logo3.gif (702 bytes)

HOME


මගී - බස්‌ සේවක ගැටුමේ මනෝ සමාජීය පැතිකඩ

පසුගිය දා අපගේ හිතවතියකට පානදුර කුරුණෑගල බසයක දී ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදු විය. එය නම් කොන්දොස්‌තරවරයා ඇගේ මුදල් මහා දවාලේ කොල්ලකෑම හෙවත් ඉතුරු සල්ලි නො දී මගහැරීමයි. ඇය තම ගමන් වාරය වූ රුපියල් 100 සදහා රුපියල් 500ක නෝට්‌ටුවක්‌ මේ තක්‌කඩි කොන්දොස්‌තරවරයාට දී තිබූ අතර ඔහු පසුව ඉතිරි මුදල් දෙන්නට පොරොන්දු වුව ද බසයෙන් බැසීමට ළං වී මුදල් ඉල්ලූ විට කියා ඇත්තේ කාට වත් ඉතුරු දීමට නැති බවයි. එ පමණකින් නො නැවතුණ මේ කොන්දොස්‌තර ඇය වංචාවක්‌ කරන බව සදහන් කරමින් බැන වැදී ඇත.

මෙය එක්‌ අතකට අසාමාන්‍ය අමුතු සිද්ධියක්‌ නො වේ. දිනපතා බසයෙන් යන එන අය මෙවැනි අත්දැකීම්වලට ඕනෑ තරම් මුහුණ දී ඇත.

මීටත් වඩා ජුගුප්සාජනක සිද්ධියක්‌ ගැන ගොසිප් වෙබ් අඩවියක වාර්තා කර තිබිණි. එය නම් 138 කඩවත කොටුව බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ඉතුරු මුදල් ඉල්ලූ තරුණියට මුදල්a නො දී බසයෙන් එළියට ඇද දැමීමයි. එම වෙබ් අඩවිය අදාළ බස්‌ රථයේ අංකය ද සදහන් කර තිබිණි.

බස්‌ රථවල දී ඉතුරු සල්ලි නො දීම හා ඒ අරභයා රණ්‌ඩුවලට පැටලීම ආදිය සිදු වන බවත්, ඒ හේතුන් නිසා මගීන් ශාරීරික හා මානසික පීඩාවලට ලක්‌ වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කේ. කේ. ආර්. තනුෂන් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. Bus conductors in selected routes of Jaffna (A critical study on safety) මැයෙන් වූ මේ අධ්‍යයනයේ දී ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි අකටයුතුකම් සිදු වීමට මූලික හේතුව ලංකාවේ බස්‌ කොන්දොස්‌තරවරුන්ට නිසි පුහුණුවක්‌ නොමැති වීම බවයි. උක්‌ත අධ්‍යයනයේ දී තනුෂන් යාපනයේ මාර්ගවල බස්‌ ධාවනයට අදාළව කරුණු රැස්‌කර ඇත. ඔහු ගේ සාම්පලය 26ක එකකි. එයට මගීන් 12ක්‌ ද, කොන්දොස්‌තරවරුන් 16ක්‌ ද ඇතුළත් ය. මෙහි දී පෞද්ගලික අංශයේ මෙන්ම ලංගමයේ කොන්දොස්‌තරවරුන් ද සහභාගි කරගෙන තිබිණි. සාපේක්‍ෂ ව ලංගම කොන්දොස්‌තරවරුන් ආචාරශීලී බව ද, මගීන්ට හොදින් සලකන බව ද මේ අධ්‍යයනය පෙන්වා දෙයි. පුහුණුව අඩුකම, අඩු වයසින් සේවයට බැදීම, අඩු අධ්‍යාපනය වැනි කරුණු පෞද්ගලික බස්‌ රථවල කොන්දොස්‌තරලාගේ දුර්වලතා සදහා මූලික වන බව තනූෂන් පෙන්වා දෙයි. විශේෂයෙන් ම පෞද්ගලික කොන්දොස්‌තරවරුන්ට මගීන් සමඟ සන්නිවේදනය කිරීමේ අවබෝධය තබා මාර්ග සංඥ හදුනාගැනීමේ අවබෝධය වත් නැති බව පර්යේෂකයා පෙන්වා දෙයි.

බස්‌ කොන්දොස්‌තරවරුන් ඉතුරු සල්ලි නො දීම ගැන ඔහු තම අධ්‍යයනයේ දී විශේෂ අවධානයක්‌ යොමු කොට ඇත. රුපියලක්‌, දෙකක්‌, තුනක්‌ දීමට ඇති විට කොන්දොස්‌තර එය නො දී සිටීමට පෙලඹෙන බව පර්යේෂකයා පෙන්වා දෙයි. ඔහු ගේ අධ්‍යයනයට බදුන් වූ සාම්පලයේ සිටි සියලු ම මගීන් කියා ඇත්තේ කොන්දොස්‌තරවරුන් බොහෝ විට ඉතිරි මුදල් ගසා කන බවයි.

සමහර අවස්‌ථාවල දී බස්‌ කොන්දොස්‌තරවරුන් ඉතිරි මුදල් දීම සදහා මගියා ගේ වෙලාව නාස්‌ති කර දමන බව ද මේ පර්යේෂකයා තමා ලද දත්ත (සම්මුඛ සාකච්ඡා හරහා) මඟින් පෙන්වා දෙයි. ඒ ගමනාන්තයේ දී කඩවලට ගොස්‌ මුදල් මාරු කිරීම වැනි ක්‍රියා හරහා ය.

කොන්දොස්‌තරවරුන් මගීන්ට කතා කරන ආකාරයේ ඇති අවිනීතභාවය ගැන ද පර්යේෂකයා දීර්ඝ ව විස්‌තර කරයි. පර්යේෂකයා තම නිබන්ධයේ විශේෂ සදහනක්‌ කරමින් මෙසේ පවසයි.

"මේ කොන්දොස්‌තරවරුන් ගේ කතා කිරීමේ ශෛලිය (අපහාසාත්මක) ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අවස්‌ථාවල දී අපට ද වටහාගත හැකි විය."

කෙසේ වෙතත් ඇතැම් අවස්‌ථාවල දී ලංගම බස්‌ රථ රියදුරන් පවා මාරු සල්ලි නොමැති ව නගින මඟීන් බසයෙන් බස්‌වන අවස්‌ථා ගැන ද පර්යේෂකයා වාර්තා කරයි. ගැටලු සහගත අවස්‌ථාවක දී නිසි ලෙස ක්‍රියා කරන්නට බස්‌ කොන්දොස්‌තරවරුන් අපොහොසත් බව ද පර්යේෂකයා පෙන්වා දෙයි.

කොන්දොස්‌තරලාට දුන් ප්‍රශ්නාවලියේ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ බසයේ දී මගියකු වෙතින් ස්‌ත්‍රී පක්‍ෂයේ කෙනකුට අතවරයක්‌ වන බව දුටුවොත් කුමක්‌ කරන්නේ ද යන්නයි. හැම පෞද්ගලික කොන්දොස්‌තරයකු ම කියා තිබුණේ පළමුව අතපය කැඩෙන්නට ම ගසා පොලිසියට බාර දෙන බවයි. ලංගම කොන්දොස්‌තරලා නම් මීට පටහැනි ව පළමුව පොලිසියට භාර දෙන බව සදහන් කර තිබිණි.

මේ සමීක්‍ෂණයේ දී පර්යේෂකයා අනාවරණය කරගත් වැදගත් කරුණක්‌ වූයේ මගීන් ගෙන් ස්‌ත්‍රී පාර්ශ්වයේ වැඩි දෙනා පෞද්ගලික බස්‌වලට වඩා ලංගම බස්‌වල යන්නට ප්‍රිය කළ බවයි. සමහර ස්‌ත්‍රීන් පවසා තිබුණේ කොන්දොස්‌තරවරුන් තමන් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගන්නට උත්සාහ ගන්නා නිසා පෞද්ගලික බස්‌වල යන්නට අකැමැති බවයි.

පෞද්ගලික බස්‌වල ටිකට්‌ පත් දීමේ ක්‍රමවේදයේ විධිමත් බවක්‌ නැතැයි ද පර්යේෂකයා පෙන්වා දෙයි. ටිකට්‌ ලබා දීම කලාතුරකින් කෙරෙන අතර එ නිසා කලින් මුදල් දුන් මගීන් ගෙන් යළි මුදල් ඉල්ලා මගීන්ට පීඩා කිරීම් කරන අවස්‌ථා ද ඇති බව සදහන් කරයි.

බසයේ දී ශබ්දයෙන් වන හිරිහැර ගැන ද මේ අධ්‍යයනයේ දී අවධානය යොමු කර තිබේ. සමීක්‍ෂණයට සහභාගී වූ සියලු දෙනා ම අධික ශබ්ද බසය තුළ පවතින බව (රේඩියෝ හෝ රූපවාහිනි) චෝදනා කළ හ. ශබ්දය අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම්වලට කොන්දොස්‌තරලා ඇහුම්කන් නො දෙන බවට ද ඔවුන් සදහන් කර තිබිණි. (මේ අධ්‍යයනය 2016 දී අග්නිදිග විශ්වවිද්‍යාලයයේ 6 වැනි පර්යේෂණ සමුළුවට ඉදිරිපත් කරන ලද්දකි).

උක්‌ත අධ්‍යයනය යාපනය ප්‍රදේශයට අදාළ ව කරන ලද්දක්‌ වුව ද අප වැඩි දෙනකු වෙසෙන ප්‍රදේශවල හා යාපනයේ 'කොන්දන්' අතර ලොකු වෙනසක්‌ නැති බව පෙනේ.

බස්‌රථ තුළ දී කාන්තාවන්ට සිදු වන අතවර

කොන්දොස්‌තරවරුන් වෙතින් හා රියදුරන් වෙතින් මගීන්ට වන හිරිහැර බැනුමකින් හෝ පහර දීමකින් පවා සමහර විට කෙළවර වන්නේ නැත.

බසය තුළ ස්‌ත්‍රීන් හෝ දැරියන් හෝ දූෂණය කළ මෙන් ම මිනිසුන් මරා දැමූ බස්‌ සේවකයන් ගැන ද වාර්තා වේ. Women's Unequal Status යන ග්‍රන්ථය සම්පාදනය කරන ඉන්දීය ලේඛක ආචාර්ය V. Mohini Giri සදහන් කරන්නේ ඉන්දියාව තුළ පොදු බස්‌ රථවල දී මෙන්ම පාසල් බස්‌රථවල දීත් ගැහැනු ළමයින් (හෝ ස්‌ත්‍රීන්) කිසියම් හෝ දූෂණයකට නිරතුරු ලක්‌ වන බවයි.

කොන්දොස්‌තරවරුන් හා රියදුරන් වෙතින් දැරියන් හා යුවතියන් බස්‌ රථ තුළ දී ම දූෂණයට ලක්‌ වූ අවස්‌ථා ගැන අප රටින් ද වාර්තා වී ඇති බව අපට අමතක නැත. පිටකොටුව බස්‌ නැවතුම්පළේ දී හා ගුණසිංහපුරයේ දී මෙවැනි සිදුවීම් බහුලව සිදු වන බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි.

බොහෝ විට සෙනග අඩු බස්‌වල දී ස්‌ත්‍රීන්ට මෙවැනි අතවර බස්‌ සේවකයන් ගෙන් සිදු වේ. සමහර විට බස්‌ රථයේ අන් සියලු දෙනා බැස ගිය පසු ඉතිරි වන්නේ ස්‌ත්‍රියක නම් බස්‌ සේවකයකු වෙතින් ඇයට අනතුරක්‌ වන්නට ඇති ඉඩකඩ ඉහළ ය. සමහර විට නින්දට වැටී සිටි තරුණියක්‌ මෙසේ බස්‌ සේවකයන් වෙතින් දූෂණයට ලක්‌ වේ.

පසුගිය දිනක දී පිටකොටුව බස්‌ නැවතුම අසල කුලියාපිටිය බසයක්‌ එන තුරු බලා සිටි ඇගලුම් හල් යුවතියකට නවත්වා තිබූ තම බසයට වී වාඩි වී විවේක ගන්නා ලෙස (කුලියාපිටිය බසය එන තුරු) ආරාධනා කළ කොන්දකු රියදුරකු හා එක්‌ ව ඇය දූෂණය කර තිබිණි. මෙවැනි සිද්ධීන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වාර්තා නො වන සංඛ්‍යාව වැඩි යෑයි ද සිතිය හැකි ය.

ශ්‍රී ලංකාවේ දී බස්‌ රථ තුළ ස්‌ත්‍රින් දූෂණය වීම් වාර්තා වුව ද මරා දැමීම් ගැන සුලබ ව වාර්තා වී නැත. එහෙත් ඉන්දියාවේ එවැනි සිදුවීම් ගැන ද නිරතුරු වාර්තා වේ. 2012 දී ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක වූ ජෝති සිං බස්‌ රියක කොන්දොස්‌තර, රියදුරා හා ඔවුන් ගේ සගයන් පිරිසක්‌ විසින් දූෂණය කොට මරා දැමීමට අදාළව විශාල කලබැගෑනියක්‌ මතු විය. ඇය මේ බස්‌ බල්ලන් විසින් දූෂණය කරනු ලැබ තිබුණේ ඇගේ පිරිමි හිතවතකු ද බසය තුළ සිටිය දී ය.

මුළු ඉන්දියාව ම කැළඹූ මේ දිල්ලි සිද්ධියෙන් පසු බොහෝ ඉන්දියානුවන් සිතුවේ බස්‌වල ගමන් ගැනීමේ අනාරක්‍ෂිත බව තුරන් වනු ඇත කියා ය. මන්ද යත් ඉන්දීය අධිකරණය දිල්ලියේ වෛද්‍ය සිසුවිය මරා දැමූ බස්‌ සේවකයන්ට දැඩි දඩුවම් ලබා දුන් හෙයින් ඒ බය නිසා හෝ ඔවුන් වැදගත් ලෙස හැසිරෙනු ඇතැයි මිනිස්‌සු සිතූ හ. එහෙත් 2015 මැයි මාසයේ දීත් පන්ජාබ්වලින් මෙවැනි ම සිද්ධියක්‌ වාර්තා විය.Ashrdeep Kapur නම් වූ රූමත් පාසල් ශිෂ්‍යාව බස්‌ කොන්දොස්‌තරයකු හා ඒ රියේ ම රියදුරු විසින් දූෂණය කොට බසයෙන් පිටතට ඇද දමන ලදි. එහි දී ඇය මරණයට පත් ව තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දී මේ බස්‌ සේවකයන් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා ලදි. 2016 හා 2017 වසරවල දීත් ඉන්දියාවෙන් මෙවැනි සිද්ධි වාර්තා විය. මේවාට එරෙහි ව පාරවල උද්ඝෝෂණ ද දැකගත හැකි විය. එහෙත් මේවා තවමත් නතර වී නැත.

බස්‌ හා දුම්රියවල දී වන අතවරවලට කොන්දොස්‌තර වගකිව යුතු ය

එක්‌සත් ජාතීන් ගේ ජනගහන අරමුදල (UNPF) විසින් 2015 දී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ ලංකාවේ ස්‌ත්‍රීන් ගෙන් 90%ක්‌ පමණ පොදු ප්‍රවාහන සේවාවන් තුළ දී අතවරයට බදුන් වන බව ය. ලංකාවේ පළාත් නවයේ ම වයස අවුරුදු 15-35 අතර ස්‌ත්‍රීන් 2,500ක ගෙන් මෙහි දී තොරතුරු රැස්‌ කොට තිබිණි.

මෙහි දී අතවරයට ලක්‌ වූ අය ගෙන් (මේවා කායික අතවර මෙන් ම වාචික අතවර ද වේ) සියයට 66ක්‌ ම පවසා තිබුණේ තම රැකියා හා අධ්‍යාපන කටයුතුවලට මේ රථ තුළ දී වන හිරිහැර අහිතකර ආකාරයට බලපෑ බවයි.

එසේ නම් මේ බස්‌වල දී සිදු වන අතවර ප්‍රබල සමාජ ගැටලුවකි. මේ අතවර සිදු කර තිබූ බහුතරය මගීන් මිස බස්‌ සේවකයන් නො වුණ ද මේ අතවර වළක්‌වාලීමේ විශාල වගකීමක්‌ බස්‌ සේවකයන්ට ඇති බව අධ්‍යයනය පෙන්වා දෙයි. කොන්දොස්‌තරවරුන් මෙවැනි ගැටලුවල දී සාධනීය මැදිහත් වීමක නො යෙදෙන බව ද පෙනී ගොස්‌ ඇත.

UNPF අධ්‍යයනය සදහා පුද්ගලයන් 2,500ක ගේ දත්ත ලබාගෙන තිබිණි. එහි දී හෙළි වූ වැදගත් කරුණක්‌ වූයේ කොන්දොස්‌තරලා ගැහැනු ළමයින් බසයට නංවා ගැනීමේ දී ඔවුන්ගේ සිරුරු අනවශ්‍ය ලෙස ස්‌පර්ශ කරන බව ය.

අතවර යන්නෙන් අදහස්‌ වන්නේ පූර්ණ වශයෙන් සිදුවන ලිංගික ප්‍රවේශයන් පමණක්‌ නො වේ. ගැහැනු ළමයකු ගේ සිරුර අනිසි ලෙස ස්‌පර්ශ කිරීම හෝ හිතාමතා සිරුරට තද වීම, හේත්තු වීම ද අතවරයකි. මේ අතවර සදහා නීතියෙන් දඩුවම් ලබා දිය හැකි ය. එහෙත් රුපියලකට දෙකට ලෝබ වී බස්‌ රියට සාඩින් පැක්‌ කරන්නා සේ සෙනග පටවන කොන්දොස්‌තරලා නිසා මෙවැනි අයට තම කාර්යය සාධාරනීකරණය කරන්නට ඉඩක්‌ ලැබේ.

"බස්‌ එකේ සෙනග පිරිල නෙ. තෙරපෙනවා තමයි" කියමින් තමා හිතාමතා කළ පහත් ක්‍රියාවට හේතුවක්‌, සමාවට කරුණක්‌ දැක්‌වීමට එවැනි දේ කරන්නන්ට ඉඩ ලැබේ.

බැරෝඩා විශ්වවිද්‍යාලයයේ භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය බින්දු භාත් විසින් සිදු කරන ලද අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ බස්‌ රථ රියදුරන් හා කොන්දොස්‌තරවරුන් මානසික රෝගවලට බහුල ව ගොදුරු වූවන් බව ය. මේ අධ්‍යයනය ගැන තොරතුරු Journal of Health Management හි පළ විය.

බස්‌ කොන්දොස්‌තරවරුන් සිය වෘත්තීය කාලය තුළ කටයුතු කරන්නේ වගකීම් විරහිත ආකාරයට බව පෙනෙන්නට තිබේ. බැලූ බැල්මට පෙනෙන දෙයක්‌ වන්නේ බස්‌රථ අතර ඇති තරගකාරීත්වය, මුදලට ඇති ලොල් බව වැනි දේත්, නිසි පුහුණුව නො ලැබීම වැනි දේත් මොවුන් ගේ මේ සමාජ විරෝධී හැසිරීම්වලට මූලික වන බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ Shivaji විශ්වවිද්‍යාලයයේ Gandhali Vijay Kharge හා S.A. Bojerger යන අය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ බස්‌ කොන්දොස්‌තරවරුන් ගේ දුර්වල මානසික සෞඛ්‍යය ද මේ ගැටලු සදහා බලපා ඇති බවයි. මේ අධ්‍යයනයේ දී පර්යේෂකයන් Kolhapur හි බස්‌ කොන්දොස්‌තරුන් 273ක ගේ දත්ත රැස්‌ කර තිබේ. මෙයට කොන්දොස්‌තරවරියන් 17ක්‌ ඇතුළත් විය. මේ අධ්‍යයනය ගැන තොරතුරු International Journal of Economic and Business Review හි ඇතුළත් වේ.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සේවා අතෘප්තිය හේතු කොටගෙන බොහෝ කොන්දොස්‌තරලා මානසික පීඩාවන්ට ගොදුරු වී සිටින බවත් එය ඔවුන් ගේ වෘත්තිය කෙරෙහි සෘජු ව ම බලපාන බවත් ය. වේලාවට ආහාර ගන්නට නො ලැබීම, නින්ද නො ලැබීම වැනි දේ මෙන්ම තෘප්තිමත් වැටුපක්‌ නො ලැබීම වැනි කරුණු ද ඔවුන් ගේ මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන බව මේ අධ්‍යයන පෙන්වා දෙයි.

මේ රෝගී තත්ත්වයන් ඔවුන් වෙතින් මගීන්ට ලැබෙන සේවය කෙරෙහි ද අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොන්දොස්‌තරලා අමානුෂික ඇයි?

අමානුෂික වූත්, අකාරුණික වූත් කොන්දොස්‌තරලා සිටින්නේ ලංකාවේ පමණක්‌ නො වේ. පසුගිය දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින් වාර්තා වූ සිද්ධියකින් කියෑවුණේ බසයකින් තාත්තා කෙනකු හා බිළිදියක එළියට දැමූ කොන්දොස්‌තරයකු ගැන ය. වැස්‌සේ ම මේ කොන්දොස්‌තර මේ දෙදෙනා ම එළියට දමා තිබුණේ අමානුෂික විදිහට ය. එයට හේතුව බසයේ දී මේ පුද්ගලයා ගේ රෝගී බිරිය මිය යැම ය. මළ සිරුරක්‌ බසයේ ගෙන යා නොහැකි බව කියමින් කොන්දොස්‌තර මේ තාත්තා හා බිළිදිය මළසිරුර ද සමග බස්‌වා ඇත්තේ කැළෑ පාරක දී ය. පසුව මේ අය ඒ පාරෙන් ආ මිනිස්‌කම දත් පිරිසක්‌ විසින් රෝහල්ගත කරන ලදි. එහෙත් ඒ නොමිනිස්‌ කොන්දොස්‌තරට දඩුවම් ලැබුණේ නැත.

නීතියේ පිළිසරණ මගියා සතුයි

මගියකුට බස්‌ රථයක දී බස්‌ සේවකයන් වෙතින් අකටයුතුකමක්‌ සිදු වුව හොත් ඒ සදහා පවතින නීති පිළිසරණ කෙබදු දැයි අපි නීති ආධාර කොමිසමේ නීති නිලධාරිනී සජීවනී අබේකෝන් මහත්මිය වෙතින් විමසීමු. මේ ඇය දුන් පිළිතුරයි.

"බස්‌ රථයක්‌ තුළ ගමන් කරන මගියකු ගේ ආරක්‍ෂාව ගැන පූර්ණ වගකීමක්‌ කොන්දොස්‌තර හා රියදුරු සතුයි. එ නිසා මගියකුට බැණ වදින්නට, පහර දෙන්නට හෝ බලෙන් බස්‌වන්නට ඔවුන්ට බැහැ. ඉතුරු මුදල් දීම්වලට අදාළ ව ප්‍රශ්න ඇති වූ විට මගියාට පහර දෙනවා නම් හෝ ගමනාන්තයට පෙර බස්‌වනවා නම් හෝ ළග ම ඇති පොලිසියට පැමිණිලි කළ හැකියි. සමහර කොන්දොස්‌වරුන් ගැහැනු ළමයින් උරහිසින් හෝ සිරුරේ වෙනත් තැන්වලින් අල්ලමින් බසයෙන් නැංවීම හෝ බැස්‌වීම කරනවා. මෙයත් දඩුවම් ලබා දිය හැකි වරදක්‌. නිවැරැදිව ඔප්පු කළ හොත් අවුරුදු 5කට හිරේ යෑවිය හැකියි. බසයක දී බසයේ සේවකයන් ගෙන් ප්‍රශ්නයක්‌ ඇති වුව හොත් ඊට එරෙහි ව ඉදිරිපත් කළ හැකි සාක්‌ෂ්‍ය තිබෙනවා නම් හොදයි. වීඩියෝ දර්ශන, ඡායාරූප හෝ පුද්ගල සාක්‌ෂ්‍ය තිබුණොත් හොදයි. ඒ වගේ ම ටිකට්‌පතක්‌ තිබීමත් හොදයි. හැබැයි මේ සාක්‌ෂ්‍ය තමුන් සතු ව නැතැයි කියා කෙනෙක්‌ උකටලී විය යුතු නැහැ. මන්ද යත් වින්දිතයා ම සාක්‌ෂ්‍ය සොයාගත යුතු යෑයි කියවෙන්නේ නැහැ. පොලිස්‌ ස්‌ථානයකට පැමිණිලි කළ විට අදාළ නිලධාරීන් සාක්‌ෂ්‍ය සෙවීමට සහාය වනවා. බොහෝ විට වන්නේ වින්දිතයන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට මැළි වීමයි".

පැමිණිලි කරන්නේ කාට ද?

මෙරටේ බස්‌ රථවල දී මගී ජනතාවට වන හිරිහැර ගැන පැමිණිලි කළ හැකි එක්‌ ආයතනයක්‌ වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවයි. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ඉංජිනේරු එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා ය. මේ ඒ මහතා බස්‌ ගැටලුවල දී ක්‍රියා කළ යුතු ආකරය පැහැදිලි කළ අන්දමයි.

"ජාතික ගමනාගමන කොමිසම 1991 දී පිහිටවනු ලැබූයේ අන්තර් පළාත් බස්‌ සේවා නියාමනයටයි. ලංගම බස්‌ මෙන් ම පෞද්ගලික බස්‌ ද මේ යටතේ නියාමනය වනවා. මහජනතාවට ආරක්‍ෂිත, ඒ වගේම ගුණාත්මක ප්‍රවාහන සේවයක්‌ සැපයීම තහවුරු කරන්නට ගමනාගමන කොමිෂම කැප වනවා. බසයක ගමන් ගනිද්දී කොන්දොස්‌තර වෙතින් හෝ රියදුරු වෙතින් හෝ යම් අකටයුත්තක්‌ සිදු වූවා නම් ඒ ගැන අපට පැමිණිලි කළ හැකියි. එක්‌කෝ 1955ට අමතා ඒ ගැන දැනුම් දිය හැකියි. නැතිනම් අදාළ බස්‌ රථයෙන් ලබාගත් ටිකට්‌ පත ද සමග පැමිණිල්ල ලියා අපට තැපැල් කළ හැකියි".

"ඒ ඔවුන් ටිකට්‌ දුන්නොත් නෙ. බොහෝ විට මේ බස්‌වල ටිකට්‌ ලබා දෙන්නේ නැහැ නේ. එතකොට මොකද කරන්නේ?" මම ඔහු ගෙන් විමසීමි.

"ඔව්, ටිකට්‌ නො දී ම ලොකු ගැටලුවක්‌. හැබැයි මගියකුට පුළුවන් තමා යන බසයක ටිකට්‌ නො දෙනවා නම් ඒ ගැන වුවත් දුරකථනයෙන් දැනුම් දෙන්න. අපට කතා කළ යුතු අංකය හැම බසයක ම ස්‌ටිකර් එකක්‌ ලෙස අලවා තිබෙනවා. ඒ ස්‌ටිකර් එක නො ඇලෙව්වොත් දඩුවම් කරනවා. මීට අමතර ව ටිකට්‌ නො දෙනවා ද කියා බලන්න පරීක්‍ෂකවරුන් යොදවා තිබෙනවා. ටිකට්‌ නො දී අහු වුණොත් ඒ කොන්දොස්‌තර ගෙන් රුපියල් 3000ක ගාස්‌තුවක්‌ අය කරගන්නවා වගේ ම ඔහුව දවස්‌ දෙකකට පුහුණුවකට යවනවා. මගීන් ගෙත් යුතුකමක්‌ තියෙනවා සල්ලි දෙන විට ටිකට්‌ එකක්‌ ඉල්ලගන්න. ටිකට්‌ නො දීමට අමතර ව ඉතුරු සල්ලි නිසියාකාරව නො දීම, සල්ලි දී තියෙන අය ගෙන් නැවත සල්ලි ඉල්ලීම වැනි වැරදි කොන්දොස්‌තරලා කරනවා. මේ වගේ වැරදිවලට අමතර ව නුසුදුසු විදිහට කතා කරන අයත් ඉන්නවා. ඉතිං මේ වගේ වැරදි කරල අහු වුණොත් සමාවක්‌ නම් නැහැ. උපරිම දඩුවම් දෙනවා. හැබැයි මෙතන දී මගීන් සාක්‌ෂ්‍ය සහිත ව ඉදිරිපත් වෙන්න ඕනේ. ඉන්දියාව වැනි රටවල බස්‌ සේවය බොහොම නරක අතට හැරිලා. ඒ වගේ තැනකට යන්න ඉඩ දෙන්න බැහැ. බස්‌ සේවකයන්ව නිසි මාර්ගයට ගන්න ඕනේ. ඔවුන්ට විනය ගැන කියා දෙන්න ඕනේ. දැන් බලන්න මේ අයට නිල ඇදුම් දීල තියෙනවා. ඒ වුණාට ඒ නිල ඇදුම් ඇදගෙන ඉන්නෙ නැහැ. ඒකට එක්‌ හේතුවක්‌ තමයි මොනව හරි ප්‍රශ්නයක්‌ ඇති වුණොත් ඔවුන්ව හදුනාගන්න ලැබීම".

බස්‌ රථයක දී ඔබට අකටයුත්තක්‌ අතවරයක්‌ සිදු වුව හොත් පැමිණිලි කළ හැකි තවත් ආයතනයක්‌ තිබේ. එය මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියයි. මේ ආයතනය පළාත් වශයෙන් ක්‍රියාත්මක වේ. එ නම් යම් පළාතක්‌ තුළ දිවෙන බස්‌රථ සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය භාර වී ඇත්තේ මේ ආයතනයට ය. උදාහරණයක්‌ ලෙස බස්‌නාහිර පළාත තුළ දිවෙන බස්‌ රථයක දී ගැටලුවක්‌ ඇති වුව හොත් ඔබට ඒ සදහා යොමු වන්නට වන්නේ බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙතට ය. අධිකාරියේ කටයුතු ගැනත්, මගියකුට අධිකාරිය හරහා සහාය ලබාගත හැකි ආකාරය ගැනත් තොරතුරු ලබා ගැනීමට විදුසර අපි බස්‌නාහිර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා සමග කතාබහ කළෙමු.

"බස්‌නාහිර පළාත තුළ දිවෙන පෞද්ගලික බස්‌ රථයක දී ඔබට යම් ප්‍රශ්නයක්‌ ඇති වුව හොත් ඒ සම්බන්ධයෙන් අප වෙත පැමිණිලි කළ හැකියි. එක්‌කෝ බත්තරමුල්ලේ රන්මගපාය මාවතේ අංක 89 පිහිටි අපගේ මූලස්‌ථානයට මේ පැමිණිල්ල කළ හැකියිs. නැතිනම් ප්‍රාදේශීය කාර්යාල හතෙන් එකකට පැමිණිලි කළ හැකියි. කළුතර, ගම්පහ, ජා-ඇල, හෝමාගම, රත්මලාන, බොරැල්ල හා බැස්‌ටියන් මාවතේ මේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබෙනවා. පැමිණ හෝ දුරකථනයෙන් හෝ ලිපියක්‌ මගින් හෝ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. දිනපතා අපට සාමාන්‍යයෙන් පැමිණිලි 10ක්‌ විතර ලැබෙනවා. වැඩියෙන් ම පැමිණිලි එන්නේ මගීන්ට පරුෂ වචන කීම්, ඉතුරු සල්ලි නො දීම්, අදාළ තැන නො නවත්වා ඈතට ගෙන ගොස්‌ බැස්‌වීම් වැනි දේ ගැන. ඉදහිට කාන්තාවන්ට අතවර වීමේ සිද්ධීන් වාර්තා වනවා. අදත් පැමිණිල්ලක්‌ ආවා 183 බස්‌ මාර්ගයේ කොන්දොස්‌තර කෙනෙක්‌ කාන්තාවක ස්‌පර්ශ කරමින් අනිසි කටයුත්තක්‌ කළා කියලා. අපි මේ වරදවල් කළ බව ඔප්පු කර ගත්තොත් දඩුවම් දෙනවා. ඒ වගේ ම වරද බරපතළ නම් අධිකරණය වෙත ගොස්‌ යොමු කරනවා. අප ගේ මට්‌ටමෙන් දෙන දඩුවම් තමයි බලපත්‍රය තාවකාලිකව හෝ සදාකාලිකව හෝ අහෝසි කිරීම. නැතිනම් පුහුණු කදවුරකට යවනවා.

ඔබ සදහන් කළ කඩවත 138 බස්‌ එකකින් කාන්තාවක එළියට ඇද දැමූ සිද්ධිය ගැනත් අප ඉක්‌මනින් විමර්ශනයක්‌ කළා. එහි දී අපි දෙපාර්ශ්වය ම ගෙන්වූවා. ඒ කොන්දොස්‌තර

වැරැදි බව තහවුරු වුණා. ඔහුට දඩුවමක්‌ විදිහට පුහුණු පාඨමාලාවට යෑව්වා. අප ගේ මැදිහත් වීම ගැන පැමිණිලිකාර පාර්ශ්වය සතුටු වුණා. ඒ විසදුම හොද බව ඔවුන් වෙබ් එකකට ලියා තිබුණා. මෙතන දී මා විශේෂයෙන් කිව යුතු දෙයක්‌ තිබෙනවා. බස්‌ රථයක දී ඔබට බසයේ සේවකයකු ගෙන් හෝ වෙන කෙනකු ගෙන් හෝ කරදරයක්‌ සිදු වුව හොත් වහා ම පැමිණිලි කරන්න. නිහඩ ව ඉන්න එපා. එ වෙලෙ ම දුරකථනයෙන් මේ ගැන දැනුම් දෙන්න. එහෙම කළොත් අපට වහා ම ඒ බසය අල්ලන්න පුළුවන්. සමහර ගැහැනු ළමයි බයට හෝ ලැඡ්ජාවට හෝ පැමිණිලි කරන්නේ නැහැ. සමහරු කරදර වෙයි, රස්‌තියාදු වෙයි කියා පැමිණිලි කරන්නේ නැහැ. එහෙම පසුගාමී නො වී පැමිණිලි කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

බස්‌ කොන්දොස්‌තරලා ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම මගීන්ට අදාළ කටයුත්තක්‌ නො වන මුත් මගීන්ට එය සෘජු ව ම බලපාන දෙයක්‌ බව පෙනෙන්නට තිබේ. එ නිසා කොන්දොස්‌තරලා වෙනුවෙන් පමණක්‌ නො ව මගීන් ගේ සුබසෙත වෙනුවෙන් ද මෙවැනි මානසික ප්‍රවර්ධන වැඩසටහන් දියත් විය යුතු ය. මෙවැනි වැඩසටහන් කොන්දොස්‌තර හා රියදුරන් වෙනුවෙන් ක්‍රියාත්මක වේ දැයි යන්න අප විමසා සිටියේ බස්‌නාහිර ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා වෙතිනි.

ජගත් පෙරේරා මහතා කියා සිටියේ කොන්දොස්‌තර පමණක්‌ නො ව රියදුරන් ද ඉලක්‌ක කරගනිමින් විශේෂ වැඩසටහන් පවත්වන බවය. මෑත දීත් වනිතා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එවැනි වැඩසටහන් පවත්වා ඇත. එහි දී කොන්දොස්‌තරවරුන්ට හා රියදුරන්ට තම වෘත්තීය කටයුතු මනාව පවත්වාගෙන යැමට අදාළව වැදගත් දේශන රැසකට සවන් දෙන්නට ඉඩකඩ ලැබිණි.

වැරැදි කරන බස්‌ සේවකයන්ට දඩුවම් ලබා දෙන අතර ම බස්‌ සේවකයන් ගේ මානසික සෞඛ්‍යය නංවන හා ඔවුන් ගේ වෘත්තීය වගකීම් පහදා දෙන මෙවැනි වැඩමුළු ද වැඩි වැඩියෙන් පවත්වන අතර ම බස්‌වල ගමන් කරන මගීන්ට ද සමාජ වගකීමක්‌ ඇත. එය නම් කොන්දොස්‌තර කෙනකු ගේ අකටයුත්තකට මැදිහත් වූ මගියකු වෙනුවෙන් කටහඩ අවදි කරන්නට නිර්භීත විම ය.

මන්ද යත් අද වෙන කෙනකුට මුහුණ පාන්නට වන මේ ගැටලුව හෙට ඔබට මුහුණ දෙන්නට සිදු විය හැකි බැවිනි.

කැලණිය විශ්වවිද්‍යාලයයේ

පාරිසරික විද්‍යාව පිළිබද බාහිර කථිකාචාර්ය

මනෝඡ් ප්‍රසන්න රත්නායක