logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ග්ලයිෆොසේට්‌ නාටකයෙන් හෙළිදරව් වන විද්‍යාත්මක බංකොලොත්භාවය

රජරට කේන්ද්‍ර කරගනිමින් ඇරඹි වකුගඩු රෝගය සහ කෘෂි රසායන නමින් එළි දැක්‌වෙන විවිධ රසායන ද්‍රව්‍ය පිළිබඳ කතිකාවතක්‌ ඇරඹුණේ මීට වසර ගණනාවකට පෙර ය. ඒ ඔස්‌සේ ජනතාව අතර ආහාර හා සබැඳි වසවිස පිළිබඳව සවිඥනිකත්වයක්‌ ඇති විය. 'වසවිස නැති ආහාර' ආදි පාඨයන් කලඑළි බසින්නේ මේ සමඟ ය. මේ තුළ සාමාන්‍ය ජනයාට තම ආහාර හා සබැඳි වසවිස පිළිබඳව දැනුමක්‌ ලැබුණ ද, එසේ ම ඔවුන් වසවිස නැති ආහාරපාන සොයා යැමට පෙලඹුණ ද ඒ වසවිස හා සබැඳි රෝගවල අඩුවක්‌ තවමත් ඡායාමාත්‍ර ලෙස හෝ සිදු ව ඇතැයි කිව නො හැකි ය. වකුගඩු රෝගය දැනට ශීඝ්‍ර ව රජරට පමණක්‌ නො ව රට පුරා පැතිර යයි. රුධිර කාන්දුපෙරණය දැන් සුලබ දෙයකි. රෝගයට ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යා ක්‌ෂේත්‍රයේ තවමත් පෙනෙන තෙක්‌ මානයක වත් නැත. බටහිර වෛද්‍ය විද්‍යාවට ඇති එක ම පිළිසරණ මෙහි දී බටහිර ඉංජිනේරු විද්‍යාව මඟින් නිපදවා ඇති රුධිර කාන්දුපෙරණ උපකරණය පමණ ය. බටහිර වෛද්‍ය විද්‍යාව සැම විට ම පාහේ සරණ ගියේ බටහිර ඉංජිනේරු විද්‍යාව ම ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර ජීව විද්‍යාවේ) කියන තරම් ජීවී බවක්‌ නොමැති බවට මෙය කදිම උදාහරණයකි. එහි ඇත්තේ බටහිර භෞතික හා රසායන විද්‍යාවන් පමණ ය. ඒවා මුළුමනින් ම පාහේ නිව්ටෝනීය යාන්ත්‍රිකය තුළ පදනම් වූ දැ ය.

ග්ලයිෆොසේට්‌ සහ වකුගඩු රෝගය අතර සබැඳියාවක්‌ ඇතැයි යනුවෙන් වූ මතවාදය ඔස්‌සේ යමින් මීට කලකට පෙර තහනමකට ලක්‌ වූ ග්ලයිෆොසේට්‌ රසායනිකය භාවිත කෘෂි රසායන වර්ගවල එම තහනම ඉවත් කෙරුම පිළිබඳව දැන් නැවතත් කතිකාවතක්‌ ඇරඹී ඇත. මීට සම්බන්ධ විද්‍යාඥයන් යෑයි හඳුන්වනු ලබන පිරිස්‌ දැන් ප්‍රධාන වශයෙන් පිල් දෙකකට බෙදී වාද විවාද කරගනිති. එක්‌ කණ්‌ඩායමක්‌ මේ රසායන ද්‍රව්‍ය වකුගඩු රෝගයට සම්බන්ධ බවත් අනෙක්‌ පිරිස එවැනි සම්බන්ධයක්‌ නොමැති බවත් (ඇතැම් විට ඔවුන් පවසන්නේ තවමත් එවැනි සම්බන්ධයක්‌ විද්‍යාත්මක ව සොයාගෙන නැති බව යෘ) පවසයි. මෙහි දී අපට පැනනඟින අතිශය මූලික ම ගැටලුව වන්නේ මේ රෝගය සහ රසායන ද්‍රව්‍ය අතර ඇතැයි කියන සම්බන්ධය / අසම්බන්ධය පෙන්වන්නේ කෙසේ ද යන්න ය. අප මීට බොහෝ කලකට පෙර සිට ම අසන්නේ ග්ලයිෆොසේට්‌ (හෝ වෙනත් රසායනයන්) සහ වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ ඇත් ද නැත් ද යන්න තීරණය කළ හැකි නිශ්චිත - විද්‍යාත්මක ක්‍රමය කුමක්‌ ද යන්න ය. එවැනි නිශ්චිත ක්‍රමයක්‌ කවුරුන් හෝ ඉදිරිපත් කරන්නේ නම් කවර හෝ වියදමක්‌ දරා එමඟින් මේ ගැටලුව නිරාකරණය කරගත හැකි ය. එහෙත් එවැනි ක්‍රමවේදයන් ඉදිරිපත් කෙරෙන බවක්‌ පෙනෙන්නට නැත. ඇත්තට ම මෙහි සැබෑව නම් එවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ නොමැති බව ය.

ඉතින් නැති ක්‍රමවේදයක්‌ මඟින් මේ සම්බන්ධයන් පෙන්වන්නේ කෙසේ ද? අනෙක්‌ අතට සම්බන්ධයක්‌ යනු කුමක්‌ ද? හේතුවක්‌ යනු කුමක්‌ ද? සාමාන්‍යයෙන් බටහිර විද්‍යාවේ දී යම් සිද්ධීන් අතර සම්බන්ධයක්‌ ඇත් ද, නැත් ද යන්න විනිශ්චය කෙරෙන්නේ ගණිතයේ සංඛ්‍යානය මඟින් ය. මේ සම්බන්ධය ඉතා ප්‍රබල වූ විට එනම් උදාහරණයක්‌ ලෙස යම් සිද්ධි දෙකක්‌ අතර සම්බන්ධය ප්‍රබල නම් එක්‌ සිද්ධියක්‌ අනෙකට හේතු වූ ලෙස දැක්‌වේ. එහෙත් මේ විනිශ්චයන් සඳහා කිසිදු නිශ්චිත ක්‍රමවේදයක්‌ නැත. මේවා පුද්ගල බද්ධ ය; සමාජ බද්ධ ය; සංස්‌කෘතිවලට බද්ධ ය. අවසානයේ බටහිර විද්‍යාවේ ඇත්තේ අත්දැකීම් ස්‌වල්පයක්‌ ඔස්‌සේ ගෙතූ රටා ය (ප්‍රවාද)ල එනම් හිතළු ය. යම් යම් තීරණ ගැනීමේ දී මේ රටා අපට සාක්‌ෂH ලෙස ගත හැකි ය. එපමණ ය.

අනෙක්‌ අතට අපට සමස්‌තය දෙස බලා තීන්දු තීරණ අවශ්‍ය විට ගත හැකි විය යුතු ය. විශ්ලේෂණයෙන් සමස්‌තය අනිවාර්යයෙන් පැහැදිලි කෙරිය යුතු නැත. අනෙක බටහිර විද්‍යාවේ ඇත්තේ සමස්‌තයේ නිරීක්‌ෂණ ඔස්‌සේ ගොඩනැඟූ හිතළු විශ්ලේෂණයන් පමණ ය. එහි සැබෑ විශ්ලේෂණයක්‌ නැත. පරිසරයට වසවිස එක්‌ කළ විට පරිසරය සහ එහි සතුන් සීපාවන් / මිනිසුන් රෝගී වන බව අපි පැහැදිලි ව දනිමු. ඉතින් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමට බටහිර ජීව - රසායන විශ්ලේෂණ අනිවාර්ය නැතෘ අප මේ බටහිර විශ්ලේෂණ උගුලෙන් දැන් වත් මිදිය යුතු ය.

බටහිර ජීව විද්‍යාවන්හි වැඩිපුර ම සිදු වන්නේ යම් ගැටලුවක්‌ උත්සන්න වූ පසු අදාළ වපසරිය තුළ හමු වන රසායන ද්‍රව්‍ය ආදිය පිළිබඳව සොයා බලා පවතින අදාළ ප්‍රවාද මඟින් ඒ තත්ත්වය පැහැදිලි කරගැනීම ය. එසේ නොමැති නම් අලුත් ගැටලුකාරී තත්ත්වය ද පැහැදිලි කරගත හැකි පරිදි නව ප්‍රවාද ගොඩනැඟීම ය. අලුතෙන් බිහි වන විවිධ රෝගවලට අසවල් අසවල් රසායනිකයන් හේතු කාරණා වන්නේ යෑයි සඳහන් කෙරෙන්නේ ඒ ආකාරයට ය. ගැටලු ඇති වීමට පෙර ඒ පිළිබඳ ව පවතින ප්‍රවාද මඟින් ම පෙරැයීම් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. එපමණක්‌ නො ව මේ රසායනිකයන් සහ රෝග අතර ඊනියා සබැඳියාවන් ඉදිරිපත් කෙරෙන්නේ ගණිතයේ සංඛ්‍යානයට පිං සිදු වන්නට ය. සංඛ්‍යානය ඉක්‌මවා ගිය සැබෑ ජීව විද්‍යාත්මක හේතු බොහෝ විට අපට අසන්නට නො ලැබේ. ඉතින් මෙවැනි පසුබිමක්‌ තුළ වකුගඩු රෝගයට මේ ග්ලයිෆොසේට්‌ වැනි රසායන ද්‍රව්‍යවල සම්බන්ධයන් ඇත් දැයි ජීව - රසායනික ක්‍රමවේද තුළ සෙවීමට උත්සාහ ගැනීම විශේෂයෙන් එම රසායන ද්‍රව්‍ය තහනම් කෙරුමට එවැනි සම්බන්ධයන් තහවුරු වන තෙක්‌ කව්රුන් හෝ බලා සිටීම තරම් අවිද්‍යාවක්‌, විහිළුවක්‌ තවත් තිබිය හැකි ද?

ඇත්තට ම ග්ලයිෆොසේට්‌ තහනමට විරුද්ධ ව පෙනී සිටින්නන් කළ යුතු ව ඇත්තේ මේ ග්ලයිෆොසේට්‌ වැනි රසායනිකයන් සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු තනිකර ජීව - රසායනික ආකෘතියක්‌ තුළ විග්‍රහ කොට ඒ අනුව එමඟින් මේ රෝගය ඇති නො වන බව ඊනියා විද්‍යාත්මක ව තහවුරු කෙරුම ය. සැබෑ විද්‍යාත්මක ක්‍රමය වන්නේ එයයි. එසේ කළ නො හැකි නම් අපට කළ හැකි අනෙක්‌ දෙය වන්නේ අතීත අත්දැකීම්, සංඛ්‍යානය සහ උද්ගාමී තර්කනයේ පිහිට පැතීම ය.

මේ රසායනිකය හා වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ නැතැයි මේ තහනමට විරුද්ධ උදවිය විද්‍යාත්මක ව නො පෙන්වන්නේ ඇයි? ඒ අන් කිසිවක්‌ නිසා නො ව එවැනි ක්‍රමවේදයක්‌ නොමැති නිසා ය. එහෙත් මොවුන් මේ අඩුපාඩුව සඟවාගෙන තහනමට පක්‌ෂ උදවියට කියන්නේ රෝගය හා රසායනිකය අතර සම්බන්ධයක්‌ ඇති බව විද්‍යාත්මකව තහවුරු කරන ලෙස ය. මෙය විහිළුවකි. මේ (බටහිර ජීව - රසායනික) විද්‍යාව තුළ මේ වැනි සම්බන්ධතා තහවුරු කිරීම මෙන් ම ප්‍රතික්‌ෂේප කිරීම ද කළ නො හැකි ය. එය පවතින විද්‍යාත්මක ක්‍රමවේදයේ බංකොලොත්භාවය තුළ සිදු වන්නකි.

අන්ධයන් පිරිසක්‌ පැන් බොන ළිඳකට වර්ණවත් විසක්‌ එක්‌ කළේ යෑයි සිතන්න. මේ විස අදාළ වර්ණයෙන් පැහැදිලි ව හඳුනාගත හැකි ය. දැන් මේ ළිඳෙන් පැන් බොන අන්ධයෝ එකිනෙකා මිය යති. එහෙත් මේ අන්ධයන්ට මේ විස රසායනිකය හඳුනාගත නො හැකි ය. ඔවුන් දන්නේ ළිඳට යම් ද්‍රව්‍යයක්‌ එක්‌ කරන බවත් ඉන් පැන් බොන මිනිසුන් මිය යන බවත් පමණක්‌ ය. දැන් මේ අන්ධයන් දෙපිළකට බෙදී එක්‌ කොටසක්‌ මේ මිය යැමට හේතුව අදාළ ද්‍රව්‍ය බව පවසන අතර අනෙක්‌ උදවිය එහි මේ මිය යැමට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි පවසති. ඔවුහු දෙපිරිස ම තම ප්‍රතිවාදී පිලට තම මතය තහවුරු කරන්නැයි පවසමින් සිටිති. දිගට ම රසායනිකය ළිඳට එක්‌ කෙරේ. දිගට ම මිනිස්‌සු මිය යතිs. අපේ වකුගඩු (සහ දැන් වන විට තවත් විවිධ රෝග) රෝගය සහ කෘෂි රසායන ද්‍රව්‍ය අතර ගැටලුව ද මීට දෙවැනි නැත.

සැබෑ විද්‍යාඥයන් කළ යුත්තේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ වැඩි කර ගැනීම ය. හැකි පමණ ඒ මත රැඳීම ය. මෙහි දී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ යනු පංෙච්න්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ පමණක්‌ නො වේ. මනීන්ද්‍රිය වැඩි දියුණු කරගෙන ඒ ඔස්‌සේ ප්‍රත්‍යක්‌ෂ අත්දැකීම් ලබාගැනීම ද මීට අනිවාර්යයෙන් ම ඇතුළත් ය. මනීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ යනු හිතළු නො වේ. අද බටහිර විද්‍යාවේ ඇත්තේ පංෙච්න්ද්‍රිය අත්දැකීම් මත පදනම් වූ හිතළු පඹ ගාලකි. විශේෂයෙන් බටහිර ජීව - රසායන විද්‍යා ක්‌ෂේත්‍රය දරුණු පඹ ගාලකි. ඉතින් මේ පඹ ගාල තුළට වැටී මේ වකුගඩු රෝගයට හේතුව සෙවීම වත් රසායන ද්‍රව්‍ය පරිසරයට හා මිනිසාට විස වන්නේ කෙසේ ද යන්න පිළිබඳව වත් නිශ්චිත විග්‍රහයන් බලාපොරොත්තු වීම උගහට ය.

අප දැන් කළ යුත්තේ අප දන්නා තැනින් පටන් ගැනීම ය. මේ වසවිස පරිසරයට එක්‌ කිරීමත් අපේ පැරැණි ජල ක්‍රමවේදයන් අභාවයට යැමත් මේ වකුගඩු රෝග ඇති වීමත්, කාලය තුළ මනාව එකිනෙක ගැළපේ. වසර දහස්‌ ගණනක්‌ අපේ මිනිසුන් ජීවත් වූයේ හරිත තීරුව තුළ ය. සියල්ල එනම් සියලු ක්‍රියාකාරකම් සිදු වූයේ මතුපිට පස්‌ ස්‌ථරයත්, ඒ සමඟ බැඳුණු ජලයත්, වායුගෝලයත් තුළ ය. මේ හරිත තීරුවෙන් නික්‌මී විවිධ ඛනිජවලින් සැදුම් ලත් වසවිස මේ පොළොවට / පසට එක්‌ කිරීමත් සමඟ පොළොව / පස, ජලය සහ වායුගෝලය අද, සියලු සත්ත්වයන්ට අහිතකර වන පරිදි වෙනස්‌ වෙමින් ඇත. වර්තමාන විවිධ ලෙඩ රෝග කියාපාන්නේ එයයි. මනසේ ඇති හිතළු හැකි පමණ ඉවත් කොට එනම් ඊනියා විද්‍යාත්මක ප්‍රවාද ඉවත් කොට සියුම් විශ්ලේෂණයන් ඉවත් කොට මේ තත්ත්වය දෙස බැලූ විට අපට පෙනෙන්නේ එයයි. ඉතින් කළ යුත්තේ මේ වසවිස තහනම් කෙරුම ය. මෙහි දී මේ වසවිස ගොන්න එකට නො ගෙන එකිනෙක වෙන් කරගෙන, එසේ ම ලෙඩ රෝග ද එකට නො ගෙන එකිනෙක වෙන් කරගෙන එක්‌ එක්‌ රසායන ද්‍රව්‍යයන් එක්‌ එක්‌ රෝගවලට බලපාන අයුරු ආදිය සෙවීමට යැම පඹ ගාල තුළ තවදුරටත් අතරමං වීමකි. එය ද විද්‍යාත්මක බංකොලොත්භාවය වසාගැනීමට විද්‍යාඥයන් යොදාගන්නා උපක්‍රමයකි. ඒ අනුව ග්ලයිෆොසේට්‌ සහ වකුගඩු රෝගය අතර සබැඳියාව සෙවීමට යැම වැනි උගුල්වල අප හසු විය යුතු නැත. අප සියලු වසවිසවලට එකහෙළා විරුද්ධ විය යුතු ය. එහෙත් මින් අදහස්‌ වන්නේ සියලු වසවිස තහනම් වනතුරු ග්ලයිෆොසේට්‌ තහනම ද කල් දැමිය යුතු බව නම් නො වේ. ග්ලයිෆොසේට්‌ සහ වකුගඩු රෝගය අතර සබැඳියාවක්‌ ඇතැයි මේ වන විට යම් යම් සාක්‌ෂි ලැබී ඇති නිසා ඉහත පසුබිම තුළ එය වහා ම තහනම් කළ යුතු ය.

හරිත තීරුවෙන් වෙන් වූ ඛනිජමය වසවිස සමස්‌තයක්‌ ලෙස සිරුරු තුළ ක්‍රියාත්මක වෙමින් සමස්‌තයක්‌ ලෙස විවිධ ලෙඩ රෝග ඇති වන අයුරු පවා නිසි පරිදි පැහැදිලි කර දීමට අසමත් බටහිර ජීව - රසායන - වෛද්‍ය විද්‍යාලවලින් එක්‌ රසායනිකයක්‌ නිශ්චිත එක්‌ රෝගයක්‌ සඳහා බලපාන්නේ කෙසේ ද යන්න ඇසීම විහිළුවකිෘ මේ අනුව අප ගේ මිහිකතට වසවිස එක්‌ කිරීම නැමැති මහා ව්‍යසනය ග්ලයිෆොසේට්‌ හා වකුගඩු රෝගය අතර සබැඳියාව සෙවීමකට ලඝූ කොට දියාරු කළ යුතු නැත. වැරැද්ද ඇත්තේ වසර දහස්‌ ගණනක්‌ නිසි ලෝක දැක්‌මක්‌ (සංසාර දැක්‌මක්‌) තුළ මනා ලෙස හරිත තීරුව තුළ තිරසාර ලෙස ක්‍රියාත්මක වූ පද්ධතියක්‌ - ජෛව කේන්ද්‍රීය පද්ධතියත් භෞතික පද්ධතියත් සමඟ බැඳුණු ඊනියා සංවර්ධන රාමුවක්‌ මඟින් ඩැහැ ගැනීම ය. අප කරනවා නම් පිළියම් කළ යුත්තේ එම වැරැද්දට ය. එහෙමත් ඊට පිළියම් නො කළ හැකි නම් කොටස්‌ වශයෙන් වුව එසේ කළ යුත්තේ මේ නිවැරැදි දැක්‌ම තුළ හිඳිමින් ය. ග්ලයිෆොසේට්‌ පමණක්‌ වුව අද තහනම් කරගත යුත්තේ ඒ පදනමින් ය.

කපිල පීරිස්‌