logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පාසල් පොත් බෑගයේ ගැටලුව තවමත් එතැනමයි

දැන් පාසල්වල ඉගෙන ගන්නා සැම දරුවකු ම බර ඉසිලීමේ හෝ බර උසුලාගෙන ඇවිදීමේ විශේෂිත අනිවාර්ය පුහුණුවකට යොමු කර ඇත් දැයි යන සැකය ඔවුන් දෙස විමසිල්ලෙන් බලන කෙනකුට දැනේ.

මේ දරුවන් පාසල් වෙත යන්නේ තමන්ට දරාගන්නට බැරි තරමේ බර කන්දරාවක්‌ සහිත පොත් බෑග් කර දරාගෙන ය.

පා ගමනින් යන පාසල් දරුවකු දෙස බලා සිටිය හොත් ඒ දරුවා අඩි 100ක්‌ 200ක්‌ ගොස්‌ බෑගය බිම තබා හති අරිමින් විවේක ගන්නා අයුරු ඔබට දැකගත හැකි වේ. පාසල් වෑන්වල ගමන්ගන්නා දරුවන්ට අඩු ම වශයෙන් වාහනයේ ගමන් කාලය තුළ හෝ බෑගයේ බරෙන් ඉවත් වී සිටිය හැකි වේ. එහෙත් පොදු ගමන් සේවා භාවිත කරන දරුවන්ට බොහෝ විට වාඩි වන්නට ඉඩක්‌ නො ලැබුණ හොත් මේ බර කරේ රුවාගෙන ම ඉන්නට සිදු වේ.

දරුවකු සාමාන්‍යයෙන් පාසලට ඒමට හා යැමට පැයක්‌ එක හමාරක්‌ වැනි කාලයක්‌ වැය කරයි. දුර පළාත්වල සිට එන දරුවන් ගේ මේ කාලය පැය දෙක තුන දක්‌වා දික්‌ වේ. කෙසේ වෙතත් මේ කාලය තුළ දී දරුවෙක්‌ අවම වශයෙන් පැය භාගයක්‌ වත් බෑග් ඔසවාගෙන සිටී. මේ තරම් සුවිශාල ගමන් මලු රැගෙන යැමට වීම දරුවන්ට මතු නො ව මාපියන්ට ද ගැටලු උරුම කර දෙයි. විශේෂයෙන් ම මේ බෑග් නිසා දරුවන්ට කොන්ද ආශ්‍රිත රෝග ද, මානසික රෝග ද ඇති විය හැකි ය.

දරුවන් ලෙඩ වීම මවුපියන් ගේ හිතට දුකක්‌ වනවා පමණක්‌ නො ව එය සාක්‌කුවටත් බරක්‌ වේ. එසේ ම මේ බෑග් රැගෙන දීමට ලොකු මුදලක්‌ වැය වේ. අවුරුද්දකට අවම වශයෙන් බෑග් දෙකක්‌ වත් රැගෙන දිය යුතු වේ. මේ බෑග් එකක මිල ද විශාල පරාසයක විහිදේ. වෛවර්ණ හැඩයෙන් නිකුත් වන මේ පාසල් බෑග් රුපියල් දහසේ සිට හාර පන් දහසෙන් ඉහළ දක්‌වා පවා දිවේ.

අප පාසල් යන කාලයේ කුඩා පංතිවල දී පාසල් බෑග් භාවිත කළේ ඉතා අඩුවෙනි. ඒ කාලයේ දී දැන් මෙන් රජයෙන් නොමිලයේ පාසල් පොත් දුන්නේ ද නැත. පෙළපොත් මිල දී ගත යුතු ව තිබිණි. හැම විෂයකට ම පෙළ පොත් ගන්නට බොහෝ දෙනකුට මුදල් තිබුණේ ද නැත. එහෙයින් ළමයින් ළග තිබුණේ එක විෂයයකට හෝ දෙකකට හෝ අදාළ පෙළපොත් පමණි. එසේ ම අපේ පාසල්වල (ප්‍රාථමික ශ්‍රේණිවල) ගුරු මහත්ම මහත්මීන් අපට පොත් ලැයිස්‌තු ලබා දීමේ දී ලොකු අභ්‍යාස පොත් (CR) ගෙනෙන්නට බල කළේ නැත. ඔවුන් අපට උපදෙස්‌ දුන්නේ පිටු හතළිහේ හෝ උපරිම පිටු අසූවේ හෝ පොත් ගෙන එන ලෙසයි. එහෙත් මීට පටහැනි ව අද ගුරුවර ගුරුවරියන් උපදෙස්‌ දෙන්නේ උසෙන් ද වැඩි පිටු ද වැඩි බරෙන් ද වැඩි අභ්‍යාස පොත් ගෙන එන ලෙසයි. ආණ්‌ඩුවෙන් ලබා දෙන පෙළපොත්වල බර ද එක්‌ වූ විට දරුවාට එය දරාගන්නට බැරි බරක්‌ බවට පත් වේ. කලකට ඉහත දී නම් මේ පොත් මල්ල බර වීම වළක්‌වනු පිණිස රජය පෙළ පොත් කාණ්‌ඩ වශයෙන් මුද්‍රණය කිරීම සිදු කළ නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්‌ ව ගොස්‌ ඇත.

කෙසේ වෙතත් දරුවන් මුහුණ දී සිටින මේ පාසල් බෑගයේ අධික බර පිළිබඳ ගැටලුව අනාගතයේ දී සෞඛ්‍ය දේහය බරපතළ ලෙස රෝගාතුර කරන්නට හේතුවක්‌ වනු ඇතැයි ළමා රෝග විශේෂඥ කමල් හත්ලහවත්ත මහතා පෙන්වා දෙයි. ළමා රෝග විශේෂඥයකු ලෙස දශක ගණනාවක අත්දැකීම් ඇති ඒ මහතා පෙන්වා දෙන්නේ මේ බෑග්වල බර වැඩි වීම නිසා රෝගාබාධවලට ගොදුරු වන දරුවන් ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි.

"බලංගොඩ මූලික රෝහලේ ළමා රෝග විශේෂඥවරයා විදිහට වැඩ කරද්දී මට පෙනී ගිය දෙයක්‌ තමයි කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න එන කුඩා දරුවන් සංඛ්‍යාව වැඩි වී ඇති බව. එම වෙනස හොඳින් පෙනෙනවා මීට දශක දෙක තුනකට එහා තත්ත්ව හා සසඳද්දී. දරුවන් මේ රෝගවලට ගොදුරු වන්නේ දරාගන්නට බැරි තරම් බර ඇති බෑග් ගෙන යැම නිසයි. කොන්දෙ කැක්‌කුම, තුනටිය කැක්‌කුම ලෙස දරුවන් පැමිණිලි කරන්න බොහෝ අවස්‌ථාවල මේ බෑග් බර බලපා තිබෙන බව පෙනෙනවා.

සමහර විට දරුවන් පපුවෙ අමාරුව කියා පැමිණිලි කරන්නේ මේ බෑග්වලින් දැනෙන පීඩනයයි.

ඕනෑ ම දියුණු රටක වයසට සාපේක්‍ෂ ව දරුවන් ගේ පාසල් බෑගයේ අන්තර්ගතයේ බරට අදාළ ව නිර්ණායක තිබෙනවා. අපේ රටේ එහෙම නැහැ. මෙය කණගාටුවට කරුණක්‌. ඉස්‌සර පෙළ පොත් කුඩාවට, කාණ්‌ඩ ලෙස මුද්‍රණය කළා. ඒ වෙනුවට දැන් එහෙම නැහැ. පාසල්වල ඉන්aන ගුරුවරුන් ලොකු පීඩනයක්‌ දෙනවා ලොකු පොත් ම ගේන්න කියලා. දියුණු රටවල නම් පාසල්වල ළමයින්ට වෙන් වූ ලොකර් තියෙනවා. එම ලොකර්වල, බර පොත් සුරක්‍ෂිත ව තැබිය හැකියි. එවිට දිනපතා පොත් ගොඩක්‌ ඔසවාගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැහැ. කවුරුන් හරි කියනවා නම් මේ ලොකර් හදන්න සල්ලි නැහැ කියලා එය වැරැදි කතාවක්‌. අනවශ්‍ය දේට වියදම් නො කොට මේ වගේ වැදගත් වැඩකට වියදම් කළ යුතුයි.

මෙලෙස බර බෑග් ගෙන යැමෙන් දරුවන්ට කෙටි කාලීන ආබාධ මෙන් ම දිගු කාලීන ආබාධත් ඇති විය හැකියි. ඊට අමතර ව පූර්ණ කාලීන ආබාධවලට පවා දරුවන් ගොදුරු විය හැකියි.

සමහරු මේ සඳහා යෝජනා කළා බිම දිගේ ඇදගෙන යන බෑග් සුදුසුයි කියා. ධනවත් හා දියුණු රටවලට එය සුදුසු වූවාට අපේ රටට ගැළපෙන්නේ නැහැ. ලංකාවේ මෙවැනි බෑග් පාර දිගේ ඇදගෙන යන්න යටිතල පහසුකම් සැකසී නැහැ. මට මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක්‌ තියෙනවා. මොකද මගේ දරුවත් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා."

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා දරුවන් ගේ පාසල් බෑග් ගැටලුව අරභයා අධ්‍යයනයන් සිදු කර තිබේ.

එහි දී හෙළි වූයේ පාසල් ළමයින් ගෙන් 70%කට පමණ ම වරින් වර මාංශපේශි වේදනා දැනී ඇති අතර එයට හේතුව බරෙන් වැඩි පාසල් බෑග් ඔසොවාගෙන යැම විය හැකි බවයි.

සාමාන්‍යයෙන් දරුවකු තමන්ට මාංශපේශි වේදනාවක්‌ ඇති බව කෙනකු හා පවසන්නේ එම වේදනාව දරාගත නොහැකි වූ තරමට ඉහළ ගිය විට ය.

මෙලෙස 70%ක්‌ ම කවුරුන් සමඟ හෝ මේ මාංශපේශි වේදනා ගැන කියා තිබිණි. එයින් පෙනී යන්නේ ඔවුන් සැලකිය යුතු පීඩාවකට ලක්‌ ව සිටි බවයි. තව ද සියයට තිස්‌ පහකට මේ වේදනා දිගින් දිගට ම දැනී ඇත. (සියයට හැත්තෑවකට (70%) එය දැනුණේ වරින් වර ය.) මේ අධ්‍යයනය සඳහා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසල් පනස්‌ පහක (55) දරුවන් 1,607 දෙනෙකු සහභාගී කරගන්නා ලදී. මේ අධ්‍යයනය සඳහා වෛද්‍ය කපිල ජයරත්නට උපදේශක සහාය ලැබී තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දුලිතා ප්‍රනාන්දු ගෙනි. මේ අධ්‍යයනයේ දී හෙළි කරගත් ඉතා ම වැදගත් කරුණක්‌ වූයේ මේ දරුවන් ගෙන් සියයට අසූවක්‌ ම (80%) Back Pack බෑග් මාදිලිය භාවිත කරන බවයි. සියයට 97ක්‌ ම දෙඋරහිසට බෑගය දමාගෙන යන බව ද හෙළි විය. එහෙත් ඉන පටියක්‌ පාවිච්චි කර තිබුණේ ඉතා අඩු ප්‍රතිශතයකි. ඉන පටි සහිත බෑග් තිබී ඇත්තේ 30%ක්‌ අතර පමණි.

බෑග් භාවිත කරන්නන් ගේ තිබූ ලොකු ම දුබලතාව වූයේ අතිශය බරකින් යුත් බෑග් පාවිච්චියයි. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව රෙකමදාරු කර ඇත්තේ වඩාත් සුදුසු, දරුවා ගේ බරෙන් සියයට 10% නො ඉක්‌මවන බරක්‌ බෑගයේ බර විය යුතු බවයි. එහෙත් සියයට පනස්‌ අටක්‌ ම (58%) මේ 10% සීමාව ඉක්‌මවා තිබිණි. එයින් පෙනී යන්නේ දරුවන් ගෙන් බහුතරයක්‌ සෞඛ්‍යයට අහිතකර බෑග් පාවිච්චි කරන බවයි. වෛද්‍ය කපිල ජයරත්න ගේ අධ්‍යයනයේ දී පෙනී ගිය වැදගත් කරුණක්‌ වූයේ බෑග් එක තුළ ඇති දෙයින් (බරෙන්) සියයට තිස්‌ හතක්‌ ම (37%) පෙළපොත් බවයි. ලියන (අභ්‍යාස) පොත් ප්‍රතිශතය සියයට තිහක්‌ (30%) විය. පොත් නො වන ද්‍රව්‍ය සියයට 17.7ක්‌ විය. ඉතිරි බර බෑගයේ බරයි.

මේ අධ්‍යයනය පිළිබඳ වත්, පොදුවේ පාසල් සිසුන් ගේ බෑග්වලට අදාළ ගැටලු ගැනත් කතා කරමින් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මෙසේ කියා සිටියේ ය.

"බෑග්වලට අදාළ බර වගේ ම සෞඛ්‍ය සම්පන්න නො වන බෑග් භාවිතය අද වන විට විශාල ගැටලුවක්‌ බවට පත් වෙලා. ළමයින් මේ ගැටලුව නිසා කායික හෝ මානසික හෝ රෝගවලට ගොදුරු විය හැකියි. එනිසා අප මේ ගැන විශාල අවධානයක්‌ යොමු කළ යුතුයි. විශේෂයෙන් ම දරුවන්ට මාංශපේශි හා සැකිලි ආබාධ ඇති වීම කෙරෙහි මෙය බලපානවා. කොඳු ඇට පෙළ පැත්තකට ඇද වීමට තුඩු දෙන Scoliosis වැනි රෝග කෙරෙහි මේ බෑග්වල බර වැඩි වීම හා සෞඛ්‍ය සම්පන්න නො වන ආකාරයට බෑග් ඔසොවාගෙන යැම හේතු වනවා.

මා මගේ අධ්‍යයනය සිදු කළේ බෑග්වලින් වන හානිය ගැන පමණක්‌ ම සොයන්න නො වෙයි. පොදුවේ එහි දී බෑග්වලින් ඇති වන බලපෑම් ගැනත් සොයා බැලුවා. මගේ අධ්‍යයනයට යොදාගත් දරුවන් වයස අවුරුදු 11-13 අතර අය. මොවුන් පාසල්වල 6, 7, 8 ශ්‍රේණිවල ඉගෙනගත් බහුල ව බෑග් භාවිත කරන අය. මේ අධ්‍යයනය මඟින් පෙනී ගිය දෙයක්‌ තමයි දරුවන්ට, බෑග් නිසා සෞඛ්‍ය ගැටලු මතු වන බව.

මා දකින මූලික ම ගැටලුව දරුවන් ඕනෑවට වඩා ලොකු බරක්‌ බෑග්වල දමාගෙන යැමයි. එසේ ම ප්‍රමිතියෙන් තොර බෑග් පාවිච්චිය ද බහුල ව සිදු වනවා. දරුවකුට බෑග් එකක්‌

රැගෙන දීමේ දී ඒ දරුවාත් බෑග් කඩයට එක්‌කගෙන යන්න ඕනේ. නැතුව, 'මට අවුරුදු අටේ ළමයකුට බෑග් එකක්‌ දෙන්න', නැතිනම් 'හතරෙ පංතියේ, පහේ පංතියේ, හයේ පංතියේ ළමයකුට බෑග් එකක්‌ දෙන්න' කිව්වට බැහැ. ළමයකු ගේ බර අනුවයි මූලිකව ම බෑග් එකක්‌ ගන්න ඕනෙ. බෑග් එකේ ප්‍රමාණය, උස ගැන හිතන්න ඕනෙ. බෑග් එකක්‌ ඉනෙන් පහළට යන්න බැහැ. ඒ වගේ ම උරහිස්‌වලින් පහළට යන්න බැහැ. මේ වගේ හොඳ මට්‌ටමේ බෑග් එකක්‌ ලබාගන්න නම් දරුවාට එය දමල බලන්න ම වෙනවා. විවිධ බෑග් මාදිලි තියෙනවා. වඩා හොඳ Back Pack මාදිලියයි. එනම් පිටේ දෙවුරෙන් එල්ලාගෙන යැමයි. අතේ එල්ලාගෙන යැම හෝ තනි උරයකින් එල්ලාගෙන යැම හෝ නුසුදුසුයි.

ඒ වගේ ම බෑග් එක කුටීර සහිත ව නිර්මිත විය යුතුයි. ප්‍රධාන කුටීර දෙකක්‌ වත් තිබිය යුතුයි. එසේ අවශ්‍ය වන්නේ බර නිසි පරිදි බෙදී යැම පිණිසයි. පිටට සමීප කොටසේ බර වැඩි දේවල් දැමිය යුතුයි. පෙළපොත් වගේ දේවල්. අනෙක්‌ කොටසේ බර අඩු දේවල්. අනෙක්‌ කුටීර දෙකේ පොත් හා වෙනත් ද්‍රව්‍ය තිබෙනවා නම් දුවද්දී ඒ දේවල් එහා මෙහා වෙන්නේ නැහැ.

පිටේ ගෑවෙන කොටස කුෂන් කර තිබෙන්න ඕනේ. උරහිස්‌ පටි තිබිය යුතුයි. ඒවා සවිමත් විය යුතුයි. පළල් විය යුතුයි. ඒ වගේ ම කුෂන් විය යුතුයි. උරහිස්‌ පටිවලට ගාංචු තිබිය යුතුයි. එසේ අවශ්‍ය වන්නේ උවමනා ප්‍රමාණයට ගමන් මල්ල සකසා (Adjust) ගන්නට යි. බෑග් එකට ඉන පටියක්‌ අනිවාර්යයෙන් තිබිය යුතුයි. මේ බෑග් එකේ ගුණාත්මකභාවය අදාළ කරුණු.

අනෙක අප රජයට යෝජනා කළා පෙළපොත් කාණ්‌ඩ වශයෙන් ගහන්න කියල බර අඩු වෙන්න නම්. මේ ප්‍රශ්නයට ඉක්‌මනින් විසඳුම් ලබා නො දුන්නොත් අපේ, ජාතියේ දරුවන් සෞඛ්‍යමය වශයෙන් පිරිහී ගිය මානවයන් කොටසක්‌ බවට පත් විය හැකියි."

මෙලෙස විද්වතුන් අදහස්‌ දැක්‌වුව ද රජය තවමත් පෙළපොත්වල බර අඩු කරගැනීම සඳහා නිසි පියවර ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත. එසේ ම බෑග්වලට නීති පැනවීමක්‌ ද කර නැත. බලධාරීන් ගේ අවධානය මේ කෙරෙහි කඩිනමින් යොමු විය යුතු ව තිබේ.

මනෝඡ් රත්නායක