරන්නට උත්සාහ ගත්තේ ය.

ඇමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානියා මෑත දී අනතුරු අගවා තිබුණේ ISIS වැනි ත්‍රස්‌තවාදී සංවිධාන පමණක්‌ නො ව ජාතික රාජ්‍ය සේ පවතින උතුරු කොරියාව පවා විෂබීජ හරහා ජෛව ත්‍රස්‌තවාදය පතුරුවන්නට ඉඩ ඇති බවයි.

අනවසරයෙන් ජාන විකරණ ආහාර මෙරටට ගෙන ආ හැකි ද?

බොහෝ දෙනා තුළ පවතින සැකයක්‌ හා බියක්‌ වන්නේ ජාන විකරණය කළ ආහාර නිසා අපට යම් හානියක්‌ වේ ද යන්නයි. 2006 අගෝස්‌තු 03 දා ශ්‍රී ලංකා රජය නිකුත් කළ අංක 1456/22 ගැසට්‌ පත්‍රයෙන් මේ පිළිබද යම් සීමාවක්‌ පනවා තිබේ. එය තහනමක්‌ නො වේ. එ මගින් දැනුම් දී ඇත්තේ කිසිදු පුද්ගලයකුට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශයකින් තොර ව ජාන විකරණය කළ ආහාරයක්‌ (මිනිස්‌ පරිභෝජනයට ගැනෙන) අලෙවි කිරීම, අපනයනය ප්‍රවාහනය, බෙදාහැරීම හෝ විකිණීමට ලබා දීම කළ නොහැකි බවයි.

ජෛව සුරක්‍ෂිතතාව හා කාටිජිනා සන්ධානය

ශ්‍රී ලංකාවට අදාළ ජෛව සුරක්‍ෂිතතා ආකෘතිය සැකසීමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ කාටිජිනා සන්ධානය (Cartegena Protocol) නිසා එහි නිර්ණායක ගැන වැඩි අවධානයක්‌ යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. 2003 දී බලාත්මක වූ කාටිජිනා සන්ධානය මගින් කෙරෙනුයේ මූලික ව ම ජාන විකරණය කළ ජීවීන් හා එම නිෂ්පාදන සම්බන්ධ ආරක්‍ෂාව තහවුරු කිරීම ය. කාටිජිනා ප්‍රඥප්තිය තම විෂය පරාසය විස්‌තර කරන්නේ විකරණය කළ සජීවී තත්ත්වයේ ජීවීන්ට අදාළ ව කටයුතු කිරීම ලෙස වුවත් එම ජීවීන් හා පොදුවේ 'ජාන විකරණය කළ ජීවීන්' ලෙස හැඳන්වෙන්න අතර වෙනසක්‌ නැත.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා ආර්ත අබේකෝන් මහත්මිය වෙතින් මේ ජාන විකරණය කළ ආහාර සම්බන්ධ තීතිය ගැන අපි විමසීමු.

"මෙරට තුළ ජාන විකරණය කළ ආහාර තහනම් කොට නැහැ. අපට අවශ්‍ය මේවා ලේබල් කරන්නයි. ඒ වගේ ම අවදානමක්‌ ඇත්නම් හදුනාගන්නයි. එ නිසා කාට හරි මේවා ගෙන්වන්න ඕනෙ නම් ඒ ගැන අපේ කමිටුවකට දන්වන්න වෙනවා. කමිටුව මේ දේවල් ගැන විමර්ශනයක්‌ කරනවා. අවදානමක්‌ නැත්නම් අපි ඉඩ ලබා දෙනවා."

ජාන විකරණය කළ ආහාරවල ජෛව සුරක්‍ෂිතතාව ගැන ශ්‍රී ලාංකික මතය කෙබදු ද?

ජාන විකරණය කළ ආහාර ශ්‍රී ලංකාව තුළ ඇති බව සමහරුන් කියන නමුත් රජය ඒ අදහස ප්‍රතික්‍ෂේප කරයි. තවත් සමහරුන් ගේ මතය රජය කුමක්‌ පැවසුවත් ලංකාවට ආනයනය කෙරෙන පිටි හා වෙනත් දේ ජාන විකරණයට ලක්‌ ව ඇති බවයි.

එ හෙයින් ලාංකිකයන් මේ ජාන විකරණය කළ ආහාර ගැන දරන මතය ගැන විමසීම වැදගත් ය. 2014 දී සබරගමු විශ්වවිද්‍යාලයයේ J.W.A Sajiwani හා R.M.U.S.K. Rathnayaka යන දෙදෙනා මේ ගැන අධ්‍යයනයක්‌ සිදු කර තිබේ. මේ අධ්‍යයනය සම්බන්ධ තොරතුරු Advances in Research ජර්නලයේ පළ වී තිබේ. මේ අධ්‍යයනය සදහා පුද්ගලයන් 200ක ගේ දත්ත

රැස්‌ කරන ලදි. මේ අධ්‍යයනයේ දී මේ අයට ලබා දුන් ප්‍රශ්නාවලියේ සදහන් වූ වැදගත් ප්‍රශ්නයක්‌ වූයේ "ඔබ ජාන විකරණය කළ ආහාරවලට කැමැති ද යන්නයි. මේ අධ්‍යයනයට සහභාගී වූ පිරිස සුසැදී තිබුණේ ශාස්‌ත්‍රාලිය පුද්ගලයන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා සාමාන්‍ය ජනතාවගෙනි. ශාස්‌ත්‍රාලිය පුද්ගලයන්ගෙන් 75%ක්‌ ම මේ ආහාරවලට කැමැති බව කී හ. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් 65%ක්‌ ද කැමැත්ත පළ කර තිබිණි. සාමාන්‍ය ජනතාව අතරෙන් 35%ක්‌ මේවාට කැමැති බව දන්වා සිටිය හ. එමෙන්ම සාමාන්‍ය ජනතාව අතරෙන් 40%ක්‌ ම අකැමැත්ත පළ කර සිටිය හ. අකැමැත්ත පළ කළ අයගෙන් සියයට අනූවක්‌ ම කියා සිටියේ මේවා කැමෙන් ඇති විය හැකි අතුරු ආබාධවලට තමන් බිය බවයි.

පරිසරයට හානියක්‌ වේ ද?

ජාන විකරණය කළ බෝගවලට අදාළ ව සුවිශාලව බියක්‌ ඇති ව තිබෙනුයේ පරිසරයට සිදු වන හානිය සම්බන්ධයෙනි. ගොවිබිම්වල ජාන විකරණය කළ බෝග වවන විට ඒවා සුළග හෝ වෙනත් ක්‍රමවලින් හෝ අවට ක්‍ෂෙත්‍රවලට ද පැතිර ගොස්‌ හානියක්‌ වෙතැයි යන බිය ජනතාව තුළ මතු ව තිබේ. මේ තත්ත්වය පිළිබදව අපි මේ ව්‍යාපෘතියෙහි ජාතික සම්බන්ධීකාරක මහාචාර්ය අතුල පෙරේරා මහතාගෙන් අදහස්‌ විමසීමු. මේ ඔහු ලබා දුන් පිළිතුරයි.

"අවදානම කියන එක ඕනම තැනක තිබිය හැකියි. අද පාරේ යද්දි වාහනයක හැප්පෙන්න අවදානමක්‌ නැද්ද? විදුලිය වදින්න අවදානමක්‌ නැද්ද? අවදානම හදුනාගැනීම හා තක්‌සේරු කිරීමයි වැදගත් වන්නේ. ඒ වැදගත් කටයුත්ත තමයි අපි ජෛව සුරක්‍ෂිතතා ආකෘතිය වර්ධනය හරහා කරන්න උත්සාහ ගත්තෙ.

ජාන විකරණය කළ බෝග මගින් පරිසරයට හානි වනවා ය යන මතය පැවතියත් ඒ ගැන නිශ්චිත පර්යේෂණ ලංකාවේ සිදු කරල නැහැ. අනෙක මෙහි නරක වගේ ම හොද සම්බන්ධ වත් අධ්‍යයන දෙපැත්තට ම තියෙනවා. එ නිසයි අපි අවදානම් තක්‌සේරුවකට යන්නෙ. මේ දේවලින් අපේ රටට ප්‍රයෝජනයක්‌ සිදු වන ආකාරයට සකසා ගන්න ඕනෙ. මේ ජාන විකරණ බෝග නිසා ගැටලු ඇති වූ අවස්‌ථා නැතැයි මා කියන්නෙ නැහැ. ඉන්දියාවේ වම්බටු බෝගය සම්බන්ධයෙන් ගැටලු මතු වුණා. එ වැනි ගැටලු මතු නො වන තත්ත්වයකට යන්න තමයි මේ උත්සාහ ගන්නේ"

මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජාන විකරණය කළ ජෛව ද්‍රව්‍ය පරිභෝජනය පිළිබද ගැටලු සහගත තත්ත්වයක්‌ දැනට පැවතියත් ජෛව සුරක්‍ෂිතාව පිළිබද පනත සම්මත වීමෙන් පසු ඒ තත්ත්වය සමථයට පත් වන බවයි.

පසුගිය දිනක එක්‌තරා අන්තර්ජාල වෙබ් අඩවියක පළ ව තිබුණේ මෙරටට ජාන වෙනස්‌ කරන ලද ආහාර ගේනවා දැයි රජය වසර ගණනාවකින් සොයා බලා නැති බවයි. මේ පුවත සම්බන්ධ මූලාශ්‍රය ලෙස දක්‌වා තිබුණේ අමාත්‍යංශ ලේකම්වරයා ද සහභාගි වූ මාධ්‍ය සම්මන්ත්‍රණයයි. එම ලිපියේ එදින සිදු වූ වැදගත් ම දෙය වන ජෛව සුරක්‍ෂිතතා කාර්ය රාමුව එළිදැක්‌වීම පිළිබද නව දැක්‌ම හෝ පුවත් හසුන එළිදැක්‌වීම ගැන වචනයක්‌ වත් ලියා තිබුණේ නැත. දකුණු ආසියාවේ සිටින විශිෂ්ටතම ජාන පර්යේෂකයකු වන මහාචාර්ය අතුල පෙරේරා ගේ දේශනය ගැන හෝ එක වචනයක්‌ එහි ලියා තිබුණේ නැත. අපට අද කටයුතු කරන්නට සිදු ව ඇත්තේ මෙවැනි මාධ්‍ය භාවිතයක්‌ ද සමග ය. එනම් මහාචාර්යවරයා පවසන ආකාරයට කරුණු විකෘති වී ජනතාව නොමඟ යැමට ද ඉඩ ඇති වාතාවරණයක ය.

රජය මෙවර මේ කාර්ය රාමුව ක්‍රියාවට නංවා සුරක්‍ෂිතතා පනත පණ ගැන්වීමේ දී 2005 දී සිදු වූ දෙය නැවත සිදු වන්නට ඉඩ නො හළ යුතු වේ. එසේ ම, මහාචාර්ය අතුල පෙරේරා පඩිවරයා ද, පවසන පරිදි මේ සියල්ල ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු විය යුතු ය. ඒ සදහා ශ්‍රී ලංකාවේ ම සිදු කරන පර්යේෂණ (ඉදිරියේ දී) දත්ත ද යොදාගත හැකි නම් ඉතා අගනේ ය. අද වන විට ග්ලයිෆොසේට්‌ ගැටලුව පත් ව ඇති තත්ත්වයට හෙට දවසේ මෙය ද පත් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් ඒ සමඟ ම අවධාරණය කළ යුතු දෙයක්‌ වන්නේ මේ ජාන විකරණය යනු විද්‍යාත්මක ප්‍රජාව තුළ පවා ඒකමිතියක්‌ නො පවතින ක්‍ෂෙත්‍රයක්‌ බවයි. පසුගිය දා ඉන්දියාවේ අබ අරභයා මතු වී ඇති ගැටුම ද මෙවැන්නකි. එනම් දිල්ලි විශ්වවිද්‍යාලයයේ ප්‍රවේණි විද්‍යා මහාචාර්යවරයකු වන දීපක්‌ පන්ටෙල් විසින් ජාන විකරණය කරන ලද අබ පිළිබදව කරන ලද අධ්‍යයනය පවා වෙනත් විද්‍යාඥයන් විසින් අභියෝගයට ලක්‌ කොට නඩු පවරනු ලැබ ඇත. එසේ ම 2010 දී ඉන්දියාව ජාන විකරණය කළ වම්බටු (bt Brinjal) වාණිජ ව වැවීම ද තහනම් කළේ ය.

තහනම පනවමින් ඉන්දීය පරිසර හා වනාන්තර ඇමති Jairam Ramesh මෙසේ කීවේ ය.

"ස්‌වාධීන විද්‍යාත්මක අධ්‍යයනයක්‌ මගිsන් මේ නිෂ්පාදනය ගැන සෑහීමට පත් විය හැකි දත්ත ලබා දෙන තුරු මෙය නිදහස්‌ කිරීම අත්හිටුවීම මගේ වගකීමයි."

ඔහු ගේ ඒ ප්‍රකාශය අපගේ දේශපාලන අධිකාරියට පමණක්‌ නො ව විද්‍යාඥ ප්‍රජාවට ද පොදු ජනතාවට ද අදාළ ය.


ලංකාවේ ජෛව සුරක්‍ෂිතතා ව්‍යාපෘතිය

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් මෙරට තුළ වර්තමානයේ ජෛව සුරක්‍ෂිතතා ව්‍යාපෘතියක්‌ (Bio Safety Projeet) ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ශානක ගුණවර්ධන මහතා ය. මේ ඔහු විදුසර සමග ජෛව සුරක්‍ෂිතතාව පිළිබද දැක්‌වූ අදහස්‌ ය.

"ජෛව සුරක්‍ෂිතතාව යනු නවීන ජෛව තාක්‍ෂණ නිපයුම් හේතුවෙන් ප්‍රජා සෞඛ්‍යයට හා පරිසරයට ඇති විය හැකි අයහපත් බලපෑමෙන් ආරක්‍ෂා වීමට ඇති අවශ්‍යතාවයි. ලංකාව මෙහි දී සලකන්නේ කාටිජිනා සම්මුතියයි. ඊට අපි අත්සන් කළේ වසර 2000 දී. අපි වසර 2000 දී අත්සන් කළත් අපරානුමත (නිල අනුමැතිය දීම-ratify) කළේ 2004 දී. ඒ අනුව අපට යම් බලපෑමක්‌ වුව හොත් අපට කාටිජිනා සන්ධානය හරහා සහාය ලද හැකියි.

මේ ජෛව සුරක්‍ෂිතා ව්‍යාපෘතිය දියත් කිරීමේ දී අපට ප්‍රධාන ම සහාය ලැබුණේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO). ඔවුන් අපට උපදේශන හා තාක්‍ෂණ සහය ලබා දෙනවා. ඔවුන් සතු ව මේ ක්‍ෂෙත්‍රයට අදාළ විශේෂඥයන් සිටිනවා. යම් ගැටලුවක දී ඔවුන් අපට නො පැකිළ උදව් කරනවා.

මේ කාර්ය රාමුව (Frame work) වර්ධනය කළ යුතු වන්නේ හේතු කිහිපයක්‌ නිසයි. දැනට අවදානමක්‌ නැතත් යම් මොහොතක අවදානමක්‌ ආවොත් අපට ඊට එරෙහි ව ක්‍රියා කරන්න නෛතික ප්‍රතිපාදන නැහැ.

ජාන විකරණය කළ පැළෑටි ගෙන්වුව හොත් ඊට එරෙහි ව ක්‍රියා කළ හැකි නීති අප සතු නැහැ

ජාන විකරණය කළ ආහාරවලට එරෙහි ව යම් ප්‍රමාණයකට හෝ ශක්‌තිමත් නීති අපට තිබෙනවා. ඒ නීති මගින් කියෑවෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසරය නැති ව ජාන විකරණය කළ ආහාර ගේන්න බැරි බව. එහෙත් ජාන විකරණය කළ පැළ ගෙනාවොත් අපට එයට එරෙහි ප්‍රතිපාදන නැහැ. නිරෝධායන අංශවලින් කිව්වොත් මේ පැළ සම්බන්ධ නිරෝධායන ගැටලු නැහැ කියලා අපට එය නිදහස්‌ කරන්න වෙනවා. සමහර විට ජාන විකරණය කළ ආක්‍රමණශීලී (Invasive) පැළයක්‌ ගෙනාවොත් අපට ආක්‍රමණශීලී පැළයක්‌ ය කියන හේතුව මත තහනම් කළ හැකියි. ඒත් මෙහෙම හිතන්න. අපේ ම පැළයක්‌ ගෙනිහින් පිටරටක දී ජාන විකරණය කරල මෙහාට ගෙනෙනවා. කොහොම ද අල්ලන්නේ? ඒවාට නීති නැහැ. දේශීය ව පැවැති ශාකයක්‌ නිසා ආක්‍රමණශීලී නීතිය යටතේ තහනම් කරන්න බැහැ. ජෛව සුරක්‍ෂිතතා පනතක්‌ ගෙන එන්න අප උත්සාහ කරන්නේ එවැනි කරුණු නිසයි. තව අවුරුද්දක්‌ ඇතුළත අප එම පැනත ගෙනෙනවා. මේ ව්‍යාපෘතිය ආරම්භ කළෙත් ඒ අරමුණෙන්. අපගේ මේ ජෛව සුරක්‍ෂිතතා කාර්ය රාමුව බලගන්වන්න ඕනේ. ඒ හරහා තමයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. අපට අපේ රටේ ජාන සම්පත් රැකගන්න වුවමනාව තියෙනවා. ඒ වගේම තමයි පිටින් පැමිණෙන ජානවලින් අපේ සම්පත්වලට හානි වීම වළක්‌වාගන්නත් ඕනේ. ඒත් ඒ සම්බන්ධව යටිතල පහසුකම් අප සතු ද කියා විමසිලිමත් වන්න ඕනෙ. මූලික ව ම මේ සම්බන්ධ පර්යේෂණාගාර පහසුකම් අප සතු නැහැ. ඉතිං ඒවාත් පිහිටුවන්න අවශ්‍යයි. දැනට ජාන සම්බන්ධ පර්යේෂණ ආයතන එකක්‌ වත් රජය සතු නැහැ. එය ලොකු අඩුපාඩුවක්‌. අඩු ම වශයෙන් ඒ වගේ මහා පරිමාණ ජාන සම්බන්ධ පර්යේෂනාගාර දෙකක්‌ වත් රජය සතු විය යුතුයි.

පිටරටකින් ගෙනෙන ආහාරයක තිබෙන ජාන හෙවත් ප්‍රවේණික ද්‍රව්‍ය නිරවද්‍ය ව සොයාගත හැකි ආයතනයක්‌ අප සතු විය යුතුයි. යම් නිෂ්පාදනයක අවදානම ගැන සදහන් වාර්තාවක්‌ නිෂ්පාදනය සමග ම පිටරටකින් එවූ අවස්‌ථාවක්‌ ගැන හිතන්න. අපට ඒ වාර්තාව නිරවද්‍ය දැයි කියා බලන්න හැකියාවක්‌ තියෙන්න ඕනේ. ඒ සදහා හොද පර්යේෂණාගාර අවශ්‍යයි. ඒ හැම දෙයක්‌ ම සාර්ථක කරගන්න නම් මේ ආකෘතිය ඉදිරියට ගෙන යන්න ඕනෙ.

මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යැමට එක්‌සත්ජාතීන්ගේ සංවිධානයේ සහාය මෙන්ම ඉන්දියාවේ සහායත් අප ලබා ගන්නවා. දකුණු ආසියාව තුළ මේ ක්‍ෂෙත්‍රයෙන් ඉහළ ම තැනට ආ රට වන්නේ ඉන්දියාවයි. එ නිසා මේ ක්‍ෂෙත්‍රයට අදාළ ව ඉන්දියාව තුළ ප්‍රමුඛත්වය දක්‌වන සමාගම් සමහරක්‌ අප සමීප ව කටයුතු කරනවා. ඔවුන් ගේ අත්හදා බැලීම් හා අත්දැකීම් අප හා බෙදාගන්නට ඔවුන් සූදානම්. ඒවා අපට ලොකු පිටුබලයක්‌. මේ ජෛව සුරක්‍ෂිතතා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න FAO සහකාර නියෝජත ධර්ම ශ්‍රී විඡේරත්න මහතාගේ සහායත් අපට ලැබෙනවා.

අපි මේ ක්‍රියාවලියේ දී අන්තගාමී විය යුතු නැහැ. ලෝකය තුළ GM ආහාර නිසා ලොකු විප්ලවයක්‌ වී තිබෙනවා. අඩු ආදායම් ලද අය පොහොසතුන් කරන්න GM ආහාරවලට හැකි ව තිබෙනවා. ඒ වගේ ම තමයි පෝෂණය සපිරි ආහාර නිපදවන්නට මේ GM තාක්‌ෂණය උදව් වී තිබෙනවා. එ නිසා ධනාත්මක ව හිතන්න ඕනෙ. හැබැයි අවදානම අමතක කරන්නත් හොද නැහැ. ඒ නිසා තමයි අවදානම් තක්‌සේරුව අවශ්‍ය වන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයයේ
පාරිසරික විද්‍යාව පිළිබද බාහිර කථිකාචාර්ය
මනෝඡ් ප්‍රසන්න රත්නායක