logo3.gif (702 bytes)

HOME


දැනුම හා නවොත්පාදන තුළින් ආර්ථිකය ගොඩනංවන තාක්‌ෂණ පුරය (Tech City)

ශ්‍රමය පදනම් කරගත් සාම්ප්‍රදායික ආර්ථිකයෙහි සිට දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථිකයකට පරිවර්තනය වීමකින් තොර ව කිසියම් රටකට පහළ මැදි ආදායම් මට්‌ටමේ සිට ඉහළ ආදායම්ලාභී මට්‌ටමට ළඟා වීම අසීරු බව එම කඩඉම තරණය කළ ලෝකයේ රටවල් ලබා ඇති අත්දැකීම් අනුව පැහැදිලි කරුණකි.

ශ්‍රී ලංකාව ද මෑතක දී පහළ මැදි ආදායම් මට්‌ටමට ළඟා වූ අතර මෙතැන් සිට ඉහළ ආර්ථික තලයකට යැම පිණිස අප රට හමුවේ ද මේ පරිවර්තන අභියෝගය පවතියි.

බස්‌නාහිර පළාත, උසස්‌ තාක්‌ෂණය පදනම් කරගත් නිෂ්පාදන ප්‍රධාන ආර්ථික සංරචකය කරගත් සැලසුම් සහගත මහා නගරයක්‌ බවට පත් කිරීමේ මෙගාපොලිස්‌ (Megapolis) සංවර්ධන වැඩසටහන හඳුන්වා දෙනු ලබන්නේ මේ අභියෝගය ජයගැනීම සඳහා අවශ්‍ය අවකාශීය ව්‍යqහය ඇති කිරීම පිණිස ය. (මෙගාපොලිස්‌ වැඩසටහන පිළිබඳ වැඩි විස්‌තර සඳහා 2016 පෙබරවාරි 17 විදුසර බලන්න).

මෙගාපොලිස්‌ වැඩසටහන යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවලට අදාළ ප්‍රධාන අංශ 10ට අයත් එක්‌ වැදගත් ව්‍යාපෘතියක්‌ වන්නේ උසස්‌ තාක්‌ෂණ නවෝත්පාදන නගරයක්‌ වන 'තාක්‌ෂණ පුරය'යි (Tech City/Innopolis).

ආසියාකරයේ නවොත්පාදන කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ දීර්ඝකාලීන දැක්‌ම ද පෙරදැරි ව ඉදි කෙරෙන මේ තාක්‌ෂණ පුරය විද්‍යා, තාක්‌ෂණ නවෝත්පාදන හරහා ලෝකය ම සමග සම්බන්ධ වීමට සැලසුම් කර ඇත.

හෝමාගම, මාලබේ, කඩුවෙල හා අතුරුගිරිය ප්‍රදේශ ඇතුළත් හෙක්‌ටයාර 1600ක (වර්ග කිලෝමීටර 165) භූමිභාගයක්‌ ආවරණය වන පරිදි මේ තාක්‌ෂණ පුරය ඉදි කරනු ලැබේ.

උසස්‌ තාක්‌ෂණයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථාන, උසස්‌ තාක්‌ෂණයට අදාළව අලුතින් ම අරඹන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආරම්භක පෝෂණය සපයන මූලික ව්‍යාපාර ප්‍රවර්ධන (බීජෞෂණ) මධ්‍යස්‌ථාන (business incubation centres), තාක්‌ෂණ දිශානත අධ්‍යාපන හා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්‌ථාන හා ඒවාට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයුම්වලින් තාක්‌ෂණ පුරය සමන්විත වනු ඇත. මේ මධ්‍යස්‌ථාන මඟින් නවොත්පාදන ක්‍රියාවලිය ඔස්‌සේ බිහි වන දැනුම ජාතික ආර්ථිකයට දායක කරගැනීමට අවශ්‍ය ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙයි.

තාක්‌ෂණ පුරය තුළ අවධානය යොමු කෙරෙන උසස්‌ තාක්‌ෂණ අංශ වන්නේ නිනිති (nano) තාක්‌ෂණය, ජෛව තාක්‌ෂණය, ජාන විද්‍යාව, ෙඩ්‍රාaන තාක්‌ෂණය, කෘත්‍රිම බුද්ධිය, පුනර්ජනනීය බලශක්‌තිය, රසායනික ඉංජිනේරු තාක්‌ෂණය, ගොඩනැඟිලි තාක්‌ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණය, ජෛව යාන්ත්‍ර විද්‍යාව, විදුලිසංදේශ, කාර්මික ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව, රොබෝ තාක්‌ෂණය, වාණිජ මූලාකෘති නිෂ්පාදනය හා නිෂ්පාදන සැලසුම්කරණය යනාදියයි.

තාක්‌ෂණ පුරය ප්‍රධාන පර්ෂද (clusters) 4කින් සමන්විත වේ. ඒ,

හෝමාගම මාහේනවත්ත ආශ්‍රිත පර්යේෂණ, සංවර්ධන හා උසස්‌ තාක්‌ෂණ අධ්‍යාපන පර්ෂදය

මාලබේ/කඩුවෙල ආශ්‍රිත උසස්‌ තාක්‌ෂණ පර්ෂදය

දියගම ආශ්‍රිත විවේක හා විනෝද කටයුතු පර්ෂදය

මීගොඩ ආශ්‍රිත ඉලෙක්‌ට්‍රොනික පර්ෂදය වශයෙනි.

මේ අතරින් ප්‍රධානතම පර්ෂදය වනු ඇත්තේ මාහේනවත්ත ආශ්‍රිත පර්ෂදයයි. පෙර සඳහන් කළ උසස්‌ තාක්‌ෂණයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථාන, උසස්‌ තාක්‌ෂණයට අදාළව අලුතින් ම අරඹන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආරම්භක පෝෂණය සපයන ව්‍යාපාර බීජෞෂණ මධ්‍යස්‌ථාන සහ තාක්‌ෂණ දිශානත අධ්‍යාපන ආයතන යන අංග සියල්ලෙන් ම මාහේනවත්ත පර්ෂදය සමන්විත වේ. මෙයට ඇතුළත් වන අධ්‍යාපන ආයතන අතර කොළඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තාක්‌ෂණ පීඨ විශේෂයෙන් සඳහන් කළ හැකි ය. මේවා මඟින් ජාතික ආර්ථිකයට අවශ්‍ය වන තාක්‌ෂණික ශ්‍රම බළකාය සම්පාදනය කෙරෙයි.

අධ්‍යාපනය හා ජාතික මට්‌ටමේ පර්යේෂණ/නවෝත්පාදන පරිසර පද්ධතියක්‌ හරහා දැනුම පාදක කරගත් සමාජ සංවර්ධනය මාහේනවත්ත පර්ෂදයේ මුඛ්‍ය අරමුණ වේ. ඒ උදෙසා මෙහි ජාතික විද්‍යා මධ්‍යස්‌ථානය, ශ්‍රී ලංකා ජෛවතාක්‌ෂණ ආයතනය හා අක්‌කර 34ක ඉදි වන ජෛවතාක්‌ෂණ උද්‍යානය ද ඉදි කෙරෙනු ඇත. දැනටමත් ක්‍රියාත්මක නැනෝ තාක්‌ෂණ ආයතනය (SLINTEC) ද අයත් වන්නේ මෙකී පර්ෂදයට ය.

ආතර් සී. ක්‌ලාර්ක්‌ ආයතනයට අනුබද්ධිත ජාතික චන්ද්‍රිකා ප්‍රතිග්‍රහණ මධ්‍යස්‌ථානය ද මාහේනවත්තට ගෙන එනු ලැබේ.

මාලබේ/කඩුවෙල උසස්‌ තාක්‌ෂණ පර්ෂදයෙහි අරමුණ වන්නේ උසස්‌ තාක්‌ෂණ කර්මාන්ත සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමයි. මේ වෙනුවෙන් තොරතුරු තාක්‌ෂණ, උසස්‌ තාක්‌ෂණ හා ව්‍යාපාර සවර්ධන මධ්‍යස්‌ථාන, නව ව්‍යාපාර සඳහා බීජෞෂණ මධ්‍යස්‌ථාන, කාර්යාල හා මිශ්‍ර වාණිජ කලාප මෙහි ස්‌ථාපනය කෙරෙයි.

තාක්‌ෂණ පුරයෙහි නිරන්තරයෙන් ගැවසෙන ශ්‍රමිකයන් ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය කරන නිවාස, විනෝදාත්මක ක්‍රියාකාරකම්, සම්මේලන ශාලා, හෝටල්, ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩා උද්‍යාන, ක්‍රීඩා අංශ වැඩිදියුණු කිරීමේ තාක්‌ෂණික පහසුකම්, තේමා උද්‍යාන මෙන්ම නිර්මාණාත්මක කර්මාන්ත සහ මූලික ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යස්‌ථාන යනාදී අංග ද ඇතුළත් පර්ෂදය නිමැවෙන්නේ ප්‍රධාන කොට ම දියගම ආශ්‍රිත ව ය. මොරටුව විශ්වවිද්‍යාලයයේ තාක්‌ෂණ පීඨය ද තාක්‌ෂණික සරසවිය නමින් දියගම ස්‌ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මීගොඩ ඉලෙක්‌ට්‍රොනික පර්ෂදයෙහි සිදු කෙරෙන්නේ ජාත්‍යන්තර මට්‌ටමේ ඉලෙක්‌ට්‍රොනික හා නිනිති තාක්‌ෂණ (උසස්‌ තාක්‌ෂණ) නිෂ්පාදන වැඩිදියුණු කිරීමයි.

මේ අතරින් ප්‍රධාන පර්ෂදය වන මාහේනවත්තේ ඉදිකිරීම් වැඩකටයුතු නියමු ව්‍යාපෘතියක්‌ ලෙස මේ වන විටත් ආරම්භ වී තිබේ.

මේ අරමුණු සාක්‌ෂාත් කරගැනීම සඳහා තාක්‌ෂණ පුරය අධිවේගී හා අධි ධාරිතාවකින් යුත් ප්‍රකාශ තන්තු පාදක සන්නිවේදන ජාලයකින්, ප්‍රතිචක්‍රීකරණ හා අපද්‍රව්‍ය ප්‍රතිකාරක පහසුකම්වලින්, අඛණ්‌ඩ ජල හා විදුලි සැපයුමකින් සමන්විත වනු ඇත.

තාක්‌ෂණ පුරය තුළ මුදුන් පමුණුවාගැනීමට අපේක්‌ෂා කෙරෙන ප්‍රධාන අරමුණු 3ක්‌ ඇති බව මේ අළලා විදුසර සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් මහානගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පැවසී ය.

පළමුවැන්න වන්නේ විද්‍යාව හා තාක්‌ෂණය පදනම් කරගෙන පර්යේෂණ සිදු කිරීම හා නව දැනුම උත්පාදනයයි (විද්‍යා, තාක්‌ෂණ හා නවොත්පාදන).

දෙවැන්න ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික හා ශාස්‌ත්‍රීය පහසුකම් සැපයීමයි. එනම් අදාළ අධ්‍යාපනික ආයතන හා සුදුසුකම් සහිත මානව සම්පත් සම්පාදනයයි.

මෙකී අංශ දෙක අතර දෙපසට ම අන්තර් සම්බන්ධතාවක්‌ පවත්වාගැනෙනු ඇත.

තුන්වැන්න මෙසේ උත්පාදනය කෙරෙන නව දැනුම උසස්‌ තාක්‌ෂණ නිපැයුම් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා 'බීජෞෂණ මධ්‍යස්‌ථාන' නම් සංකල්පයක්‌ මෙහි ක්‍රියාත්මක කෙරෙයි.

"තාක්‌ෂණ පුරය ඇත්තට ම කර්මාන්ත පුරයක්‌ නො වෙයි. එහෙත් කර්මාන්තයක්‌ ආරම්භ කිරීමට අදහස්‌ කරන ව්‍යවසායකයන්ට ඒ සඳහා කිසියම් බීජෞෂණ සමයක්‌ මෙහි ගත කිරීමට අවස්‌ථාව සලසා තිබෙනවා. එනම් තාක්‌ෂණ පුරයෙහි ඇති සම්පත් සහ දැනුම යොදාගනිමින් තමන් ගේ ව්‍යාපාරයට සවිමත් ආරම්භයක්‌ මෙහි දී ලබාගත හැකියි.

මේ ආකාරයෙන් වසරක්‌ දෙකක්‌ වැනි කාලයක බීජෞෂණ සමයක්‌ ගත කර මනා ආත්ම විශ්වාසයක්‌ සහ පදනමක්‌ ගොඩනඟාගත් පසු තාක්‌ෂණ පුරයෙන් නික්‌මී හොරණ හෝ මීරිගම හෝ ඉදි කෙරෙන කර්මාන්ත පුරයන්හි හෝ තමන් රිසි අන් තැනක හෝ තම ව්‍යාපාරය ස්‌ථාවර ව ආරම්භ කිරීමේ අවස්‌ථාව මේ ව්‍යවසායකයන්ට ලැබෙනවා ඇති" යනුවෙන් වෛද්‍යරත්න මහතා වැඩිදුරටත් කරුණු පහදා දුනි.

ඒ මහතා පවසන ආකාරයට තාක්‌ෂණ පුරයෙන් උත්පාදනය කෙරෙන දැනුම සහ ශ්‍රමය මෙගාපොලිස්‌ සංකල්පය යටතේ ඉදි කෙරෙන ගුවන් නගරය (Aero City), සාමුද්‍රීය නගරය (Maritime City) වැනි කලාපවලට අවශ්‍ය වන තාක්‌ෂණික ශ්‍රම බළකාය නිර්මාණය කරගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.

තාක්‌ෂණ පුරයේ තවත් විශේෂත්වයක්‌ වන්නේ එහි සේවය කරන ශ්‍රම බළකායට අවශ්‍ය කරන නේවාසික පහසුකම් ඒ ආශ්‍රිත ව ම (දියගම පර්ෂදයෙහි) සපයා තිබීමයි. ඒ අනුව දැන් මෙන් මාර්ග තදබදයට හසු වී සේවයට වාර්තා කිරීම පමා වීමෙන් සිදු වන පලදායකතාව හානි වීම් සහ මානසික ආතති තාක්‌ෂණ පුරයෙහි දක්‌නට නො ලැබෙනු ඇත. නිවාස පමණක්‌ නො ව ඒ ආශ්‍රිත සමාජ පහසුකම් වන දරුවන්ට පාසල්, ක්‍රීඩාංගණ, උද්‍යාන වැනි අංගවලින් ද තාක්‌ෂණ පුරය සමන්විත වේ. විශේෂයෙන් ම අවට පාසල් ජාතික මට්‌ටමේ පාසල් බවට සංවර්ධනය කෙරෙනු ඇති බැවින් දුර කතර ගෙවා කොළඹ වැනි ප්‍රදේශයක දියුණු පාසල් කරා යැමේ අවශ්‍යතාවක්‌ පැන නො නඟී.

"අද අපට දක්‌නට තිබෙන්නේ අවිධිමත් භූමි පරිහරණයක්‌. හැම කුඩා ඉඩක ම නිවාස ඉදි කරලා. එක අතකින් මෙය වාණිජ වශයෙන් ඉහළ විභවයක්‌ ඇති ඉඩම්වල ඌන උපයෝජකත්වයක්‌. අනෙක්‌ අතින් හුස්‌ම ගැනීමට තිබෙන අවකාශය පවා ඇහිරිලා. පරිසරය දූෂණය වෙලා.

අප බලාපොරොත්තු වනවා තිරස්‌ අතට පැතිරිලා තියෙන මේ අවිධිමත් වාසස්‌ථාන සිරස්‌ අතට එනම් බහු මහල් ගොඩනැගිලි බවට පරිවර්තනය කරලා එයින් ඉතිරි වන භූමිය පාරිසරික සංවර්ධනය සඳහා යොදවන්න.

කොහොම නමුත් තාක්‌ෂණ පුරයේ පළමු අදියරේ දී සිදු කෙරෙන්නේ දැනට ජනතාව පදිංචි නැති ප්‍රදේශ තෝරාගෙන සංවර්ධනය කිරීමයි." යනුවෙන් අතිරේක ලේකම්වරයා කරුණු පැහැදිලි කර සිටියේ ය.

තාක්‌ෂණ නගරය, බස්‌නාහිර පළාතේ පිහිටි වෙනත් අත්‍යවශ්‍ය සේවා සපයන නගර වෙත පහසුවෙන් පිවිසිය හැකි වන සේ ප්‍රධාන කොරිඩෝර (මංකඩ) තුනකින් සම්බන්ධ කෙරෙයි.

ඉන් පළමුවැන්න කොළඹ සාමුද්‍රීය නගරය සහ කෝට්‌ටේ පරිපාලන නගරය සමග මාහේනවත්ත පර්ෂදය සම්බන්ධ කෙරෙන දැනුම් සහ ආර්ථික කොරිඩෝවයි.

දෙවැන්න හොරණ කර්මාන්ත නගරය සමග මාහේනවත්ත පර්ෂදය සම්බන්ධ කෙරෙන උසස්‌ තාක්‌ෂණ කර්මාන්ත කොරිඩෝවයි.

තෙවැන්න අවිස්‌සාවේල්ල වැවිලි හා ජෛව නගරය මාහේනවත්ත හා සම්බන්ධ කෙරෙන හරිත කර්මාන්ත කොරිඩෝවයි.

කොරිඩෝ නැත හොත් මංකඩ හුදෙක්‌ සම්බන්ධක මාර්ග ලෙස පමණක්‌ සැලකිය නොහැකි බව වෛද්‍යරත්න මහතා පවසයි. කොරිඩෝව දිගේ පිහිටි අතුරු නගර ද උක්‌ත සම්බන්ධතාව හේතු කොටගෙන අලුතින් ම සංවර්ධනය වනු ඇත. ආශ්‍රිත සහායක ව්‍යාපාර හා සේවා එම කොරිඩෝ දිගේ පිහිටි නගර ආශ්‍රිත ව බිහි වනු ඇත. නිදසුනක්‌ ලෙස ප්‍රවාහන සේවා දැක්‌විය හැකි ය.

තාක්‌ෂණ පුරය පිහිටා තිබෙන්නේ බස්‌නාහිර පළාතේ මධ්‍යයේ බැවින් බස්‌නාහිර මහ නගර සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වන සෙසු සියලු ප්‍රධාන නගර පිහිටන්නේ මෙහි සිට කිලෝමීටර 40ක්‌ වැනි දුරක්‌ ඇතුළත ය. පරිපාලන නගරය (කෝට්‌ටේ)ට දුර කිලෝමීටර 15කි.

පිටත වටරවුම් අධිවේගී මාර්ගය හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත විනාඩි 20කින් ළඟා විය හැකි බැවින් මෙය අන්තර්ජාතික ව්‍යාපාර සඳහා ද පහසු ප්‍රවේශයක්‌ සපයයි. උතරු කොළඹ සිට අතුරුගිරිය දක්‌වා කුලුනු මතින් ඉදි වන අධිවේගී මාර්ගයට ද මෙහි සිට පිවිසුම් මාර්ගයක්‌ සම්බන්ධ කර ඇත.

2020 වසරේ සිට ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය ප්‍රවාහන සේවය (LRT) මාහේනවත්ත හරහා දිව යන බැවින් සාමුද්‍රීය නගරය වෙත ද පහසුවෙන් පිවිසිය හැකි වේ.

ප්‍රවාහන පහසුකම් ගැන පවසන කල මීගොඩ ඉදි වන බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්‌ථානය (multi modal transport centre) ද තාක්‌ෂණ පුරයට ආශිර්වාදයක්‌ බව සඳහන් කළ හැකි ය. (මෙය අධිවේගී මාර්ග, දුම්රිය සේවා ඇතුළු සියලු ම ප්‍රවාහන මාධ්‍ය එකට හමු වන ස්‌ථානයකි).

තාක්‌ෂණ පුරය සඳහා තාක්‌ෂණික සහාය ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ දකුණු කොරියාවෙනි. එරට ඉඩම්, ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යංශය (MoLIT) යටතේ ඇති LH‍ නම් රාජ්‍ය සමාගමේ අනුග්‍රහය ඇති ව මෙහි සැලසුම සකස්‌ කරන ලදි. එය කොරියාවේ යටිතල පහසුකම්වලින් සියයට 70ක්‌ ම සැලසුම් කිරීම සිදු කර ඇති සමාගමක්‌ බව අතිරේක ලේකම් වෛද්‍යරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව ආසියාවේ නවෝත්පාදන කේන්ද්‍රය බවට පත් කිරීමේ ඉදිරි දැක්‌ම ඇති ව ඉදි වන මේ තාක්‌ෂණ පුරයේ ඉදි කිරීම් අදියර 4ක්‌ යටතේ සිදු කෙරෙන අතර මේ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක්‌ වැය වෙතැයි අපේක්‌ෂා කෙරෙයි.



රාඡේන්ද්‍ර කුලසිංහ