logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දේශීය ශාකසාර සහ නැනෝ තාක්‌ෂණය මුසු කරමින් නිර්මාණය කළ පිළිකා සෛල පමණක්‌ ඉලක්‌ක කරන පිළිකානාශක ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදයක්‌

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි.

පිළිකාව යනු ඇසුවත් බිය උපදවීමට සමත් රෝගයකි. ලෝකය පුරා සිදු වන මරණ සඳහා වන ප්‍රධානතම හේතුවක්‌ වන්නේ පිළිකා රෝග බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ගෝලීය ව සිදු වන සැම මරණ හයකින් එකකට ම පිළිකා රෝග වගකියනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ වාර්ෂික ව නව පිළිකා රෝගීන් 17,000ක්‌ පමණ හඳුනාගැනෙන බව වාර්තා වෙයි. පසුගිය වසර තුළ පිළිකා රෝගීන් ගේ ප්‍රතිකාර සඳහා රජය රුපියල් මිලියන 4,727ක්‌ වැය කොට ඇත. එය අප රට තුළ ආර්ථිකයට බලපෑමක්‌ එල්ල කොට ඇති අතර සමාජීය ගැටලු බිහි වීමටත් හේතු සාධකයකි.

අද වන විට පිළිකා සුව කිරීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒවා සම්බන්ධ ගැටලු රාශියක්‌ පවතී. විශේෂයෙන් ම පිළිකානාශක ප්‍රතිකාර ක්‍රමවල ඉතා දරුණු අතුරු අබාධ රැසක්‌ තිබේ. එමෙන් ම එම ප්‍රතිකාරවල මිල අධික නිසා සාමාන්‍ය ජනතාව ඒවා ලබා ගැනීමේ දී මහත් දුෂ්කරතවන්ට මුහුණ දෙති. කාර්යක්‍ෂම, ඵලදායී, අතුරු ආබාධවලින් තොර හා මිලෙන් අඩු පිළිකානාශක ඖෂධයක්‌ සොයාගැනීම කාලීන අවශ්‍යතාවකි. ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති අප රට තුළ ඖෂධීය ශාක විශාල ප්‍රමාණයකින් පොහොසත් වෙයි. එම ශාකවල අන්තර්ගත වන පිළිකානාශක ගුණ ඇති රසායනික සංයෝග භාවිතයෙන් නව පිළිකානාශක ඖෂධ නිපදවිය හැකි නම් එය මේ ගැටලුවට තිරසාර විසදුමක්‌ ලෙස යොදාගැනීමට හැකියාවක්‌ පවතී.

මෙවන් වාතාවරණයක්‌ තුළ අඩු කාලයක්‌ ඇතුළත කාර්යක්‍ෂමව පිළිකා සෛල නැසිය හැකි ඖෂධයක්‌ නැනෝ තාක්‍ෂණය සහ දේශීය ශාකසාර යොදාගනිමින් නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අංශයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ සමත් වී සිටී. මේ පර්යේෂණය සාර්ථක ව සිදු කරමින් සිටින තරුණ විද්‍යාඥ ඩනුෂිකා මනතුංග මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක (Post Doctoral Fellow) වශයෙන් සේවයේ නිරත ව සිටියි. මේ පර්යේෂණයට අදාළව විදුසර ඉදිරිපත් කළ ප්‍රශ්න වෙනුවෙන් තරුණ විද්‍යාඥ ඩනුෂිකා පිළිතුරු දැක්‌වූයේ මෙලෙසිනි.



මේ පර්යේෂණය සඳහා ඔබ යොමු වුණේ කෙසේ ද?

මම කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක විද්‍යාලයයෙන් පාසල් අධ්‍යාපනය ලබා 2013 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයයේ රසායන සහ ජීව විද්‍යා විශේෂ උපාධිය හිමි කරගත්තා. ඉන් පසුව ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ ආයතනයේ වසර දෙකක පමණ කාලයක්‌ පර්යේෂණ විද්‍යාඥවරියක වශයෙන් කටයුතු කරනු ලැබුවා. අනතුරුව, 2014 වර්ෂයේ දී පශ්චාත් උපාධිය සඳහා ප්‍රවිෂ්ඨය ලබාගත් අතර ජාතික පර්යේෂණ ආයතනය මගිsන් ලැබුණු රුපියල් ලක්‌ෂ 35කට ආසන්න මුල්‍යමය ප්‍රතිපාදන යොදාගෙන කොළඹ විශ්වවිද්‍යාලයයේ ආචාර්ය උපාධිය ආරම්භ කළා. මෙහි දී මගේ ප්‍රධාන අවධානය යොමු වූයේ නැනෝ තාක්‌ෂණයේ එන නැනෝ අංශු යොදාගෙන පියයුරු පිළිකා සහ අක්‌මාව ආශ්‍රිත පිළිකා සඳහා ඖෂධයක්‌ නිර්මාණය කිරීමත්, ශ්‍රී ලංකාවේ උතුරු පළාත හා උතුරුමැද පළාත අවට දීර්ඝකාලීන ව පවතින වකුගඩු රෝගය හා සම්බන්ධ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමට නැනෝ අංශු නිෂ්පාදනය කිරීමති. ඇත්ත වශයෙන් ම මා මේ සඳහා මූලාරම්භය ලබාගත්තේ මගේ විද්‍යාවේදී විශේෂ උපාධිය හදාරන අවධියේයි. මම ඉතා ම ආදරයෙන් මේ අවස්‌ථාවේ මගේ ආදරණීය ආචාර්යවරුන් දෙපල වන කොළඹ විශ්වවිද්‍යාලයයේ ආචාර්ය රෝහිණී ද සිල්වා සහ මහාචාර්ය නලින් ද සිල්වා මතක්‌ කරන්න කැමතියි. ඔවුන් දෙපළ ගේ මගපෙන්වීම යටතේ නැනෝ තාක්‌ෂණය පිළිබඳව ඇති වූ විශේෂ කැමැත්ත සහ උනන්දුව නිසා විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේ දී නැනෝ අංශු භාවිත කර පිළිකා සෛලවල පවතින විකෘති තත්වයන් නිවැරැදි කිරීමට එම විකෘති තත්ත්වවලින් තොර ජාන පිළිකා සෛල වෙත ගමන් කරවා එම සෛලවල පවතින විකෘති තත්ත්වයන් නිවැරැදි කිරීමට ඇති හැකියාව පර්යේෂණ මට්‌ටමෙන් අත්හදා බලනු ලැබුවා. මෙහි දී බහුඅවයවයික චුම්බක නැනෝ අංශු මගින් පිළිකා සෛල පමණක්‌ ඉලක්‌ක කර ජාන බෙදාහැරීමට විශේෂ අවධානයක්‌ යොමු කරනු ලැබුවා. මේ පර්යේෂණ කටයුතු කොළඹ වෛද්‍ය විද්‍යාලයයේ ජෛව රසායන විද්‍යා අංශයේ පවත්වන ලද අතර එයින් මා ප්‍රථම වතාවට මේ නැනෝ තාක්‌ෂණයට ප්‍රවිෂ්ඨය ලබාගත්තා. ඒ සඳහා ආචාර්ය ප්‍රීති සොයිසා සහ පන්චිමා ජයරත්න සොයුරිය ලබා දුන් උපකාර ගැනත් මා සඳහන් කරන්න කැමතියි.

වර්තමානයේ පවතින පිළිකා නාශක ඖෂධවල ඇති අවාසි මොනවා ද? නව පිළිකා නාශක ඖෂධ සොයාගැනීම වැදගත් වන්නේ ඇයි?

වර්තමානයේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනයේ දී විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ පිළිකා සෛල පමණක්‌ නසන, අනෙකුත් නිරෝගී සෛල විනාශ නො කරන ඖෂධ නිෂ්පාදනය සඳහායි. ඉන් බලාපොරොත්තු වන්නේ හිතකර සෛල සදහා වන බලපෑම අවම කිරීමයි. මන්ද දැනට භාවිත වන ඖෂධ මගින් හිතකර තෝරාගැනීමකින් තොර ව පිළිකා සෛල සහ හිතකර සෛල යන දෙවර්ගය ම විනාශ කරනු ලබනවා. එහි අතුරු ආබාධ ලෙස කෙස්‌ හැළීම, ආහාර අරුචිය, කළු වීම, කෙට්‌ටු වීම සිදු වන අතර එමගින් රෝගියා ඉතා අපහසුතාවට පත් වනවා. ඔහු හෝ ඇය ජීවත් වීමේ බලපොරොත්තුව පමණක්‌ ඇති ව ජීවිත අරගලයක නිරත වනවා. මෙය විශේෂයෙන් සිදු වන්නේ රසායන චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy) යන ප්‍රතිකාර ලබාගැනීමේ දීයි. එම නිසා නව පිළිකා නාශක ඖෂධ සොයාගැනීම, විශේෂයෙන් ම පිළිකා සෛල පමණක්‌ විනාශ කරන ඖෂධ නිපදවීම කාලීන අවශ්‍යතාවක්‌. මාගේ පර්යේෂණ කටයුතුවල දී ස්‌වාභාවික ශාකසාරවලින් වෙන් කරගත් ඖෂධ සඳහා අවධානය යොමු කරනු ලැබුවා. මක්‌ නිසා ද යත් ස්‌වාභාවික ශාකසාර මගින් ශරීරයට වන හානිය ඉතා ම අවම වන අතර මේ ශාකසාර ඖෂධ මගින් පිළිකා සෑදීම අවම කිරීමට ද හැකියාවක්‌ පවතිනවා. මෙහි දී නැනෝ තාක්‌ෂණය භාවිතයෙන් බලාපොරොත්තු වන්නේ ඉලක්‌කගත ඖෂධ නිර්මාණය කිරීමත්, මේ ඖෂධවල ආයු කාලය වැඩි කිරීමත්, ඖෂධ ගමන් මෙග් දී ආරක්‌ෂාව සැපයීමත් සහ අවශ්‍ය අවස්‌ථාවේ පමණක්‌ ඖෂධ මුක්‌ත කිරීමත්.

'ඉලක්‌කගත ඖෂධ බෙදාහැරීම (Targeted Drug Delivery)' ශ්‍රී ලාංකික අපට අලුත් දෙයක්‌. මේ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ කරන්න.

ඔව්. මෙය ශ්‍රී ලංකාවට අලුත් තාක්‍ෂණයක්‌ වන නමුත් ලෝකයේ බහුල වශයෙන් පර්යේෂණ සඳහා යොමු වුණු අංශයක්‌. ඇත්තට ම කොළඹ විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨය මේ වෙනුවෙන් විශේෂ අවධනයක්‌ යොමු කර ඇති අතර ආචාර්ය රෝහිණී ද සිල්වා මහත්මිය ඇතුළු පර්යේෂක කණ්‌ඩායම විසින් ඒ සම්බන්ධව සක්‍රීය ව පර්යේෂණ කටයුතු පවත්වාගෙන යනු ලබනවා. ඉලක්‌කගත ඖෂධ බෙදාහැරීම යන්නෙන් අදහස්‌ කරන්නේ ඖෂධය අවශ්‍ය කරන රෝගී සෛල තිබෙන ස්‌ථානය කරා ගොස්‌ එම සෛල පමණක්‌ විනාශ කිරීමට කටයුතු කරන යාන්ත්‍රණයකටයි. මෙය විශේෂ වශයෙන් අදාළ වන්නේ පිළිකා වැනි රෝගකාරී අවස්‌ථාවක, පිළිකා සෛල පමණක්‌ ඉලක්‌ක කර එම පිළිකා නසන ඖෂධ පිළිකා සෛලවලට පමණක්‌ මුක්‌ත කිරීමයි. එමගිsන් අනෙකුත් හිතකර නිරෝගී සෛලවලට වන හානිය වළක්‌වාගත හැකියි. තව ද රෝගියාට වන අපහසුතාව සහ ඒ හා සම්බන්ධ අතුරු ප්‍රතිඵල ද අවම වනවා.

ඉලක්‌කගත ඖෂධ බෙදාහැරීම සඳහා නැනෝ තාක්‌ෂණය භාවිත කරන්නේ කෙසේ ද?

නැනෝ තාක්‍ෂණය මේ සඳහා විවිධ අන්දමින් භාවිත කළ හැකි වන අතර එහි දී පිළිකා සෛලවලින් ප්‍රකාශිත වන එම සෛලවලට ආවේණික හෝ එම සෛලවල වැඩි වශයෙන් ප්‍රකාශිත වන ප්‍රතිග්‍රාහක (ෆොaලික්‌ අම්ල ප්‍රතිග්‍රාහක, HER2 ප්‍රතිග්‍රාහක) ඉලක්‌ක කර ඒ ප්‍රතිග්‍රාහක සමග බන්ධනය වන හෝ බාහිර උත්තේජකයකට ප්‍රතිචාර දක්‌වන ඖෂධ මුක්‌ත කරන නැනෝ බහාලුම් නිර්මාණය කිරීමට පුළුවන්. බාහිර උත්තේජකයන් වන චුම්බක ක්‍ෂේත්‍රවලට ප්‍රතිචාර දැක්‌වීමට, උෂ්ණත්ව වෙනසකට ප්‍රතිචාර දැක්‌වීමට, අතිවනි ශක්‌තීන් (Ultrasound Energy)වලට ප්‍රතිචාර දැක්‌වීමට හැකි අන්දමේ නැනෝ අංශු නිපදවිය හැකියි. මේ නැනෝ අංශු බාහිර උත්තේජක මගින් උදාහරණයක්‌ ලෙස චුම්බක ක්‍ෂේත්‍රයකට ලක්‌ කොට එම අංශු වලට චුම්භක ගුණ ඇති නිසා එම ක්‍ෂේත්‍රය ආධාරයෙන් පිළිකා සෛලවලට පමණක්‌ ඉලක්‌ක කළ හැකියි. මෙහි දී, චුම්බක ගුණ සහිත නැනෝ අංශු රුධිර නළ හරහා බෙදාහැර පිළිකාව ඇති ශරීර කොටස චුම්බක ක්‍ෂේත්‍රයකට හසු කළ විට එම ස්‌ථානයට නැනෝ අංශු වැඩි වශයෙන් සාන්ද්‍රගත ව ඉතා කෙටි කාලයකින් (මිනිත්තු 15ක්‌ වැනි) සියලු පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතිනවා. මෙහි දී අවශ්‍ය වන්නේ ශරීරයට අහිතකර නො වන චුම්බක ක්‍ෂේත්‍රයකට රෝගියා ගේ පිළිකාව ඇති ස්‌ථානය පමණක්‌ නිරාවරණය කිරීමයි. එමගින් අනෙකුත් නිරෝගී සෛලවලට වන හානිය අවම වනවා. මේ ආකාරයට පිළිකා සෛල ඉලක්‌ක කිරීම මගින් අවශ්‍ය අන්දමට පිළිකා නසන ඖෂධ එම සෛලවලට පමණක්‌ බාහිර චුම්බක ක්‍ෂේත්‍රයක්‌ හරහා මුක්‌ත වීමට සැලැස්‌විය හැකියි. මෙය ඉලක්‌කගත ඖෂධ බෙදාහැරීමේ සංකල්පයයි. අප කණ්‌ඩායම මගින් සිදු කරනු ලබන්නේ මෙවැනි බාහිර උත්තේජවලට ප්‍රතිචාර දක්‌වන නැනෝ අංශු පිළිකා සෛල මර්දනයට යොදාගැනීමයි.

ඔබ මේ පර්යේෂණය සැලසුම් කළ හා පැවැත්වූ අයුරු අපට පැහැදිලි කරන්න.

මුලින් ම දැනට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බහුල ව පවතින පිළිකා වර්ග දෙකක්‌ වන පියයුරු පිළිකා සහ අක්‌මාව ආශ්‍රිත පිළිකා පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමෙන් පසුව එම පිළිකා නැසීමට දැනට බහුල ව යොදාගන්නා කෘත්‍රිම රසායනික චිකිත්සක (chemotherapeutic) ඖෂධ වර්ග හදුනාගත්තා. ඉන්පසු එම ඖෂධ සතු ව පවතින රසායනික ප්‍රතිරෝධය (Chemoresistance) නැත්නම් පිළිකා සෛල එම ඖෂධවලට ප්‍රතිරෝධයක්‌ දැක්‌වීම පිළිබඳව අවධානය යොමු කළා. මෙහි දී මේ ඖෂධ දීර්ඝකාලීන ව භාවිත කිරීමේ අතුරුඵලයක්‌ ලෙස මේ රසායනික ප්‍රතිරෝධ තත්ත්වය හටගන්නා බව අප වටහාගත්තා. ඉන්පසුව එයට ආදේශකයක්‌ වශයෙන් ස්‌වාභාවික ශාකසාර (කහ සහ ඉගුරු තෙල්) යොදාගෙන එම රසායනික ප්‍රතිරෝධය පහ කළ හැකි අයුරු අධ්‍යයනය කරනු ලැබුවා.

පසුව මේ ද්‍රව්‍ය තැන්පත් කළ චුම්බක ගුණ සහිත යකඩ ඔක්‌සයිඩ් නැනෝ අංශු භාවිත කර පිළිකා සෛල විනාශ කළ හැකි ආකාරය දීර්ඝ ලෙස අධ්‍යයනය කළා. මෙහි දී විශේෂ අවධානයක්‌ යොමු වූයේ ලංකාවේ පවතින ඇපටයිට්‌ නිධිවල අඩංගු ස්‌වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඖෂධ තැන්පත් කළ හැකි ආකාරයේ හර කවර (coreshell) නැනෝ අංශු (චුම්බක ගුණ සහිත) නිපදවීමටයි. පසුව එම නැනෝ අංශුවල සෞඛ්‍ය හිතකරභාවය ද පරීක්‌ෂණ මගින් අධ්‍යයනය කරන ලැබුවා. මෙහි දී නැනෝ අංශු සංශ්ලේෂණය කිරීම කොළඹ විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අංශයේ දී සිදු කළ අතර, එම අංශු පසුව ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‍ෂ භාවිතයෙන් හදුනාගැනීම ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ ආයතනයේ දී සහ එංගලන්තයේ University College London, ඇමෙරිකාවේ Michigan Technological University සහ ඉන්දියාවේ IIT Madras යන විශ්වවිද්‍යාලවල දී සිදු කළා. මේ නැනෝ අංශු හා සම්බන්ධ ජීව විෂ හෝ හිතකරභාවය පිළිබඳ පර්යේෂණ කොළඹ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව ජීව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මියගේ හා ආචාර්ය චානිකා ජයසිංහ මහත්මියගේ සහාය ඇති ව පැවැත්වූවා. අනතුරු ව, සියලු පිළිකා සෛල හා සම්බන්ධ පර්යේෂණ කටයුතු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ සහ ආචාර්ය දුල්හාරි විඡේරත්න මෙනෙවියගේ මගපෙන්වීම යටතේ සිදු කරනු ලැබුවා.

මේ පර්යේෂණයේදී ඔබ විසින් සිදු කරන ලද වැදගත් සොයාගැනීම් මොනවා ද?

මෙහි දී ඉතා වැදගත් නිරීක්‍ෂණ රැසක්‌ අපට දකින්නට ලැබුණා. පළමුව මේ නැනෝ අංශු ඉතා ඉක්‌මනින් පිළිකා සෛල විනාශ කරන බවත් (පැය 12ක්‌ තුළ) එය දැනට භාවිත කරන Doxil වැනි Doxorubicin අන්තර්ගත ඖෂධවලට වඩා වැඩි ක්‍රියාකාරීත්වයෙන් යුතු බවත් තහවුරු වුණා. තව ද මීයන් භාවිත කොට සිදු කළ පර්යේෂණවල දී මූලික වශයෙන් මේ ඖෂධ බහාලූ නැනෝ අංශු රක්‌තාණුවලට, ඇටමිදුළු සහ පිළිකා නො වන නිරෝගී සෛල වලට හානි නො කරන බවත් තහවුරු වුණා. සාමාන්‍යයෙන් දැනට භාවිත කරන ඖෂධ මගින් මේ සෛලවලට විශාල වශයෙන් හානි පමුණුවනවා. එහෙත් මෙහි දී තහවුරු වූයේ මේ නැනෝ අංශු මගින් සිදු වන හානිය අවම බවයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ බාහිර චුම්බක ක්‍ෂේත්‍රයක්‌ මගින් ඉතා කෙටි කාලයකින් මේ ඖෂධ අවශ්‍ය පිළිකා සෛලවලට පමණක්‌ බෙදාහැරීමයි.

වර්තමානයේ තිබෙන අනෙකුත් පිළිකා නාශක ඖෂධවලින් ඔබගේ සොයාගැනීම වෙනස්‌ වන්නේ කෙසේ ද?

මේ නැනෝ අංශු අනෙකුත් පිළිකා නාශක මෙන් නොව රෝගියාට ඇති කරන අතුරු ආබාධ ඉතා ම අවමයි. විශේෂයෙන් ම අනෙකුත් ඖෂධ භාවිතයෙන් ඇති වන කෙස්‌ හැළීම්, ආහාර අරුචිය, හෘදයාබාධ, ස්‌නායු රෝග අවම කරගත හැකියි.

ඔබ විසින් සංශ්ලේෂණය කරන ලද මේ නැනෝ අංශු ඖෂධ සඳහා භාවිතයට අමතර ව තවත් යෙදුම් සඳහා භාවිත කළා ද?

ඔව්. මේ නැනෝ සංයුක්‌තය විවිධ නැනෝ අංශු සමූහයකින් සාදා ඇති නිසාවෙන් අතුරු පර්යේෂණයක්‌ ලෙස එම අංශු ජල පිරිපහදුව සදහා යොදාගත හැකි පෙරණ ද්‍රව්‍යයක්‌ (Filter Material) නිපදවීමටත් මෙහි දී විශේෂ අවධානය යොමු කරනු ලැබුවා. ස්‌වාභාවික ඇපටයිට්‌ (apatite) නැනෝ අංශු භාවිත කර ජලයේ ඇති බැර ලෝහ වන කැඩ්මියම්, ලෙඩ්, ආර්සනික්‌, ක්‍රෝමියුම්, නිකල් සහ ඩයි වර්ග ඉතා පහසුවෙන් සහ අඩු කාලයකින් (තත්පර 30කින්) ඉවත් කළ හැකි පෙරණයක්‌ නිර්මාණය කිරීමත් මෙහි අරමුණු වුණා. මෙහි දී මේ නැනෝ අංශු නිෂ්පාදනය සඳහා කකුළුවන්ගේ/කක්‌කුන්ටන්ගේ (Crustacea විශේෂ) පවතින පොලිසැකරයිඩ, ඇල්ගීවල පවතින පොලිසැකරයිඩ සහ සෙලූලොස්‌ භාවිත කෙරුණා. මේ නැනෝ අංශු යොදාගෙන කාර්යක්‌ෂම, ඉතා ඉක්‌මන්, පහසු ආකාරයකින් ජලය පිරිසිදු කිරීම සිදු කළ හැකි මෙවලමක්‌ නිර්මාණය කිරීම කොළඹ විශ්වවිද්‍යාලයයේ රසායන අංශයේ දී දැන් සිදු කරනු ලබනවා.

පර්යේෂණවල නිරත වෙද්දී ඔබ මුහුණ දුන් අභියෝග මොනවා ද? ඒවා ජයගත්තේ කෙසේ ද?

ඇත්තට ම මේ නැනෝ අංශු ශ්‍රී ලංකාවේ සමහර උපකරණවලින් (ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‍ෂ හරහා) හදුනාගැනීමේ දී එම අංශුවල ඇති චුම්බක ගුණ නිසාවෙන් බාධා පැමිණි නමුත්, අප හට විදේශ රටවල සහයෝගය නොමසුරුව ලැබුණු හෙයින්, මේ නියෑදි ඇමෙරිකාවට සහ ඉන්දියාවට යවා වැඩිදුර අධ්‍යයනය කිරීමට ඉඩ ප්‍රස්‌තාව ලැබුණා. මෙහි දී විශේෂයෙන් ආචාර්ය ගැරත් විලියම්ස්‌ (Dr. Gareth Williams) සහ මහාචාර්ය යෝක්‌ කින් යෑප් (Prof.Yoke Khin Yap) ගැන විශේෂයෙන් සදහන් කළ යුතුයි. ඉතා මිල අධික වන මේ විශේෂ පර්යේෂණ කිසිදු මුදල් අය කිරීමකින් තොර ව කිරීමට ඔවුන් කැමැත්ත පළ කළේ අප වැනි රටක මෙවැනි වූ නව සොයාගැනීම් සිදු කළත් ඒවා පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට මූල්‍යමය වශයෙන් ඇති නොහැකියාව නිසයි. තව ද නැනෝ තාක්‍ෂණ ආයතනය මගින් කාලය වැය කර ලබා දුන් සහයෝගය පිළිබඳ වත් මා මෙහි අනිවාර්යයෙන් ම සඳහන් කළ යුතුයි. විශේෂයෙන් ම ආචාර්ය නුවන් සිල්වා, ඉදුනී සිරිවර්ධන, දමයන්ති දහනායක, සුනන්ද ගුණසේකර, හරීන් විඡේවර්ධන සහ මහාචාර්ය ගෙහාන් අමරතුංග යන මහත්ම මහත්මීන් වත් මෙහි දී සඳහන් කළ යුතු මයි. පිළිකා සෛල වර්ධනය සහ අදාළ පර්යේෂණ කටයුතු කරගෙන යැමට කිසිත් දැනුමක්‌ නොමැති වූ මා හට සිනාමුසු මුහුණකින් සැම විට ම නොමඳ සහයෝගය ලබා දුන් මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය ප්‍රීති උඩගම, ආචාර්ය දුල්හාරි විඡේරත්න, චානිකා ජයසිංහ මා මතක්‌ කිරීමට කැමතියි. මේ සියල්ල අභිබවා වචනයෙන් ක්‍රියාවෙන් මා හට සැම විට ම අත්වැලක්‌ වූ, ධෛර්යවත් කළ, නොමසුරුව සහයෝගය ලබා දුන් සහ අදටත් ලබා දෙන ආචාර්ය රෝහිණි ද සිල්වා මහත්මිය සහ මහාචාර්ය නලින් ද සිල්වා මහතා මා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් මේ අවස්‌ථාවේ සිහිපත් කරනවා. ඊට අමතර ව මගේ ආදරණීය මාපියන්ට ද, මගේ ආදර ස්‌වාමිපුරුෂයා වන වෛද්‍ය පබාකර කොස්‌තාට ද මා සමග නිබඳ ව සිටිමින් ශක්‌තියක්‌ වූවාට මාගේ ප්‍රණාමය හිමි වනවා. තව ද නම් වශයෙන් සඳහන් කළ නොහැකි වූ නන් අයුරින් මා හට සහයෝගය දුන් සියල්ලන් ම මෙහි දී මතක්‌ කොට සිටිනවා.

ඔබ විසින් නිර්මාණය කරන ලද මේ පිළිකා නාශක ඖෂධය සෘජු ව ම රෝගීන්ට භාවිත කළ හැකි ලෙස තවත් වැඩි දියුණු කර ලබා දීමට ඔබ උත්සාහ කරනවා ද?

ඔව්. සෘජු ව ම රෝගීන්ට ලබා දීමට ප්‍රථමව පූර්ව සායනික අත්හදා බැලීම් (Pre-Clinical Trials), සත්ත්ව ආකෘති (Animal Models) යොදාගෙන සිදු කිරීමටත් පසුව මානව සායනික අත්හදා බැලීම් (Human Clinical Trials)වලට යොමු වීමටත් බලාපොරොත්තු වනවා. තව ද මුඛ (Oral) සහ අන්තශ්ශෛරික (Intravenous) මාර්ගවලට අමතර ව මේ ඖෂධ ලබා දිය හැකි ආදේශක මාර්ග පිළිබඳ වත් දැනට පර්යේෂණ කරමින් පවත්වනවා.

ලෝකය පුරා ඔඩු දුවා ඇති සමාජ ආර්ථික ගැටලුවක්‌ වන පිළිකා රෝගයට පිළියමක්‌ ලෙස නවීන තාක්‍ෂණය සහ දේශීය ශාකසාර භාවිතයෙන් ඖෂධ නිර්මාණය කිරීමට අප රටේ විද්‍යාඥයන් යොමු වීම බෙහෙවින් ප්‍රසංශාවට ලක්‌ කළ යුතු කරුණක්‌. අවම පහසුකම් මධ්‍යයේ වුවත් නොපසුබට උත්සාහයෙන් යුතු ව ඉතා උසස්‌ අන්තර්ජාතික මට්‌ටමේ මෙවන් සොයාගැනීම් සිදු කිරීම විශිෂ්ටයි. මේ පර්යේෂණයෙන් නිර්මාණය කළ ඖෂධ වැඩි දුර පර්යේෂණවලින් පසුව පිළිකා නාශක ඖෂධයක්‌ ලෙස වෙළෙඳපළට හදුන්වා දිය හැකි වුව හොත් එය අප රට ලබන සුවිශේෂී ජයග්‍රහණයක්‌. අප රට තුළ තවත් දැවෙන ප්‍රශ්නයක්‌ වන වකුගඩු රෝගයට පිළියමක්‌ ලෙස පානීය ජලය පිරිපහදු කිරීමට පෙරණයක්‌ නිර්මාණය කිරීමට මේ පර්යේෂකයන් පෙළඹීමත් අගය කළ යුතුයි. මේ පර්යේෂණවල ප්‍රතිඵල අනාගතයේ ශ්‍රී ලංකා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ පෙරළියක්‌ ඇති කිරීමට සමත් වනවා නොඅනුමානයි.

මාධවී ද සිල්වා