logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සොඳුරු නිවහනට රුසිරු පෙනුමක්‌ දෙන මැටි සෙවිලි උළු

වේගවත් සංවර්ධනයත් සමඟ ම බිම් මල් පිපෙන්නා සේ නා නා ප්‍රකාර ගොඩනැඟිලි රට තුළ ඉදි වෙමින් පවතී. වහල, මේ වාස්‌තු විද්‍යාත්මක නිර්මාණවල අලංකාරය වැඩි දියුණු කරන එක්‌ මූලික අංගයක්‌ වන අතර එහි සෙවිලි මාධ්‍යය ඒ සඳහා සපයන දායකත්වය ඉතා වැදගත් ය. මේ සෙවිලි මාධ්‍යවල දියුණුව ක්‌ෂණික ව සිදු වූවක්‌ නො ව කාලයත් සමඟ සෙමෙන් සෙමෙන් ක්‍රමවත් ව සිදු වූ බව පැහැදිලි කරුණකි.

තුරු සෙවණක්‌, විසල් බෙනයක්‌ හෝ ගල් ලෙනක්‌ තම නිවහන කර ගත් ප්‍රාග් මිනිසා සොබාදහමේ විපරීතයන් නිසා සිදු වන ගැහැටෙන් මිදෙන්නට දැරූ වෑයමක ප්‍රතිඵලය ලෙස නිවස නිර්මාණය වන්නට ඇත. එදා නිවසක පිඹුරේ දළ සේයා ඔහු ගේ මනස තුළ ඇඳෙන්නට ඇතත් වහල යන සංකල්පය ඔහු තුළ තිබුණා ද නැද්ද යන්න පැහැදිලි නැත. එය පසු කාලීන ව නිවසට එකතු වූ අංගයක්‌ ද විය හැකි ය. ඒ සංකල්පය සමඟ වහලේ සෙවිලි මාධ්‍යය නො අනුමාන ව ඔහුට ගැටලුවක්‌ වන්නට ඇත. ඒ සඳහා ඔහු විසින් වටපිටාවෙන් පහසුවෙන් සොයාගත හැකි ශාක කොටස්‌ යොදාගන්නා ලදී. මෑත යුගය දක්‌වා ම මාන, ඉලුක්‌ වැනි තෘණ වර්ග ද, තල් අතු, පොල් අතු වැනි ශාක පත්‍ර ද, වියළි පොතු වර්ග ද, පැඟිරි, පිදුරු වැනි කෘෂිකාර්මික අතුරුඵල ලෙස ලැබෙන ශාක කොටස්‌ ද සෙවිලි මාධ්‍ය ලෙස යොදාගත් බව නො රහසකි. මෙසේ ආරම්භ වූ සෙවිලි මාධ්‍යය අද වන විට දිගු ගමනක්‌ පැමිණ ඇත.

මහින්දාගමනයෙන් පසු නිර්මල බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත වීමත් සමඟ රටට ආවේණික වාස්‌තු විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වෙහෙර විහාර නිර්මාණය වන්නට විය. එම කර්මාන්ත සඳහා පිළිස්‌සූ මැටි සෙවිලි උළු (Burned clay roofing tiles), පිළිස්‌සූ මැටි බිම් උළු (Burned clay floor tiles) සහ පිළිස්‌සූ මැටි ගඩොල් (Burned clay bricks) භාවිත කළ බවට පුරාවිද්‍යාත්මක ගවේෂණ සනාථ කර ඇත. ඒ සමඟ ම ශ්‍රී ලංකාව තුළ පිළිස්‌සූ මැටි සෙවිලි උළු කර්මාන්තයේ ආරම්භය සිදු වූ අතර විවිධ හැඩතලවලින් යුත් කලාත්මක උළු කැට නිපදවා ඇති බවට, සාධක අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි පෞරාණික රාජධානි පිහිටි බිම්වල කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමු වී ඇත. මෙසේ ආරම්භ වූ දේශීය උළු කර්මාන්තයේ අපට ආවේණික අවසාන සාමාජිකයා 'සිංහල උළු' නාමයෙන් හැඳින්වෙන, පැරැණි ගොඩනැඟිලිවල වහල මත තවමත් රැඳී ඇති උළු වර්ගය වේ.

ක්‍රි. ව. 1860 දී ජර්මන් ජාතික මිෂනාරිවරයකු විසින් ඉන්දියාවට හඳුන්වා දෙන ලද 'මැංගලෝර්' (Mangalore) නාමය ඇති පිළිස්‌සූ මැටි සෙවිලි උළු දකුණු ආසියාවට මුලින් ම සංක්‍රමණය වූ ආගන්තුක උළු වර්ගය ලෙස සැලකිය හැකි ය. ඉන්දියාවේ මැංගලෝර් නගරය ආශ්‍රිත සුලබ ලැටරයිට්‌ මැටි (Laterite clay) මේ සඳහා යොදාගත් බැවින් එම උළුවලට මේ නාමය ලැබී ඇත. මේ උළු පළපුරුදු කම්කරුවන් අතින් නිම වුණු අතර 1978 දී කැලිකට්‌ ටයිල් සමාගම (Calicut Tile Company) මඟින් සම්පූර්ණ වශයෙන් යන්ත්‍රානුසාරයෙන් නිපදවූ උළු වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. එම උළු 'කැලිකට්‌ උළු' (Calicut Tile) නාමයෙන් ප්‍රචලිත විය. මේ උළු දෙවර්ගයේ ම හැඩතල (පැතලි) එක හා සමාන වුව ද මානවල සුළු වෙනස්‌කම් දක්‌නට ඇත. තව ද මේ උළු දෙවර්ගය ම ශ්‍රී ලංකාවට ද ආනයනය කර වහල සෙවිලි කිරීම සඳහා බහුල ව යොදාගත් බව පෙනේ.

60 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාව තුළ ද මැංගලෝර් සහ කැලිකට්‌ යන වර්ගයන්ට ආවේණික පිළිස්‌සූ මැටි සෙවිලි උළු වර්ග නිෂ්පාදනය අරඹා තිබුණ බැවින් එවකට ප්‍රමිතිකරණ බලතල හිමි ව තිබුණ ලංකා ප්‍රමිති කාර්යංශය (Bureau of Ceylon Standards) මඟින් වහල සෙවිලි කිරීම සඳහා භාවිත වන පිළිස්‌සූ මැටි සෙවිලි උළු පිළිබඳ ලංකා ප්‍රමිති පිරිවිතරය (Ceylon Standards of burned clay roofing tiles) ශ්‍රී ලංකා ප්‍රමිතිය 2 : 1975 (CS 2 :1967) සම්පාදනය කර ප්‍රසිද්ධියට පත් කර ඇත. මේ ප්‍රමිතිය සංශෝධනය කිරීමේ දී ඉහත අවශ්‍යතාව මත මේ ප්‍රමිතිය 1975 දී පළමුවැනි ප්‍රතිශෝධනයට භාජන කර පිළිස්‌සූ මැටි සෙවිලි උළු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය (පළමුවැනි ප්‍රතිශෝධනය) [Sri Lanka Standards for burned clay roofing tiles (First revision)] ශ්‍රී ලංකා ප්‍රමිතිය 2: 1975 (SLS 2:1975) සම්පාදනය කර ප්‍රසිද්ධියට පත් කර ඇත. 1984 දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත (පනත් අංක 6: 1983) මඟින් ලංකා ප්‍රමිති කාර්යංශ පනත (පනත් අංක 38: 1964) ප්‍රතිස්‌ථාපනය වීමත් සමඟ ආයතනයට ලැබුණ පැවරුම මඟින් භාණ්‌ඩ සහතික කිරීම සඳහා 'SLS' ලාංඡනය හඳුන්වා දීම සිදු විය. එමඟින් මැටි සෙවිලි උළු කර්මාන්තකරුවන්ට තම කැමැත්ත මත රජයට අනුබද්ධ තෙවැනි පාර්ශ්වයක්‌ මඟින් සහතික කරන ලද තම නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීමට හැකියාව ලැබිණ. එසේ ම 2011 දී පාරිභෝගික සේවා අධිකාරිය (Consumer Affairs Authority) විසින් නිකුත් කරන ලද නියාමන 1690රැ8 මඟින් 'SLS' ලාංඡනය මැටි සෙවිලි උළු සඳහා අනිවාර්ය කර ඇත. එය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු මතු වුව ද ක්‍රියාත්මක කිරීම සාර්ථක ව සිදු වෙමින් පවතී.

තාක්‌ෂණික දියුණුවත් සමඟ ම නොයෙකුත් වහල සෙවිලි මාධ්‍ය ඉදි කිරීම් ක්‌ෂේත්‍රයට අවතීර්ණ විය. ඇස්‌බැස්‌ටොස්‌ රැලි තහඩු (asbestos corrugated sheets), උණු ගිල්ලුම් ගැල්වනයිස්‌ රැලි තහඩු (hot dipped galvanized corrugated sheets), උණු ගිල්ලුම් ඇලුමිනියම්/තුත්තනාගම් ආලේපිත රැලි තහඩු (hot dipped Al/Zn corrugated sheets), කොන්ක්‍රීට්‌ සෙවිලි උළු (concrete roofing tiles) සහ පිළිස්‌සූ මැටි සෙවිලි උළු (Burned clay roofing tile) විශේෂ ස්‌ථානයක්‌ අත් කරගෙන ඇත. තව ද ඇස්‌බැස්‌ටොස්‌ නො වන ස්‌වාභාවික තන්තු හෝ කෘත්‍රිම තන්තු සහ සිමෙන්තිවලින් නිර්මිත සෙවිලි රැලි තහඩු මෙන් ම බහු අවයවක (polymer) ආධාරයෙන් නිර්මිත සෙවිලි රැලි තහඩු ද ඉදිකිරීම් ක්‌ෂේත්‍රයට එක්‌ වෙමින් පවතී. කෙසේ වෙතත් මේ නූතන ආගන්තුක සෙවිලි මාධ්‍යයන්ට පිළිස්‌සූ මැටි සෙවිලි උළු ප්‍රතිස්‌ථාපනය කළ නො හැකි ව ඇත. එයට ඇති සාධාරණ ම හේතුව ලෙස දැකිය හැක්‌කේ මේ උළුවලට ස්‌වභාවයෙන් ලැබී ඇති නෙත්කලු ගඩොල් වර්ණය සහ පහසුවෙන් ඒවාට ලබා දිය හැකි රමණීය හැඩතල නිසා ගොඩනැඟිලි නිර්මාණ ක්‌ෂේත්‍රයෙන් මේ සෙවිලි මාධ්‍යයට ඇති ඉහළ ඉල්ලුම විය හැකි ය. තව ද උළු සෙවිලි කළ වහලය ගතට සිසිලක්‌ සපයන අතර ම පාරිසරිකව ද වැඩි වටිනාකමක්‌ ඊට හිමි ය.

ඉදි කිරීම් ක්‌ෂේත්‍රයේ ඉල්ලුම මත නොයෙක්‌ කලාත්මක හැඩතල සහිත දේශීය පිළිස්‌සූ මැටි සෙවිලි උළු රැසක්‌ අද වෙළෙඳපොළට පිවිසෙන අතර ම විවිධ හැඩතල සහිත පිළිස්‌සූ මැටි සෙවිලි උළු, එතෙරින් මෙතෙර වෙළෙඳපොළට අවතීර්ණ වෙමින් පවතී. පවතින ප්‍රමිති පිරිවිතරයෙන් මේ සියල්ල ආවරණය නො වන නිසා ඒ සියල්ල ප්‍රමිතියේ ආවරණය වන පරිදි ශ්‍රී. ලං. ප්‍ර. 2: 2016 (SLS 2: 2016)හි දෙවැනි ප්‍රතිශෝධනය සම්පාදනය කර 2016 දී ප්‍රසිද්ධියට පත් කර ඇත. විශේෂ ව්‍යාපෘති ගණයට වැටෙන පුරාණ ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය (restoration of ancient buildings) සහ විශේෂ වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ (special architectural designs) සඳහා වන මැටි සෙවිලි උළු මෙමඟින් ආවරණය කර නොමැත. තව ද ඔප ගැන්වූ (glazed) හෝ වර්ණ ගැන්වූ (coloured) හෝ කැටයම් කරන ලද (engraved) පිළිස්‌සූ මැටි සෙවිලි උළු වර්ග ද මින් ආවරණය කර නොමැත. නූතන ගොඩනැඟිලි කර්මාන්තයේ දී බහුල ව භාවිත වන හැඩතල එකොළහක්‌ (11) නිෂ්පාදකයන් ගේ මෙන් ම පාරිභෝගිකයන් ගේ දැනගැනීම පිණිස දෙවැනි ප්‍රතිශෝධනය යටතේ දක්‌වා ඇත.

කල් පැවැත්ම (durability), අනුකූලතාව (compatibility), ගුණාත්මකභාවය (quality) සහ ආරක්‌ෂාව (safety) පිළිබඳ අවශ්‍යතා සහ නියාමන (rsafety) අවශ්‍යතා සපුරන පරිදි පිළිස්‌සූ මැටි සෙවිලි උළුවලට තිබිය යුතු ගුණාංග හඳුනාගෙන මේ අවශ්‍යතා ඉටු වන පරිදි සම්මත පිරිවිතරයන් (standards specification) මේ දෙවැනි ප්‍රතිශෝධනය මඟින් ස්‌ථාපිත කර ඇත. එම ගුණාංග පහත දක්‌වා ඇති අතර (උ) හා (ඌ) ගුණාංග සක්‍රිය වන්නේ අදාළ ජාතික නියාමනයන් (national regulations) නිකුත් වුව හොත් පමණි.

(අ) ව්‍යqහාත්මක හා පෘෂ්ඨීය ගුණාංග (structural and surface characteristics)

(ආ) ප්‍රතිෂ්ඨාපන ගුණාංග (fixing characteristics)

(ඇ) අතුර'ගුලන ගුණාංග (interlocking characteristics)

(ඈ) ජ්‍යාමිතික ගුණාංග (geometrical characteristics)

(ඉ) ස්‌කන්ධය පිළිබඳ ගුණාංග (mass characteristics)

(ඊ) භෞතික හා යාන්ත්‍රික ගුණාංග (physical and mechanical characteristics)

(උ) ගිනි ආවරණ ගුණාංග (fire performance characteristics)

(ඌ) අන්තරායක ද්‍රව්‍ය (dangerous substance)

තව ද දෙවැනි ප්‍රතිශෝධනය මඟින් ජල අවශෝෂණ ප්‍රතිශතය අනුව මැටි සෙවිලි උළු ප්‍රභේද තුනකට බෙදා වෙන් කර ඇත. එම ප්‍රභේද පහත වගුවේ දක්‌වා ඇත.

ජල අවශෝෂණ ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා උළු කැට දහයක්‌ (10) යොදාගන්නා අතර එම කැට දහය සඳහා ලැබෙන අගයන් ගේ සාමාන්‍ය අගය සඳහා පැවතිය හැකි අවම අගය ඉහත වගුවේ දෙවැනි තීරුවේ ද, ඒ ඒ උළු කැටය සඳහා තනි තනි ව ලැබෙන අගයන්ට පැවතිය හැකි අවම අගය තුන්වැනි තීරුවේ ද දක්‌වා ඇත. නිෂ්පාදකයාa උළු කැටය අයත් ප්‍රභේදය උළු කැටය මත නො මැකෙන පරිදි පැහැදිලි ව සටහන් කළ යුතු ය. නිවස ගොඩනැඟෙන කලාපය (තෙත්, වියළි සහ අන්තර් කලාප) අනුව තම නිවසට ගැළපෙන උළු ප්‍රභේදය තෝරාගැනීමේ හැකියාව මේ අනුව පාරිභෝගිකයාට ලැබේ.

උදා :-

අධික වර්ෂාපතනයක්‌ සහිත තෙත් කලාපීය ප්‍රදේශවල තනන නිවෙස්‌වලට සුදුසුතම උළු ප්‍රභේදය AAA වේ.

එමෙන් ම වියළි කලාපීය ප්‍රදේශවල තනන නිවෙස්‌වලට A ප්‍රභේදය යොදාගැනීම ද වරදක්‌ නැත.

කෙසේ වෙතත් දැඩි සුළං සහිත සහ අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන් ඇති ප්‍රදේශවල වහල සෙවිලි කිරීම සඳහා උළු භාවිත කරන අවස්‌ථාවල දී මඟපෙන්වීම හෝ උපදෙස්‌ සැපයීම හෝ මේ ප්‍රමිතිය මඟින් නො කෙරෙන අතර එම මඟපෙන්වීම සහ උපදෙස්‌ සැපයීම නිෂ්පාදකයා විසින් කරනු ලබනවා ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන් ම උළු සෙවිලි කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම ද නිෂ්පාදකයා කළ යුතු ය.

'SLS' ලාංඡනය මඟින් භාණ්‌ඩයක්‌ සහතික කර ඇත්නම් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයේ දක්‌වා ඇති පරාමිති හා සබැඳි භාණ්‌ඩය සතු ගුණාංග සඳහා පරීක්‌ෂණාත්මක ව ලබාගන්නා අගයන් ප්‍රමිතියේ දක්‌වා ඇති අවශ්‍යතා සියල්ල සපුරන බව සහතික කරනු ලැබේ. එම නිසා යම් මැටි සෙවිලි උළු නිෂ්පාදනයක්‌ 'SLS' ලාංඡනයෙන් සහතික කර ඇත්නම් එය පුළුස්‌සන ලද මැටි සෙවිලි උළු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය (දෙවැනි සංශෝධනය) - ශ්‍රී ලංකා ප්‍රමිතිය 2: 2016ට අනුකූල ව නිෂ්පාදනය කර ඇත. එවන් පුළුස්‌සන ලද මැටි සෙවිලි උළු භාවිතයෙන් ඔබේ සොඳුරු නිවහනට රුසිරු පෙනුමක්‌ පමණක්‌ නො ව ගුණාත්මක භාවයෙන් යුත් කල්පැවැත්මක්‌ ඇති වහලක්‌ ලබා දෙනු නියත ය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
තත්ත්ව ආරක්‌ෂණ අංශයේ සහකාර අධ්‍යක්‌ෂ
ඉංජිනේරු
කේ. ඒ. ධම්මිකා රත්නායක