logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා අධ්‍යාපනය, එහි වැදගත්කම සහ ඉන් අපේක්‌ෂිත ඵල ළඟා කරගැනීම - 3 වැනි ලිපිය

විද්‍යාව ඉගැන්වීමේ අරමුණු සහ අපේක්‌ෂිත කුසලතා

විද්‍යාත්මක ව සාක්‌ෂර පුද්ගලයා විද්‍යාවේ ස්‌වභාවය ආශ්‍රිත ක්‍රියාකාරී අවබෝධය ලබාගත යුතු ය (Klopfer 1969). මේ සඳහා පාසලේ සිදු කෙරෙන ගුණාත්මක විද්‍යා අධ්‍යාපනය හේතු වේ. එබැවින් විද්‍යා අධ්‍යාපන වැඩසටහන්වල දී විද්‍යාවේ ස්‌වභාවය පිළිබඳ සංජානනය ශිෂ්‍යයන්ට ලබා දීම මූලික අරමුණක්‌ කරගැනීම වැදගත් බව පෙනේ. නියම අන්දමට විද්‍යාව හදාරන ශිෂ්‍යයා විද්‍යාත්මක ව සිතීමටත්, ක්‍රියා කිරීමටත් මනස හුරු කරගෙන ඇති හෙයින් දැනුම, ආකල්ප සහ කුසලතා අත්පත් කරගැනීමක්‌ විද්‍යාව ඉගෙනීමෙන් සාක්‌ෂාත් වන බවත් (වනසිංහ, 1981), විද්‍යා විෂයේ සංකල්ප (දැනුම) පරීක්‌ෂණාත්මක ව සොයාගැනීම් තුළින් ව්‍යqත්පන්න කරගැනීම සහ පරීක්‌ෂණ මඟින් නිගමනවලට එළඹෙන වෙනත් විෂයක්‌ නැති වීම, සාමාන්‍ය අධ්‍යාපනය ලබන සැම සිසුවකුට ම ඉගෙනගැනීම පිණිස විද්‍යා විෂය අන්තර්ගත කිරීමට ප්‍රධාන හේතුව බවත් වනසිංහ (1991) පෙන්වා දී ඇත. සැම පුද්ගලයකුට ම විද්‍යාත්මක ක්‍රමයට සහ මාර්ගයට අනුකූල ව සිතීමටත් ජීවිතයේ කටයුතු කරගෙන යැමටත් විද්‍යාව මඟ පෙන්වන බව නේරු (1973) ගේ අදහස විය. විද්‍යාවේ ස්‌වභාවය පාදක ව දැනුම ගොඩනැංවීමේ මාර්ගයක්‌ වන විද්‍යාත්මක ක්‍රමය පදනම් ව විද්‍යා අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාවට නැංවීමෙන් විද්‍යා අධ්‍යාපනයෙන් අපේක්‌ෂිත අරමුණු සාක්‌ෂාත් කරගත හැකි වනු ඇත. විද්‍යාව ඉගැන්වීම මඟින් දැනුම, ආකල්ප, කුසලතා යන ක්‌ෂේත්‍ර තුනෙහි ම සමබල වර්ධනයක්‌ අපේක්‌ෂා කළ යුතු බව පෙන්වන වනසිංහ (1981), එමඟින් ශිෂ්‍යයාට සිතීමටත්, ක්‍රියා කිරීමටත් මානසික හුරුවක්‌ ඇති වන බවට අදහස්‌ දක්‌වා ඇත. ඒ අනුව ඔහු විසින් සකස්‌ කරන ලද විද්‍යාව ඉගැන්වීමේ අරමුණු ලැයිස්‌තුව පරීක්‌ෂා කිරීමෙන් විද්‍යා අධ්‍යාපනය තුළින් සකස්‌ කෙරෙන නිමැවුමේ ගුණාත්මක බව සහ ඉන් පුද්ගලයාට, වෘත්තියට සහ සමාජයට අත් වන යහපත පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය.

1. එදිනෙදා ජීවිතයේ විද්‍යාවේ වැදගත් යෙදීම්වලින් වාසි ලැබීමට උගත් ජනගහනයක්‌ නිර්මාණය කිරීම.

2. විද්‍යාව පදනම් වූ වෘත්තීය පාඨමාලා සැපයීම.

3. විද්‍යාත්මක ප්‍රවේශය පදනම් වූ නිගමන කරා ළඟා වීමේ හැකියාව සහ විමර්ශන මනසක්‌ නිර්මාණය.

4. විද්‍යාවේ සහ තාක්‌ෂණයේ අනිසි ප්‍රතිඵලවලින් මනුෂ්‍යයාට හා පරිසරයට වන හානි හඳුනාගැනීම.

5. දේශීය ප්‍රශ්න සහ ගැටලු සඳහා පිළිතුරු සෙවීමේ දී අදාළ පර්යේෂණ සොයාගැනීම් හා විද්‍යාවේ සංවර්ධනය සහ වර්ධනය අදාළ කරගැනීම.

ඉහත සඳහන් අදහස්‌ සම්පිණ්‌ඩනය තුළින් විද්‍යා අධ්‍යාපනයෙන් ශිෂ්‍යයා අත්පත් කරගත යුතු හැකියා සහ දක්‌ෂතා පහත පරිදි ගොනු කළ හැකි ය.

1. විද්‍යාත්මක දැනුම සහ සංකල්ප ඇති කිරීම. විද්‍යාවේ ක්‍රියාවලිය අරමුණු කරගනිමින් විද්‍යාත්මක ක්‍රමය ආශ්‍රිත අවබෝධය ලබා දීම.

2. විද්‍යාවේ බලපෑම ලෙස විද්‍යාත්මක ආකල්ප අගයන් වැනි හර පද්ධතීන් ගෙන් පරිපූර්ණ පුද්ගලයන් බිහි කිරීම.

විද්‍යාත්මක ක්‍රියාවලිය ආශ්‍රිත මූලික කුසලතා (ප්‍රාථමික ක්‍රියාවලි කුසලතා - Primary Process)

පාසලේ විද්‍යා ක්‍රියාකාරකම් තුළින් ශිෂ්‍යයා අත්පත් කරගත යුතු කුසලතා සමූහය මින් අදහස්‌ වේ. ශිෂ්‍යයාට එම අත්දැකීම් අත්පත් වන ආකාරයට ඉගැන්වීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම ගුරුවරයා ගේ වගකීම වේ.

1. නිරීක්‌ෂණය (Observing) :

පංෙච්න්ද්‍රියයන් ඇසුරින් විධිමත් ව සහ සැලසුම් සහගත ආකාරයට තොරතුරු ලබාගැනීම.

2. වර්ගීකරණය (Classifying) :

වස්‌තු හෝ සිද්ධි ඒවායේ පූර්ව නිශ්චිත ගුණ අනුව වර්ග කිරීම.

3. මැනීම (Measuring) :

භෞතික වස්‌තු අදාළ ඒකක ඇසුරෙන් ප්‍රමාණාත්මක කිරීම.

4. සන්නිවේදනය (Communicating) :

වස්‌තු සහ අවස්‌ථා තොරතුරු රූපමය හෝ ප්‍රස්‌තාරික ආකාරවලින් ඉදිරිපත් කිරීම.

5. අනුමිතීන්ට එළඹීම (Inferring) :

නිරීක්‌ෂණ ඉක්‌මවමින් වලංගු ප්‍රකාශන යෝජනා කිරීම.

6. පෙරයීම් කිරීම (Predicting) :

සිද්ධීන් පාදක ව ඉදිරියේ දී විය හැකි තත්ත්වයන් පිළිබඳව පූර්වයෙන් ප්‍රකාශ කිරීම.

7. කාල අවකාශ සම්බන්ධතා (Space - Time relations) :

අවකාශය සම්බන්ධ මිනුම් කාලය සමඟ පවතින සම්බන්ධතා යොදාගැනීම.

8. අංක භාවිතය :

ස්‌වභාවයේ පවතින දේ ප්‍රමාණාත්මක ව ගෙනහැර දැක්‌වීම.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විද්‍යා අධ්‍යාපනය තුළින් අපේක්‌ෂිත ඵල සාක්‌ෂාත් වී ද?

අ. පො. ස (සා. පෙ.) විභාගයේ දී ශිෂ්‍යයා විද්‍යාව ඉගැන්වීමෙන් සාක්‌ෂාත් කරගත් දේ මැන බැලීමකට ලක්‌ වේ. ශිෂ්‍යයා ඉන් ලබාගන්නා ප්‍රතිඵලය මත විද්‍යා අධ්‍යාපන අපේක්‌ෂණ ඉටු වීම හෝ නො වීම හෝ පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය. එහෙත් වර්තමානයේ විද්‍යාව විෂය ඉගෙනීමෙන් ලැබිය යුතු ප්‍රතිලාභ නිසි ලෙස ලැබෙන්නේ ද යන්න සැක සහිත ය. විභාග ප්‍රතිඵලවලින් දෘශ්‍යමාන වන තත්ත්වය පිළිබඳව සෑහීමට පත් විය නො හැකි ය. විද්‍යා විෂය අසමත් වන පිරිස විද්‍යා අධ්‍යාපනයේ නිසි ඵල නො ලබා සමාජගත වන හෙයින් එය සමාජමය වශයෙන් ගැටලු උපදවන ස්‌වභාවයකි. වසර කිහිපයක අ. පො. ස. (සා. පෙ.) ප්‍රතිඵල ඇගයීම් වාර්තා විමසුමට භාජන කිරීමෙන් සිසුන් ගේ විෂය සාධනය මෙන් ම විෂය ඉගැන්වීම සම්බන්ධයෙන් අදහසක්‌ ලබාගත හැකි ය.

2011 - 2016 ආසන්න අනුයාත වර්ෂවල විද්‍යා විෂය සඳහා ඉදිරිපත් කරන ලද අ. පො. ස. (සා. පෙ.) ඇගයීම් වාර්තාවල සඳහන් තොරතුරු අනුව පාසලේ ක්‍රියාවට නැංවෙන විද්‍යා විෂයයන් ඉගැන්වීමෙන් විද්‍යා විෂයට සුවිශේෂී වූ ඉගෙනුම් ඵල සාක්‌ෂාත් වීම ඉතා අවම තත්ත්වයක පවතින බව පැහැදිලි වේ. මේ බව අ. පො. ස. (සා. පෙ.) විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා සපයා තිබූ සිසු ප්‍රතිචාර ගුණාත්මක වශයෙන් විශ්ලේෂණය කොට ඉදිරිපත් කොට ශිෂ්‍ය නො හැකියා සම්බන්ධයෙන් පෙන්වා දී ඇති පහත දැක්‌වෙන නිගමන අනුව පෙනේ.

1. විද්‍යාත්මක ක්‍රමය සහ විද්‍යා දැනුමේ ස්‌වභාවය පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නො වීම.

2. වැරැදි සංකල්ප සාධනය.

3. නිරීක්‌ෂණය මූලික විමසුම් කුසලතා අවම වීම.

4. විද්‍යාත්මක සාක්‌ෂරතාව අවම වීම.

5. දැනුම ආශ්‍රිත විෂය කොටස්‌ අවබෝධයට සාපේක්‌ෂ ව සංශ්ලේෂණ, විශ්ලේෂණ සහ ඇගයීම් කුසලතා අවම වීම.

6. විද්‍යාවේ පර්යේෂණ ගවේෂණ ආශ්‍රිත හැකියා අවම වීම.

(ලබන සතියේ අවසන් කොටස)

රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ඩබ්ලිව්. පුෂ්පා

(ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය)