logo3.gif (702 bytes)

HOME


ලොව ජයගත් 'කියුබානු විද්‍යාව'

විද්‍යාව හා තාක්‌ෂණයේ දියුණුව කොපමණ ද, විද්‍යාව හා තාක්‌ෂණය කොපමණ දුරට රටේ සංවර්ධනය සඳහා භාවිත කරන්නේ ද යන කාරණා රටක සංවර්ධනය පිළිබඳ මැනගත හැකි ඇතැම් නිර්ණායක ලෙස වර්තමානයේ බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. ඇමෙරිකාව, ජපානය, චීනය, රුසියාව, ජර්මනිය, කැනඩාව වැනි දියුණු යෑයි සම්මත බොහෝ රටවල් විද්‍යාව හා තාක්‌ෂණය උපරිම ලෙස රටේ සංවර්ධනයට මෙන් ම රටේ අදායම ඉහළ නංවාගැනීමට සහ ජන ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගැනීමට සෘජු ව ම භාවිත කරයි. වර්තමානයේ සියලු ම රටවල බටහිර ලෝකයේ පරිණාමය වූ බටහිර විද්‍යාත්මක දැනුම භාවිතයට ගැනුණ ද, මූලික විද්‍යාත්මක සංකල්ප සහ හර පද්ධතීන් රටින් රටට වෙනස්‌ නො වුව ද, දැනුම ප්‍රායෝගික ව යොදාගන්නා ආකාරයේ යම් යම් වෙනස්‌කම් පැවතීම හේතුවෙන් බොහෝ විට එම රට රටවලට ආවේණික වූ තාක්‌ෂණික ක්‍රම උපාය වැනි දෑ පැවතිය හැකි ය. උදාහරණයක්‌ ලෙස ජපානය වාහන නිෂ්පාදන තාක්‌ෂණය ඔස්‌සේ හිනි පෙත්තට ම ගිය රටක්‌ ලෙස ප්‍රචලිත අතර එහි දී ඔවුන් ඔවුන්ට ම ආවේණික වූ ක්‍රම උපායන් යොදාගනිමින් ගුණාත්මක බවින් ඉහළ සහ කල් පවතින නිමාවෙන් ඔවුන් ගේ නිෂ්පාදන සිදු කරනු දක්‌නට ලැබේ.

'ජපානයේ තාක්‌ෂණය', 'ජර්මනියේ තාක්‌ෂණය' වැනි ව්‍යවහාරයන් අප හට අරුමයක්‌ නො වුව ද ඇතැම් විට 'ජපානයේ විද්‍යාව', 'ජර්මනියේ විද්‍යාව' වැනි වචන එතරම් ව්‍යවහාරයේ නො පවතියි. එනමුත් 'කියුබානු විද්‍යාව' යන ව්‍යවහාරය අපට හුරු පුරුදු එකකි. එයට ප්‍රධානතම හේතුව විය හැක්‌කේ කියුබානු විද්‍යාව අනෙකුත් රටවල භාවිත වන විද්‍යාවන්ට වඩා වෙනස්‌ එකක්‌ වීම දැයි යනුවෙන් පැනයක්‌ ද ඇතැම් විට කෙනකුට ඇති විය හැකි ය.

බොහෝ විට මූලික විද්‍යාත්මක සංකල්ප කියුබාව තුළ ද එලෙසින් ම භාවිතයට ගන්නා අතර කියුබානු විප්ලවයෙන් පසුව නව තාක්‌ෂණික දැනුම සහ උපකරණ වැනි දෑ අසල්වැසි ඇමෙරිකාව හරහා කියුබාවට ගලා නො යැම නිසා ඇති වූ විද්‍යාත්මක දැනුම් සහ තාක්‌ෂණික අවපීඩනය හොඳින් දරාගැනීමටත්, නව මානයන් ඔස්‌සේ විද්‍යාව හා තාක්‌ෂණය දියුණු තලයකට ගෙන ඒමටත් ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ පාලනයට හැකි විය.

කියුබාව කැරිබියන් මුහුදේ පිහිටා ඇති දිවයිනක්‌ වන අතර එහි වර්ග කිලෝ මීටර 109,844ක ඉඩකඩ ප්‍රමාණය තුළ මිලියන 11ක පමණ ජනගහනයක්‌ ජීවත් වේ. මේ ජනගහනය වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අර්ධයක්‌ පමණ වන අතර ඔවුන්ට අපට වඩා දෙගුණයක්‌ වන ඉඩ ප්‍රමාණයක්‌ දිවයින තුළ පවතී. කියුබාවේ ප්‍රධානතම අදායම් උපයන මාර්ග වනුයේ සීනි, දුම්කොළ, කෝපි සහ පුහුණු ශ්‍රමිකයන් අපනයනය කිරීමයි. කෙසේ වෙතත් දැනට කියුබාව මානව සංවර්ධන දත්ත සටහනේ දකුණු ඇමෙරිකාව තුළ 8 වැනි ස්‌ථානයේ පසු වේ. වර්තමාන කියුබාව තුළ ද ශ්‍රී ලංකාවේ මෙන් නිදහස්‌ අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවක්‌ පවතින අතර සාක්‌ෂරතාව 99.8 %ක්‌ පමණ වේ. ජනතාව ගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වසර 78ක්‌ පමණ අගයකි. කියුබානු ජනයා ලතින් ඇමෙරිකානු, අප්‍රිකානු සහ ස්‌පාඤ්ඤ සම්භවයකින් පැවත එන්නෝ වෙති.

1959 වසරට ප්‍රථම කියුබාව සියලු රටවල් සමඟ සුහද සම්බඳකම් පවත්වා ගනිමින් දියුණු මට්‌ටමින් පැවැති රාජ්‍යක්‌ වුව ද, 1959 පමණ වන විට රටේ පැවැති දේශපාලන අස්‌ථාවර බව නිසා ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ නායකත්වයෙන් කොමියුනිස්‌ට්‌ පාලනයක්‌ රට තුළ ස්‌ථාපිත කරන ලදී. ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ තරමක්‌ දඩබ්බර කොමියුනිස්‌ට්‌ පාලනයත් සමඟ ම 1962 පමණ වන විට ඇමෙරිකාව සහ සෝවියට්‌ දේශය අතර ඇති වූ අමනාපකම් අතරතුර දී කියුබාව මැදි වූ මිසයිල අර්බුදය දුරදිග යැමෙන් ඇමෙරිකාව විසින් කියුබාවට ආර්ථික සම්බාධක පනවන ලදි. නො සිතූ විරූ ලෙසින් ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ම ඇමෙරිකාව සමඟ තිබූ සියලු ම වෙළෙඳ සබඳතා බිඳ වැටීම නිසා කියුබානු ආර්ථිකයේ දැවැන්ත පසුබෑමක්‌ ඇති විය. එය එසේ වුව ද ස්‌වෝත්සාහයෙන් ශක්‌තිමත් ජාතියක්‌ බවට පත් කිරීම සඳහා පසුව ෆිදෙල් කැස්‌ත්‍රොa ගෙන් ලැබුණු නායකත්වය විශිෂ්ට ය.



යම් රටකට දියුණු රටවලින් සම්බාධක පැනවීමේ දී මූලිකව ම එම රට ශීඝ්‍රයෙන් ආර්ථික අස්‌ථාවර භාවයකට ඇද වැටෙයි. කෙසේ වෙතත් ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ සමයේ දී ඇමරිකාවෙන් කියුබාවට එල්ල වූ සම්බාධක හමුවේ තම රට නො සැලී ඉදිරියට යන්නේ කෙසේ දැයි සිතා ඔවුන් ගේ රජයෙන් ගත් ඇතැම් තීරණ කියුබානු විද්‍යාව හා තාක්‌ෂණය අද පවතින දියුණු තලයට ගෙන ඒමට එක හේතුවක්‌ විය.

නිදහස්‌ වෙළෙඳ ආර්ථිකයක්‌ ක්‍රියාත්මක වෙමින් පැවතුණ රටකට එක්‌ වර ම සම්බාධක පැනවීමත් සමඟ ම එම රටේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආහාර වැනි ක්‌ෂේත්‍රවල ගැටලු සහගත තැන් වැඩිපුර ඉස්‌මතු වනු ඇත. ද්‍රව්‍ය පමණක්‌ නො ව ඇතැම් විට දැනුම ද රට තුළට ගලා එම සීමා සහිත වනු ඇත්තේ, විද්‍යාඥයන්ට සහ පර්යේෂකයන්ට වෙනත් දියුණු රටවල සිදු වන පර්යේෂණ පිළිබඳ තොරතුරු ලැබීමේ දුර්වලතා පැවතීම, සම්බාධක යොදා ඇති රට තුළට අගතියට පත් රටේ විද්‍යාඥයන් යෑවීමට නො හැකි වීම සහ විද්‍යාව සහ තාක්‌ෂණයේ දියුණුවට අවශ්‍ය නව යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමේ දුෂ්කරතා ඇති වීම වැනි කරුණු කාරණා හේතුකොටගෙන ය.

මෙවැනි දුෂ්කර වකවානුවක බහුතර කියුබානු වැසියන් තම රට ගැන සිතා, රටේ සංවර්ධනය ගැන සිතා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා ආකල්පමය වශයෙන් පොලඹවාගැනීමට ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ පාලනය සමත් නො වූයේ නම් අද පවතින කියුබානු විද්‍යාවේ හා තාක්‌ෂණයේ දියුණුව ඔවුනට ළඟා කරගැනීමට නො හැකි වනු ඇත. එහි දී කොමියුනිස්‌ට්‌ පාලනයක මූලික මූලධර්ම ඔස්‌සේ ජනතාව හැසිරවීම මේ කාර්යය සාර්ථක කරගැනීම ඉක්‌මන් සහ පහසු කරවන්නට ඇත.

එහි දී ගත වූ වසර 50කට අධික කාලය තුළ කියුබානු රජය තම රටේ විද්‍යාව සහ තාක්‌ෂණය දියුණු කිරීම තුළින් ආර්ථික ඉලක්‌ක ජයගත හැකි යෑයි මූලිකව ම විශ්වාස කර ඇති අතර තම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.43%ක්‌ වැනි ප්‍රතිශතයක්‌ විද්‍යා සහ තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට ඔවුහු වාර්ෂික ව ආයෝජනය කරයි. මේ අගය කලාපීය රටවල් වන චිලී, ආර්ජන්ටිනා, මෙක්‌සිකෝ වැනි රටවල් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) විද්‍යාව හා තාක්‌ෂණය සඳහා යොදවන අගයට වඩා කැපී පෙනෙන ලෙස වැඩි අගයක්‌ නො වුව ද එම රටවල වෙසෙන ජනගහනයට සාපේක්‌ෂව කියුබාව, ජනගහනය එක්‌ මිලියනයක්‌ සඳහා විද්‍යාවේ හා තාක්‌ෂණයේ දියුණුව වෙනුවෙන් යොදන ප්‍රතිශතය සාපේක්‌ෂව ඉහළ අගයකි.

රූපය 1හි දක්‌වා ඇත්තේ නේචර් විද්‍යා සඟරාව 2016 වසරේ දී කියුබානු විද්‍යාව පිළිබඳ පළ කළ විද්‍යාත්මක සමාලෝචනයේ සඳහන් වූ දත්ත සමූහයකි. එම දත්ත 2013 වසර තුළ ලබාගත් ඒවා වන අතර චිලී, ආර්ජන්ටිනා, මෙක්‌සිකෝ වැනි රටවල් සමඟ විද්‍යාව හා තාක්‌ෂණයට ඒ ඒ රටවල් යොදවන ආයෝජනය විවිධ ක්‌ෂේත්‍රවල ඒ ඒ රටෙහි වෙසෙන එක්‌ මිලියනයක්‌ ජනගහනය සඳහා සිටින පර්යේෂකයන් සංඛ්‍යාව මෙන් ම ඒ ඒ රටෙහි විවිධ විද්‍යා ක්‌ෂේත්‍රවල PhD උපාධිධාරීන් ගේ සංඛ්‍යාවන් ද සංසන්දනාත්මක ව ඉදිරිපත් කර ඇත. කියුබාව තුළ ඉහත කී සමාලෝචනයේ පළ වී ඇති පරිදි විද්‍යාව ක්‌ෂේත්‍රවල PhD උපාධිධාරීන් ගේ සංඛාවන්හි අඩුවක්‌ චිලී, ආර්ජන්ටිනා, මෙක්‌සිකෝ වැනි රටවලට සාපේක්‌ෂ ව පැවතුණ ද ශ්‍රී ලංකාවේ විද්‍යා ක්‌ෂේත්‍රවල PhD උපාධිධාරීන් ගේ සංඛාවන් සමඟ සංසන්දනය කිරීමේ දී කැපී පෙනෙන ලෙස වැඩි අගයකි. ඉහත කී විද්‍යාත්මක සමාලෝචනයේ සඳහන් පරිදි සංසන්දනය කළ චිලී, ආර්ජන්ටිනා, මෙක්‌සිකෝ වැනි රටවලට සාපේක්‌ෂ ව PhD උපාධිධාරීන් ගේ සහ පර්යේෂකන් ගේ සංඛ්‍යාවේ සාපේක්‌ෂ අඩුවක්‌ කියුබාව තුළ දක්‌නට ඇත්තේ ඇමෙරිකාව මඟින් පනවා තිබෙන සම්බාධක හේතුවෙන් සිය PhD උපාධි සඳහා කියුබානුවන් හට ඇමෙරිකාව තුළට ඇතුළු වීමට තිබෙන බාධා හේතුවෙන් විය හැක.

ශ්‍රී ලංකාවේ දැනට විද්‍යා සහ තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට යොදවනු ලබන ආයෝජනය වන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.13%ක්‌ වැනි සාපේක්‌ෂ ව ඉතා අඩු අගයකි. ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌ ලෙස ලොව තවමත් නම් කිරීමට ප්‍රධාන හේතුවක්‌ වන්නේ මෙවැනි අඩු ආයෝජනයක්‌ විද්‍යා සහ තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට යෙදවීම ද විය හැකි ය. කෙසේ වෙතත් ඉහත කී ලෙස රටේ GDP අගයෙන් විද්‍යා තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට යොදවන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ දැමීම මඟින් පමණක්‌ රටක විද්‍යාව හා තාක්‌ෂණය දියුණු වේ යෑයි සිතීම ද එතරම් යෝග්‍ය කරුණක්‌ නො වේ. මන්ද යත් විද්‍යා තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට අඩු මුදලක්‌ ආයෝජනය කිරීම රටක විද්‍යාව හා තාක්‌ෂණ දියුණුවට බලපාන එක කරුණක්‌ පමණක්‌ වීම ය. රජය විසින් ගන්නා දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීරණ, රටේ විද්වතුන් සහ විද්‍යාඥයන් ගන්නා තීරණ සහ ඔවුන් ගේ කැප වීම ද ඉහත කී දියුණුවට සෘජු ව ම බලපානු ඇත. කෙසේ වෙතත් ඇතැම් විචාරකයන් ගේ මතය වන්නේ සම්බාධකවලින් තොර ව පසුගිය වසර 50කට අධික කාලය කියුබාව ගත කළේ නම් මීට වඩා දියුණු විද්‍යා හා තාක්‌ෂණ ක්‌ෂේත්‍රයක්‌ කියුබාව තුළ පවතිනු ඇති බවට ය.

විචාර, මතිමතාන්තර කෙසේ වුව ද පසුගිය දා ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්‌ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා, එම ආයතනයේ තවත් නිලධාරිනියක සහ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් පිරිසක්‌ 2016 වසරේ ශ්‍රී ලංකාව සහ කියුබාව යන දෙරට අතර විද්‍යාව සහ තාක්‌ෂණය හුවමාරු කරගැනීමේ අරමුණින් අත්සන් කර තිබූ අවබෝධතා ගිවිසුමක ඊළඟ පියවර ලෙස කියුබාවේ හවානා නගරයේ පැවැති දෙරට අතර පළමු හමුවට සහභාගී වෙමින් බොහෝ තතු, ඇති සැටියෙන් අවබෝධ කරගත් අතර කියුබානු විද්‍යාව පිළිබඳව ඔවුන් ගේ මතය වූයේ ශ්‍රී ලංකාවට සාපේක්‌ෂ ව කියුබාවේ විද්‍යාව සහ තාක්‌ෂණය ඉහළ දියුණු මට්‌ටමක පවතින බවයි. ඊට අමතර ව ඉතා ම සංවිධානාත්මක මැදිහත් වීමක්‌ එරට රජය මඟින් විද්‍යාවේ දියුණුව වෙනුවෙන් සිදු කර ඇති බවත් ඔවුන් විසින් නිරීක්‌ෂණය කරන ලදි. කෙසේ වෙතත් ඉහත කී හමුවේ දී දෙරට අතර විද්‍යාවේ ප්‍රගමනයට ගත හැකි ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා වී තුබූ අතර විශේෂයෙන් ඉදිරියේ දී කියුබානු විද්‍යාවේ ඇතැම් වැදගත් සාරයන් ලංකාව සමඟ හුවමාරු කරගැනීමේ කාර්යයට මූලික වශයෙන් ශ්‍රී ලංකා කාර්මික තාක්‌ෂණ ආයතනය, ශ්‍රී ලංකා සීනි පර්යේෂණ ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලයයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්‌ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ ආයතනය වැනි ඉහළ පෙළේ ආයතන මූලික වශයෙන් මැදිහත් වී කටයුතු කරනු ඇත.

කියුබානු විද්‍යා හා තාක්‌ෂණයේ කැපී පෙනෙන ක්‌ෂේත්‍ර

ඇමෙරිකාවෙන් කියුබාවට සම්බාධක පැනවීමත් සමඟ ප්‍රධාන වශයෙන් එරටට බලපෑ සෞඛ්‍ය ගැටලු ජයගැනීමට නම් තම රටට අවැසි ඖෂධ සහ එන්නත් තම රට තුළ ම නිපදවාගැනීම සුදුසු යෑයි කියුබානුවෝ සිතූ හ. එහි දී කැස්‌ත්‍රොa ගේ මැදිහත් වීමෙන් තෝරාගත් විද්‍යාඥයන් පිරිසක්‌ කියුබාව සමඟ හිතවත්, තෝරාගත් අනෙකුත් දියුණු රටවලට යවා ඖෂධ නිෂ්පාදනයේ හා ජෛව තාක්‌ෂණයේ නව මානයන් සමඟ තම රටේ දැනුම යාවත්කාලීන කරගැනීම සිදු කරන ලදී. කෙසේ වෙතත් වසර ගණනක අපමණ කැප වීමක ප්‍රතිඵලයක්‌ ලෙස කියුබානු විද්‍යාඥයන් විවිධ ලෙඩ රෝග වළක්‌වාගැනීමට උපකාරී වන එන්නත් එම රට තුළ ම අඩු පිරිවැයක්‌ යටතේ නිපදවීමටත්, සියලු ම කියුබානුවන් සඳහා රජයේ මැදිහත් වීමෙන් එම එන්නත් නොමිලේ ලබා දීමටත්, අතිරික්‌තය තෝරාගත් කලාපීය රටවලට තරගකාරී අඩු මිල ගණන් යටතේ අලෙවි කර තම විදේශ විනිමය තර කර ගැනීමටත් කැප වීමෙන් කටයුතු කර ඇත. මේ ක්‍රියා මාර්ග රට තුළ දියත් කිරීමට එරට රජය මැදිහත් වී ඇත්තේ ෆිදෙල් කැස්‌ත්‍රොa ගේ මතයකට අනුව තම රට වැසියා ගේ සෞඛ්‍යය නිරෝගී මට්‌ටමින් පවත්වාගැනීමට සහ ඔවුනට සෞඛ්‍ය සම්පන්න ඉහළ ජීවන රටාවක්‌ උරුම කර දිය යුතු ය යන්න තහවුරු කිරීමට ය. රෝග වළක්‌වාගැනීමට අදාළ සියලු ම එන්නත් කියුබාව තුළ නිපදවෙන අතර ඇතැම් විට ඇතැම් රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි එන්නත් නිපදවීම ද සිදු කෙරෙයි. ඒ අතර මෑතක දී ලොව ම කතා බහට ලක්‌ කළ කියුබානුවන් ගේ විප්ලවීය සොයාගැනීමක්‌ වූයේ තෝරාගත් පෙනහලු පිළිකාවක්‌ සඳහා CimaVax - EGF යන ප්‍රතිකාර එන්නත හඳුන්වා දීම ය. මේ සඳහා පර්යේෂණ සිදු කරමින් එම සොයාගැනීමට මූලික දායකත්වය සැපයුවේ කියුබාවේ හවානා නගරයේ ක්‍රියාත්මක වන Center of Molecular Immunology (CIM) ආයතනයයි. මෙහි දී වැදගත් ම කාරණය වූයේ මේ එන්නත ලබාගත් බොහෝ කියුබානු පෙනහලු පිළිකා රෝගීන් සුව අතට හැරීමයි. කෙසේ වෙතත් මේ ආන්දෝලනාත්මක කියුබානු සොයාගැනීමත් සමඟ ම දැන් දැන් ඇමෙරිකාව පවා කියුබානු විද්‍යාව පිළිබදව යම් තාක්‌ දුරට විශ්වාසයක්‌ තබා ඇති බවට පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ දැනටමත් ඇමෙරිකානු පෙනහලු පිළිකා රෝගීන් පනහකට අධික ප්‍රමාණයක්‌ ඉහත කී ප්‍රතිකාර එන්නත ලබාගෙන ඇති බව වාර්තා වීම ය. ඊට අමතර ව මෑතක දී කියුබාවේ CIM ආයතනය ඇමෙරිකාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත්තේ CimaVax - EGF එන්නත ඇමෙරිකාව තුළ සායනික පර්යේෂණවලට බඳුන් කිරීමටත් පසුව ඇමෙරිකාවේ Food and Drug Administration (FDA) ආයතනයේ අනුමැතිය සඳහා යොමු කිරීමටත් ය. ඇමෙරිකාව තුළ කිසියම් ඖෂධයක්‌ රෝගීන් සඳහා භාවිත කිරීමට පෙර FDA ආයතනයේ නිර්ණායකවලට අනුව නිෂ්පාදනය කර එහි නිර්ණායකවලට ම අනුව සායනික පර්යේෂණ සිදු කර එහි අනුමැතිය ද ලබාගැනීම සිදු කළ යුතු ය. කෙසේ වෙතත් ඇමෙරිකානු FDA ආයතනයේ අනුමැතිය කිසියම් නව ඖෂධයක්‌ සඳහා ලබාගැනීම එතරම් පහසු කටයුත්තක්‌ නො වන අතර ඇතැම් විට මුල් අවස්‌ථාවේ සිට යම් ඖෂධයක්‌ වෙළෙඳපොළට නිදහස්‌ කිරීම දක්‌වා වසර 15කට අධික කාලයක්‌ පවා ගත විය හැකි ය. එසේ ම ශ්‍රී ලංකාව තුළ ද බටහිර වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නා ඖෂධ සියල්ල ම FDA ආයතනයේ අනුමැතිය ලද ඒවා විය යුතු ය. එය එක අතකින් මෙරට තුළ ගුණාත්මක ඖෂධ නියාමනය කරමින් රෝගීන්ට උසස්‌ ඖෂධ ලබා දීමේ අරමුණ සැලකූ විට නම් වඩා යෝග්‍ය නියාමන ක්‍රමයකි. කෙසේ වෙතත් FDA ආයතනය අනුමත කළ ඖෂධ පමණක්‌ මෙරට තුළ භාවිත කිරීමේ දී අති විශාල පිරිවැයක්‌ ඖෂධ සඳහා දැරීමට සිදු වන අතර එමඟින් විශාල විදේශ විනිමයක්‌ රටට අහිමි වී යයි. කෙසේ වෙතත් කියුබානු වෛද්‍ය ක්‍රමය හා සැසඳීමේ දී ඔවුන් කිසි විටෙකත් ඇමෙරිකානු FDA අනුමැතිය තම ඖෂධ සඳහා අපේක්‌ෂා නො කරන අතර හැම විට ම කියුබානු ජනතාවට ඔවුන් විසින් ම නිපදවන ලද ගුණාත්මක එන්නත් සහ ඖෂධ ලබා දීමට වග බලාගෙන ඇත්තේ FDA ආයතනයෙන් පරිබාහිර වූ ඔවුන් ගේ ම නියාමන ක්‍රමයක්‌ යොදාගනිමිනි. ශ්‍රී ලංකාව වැනි රටකට ද වඩාත් ගැළපෙන තමා ගේ ම ඖෂධ නිපදවීමේ ක්‍රමයක්‌ මෙන් ම නියාමනය කිරීමේ ක්‍රමයක්‌ ගැන සිතීමට හැකි නම් විශාල විදේශ විනිමයක්‌ රට තුළ රඳවා ගැනීමට හැකි වනු ඇති අතර එවැනි මූලික ප්‍රතිපත්තිමය තීරණ ශ්‍රී ලංකාව වැනි රටක්‌ තුළ ගැනීම එතරම් පහසු නො වන්නේ අප දැනටමත් ලෝක ඖෂධ මාෆියා උගුලේ වැටී හමාර නිසා ය. කෙසේ වෙතත් සංවර්ධනය පිළිබඳ දීර්ඝකාලීන වැඩපිළිවෙළක දී වත් විවිධ රෝගබාධ සඳහා නව දේශීය ඖෂධ සොයාගැනීම, නිපදවීම සහ FDA ආයතනයෙන් පරිබාහිර ව ශ්‍රී ලංකාව තුළ පමණක්‌ වත් අලෙවි කළ හැකි වන පරිදි නියමිත විද්‍යාත්මක සහ සායනික පර්යේෂණ ඔස්‌සේ යමින් තහවුරු කිරීම වැනි දෑ සඳහා මූලික ආයෝජන රාජ්‍ය හෝ පෞද්ගලික අංශ විසින් සිදු කෙරෙන්නේ නම් කියුබාව මෙන් ශ්‍රී ලංකාවට ද විද්‍යාව, තාක්‌ෂණය සහ සෞඛ්‍යය අතින් ඉදිරියට පැමිණිය හැකි වනු ඇත.

එසේ ම කියුබාවේ Center of Molecular Immunology (CIM) ආයතනය නිරීක්‌ෂණය කිරීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ විද්‍යාඥයන් පිරිසට හමු වූ එම ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටියේ තවදුරටත් ඔවුන් විවිධ රෝගබාධවලට නව එන්නත් නිපදවීමේ කටයුතු සඳහා වන පර්යේෂණ අඛණ්‌ඩ ව සිදු කරන බවත්, අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට ද එවැනි වැඩසටහනක්‌ සඳහා දැනුම ලබා දීම මඟින් උපකාර කළ හැකි වන බවත් ය.

මීට අමතර ව කියුබාවේ තවත් පර්යේෂණ ආයතනයක්‌ මඟින් ගෝනුස්‌සන් ගේ විෂවල අඩංගු ප්‍රොaටීන යොදාගනිමින් පිළිකාවලට භාවිත කළ හැකි පිළියමක්‌ සොයාගෙන ඇති අතර Vidatox යන නාමයෙන් එය කියුබාව තුළ අලෙවි වේ. මේ නිෂ්පාදනය සැලකීමේ දී විශේෂත්වය වන්නේ Vidatox නිපදවීමට ගන්නා ගෝනුස්‌සන් විශේෂය කියුබාවට ම ආවේණික සත්ත්ව කොට්‌ඨාශයක්‌ වීමයි. එයින් අපට ගත හැකි පාඩම වනුයේ හැකි සැම විට ම ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ අනෙකුත් ස්‌වාභාවික දේ යොදාගෙන ඖෂධ හෝ වෙනත් ජෛව තාක්‌ෂණික නිපැයුම් සිදු කිරීමට ලාංකිකයන් පෙලඹුණ හොත් ඒවාට ලැබෙන වෙළෙඳපොළ වටිනාකම බොහෝ විට ලංකාවට වාසිදායක අයුරින් සිදු වීමේ ඇති නැඹුරුතාව ඉහළ යනු ඇති බව ය.

කියුබාව තුළ උක්‌ කර්මාන්තය සහ සීනි කර්මාන්තය ද ඉතා ම දියුණු තලයක පවතී. ඔවුහු තමනට අවශ්‍ය සීනි ප්‍රමාණය නිපදවා අතිරික්‌තය බොහෝ රටවලට අපනයනය කරමින් විශාල විනිමයක්‌ උපයාගන්නා අතර සීනි කර්මාන්තයේ දී ලබාගත හැකි අතුරු නිෂ්පාදන ද ඉතා ම සංවිධානාත්මක ක්‍රම ඔස්‌සේ සිදු කරති. ඉහත කී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවැති සාකච්ඡාවල දී කියුබානු සීනි කර්මාන්තයෙන් ලංකාවේ සීනි කර්මාන්තයට ගත හැකි උදව් සහ දැනුම් සම්භාරයන් පිළිබඳව ද අවධානය යොමු විය.

ඉහත කී පරිදි කියුබාව තුළ දියුණු වූ විද්‍යාත්මක හා තාක්‌ෂණික නව ක්‍රම උපායන්ට අමතර ව එරට අනෙකුත් කෘෂිකර්මාන්තය සහ රෝග මර්දනය වැනි කටයුතුවල දී ඉතා ම දියුණු ජෛව තාක්‌ෂණික ක්‍රම යොදාගනිමින් තම නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ප්‍රමාණය වැඩි කර ගැනීමට ක්‍රියා කර ඇත.

සමස්‌තයක්‌ ලෙස සැලකූ කල කියුබාව තුළ ඇති කරගෙන තිබෙන විද්‍යා සහ තාක්‌ෂණික දියුණුව වැනි දියුණුවක්‌ ශ්‍රී ලංකව තුළ ඇති කර නො ගන්නා තාක්‌ කල් ශීඝ්‍ර ආර්ථික දියුණුවක්‌ ළඟා කරගත හැකි ද යන ගැටලුව අප හමුවේ පවතී. ඒ සඳහා ප්‍රමුඛ වශයෙන් ලංකාවේ පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ දැමීම, රට තුළ විද්‍යාඥයන් රඳවාගැනීමට උපක්‍රම සිතා බැලීම, දීර්ඝ කාලීන සංවර්ධන ප්‍රතිපත්ති සඳහා විද්‍යා සහ තාක්‌ෂණික ක්‌ෂේත්‍රයේ සඵල කරගත හැකි ඉලක්‌ක ඇතුළත් කිරීම සහ සියලු ශ්‍රී ලාංකිකයන් ආකල්පමය වශයෙන් විද්‍යා හා තාක්‌ෂණික නවෝදයක්‌ තුළින් දියුණුව කරා යා හැකි වන පරිදි දිරි ගැන්වීම සිදු කළ යුතු ය.

කොළඹ විශ්ව විද්‍යාලයයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්‌ෂණ ආයතනයේ

ආචාර්ය සමීර ආර්. සමරකෝන්